පාරා 23

ව මාලී

169 පද්‍ය
📖පාරා

පාරා 23

ව මාලී169 පද්‍ය

الأحزابමදීනී
31

وَمَن يَقْنُتْ مِنكُنَّ لِلَّهِ وَرَسُولِهِ وَتَعْمَلْ صَالِحًا نُّؤْتِهَا أَجْرَهَا مَرَّتَيْنِ وَأَعْتَدْنَا لَهَا رِزْقًا كَرِيمًا

තවද නුඹලා අතුරින් කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට කීකරු වී යහ ක්රියාවන් කරන්නේද ඇයට ඇයගේ වේතනය අපි දෙවරක් පිරිනමන්නෙමු. තවද අපි ඇයට ගෞරවනීය සම්පතක් (ස්වර්ගයෙහි) සූදානම් කර ඇත්තෙමු.
32

يَا نِسَاءَ النَّبِيِّ لَسْتُنَّ كَأَحَدٍ مِّنَ النِّسَاءِ ۚ إِنِ اتَّقَيْتُنَّ فَلَا تَخْضَعْنَ بِالْقَوْلِ فَيَطْمَعَ الَّذِي فِي قَلْبِهِ مَرَضٌ وَقُلْنَ قَوْلًا مَّعْرُوفًا

නබිවරයාගේ භාර්යාවනි, නුඹලා (අනෙක්) ස්තී්රන් අතුරින් කිසිම කෙනෙකු මෙන් නොවන්නෝය. නුඹලා බිය භක්තිමත් වන්නේ නම් (අන්ය පිරිමින් සමග) කතා කිරීමෙහි මිහිරි නොවවු. මක්නිසාද යත් කවරෙකුගේ සිතෙහි (නරක සිතුවිලි වලින් යුත්) ව්යාධියක් ඇත්තේද ඔහුට (එමගින් නුඹලා කෙරෙහි) ආශාවක් ඇති (විය හැකි) වන්නේය. තවද නුඹලා (මිහිරි බවින් තොර අවශ්ය වූ ප්රමාණයට) නියමිත වදනින් කතා කරවු.
33

وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَىٰ ۖ وَأَقِمْنَ الصَّلَاةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللَّهَ وَرَسُولَهُ ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

තවද නුඹලා (අනවශ්ය ලෙස නොසැරිසරා) නුඹලාගේ නිවෙස් තුළ රැඳී සිටිවු. තවද ආරම්භ අඥාන යුගයේ (ස්තී්රන්) අලංකාරය හෙළි කළ ආකාරයෙන් නුඹලා (නුඹලාගේ) අලංකාරය හෙළි නොකරවු. තවද සලාතය ස්ථිරවම ඉටු කරවු. තවද zසකාතය දෙවු. තවද අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට අවනත වවු. (නබිවරයාගේ) නිවැසියනි, 15 සැබැවින්ම අල්ලාහ් අපේක්ෂා කරන්නේම (පාපයේ) කිලිට නුඹලාගෙන් ඉවත් කිරීමට හා නුඹලාව (පාපයෙන් ඉවත් කර) පිවිතුරු කිරීමකින් පිවිතුරු කිරීමටය.
15මෙම ආයතයෙහි සඳහන් ‘(නබිවරයාගේ) නිවැසියන්’ යන පදයට අදාළ අරාබි පදය වන ‘අහ්ලුල් බයිත්’ යනු අරාබි පදයන් දෙකකික් සමන්විත කිමනකි. ‘අහ්ල්’ නම් පළමු පදයට භාෂාමය අර්ථය අනුව බොහෝ අර්ථයන් තිබුණ ද එය යම් පුද්ගලයෙකු වෙත සම්බන්ධ කළ විට “ඔහුගේ බිරිය, පවුලේ උදවිය, සමීප ඥාතීන්” යන අර්ථයන් ගෙන දේ. එබැවින් එම පදය ‘බයිත්’ නම් පදය වෙත සම්බන්ධ කළ විට ‘නිවැසියන්’ යන අර්ථය ගෙන දේ. ඉස්ලාමීය ව්යවහාරයෙහි අහ්ලුස් සුන්නා වල් ජමාඅත්වරුන්ගේ විග්රහය හා තීන්දුව අනුව “අහ්ලු බයිතින් නබි” හෙවත් “නබි මුහම්මද් තුමාණන්ගේ නිවැසියන්” යනු කවුරුන්හට zසකාතය ලබා ගැනීම හරාම්(තහනම්) කරනු ලැබ තිබේ ද ඔවුන්ය. මේ අනුව භාෂාමය හා ව්යවහාරමය අර්ථය දෙස බැලූ කල නබි මුහම්මද් තුමාණන්ගේ පිවිතුරු බිරින්දෑවරුන්, එතුමාණන්ගේ දරු මුණුබුරන් හා ඔවුන්ගේ පරපුරෙන් පැවතෙන්නන් සහ එතුමාණන්ගේ සමීප ඥාතීන් යන අය ‘අහ්ලු බයිතින් නබි’ යන පදය තුළ අඩංගු වන බව තහවුරු වේ. ‘අහ්ල්’ නම් පදය කෙනෙකුගේ බිරියට භාවිත කිරීම, අරාබි භාෂාමය අර්ථය පමණක් නොවන අතර ශුද්ධ වූ අල් කුර්ආනයෙහි ද ඇතැම් නබිවරුන් හා පුද්ගලයින්ගේ බිරින්දෑවරුන් පිළිබඳව සඳහන් වන විට ඔවුනට එම පදය යොදා ගෙන ඇත. නබි ඉබ්රාහීම් තුමාණන්ගේ බිරියට දරුවෙකු ලැබෙන්නට යන බවට සුභාරංචි පැවසීම සඳහා මලක්වරුන් ඔහු වෙත පැමිණි කල ඇය අමතා, “قالوا أتعجبين من أمر الله رحمت الله وبركاته عليكم أهل البيت إنه حميد مجيد“ “අල්ලාහ්ගේ අණ පිළිබඳව නුඹ පුදුමයට පත්වන්නී ද? අහ්ලුල් බයිත්වරුනි(ඉබ්රාහීම්ගේ නිවැසියනි), අල්ලාහ්ගේ දයාව ද ඔහුගේ අභිවෘද්ධිය ද නුඹලා කෙරෙහි අත්වේවා.” (අල් කුර්ආන් 11:73 ) යැයි පැවසූ සිදුවීම මෙයට සාධකයක් ලෙස ගෙනහැර දැක්විය හැකිය. එපමණක් නොව නබි මුහම්මද් තුමාණන්ගේ පිවිතුරු බිරින්දෑවරුන්ට ද අල්ලාහ් මෙම පදය යොදා ආමන්ත්රණය කොට ඇත. “إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا” “අහ්ලුල් බයිතිවරුනි, (නබිවරයාගේ නිවැසියනි), සැබැවින්ම අල්ලාහ් අපේක්ෂා කරනුයේ (පාපයේ) කිලිට නුඹලාගෙන් ඉවත් කිරීමට හා නුඹලාව (පාපයෙන් ඉවත් කර) පිවිතුරු කිරීමකින් පිවිතුරු කිරීමටය.” (අල් කුර්ආන් 33:33 ) යන මෙම ආයතය ද මෙයට සාධකයක් ලෙස ගෙනහැර දැක්විය හැකිය. මෙහි අහ්ලුල් බයිත්(නිවැසියනි,) යන වචනය පළමුවැනි ආයතයෙහි අල්ලාහ් විසින් නබි ඉබ්රාහීම් තුමාණන්ගේ බිරියට ද දෙවන ආයතයෙහි නබි මුහම්මද් තුමාණන්ගේ පිවිතුරු බිරින්දෑවරුන්ට ද යොදා ඇති බව පැහැදිලි වන්නේය. එබැවින් නබි මුහම්මද් තුමාණන්ගේ පිවිතුරු බිරින්දෑවරුන් ද ‘අහ්ලුල් බයිත්’ නම් පදය තුළ ඇතුළත් වන බව සමස්ත මුස්ලිම්වරුන්ගේ ප්රධාන ‘අකීදා’ හෙවත් ප්රතිපත්තියකි. ‘නබි මුහම්මද් තුමාණන් කෙරෙහි සෙනෙහස පෑම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්යය වනවාක් මෙන්ම එතුමාණන්ගේ පිවිතුරු බිරින්දෑවරුන් ඇතුළු සෑම විශ්වාසික අහ්ලුල් බයිත්වරුන් කෙරෙහි ද සෙනෙහස පෑම අනිවාර්යය වේ’ යන්න අහ්ලුස් සුන්නා වල් ජමාආවරුන්ගේ ප්රතිපත්තිය වේ. එහෙයින් නබි මුහම්මද් තුමාණන්ගේ පිවිතුරු බිරින්දෑවරුන් ද ‘අහ්ලුල් බයිත්වරුන්’ යැයි පිළි නොගැනීම ඉහත සඳහන් ඉස්ලාමීය ප්රතිපත්තිය ප්රතික්ෂේප කිරීමකි. එමෙන්ම ‘ඔවුන් ඇතුළු අනෙකුත් අහ්ලුල් බයිත්වරුන් ප්රතික්ෂේප කිරීම, ඔවුනට බැණ වැදීම, අපහාස කිරීම, නොසැලකිලිමත්ව හැසිරීම හා ඔවුන්ගෙන් ඇතැමුන්ව නබිත්වයට හා දේවත්වයට සම්බන්ධ කිරීම වැනි සීමාව ඉක්මවා ක්රියා කිරීම අල් කුර්ආන් හා හදීසයන් මත පදනම් වූ ඉස්ලාමීය ප්රතිපත්තීන් වලට සහමුලින්ම පටහැණි වූවක්’ යන්න සියල්ලන්ම අවබෝධ කර ගත යුතු වැදගත් කරුණක් වන්නේය.
34

وَاذْكُرْنَ مَا يُتْلَىٰ فِي بُيُوتِكُنَّ مِنْ آيَاتِ اللَّهِ وَالْحِكْمَةِ ۚ إِنَّ اللَّهَ كَانَ لَطِيفًا خَبِيرًا

අල්ලාහ්ගේ වදන් වලින් ද ප්රඥාවෙන් ද නුඹලාගේ නිවෙස්හි පාරායනය කරනු ලබන දෑ නුඹලා මෙනෙහි කරවු. සැබැවින්ම අල්ලාහ් අති සියුම් ඥානී, අභිඥානවන්ත විය.
35

إِنَّ الْمُسْلِمِينَ وَالْمُسْلِمَاتِ وَالْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَالْقَانِتِينَ وَالْقَانِتَاتِ وَالصَّادِقِينَ وَالصَّادِقَاتِ وَالصَّابِرِينَ وَالصَّابِرَاتِ وَالْخَاشِعِينَ وَالْخَاشِعَاتِ وَالْمُتَصَدِّقِينَ وَالْمُتَصَدِّقَاتِ وَالصَّائِمِينَ وَالصَّائِمَاتِ وَالْحَافِظِينَ فُرُوجَهُمْ وَالْحَافِظَاتِ وَالذَّاكِرِينَ اللَّهَ كَثِيرًا وَالذَّاكِرَاتِ أَعَدَّ اللَّهُ لَهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِيمًا

සැබැවින්ම මුස්ලිම්වරුන් හා මුස්ලිම්වරියන් ද විශ්වාසිකයින් හා විශ්වාසික කාන්තාවන් ද කීකරුවන්නන් හා කීකරුවන්නියන් ද සත්යවන්තයින් හා සත්යවන්තියන් ද ඉවසිලිවන්තයින් හා ඉවසිලිවන්තියන් ද බියෙන් නැඹුරුවන්නන් හා බියෙන් නැඹුරුවන්නියන් ද දානපතියන් හා දානපතිනියන් ද උපවාසයේ නියැළෙන්නන් හා උපවාසයේ නියැළෙන්නියන් ද තම රහසඟ ආරක්ෂා කරන්නන් හා අරක්ෂා කරන්නියන් ද අධික ලෙස අල්ලාහ්ව මෙනෙහි කරන්නන් හා මෙනෙහි කරන්නියන් ද, අල්ලාහ් ඔවුනට පාපක්ෂමාව හා ඉමහත් වේතනයක් සූදානම් කොට ඇත. 16
16අල් කුර්ආනීය වාග් ශෛලියට අනුව පොදුවේ පුරුෂ ලිංග පද භාවිත වුවද එහි ස්ති්රන් ද අඩංගු වේ. නමුත් ස්ත්රීන්වද සුවිශේෂීව සඳහන් විය යුතු යැයි ඇතැම් සහාබිවරියන් පි්රය කළහ. මෙම ආයතය පහළ වූයේ එයට අනුකූලවය.
36

وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَن يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ ۗ وَمَن يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُّبِينًا

අල්ලාහ් ද ඔහුගේ රසූල්වරයා ද යම් කරුණක් තීන්දු කළේ නම් (කිසිදු) විශ්වාසිකයෙකුට හෝ (කිසිදු) විශ්වාසික කාන්තාවකට ඔවුන්ගේ කරුණෙහි මොවුන්ට (තම) මනාපය යොදා ගැනීමට අයිතියක් නොවීය. තවද කවරෙකු අල්ලාහ්ට ද ඔහුගේ රසූල්වරයාට ද පිටුපාන්නේ ද සැබැවින්ම ඔහු පැහැදිලි මුළාවක මුළා වන්නේය.
37

وَإِذْ تَقُولُ لِلَّذِي أَنْعَمَ اللَّهُ عَلَيْهِ وَأَنْعَمْتَ عَلَيْهِ أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَاتَّقِ اللَّهَ وَتُخْفِي فِي نَفْسِكَ مَا اللَّهُ مُبْدِيهِ وَتَخْشَى النَّاسَ وَاللَّهُ أَحَقُّ أَن تَخْشَاهُ ۖ فَلَمَّا قَضَىٰ زَيْدٌ مِّنْهَا وَطَرًا زَوَّجْنَاكَهَا لِكَيْ لَا يَكُونَ عَلَى الْمُؤْمِنِينَ حَرَجٌ فِي أَزْوَاجِ أَدْعِيَائِهِمْ إِذَا قَضَوْا مِنْهُنَّ وَطَرًا ۚ وَكَانَ أَمْرُ اللَّهِ مَفْعُولًا

තවද (නබිවරය,) අල්ලාහ් කවරෙකුට (ඉස්ලාමය මගින්) භාග්යය පිරිනැමුවේ ද තවද නුඹ (වහල්භාවයෙන් නිදහස් කිරීම මගින්) ඔහුට භාග්යය පිරිනැමුවේ ද ඔහුට(zසෙයිද්ට) 17 නුඹ (මෙසේ) පැවසූ අවස්ථාව (සිහිපත් කරවු. එනම්) “නුඹ නුඹගේ භාර්යාව (දික්කසාද නොකර) නුඹ වෙත රඳවා ගනිවු, තවද අල්ලාහ්ට බිය භක්තිමත් වවු.” තවද අල්ලාහ් කුමක් හෙළිදරව් කිරීමට ඇත්තේද එය (එනම් zසෙයිද් තම භාර්යාව දික්කසාද කළ පසු නුඹ ඇයව විවාහ කළ යුතුයි යන අල්ලාහ්ගේ තීරණය) නුඹ නුඹ තුළම සඟවා ගෙන සිටියේය. තවද නුඹ බිය වීමට ඉතා සුදුස්සා අල්ලාහ්ව සිටිය දී (ජනයින් මේ පිළිබඳව දොස් පවරයි යැයි) නුඹ ජනයින්ට බිය වන්නෙහිය. එබැවින් zසෙයිද් (විවාහ ජීවිතයේ) අවශ්යතාවන් වලින් ඇයගෙන් (දික්කසාද වී) මිදුනු කල්හි ඇයව අපි ඔබහට විවාහ කර දුන්නෙමු. (මන්දයත්) දරුකමට හදා වඩාගත් තමන්ගේ දරුවන් (විවාහ ජීවිතයේ) අවශ්යතාවන් වලින් තම භාර්යාවන්ගෙන් (දික්කසාද වී) මිදුනු කල්හි ඔවුන්ගේ(එම භාර්යාවන්ගේ) විෂයෙහි (ඔවුන්ව විවාහ කර ගැනීම) විශ්වාසිකයින්හට වරදක් නොවීම පිණිසය. තවද අල්ලාහ්ගේ නියෝගය සිදු කරනු ලබන්නේමය.
1717 ) මෙයින් අදහස් කරන්නේ මක්කාවාසී ප්රතික්ෂේපකයෙකුගේ භාරයේ වහලෙකු ලෙස සිටි zසෙයිද් ඉබ්නු හාරිසා තුමාණන් නම් සහාබිවරයා පිළිබඳවය. ඔහු ඉස්ලාමය වැලඳ ගත් පසු නබි මුහම්මද් තුමාණන් ඔහුව නිදහස් කර තමාගේ පුතෙකු ලෙස හදා වඩා ගත්තේය. නබි මුහම්මද් තුමාණන්ගේ ඥාතියෙකු වන zසෙයිනබ් තුමියව ඔහුට විවාහ කර දුන්නේය. එනමුත් ඔවුන් දෙදෙනාගේ විවාහ බන්ධනය යම් කාරණාවක් නිසා දිගු කලක් පැවතුණේ නැත. පසුව ඔහු ඇයව දික්කසාද කිරීමට සිතුවේය. එසේම මොහු දික්කසාද කළ විට ඇයව විවාහ කර ගන්නා මෙන් අල්ලාහ් නබි මුහම්මද් තුමාණන්ට අණ කරන ලදී. zසෙයිද් තුමාණන් ඇයව දික්කසාද කිරීම පිළිබඳව නබි මුහම්මද් තුමාට දැන්වූ විට තමාට අල්ලාහ් අණ කළ දෑ ගැන ඔහුට නොපවසා ඇය සමග ජීවත් වන මෙන් නබි මුහම්මද් තුමාණන් උපදෙස් කළේය. නබි මුහම්මද් තුමාණන් මෙසේ කිරීමට හේතු වූයේ අරාබිවරුන් තමන් විසින් හදා වඩා ගත් පුතාගේ බිරිය විවාහ කිරීම වැරදි යැයි සිතීමය. එහෙයින් නබි මුහම්මද් තුමාණන් zසෙයිනබ් තුමියව විවාහ කළේ නම් ඔහු විවේචනයට ලක් වේ යැයි ඔහු සිතුවේය. “තවද නුඹ බිය වීමට ඉතා සුදුස්සා අල්ලාහ්ව සිටිය දී (ජනයින් මේ පිළිබඳව දොස් නගයි යැයි) නුඹ ජනයින්ට බිය වන්නෙහිය” යන ආයතයෙන් අදහස් කරන්නේ ද මෙයයි. කෙසේ වෙතත් නබි මුහම්මද් තුමාණන් මෙහිදී අල්ලාහ්ගේ අණ වසන් කිරීමට තැත් කළා යනුවෙන් අදහස් කළ නොහැකිය. මන්දයත් ඔහු ඇයව විවාහ කිරීමට අණ කරනු ලැබුවේ ඇය දික්කසාද කරනු ලැබූ විට පමණී. එබැවින් ඇය zසෙයිද් තුමා විසින් දික්කසාද කරනු නොලැබිය යුතු යැයි ඔහු පැතුවේය. මෙම ආයතයෙන් පසුව zසෙයිද් තුමාට ඇයව දික්කසාද කිරීමට අනුමැතිය දී පසුව නබි මුහම්මද් තුමාණන් ඇයව විවාහ කර ගත්තේය.
38

مَّا كَانَ عَلَى النَّبِيِّ مِنْ حَرَجٍ فِيمَا فَرَضَ اللَّهُ لَهُ ۖ سُنَّةَ اللَّهِ فِي الَّذِينَ خَلَوْا مِن قَبْلُ ۚ وَكَانَ أَمْرُ اللَّهِ قَدَرًا مَّقْدُورًا

නබිවරයා) කෙරෙහි තමාට අල්ලාහ් නියම කළ දෑ (කිරීමෙ)හි කිසිදු වරදක් නැත. (මෙයට) පෙර වාසය කර ගියවුන්ගේ(නබිවරුන්ගේ) විෂයෙහි අල්ලාහ්ගේ පිළිවෙතක් වශයෙනි. තවද අල්ලාහ්ගේ නියෝගය නිර්ණය කරනු ලැබූ (පූර්ව) නිර්ණයකි.
39

الَّذِينَ يُبَلِّغُونَ رِسَالَاتِ اللَّهِ وَيَخْشَوْنَهُ وَلَا يَخْشَوْنَ أَحَدًا إِلَّا اللَّهَ ۗ وَكَفَىٰ بِاللَّهِ حَسِيبًا

(පෙර වාසය කර ගියවුන් වන) ඔවුහු අල්ලාහ්ගේ දූත මෙහෙවරයන් ප්රචාරය කර ඔහුට බිය වන්නන්ය. තවද අල්ලාහ් හැර වෙනත් කිසිවෙකුට ඔවුහු බිය නොවෙති. තවද (සියල්ලන්ගෙන් ඔවුන්ගේ කි්රයාවන්) ගණනය කිරීමට අල්ලාහ් ප්රමාණවත් විය.
40

مَّا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَـٰكِن رَّسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ ۗ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمًا

මුහම්මද් නුඹලාගේ පිරිමින් අතුරින් කිසිවෙකුගේ පියෙකු නොවීය. එනමුත් (ඔහු) අල්ලාහ්ගේ රසූල්වරයා ය. 18 තවද නබිවරුන්ගෙන් අවසානයා ය. 19 තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වඥ විය.
18නබි මුහම්මද් තුමාණන්ට ආත්ම වංචනිකයින් විසින් එල්ල කරනු ලැබූ අසත්යය චෝදනා දෙකක් මෙහිදී හෙළා දැක ඇත. පළමුවැන්න, නබි මුහම්මද් තුමාණන් තමාගේම පුතාගේ බිරියව විවාහ කර ගත්තේය යැයි ඔවුහු පැවසුවෝය. එතුමා zසෙයිද් තුමාව හදා වඩා ගත් නමුත් ඔහුගේ සැබෑ පියා නොවේ යැයි මෙම වැකිය පැහැදිලි කර ඇත. දෙවැන්න නබි මුහම්මද් තුමාණන්ගේ දූත මෙහෙයුම් ආරක්ෂා කිරීමට ඔහුට කිසිදු පුතෙකු නැත යැයි ඔවුහු පැවසුවෝය. ඔහු අවසාන දූතයා හා ඔහුට පසු කිසිදු දූතයෙකු පැමිණෙන්නේ නැත යැයි මෙම ආයතය පැහැදිලි කර ඇත. එසේම ඔහුගේ දූතත්වය ආරක්ෂා කිරීම අල්ලාහ්ගේ වගකීමක් විය. එබැවින් ඔහුට පුතුන් නොසිටිය ද ලොව අවසාන හෝරාව දක්වා ඔහුගේ අනුගාමිකයින් බිහි වී එය ආරක්ෂා කරනු ඇත.
1919 ) නබි මුහම්මද් තුමාණන්ගෙන් අනතුරුව නබිත්වය නිමා වූයේය යනු ඉස්ලාමීය ස්ථාවරයයි. එනම් නබි මුහම්මද් තුමාණන්ගෙන් පසු එතුමාගේ ස්වරූපයෙන් හෝ වෙනත් නබිවරයෙකු හෝ රසූල්වරයෙකු හෝ අල්ලාහ් ලොවට එවන්නේ නැත. යන්නෙන් සනාථ කරන අල් කුර්ආන් වැකි මෙන්ම නබි මුහම්මද් තුමාණන්ගේ ‘තවාතුර්’ ගණයට අයත් නබිවදන් බොහෝමයක් ඇත. “තවාතුර් ගණයට අයත්” යනු දැනුම් දෙන්නන්ගේ නොබිඳුනු වාර්තා පෙළකින් යුත් කිසිවකු විසින් ප්රතික්ෂේප කළ නොහැකි තරම් සාධක රාශියකින් සමන්විතව මුස්ලිම් විද්වත් සියලු දෙනා ඒකමතිකව පිළිගත් වාර්තාවන්ය. මෙවන් වාර්තාවන් ප්රතික්ෂේප කිරීම ඉස්ලාමය ප්රතික්ෂේප කරන්නෙකුගේ සළකුණකි. අල් කුර්ආනයේ සෑම ආයතයක්ම මෙම “තවාතුර්” වාර්තාවන් අනුව ගොණු කරනු ලැබූ හෙයින් එහි සත්යතාව කිසිදු සැකයකින් තොරව සියලු දෙනා පිළිගනිති. මෙලෙසම “නබිත්වයේ සමාප්තිය” නබි මුහම්මද් තුමාණන්ගෙන් නිමාවන බව ‘තවාතුර්’ ගණයට අයත් නබිවදන් මගින් සනාථ වන හෙයින් ඒ පිළිබඳව සුළු සැකයක් හෝ මතු වූයේ නම් ඔහු ඉස්ලාමීය ප්රතිපත්තිය තුළින් බැහැර වන්නේය. එනමුත් මිථ්යා නබිවරුන් පවසන්නේ නබි මුහම්මද් තුමාණන්ට දුන් එම දෙසුම් තමාට ද අල්ලාහ් විසින් දුන් ලද බවයි. මෙය කිසිදු තේරුමක් නැති තර්කයකි. මෙසේ අලුත් නබිවරයෙකු ලොවට එවීම දිව්යමය කෝණයකින් ද නිෂ්ඵල කාරියක් වන අතර අල් කුර්ආන් ආයතයන් හා නිර්දේශ අනුව මෙන්ම හදීස් සම්හාරය දෙස බලන කල අල්ලාහ් එවැනි නිෂ්ඵල දේ කිරීමෙන් සුවිශුද්ධය. මන්දයත් නබි මුහම්මද් තුමාණන්ට නොදෙන ලද දැනුමක් මෙම නව නබිවරයෙකුට අල්ලාහ් විසින් පිරිනමන්නේ නම් නබි මුහම්මද් තුමාණන් හරහා ලොවට පහළ කරන ලද ධර්මය සුළු කොට සැළකීමේ තත්ත්වයක් හා එය අසම්පූර්ණ යැයි සැලකුවා මෙනි. තවද අල් කුර්ආන්හි “මෙදින ඔබගේ ධර්මය අප පරිපූර්ණ කර ඇත්තෙමු” යන ආයතයේ අගය සුළු කොට තැකුවා නම් වනු ඇත. එසේ ගත් කල මෙම අල් කුර්ආන් ආයතය ( 5:3 ) අර්ථ ශුන්යය එක්ක වනු ඇත. නබි මුහම්මද් තුමාණන් පැවසූ බව සව්බාන් තුමාණන් දන්වා සිටියි. “මගේ ජනයා අතර මුසාවාදීන් තිස් දෙනෙකු උපදිනු ඇති අතර ඔවුන් සෑම කෙනෙකුම තමා නබිවරයෙකු යැයි කියනු ඇත. එනමුත් අවසාන නබිවරයා මා වෙමි. මගෙන් පසු කිසිදු නබිවරයෙක් පැමිණෙන්නේ නැත.” (ග්රන්ථය : අබූ දාවුද් සහ තිර්මිදී) නබි මුහම්මද් තුමාණන්ගේ වියෝවෙන් පසුව මෙවන් ව්යාජ නබිවරුන් කිහිප දෙනෙකු බිහි වී තමන් නබිවරුන් යැයි තර්ක කළෝය. එහෙත් මෙවන් ව්යාජ මතවාදීන්ගෙන් පිවිතුරු ඉස්ලාමය ආරක්ෂා කරලීම සඳහා සහාබිවරුන් නොයෙක් අන්දමින් සටන් වැදුනහ. එමෙන්ම මෙකල පවා එවන් මිථ්යා මතවාදීන් බිහිවන්නේ නම් ඔවුන්ගෙන් ඉස්ලාමීය ප්රතිපත්තීන් ආරක්ෂා කරලීම මුස්ලිම් අපගේ ඉමහත් වගකීමක් වනු ඇත.
41

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرًا كَثِيرًا

විශ්වාස කළවුනි, නුඹලා අධික මෙනෙහි කිරීමකින් අල්ලාහ්ව මෙනෙහි කරවු.
42

وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا

තවද උදෑසන හා සවස නුඹලා ඔහුව පිවිතුරු කරවු.
43

هُوَ الَّذِي يُصَلِّي عَلَيْكُمْ وَمَلَائِكَتُهُ لِيُخْرِجَكُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۚ وَكَانَ بِالْمُؤْمِنِينَ رَحِيمًا

ඔහුමය නුඹලාව (ප්රතික්ෂේපය නම්) අන්ධකාරයෙන් (විශ්වාසය නම්) ආලෝකය වෙත පිට කිරීම පිණිස ඔහු නුඹලා වෙත ආශිර්වාද කරනුයේ. තවද මලක්වරුන් ද (නුඹලාට පාප ක්ෂමා ඇයැදින්නෝය). තවද ඔහු විශ්වාසවන්තයින් කෙරෙහි කරුණාභරිත විය.
44

تَحِيَّتُهُمْ يَوْمَ يَلْقَوْنَهُ سَلَامٌ ۚ وَأَعَدَّ لَهُمْ أَجْرًا كَرِيمًا

ඔවුන් ඔහුව(අල්ලාහ්ව) මුණ ගැසෙන දින ඔවුන්ගේ සුබපැතුම වන්නේ ‘සලාමය’(ශාන්තිය)යි. 20 තවද ඔහු ඔවුනට ගෞරවනීය වේතනයක් (ස්වර්ගයෙහි) සූදානම් කර ඇත.
20එනම් ස්වර්ගයේ ඔවුන්ව අල්ලාහ් ‘අස්සලාමු අලෙයිකුම්’ (ඔබට ශාන්තිය අත් වේවා) යැයි ආචාර කරනු ඇත. හුදෙක් අල්ලාහ්ගෙන් ලබන මෙම ආචාරය පමණක් එදින ඉමහත් ගෞරවයක් යැයි සැලකේ.
45

يَا أَيُّهَا النَّبِيُّ إِنَّا أَرْسَلْنَاكَ شَاهِدًا وَمُبَشِّرًا وَنَذِيرًا

නබිවරය, සැබැවින්ම අපි නුඹව සාක්ෂිකරුවෙකු 21 ලෙස ද ශුභාරංචි පවසන්නෙකු ලෙස ද අවවාද කරන්නෙකු ලෙස ද එව්වෙමු.
2121 ) මෙලොවෙදී නබි මුහම්මද් තුමාණන්ව අනුගමනය කළවුන්ට විනිශ්චය දිනයේ දී එතුමා සාක්ෂිකරුවෙකු වනු ඇත.
46

وَدَاعِيًا إِلَى اللَّهِ بِإِذْنِهِ وَسِرَاجًا مُّنِيرًا

තවද අල්ලාහ් වෙත ඔහුගේ අනුමැතියෙන් (ජනයාව) කැඳවන්නෙකු ලෙස ද (යහමග පෙන්වන) ප්රභාමත් පහනක් ලෙස ද (අපි නුඹව එව්වෙමු).
47

وَبَشِّرِ الْمُؤْمِنِينَ بِأَنَّ لَهُم مِّنَ اللَّهِ فَضْلًا كَبِيرًا

තවද (නබිවරය,) සැබැවින්ම මහත් වූ වරප්රසාදයක් ඔවුනට අල්ලාහ්ගෙන් ඇති බව නුඹ විශ්වාසිකයින්ට ශුභාරංචි පවසවු.
48

وَلَا تُطِعِ الْكَافِرِينَ وَالْمُنَافِقِينَ وَدَعْ أَذَاهُمْ وَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ وَكَفَىٰ بِاللَّهِ وَكِيلًا

තවද ප්රතික්ෂේපකයින්ට ද ආත්ම වංචනිකයින්ට ද නුඹ අවනත නොවවු. (නුඹට ඇති වන) ඔවුන්ගේ හිංසනයන් (ගණන් නොගෙන) අත හැර දමවු. තවද නුඹ අල්ලාහ් කෙරෙහිම (සියල්ල) භාර කරවු. භාරකරුවෙකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත් විය.
49

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نَكَحْتُمُ الْمُؤْمِنَاتِ ثُمَّ طَلَّقْتُمُوهُنَّ مِن قَبْلِ أَن تَمَسُّوهُنَّ فَمَا لَكُمْ عَلَيْهِنَّ مِنْ عِدَّةٍ تَعْتَدُّونَهَا ۖ فَمَتِّعُوهُنَّ وَسَرِّحُوهُنَّ سَرَاحًا جَمِيلًا

විශ්වාස කළවුනි, විශ්වාසවන්ත ස්ත්රීන්ව නුඹලා විවාහ කර පසුව නුඹලා ඔවුන්ව ස්පර්ශ කිරීමට(ලිංගිකව සම්බන්ධ වීමට) පෙර 22 ඔවුන්ව දික්කසාද කළේ නම් (දික්කසාද කරනු ලැබූ අන් ස්තී්රන්ට මෙන්) නුඹලා එය ගණනය කරන පොරොත්තු කාලයක් ඔවුන්(භාර්යාවන්) කෙරෙහි (නියම කිරීමට) නුඹලාට (අයිතියක්) නැත. එබැවින් නුඹලා ඔවුන්ට (ගෙවිය යුතු නියමිත) යැපීම් දීමනා ලබා දෙවු. තවද නුඹලා අලංකාර මුදවා හැරීමකින් (දික්කසාද කර) ඔවුන්ව මුදවා හරිවු.
22විවාහයෙන් පසු සංසර්ගයේ යෙදීමට පෙර දික්කසාද කරනු ලැබූ ස්ත්රියට ‘ඉද්දා’ හෙවත් පොරොත්තු කාලයක් බලාපොරොත්තුවෙන් සිටීම අවශ්ය නැත යැයි මෙම ආයතය තුළින් පැහැදිලි කරනු ලැබී ඇත. අල් කුර්ආන් 2:234 හි පාද සටහනෙහි නොයෙක් වර්ගයේ ‘ඉද්දා’ නීති රීතීන් පිළිබඳව සඳහන් වී ඇත.
50

يَا أَيُّهَا النَّبِيُّ إِنَّا أَحْلَلْنَا لَكَ أَزْوَاجَكَ اللَّاتِي آتَيْتَ أُجُورَهُنَّ وَمَا مَلَكَتْ يَمِينُكَ مِمَّا أَفَاءَ اللَّهُ عَلَيْكَ وَبَنَاتِ عَمِّكَ وَبَنَاتِ عَمَّاتِكَ وَبَنَاتِ خَالِكَ وَبَنَاتِ خَالَاتِكَ اللَّاتِي هَاجَرْنَ مَعَكَ وَامْرَأَةً مُّؤْمِنَةً إِن وَهَبَتْ نَفْسَهَا لِلنَّبِيِّ إِنْ أَرَادَ النَّبِيُّ أَن يَسْتَنكِحَهَا خَالِصَةً لَّكَ مِن دُونِ الْمُؤْمِنِينَ ۗ قَدْ عَلِمْنَا مَا فَرَضْنَا عَلَيْهِمْ فِي أَزْوَاجِهِمْ وَمَا مَلَكَتْ أَيْمَانُهُمْ لِكَيْلَا يَكُونَ عَلَيْكَ حَرَجٌ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا

නබිවරය, නුඹ කවරෙකුට ඔවුන්ගේ මහ්ර්(විවාහ බන්ධන කුලිය) 23 පිරිනැමුවේ ද නුඹගේ එම භාර්යාවන් ද (යුද්ධයේ දී) නුඹ කෙරෙහි අල්ලාහ් පිරිනැමූ දෑ අතුරින් නුඹගේ දකුණත සතු කර ගත් (වහල්) අයව 24 ද නුඹ සමග දේශාන්තරණය කළ නුඹගේ පියාගේ සහෝදරයාගේ දියණියන්ව ද නුඹගේ පියාගේ සහෝදරියන්ගේ දියණියන්ව ද නුඹගේ මවගේ සහෝදරයාගේ දියණියන්ව ද නුඹගේ මවගේ සහෝදරියන්ගේ දියණියන්ව ද සැබැවින්ම අපි නුඹට (විවාහ කර ගැනීමට) අනුමැතිය දී ඇත්තෙමු. 25 තවද විශ්වාසික කාන්තාවක් (මහ්ර් නොමැතිව විවාහ කර ගැනීමට) තමන්ව නබිවරයාට පරිත්යාග කර නබිවරයා ද ඇයව විවාහ කර ගැනීමට අපේක්ෂා කළේ නම් (ඇයව ද අපි නුඹට විවාහ කර ගැනීමට අනුමැතිය දී ඇත්තෙමු. මෙය) විශ්වාසිකයින්ට නොව නුඹට (පමණක්) විශේෂිත වූවක් වශයෙනි. (විශ්වාසිකයින්ට අනිවාර්යය වූ නීති රීති නුඹට ද පැනවීම මගින්) නුඹ කෙරෙහි අපහසුතාවක් ඇති නොවීම පිණිස (විශ්වාසිකයින්ට) ඔවුන්ගේ භාර්යාවන්ගේ හා ඔවුන්ගේ දකුණත සතු කර ගත් (වහල්) අයගේ විෂයෙහි ඔවුන් කෙරෙහි අපි අනිවාර්යය කළ දෑ සැබැවින්ම අපි දනිමු. තවද අල්ලාහ් අති ක්ෂමාශීලී පරම කරුණාභරිත විය.
2323 ) විවාහ නීති රීතීන් අතුරින් පොදුවේ මුස්ලිම්වරුන් හැර නබි මුහම්මද් තුමාණන්ට පමණක් සුවිශේෂී වූ ඇතැම් රීතීන් මෙම සූරාවේ 50 වන ආයතය හා 51 වන ආයතයෙහි සඳහන් වී ඇත. 1- පොදුවේ මුස්ලිම්වරුන්ට එක් අවස්ථාවකදී විවාහ වී සිටිය හැක්කේ ස්තී්රන් හතර දෙනෙකි. එනමුත් නබි මුහම්මද් තුමාණන්ට එයට වඩා අධිකව විවාහ වී සිටීමට ද අනුමැතිය තිබුණි. 2- යම් ස්ති්රයකු නබි මුහම්මද් තුමාණන්ව විවාහ කිරීමේ කැමැත්ත දැක්වුවහොත් ඇයට ‘මහ්ර්’ (නම් පුරුෂයා විසින් බිරියට අනිවාර්යයෙන් දිය යුතු දීමනාව) නොදී ඔහුට ඇයව විවාහ කළ හැකිව තිබුණි. කෙසේ වෙතත් නබි මුහම්මද් තුමාණන් කිසි විටෙක මෙසේ කර නැත. 3- කවුරුන්හට එක් භාර්යාවකට වඩා වැඩියෙන් සිටින්නේ ද ඔවුන් තම භාර්යාවන් අතර එක හා සමානව කටයුතු කළ යුතුය. වියදම මෙන්ම ඔවුන් අතර රැඳී සිටින රාති්රය ද සමානව තිබිය යුතුය. එහෙත් නබි මුහම්මද් තුමාණන්ට මෙසේ ඔවුන් අතර රැඳී සිටීමෙහි සාධාරණව සිටීම අනිවාර්යය නොවීය. ‘(නබිවරය,) ඔවුන්ගෙන්(නුඹගේ භාර්යාවන්ගෙන්) නුඹ අභිමත කරන අයව (එනම් ඇයට වෙන් කරන වාරය) නුඹට කල් දැමීමට හැක. නුඹ අභිමත කරන අයව නුඹ සමග රඳවා ගත හැක’ යන වැකියෙන් අදහස් කරන්නේ ද මෙයයි. මෙම විෂයෙහි ද නබි මුහම්මද් තුමාණන් කිසි විටෙක තමාගේ වාසියට අනුව කටයුතු කළේ නැත. 4- නබි මුහම්මද් තුමාණන් තම ඥාතී ස්ත්රියක් විවාහ වන්නේ නම් එතුමන්ට අනුමැතිය ඇත්තේ, මක්කාවේ සිට මදීනාවට දේශාන්තරණය කළ ස්තී්රන් පමණි. 5- පොදුවේ මුස්ලිම්වරුන්ට සැබෑ යුදෙව් හා කිතුනු ස්තී්රන් විවාහ කිරීමට අනුමැතිය තිබුණ ද නබි මුහම්මද් තුමාණන්ට මෙය තහනම් කරන ලදී.
24වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 4:3 හි පාද සටහන් සමග බලන්න.
2525 ) නබි මුහම්මද් තුමාණන් සමස්ත ලොවැසියන් හට අල්ලාහ් වෙතින් වූ දයාවක් ලෙස යවනු ලැබූ නබිවරයෙකි. අනෙකුත් නබිවරුන් මෙන් මෙතුමාණන්ගේ ද වගකීම වූයේ ලොවැසියන්ගේ පරමාධිපති අල්ලාහ් පිළිබඳව ඔවුනට හඳුන්වා දී ඔවුනට චිත්ත පාරිශුද්ධිය වෙත මග පෙන්වා අල්ලාහ්ගේ ධර්ම ග්රන්ථය වන අල් කුර්ආනය හා එහි ඇති දෑ උගන්වා දීමය. සමස්ත ලොවැසියන්ගේ යහමග උදෙසා මෙවැනි මෙහෙයක් සඳහා අල්ලාහ් විසින් තෝරාගනු ලැබූ නබිවරුන්ව අල්ලාහ් විසින්ම සියලු පාපකර්මයන් හා වැරදි සිතුවිලි වලින් ආරක්ෂා කරනු ලැබ ඇති බව ඉස්ලාමීය ප්රතිපත්තීන් පිළිබඳව නිවැරදි දැනුමැති සෑම කෙනෙකුටම පැහැදිලි වූ කරුණකි. නබි මුහම්මද් තුමාණන් බහු භාර්යාවන් විවාහ වීම හේතුවෙන් සමූහයා ලද අධ්යාපනික හා ආගමික ප්රයෝජන නිම කළ නොහැකි තරම්ය. එනම් : කාන්තාවන් සම්බන්ධ බොහෝ විෂයන්හි ආගමික දැනුම එතුමාණන්ගෙන් සමූහයාට ලැබීමට ප්රධාන මාර්ගයක් වූයේ එතුමාණන්ගේ බිරියන්ය. පවුල් ජීවිතය ගොඩනැගීම, බිරියන් හා දරුවන් සමග කටයුතු කිරීම යනාදී සියලු ආචාරයන් පිළිබඳව ආගමික දැනුම සමූහයාට ලැබුණේ එතුමාණන්ගේ බිරියන් මාර්ගයෙන්ය. මෙලෙස හදීසයන් වාර්තා කිරීම හේතුවෙන් ඉස්ලාමීය අධ්යාපනයට විශාල කාර්ය භාරයක් සිදු වූයේ එතුමාණන්ගේ භාර්යාවන් මාර්ගයෙන්ය. ඉහත සඳහන් විෂයන් සැලකිල්ලට ගත් කල බහු භාර්ය විවාහයට එළඹීමට එතුමාණන්ට අවශ්යව තිබූ හෙයින්, එතුමාණන් විවාහයන් කිහිපයක් කර ගත් අතර ‘එතුමාණන් කර ගත් කිසිඳු විවාහයක් හෝ තම කාමාශාවන්ට අනුව නොවීය.’ යන්නට බොහෝ කරුණු පැහැදිලි සාක්ෂීන් ලෙස තිබුණ ද ඒවායින් සමහරක් පහත උපුටා දක්වා ඇත. 1- එතුමාණන්ගේ 25 වන වියේදී කදීජා තුමිය නමැති වයස අවුරුදු 40 ක් පමණ වූ වැන්දඹු කාන්තාවක් සමග තම පළමු විවාහය සිදු විය. එතුමාණන් හට නබිත්වය පිරිනමනු ලැබුවේ තම 40 වන වියේ දීය. එතුමාණන් එතුමිය සමග නබිත්වයට පෙර අවුරුදු 15 ක කාලයක් හා නබිත්වය ලැබීමෙන් පසු අවුරුදු 10 ක කාලයක් දක්වා, අවුරුදු 25 ක් ජීවත් වී ඇත. එතුමියට තම පෙර ස්වාමි පුරුෂයාගෙන් ලැබූ දරුවන්ව ද රැක බලා ගත්තේ මෙතුමාණන්ය. මෙතුමාණන් තම යෙෘවන වියේ සිට තම 50 වන විය දක්වා වූ කාලයක් ගත කළේ තම එකම භාර්යාවක් වන එම කදීජා තුමිය සමගය. ඔහු වෙනත් විවාහයකට එළඹුණේ ඇය මරණයට පත් වූවායින් පසුවය. 2- නබි මුහම්මද් තුමාණන්ව මක්කා වැසියන්, සත්යවන්තයෙකු හා විශ්වාසවන්තයෙකු ලෙස පිළිගත් නමුත් ඔහුට නබිත්වය ලැබ ඔහු තම දූත මෙහෙය ජනයින් අතර පටන් ගත් විට එම ජනයින්ම ඔහුව කවියා, උමතුවා, හූනියම්කරුවා, බොරුකාරයා යන විවිධ නාමයන් තුළින් ඇනුම් පද පවසන්නට වූහ. එනමුත් ඔහු පිළිබඳව ඔවුනතර තිබූ යහ නාමයට හා විශ්වාසවන්ත භාවයට කිසිදු කැළලක් නොවී රඳා පැවතුණි. එතුමාණන් තම මුළු යෞවන වියම ගත කළේ තම පළමු භාර්යාව වන කදීජා තුමිය සමගය. මෙම ජීවිතය ගෙවී ගියේ මක්කාවෙහි තමන්ට එරෙහිව ඇනුම් පද පවසමින් සිටි සතුරන් වන ‘කුරෙයිෂ්’ ගෝති්රකයින් ඉදිරියේදීය. එනමුත් ඔවුන්ගෙන් කිසිවෙකුටත් එතුමාණන්ගේ පිවිතුරුභාවයට කැළලක් ඇති වන අයුරින් චෝදනාවක් නැගීමට කිසිදු සාධකයක් නොතිබුණු බව ද එතුමාණන් එසේ නොහැසිරුණු බව ද ඔවුන්ම හොඳින් දැන සිටියෝය. එතුමාණන්ගේ පරම සතුරන් ලෙස සිටියවුන් පවා එතුමාණන් හට මෙවැනි චෝදනාවක් එල්ල කළ බව ඉතිහාසයෙහි කොතැනකවත් සඳහන් වී නොමැත. 3- නබි මුහම්මද් තුමාණන් විවාහයන් 11 ක් ගිවිස ගෙන ඇත. එනම් තම 50 වන විය දක්වා තම පවුල් ජීවිතය ගත කළේ එකම භාර්යාවක් සමගය. ඇයගේ වියෝවයෙන් පසුව සව්දා තුමිය සමග විවාහ වී ඇය සමග අවුරුදු හතරක් හෝ පහක් පමණ කාලයක් ජීවත් වූහ. මෙම සමූහයට එකවර වැඩිම වශයෙන් භාර්යාවන් හතර දෙනෙකු සමග ජීවත් විය හැකිය යන අනුමැතිය ලැබුණු විටදී එතුමාණන්ට හතර දෙනෙකු විවාහ කර ගැනීමට හැකි වී තිබුණු නමුත් එතුමාණන් එලෙස නොකළහ. පසුව එතුමාණන් හට භාර්යාවන් හතර දෙනෙකු එකවර සිටියේ තම 58 වන වියේ දීය. මේ අතරතුර ඔවුන්ගෙන් ඇතැම් භාර්යාවන් මරණයට පත් වූ පසුව අවුරුදු දෙක තුනක කාලයක් තුළ අනෙකුත් භාර්යාවන් සමග ඔහු විවාහ විය. එතුමාණන්ට එකවර භාර්යාවන් 11 දෙනෙකු නොසිටි බව මෙයින් මනා පැහැදිලි වන්නේය. අප අවධානය යොමු කළ යුතු තවත් කරුණක් නම්, එතුමාණන්ගේ භාර්යාවන් අතුරින් ඔහු සමග විවාහ වන විටදී කන්යාවියක් වූයේ ආයිෂා තුමිය පමණි. එතුමාණන් සමග ජීවත් වූ අනෙකුත් සියලු භාර්යාවන් පුරුෂයින් අහිමි වූවන්ය. එතුමාණන් මෙපමණ විවාහ වූයේ කාමාශාව පදනම් කරගෙන නම් එතුමාණන් තම මුළු යෞවනයම වැන්දඹු කාන්තාවකගේ ජීවිතය වෙනුවෙන්ම කැප කළේ මන්දැ?යි ප්රහේළිකාවකි. 4- එකල පටන් පිරිමි හා කාන්තා සියලු මුස්ලිම්වරුන් නබි මුහම්මද් තුමාණන් සමග තම ප්රාණයටත් වඩා සෙනෙහස දක්වන්නන් වූහ. එහෙයින් එතුමාණන් ආශා කළේ නම්, තම භාර්යාවන් සඳහා කන්යාවියන් පමණක් තෝරා ගන්නට තිබුණි. එනමුත් එතුමාණන් එසේ නොකර පුරුෂයින් අහිමි වූ තම භාර්යාවන් වෙනුවෙන් තම ජීවිතය කැප කර ලොවැසියන්ට වැන්දඹුවන්ගේ විෂයෙහි මග පෙන්වීමක් වනු පිණිස ආදර්ශමත් උදාර පුද්ගලයෙකු විය. 5- නබි මුහම්මද් තුමාණන්ගේ භාර්යාවන්ගෙන් ඇතැමුන් මරණයට පත් වී නව දෙනෙකු පමණක් සිටින විට ‘(නබිවරය,) මින් පසුව (වෙනත්) ස්ත්රීන් (විවාහ කර ගැනීමට) හෝ (නුඹගේ භාර්යාවන්ව දික්කසාද කර) වෙනත් භාර්යාවන්ව ඔවුන් වෙනුවෙන් (විවාහ කර) මාරු කර ගැනීමට හෝ නුඹට අනුමැතිය නැත.’ යන ආයතය (අල් කුර්ආන් 33:52 ) අල්ලාහ් පහළ කොට භාර්යාවන් ගණන එතුමාණන්ට සීමා කර ඇත. එතුමාණන් පිළිබඳව පහළ වූ මෙම අල් කුර්ආන් ආයතය ජනයින්ගෙන් නොසඟවා හෙළ කිරීමෙන් එතුමාණන් තම සියලු ක්රියාවන් අල්ලාහ්ගේ විධානයට අනුකූලව මිස සිදු නොකළ බව මනාව පැහැදිලි වන්නේය. 6- ඉහත සඳහන් පරිදි සෑම නබිවරයෙකුම අල්ලාහ් විසින් සියලු පාපකර්මයන් හා වැරදි සිතුවිලි වලින් ආරක්ෂා කරනු ලැබූවන්ය. තවද ඔවුන් අල්ලාහ්ගෙන් වූ වහී නැමැති දේව පණිවිඩයට අනුව මිස ඊට පටහැණිව කිසිදු ක්රියාවක් නොකරන්නෝමය. 7- තවද මෙම සියලු විවාහයන් පිටුපස ඉන් එකිනෙකට ආවේණික විශේෂිත තියුණු ප්රඥාවෙන් යුත් කරුණු අඩංගු බව ඉස්ලාමීය විද්වතුන් පැහැදිළිව පෙන්නුම් කර දී ඇත.
51

تُرْجِي مَن تَشَاءُ مِنْهُنَّ وَتُؤْوِي إِلَيْكَ مَن تَشَاءُ ۖ وَمَنِ ابْتَغَيْتَ مِمَّنْ عَزَلْتَ فَلَا جُنَاحَ عَلَيْكَ ۚ ذَٰلِكَ أَدْنَىٰ أَن تَقَرَّ أَعْيُنُهُنَّ وَلَا يَحْزَنَّ وَيَرْضَيْنَ بِمَا آتَيْتَهُنَّ كُلُّهُنَّ ۚ وَاللَّهُ يَعْلَمُ مَا فِي قُلُوبِكُمْ ۚ وَكَانَ اللَّهُ عَلِيمًا حَلِيمًا

(නබිවරය,) ඔවුන්ගෙන්(නුඹගේ භාර්යාවන්ගෙන්) නුඹ අභිමත කරන අයව (එනම් ඇයට වෙන් කරන වාරය) නුඹට කල් දැමීමට හැක. නුඹ අභිමත කරන අයව නුඹ සමග රඳවා ගත හැක. තවද නුඹ (කල් දමා තාවකාලිකව) ඈත් කළ අය අතුරින් කවරෙකුව (නැවත ළඟා කර ගැනීමට) අපේක්ෂා කරන්නේද එවිට (එය) නුඹ කෙරෙහි වරදක් නොවන්නේය. එය ඔවුන්ගේ දෑස් පිනවීමට ද ඔවුන් දුකට පත් නොවී සිටීමට ද නුඹ ඔවුන් සියලු දෙනාට පිරිනැමූ දැයින් ඔවුන් තෘප්තිමත් වීමට ද ඉතා සමීපය. 26 තවද අල්ලාහ් නුඹලාගේ හදවත්හි ඇති දෑ දන්නේය. තවද අල්ලාහ් සර්වඥ පරම දයාබරය.
26නබි මුහම්මද් තුමාණන්ගේ භාර්යාවන් අතර සාධාරණව කටයුතු කිරීම ඔහුට අනිවාර්යය නොවූව ද ඔහු සාධාරණව කටයුතු කරනු ඇත යැයි අල්ලාහ් දන්නේය. අල්ලාහ් විසින් අනිවාර්යය වී ඔවුන් අතර එක හා සමානව සිටීමට වඩා එය අනිවාර්යය නොවී තිබිය දී ඔවුන් අතර එක හා සමානව සිටීම ඔවුන්ගේ තෘප්තිය හා සතුට අධික වීමට කාරණාවක්ව තිබුනි.
52

لَّا يَحِلُّ لَكَ النِّسَاءُ مِن بَعْدُ وَلَا أَن تَبَدَّلَ بِهِنَّ مِنْ أَزْوَاجٍ وَلَوْ أَعْجَبَكَ حُسْنُهُنَّ إِلَّا مَا مَلَكَتْ يَمِينُكَ ۗ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ رَّقِيبًا

(නබිවරය,) මින් පසුව නුඹගේ දකුණත සතු කර ගත් (වහල්) අය (සතු කර ගැනීම) මිස (වෙනත්) ස්ත්රීන් (විවාහ කර ගැනීමට) නුඹට අනුමැතිය නැත. ඔවුන්ගේ(වෙනත් ස්ත්රීන්ගේ) රූපාලංකාරය නුඹව මවිතයට පත් කළ ද ඔවුන් වෙනුවෙන් (නුඹගේ) භාර්යාවන්ව (දික්කසාද කර ඔවුන්ව සමග විවාහ වී) මාරු කර ගැනීමට ද නුඹට (අනුමැතිය) නැත. 27 තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි නිරීක්ෂාකාරී විය.
2727 ) මෙම ආයතයෙන් අදහස් වන්නේ නබි මුහම්මද් තුමාණන්ට ඒ වන විට ඔහු විවාහ කර ඇති බිරියන්ට වඩා මින්පසු විවාහ කිරීමට අනුමැතිය නැති බවයි. මෙම සූරාවෙහි 28 වන අයතයෙහි පාද සටහනෙහි සඳහන් වී ඇති අයුරින් ඔවුන් ලෞකික සම්පතට වඩා නබි මුහම්මද් තුමාණන්ගේ භාර්යාව යන පදවිය දැරීම ඔවුන් තෝරා ගත් බැවින් අල්ලාහ් ඔවුන්ව අගය කොට සැලකීම පිණිස මෙසේ පවසා ඇත.
53

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَدْخُلُوا بُيُوتَ النَّبِيِّ إِلَّا أَن يُؤْذَنَ لَكُمْ إِلَىٰ طَعَامٍ غَيْرَ نَاظِرِينَ إِنَاهُ وَلَـٰكِنْ إِذَا دُعِيتُمْ فَادْخُلُوا فَإِذَا طَعِمْتُمْ فَانتَشِرُوا وَلَا مُسْتَأْنِسِينَ لِحَدِيثٍ ۚ إِنَّ ذَٰلِكُمْ كَانَ يُؤْذِي النَّبِيَّ فَيَسْتَحْيِي مِنكُمْ ۖ وَاللَّهُ لَا يَسْتَحْيِي مِنَ الْحَقِّ ۚ وَإِذَا سَأَلْتُمُوهُنَّ مَتَاعًا فَاسْأَلُوهُنَّ مِن وَرَاءِ حِجَابٍ ۚ ذَٰلِكُمْ أَطْهَرُ لِقُلُوبِكُمْ وَقُلُوبِهِنَّ ۚ وَمَا كَانَ لَكُمْ أَن تُؤْذُوا رَسُولَ اللَّهِ وَلَا أَن تَنكِحُوا أَزْوَاجَهُ مِن بَعْدِهِ أَبَدًا ۚ إِنَّ ذَٰلِكُمْ كَانَ عِندَ اللَّهِ عَظِيمًا

විශ්වාස කළවුනි, භෝජනයකට නුඹලාට අනුමැතිය ලැබ මිස නබිවරයාගේ නිවෙස් තුළට නුඹලා ඇතුළු නොවවු. එය සූදානම් වීම බලාපොරොත්තු වීමෙන් තොරව( වේලාසනින් නුඹලා ඇතුළු නොවවු). නමුත් නුඹලාව කැඳවනු ලැබුවේ නම් එවිට නුඹලා ඇතුළු වවු. තවද නුඹලා (භෝජනය) අනුභව (කර අවසන්) කළේ නම් එවිට නුඹලා සම්භාෂණයක් වෙනුවෙන් උනන්දු නොවූවන් ලෙස නුඹලා (එහි සිට) විසිර (පිට වී) යවු. 28 සැබැවින්ම එය(එසේ රැඳී සිටීම) නබිවරයාට පීඩාවක් වනු ඇත. එබැවින් ඔහු නුඹලා වෙත (එය පැවසීමට) ලැජ්ජාශීලී වන්නේය. (නමුත්) අල්ලාහ් සත්යය( හෙළිදරවු කිරීම)ට ලැජ්ජාශීලී නොවන්නේය. තවද නුඹලා (නබිවරයාගේ භාර්යාවන් වන) ඔවුන්ගෙන් යම් දෙයක් ඉල්ලන්නේ නම් නුඹලා තිරයක් පිටුපස සිට ඔවුන්ගෙන් ඉල්ලවු. එය නුඹලාගේ හදවත් වලට ද ඔවුන්ගේ හදවත් වලට ද ඉතා පිවිතුරුය. තවද අල්ලාහ්ගේ රසූල්වරයාට නුඹලා පීඩා ඇති කිරීම ද ඔහුට පසුව ඔහුගේ භාර්යාවන් කිසිවිටෙක නුඹලා විවාහ කර ගැනීම ද නුඹලාට (අනුමැතිය) නැත. සැබැවින්ම එය අල්ලාහ් අබියස මහඟු (පාපයක්) වනු ඇත.
2828 ) නබි මුහම්මද් තුමාණන් zසෙයිනබ් තුමියව විවාහ කළ විට සහාබිවරුන් කිහිප දෙනෙකුව ‘වලීමා’ නම් විවාහ සංග්රහයට කැඳෙව්වේය. ආහාර පාන බෙදා සියල්ල අනුභව කළාට පසුව ඇතැම් සහාබිවරුන් නබි මුහම්මද් තුමාණන්ගේ නිවසෙහි දිගු වේලාවක් කථාබහ කරමින් සිටියෝය. එවිට නබි තුමාණන් කාර්යය බහුලව සිටි නිසා මෙය ඔහුට මදක් අපහසු විය. එහෙත් ආගන්තුකයින්ව හැර යෑමට හෝ ඔවුන්ට යන මෙන් ඉල්ලා සිටීමට ද ඔහු ප්රිය කළේ නැත. ආගන්තුකයින් තමාව ආරාධනා කළවුන්ගේ නිවසෙහි කෙසේ කටයුතු කළ යුතු යන ආචාරධර්මය මෙම ආයතය තුළින් පැහැදිලි කරනු ලැබී ඇත.
54

إِن تُبْدُوا شَيْئًا أَوْ تُخْفُوهُ فَإِنَّ اللَّهَ كَانَ بِكُلِّ شَيْءٍ عَلِيمًا

යම් දැයක් නුඹලා හෙළි කළද නැතහොත් නුඹලා එය සැඟවුව ද එවිට සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වඥ විය.
55

لَّا جُنَاحَ عَلَيْهِنَّ فِي آبَائِهِنَّ وَلَا أَبْنَائِهِنَّ وَلَا إِخْوَانِهِنَّ وَلَا أَبْنَاءِ إِخْوَانِهِنَّ وَلَا أَبْنَاءِ أَخَوَاتِهِنَّ وَلَا نِسَائِهِنَّ وَلَا مَا مَلَكَتْ أَيْمَانُهُنَّ ۗ وَاتَّقِينَ اللَّهَ ۚ إِنَّ اللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدًا

ඔවුන්(නබිවරයාගේ භාර්යාවන්) කෙරෙහි තම පියවරුන්ගේ ද තම පුතුන්ගේ ද තම සහෝදරයින්ගේ ද තම සහෝදරයින්ගේ පුතුන්ගේ ද තම සහෝදරියන්ගේ පුතුන්ගේ ද තම (විශ්වාසවන්ත) ස්ත්රීන්ගේ ද තම දකුණත සතු කරගත් (වහල්) අයගේ ද විෂයෙහි (තිරයකින් තොරව පෙනී සිටීම) වරදක් නැත. තවද (නබිවරයාගේ භාර්යාවනි,) නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නා විය.
56

إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ ۚ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا

සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ මලක්වරුන් (මුහම්මද්) නබිවරයා කෙරෙහි සලවාත් 29 පවසන්නෝය. විශ්වාස කළවුනි, නුඹලා (ද) ඔහු කෙරෙහි සලවාත් පවසවු. තවද නුඹලා සලාමයෙන්(ශාන්තියෙන් ඔහු කෙරෙහි) සලාම් පවසවු.
29මෙහි දී ‘සලවාත්’ යන අරාබි වදන අර්ථයන් දෙකක් ගෙන දෙන්නේය. එය අල්ලාහ් සමග සම්බන්ධ කළ විට අල්ලාහ් ආශිර්වාද කරන්නේය. යනුවෙන් ද මලක්වරුන් හා මිනිසුන් සමග සම්බන්ධ කරන විට ඔහුගේ ආශිර්වාදය සඳහා ප්රාර්ථනා කරන්නෝය යනුවෙන් ද අදහස් වේ.
57

إِنَّ الَّذِينَ يُؤْذُونَ اللَّهَ وَرَسُولَهُ لَعَنَهُمُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُّهِينًا

සැබැවින්ම අල්ලාහ්ට ද ඔහුගේ රසූල්වරයාට ද හිංසා කළවුන් 30 ඔවුනට අල්ලාහ් මෙලොවෙහි ද මතු ලොවෙහි ද ශාප කළේය. 31 තවද ඔහු නින්දනීය දඬුවමක් ඔවුනට සූදානම් කළේය.
3030 ) එනම් ඇතැම් මිථ්යා දෘෂ්ටික ප්රතික්ෂේපකයින් අල්ලාහ්ට දරුවකු සිටියි යැයි බොරු ප්රබන්ධ පට බඳින්නට වූ අතර තවත් ඇතැමුන් නබි මුහම්මද් තුමාණන්ව අසත්යය කරන්නට වූහ. මොවුන් පිළිබඳව “අල්ලාහ්ට ද ඔහුගේ රසූල්වරයාට ද හිංසා කළවුන්” යන වැකියෙන් අදහස් වන්නේය.
3131 ) මෙම වැකියෙහි “ශාප කළේය” යන පදයෙන් අදහස් වන්නේ අල්ලාහ්ගේ කරුණාවෙන් බැහැර වූවේය යනුවෙන් අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි සඳහන් වී ඇත.
58

وَالَّذِينَ يُؤْذُونَ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ بِغَيْرِ مَا اكْتَسَبُوا فَقَدِ احْتَمَلُوا بُهْتَانًا وَإِثْمًا مُّبِينًا

විශ්වාසිකයින්ට ද විශ්වාසික කාන්තාවන්ට ද ඔවුන් නොකළ දැයින් (චෝදනා කර) හිංසාවට පත් කළවුන් ඔවුන් සැබැවින්ම අවලාදයක් හා පැහැදිලි පාපයක් උසුලා ගත්තෝය.
59

يَا أَيُّهَا النَّبِيُّ قُل لِّأَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِن جَلَابِيبِهِنَّ ۚ ذَٰلِكَ أَدْنَىٰ أَن يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا

නබිවරය, නුඹගේ භාර්යාවන්ට ද නුඹගේ දියණියන්ට ද විශ්වාසිකයින්ගේ කාන්තාවන්ට ද ඔවුන්ගේ ජිල්බාබයන් 32 ඔවුන් මත (හිසේ සිට) එල්ලන්නට සළස්වන මෙන් පවසවු. එය ඔවුන් හඳුනා ගනු ලැබීමටත් පීඩාවට පත් නොවීමටත් වඩාත් යෝග්යය වන්නේය. 33 තවද අල්ලාහ් අති ක්ෂමාශීලී පරම කරුණාභරිත විය.
32මෙම ආයතයෙහි ‘ජිල්බාබ්’ යන්නෙන් භාවිත කර ඇති පදයට අරාබියෙන් සඳහන් වී ඇත්තේ එම පදයේ බහු වචනය වන ‘ජලාබීබ්’ යන පදයයි. ‘ජිල්බාබ්’ යන්නෙහි අර්ථය දැන ගැනීම සඳහා පහත සඳහන් කරුණු වෙත අවධානය යොමු කළ යුතුයි. අරාබි ශබ්ද කෝෂයට අනුව ‘ජිල්බාබ්’ යනු කාන්තාවක් තමා දෛනිකව පළඳින වස්ත්රයට පිටතින් මුළු ශරීරයම ආවරණය වන අයුරින් පළඳින පරිපූර්ණ වස්ත්රයකි. මෙම අර්ථය තහවුරු කරමින් නබි මුහම්මද් තුමාණන්ගේ සගයින්ගේ හා ඉස්ලාමීය විද්වතුන්ගේ ප්රකාශනයන් බොහෝ ඇත. 1- “විශ්වාසිකයින්ගේ කාන්තාවන් තම නිවෙස් වලින් යම් අවශ්යතාවක් සඳහා පිට වන්නේ නම් ඔවුන් තම ‘ජිල්බාබ්’ වස්ත්රයන් මගින් එක් ඇහක් පමණක් විවෘත වන අයුරින් තම හිස් මුදුනේ සිට තම මුහුණු ආවරණය කරගන්නා ලෙස අල්ලාහ් ඔවුනට අණ කර ඇත” යනුවෙන් අල් කුර්ආන් විවරණයේ ප්රධානියා වන අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් තුමා පවසා ඇත. 2- මුහම්මද් ඉබ්නු සීරීන් නම් ඉස්ලාමීය විද්වතා අබීදහ් අස් සල්මානී නම් විද්වතාගෙන් මෙම ආයතය පිළිබඳව විමසූ විට එතුමාණන් තම හිස ඇතුලුව මුහුණ ආවරණය කර වම් ඇස පමණක් නිරාවරණය කර පෙන්වූහ. (මූලාශ්රය: තෆ්සීර් ඉබ්නු කසීර් හා සෆ්වතුත් තෆාසීර්) සටහන: අබීදහ් අස් සල්මානී යනු නබි මුහම්මද් තුමාණන්ව මුණ නොගැසුනු නමුත් එතුමාණන්ගේ කාලයෙහි ජීවත් වූ ප්රකට ඉස්ලාමීය විද්වතෙකි. එකල විසූ මෙවැනි විද්වතුන්ට ‘මුකළ්රමීන්’ යනුවෙන් පවසනු ලැබේ. ඉහත සඳහන් කරුණු තුළින් පැහැදිලිවම සනාථ වන දෑ නම් ‘ජිල්බාබ් පැළඳුම් ක්රමය නවීනව බිහි වූවක් හෝ අරාබි මැද පෙරදිග රටවල් වලින් පැමිණි සිරිතක් හෝ නොව. එයට වෙනස්ව ජිල්බාබ් පැළඳුම් ක්රමය ඉස්ලාමය ආගමානුගත කළ සමයේ සිටම එනම් මෙම අල් කුර්ආන් ආයතය පහළ වූ සමයේ සිටම මුස්ලිම්වරුන් අතර පැවතෙන්නකි’ යන්නය. එහෙත් ඇතැම් ඉස්ලාමීය විද්වතුන් වෙනත් සාක්ෂීන් පදනම් කර ගනිමින් අදහස් කරනුයේ මුස්ලිම් කාන්තාවන්ගේ වස්ත්රයේ ආවරණය විය යුතු කොටසෙහි නිර්ණායකය විය යුත්තේ, ඇගේ මුහුණ හා අත්ලයන් හැර අන් සම්පූර්ණ ශරීරයම බවය. බයිබලය අනුව ‘උප්පත්ති 38-14’හි තාමාර් විසින්ද ‘උප්පත්ති 24-65’හි රෙබෙකා විසින්ද ජාකොබ්ගේ හා ආබ්රහම්ගේ ලේලිවරියන් විසින්ද මුහුණු ආවරණ පැලඳි බවට සාක්ෂි ඇත. තවද ඉස්ලාමයට බොහෝ කලකට පෙරම ඊජිප්තු, අරාබියානු, කනාන් ප්රදේශවාසී හා පර්සියානු කාන්තාවන් හිස සහ මුහුණ සම්පූර්ණයෙන් වැසෙන පරිදි ආවරණයක් පැලඳි බව ක්රි.ව. පළමු ශත වර්ෂයේ ග්රීක ගෝලීය ශාස්ත්රඥ ස්ට්රාබෝ (Strabo) විසින් සකස් කරන ලද ලේඛනයේ හා තුන්වන සත වර්ෂයේ ආරම්භක කාල වකවානුවේ විසූ කිතුනු ලේඛක ටර්ටුලියන් (Tertulian) විසින් සකස් කරන ලද ‘කන්යාවන්ගේ මුහුණු ආවරණය කිරීම’ යන අර්ථය ඇති (The Veiling of Vergins) නැමැති ග්රන්ථයේ සඳහන් කොට ඇත. ස්ත්රීන් මුහුණු ආවරණය කිරීම හා පිරිමින් සමග මිශ්ර නොවී කටයුතු කිරීම ක්රි.පූ. 300 දී පමණ ග්රීක රටෙහි ආරම්භ වූ බවට තොරතුරු ඇති අතර පර්සියාවේ ‌ෙබෙසන්තියානු පාලන යුගයේද මෙම සම්ප්රදාය පැවත ඇත. මෙම සමාජයේ ප්රභූ ස්ත්රීන් සාමාන්ය ජනයා සමග මිශ්ර වී කටයුතු නොකළ අතර ස්ත්රීන් නිවසින් බැහැර වන විට තමන්ව හඳුනා ගත නොහැකි පරිදි ආවරණය කර ගැනීම සම්ප්රදායක්ව පැවතියේය. නුදුරු නැගෙනහිර ප්රදේශයේ විසූ ඇසිරියන් රජවරු ස්ත්රීන් බාහිර පිරිමින්ගෙන් වෙන්ව සිටිය යුතු බවත් අන්තඃපුර ස්ත්රීන් මුහුණු ආවරණයක් පැලඳිය යුතු බවත් නියෝග කොට තිබූ බව හා නාගරික ස්ත්රීන් මුහුණු ආවරණයක් පැලඳි අතර ගම්බද ස්ත්රීන් එසේ නොකළ බව ඉතිහාසය පෙන්වා දෙයි.
3333 ) මදීනාවේ ඇතැම් ආත්ම වංචනිකයින් මග තොටේ දී ස්තී්රන්ට සමච්චල් කරන්නට වූහ. මොවුන්ගේ ජිල්බාබ් වස්ත්රයෙන් තම මුහුණු වසා ගන්නා මෙන් මොවුන්ට අණ කරනු ලැබ ඇත්තේ මෙමගින් මොවුහු විනීත ස්ත්රීන් යැයි හඳුන්වනු ලැබ මොවුන්ව සමච්චල් කිරීමෙන් ආත්ම වංචනිකයින් වැළකෙනු ඇතැ’යි පිණිසය. එමෙන්ම ආත්ම වංචනිකයින්ට මෙවන් පාප කර්මයෙන් වැළකෙන මෙන් ද නොඑසේ නම් ඔවුන් දඬුවම් කරනු ලබනු ඇත යැයි ද මෙහි දී ඔවුන්ට අවවාද කර ඇත.
60

لَّئِن لَّمْ يَنتَهِ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ وَالْمُرْجِفُونَ فِي الْمَدِينَةِ لَنُغْرِيَنَّكَ بِهِمْ ثُمَّ لَا يُجَاوِرُونَكَ فِيهَا إِلَّا قَلِيلًا

ආත්ම වංචනිකයින් ද සිත් තුළ (දුරාචාරය පිළිබඳව) ව්යාධියක් ඇත්තන් ද මදීනාවෙහි අසත්යය කටකතා පතුරුවන්නන් ද (ඔවුන්ගේ මෙම අයහ කි්රයාවන් ගෙන්) වැළකී නොසිටියේ නම් සැබැවින්ම අපි ඔවුනට එරෙහිව නුඹව අබිබවා යන්නට හරින්නෙමු. පසුව ඔවුහු ටික කලකට මිස එහි(මදීනාවෙහි) නුඹට අසල්වැසියන් බවට පත් නොවන්නෝය.
61

مَّلْعُونِينَ ۖ أَيْنَمَا ثُقِفُوا أُخِذُوا وَقُتِّلُوا تَقْتِيلًا

(පසුව,) ශාප කරනු ලැබූවන් ලෙස (ඔවුන් පිට කරනු ලබන්නෝය). කොතැනක ඔවුන්ව දකිනු ලැබුව ද ග්රහණය කරනු ලැබ මුළුමනින්ම ඔවුන්ව ඝාතනය කරනු ලැබේ. 34
3434 ) මෙම ආයතය ද මුස්ලිම්වරුන්ට හා අල් කුර්ආනයට විරුද්ධව වැරදි අර්ථ දක්වනු ලබන ආයතයන් අතුරින් එකකි. මෙහි අදහස පැහැදිලිවම අවබෝධ කර ගැනීම සඳහා මෙයට පෙර පසු ඇති ආයතයන් දෙස බැලිය යුතුය. මන්දයත් මෙම ආයතයන් හා මේවා සඳහන් වී ඇති මෙම සූරාව හිජ්රි පස්වන වර්ෂයේ සිදු වූ ‘අහ්zසාබ්’ නම් යුද්ධය හා ‘බනූ කුරෙයිළා’ නම් යුද්ධය හා සම්බන්ධ වූවකි. මදීනාවෙහි සිදු වූ ‘අහ්zසාබ්’ නම් යුද්ධයෙහිදි මුස්ලිම්වරුන්ගේ අසල්වැසි ගම්මානයේ විසූ යුදෙව්වන් සමා කළ නොහැකි ද්රෝහිකමක් මුස්ලිම්වරුන්ට සිදු කළෝය “මදීනාවට කුමන අවස්ථාවක වුව ද සතුරන් විසින් ප්රහාර එල්ල කරනු ලබන්නේ නම් එවිට සියල්ලන්ම එක්වී සතුරන්ට පහර දිය යුතුයැ”යි මදීනාවේ මුස්ලිම්වරුන් හා එම යුදෙව්වරුන් අතර ගිවිසුමක් තිබුණි. වරක් මක්කාවේ ආදේශකයින් තවත් ගෝත්රිකයින් පිරිසක් සමගවිත් මුස්ලිම්වරුන් විනාශ කිරීමේ අරමුණින් මදීනාවට ප්රහාර එල්ල කළෝය. එවිට මුස්ලිම්වරුන් සතුරන්ව මදීනාව තුළට ඇතුල් වීමට ඉඩ නොදී වැළැක්වීම සඳහා සතුරන්ගේ අශ්වයන් පවා තරණය කළ නොහැකි තරමට යුද කුමන්ත්රණයක් ලෙස මදීනාවේ සීමාව වටා විශාල පළල් අගල් හෑරිය යුතු තත්ත්වයක් උදා විය. මෙම තත්ත්වයේ දී යුදෙව්වරුන් ගිවිසුමට අනුව මුස්ලිම්වරුන්ට උදව් කර මදීනාව ආරක්ෂා කිරීමෙහි කොටස්කරුවන් බවට පත් වුවද සතුරන් වන මක්කාවේ ආදේශකයින්ට උදව් කරන්නන්ව ද සිටියෝය. මේ අතර එහි තවත් පිරිසක් සිටියෝය. මොවුන් තමන්ව මුස්ලිම්වරුන් යැයි පෙන්වමින් සිටියද මුස්ලිම්වරුන්ගේ සතුරන් සමග මිතුරුකම් පවත්වමින් විශ්වාස ද්රෝහීව සිටියෝය. පෙර ආයතයෙහි ආත්ම වංචනිකයින් යැයි පවසා ඇත්තේ මොවුන් පිළිබඳවය. මෙම තත්ත්වයේ දී මුස්ලිම්වරුන්ට විශාල බලයක් වී තිබුණේ ඔවුන්ගේ දේව විශ්වාසය හා ධෛර්යමත් බවය. නමුත් මෙම ආත්ම වංචනිකයින් මුස්ලිම්වරුන්ගේ මෙම ධෛර්යමත් බව බිඳ දමා ඔවුන්ව මානසිකව බලහීන තත්ත්වයකට හෙළීම සඳහා වෙර දරමින් සිටියෝය. මේ සඳහා මොවුන් මුස්ලිම්වරුන් අධෛර්යමත් වන අයුරින් ගෞරවනීය මුස්ලිම් පතිවත් කාන්තාවන් පිළිබඳව බොහෝ කටකතා පතුරුවමින් සිටියෝය. මන්දයත් මෙවැනි ව්යාජ ප්රවෘත්තීන් මගින් මිනිසා මානසිකව කලබලකාරී තත්ත්වයකට පත්වන හෙයින්ය. මෙම ආයතයෙහි සඳහන් වී ඇත්තේ මෙවැනි ද්රෝහිකම් කළ වංචනිකයින් පිළිබඳවය. දුර සිට පහර දෙන සතුරාට වඩා මිතුරෙකු යැයි රඟමින් ළඟ සිටින සතුරා ඉතා භයානක වන හෙයින් මුස්ලිම්වරුන් මොවුන් පිළිබඳව දැනුවත් වනු පිණිස අල්ලාහ් මොවුන්ගේ මෙම ක්රියාවට සුදුසු දඬුවම දන්වමින් මෙම ආයතය පහළ කොට ඇත. යුක්ති සහගතව බැලූ කල එක් රටක වෙසෙන යම් පිරිසක් එහි වැසියන් සමග මිත්රත්වයෙන් කටයුතු කරගෙන ඔවුන්ගේ සතුරන් සමග රහස්ය සම්බන්ධකම් පවත්වාගෙන ඔවුනට එරෙහිව කටයුතු කරන්නේ නම් මෙවැන්නන්ව සිරභාරයට ගැනීම හා ඔවුනට ඉතා දැඩි දඬුවම් කිරීම සාමාන්ය කටයුත්තකි. ප්රායෝගිකව ගත් කල මෙය මොවුනට ආරම්භයේම මරණ දඬුවම නියම කළ යුතු වරදක් වුවද මෙම ආයතයෙහි මෙවැන්නන්ට පළමුව අල්ලාහ් ශාපය පමණක් කර මරණ දඬුවම ඉටු කරන ලෙස විධානය කොට නැත. එයට පටහැනිව මොවුන් කරගෙන සිටින වංචාවන් හා ගිවිසුම් කඩ කිරීම් පිළිබඳව අල්ලාහ් මුස්ලිම්වරුන්ට අවබෝධ කර දී මොවුනට අවවාදයක් ලෙස වී මොවුන් මෙයින් වැළකී සිටිනු පිණිස මෙම ආයතය පහළ කර ඇත. මෙලෙස ගිවිසුම් කඩ කර වංචා කළවුන්ට දඬුවමින් මිදීමට අල්ලාහ් අවස්ථාවක් ද ලබා දී ‘ඔවුන් තමන් කරමින් සිටින වංචා සහගත ක්රියාවලින් මිදුනේ නැතිනම් ඔවුන්ගේ අවසන් තීන්දුව මෙම වැකියෙහි සඳහන් පරිදි මෙලොවෙහිම සිදුවනු ඇතැ’යි ද ‘මෙවැන්නන් සමග අල්ලාහ්ගේ පිළිවෙත මෙලෙස යැ’යි ද දන්වා ඇත. අල්ලාහ් මෙම වංචනිකයින්ට කිසිදු අවස්ථාවක් ලබා නොදී මරා දමන ලෙස අණ කර සිටියද එය යුක්තියට පටහැණි නොවන්නක්ය. මන්දයත් අප සියල්ලන්ම මෙරටේ වැසියන්ය. මෙම භූමිය අපි ගරු කරන්නෙමු. මෙරට වැසියන්ගෙන් යම් කෙනෙකු හෝ යම් පිරිසක් මෙම භූමියෙන් සියලු ආරක්ෂාවන්, පහසුකම් හා ප්රයෝජනයන් ලබමින් මෙම දේශයේ සතුරන් සමග එක් වී දේශද්රෝහී ක්රියාවක යෙදෙමින් සතුරන්ට ඔත්තු කාරයෙකු ලෙස ක්රියා කරන්නේ නම් එවැන්නන්ට ලැබිය යුතු දඬුවම කුමක්ද? රජය විසින් මෙවැන්නන්ව සිරභාරයට ගැනීම හෝ ඔවුනට මරණ දඬුවම නියම කිරීම සාධාරණයක් නොවන්නේ ද.
62

سُنَّةَ اللَّهِ فِي الَّذِينَ خَلَوْا مِن قَبْلُ ۖ وَلَن تَجِدَ لِسُنَّةِ اللَّهِ تَبْدِيلًا

(මෙය) මීට පෙර (ප්රජාවන්හි) වාසය කර ගියවුන්ගේ විෂයෙහි අල්ලාහ්ගේ පිළිවෙතක් වශයෙනි. 35 තවද නුඹ අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිදු වෙනස් කිරීමක් නොදකින්නේමය.
35“අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිදු වෙනස් කිරීමක් නොදකින්නේමය” යනුවෙන් අදහස් කරන්නේ, පාපතරයින්ව අල්ලාහ් කෙසේ දඬුවම් කළේ ද එසේම මින් මතුවට කවුරුන් හෝ අඛණ්ඩව පාපයන් කරන්නේ ද ඔවුන්ව ද අල්ලාහ් එලෙසම දඬුවම් කරනු ඇත යන්නයි.
63

يَسْأَلُكَ النَّاسُ عَنِ السَّاعَةِ ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِندَ اللَّهِ ۚ وَمَا يُدْرِيكَ لَعَلَّ السَّاعَةَ تَكُونُ قَرِيبًا

(නබිවරය, ලොව අවසාන) “හෝරාව (පැමිණෙනුයේ කවදාද?” යන්න) පිළිබඳව ජනයින් නුඹගෙන් විමසති. (එයට) නුඹ “එහි දැනුම ඇත්තේ අල්ලාහ් අබියසම යැ”යි පවසවු. තවද (එම අවසන්) හෝරාව සමීපව තිබිය හැකි බවට නුඹව දැනුවත් කළේ කුමක් ද?
64

إِنَّ اللَّهَ لَعَنَ الْكَافِرِينَ وَأَعَدَّ لَهُمْ سَعِيرًا

සැබැවින්ම අල්ලාහ් ප්රතික්ෂේපකයින්ට ශාප කළේය. 36 තවද ඔහු ඔවුනට දරුණු ගින්නක් සූදානම් කර ඇත.
3636 ) වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 33:57 හි පාද සටහන බලන්න.
65

خَالِدِينَ فِيهَا أَبَدًا ۖ لَّا يَجِدُونَ وَلِيًّا وَلَا نَصِيرًا

නිරන්තරයෙන්ම ඔවුහු එහි සදාතනිකයෝ වෙති. (දඬුවමින් ආරක්ෂා කරන) ආරක්ෂකයෙකුව හෝ උදවු කරුවෙකුව ඔවුන් නොලබන්නෝය.
66

يَوْمَ تُقَلَّبُ وُجُوهُهُمْ فِي النَّارِ يَقُولُونَ يَا لَيْتَنَا أَطَعْنَا اللَّهَ وَأَطَعْنَا الرَّسُولَا

ඔවුන්ගේ මුහුණු (නිරා) ගින්න තුළ හරවනු ලබන දින “අහෝ! අප අල්ලාහ්ට අවනත වන්නට තිබුණි. තවද රසූල්වරයාට අවනත වන්නට තිබිණ.” යැයි ඔවුහු පවසති.
67

وَقَالُوا رَبَّنَا إِنَّا أَطَعْنَا سَادَتَنَا وَكُبَرَاءَنَا فَأَضَلُّونَا السَّبِيلَا

තවද “අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම අපි අපගේ නායකයින්ට ද අපගේ ජ්යෙෂ්ඨයින්ට ද අවනත වූයෙමු. එබැවින් ඔවුහු අපව (යහ)මාර්ගයෙන් මුළාවට පත් කළෝයැ”යි ඔවුහු පවසති.
68

رَبَّنَا آتِهِمْ ضِعْفَيْنِ مِنَ الْعَذَابِ وَالْعَنْهُمْ لَعْنًا كَبِيرًا

(තවද) “අපගේ පරමාධිපතියාණනි, ඔවුනට (අපගේ දඬුවම මෙන්) දඬුවමින් දෙගුණයක් නුඹ දෙනු මැනව! තවද ඔවුනට මහා ශාපයක්ව ශාප කරනු මැනව!” (යැයි ද පවසති.)
69

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَكُونُوا كَالَّذِينَ آذَوْا مُوسَىٰ فَبَرَّأَهُ اللَّهُ مِمَّا قَالُوا ۚ وَكَانَ عِندَ اللَّهِ وَجِيهًا

විශ්වාස කළවුනි, මූසාව හිංසාවට පත් කළ අය මෙන් නුඹලා නොවවු. පසුව අල්ලාහ් ඔවුන් පැවසූ දැයින් 37 ඔහුව(මූසාව) නිදොස් කළේය. තවද අල්ලාහ් අබියස ඔහු ගෞරවාන්විත විය.
37යුදෙව්වන් නබි මූසා තුමාණන්ට විවිධ බොරු චෝදනා එල්ල කළෝය. ඒ සියලු දැයින්ම අල්ලාහ් ඔහුව නිදොස් යැයි ඔප්පු කළේය.
70

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَقُولُوا قَوْلًا سَدِيدًا

විශ්වාස කළවුනි, නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද නුඹලා (යුක්තිගරුක) ඍජූ වචන පවසවු.
71

يُصْلِحْ لَكُمْ أَعْمَالَكُمْ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَمَن يُطِعِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا

(එසේ නුඹලා කළේ නම්) ඔහු(අල්ලාහ්) නුඹලාට නුඹලාගේ කි්රයාවන් සංශෝධනය කරන්නේය. තවද ඔහු නුඹලාට නුඹලාගේ පාපයන් ක්ෂමා කරන්නේය. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු මහත් වූ ජයග්රහණයක් ලෙස ජයග්රහණය ලැබුවේය.
72

إِنَّا عَرَضْنَا الْأَمَانَةَ عَلَى السَّمَاوَاتِ وَالْأَرْضِ وَالْجِبَالِ فَأَبَيْنَ أَن يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا الْإِنسَانُ ۖ إِنَّهُ كَانَ ظَلُومًا جَهُولًا

සැබැවින්ම අපි ‘අමානතය’ අහස් කෙරෙහි ද මිහිතලය කෙරෙහි ද කඳු කෙරෙහි ද (එය උසුලන ලෙස) ගෙන හැර පෑවෙමු. එවිට ඒවා (සියල්ල) එය ඉසිලීමට ප්රතික්ෂේප කළෝය. තවද ඉ(සිලීමෙ)න් ඒවා බියට පත් විය. (නමුත්) මිනිසා එය ඉසිලීය. 38 සැබැවින්ම ඔහු(මිනිසා තමාටම) අපරාධ කරන්නෙකු ද (ඒ පිළිබඳව) අඥානයෙකු ද විය. 39
3838 ) වගකීම යනුවෙන් අදහස් කරන්නේ සිය කැමත්තෙන් අල්ලාහ්ගේ විධානයන්ට අවනත වීමයි. එනම් මිනිසා ද අනෙකුත් මැවුම් මෙන් සාමාන්ය මැවීමක් වුවද අල්ලාහ්ට අවනත වීම හෝ අකීකරු වීම හෝ යන්න තෝරා ගැනීමේ හැකියාව ඇත්තේ මිනිසාටය. මෙමගින් ඔහුට ස්වර්ගය හෝ නිරය හෝ යන දෙකින් එකක් හිමි වේ. එනමුත් අහස්, පොළොව හෝ කඳු වැනි මැවුම් සඳහා ස්ව තෝරා ගැනීමක් නොමැති හෙයින් ස්වර්ගය හෝ නිරය ලැබීම යන තත්ත්වයක් ඒවාට උදා වන්නේ නැත.
39“(මිනිසා තමාටම) අපරාධ කරන්නෙකු ද (ඒ පිළිබඳව) අඥානයෙකු ද විය.” යනුවෙන් අදහස් කරන්නේ මිනිසා අල්ලාහ්ගේ විධානයට අකීකරු වීම තුළින් ඔහුට මරණින් මතු ජීවිතයේ ඉතා දරුණු දඬුවමක් හිමි වේ යන්නයි. මෙසේ මොහු දඬුවම් ලැබීමට හේතුව ‘තමාගේ අකීකරු වීම’ බැවින් ඔහු තමාටම අපරාධ කළා හා සමානය. එසේනම්, පාපයන්ට දරුණු දඬුවම් ඇති බව පූර්ව දැනුම් දීමක් කර තිබියදීත් එම පාපයේ නියැළෙන්නේ නම් ඔහු අඥානයෙකු නොවන්නේ ද?.
73

لِّيُعَذِّبَ اللَّهُ الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْمُشْرِكِينَ وَالْمُشْرِكَاتِ وَيَتُوبَ اللَّهُ عَلَى الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا

ආත්ම වංචනික පිරිමින්ට හා ආත්ම වංචනික ස්තී්රන්ට ද (අල්ලාහ්ට) ආදේශ කරන පිරිමින්ට හා ආදේශ කරන ස්තී්රන්ට ද අල්ලාහ් දඬුවම් දීම පිණිස ද විශ්වාසිකයින්ට හා විශ්වාසික කාන්තාවන්ට අල්ලාහ් පශ්චාත්තාපය පිළිගැනීම පිණිස ද (ඔහු ‘අමානතය’ ගෙන හැර පෑවේ)ය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලී පරම කරුණාභරිත විය.
سبأමක්කී
1

الْحَمْدُ لِلَّهِ الَّذِي لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَلَهُ الْحَمْدُ فِي الْآخِرَةِ ۚ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ

අහස්හි ඇති දෑ ද මිහිතලයෙහි ඇති දෑ ද කවරෙකු සතුව තිබෙන්නේ ද එම අල්ලාහ්ටම සියලු පැසසුම් හිමිය. තවද මතු ලොව සියලු පැසසුම් ද ඔහු සතුය. තවද ඔහු සර්ව ප්රඥාවන්තය අභිඥානවන්තය.
2

يَعْلَمُ مَا يَلِجُ فِي الْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنزِلُ مِنَ السَّمَاءِ وَمَا يَعْرُجُ فِيهَا ۚ وَهُوَ الرَّحِيمُ الْغَفُورُ

මිහිතලයෙහි පිවිසෙන (ජලය මෙන්) දෑ හා ඉන් බැහැර වන (පැලෑටි මෙන්) දෑ ද අහසින් පහළ වන (වැසි වැනි) දෑ හා එහි ඉහළට යන (යහ කි්රයා වැනි) දෑ ද ඔහු මැනවින් දන්නේය. තවද ඔහු පරම කරුණාභරිත අති ක්ෂමාශීලීය.
3

وَقَالَ الَّذِينَ كَفَرُوا لَا تَأْتِينَا السَّاعَةُ ۖ قُلْ بَلَىٰ وَرَبِّي لَتَأْتِيَنَّكُمْ عَالِمِ الْغَيْبِ ۖ لَا يَعْزُبُ عَنْهُ مِثْقَالُ ذَرَّةٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ وَلَا أَصْغَرُ مِن ذَٰلِكَ وَلَا أَكْبَرُ إِلَّا فِي كِتَابٍ مُّبِينٍ

ප්රතික්ෂේප කළවුන් “(ලොව අවසන්) හෝරාව අප වෙත නොපැමිණෙන්නේ යැ”යි පැවසුවෝය. “නොඑසේය. ගුප්ත දෑ දන්නා මාගේ පරමාධිපති මත දිවුරමින් සැබැවින්ම එය නුඹලා වෙත පැමිණෙන්නේමය. අහස්හි ද මිහිතලයෙහි ද අණු ප්රමාණයක දැයක් වුවද ඔහුගෙන් සැඟවෙන්නේ නැත. තවද එයට වඩා ඉතා කුඩා දැයක් වුව ද ඉතා විශාල දැයක් වුව ද (ලව්හුල් මහ්ෆූල් නම්) පැහැදිලි පුස්තකයෙහි (සටහන් වී) මිස නැත.” යැයි (නබිවරය,) නුඹ පවසවු. 1
1මක්කාවාසී ප්රතික්ෂේපකයින් විනිශ්චය දිනයෙහි මිනිසාව නැවත නැගිටුවනු ලැබීම ප්රතික්ෂේප කිරීමට හේතු වූයේ කෙනෙකු මරණයට පත් වීමෙන් පසු ඔහුගේ සිරුර දිරාපත් වී පොළොවෙහි විවිධ පැති වලට කැබලි වශයෙන් පැතිරී යාමෙන් පසුව නැවතත් එය කෙසේ එක්රැස් කළ හැකි ද? යන ගැටළුවය. මෙම ආයතයෙන් අදහස් වන්නේ අහස්හි හෝ පොළොවෙහි ඇති අණු ප්රමාණයේ දැයක් පවා අල්ලාහ්ගේ දැනුමෙන් හෝ ඔහුගේ පාලනයෙන් පරිබාහිර නොවේ යන්න හැඟවීමටය.
4

لِّيَجْزِيَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ۚ أُولَـٰئِكَ لَهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ

විශ්වාස කර යහකම් කළවුනට ප්රතිඵල පිරිනැමීම පිණිස (ලොව අවසන් හෝරාව පැමිණෙන්නේම)ය. ඔවුන්මය (එදින) පාප ක්ෂමාව හා ගෞරවනීය සම්පත් හිමියන් වන්නේ.
5

وَالَّذِينَ سَعَوْا فِي آيَاتِنَا مُعَاجِزِينَ أُولَـٰئِكَ لَهُمْ عَذَابٌ مِّن رِّجْزٍ أَلِيمٌ

තවද අපගේ වදන් විෂයෙහි (අපව) නොහැකියාවට පත්කරන්නන් ලෙස (උපකල්පනය කරමින්) උත්සාහ කළවුන්(ට ඵලවිපාක පිරිනැමීම පිණිස ද ලොව අවසන් හෝරාව පැමිණෙන්නේය.) ඔවුන්මය (එදින) ඛේදජනක දඬුවමින් වූ වේදනීය දඬුවමක හිමියන් වන්නේ.
6

وَيَرَى الَّذِينَ أُوتُوا الْعِلْمَ الَّذِي أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ هُوَ الْحَقَّ وَيَهْدِي إِلَىٰ صِرَاطِ الْعَزِيزِ الْحَمِيدِ

තවද නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ(අල් කුර්ආනය) සත්යය යැයි ද එය අති බලසම්පන්න සර්ව ප්රශංසාලාභීගේ(අල්ලාහ්ගේ) මාර්ගය වෙත මග පෙන්වන්නක් යැයි ද ඥානය දෙනු ලැබූවන් දකින්නෝය.
7

وَقَالَ الَّذِينَ كَفَرُوا هَلْ نَدُلُّكُمْ عَلَىٰ رَجُلٍ يُنَبِّئُكُمْ إِذَا مُزِّقْتُمْ كُلَّ مُمَزَّقٍ إِنَّكُمْ لَفِي خَلْقٍ جَدِيدٍ

“නුඹලා (මරණයට පත් වී) සම්පූර්ණයෙන් කැබලි බවට පත්වූ පසුව ද සැබැවින්ම නුඹලා (නැවත) නව මැවුමක (නැගිට)වන්නෝය යැයි නුඹලාට පවසන පුද්ගලයෙකු පිළිබඳව අප නුඹලාට දන්වන්න දැ?”යි ප්රතික්ෂේප කළවුන් (සමච්චල් සහගතව මුහම්මද්ව අඟවා) පැවසුවෝය.
8

أَفْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَم بِهِ جِنَّةٌ ۗ بَلِ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ فِي الْعَذَابِ وَالضَّلَالِ الْبَعِيدِ

“අල්ලාහ් පිළිබඳව ඔහු බොරුවක් ගෙතුවේ ද? නැතහොත් ඔහු තුළ උමතුභාවයක් ඇත් ද?” (යැයි ද පැවසුවෝය.) එසේ නොව, මතුලොව පිළිබඳව විශ්වාස නොකරන්නන් දඬුවමෙහි ද (යහමගින්) දුරස්ථ වූ මුළාවෙහි ද වෙති.
9

أَفَلَمْ يَرَوْا إِلَىٰ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُم مِّنَ السَّمَاءِ وَالْأَرْضِ ۚ إِن نَّشَأْ نَخْسِفْ بِهِمُ الْأَرْضَ أَوْ نُسْقِطْ عَلَيْهِمْ كِسَفًا مِّنَ السَّمَاءِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِّكُلِّ عَبْدٍ مُّنِيبٍ

ඔවුනට ඉදිරියෙන් ඇති තවද ඔවුනට පසු පසින් ඇති අහස හා මිහිතලය ඔවුහු නොදුටුවෙහු ද? අප අභිමත කළේ නම් මිහිතලයෙහි ඔවුන්ව අප ගිල්වන්නට තිබිණ. නැතහොත් අහසින් වූ කැබලි ඔවුන් මත අප හෙළන්නට තිබිණ. සැබැවින්ම එහි (අප වෙත) නැඹුරු වන සෑම ගැත්තෙකුටම සංඥාවක් ඇත.
10

وَلَقَدْ آتَيْنَا دَاوُودَ مِنَّا فَضْلًا ۖ يَا جِبَالُ أَوِّبِي مَعَهُ وَالطَّيْرَ ۖ وَأَلَنَّا لَهُ الْحَدِيدَ

තවද සැබැවින්ම අපි දාවූද්ට අපගෙන් වරප්රසාද පිරිනැමුවෙමු. “අහෝ කඳු හා පක්ෂිය, ඔහු සමග නුඹලා ද (අල්ලාහ්ව) නැවත නැවතත් සුවිශුද්ධ කරවු.” (යැයි අපි පැවසුවෙමු.) 2 තවද අපි ඔහුට යකඩ මෙළෙක් කර දුන්නෙමු.
2වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 21:79 වන ආයතය එහි පාද සටහන සමග බලන්න.
11

أَنِ اعْمَلْ سَابِغَاتٍ وَقَدِّرْ فِي السَّرْدِ ۖ وَاعْمَلُوا صَالِحًا ۖ إِنِّي بِمَا تَعْمَلُونَ بَصِيرٌ

“(අහෝ දාවූද්, එමගින්) නුඹ යුද ඇඳුම් සාදවු. (එහි) කරවළලු නිසි ලෙස පිළියෙල කරවු. තවද (දාවූද්ගේ ජනයිනි,) නුඹලා යහකම් කරවු. සැබැවින්ම මම නුඹලා කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂකය.” (යැයි ද පැවසුවෙමු.)
12

وَلِسُلَيْمَانَ الرِّيحَ غُدُوُّهَا شَهْرٌ وَرَوَاحُهَا شَهْرٌ ۖ وَأَسَلْنَا لَهُ عَيْنَ الْقِطْرِ ۖ وَمِنَ الْجِنِّ مَن يَعْمَلُ بَيْنَ يَدَيْهِ بِإِذْنِ رَبِّهِ ۖ وَمَن يَزِغْ مِنْهُمْ عَنْ أَمْرِنَا نُذِقْهُ مِنْ عَذَابِ السَّعِيرِ

තවද සුලෙයිමාන්ට සුළඟ( අප විසින් වසඟ කර දෙනු ලැබී)ය. එ(ම සුළඟ)හි උදෑසන ගමන එක් මසක දුර( ප්රමාණ)ය. එහි සවස් ගමන එක් මසක දුර( ප්රමාණ)ය. 3 (ජලය මෙන්) තඹ උල්පතක් ඔහු වෙනුවෙන් ගලා බසින්නට සැලැස්වූයෙමු. තවද ජින්වරුන් අතුරින් ඔහුගේ පරමාධිපතිගේ අනුමැතියෙන් ඔහු ඉදිරියේ සේවය කරන්නන් ද සිටිති. ඔවුන් අතුරින් කවරෙකු අපගේ අණට පිටුපාන්නේ ද ඔහුට ඇවිළෙන ගින්නේ 4 දඬුවම විඳින්නට සලස්වන්නෙමු.
3වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 21:81 වන ආයතය එහි පාද සටහන සමග බලන්න.
4‘ඇවිළෙන ගින්න’ යනු අල්ලාහ්ගේ අණට හා නබි සුලෙයිමාන් තුමාණන්ගේ අණට අකීකරුවූවන්ට දඬුවම් කිරීම සඳහා විනිශ්චය දිනයේ සූදානම් කරනු ලැබ ඇති නිරා ගින්නයි. තවද මෙයට ඔවුන්ගේ දඬුවමක් වශයෙන් මෙලොවෙහිම සූදානම් කරනු ලැබූ ගින්නක් යන්නෙන් ද අදහස් දැක්විය හැක.
13

يَعْمَلُونَ لَهُ مَا يَشَاءُ مِن مَّحَارِيبَ وَتَمَاثِيلَ وَجِفَانٍ كَالْجَوَابِ وَقُدُورٍ رَّاسِيَاتٍ ۚ اعْمَلُوا آلَ دَاوُودَ شُكْرًا ۚ وَقَلِيلٌ مِّنْ عِبَادِيَ الشَّكُورُ

මිහ්රාබයන් 5 , ප්රතිමාවන්, තටාකයන් මෙන් (විශාල) බඳුන් හා (ආහාර පිසීම සඳහා පොළොවට) සවි කරන ලද විශාල බඳුන් අතුරින් ඔහු(සුලෙයිමාන්) අභිමත කළ දෑ ඔහු වෙනුවෙන් ඔවුහු(ජින්වරුන්) ඉදි කරන්නෝය. දාවූද්ගේ නිවැසියනි, (අල්ලාහ්ට) කෘතවේදී වනු පිණිස නුඹලා යහකම් කරවු. මාගේ ගැත්තන් අතුරින් (අල්ලාහ්ට) කෘතවේදී වනුයේ ඉතා ස්වල්ප දෙනෙකි.
5මිහ්රාබ් යන අරාබි පදයට මාළිගය, මස්ජිදය හා උස් ගොඩනැගිල්ල යන අර්ථයන් ඇත.
14

فَلَمَّا قَضَيْنَا عَلَيْهِ الْمَوْتَ مَا دَلَّهُمْ عَلَىٰ مَوْتِهِ إِلَّا دَابَّةُ الْأَرْضِ تَأْكُلُ مِنسَأَتَهُ ۖ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ الْجِنُّ أَن لَّوْ كَانُوا يَعْلَمُونَ الْغَيْبَ مَا لَبِثُوا فِي الْعَذَابِ الْمُهِينِ

ඔහුට(සුලෙයිමාන්ට) අප මරණය නියම කළ කල්හි ඔහුගේ මරණය පිළිබඳව (පුවත) ඔහුගේ රාජ්ය සෙංකෝලය අනුභව කරමින් සිටි (වේයන් වැනි) කෘමීන් මිස ඔවුනට(ජින්වරුන්ට) දැන්වූයේ නැත. පසුව ඔහු(ගේ සෙංකෝලය කැඩී ඔහු) බිම වැටුණු කල්හි ජින්වරුන් “තමන් ගුප්ත දෑ පිළිබඳව දැන සිටියේ නම් (ඔහුට වහල්ව කටයුතු කිරීම වන) නින්දනීය දඬුවමෙහි තමන් (දිගු කලක්) රැඳී නොසිටිනු ඇතැ”යි පහදා ගත්තෝය. 6
6‘ජෙරුසලම්’ නම් ‘බයිතුල් මක්දිස්’ නම් මස්ජිදය ඉදි කිරීමේ කටයුත්ත නබි සුලෙයිමාන් තුමාණන් ජින්වරුන්ට පැවරුවේය. ඔවුන් මෙම කටයුත්තෙහි නියැළෙන්නේ ඔහු අධීක්ෂණයෙහි සිටින විට පමණි. එහෙයින් ඔහු එම ස්ථානයට අසල පිහිටි තමන්ගේ නැමදුම් කරන තැනෙහි තම සෙංකෝළයට බර දී ඔවුන් ඉදිරියෙහි සිට ගත්තේය. මෙම තත්ත්වයෙහිම ඔහු මරණයට පත් වූ නමුත් ඔහුගේ සෙංකෝලය ආධාරයෙන් ඔහුගේ ශරීරය බිම නොවැටුණි. තමන් ඉදිරියේ සිටගෙන සිටින නබි සුලෙයිමාන් තුමාණන් මරණයට පත් වී ඇත යන කරුණ නොදත් ජින්වරුන් මොහු අධීක්ෂණයේ සිටිනවා යැයි සිතා මස්ජිදය ඉදිකිරීමේ කටයුත්ත පරිපූර්ණ කළෝය. පසුව කෘමීන් විසින් කනු ලැබූ ඔහුගේ සෙංකෝලය කැඞී මොහුගේ ශරීරය බිම වැටුණු විට මොහු මරණයට පත් වී ඇත යන්න ජින්වරුන්ට පැහැදිලි විය. මෙයින් පැහැදිලි වන එක් කරුණක් නම් ගුප්ත දෑහි දැනුම හෝ අනාගතයේ දැනුම ජින්වරුන්ට පවා නොමැත යන්නය. තවත් කරුණක් නම් නබිවරුන්ගේ ශරීරය නරක් වී හෝ පොලොවේ දිරාපත් වී හෝ නොයන බවය.
15

لَقَدْ كَانَ لِسَبَإٍ فِي مَسْكَنِهِمْ آيَةٌ ۖ جَنَّتَانِ عَن يَمِينٍ وَشِمَالٍ ۖ كُلُوا مِن رِّزْقِ رَبِّكُمْ وَاشْكُرُوا لَهُ ۚ بَلْدَةٌ طَيِّبَةٌ وَرَبٌّ غَفُورٌ

සැබැවින්ම සබඃ (නගර) වැසියන්ට ඔවුන්ගේ වාසස්ථානයෙහි සංඥාවක් තිබුණි. (එනම්) දකුණු පසින් ද වම් පසින් ද උයන් දෙකකි. 7 “නුඹලාගේ පරමාධිපතිගේ ජීවන සම්පතින් නුඹලා භුක්ති විඳ ඔහුට කෘතවේදී වවු. (මෙය) පරිශුද්ධ නගරයකි. තවද (අල්ලාහ්) අති ක්ෂමාශීලී පරමාධිපතිය.” (යැයි සබඃ නගර වැසියන්ට ඔවුන්ගේ නබිවරුන් විසින් පවසනු ලැබීය.)
7සබඃ වැසියන් යෙමන් දේශයෙහි වාසය කළ එක් පිරිසකි. ඔවුන්ට ඉමහත් ශිෂ්ඨාචාරයක් තිබුණි. ඔවුන්ගේ ප්රධාන මාර්ග අවට විශාල උයන් හා පලතුරු වතු පිරී තිබුණි. ඔවුන්ට මෙවන් අලංකාර සම්පත් දුන් පරමාධිපති අල්ලාහ්ට කෘතඥ වීම වෙනුවට ඔවුන්ගේ මෙම ලෞකික ජීවිතයේ මෝහනය නිසා ඔවුන් තම පරමාධිපති අමතක කළෝය. තවද ඔවුන්ට අල්ලාහ් විසින් කරනු ලැබූ අනිවාර්යය වගකීම් නොතකා හැරියෝය. අවසානයේ දී ඔවුන්ගේ මෙම ගර්වය නිසා ඔවුහු අල්ලාහ්ගේ දඬුවමට භාජනය වූහ. ‘මආරිබ්’ නම් ඔවුන්ගේ ප්රධාන ජල සම්පාදනය වන ඔවුන්ගේ විශාල වේල්ල බිඳී මුළු නගරයම යට වී ඔවුන්ගේ උයන් හා ගොවිපළ සියල්ල විනාශ වී ගියේය.
16

فَأَعْرَضُوا فَأَرْسَلْنَا عَلَيْهِمْ سَيْلَ الْعَرِمِ وَبَدَّلْنَاهُم بِجَنَّتَيْهِمْ جَنَّتَيْنِ ذَوَاتَيْ أُكُلٍ خَمْطٍ وَأَثْلٍ وَشَيْءٍ مِّن سِدْرٍ قَلِيلٍ

එහෙත් ඔවුහු පිටුපෑවෝය. අපි ඔවුන් කෙරෙහි බැමි අමුණු (බිඳමින් විශාල) ජල ගැල්මක් යැව්වෙමු. තවද අපි ඔවුන්ගේ (නැවුම් පලතුරු පල දුන්) උයන් දෙක වෙනුවට තිත්ත ගෙඩි වලින් (යුත් ගස්) ද අස්ල් ගස් 8 හා මසන් ගස් ස්වල්පයකින් යුත් උයන් දෙකක් ඔවුනට දුන්නෙමු.
8‘අස්ල් ගස්’ යනු සදාහරිත ශාකයක් වන අතර ඊට එළමිදෙල්ල යනුවෙන් ද පවසනු ලැබේ.
17

ذَٰلِكَ جَزَيْنَاهُم بِمَا كَفَرُوا ۖ وَهَلْ نُجَازِي إِلَّا الْكَفُورَ

ඔවුන් අකෘතඥවේදී වූ හේතුවෙන් අපි එය(දඬුවම) ඔවුනට ඵලවිපාක ලෙස පිරිනැමුවෙමු. තවද අකෘතඥවේදීන්ට හැර අපි (මෙලෙස) පලවිපාක පිරිනමන්නෙමු ද?
18

وَجَعَلْنَا بَيْنَهُمْ وَبَيْنَ الْقُرَى الَّتِي بَارَكْنَا فِيهَا قُرًى ظَاهِرَةً وَقَدَّرْنَا فِيهَا السَّيْرَ ۖ سِيرُوا فِيهَا لَيَالِيَ وَأَيَّامًا آمِنِينَ

තවද අපි ඔවුන් අතර හා අප අභිවෘද්ධිමත් කළා වූ නගරයන් අතර පෙනෙන තෙක් මාන(යන්හි) ගම්මානයන් ඇති කළෙමු. තවද එහි ගමන් බිමන්(හි දුර ප්රමාණය) පිළියෙල කළෙමු. එ(ම මාර්ගයෙ)හි නුඹලා? දවාලෙහි නිර්භියව ගමන් කරවු. 9
9“අප අභිවෘද්ධිමත් කළා වූ නගරයන්” යනුවෙන් මීට පෙර ආයතයෙන් අදහස් කරන්නේ සිරියාව හා පලස්තීනයයි. ව්යාපාර සඳහා සබඃ වැසියන් මෙම නගර වලට ගමන් කරන්නට වූහ. මොවුන් සිරියාවට හා පලස්තීනයට යන ප්රධාන මාර්ගයන්හි එකිනෙකට සමීපව ඇති බොහෝ ගම්මානයන් තිබුණි. මෙනිසා ඔවුන්ගේ ගමන ඉතා පහසු විය. එබැවින් ඔවුනට ඕනෑම අවස්ථාවක දී ජනයා ගැවසෙන ස්ථානයක විවේක ගැනීමට හැකි විය. “තවද එහි ගමන් බිමන්(හි දුර ප්රමාණය) පිළියෙල කළෙමු.” යනුවෙන් අදහස් කරන්නේ ද මෙයයි. මෙයින් ඔවුනට ඇති තවත් ප්රයෝජනයක් වූයේ මං කොල්ලකෑම වැනි දැයින් ආරක්ෂාව ලැබීමය. “එ(ම මාර්ගයෙ)හි නුඹලා? දවාලෙහි නිර්භියව ගමන් කරවු.” යනුවෙන් අදහස් කරන්නේ ද මෙයයි. අල්ලාහ්ගේ මෙපමණ ආශිර්වාදයන් ඔවුන් ලැබුව ද ඔවුන් අල්ලාහ්ට කෘතඥ වූයේ නැත.
19

فَقَالُوا رَبَّنَا بَاعِدْ بَيْنَ أَسْفَارِنَا وَظَلَمُوا أَنفُسَهُمْ فَجَعَلْنَاهُمْ أَحَادِيثَ وَمَزَّقْنَاهُمْ كُلَّ مُمَزَّقٍ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍ

නමුත් ඔවුන් “අපගේ පරමාධිපතියාණනි, අපගේ ගමන් බිම් අතර (ඇති දුර) දුරස්ථ කරවු.” යැයි ඇයැද සිට ඔවුන් තමන්ටම අපරාධ කර ගත්තෝය. එබැවින් අපි ඔවුන්ව (මතු ජනයින් අතර කතාබහට ලක් වන) කථා වස්තූන් බවට පත් කළෙමු. තවද අපි ඔවුන්ව (බොහෝ නගරයන් වලට) සහමුලින්ම වෙන් කර දැමුවෙමු. 10 සැබැවින්ම එ(ම සිදුවීමෙ)හි දැඩි ඉවසිලිවන්ත මහා කෘතඥවේදී සියල්ලන්ට ආදර්ශයන් ඇත.
10ඔවුනට අල්ලාහ්ගේ මෙවන් දායාදයන් පිළිබඳව පවසනු ලැබූ විට ඔවුන් ගර්විතව “අපගේ පරමාධිපතියාණනි, අපගේ ගමන් බිම් අතර (ඇති දුර) දුරස්ථ කරවු” යනුවෙන් සමච්චලයෙන් පැවසුවෝය. පසුව ඔවුන්ට ඇති වූ ජල ගැල්මෙන් බේරුණු අය පවා තමන්ගේ නගරයෙහි ජීවත් වීමට නොහැකිව විවිධ ගම්මානයන්ට විසිරී යන්නට සිදු විය. මේනිසා ‘සබඃ වැසියන්’ යන නාමයම නැති වී ගියේය.
20

وَلَقَدْ صَدَّقَ عَلَيْهِمْ إِبْلِيسُ ظَنَّهُ فَاتَّبَعُوهُ إِلَّا فَرِيقًا مِّنَ الْمُؤْمِنِينَ

තවද සැබැවින්ම ඉබ්ලීස් (ඔවුන්ව නොමග යවන) තම සිතුවිලි ඔවුන් කෙරෙහි සැබෑ (ලෙස ඉටු) කළේය. එබැවින් විශ්වාසික පිරිසක් හැර අන් අය ඔහුව අනුගමනය කළෝය.
21

وَمَا كَانَ لَهُ عَلَيْهِم مِّن سُلْطَانٍ إِلَّا لِنَعْلَمَ مَن يُؤْمِنُ بِالْآخِرَةِ مِمَّنْ هُوَ مِنْهَا فِي شَكٍّ ۗ وَرَبُّكَ عَلَىٰ كُلِّ شَيْءٍ حَفِيظٌ

තවද මතු ලොව පිළිබඳව සැකයෙහි ඇත්තන් අතුරින් එය විශ්වාස කරන්නන් කවුරුන් දැ?යි අප දැන ගනු පිණිස මිස ඔවුන් කෙරෙහි ඔහුට(ඉබ්ලීස්ට කිසිදු) ආධිපත්යයක් නොවීය. තවද නුඹගේ පරමාධිපති සියලු දෑ කෙරෙහි පරම ආරක්ෂකය.
22

قُلِ ادْعُوا الَّذِينَ زَعَمْتُم مِّن دُونِ اللَّهِ ۖ لَا يَمْلِكُونَ مِثْقَالَ ذَرَّةٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ وَمَا لَهُمْ فِيهِمَا مِن شِرْكٍ وَمَا لَهُ مِنْهُم مِّن ظَهِيرٍ

(නබිවරය,) “අල්ලාහ් හැර නුඹලා කවුරුන්ව (දෙවිවරුන් යැයි) ස්ථිර ලෙස විශ්වාස කළෙහු ද ඔවුන්ව නුඹලා කැඳවවු.” යැයි ප්රතික්ෂේපකයින්ට පවසවු. ඔවුහු අහස්හි හා මිහිතලයෙහි අණු ප්රමාණයක තරම් හෝ හිමිකමක් නොදරන්නෝය. තවද ඒ දෙකෙහි ඔවුනට (කිසිදු) හවුල්කාරකමක් නොමැත. තවද ඔවුන් අතුරින් ඔහුට(අල්ලාහ්ට කිසිදු) උදවුකරුවෙකු නොමැත.
23

وَلَا تَنفَعُ الشَّفَاعَةُ عِندَهُ إِلَّا لِمَنْ أَذِنَ لَهُ ۚ حَتَّىٰ إِذَا فُزِّعَ عَن قُلُوبِهِمْ قَالُوا مَاذَا قَالَ رَبُّكُمْ ۖ قَالُوا الْحَقَّ ۖ وَهُوَ الْعَلِيُّ الْكَبِيرُ

තවද ඔහු(අල්ලාහ්) කවරෙකුට (රෙකමදාරු වීමට) අනුමැතිය දුන්නේ ද ඔහුට මිස (අන් කිසිවෙකුට) ඔහු අබියස (තවත් කෙනෙකු වෙනුවෙන්) රෙකමදාරු වීම ප්රයෝජන නොදෙන්නේය. (එවිට ඔවුන් අල්ලාහ්ගේ අනුමැතිය ලබන තුරු භීතියෙන් පසුවෙති.) කෙතරම්ද යත් (අනුමැතිය ලැබී) ඔවුන්ගේ හදවත් තුළින් භීතිය පහ වූ කල්හි ඔවුන් “නුඹලාගේ පරමාධිපති කුමක් පැවසුවේ දැ?”යි විමසති. “සත්යය” (පැවසුවේ) යැයි ඔවුහු පවසති. තවද ඔහු අති උත්තරීතරය අති ශ්රේෂ්ඨය. 11
11මෙම සූරාවේ 22 වන හා 23 වන ආයාත් මගින් බහු දේවවාදීන්ගේ ඇතැම් විශ්වාසයන් වැරදි බව ඔප්පු කර ඇත. අල්ලාහ්ට ඇති ශක්තිය ඔවුන් විසින්ම සාදනු ලැබූ පිළිමයන්ට ද ඇති බව ඔවුහු විශ්වාස කළෝය. මෙය ප්රතික්ෂේප කරනු පිණිස “ඔවුන් අහස්හි හා මිහිතලයෙහි අණු ප්රමාණයක තරම් හෝ හිමිකමක් නොදරන්නෝය” යැයි අල්ලාහ් පවසා ඇත. ඔවුන්ගෙන් තවත් ඇතැමුන්ට මෙම විශ්වාසය නොතිබුණු නමුත් ඔවුන් නමදින දෙවිවරුන් අල්ලාහ්ගේ උදව් කරුවන් යැයි විශ්වාස කළෝය. “තවද ඒ දෙකෙහි ඔවුනට (කිසිදු) හවුල්කාරකමක් නොමැත” යැයි කීම මගින් අල්ලාහ් ප්රතික්ෂේප කරන්නේ ද මෙම විශ්වාසයයි. ඔවුන්ගෙන් තවත් පිරිසක්, ඔවුන්ගේ දෙවිවරුන් පිළිබඳව වෙනත් විශ්වාසයක් තබා සිටියෝය. එනම් මෙම දෙවිවරුන්ව ඔවුන් නමදින්නේ විනිශ්චය දිනයේ අල්ලාහ් ඉදිරියේ තමන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් අයැදින්නන් වනු ඇත යනුවෙනි. මෙම විශ්වාසය ප්රතික්ෂේප කර මෙසේ පැවසුවේය. “ඔහු(අල්ලාහ්) කවරෙකුට (කෙනෙකු වෙනුවෙන් අයැද සිටීමට) අනුමැතිය දුන්නේ ද ඔහුට මිස (අන් කිසිවෙකුට) ඔහු අබියස (කෙනෙකු) වෙනුවෙන් ඇයැද සිටීම ප්රයෝජන නොදෙන්නේය”. එනම් කිසිදු නබිවරයෙකුට හා මලක්වරයෙකුට අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව ඔහු ඉදිරියේ අන් අය වෙනුවෙන් අයැද සිටීමට අනුමැතිය නැත යන්නයි.
24

قُلْ مَن يَرْزُقُكُم مِّنَ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ قُلِ اللَّهُ ۖ وَإِنَّا أَوْ إِيَّاكُمْ لَعَلَىٰ هُدًى أَوْ فِي ضَلَالٍ مُّبِينٍ

(නබිවරය,) “අහස් වලින් හා මිහිතලයෙන් නුඹලාට ජීවන සම්පත් දෙන්නේ කවුරුන් දැ?”යි විමසා “අල්ලාහ් යැ”යි පවසවු. තවද “සැබැවින්ම යහමගෙහි හෝ පැහැදිලි මුළාවෙහි (සිටින්නේ) අපි ද? නැතහොත් නුඹලා ද?” (යැයි ප්රතික්ෂේපකයින්ගෙන් විමසවු.)
25

قُل لَّا تُسْأَلُونَ عَمَّا أَجْرَمْنَا وَلَا نُسْأَلُ عَمَّا تَعْمَلُونَ

(නබිවරය, තවද) නුඹ පවසවු “අප කළ වැරදි දෑ පිළිබඳව නුඹලා විමසුමට ලක් නොවන්නෝය. තවද නුඹලා කරන දෑ පිළිබඳව අපි විමසුමට ලක් නොවන්නෙමු.”
26

قُلْ يَجْمَعُ بَيْنَنَا رَبُّنَا ثُمَّ يَفْتَحُ بَيْنَنَا بِالْحَقِّ وَهُوَ الْفَتَّاحُ الْعَلِيمُ

(නබිවරය,) “අපගේ පරමාධිපති (විනිශ්චය දිනයෙහි) අපව එක්රැස් කරන්නේය. පසුව ඔහු අප අතර යුක්තිගරුකව විනිශ්චය කරන්නේය. තවද ඔහු මහා විනිශ්චයකරුය, සර්වඥය” යැයි ද පවසවු.
27

قُلْ أَرُونِيَ الَّذِينَ أَلْحَقْتُم بِهِ شُرَكَاءَ ۖ كَلَّا ۚ بَلْ هُوَ اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ

(නබිවරය) “නුඹලා කවුරුන්ව ඔහුට(අල්ලාහ්ට) හවුල්කරුවන් ලෙස සම්බන්ධ කළේ ද ඔවුන්ව නුඹලා මට පෙන්වවු. එසේ (නුඹලාට හවුල්කරුවන් පෙන්වීමට හැකියාවක්) නැත. නමුත් ඔහු අල්ලාහ් අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය.” යැයි ද (ප්රතික්ෂේපකයින්ට) පවසවු.
28

وَمَا أَرْسَلْنَاكَ إِلَّا كَافَّةً لِّلنَّاسِ بَشِيرًا وَنَذِيرًا وَلَـٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

තවද (නබිවරය,) අපි නුඹව සමස්ත ජනයාටම ශුභාරංචි පවසන්නෙකු හා අවවාද කරන්නෙකු වශයෙන් මිස නොයැව්වෙමු. එනමුත් ජනයින්ගෙන් බොහෝ දෙනා (එය) නොදනිති.
29

وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ

තවද “නුඹලා සත්යවන්තයින් වන්නේ නම් මෙම ප්රතිඥාව(විනිශ්චය දිනය සිදු වනුයේ) කවදා දැ?”යි (ප්රතික්ෂේපකයින් වන) ඔවුහු විමසති.
30

قُل لَّكُم مِّيعَادُ يَوْمٍ لَّا تَسْتَأْخِرُونَ عَنْهُ سَاعَةً وَلَا تَسْتَقْدِمُونَ

(නබිවරය,) “නුඹලාටම නියම කරන ලද දිනයක් ඇත. (එයමය ප්රතිඥා දෙනු ලැබූ විනිශ්චය දිනය වනුයේ.) නුඹලා එයින් (සුළු) මොහොතක් හෝ ප්රමාද නොවන්නෝය. පෙරටු ද නොවන්නෝය.” යැයි (ඔවුනට) පවසවු.
31

وَقَالَ الَّذِينَ كَفَرُوا لَن نُّؤْمِنَ بِهَـٰذَا الْقُرْآنِ وَلَا بِالَّذِي بَيْنَ يَدَيْهِ ۗ وَلَوْ تَرَىٰ إِذِ الظَّالِمُونَ مَوْقُوفُونَ عِندَ رَبِّهِمْ يَرْجِعُ بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ الْقَوْلَ يَقُولُ الَّذِينَ اسْتُضْعِفُوا لِلَّذِينَ اسْتَكْبَرُوا لَوْلَا أَنتُمْ لَكُنَّا مُؤْمِنِينَ

තවද “මෙම අල් කුර්ආනය පිළිබඳව ද මෙයට පෙර වූ දෑ(ධර්ම පුස්තකයන්) පිළිබඳව ද සැබැවින්ම අපි විශ්වාස නොකරන්නෙමු.” යැයි ප්රතික්ෂේප කළවුන් පැවසුවෝය. තවද (නබිවරය) අපරාධකරුවන් තම පරමාධිපති අබියස රඳවා තැබූ අවස්ථාවෙහි ඔවුන්ගෙන් සමහරුන් තවත් සමහරුන් වෙත දොස් වචන පවසමින් සිටිය දී නුඹ (ඔවුන්ව) දුටුවේ නම් (පුදුමාකාර දෑ දැක ගනු ඇත. එනම්) දුබලයින් ලෙස හඳුන්වනු ලැබූවන් (වන අනුගාමිකයින්) “නුඹලා නොසිටියේ නම් අපි විශ්වාසිකයින්ව සිටීමට තිබුණි.” යැයි (නායකයින් වන) උඩඟුකම් පාමින් සිටියවුන්ට පවසනු ඇත.
32

قَالَ الَّذِينَ اسْتَكْبَرُوا لِلَّذِينَ اسْتُضْعِفُوا أَنَحْنُ صَدَدْنَاكُمْ عَنِ الْهُدَىٰ بَعْدَ إِذْ جَاءَكُم ۖ بَلْ كُنتُم مُّجْرِمِينَ

(එවිට) උඩඟුකම් පාමින් සිටියවුන් “නුඹලා වෙත යහ මග පැමිණි පසු එයින් නුඹලාව වැළැක්වූයේ අපි ද” (යැයි විමසා) “එසේ නොව, නුඹලාම (යහමගට නොගොස්) වැරදිකරුවන් ලෙස සිටියෝය” යැයි දුබලයින් ලෙස හඳුන්වනු ලැබූවන්ට පවසන්නෝය.
33

وَقَالَ الَّذِينَ اسْتُضْعِفُوا لِلَّذِينَ اسْتَكْبَرُوا بَلْ مَكْرُ اللَّيْلِ وَالنَّهَارِ إِذْ تَأْمُرُونَنَا أَن نَّكْفُرَ بِاللَّهِ وَنَجْعَلَ لَهُ أَندَادًا ۚ وَأَسَرُّوا النَّدَامَةَ لَمَّا رَأَوُا الْعَذَابَ وَجَعَلْنَا الْأَغْلَالَ فِي أَعْنَاقِ الَّذِينَ كَفَرُوا ۚ هَلْ يُجْزَوْنَ إِلَّا مَا كَانُوا يَعْمَلُونَ

තවද දුබලයින් ලෙස හඳුන්වනු ලැබූවන් “එසේ නොව අප අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීමට ද ඔහුට අප සමගාමීන් පත් කිරීමට ද නුඹලා අපට විධානය කළ කල්හි රාත්රියෙහි හා දහවලෙහි (නුඹලා) කළ කූටෝපාය (අපව මුළාවට පත් කළේ)” යැයි උඬඟුකම් පාමින් සිටියවුන්ට පවසන්නෝය. තවද ඔවුහු (දෙපිරිසම තමන්ගේ) දඬුවම දකින කල්හි පසුතැවිල්ල වසං කර ගන්නෝය. තවද ප්රතික්ෂේප කළවුන්ගේ ගෙලෙහි අපි විලංගු දමන්නෙමු. ඔවුහු (ලොවෙහි) කරමින් සිටි දැයට මිස පලවිපාක දෙනු ලබන්නෝ ද?
34

وَمَا أَرْسَلْنَا فِي قَرْيَةٍ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا بِمَا أُرْسِلْتُم بِهِ كَافِرُونَ

තවද යම් නගරයක සුඛෝපභෝගීව ජීවත් වන්නන් “සැබැවින්ම නුඹලා කුමක් සමග එවනු ලැබුවේද එය අපි ප්රතික්ෂේප කරන්නන් යැ”යි පැවසුවා මිස අවවාද කරන්නෙකුව(නබිවරයෙකුව) අපි එහි නොයැව්වෙමු.
35

وَقَالُوا نَحْنُ أَكْثَرُ أَمْوَالًا وَأَوْلَادًا وَمَا نَحْنُ بِمُعَذَّبِينَ

තවද “අපි ධනයෙන් ද දරුවන්ගෙන් ද අධිකව සිටින්නෙමු. (එබැවින්) අපි දඬුවමට ලක් වන්නන් නොවන්නෙමු” යැයි ද ඔවුහු පැවසුවෝය.
36

قُلْ إِنَّ رَبِّي يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاءُ وَيَقْدِرُ وَلَـٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

(නබිවරය,) “සැබැවින්ම මාගේ පරමාධිපති, ඔහු අභිමත කළවුන්ට ජීවන සම්පත් විස්තීර්ණ කරන්නේය. තවද (ඔහු අභිමත කළවුන්ට එය) සීමා කරන්නේය. එනමුත් මිනිසුන් අතුරින් බොහෝ දෙනා (ඒ පිළිබඳව) නොදනිති” යනුවෙන් පවසවු.
37

وَمَا أَمْوَالُكُمْ وَلَا أَوْلَادُكُم بِالَّتِي تُقَرِّبُكُمْ عِندَنَا زُلْفَىٰ إِلَّا مَنْ آمَنَ وَعَمِلَ صَالِحًا فَأُولَـٰئِكَ لَهُمْ جَزَاءُ الضِّعْفِ بِمَا عَمِلُوا وَهُمْ فِي الْغُرُفَاتِ آمِنُونَ

තවද නුඹලාගේ වස්තූන් ද නුඹලාගේ දරුවන් ද නුඹලාව අප හමුවෙහි ඉතා සමීපයට ගෙන එන්නන් නොවෙති. එනමුත් කවරෙකු විශ්වාස කර යහ කම් කළේද ඔහුමය( අප හමුවෙහි ඉතා සමීප වන්නන් වනුයේ). එබැවින් ඔවුන්මය තමන් කළ දෑ සඳහා (යහ) ප්රතිඵල දෙගුණවයක් හිමියන් වන්නෝ. තවද ඔවුහු (ස්වර්ගයේ උසස්) මන්දිරයන්හි අභයදායින් වෙති.
38

وَالَّذِينَ يَسْعَوْنَ فِي آيَاتِنَا مُعَاجِزِينَ أُولَـٰئِكَ فِي الْعَذَابِ مُحْضَرُونَ

තවද අපගේ වදන් විෂයෙහි (අපව) නොහැකියාවට පත් කරන්නන් ලෙස උත්සාහ කරන්නන් ඔවුන්මය (නිරා) දඬුවමට ඉදිරිපත් කරනු ලබන්නන් වන්නෝ.
39

قُلْ إِنَّ رَبِّي يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاءُ مِنْ عِبَادِهِ وَيَقْدِرُ لَهُ ۚ وَمَا أَنفَقْتُم مِّن شَيْءٍ فَهُوَ يُخْلِفُهُ ۖ وَهُوَ خَيْرُ الرَّازِقِينَ

(නබිවරය,) “සැබැවින්ම මාගේ පරමාධිපති, ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු අභිමත කළවුනට ජීවන සම්පත් විස්තීර්ණ කරන්නේය. තවද ඔහුට සීමා කරන්නේය. තවද කවර දැයක් නුඹලා වියදම් කරන්නේ ද ඔහු එය වෙනුවට ප්රතිඵල ලබා දෙන්නේය. තවද ඔහු ජීවන සම්පත් සපයන්නන් අතුරින් ශ්රේෂ්ඨයා” යැයි පවසවු.
40

وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ يَقُولُ لِلْمَلَائِكَةِ أَهَـٰؤُلَاءِ إِيَّاكُمْ كَانُوا يَعْبُدُونَ

(මිථ්යා දෙවිවරුන්, මලක්වරුන් හා මොවුන්ව නමදිමින් සිටි) ඔවුන් සියල්ලන්වම ඔහු එක්රැස් කරන (විනිශ්චය) දිනය (සිහිපත් කරවු). පසුව “නුඹලාව නමදිමින් සිටියේ මොවුන් දැ?”යි ඔහු(අල්ලාහ්) මලක්වරුන්ගෙන් විමසන්නේය.
41

قَالُوا سُبْحَانَكَ أَنتَ وَلِيُّنَا مِن دُونِهِم ۖ بَلْ كَانُوا يَعْبُدُونَ الْجِنَّ ۖ أَكْثَرُهُم بِهِم مُّؤْمِنُونَ

(එවිට) ඔවුන් “ඔබ අති පිවිතුරුය. ඔවුන් නොව ඔබමය අපගේ භාරකරු වන්නේ. නමුත් ඔවුන් ජින්වරුන්ව නමදිමින් සිටියෝය. 12 (ප්රතික්ෂේපක) ඔවුන්ගෙන් බොහෝ දෙනා ඔවුන්ව(ජින්වරුන්ව) විශ්වාස කරන්නන්ය.” යැයි (මලක්වරුන්) පවසන්නෝය.
12ඇතැම් බහු දේවවාදීන් මලක්වරුන්ව නැමදුම් කළෝය. එනමුත් මලක්වරුන් “නමුත් ඔවුන් ජින්වරුන්ව නමදිමින් සිටියෝය” යැයි පැවසීමට හේතු වූයේ මොවුන්ව නමදින ලෙස එම ප්රතික්ෂේපකයින්ට පෙලඹ වූයේ මෙම ෂෙයිතානීය ජින්වරුන්ය. ඇත්තෙන්ම බැලූ කල මොවුන් එම ෂෙයිතානීය ජින්වරුන්ට අවනත වීම තුළින් මලක්වරුන්ට නැමදුම් කළා හා සමාන විය.
42

فَالْيَوْمَ لَا يَمْلِكُ بَعْضُكُمْ لِبَعْضٍ نَّفْعًا وَلَا ضَرًّا وَنَقُولُ لِلَّذِينَ ظَلَمُوا ذُوقُوا عَذَابَ النَّارِ الَّتِي كُنتُم بِهَا تُكَذِّبُونَ

එබැවින් අද දින නුඹලා සමහරුන් තවත් සමහරුන්ට ඵලක් හෝ හානියක් කළ නොහැකිය. තවද “නුඹලා අසත්යය කරමින් සිටි (නිරා) ගින්නේ දඬුවම රස විඳිවු.” යැයි අපි අපරාධ කළවුනට පවසන්නෙමු.
43

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالُوا مَا هَـٰذَا إِلَّا رَجُلٌ يُرِيدُ أَن يَصُدَّكُمْ عَمَّا كَانَ يَعْبُدُ آبَاؤُكُمْ وَقَالُوا مَا هَـٰذَا إِلَّا إِفْكٌ مُّفْتَرًى ۚ وَقَالَ الَّذِينَ كَفَرُوا لِلْحَقِّ لَمَّا جَاءَهُمْ إِنْ هَـٰذَا إِلَّا سِحْرٌ مُّبِينٌ

තවද (ලොවෙහි) ඔවුන් වෙත අපගේ (අල් කුර්ආන්) වදන් පැහැදිලිව පාරායනා කරනු ලබන විට “මොහු නුඹලාගේ මුතුන්මිත්තන් නැමදුම් කරමින් සිටි දැයින් නුඹලාව වැළැක්වීමට පතන මිනිසෙකු මිස නොව.” යැයි ඔවුහු පැවසුවෝය. තවද “මෙය(අල්කුර්ආනය) ගොතන ලද බොරුවක් මිස නැත.” යැයි ද ඔවුහු පැවසුවෝය. තවද ප්රතික්ෂේප කළවුන් සත්ය( අල්කුර්ආන)ය පිළිබඳව එය ඔවුන් වෙත පැමිණි කල්හි “මෙය පැහැදිලි හූනියමක් මිස නැත.” යැයි පැවසුවෝය.
44

وَمَا آتَيْنَاهُم مِّن كُتُبٍ يَدْرُسُونَهَا ۖ وَمَا أَرْسَلْنَا إِلَيْهِمْ قَبْلَكَ مِن نَّذِيرٍ

(ඔවුන් පවසන දෑ එහි ඇති) ඔවුන් හදාරන්නා වූ ධර්ම පුස්තක කිසිවක් ඔවුනට අපි නොදුන්නෙමු. තවද (නබිවරය) නුඹට පෙර ඔවුන් වෙත (එවැනි වැරදි දෑ උගන්වන) කිසිදු අවවාද කරන්නෙකු(නබිවරයෙකු) අපි නොයැව්වෙමු.
45

وَكَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ وَمَا بَلَغُوا مِعْشَارَ مَا آتَيْنَاهُمْ فَكَذَّبُوا رُسُلِي ۖ فَكَيْفَ كَانَ نَكِيرِ

තවද (මක්කාවාසී ප්රතික්ෂේපක) මොවුනට පෙර වූවන් ද (රසූල්වරුන්ව) අසත්යය කළෝය. (පෙර වූවන් වන) ඔවුනට අප දුන් දැයින් 13 දහයෙන් කොටසක් හෝ මොවුන් ලබා නොගත්තෝය. ඔවුන් මාගේ රසූල්වරුන්ව අසත්ය කළෝය. (එවිගස ඔවුන් මාගේ දඬුවමට භාජනය වූවෝය) එසේ නම් (ඔවුනට) මාගේ නින්දාව කෙසේ වීද? (යැයි අවධානය කරවු.)
13‘පෙර වූවන්ට දුන් දෑ’ යනු ඔවුනට තිබූ ශක්තිය, ධනය හා ආයුෂ කාලය යනාදිය අදහස් වේ.
46

قُلْ إِنَّمَا أَعِظُكُم بِوَاحِدَةٍ ۖ أَن تَقُومُوا لِلَّهِ مَثْنَىٰ وَفُرَادَىٰ ثُمَّ تَتَفَكَّرُوا ۚ مَا بِصَاحِبِكُم مِّن جِنَّةٍ ۚ إِنْ هُوَ إِلَّا نَذِيرٌ لَّكُم بَيْنَ يَدَيْ عَذَابٍ شَدِيدٍ

(නබිවරය,) පවසවු. “සැබැවින්ම මා නුඹලාට උපදෙස් දෙන්නේම එක( දැය)ක් පිළිබඳවය. (එය) නුඹලා යුගලව හා තනි තනිව අල්ලාහ් වෙනුවෙන් නැගී සිට පසුව ගැඹුරින් සිතා බැලීමයි. (එවිට) නුඹලාගේ සගයා (වන මා) තුළ කිසිදු උන්මත්තකභාවයක් නොමැත. (යනුවෙන් නුඹලා වටහා ගනු ඇත).” (විනිශ්චය දිනයෙහි) දැඩි දඬුවම( පැමිණීම)ට පෙර නුඹලාට ඔහු(රසූල්වරයා) අවවාද කරන්නෙකු මිස නැත.
47

قُلْ مَا سَأَلْتُكُم مِّنْ أَجْرٍ فَهُوَ لَكُمْ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ

(තවද) නුඹ පවසවු. “නුඹලාගෙන් මම (යම්) වේතනයක් ඉල්ලුවේ නම් එයද නුඹලා වෙනුවෙන්මය. (නමුත්) මාගේ වේතනය අල්ලාහ් කෙරෙහි (පමණක්) මිස නැත. තවද ඔහු සියලු දෑ කෙරෙහි (දැනුම ඇති) සාක්ෂිකරුය.”
48

قُلْ إِنَّ رَبِّي يَقْذِفُ بِالْحَقِّ عَلَّامُ الْغُيُوبِ

(තවද) පවසවු. “සැබැවින්ම මාගේ පරමාධිපති (නබිවරුන් වෙත) සත්යය පහළ කරන්නේය. ගුප්ත දෑ (පිළිබඳව අල්ලාහ්) මැනවින් දන්නාය.”
49

قُلْ جَاءَ الْحَقُّ وَمَا يُبْدِئُ الْبَاطِلُ وَمَا يُعِيدُ

පවසවු. “සත්යය පැමිණියේය. අසත්යය (විනාශ වී ගියේය. තවද එය කිසිවක්) උපදවන්නේ නැත. තවද එය (විනාශ වූවක්) යළි උපදවන්නේ ද නැත.”
50

قُلْ إِن ضَلَلْتُ فَإِنَّمَا أَضِلُّ عَلَىٰ نَفْسِي ۖ وَإِنِ اهْتَدَيْتُ فَبِمَا يُوحِي إِلَيَّ رَبِّي ۚ إِنَّهُ سَمِيعٌ قَرِيبٌ

(තවද) පවසවු. “මා (සත්යය හැර) නොමග ගියේ නම් සැබැවින්ම මා නොමග (යාමෙහි පාඩුව) වන්නේ මා කෙරෙහිමය. තවද මා යහමග ලැබුවේ නම් (එය) මාගේ පරමාධිපති මා වෙත වහී පහළ කළ දෑ(අල් කුර්ආනය) හේතුවෙනි. සැබැවින්ම ඔහු සර්ව ශ්රාවකය සදා සමීපය.”
51

وَلَوْ تَرَىٰ إِذْ فَزِعُوا فَلَا فَوْتَ وَأُخِذُوا مِن مَّكَانٍ قَرِيبٍ

තවද (විනිශ්චය දින ප්රතික්ෂේපිත) ඔවුන් භීතියට පත් වූ අවස්ථාවෙහි නුඹ (ඔවුන්ව) දුටුවේ නම් (භයානක වූ ඉමහත් දෑ නුඹ දැක ගනු ඇත.) එවිට (ඔවුන්ට) කිසිදු ගැලවුමක් නොමැත. තවද සමීප ස්ථානයේ(මිනී වළේ) සිටම ඔවුන්ව ග්රහණය කර ගනු ලැබේ.
52

وَقَالُوا آمَنَّا بِهِ وَأَنَّىٰ لَهُمُ التَّنَاوُشُ مِن مَّكَانٍ بَعِيدٍ

තවද “අපි එ(ම අල් කුර්ආනය)ය විශ්වාස කරන්නෙමු.” යැයි ඔවුහු (එදින) පවසති. තවද දුරස්ථ වූ ස්ථාන(ය නම් ලෞකික ජීවිත)යේ සිට (විශ්වාසය නොකොට අද දින) කෙසේ නම් (එම විශ්වාසය) ඔවුන්ට හිමි වන්නේද? 14
14මිනිසා සත්ය දහම විශ්වාසය කළ යුත්තේ ලොවේ ජීවතුන් අතර සිටින විටය. යමෙකු මරණින් පසුව සත්ය දහම විශ්වාස කරන්නේ නම් එය ඔහුට කිසිදු ඵලක් ඇති නොකරයි. මිනිසුන් කුමක් විශ්වාස කළ ද එය ව්යාජ ද අව්යාජ ද යන්න මරණින් පසුව නිසැකයෙන්ම ඔවුනට පැහැදිලි වනු ඇත. එහෙත් තමන් විශ්වාස කළ දෑ අසත්යය යැයි මරණින් පසු ඔහුට පැහැදිලි වුවහොත් එය ප්රමාද වී හමාරය. මිනිසා යහ අවබෝධයක් ලබා සත්යය විශ්වාස කිරීම මරණයට පෙරම නිසි ලෙස කර ගත යුතු යැයි මෙම ආයතයෙන් අල්ලාහ් පවසා ඇත.
53

وَقَدْ كَفَرُوا بِهِ مِن قَبْلُ ۖ وَيَقْذِفُونَ بِالْغَيْبِ مِن مَّكَانٍ بَعِيدٍ

(මන්දයත්) මෙයට පෙර(ම ලෞකික ජීවිතයෙහි) සැබැවින්ම ඔවුන් එය ප්රතික්ෂේප කළෝය. තවද දුරස්ථ වූ ස්ථානයේ සිට ඔවුන් (තමන්ගේ දැනුමෙන්) සැඟවුණු දෑ මගින් (නබිවරයාට ද අල් කුර්ආනයට ද) චෝදනා එල්ල කරමින් සිටියෝය.
54

وَحِيلَ بَيْنَهُمْ وَبَيْنَ مَا يَشْتَهُونَ كَمَا فُعِلَ بِأَشْيَاعِهِم مِّن قَبْلُ ۚ إِنَّهُمْ كَانُوا فِي شَكٍّ مُّرِيبٍ

මෙයට පෙර (ප්රතික්ෂේපක) ඔවුන් මෙන් සිටියවුන්ට කරනු ලැබුවා සේම (විනිශ්චය දින) ඔවුන් අතර ද ඔවුන් ආශා කළ දෑ(වන විශ්වාසය) අතර ද බාධකයක් දමන ලදි. සැබැවින්ම ඔවුහු (ලොවෙහි) දැඩි සැකයෙහි (පසු)වූවෝය.
فاطرමක්කී
1

الْحَمْدُ لِلَّهِ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ جَاعِلِ الْمَلَائِكَةِ رُسُلًا أُولِي أَجْنِحَةٍ مَّثْنَىٰ وَثُلَاثَ وَرُبَاعَ ۚ يَزِيدُ فِي الْخَلْقِ مَا يَشَاءُ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

සියලු පැසසුම් අහස් හා මිහිතලය මුලින් උත්පාදනය කළා වූ ද පියාපත් දෙක බැගින් ද තුන බැගින් ද සතර බැගින් ද වූ මලක්වරුන්ව දූතයන් ලෙස පත් කළා වූ ද අල්ලාහ් සතුය. මැවීම් හි ඔහු අභිමත කළ දෑ අධික කරන්නේය. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
2

مَّا يَفْتَحِ اللَّهُ لِلنَّاسِ مِن رَّحْمَةٍ فَلَا مُمْسِكَ لَهَا ۖ وَمَا يُمْسِكْ فَلَا مُرْسِلَ لَهُ مِن بَعْدِهِ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

අල්ලාහ් ජනයින්ට දයාලුභාවය අතුරින් කුමක් විවෘත කරන්නේද එය වළක්වන කිසිදු කෙනෙකු නැත. තවද ඔහු කුමක් වළක්වන්නේද එයට පසු එය (ජනයින් වෙත) මුදා හරින කිසිදු කෙනෙකු නැත. ඔහු අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය.
3

يَا أَيُّهَا النَّاسُ اذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ ۚ هَلْ مِنْ خَالِقٍ غَيْرُ اللَّهِ يَرْزُقُكُم مِّنَ السَّمَاءِ وَالْأَرْضِ ۚ لَا إِلَـٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ

ජනයිනි, නුඹලා කෙරෙහි (දායාද කළ) අල්ලාහ්ගේ භාග්යය සිහිපත් කරවු. අහසින් හා මිහිතලයෙන් නුඹලාට ජීවන සම්පත් ලබා දෙන අල්ලාහ් මිස වෙනත් මැවුම්කරුවෙකු ඇත්ද? ඔහු හැර (නැමදීමට සුදුසු) වෙනත් දෙවියෙකු නොමැත. එබැවින් කෙසේ නම් නුඹලා (ඔහුගෙන් වෙනතකට) හරවනු ලබන්නෙහු ද?
4

وَإِن يُكَذِّبُوكَ فَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّن قَبْلِكَ ۚ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ

තවද (නබිවරය,) ඔවුන් නුඹව අසත්යය කරන්නේ නම් (එය නව්ය දෙයක් නොවේ. මන්දයත්) සැබැවින්ම නුඹට පෙර ද රසූල්වරුන් අසත්යය කරනු ලැබුවෝය. තවද (සියලු) කරුණු යළි පමුණුවනු ලබන්නේ අල්ලාහ් වෙතමය.
5

يَا أَيُّهَا النَّاسُ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ ۖ فَلَا تَغُرَّنَّكُمُ الْحَيَاةُ الدُّنْيَا ۖ وَلَا يَغُرَّنَّكُم بِاللَّهِ الْغَرُورُ

ජනයිනි, සැබැවින්ම අල්ලාහ්ගේ ප්රතිඥාව සත්යයකි. එබැවින් සැබැවින්ම මෙලොව ජීවිතය නුඹලාව නොරැවටිය යුතුය. තවද සැබැවින්ම රවටන්නා(ෂෙයිතාන්) අල්ලාහ් පිළිබඳව නුඹලාව නොරැවටිය යුතුය.
6

إِنَّ الشَّيْطَانَ لَكُمْ عَدُوٌّ فَاتَّخِذُوهُ عَدُوًّا ۚ إِنَّمَا يَدْعُو حِزْبَهُ لِيَكُونُوا مِنْ أَصْحَابِ السَّعِيرِ

සැබැවින්ම ෂෙයිතාන් නුඹලාට සතුරෙකි. එබැවින් නුඹලා ඔහුව සතුරෙකු ලෙසම ගනිවු. සැබැවින්ම ඔහු තම පාක්ෂිකයින්ව කැඳවන්නේම දරුණු (නිරා)ගින්නේ සගයින් අතුරින් වීම පිණිසය.
7

الَّذِينَ كَفَرُوا لَهُمْ عَذَابٌ شَدِيدٌ ۖ وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ

කවුරුන් ප්රතික්ෂේප කළේද ඔවුනට දරුණු දඬුවමක් හිමිය. තවද කවුරුන් විශ්වාස කර යහකම් කළේද ඔවුනට පාප ක්ෂමාවක් හා ඉමහත් වේතනයක් හිමිය.
8

أَفَمَن زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ فَرَآهُ حَسَنًا ۖ فَإِنَّ اللَّهَ يُضِلُّ مَن يَشَاءُ وَيَهْدِي مَن يَشَاءُ ۖ فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَاتٍ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا يَصْنَعُونَ

කවරෙකුට තම කි්රයාවේ නරකය අලංකාර කරනු ලැබ එය ඔහු අලංකාර ලෙස දකින්නේද ඔහු (අල්ලාහ් යහමග පෙන්වූවන් මෙන් වන්නේ) ද? සැබැවින්ම ඔහු අභිමත කරන අයට නොමඟ යන්නට ඉඩ හරින්නේය. තවද ඔහු අභිමත කරන අයට යහමග පෙන්වන්නේය. එබැවින් (ප්රතික්ෂේපක) ඔවුන් (නොමග යෑම) කෙරෙහි වූ කම්පාවෙන් නුඹගේ ආත්මය විනාශ කර නොගනිවු. සැබැවින්ම ඔවුන් කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්වඥය.
9

وَاللَّهُ الَّذِي أَرْسَلَ الرِّيَاحَ فَتُثِيرُ سَحَابًا فَسُقْنَاهُ إِلَىٰ بَلَدٍ مَّيِّتٍ فَأَحْيَيْنَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ كَذَٰلِكَ النُّشُورُ

තවද අල්ලාහ්, ඔහුමය සුළං එවනුයේ. පසුව ඒවා (තැනින් තැනට වැසි) වලාකුළු රැගෙන යයි. ඉන් පසුව (වියළී) නැසී ගිය නගරයක් වෙත අපි ඒවා ඇද ගෙන යන්නෙමු. තවද මිහිතලය (වියළී) නැසී ගිය පසු එම( වැසි වලාකුළු ම)ගින් එයට අපි ජීවය ඇති කළෙමු. (විනිශ්චය දින) නැවත නැගිටවනු ලැබීම ද මෙලෙසමය.
10

مَن كَانَ يُرِيدُ الْعِزَّةَ فَلِلَّهِ الْعِزَّةُ جَمِيعًا ۚ إِلَيْهِ يَصْعَدُ الْكَلِمُ الطَّيِّبُ وَالْعَمَلُ الصَّالِحُ يَرْفَعُهُ ۚ وَالَّذِينَ يَمْكُرُونَ السَّيِّئَاتِ لَهُمْ عَذَابٌ شَدِيدٌ ۖ وَمَكْرُ أُولَـٰئِكَ هُوَ يَبُورُ

කවරෙකු ගෞරවය අපේක්ෂා කරන්නේද ගෞරව සියල්ල අල්ලාහ්ට හිමිය. පිවිතුරු වදන ඔහු වෙතම ඉහළ නැගෙන්නේය. තවද යහ කි්රයාව (ඔහු වෙත) එය(පිවිතුරු වදන) ඔසවන්නේය. 1 තවද කවුරුන් නරක දෑ කුමන්ත්රණය කරන්නේ ද දරුණු දඬුවමක් ඔවුනට හිමිය. ඔවුන්ගේ කුමන්ත්රණය, එය විනාශ වන්නේය.
1‘පිවිතුරු වදන’ යනු ‘ලාඉලාහ ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිදු දෙවියෙකු නැත.) යන ඒක දේවත්වයේ වදනයි. තවද යහ ක්රියා මගින් එම පිවිතුරු වදන ඔසවනු ලබන්නේය යන්නෙහි අර්ථය, කෙනෙකු මෙම වදන පමණක් පැවසීම තුළින් ස්වර්ගයට ඇතුළු විය නොහැකිය. එනමුත් ඔහු එය පිරිසිදු චේතනාවෙන් පවසා ඒ අනුව යහ ක්රියා කළ යුතුය යන්නයි.
11

وَاللَّهُ خَلَقَكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ جَعَلَكُمْ أَزْوَاجًا ۚ وَمَا تَحْمِلُ مِنْ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِ ۚ وَمَا يُعَمَّرُ مِن مُّعَمَّرٍ وَلَا يُنقَصُ مِنْ عُمُرِهِ إِلَّا فِي كِتَابٍ ۚ إِنَّ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ

තවද අල්ලාහ් නුඹලාව පස් වලින් ද පසුව ශුක්රාණු( බිඳු)වකින් ද මැව්වේය. ඉන් පසුව නුඹලාව ඔහු යුගල ලෙස පත් කළේය. තවද ඔහුගේ දැනුමෙන් මිස කිසිදු ස්ත්රියක් ගැබ් ගන්නේද නැත. ප්රසූත කරන්නේද නැත. ලේඛනයෙහි(ලව්හුල් මහ්ෆූල්හි සටහන් වූවා) මිස කිසිදු වයස්ගත කෙනෙකුට (ඔහුගේ වයසට වඩා) වැඩි වයසක් දෙනු ලබන්නේද නැත. තවද තම වයසින් (කිසිවක්) අඩු කරනු ලබන්නේද නැත. සැබැවින්ම මෙය අල්ලාහ් කෙරෙහි පහසු කටයුත්තකි.
12

وَمَا يَسْتَوِي الْبَحْرَانِ هَـٰذَا عَذْبٌ فُرَاتٌ سَائِغٌ شَرَابُهُ وَهَـٰذَا مِلْحٌ أُجَاجٌ ۖ وَمِن كُلٍّ تَأْكُلُونَ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُونَ حِلْيَةً تَلْبَسُونَهَا ۖ وَتَرَى الْفُلْكَ فِيهِ مَوَاخِرَ لِتَبْتَغُوا مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

තවද මුහුදු දෙක එක සමාන නොවන්නේය. (ඉන් එකක් වන) මෙය මිහිරි මිරිදියයි. එය බීමට උචිතය. තවද (අනෙක වන) මෙය ලවණ (සහිත) කරදියයි. තවද (මේවා) සියල්ලෙන්ම නුඹලා නැවුම් මාංශ(මත්සයින්) අනුභව කරන්නෝය. තවද නුඹලා පලඳින (මුතු වැනි) ආභරණ (ඒ තුළින්) නුඹලා පිට කර ගන්නෝය. තවද ඔහුගේ භාග්යය 2 නුඹලා සොයා ගනු පිණිස එහි නෞකාවන් (ජලය) දෙබෑ කරමින් ගමන් කරන්නක්ව නුඹ දකින්නෙහිය. තවද නුඹලා කෘතවේදී විය හැක්කේය.
2මෙයින් අදහස් කෙරෙන්නේ මිනිසුන් විදෙස් ව්යාපාරය සඳහා නැව් යාත්රා කිරීමය.
13

يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُّسَمًّى ۚ ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ ۚ وَالَّذِينَ تَدْعُونَ مِن دُونِهِ مَا يَمْلِكُونَ مِن قِطْمِيرٍ

ඔහු(අල්ලාහ්) රාත්රිය දහවලෙහි ඇතුළු කරවන්නේය. තවද දහවල රාත්රියෙහි ඇතුළු කරවන්නේය. තවද ඔහු හිරු හා සඳු (තම ආධිපත්යය යටතේ) වසඟ කළේය. (ඉන්) එකිනෙක (එයට) නියම කරනු ලැබූ කාලයක් සඳහා ගමන් කරන්නේය. ඔහුය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. ආධිපත්යය ඔහු සතුය. තවද ඔහු හැර නුඹලා කවුරුන් (දෙවිවරුන් ලෙස) කැඳවන්නේද ඔවුන් (ධාන්ය) සිවියක තරම් හෝ ආධිපත්යයක් නොලබන්නෝය.
14

إِن تَدْعُوهُمْ لَا يَسْمَعُوا دُعَاءَكُمْ وَلَوْ سَمِعُوا مَا اسْتَجَابُوا لَكُمْ ۖ وَيَوْمَ الْقِيَامَةِ يَكْفُرُونَ بِشِرْكِكُمْ ۚ وَلَا يُنَبِّئُكَ مِثْلُ خَبِيرٍ

නුඹලා ඔවුන්ව(එම දෙවිවරුන්ව) කැඳවූයේ නම් ඔවුහු නුඹලාගේ කැඳවුමට සවන් නොදෙන්නෝය. (එසේ) ඔවුන් සවන් දුන්නේ නම් නුඹලාට ඔවුහු පිළිතුරු නොදෙන්නෝය. තවද (මළවුන්) නැගිටවනු ලබන දින (ලෞකික ජීවිතයෙහි නුඹලා අල්ලාහ්ට කළ) නුඹලාගේ ආදේශයන් ඔවුන්(එම දෙවිවරුන්) ප්රතික්ෂේප කරන්නෝය. තවද (නබිවරය,) අභිඥානවන්තයෙකු (වන අල්ලාහ්) වැනි (වෙනත් කිසිවෙක්) නුඹට (මේ පිළිබඳව) නොදන්වන්නේය.
15

يَا أَيُّهَا النَّاسُ أَنتُمُ الْفُقَرَاءُ إِلَى اللَّهِ ۖ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ

ජනයිනි, නුඹලා අල්ලාහ් වෙත අවශ්යතාව ඇත්තන්ය. තවද අල්ලාහ්, ඔහුමය (කිසිවෙකු වෙත අනවශ්ය වූ) සර්ව සම්පූර්ණ, සර්ව ප්රශංසාලාභී වන්නේ.
16

إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَأْتِ بِخَلْقٍ جَدِيدٍ

ඔහු අභිමත කළේ නම් නුඹලාව (විනාශ කර) බැහැර කර දමා නව මැවීමක් ගෙන එන්නේය.
17

وَمَا ذَٰلِكَ عَلَى اللَّهِ بِعَزِيزٍ

තවද මෙය අල්ලාහ් කෙරෙහි අසීරු දැයක් නොවන්නේය.
18

وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۚ وَإِن تَدْعُ مُثْقَلَةٌ إِلَىٰ حِمْلِهَا لَا يُحْمَلْ مِنْهُ شَيْءٌ وَلَوْ كَانَ ذَا قُرْبَىٰ ۗ إِنَّمَا تُنذِرُ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِالْغَيْبِ وَأَقَامُوا الصَّلَاةَ ۚ وَمَن تَزَكَّىٰ فَإِنَّمَا يَتَزَكَّىٰ لِنَفْسِهِ ۚ وَإِلَى اللَّهِ الْمَصِيرُ

තවද (තම පාපයේ) බර උසුලන්නෙකු වෙනකෙනෙකුගේ (පාපයේ) බර නොඋසුලන්නේය. (පාපයේ) බර පටවනු ලැබූවෙකු එය එසවීමට (උදවුකරුවෙකු) කැඳවූයේ නම් (කිසිවෙකු විසින්) එයින් කිසිවක් උසුලනු නොලබන්නේය. ඔහු සමීප ඥාතියෙකු වුවද (කම් නැත). නුඹ අවවාද කර(එය ප්රයෝජන ව)නුයේ ඔවුන්ගේ පරමාධිපතිව නොදකිමින්ම බියවන්නන්ට හා සලාතය ස්ථාපිත කරන්නන්ටමය.තවද කවරෙකු (විශ්වාසය මගින් සිත) පවිත්ර කර ගත්තේද සැබැවින්ම ඔහු පවිත්ර කර ගත්තේ තමන්වමය. තවද අවසානයෙහි යොමු වන ස්ථානය අල්ලාහ් වෙතය.
19

وَمَا يَسْتَوِي الْأَعْمَىٰ وَالْبَصِيرُ

තවද අන්ධයා හා පෙනුම ඇත්තා සම නොවන්නේය.
20

وَلَا الظُّلُمَاتُ وَلَا النُّورُ

තවද අඳුර හා ආලෝකය ද
21

وَلَا الظِّلُّ وَلَا الْحَرُورُ

සෙවණැල්ල හා (සූර්යය) රශ්මිය ද (සම නොවන්නේය.)
22

وَمَا يَسْتَوِي الْأَحْيَاءُ وَلَا الْأَمْوَاتُ ۚ إِنَّ اللَّهَ يُسْمِعُ مَن يَشَاءُ ۖ وَمَا أَنتَ بِمُسْمِعٍ مَّن فِي الْقُبُورِ

තවද ප්රාණය ඇත්තන් හා මළවුන් ද සම නොවන්නෝය. සැබැවින්ම අල්ලාහ් තමා අභිමත කළවුන්ට ශ්රවණය ඇති කරන්නේය. තවද (නබිවරය,) නුඹ මිනී වළවල් හි සිටින්නන්ට ශ්රවණය ඇති කරන්නෙකු නොවේ.
23

إِنْ أَنتَ إِلَّا نَذِيرٌ

නුඹ අවවාද කරන්නෙකුව මිස නැත.
24

إِنَّا أَرْسَلْنَاكَ بِالْحَقِّ بَشِيرًا وَنَذِيرًا ۚ وَإِن مِّنْ أُمَّةٍ إِلَّا خَلَا فِيهَا نَذِيرٌ

(නබිවරය,) සැබැවින්ම අපි නුඹව සත්යය(යහමග) සමග සුබාරංචි පවසන්නෙකු ලෙස ද අවවාද කරන්නෙකු ලෙස ද යැව්වෙමු. තවද කිසිදු ප්රජාවක් නැත. ඔවුන් අතර අවවාද කරන්නෙකු පැමිණ මිස.
25

وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ جَاءَتْهُمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ وَبِالزُّبُرِ وَبِالْكِتَابِ الْمُنِيرِ

තවද (නබිවරය,) ඔවුන් නුඹව අසත්යය කරන්නේ නම් (එය නව්ය දෙයක් නොවේ. මන්දයත්) සැබැවින්ම ඔවුන්ට පෙර සිටියවුන් ද (රසූල්වරුන්ව) අසත්යය කළෝය. ඔවුන්ගේ රසූල්වරුන් පැහැදිලි සාධක ද ධර්ම පනත් ද ආලෝකය දෙන්නා වූ ධර්ම පුස්තකය 3 ද රැගෙන ඔවුන් වෙත පැමිණියෝය.
3මෙය තව්රාතය හා ඉන්ජීලය යනුවෙන් සමහර විශාරදයින් අදහස් කර ඇත.
26

ثُمَّ أَخَذْتُ الَّذِينَ كَفَرُوا ۖ فَكَيْفَ كَانَ نَكِيرِ

පසුව ප්රතික්ෂේප කළවුන්ව මම ග්රහණය කර ගත්තෙමි. එබැවින් (ඔවුනට) මාගේ (දඬුවමින් වූ) නින්දාව කෙසේ වී ද?
27

أَلَمْ تَرَ أَنَّ اللَّهَ أَنزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجْنَا بِهِ ثَمَرَاتٍ مُّخْتَلِفًا أَلْوَانُهَا ۚ وَمِنَ الْجِبَالِ جُدَدٌ بِيضٌ وَحُمْرٌ مُّخْتَلِفٌ أَلْوَانُهَا وَغَرَابِيبُ سُودٌ

අල්ලාහ් අහසින් (වැසි) ජලය පහළ කිරීම නුඹ නුදුටුවෙහිද? පසුව එමගින් එහි වර්ණයන් විවිධාකාර වූ පලතුරු අපි පිට කළෙමු. තවද කඳු අතුරින් සුදු හා රතු පැහැති විවිධ වර්ණ වලින් යුත් මාර්ගයන් ඇත. තවද (අනෙක් ඒවාහි) සම්පූර්ණ කළු පැහැති (මාර්ග) ද ඇත.
28

وَمِنَ النَّاسِ وَالدَّوَابِّ وَالْأَنْعَامِ مُخْتَلِفٌ أَلْوَانُهُ كَذَٰلِكَ ۗ إِنَّمَا يَخْشَى اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاءُ ۗ إِنَّ اللَّهَ عَزِيزٌ غَفُورٌ

තවද මිනිසුන් අතුරින් ද සත්වයින් අතුරින් ද පශු කුලයට අයත් සතුන් අතුරින් ද එලෙසම එහි වර්ණයන් විවිධාකාරයෙන් යුක්තය. සැබැවින්ම අල්ලාහ්ට ඔහුගේ ගැත්තන් අතුරින් බියවන්නේ ආලිම්වරුන්( වන දැනුම ඇත්තන්)මය. සැබැවින්ම අල්ලාහ් අති බලසම්පන්නය අති ක්ෂමාශීලීය.
29

إِنَّ الَّذِينَ يَتْلُونَ كِتَابَ اللَّهِ وَأَقَامُوا الصَّلَاةَ وَأَنفَقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِيَةً يَرْجُونَ تِجَارَةً لَّن تَبُورَ

සැබැවින්ම අල්ලාහ්ගේ ධර්ම පුස්තකය(අල් කුර්ආනය) පාරායනා කරන්නන් ද සලාතය ස්ථාපිත කළවුන් ද ඔවුනට අප දුන් දැයින් රහසිගතව හා ප්රසිද්ධියේ (අල්ලාහ්ගේ මාර්ගයෙහි) වියදම් කළවුන් ද කිසිවිටක විනාශ නොවන ව්යාපාරයක්(ස්වර්ගය) බලාපොරොත්තු වන්නෝය.
30

لِيُوَفِّيَهُمْ أُجُورَهُمْ وَيَزِيدَهُم مِّن فَضْلِهِ ۚ إِنَّهُ غَفُورٌ شَكُورٌ

(එසේ ඔවුන් කරනුයේ) (මතුලොවෙහි) ඔවුන්ගේ වේතනයන් ඔවුන්ට පරිපූර්ණ කරනු පිණිස ද ඔහුගේ(අල්ලාහ්ගේ) වරප්රසාදය අධික කරනු පිණිස ද වේ. සැබැවින්ම ඔහු අති ක්ෂමාශීලීය තුතිය අගය කර( ප්රතිඵල දෙ)න්නාය.
31

وَالَّذِي أَوْحَيْنَا إِلَيْكَ مِنَ الْكِتَابِ هُوَ الْحَقُّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ ۗ إِنَّ اللَّهَ بِعِبَادِهِ لَخَبِيرٌ بَصِيرٌ

(නබිවරය,) ධර්ම පුස්තකයෙන් අපි නුඹ වෙත කුමක් දේව පණිවිඩ ලෙස පහළ කළෙමුද එ(ම අල් කුර්ආන)යමය එයට පෙර ඇති දෑ සත්යය කරවන සත්යය වන්නේ. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන් පිළිබඳව අභිඥානවන්තය. සර්ව සුපරික්ෂාකාරීය.
32

ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذِينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا ۖ فَمِنْهُمْ ظَالِمٌ لِّنَفْسِهِ وَمِنْهُم مُّقْتَصِدٌ وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ بِإِذْنِ اللَّهِ ۚ ذَٰلِكَ هُوَ الْفَضْلُ الْكَبِيرُ

පසුව අපගේ ගැත්තන් අතුරින් අප තෝරා ගත් අයට(නුඹගේ ප්රජාවට) ධර්ම පුස්තකය(අල් කුර්ආනය) අපි උරුම කර දුන්නෙමු. තවද ඔවුන් අතුරින් තමන්ටම අපරාධ කර ගත්තවුන් වෙති. තවද ඔවුන් අතුරින් මධ්යස්ථයින් ද වෙති. තවද ඔවුන් අතුරින් අල්ලාහ්ගේ අනුමැතියෙන් යහ දෑ හි පෙරටු වූවන් ද වෙති. 4 මෙයමය ඉමහත් වරප්රසාදය වන්නේ.
4අල් කුර්ආනය පිළිපැදීම විෂයෙහි මිනිසුන්ගේ මූලික වර්ග තුනක් මෙහි සඳහන් වී ඇත. ‘තමන්ටම අපරාධ කර ගත්තවුන්’ යනුවෙන් අදහස් කරන්නේ අල් කුර්ආනය ප්රතික්ෂේප කළවුන්ය. ‘මධ්යස්ථයින්’ යනු ඔහු අල්ලාහ්ව විශ්වාස කළ ද ඇතැම් අවස්ථාවන්හි පාපයන්හි නියැළෙන්නාය. ‘යහ දෑ හි පෙරටු වූවන්’ යනු තම ජීවිතයේ සියලු අවස්ථාවන්හි අල්ලාහ්ගේ අණ සිහියෙහි තබා ගෙන ඒ අනුව ජීවත් වීමට උත්සාහ දරන්නන්ය.
33

جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍ وَلُؤْلُؤًا ۖ وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌ

ඔවුන් එහි ඇතුලු වන සදාතනික (ස්වර්ග) උයන් (ඔවුනට) ඇත. රනින් වූ වළලු වලින් ද මුතු ද ඔවුනට එහි පලඳවනු ලැබේ. තවද එහි ඔවුන්ගේ වස්ත්රය සේද(වලින් යුක්ත)ය.
34

وَقَالُوا الْحَمْدُ لِلَّهِ الَّذِي أَذْهَبَ عَنَّا الْحَزَنَ ۖ إِنَّ رَبَّنَا لَغَفُورٌ شَكُورٌ

තවද ඔවුහු (මෙසේ) පවසති “අපගෙන් (සියලු) දුක ඉවත් කළා වූ අල්ලාහ්ටම සියලු පැසසුම් හිමිය. සැබැවින්ම අපගේ පරමාධිපති අති ක්ෂමාශීලීය තුතිය අගය කර( ප්රතිඵල දෙ)න්නාය.
35

الَّذِي أَحَلَّنَا دَارَ الْمُقَامَةِ مِن فَضْلِهِ لَا يَمَسُّنَا فِيهَا نَصَبٌ وَلَا يَمَسُّنَا فِيهَا لُغُوبٌ

ඔහු තම දායාදයෙන් අපව සදාතනික නිවසෙහි(ස්වර්ගයෙහි) ගෘහස්ථ කළේය. එහි (කිසිදු ශරීර) වෙහෙසක් අපව ස්පර්ශ නොකරන්නේය. තවද එහි (කිසිදු) කාන්සියක් අපව ස්පර්ශ නොකරන්නේය.”
36

وَالَّذِينَ كَفَرُوا لَهُمْ نَارُ جَهَنَّمَ لَا يُقْضَىٰ عَلَيْهِمْ فَيَمُوتُوا وَلَا يُخَفَّفُ عَنْهُم مِّنْ عَذَابِهَا ۚ كَذَٰلِكَ نَجْزِي كُلَّ كَفُورٍ

තවද ප්රතික්ෂේප කළවුන්, නිරා ගින්න ඔවුනට ඇත. (එහි මරණය) ඔවුන් කෙරෙහි තීන්දු නොකරනු ලබන්නේ(ම)ය. එබැවින් ඔවුහු මරණයට පත් නොවන්නෝය. එහි දඬුවමින් කිසිවක් ඔවුන්ගෙන් සැහැල්ලු කරනු නොලැබේ. ප්රතික්ෂේපකයින් සියල්ලන්ට අප ප්රතිවිපාක දෙනුයේ මෙලෙසය.
37

وَهُمْ يَصْطَرِخُونَ فِيهَا رَبَّنَا أَخْرِجْنَا نَعْمَلْ صَالِحًا غَيْرَ الَّذِي كُنَّا نَعْمَلُ ۚ أَوَلَمْ نُعَمِّرْكُم مَّا يَتَذَكَّرُ فِيهِ مَن تَذَكَّرَ وَجَاءَكُمُ النَّذِيرُ ۖ فَذُوقُوا فَمَا لِلظَّالِمِينَ مِن نَّصِيرٍ

තවද එ(ම නිරයෙ)හි ඔවුහු “අපගේ පරමාධිපතියාණනි, අපව (මෙයින්) බැහැර කරවු. අපි (මීට පෙර) කරමින් සිටි (නරක) දෑ නොව යහ කි්රයාවන් කරන්නෙමු.” යැයි උදවු පතමින් හඬා වැලපෙන්නෝය. (එවිට අල්ලාහ්) “උපදෙස් ලබන්නා එ(ම ලෞකික ජීවිතයෙ)හි උපදෙස් ලබනු පිණිස අප නුඹලාට (එහි) ආයුෂ කාලයක් නොදුන්නෙමුද? තවද (ඊට අමතරව) අවවාද කරන්නෙකු නුඹලා වෙත පැමිණියේය. එබැවින් නුඹලා (මෙම දඬුවම) රස විඳිවු. (මන්දයත්) අපරාධකරුවන්ට උදව්කරුවන් කිසිවෙකු නැත.” (යැයි පවසන්නේය.)
38

إِنَّ اللَّهَ عَالِمُ غَيْبِ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

සැබැවින්ම අල්ලාහ් අහස් හා මිහිතලයේ ඇති ගුප්ත දෑ (පිළිබඳව) දන්නාය. සැබැවින්ම ඔහු සිත් තුළ ඇති දෑ පිළිබඳව සර්වඥය.
39

هُوَ الَّذِي جَعَلَكُمْ خَلَائِفَ فِي الْأَرْضِ ۚ فَمَن كَفَرَ فَعَلَيْهِ كُفْرُهُ ۖ وَلَا يَزِيدُ الْكَافِرِينَ كُفْرُهُمْ عِندَ رَبِّهِمْ إِلَّا مَقْتًا ۖ وَلَا يَزِيدُ الْكَافِرِينَ كُفْرُهُمْ إِلَّا خَسَارًا

නුඹලාව මිහිතලයෙහි (පැවරූ බලතල ක්රියා කරන) නියෝජිතයන් බවට පත් කළේ ඔහුමය. එබැවින් කවරෙකු ප්රතික්ෂේප කළේද ඔහුගේ ප්රතික්ෂේපය (සඳහා වූ පලවිපාක) ඔහු කෙරෙහිමය. තවද ප්රතික්ෂේපකයින්ට ඔවුන්ගේ ප්රතික්ෂේපය ඔවුන්ගේ පරමාධිපති අබියස ප්රකෝපයක් මිස (අන් කිසිවක්) අධික නොකරයි. තවද ප්රතික්ෂේපකයින්ට ඔවුන්ගේ ප්රතික්ෂේපය අලාභයක් මිස (අන් කිසිවක්) අධික නොකරයි.
40

قُلْ أَرَأَيْتُمْ شُرَكَاءَكُمُ الَّذِينَ تَدْعُونَ مِن دُونِ اللَّهِ أَرُونِي مَاذَا خَلَقُوا مِنَ الْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌ فِي السَّمَاوَاتِ أَمْ آتَيْنَاهُمْ كِتَابًا فَهُمْ عَلَىٰ بَيِّنَتٍ مِّنْهُ ۚ بَلْ إِن يَعِدُ الظَّالِمُونَ بَعْضُهُم بَعْضًا إِلَّا غُرُورًا

(නබිවරය,) “අල්ලාහ් හැර නුඹලා ඇයැදින්නා වූ නුඹලා( ආදේශ කළ අල්ලාහ්)ගේ හවුල්කරුවන්ව නුඹලා අවධානය කළෙහු ද? මිහිතලයෙන් ඔවුන් මැව්වේ කුමක් දැ’යි මා හට නුඹලා පෙන්වවු. නැතහොත් අහස් (නිර්මාණය කිරීමෙ)හි ඔවුනට කොටසක් හිමිද? නැතහොත් (මොවුන් හවුල්කරුවන් යැයි පැහැදිලි කරන) ධර්ම පුස්තකයක් අපි (ප්රතික්ෂේපක) ඔවුන්ට දී එවිට ඔවුන් එයින් පැහැදිලි සාධකයක් මත සිටින්නේදැ?”යි විමසවු. නොඑසේය අපරාධකරුවන්, ඔවුන්ගෙන් ඇතැමුන්(ප්රධානීන්) ඇතැමුන්ට(ඔවුන්ගේ පිරිසට) රැවටිල්ලක් මිස (කිසිවක්) ප්රතිඥා නොකළෝය.
41

إِنَّ اللَّهَ يُمْسِكُ السَّمَاوَاتِ وَالْأَرْضَ أَن تَزُولَا ۚ وَلَئِن زَالَتَا إِنْ أَمْسَكَهُمَا مِنْ أَحَدٍ مِّن بَعْدِهِ ۚ إِنَّهُ كَانَ حَلِيمًا غَفُورًا

සැබැවින්ම අල්ලාහ් අහස් හා මිහිතලය (එහි ස්ථානයන්ගෙන්) නික්ම වීමෙන් වළක්වන්නේය. ඒදෙක නික්ම වූයේ නම් ඔහුගෙන් පසුව කිසිවෙකුට ඒදෙක වැළැක්විය නොහැක. සැබැවින්ම ඔහු දැඩි ඉවසිලිවන්ත, අති ක්ෂමාශීලී විය.
42

وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ لَئِن جَاءَهُمْ نَذِيرٌ لَّيَكُونُنَّ أَهْدَىٰ مِنْ إِحْدَى الْأُمَمِ ۖ فَلَمَّا جَاءَهُمْ نَذِيرٌ مَّا زَادَهُمْ إِلَّا نُفُورًا

තවද (ප්රතික්ෂේපක) ඔවුන් වෙත අවවාද කරන්නෙකු පැමිණියේ නම් සැබැවින්ම තමන් (පෙර පැමිණි) ප්රජාවන්ගෙන් (ඕනෑම) එකකට වඩා ඉතා යහමග ලැබූවන් වන්නෝ යැයි ඔවුන්ගේ ප්රබල දිවුරුම් වලින් ඔවුහු අල්ලාහ් මත දිවුරුවෝය. එහෙත් ඔවුන් වෙත අවවාද කරන්නෙකු පැමිණි කල්හි (ඔහුගේ එම පැමිණීම) ඔවුනට (යහමගින් දුරස් වී) පලායෑම මිස වෙන කිසිවක් අධික නොකළේය.
43

اسْتِكْبَارًا فِي الْأَرْضِ وَمَكْرَ السَّيِّئِ ۚ وَلَا يَحِيقُ الْمَكْرُ السَّيِّئُ إِلَّا بِأَهْلِهِ ۚ فَهَلْ يَنظُرُونَ إِلَّا سُنَّتَ الْأَوَّلِينَ ۚ فَلَن تَجِدَ لِسُنَّتِ اللَّهِ تَبْدِيلًا ۖ وَلَن تَجِدَ لِسُنَّتِ اللَّهِ تَحْوِيلًا

(මෙසේ ඔවුන් පලා ගියේ) මිහිතලයෙහි උඩඟුකම් පෑ හේතුවෙන් ද අයහ කුමන්ත්රණ කළ හේතුවෙන් ද වේ. තවද අයහ කුමන්ත්රණය, එය කළවුන් මිස (වෙනත් කිසිවෙකු) වෙළා නොගනී. එබැවින් පෙර වූවන්ගේ (විෂයෙහි වූ) පිළිවෙත(දඬුවම) මිස (වෙනකක්) ඔවුන් බලාපොරොත්තු වන්නේද? එබැවින් නුඹ අල්ලාහ්ගේ පිළිවෙතෙහි(දඬුවමෙහි) කිසිදු වෙනස් කිරීමක් නොදකින්නේමය. තවද නුඹ අල්ලාහ්ගේ පිළිවෙතෙහි(දඬුවමෙහි) කිසිදු හැරවීමක් නොදකින්නේමය.
44

أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِن قَبْلِهِمْ وَكَانُوا أَشَدَّ مِنْهُمْ قُوَّةً ۚ وَمَا كَانَ اللَّهُ لِيُعْجِزَهُ مِن شَيْءٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ ۚ إِنَّهُ كَانَ عَلِيمًا قَدِيرًا

ඔවුන් මිහිතලයෙහි ගමන් කර ඔවුනට පෙර විසූවන්ගේ 5 අවසානය කෙසේ වූයේ දැ’යි නොදුටුවේ ද? තවද (පෙර වූ) ඔවුන් මොවුන්ට වඩා ශක්තියෙන් දැඩි වූවන් වූහ. (මොවුන්ගේ විෂයෙහි) අහස්හි හා මිහිතලයෙහි කිසිවකින් තමාව නොහැකියාවට පත් කරන්නක් ලෙස අල්ලාහ් වූයේ නැත. සැබැවින්ම ඔහු සර්වඥ අති බලසම්පන්න විය.
5වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 40:21 ආයතයේ පාද සටහන බලන්න.
45

وَلَوْ يُؤَاخِذُ اللَّهُ النَّاسَ بِمَا كَسَبُوا مَا تَرَكَ عَلَىٰ ظَهْرِهَا مِن دَابَّةٍ وَلَـٰكِن يُؤَخِّرُهُمْ إِلَىٰ أَجَلٍ مُّسَمًّى ۖ فَإِذَا جَاءَ أَجَلُهُمْ فَإِنَّ اللَّهَ كَانَ بِعِبَادِهِ بَصِيرًا

තවද අල්ලාහ් ජනයාව ඔවුන් (පාපයන්ගෙන්) ඉපැයූ දෑ සඳහා ග්රහණය කරන්නේ නම් එහි(මිහිතලය) මතුපිට කිසිදු ජීවියෙකු (ජීවත් වීමට) අත හැර නොදමනු ඇත. එනමුත් නියමිත කාලයක් දක්වා (දඬුවම් නොකර) ඔහු ඔවුන්ව ප්රමාද කරන්නේය. පසුව ඔවුන්ගේ කාලය පැමිණි විට (ඔහු දඬුවම් කරන්නේය.) සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන් පිළිබඳව සර්ව සුපරික්ෂාකාරී විය.
يسමක්කී
1

يس

යා. සීන්. 1
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
2

وَالْقُرْآنِ الْحَكِيمِ

ප්රඥාවන්ත අල් කුර්ආනය මත දිවුරමින්.
3

إِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ

(අහෝ මුහම්මද්,) සැබැවින්ම නුඹ රසූල්වරුන් අතුරින් කෙනෙකි.
4

عَلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ

(තවද නුඹ) ඍජු මාර්ගයක් මත (සිටින්නෙහි)ය.
5

تَنزِيلَ الْعَزِيزِ الرَّحِيمِ

(මෙම අල් කුර්ආනය) අති බලසම්පන්න කරුණාභරිතයාණන්ගේ පහළ කිරීමකි.
6

لِتُنذِرَ قَوْمًا مَّا أُنذِرَ آبَاؤُهُمْ فَهُمْ غَافِلُونَ

කවරෙකුගේ මුතුන්මිත්තන් අවවාද කරනු නොලැබුවේ ද එවන් වූ පිරිසකට නුඹ අවවාද කරනු පිණිස (මෙය පහළ කළේ)ය. තවද ඔවුන් අනවධානීන්ය.
7

لَقَدْ حَقَّ الْقَوْلُ عَلَىٰ أَكْثَرِهِمْ فَهُمْ لَا يُؤْمِنُونَ

සැබැවින්ම ඔවුන්ගෙන් බහුතරය කෙරෙහි වදන 2 නියම විය. එබැවින් ඔවුහු විශ්වාස නොකරති.
2මෙහි ‘වදන’ යනුවෙන් අදහස් කෙරන්නේ මොවුන්ගේ විශ්වාසය විෂයෙහි අල්ලාහ්ගේ පූර්ව සැලැසුම හෙවත් ‘කලා කද්ර්’ හි සඳහන් වී ඇත් වදනය. එහෙත් මෙසේ ඔවුන් නිරා වැසියන් යැයි ලියනු ලැබූ නිසාවෙන් මොවුන් විශ්වාස නොකරන්නෝය යන අර්ථය නොවේ. මිනිසාට යහපත හෝ අයහපත තෝරා ගැනීමේ හැකියාව අල්ලාහ් ඔවුන්ටම දී ඇත. එනමුත් මොහු කුමක් තෝරා ගනී ද යන දැනුම මොහු එම ක්රියාව කිරීමට පෙර පමණක් නොව මොහුව හා මුළු විශ්වයම මැවීමට පෙරම අල්ලාහ් මැනවින් දන්නේය. එහෙයින් ‘කලා කද්ර්’හි ලියා ඇති දෑ සියල්ල සිදු වනු ඇත යන්න සත්යයය. එනමුත් සියල්ල සිදු වන්නේ එහි ලියා ඇති නිසා යැයි විශ්වාස කිරීම වැරැද්දකි.
8

إِنَّا جَعَلْنَا فِي أَعْنَاقِهِمْ أَغْلَالًا فَهِيَ إِلَى الْأَذْقَانِ فَهُم مُّقْمَحُونَ

සැබැවින්ම අපි ඔවුන්ගේ ගෙලෙහි විලංගු දැමුවෙමු. එය ඔවුන්ගේ නිකට දක්වා පවතී. එබැවින් ඔවුන් හිස් ඉහළට නෙරා ගියවුන්ය.
9

وَجَعَلْنَا مِن بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لَا يُبْصِرُونَ

තවද ඔවුනට ඉදිරියෙන් බාධකයක් ද ඔවුන්ගේ පසුපසින් බාධකයක් ද අපි ඇති කළෙමු. තවද (එමගින්) අපි ඔවුන්ව ආවරණය කළෙමු. එබැවින් ඔවුහු (සත්යය හා යහමග) නොබලන්නෝය.
10

وَسَوَاءٌ عَلَيْهِمْ أَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُونَ

නුඹ ඔවුනට අවවාද කළ ද නුඹ ඔවුනට අවවාද නොකළ ද ඔවුනට (එය) එක හා සමානය. ඔවුහු විශ්වාස නොකරති.
11

إِنَّمَا تُنذِرُ مَنِ اتَّبَعَ الذِّكْرَ وَخَشِيَ الرَّحْمَـٰنَ بِالْغَيْبِ ۖ فَبَشِّرْهُ بِمَغْفِرَةٍ وَأَجْرٍ كَرِيمٍ

නුඹ අවවාද කර(එය ප්රයෝජන ව)නුයේම උපදෙස(අල් කුර්ආනය) අනුගමනය කර (අල්ලාහ්ව) නොදකිමින්ම කරුණාභරිතයාණන්ට (අල්ලාහ්ට) බියවන්නන්ට( පමණක්)ය. එබැවින් නුඹ ඔහුට පාප ක්ෂමාවක් ගැන ද ගෞරවාන්විත වේතනයක්(ස්වර්ගය) ගැන ද ශුභාරංචි දන්වවු.
12

إِنَّا نَحْنُ نُحْيِي الْمَوْتَىٰ وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ ۚ وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ فِي إِمَامٍ مُّبِينٍ

සැබැවින්ම මළවුනට (මතු ලොවෙහි) ජීවය ලබා දෙන්නේ අපමය. තවද (මරණයට පෙර) ඔවුන් පෙරටු කළ දෑ ද ඔවුන්ගේ (ජීවිතයේ කළ කි්රයාවන්හි) පිය සටහන් ද අපි ලියන්නෙමු. සෑම කරුණක්ම පැහැදිලි පුස්තකයක(ආරක්ෂිත ඵලකයක) අපි සටහන් කළෙමු.
13

وَاضْرِبْ لَهُم مَّثَلًا أَصْحَابَ الْقَرْيَةِ إِذْ جَاءَهَا الْمُرْسَلُونَ

(නබිවරය,) නුඹ ඔවුනට(ප්රතික්ෂේපකයින්ට එක්තරා) ගම්වාසීන්( පිරිසක්)ව උපමාවක් ලෙස ගෙන හැර පෙන්වවු, එනම් (එම උපමාව) එහි රසූල්වරුන් පැමිණි අවස්ථාවය. 3
3මෙම රසූල්වරයා හා මෙම ගම්මානය පිළිබඳ වැඩි විස්තර අල් කුර්ආන්හි හෝ හදීස්හි සඳහන් වී නැත. නමුත් මෙය නබි ඊසා තුමා විසින් එක් තරා ගම්මානයකට යවනු ලැබූ ඔහුගේ එක් අනුගාමිකයෙකු යැයි ඇතැම් වාර්තාවන්හි සඳහන් වී ඇති නමුත් ඒ සියල්ල විශ්වාස කළ හැකි වාර්තාවන් නොවේ.
14

إِذْ أَرْسَلْنَا إِلَيْهِمُ اثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍ فَقَالُوا إِنَّا إِلَيْكُم مُّرْسَلُونَ

ඔවුන් වෙත අපි රසූල්වරුන් දෙදෙනෙකු එවූ කල්හි ඔවුහු ඔවුන් දෙදෙනාව අසත්යය කළෝය. පසුව අප තුන්වැන්නෙකු (යවා ඔහු) මගින් (ඔවුන් දෙදෙනාව) බලවත් කළෙමු. එවිට “සැබැවින්ම අපි නුඹලා වෙත එවනු ලැබූවන් වෙමු”යි ඔවුහු(එම රසූල්වරුන්) ප්රකාශ කළෝය.
15

قَالُوا مَا أَنتُمْ إِلَّا بَشَرٌ مِّثْلُنَا وَمَا أَنزَلَ الرَّحْمَـٰنُ مِن شَيْءٍ إِنْ أَنتُمْ إِلَّا تَكْذِبُونَ

(එයට) ඔවුන්(ගම්වාසීන්) “නුඹලා අප මෙන් මිනිසුන් මිස නැත, තවද කරුණාභරිතයාණන් (වන අල්ලාහ්) කිසිවක් පහළ නොකළේය, නුඹලා අසත්යය පවසන්නන් මිස නැතැ”යි පැවසුවෝය.
16

قَالُوا رَبُّنَا يَعْلَمُ إِنَّا إِلَيْكُمْ لَمُرْسَلُونَ

(එයට) ඔවුහු(නබිවරුන්) “සැබැවින්ම අපි නුඹලා වෙත එවනු ලැබූවන්(රසූල්වරුන්) බව අපගේ පරමාධිපති දන්නේ යැ”යි පැවසූහ.
17

وَمَا عَلَيْنَا إِلَّا الْبَلَاغُ الْمُبِينُ

“තවද (නුඹලාට) පැහැදිලි වූ දැනුම් දීමක් මිස අප කෙරෙහි වෙනත් (වගකීම්) කිසිවක් නැතැ”(යි ද නබිවරුන් පැවසූහ.)
18

قَالُوا إِنَّا تَطَيَّرْنَا بِكُمْ ۖ لَئِن لَّمْ تَنتَهُوا لَنَرْجُمَنَّكُمْ وَلَيَمَسَّنَّكُم مِّنَّا عَذَابٌ أَلِيمٌ

(එයට) ඔවුන්(ගම්වාසීන්) “සැබැවින්ම අපි නුඹලාව අසුබයක් ලෙස සලකන්නෙමු. නුඹලා (මෙයින්) නොවැළකුනේ නම් සැබැවින්ම අපි නුඹලාව ගල් ගසා මරන්නෙමු. තවද අපගෙන් වූ වේදනීය දඬුවමක් සැබැවින්ම නුඹලාව ස්පර්ශ කරනු ඇතැ”යි පැවසුවෝය.
19

قَالُوا طَائِرُكُم مَّعَكُمْ ۚ أَئِن ذُكِّرْتُم ۚ بَلْ أَنتُمْ قَوْمٌ مُّسْرِفُونَ

(එයට) ඔවුහු(නබිවරුන්) “නුඹලාගේ අසුබය නුඹලා සමගය. නුඹලාට උපදෙස් දෙනු ලැබූවත් ද? (නුඹලා අපව අසුබ යැයි පවසනුයේ.) කෙසේ නමුත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසකි.” යැයි පැවසූහ.
20

وَجَاءَ مِنْ أَقْصَى الْمَدِينَةِ رَجُلٌ يَسْعَىٰ قَالَ يَا قَوْمِ اتَّبِعُوا الْمُرْسَلِينَ

තවද එම නගරයේ කෙළවරක සිට මිනිසෙකු වේගයෙන් පැමිණ 4 (මෙසේ) පැවසුවේය. “මාගේ ජනයිනි, නුඹලා (මෙම) රසූල්වරුන්ව පිළිපදිවු.
4මොහු එම සමූහයා අතර සිටි පුද්ගලයෙකි. මොහු එකල සිටි රසූල්වරුන්ව විශ්වාස කර තම ජනයින්ට ද විශ්වාස කරන මෙන් පැවසුවේය. එනමුත් මොහුව එම ජනයින් ඝාතනය කළෝය. මෙම සූරාවෙහි 26 වන ආයතයෙහි මොහුට ස්වර්ගය සඳහා සුබාරංචි ලැබූ බව සඳහන්ව ඇත.
21

اتَّبِعُوا مَن لَّا يَسْأَلُكُمْ أَجْرًا وَهُم مُّهْتَدُونَ

(එනම්) නුඹලාගෙන් කිසිදු කුලියක් නොඅයැදින අයව(රසූල්වරුන්ව) නුඹලා පිළිපදිවු. තවද ඔවුන් යහමග ලැබූවන්ය.
22

وَمَا لِيَ لَا أَعْبُدُ الَّذِي فَطَرَنِي وَإِلَيْهِ تُرْجَعُونَ

තවද මා මැවූ ඔහුව(අල්ලාහ්ව) මා නොනැමද සිටීමට මට කුමක් වී ද? තවද ඔහු වෙතමය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ.
23

أَأَتَّخِذُ مِن دُونِهِ آلِهَةً إِن يُرِدْنِ الرَّحْمَـٰنُ بِضُرٍّ لَّا تُغْنِ عَنِّي شَفَاعَتُهُمْ شَيْئًا وَلَا يُنقِذُونِ

කරුණාභරිතයාණන්, (අල්ලාහ්) යම් නපුරක් මා හට අභිමත කරන්නේ නම් ඔවුන්ගේ මැදිහත් වීම මාහට කිසිදු ප්රයෝජනයක් ඇති නොකරන්නා වූ තවද මා ආරක්ෂා නොකරන්නා වූ දෙවිවරුන්ව මම ඔහු(අල්ලාහ්) හැර (නැමදීමට) ගන්නෙම් ද?
24

إِنِّي إِذًا لَّفِي ضَلَالٍ مُّبِينٍ

(එසේ ව්යාජ දෙවිවරුන්ව මා නැමදුම් කළේ නම්) එවිට සැබැවින්ම මම පැහැදිලි නොමගෙහිය.
25

إِنِّي آمَنتُ بِرَبِّكُمْ فَاسْمَعُونِ

සැබැවින්ම මම නුඹලාගේ පරමාධිපතිව(අල්ලාහ්ව) විශ්වාස කළෙමි. එබැවින් නුඹලා මට සවන් දෙවු.”
26

قِيلَ ادْخُلِ الْجَنَّةَ ۖ قَالَ يَا لَيْتَ قَوْمِي يَعْلَمُونَ

(ඉන් පසුව එම ජනයින් ඔහුව ඝාතනය කළෝය. එවිට) “නුඹ (ස්වර්ග) උයනට ඇතුළු වවු” යැයි (ඔහුට) පවසනු ලැබීය. (ඔහු ස්වර්ගයට ඇතුළු වූ පසු) “අහෝ! මාගේ පරමාධිපති මට සමාව දී තිබීම පිළිබඳව ද මා ගෞරවනීය අයගෙන් කෙනෙකු බවට පත් කර තිබීම පිළිබඳව ද මාගේ ජනයින් දැනගත්තේ නම්.” යැයි ඔහු පැවසුවේය.
27

بِمَا غَفَرَ لِي رَبِّي وَجَعَلَنِي مِنَ الْمُكْرَمِينَ

(ඉන් පසුව එම ජනයින් ඔහුව ඝාතනය කළෝය. එවිට) “නුඹ (ස්වර්ග) උයනට ඇතුළු වවු” යැයි (ඔහුට) පවසනු ලැබීය. (ඔහු ස්වර්ගයට ඇතුළු වූ පසු) “අහෝ! මාගේ පරමාධිපති මට සමාව දී තිබීම පිළිබඳව ද මා ගෞරවනීය අයගෙන් කෙනෙකු බවට පත් කර තිබීම පිළිබඳව ද මාගේ ජනයින් දැනගත්තේ නම්.” යැයි ඔහු පැවසුවේය.