الْحَمْدُ لِلَّهِ الَّذِي لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَلَهُ الْحَمْدُ فِي الْآخِرَةِ ۚ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ
අහස්හි ඇති දෑ ද මිහිතලයෙහි ඇති දෑ ද කවරෙකු සතුව තිබෙන්නේ ද එම අල්ලාහ්ටම සියලු පැසසුම් හිමිය. තවද මතු ලොව සියලු පැසසුම් ද ඔහු සතුය. තවද ඔහු සර්ව ප්රඥාවන්තය අභිඥානවන්තය.
يَعْلَمُ مَا يَلِجُ فِي الْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنزِلُ مِنَ السَّمَاءِ وَمَا يَعْرُجُ فِيهَا ۚ وَهُوَ الرَّحِيمُ الْغَفُورُ
මිහිතලයෙහි පිවිසෙන (ජලය මෙන්) දෑ හා ඉන් බැහැර වන (පැලෑටි මෙන්) දෑ ද අහසින් පහළ වන (වැසි වැනි) දෑ හා එහි ඉහළට යන (යහ කි්රයා වැනි) දෑ ද ඔහු මැනවින් දන්නේය. තවද ඔහු පරම කරුණාභරිත අති ක්ෂමාශීලීය.
وَقَالَ الَّذِينَ كَفَرُوا لَا تَأْتِينَا السَّاعَةُ ۖ قُلْ بَلَىٰ وَرَبِّي لَتَأْتِيَنَّكُمْ عَالِمِ الْغَيْبِ ۖ لَا يَعْزُبُ عَنْهُ مِثْقَالُ ذَرَّةٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ وَلَا أَصْغَرُ مِن ذَٰلِكَ وَلَا أَكْبَرُ إِلَّا فِي كِتَابٍ مُّبِينٍ
ප්රතික්ෂේප කළවුන් “(ලොව අවසන්) හෝරාව අප වෙත නොපැමිණෙන්නේ යැ”යි පැවසුවෝය. “නොඑසේය. ගුප්ත දෑ දන්නා මාගේ පරමාධිපති මත දිවුරමින් සැබැවින්ම එය නුඹලා වෙත පැමිණෙන්නේමය. අහස්හි ද මිහිතලයෙහි ද අණු ප්රමාණයක දැයක් වුවද ඔහුගෙන් සැඟවෙන්නේ නැත. තවද එයට වඩා ඉතා කුඩා දැයක් වුව ද ඉතා විශාල දැයක් වුව ද (ලව්හුල් මහ්ෆූල් නම්) පැහැදිලි පුස්තකයෙහි (සටහන් වී) මිස නැත.” යැයි (නබිවරය,) නුඹ පවසවු.
1මක්කාවාසී ප්රතික්ෂේපකයින් විනිශ්චය දිනයෙහි මිනිසාව නැවත නැගිටුවනු ලැබීම ප්රතික්ෂේප කිරීමට හේතු වූයේ කෙනෙකු මරණයට පත් වීමෙන් පසු ඔහුගේ සිරුර දිරාපත් වී පොළොවෙහි විවිධ පැති වලට කැබලි වශයෙන් පැතිරී යාමෙන් පසුව නැවතත් එය කෙසේ එක්රැස් කළ හැකි ද? යන ගැටළුවය. මෙම ආයතයෙන් අදහස් වන්නේ අහස්හි හෝ පොළොවෙහි ඇති අණු ප්රමාණයේ දැයක් පවා අල්ලාහ්ගේ දැනුමෙන් හෝ ඔහුගේ පාලනයෙන් පරිබාහිර නොවේ යන්න හැඟවීමටය.
لِّيَجْزِيَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ۚ أُولَـٰئِكَ لَهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ
විශ්වාස කර යහකම් කළවුනට ප්රතිඵල පිරිනැමීම පිණිස (ලොව අවසන් හෝරාව පැමිණෙන්නේම)ය. ඔවුන්මය (එදින) පාප ක්ෂමාව හා ගෞරවනීය සම්පත් හිමියන් වන්නේ.
وَالَّذِينَ سَعَوْا فِي آيَاتِنَا مُعَاجِزِينَ أُولَـٰئِكَ لَهُمْ عَذَابٌ مِّن رِّجْزٍ أَلِيمٌ
තවද අපගේ වදන් විෂයෙහි (අපව) නොහැකියාවට පත්කරන්නන් ලෙස (උපකල්පනය කරමින්) උත්සාහ කළවුන්(ට ඵලවිපාක පිරිනැමීම පිණිස ද ලොව අවසන් හෝරාව පැමිණෙන්නේය.) ඔවුන්මය (එදින) ඛේදජනක දඬුවමින් වූ වේදනීය දඬුවමක හිමියන් වන්නේ.
وَيَرَى الَّذِينَ أُوتُوا الْعِلْمَ الَّذِي أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ هُوَ الْحَقَّ وَيَهْدِي إِلَىٰ صِرَاطِ الْعَزِيزِ الْحَمِيدِ
තවද නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ(අල් කුර්ආනය) සත්යය යැයි ද එය අති බලසම්පන්න සර්ව ප්රශංසාලාභීගේ(අල්ලාහ්ගේ) මාර්ගය වෙත මග පෙන්වන්නක් යැයි ද ඥානය දෙනු ලැබූවන් දකින්නෝය.
وَقَالَ الَّذِينَ كَفَرُوا هَلْ نَدُلُّكُمْ عَلَىٰ رَجُلٍ يُنَبِّئُكُمْ إِذَا مُزِّقْتُمْ كُلَّ مُمَزَّقٍ إِنَّكُمْ لَفِي خَلْقٍ جَدِيدٍ
“නුඹලා (මරණයට පත් වී) සම්පූර්ණයෙන් කැබලි බවට පත්වූ පසුව ද සැබැවින්ම නුඹලා (නැවත) නව මැවුමක (නැගිට)වන්නෝය යැයි නුඹලාට පවසන පුද්ගලයෙකු පිළිබඳව අප නුඹලාට දන්වන්න දැ?”යි ප්රතික්ෂේප කළවුන් (සමච්චල් සහගතව මුහම්මද්ව අඟවා) පැවසුවෝය.
أَفْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَم بِهِ جِنَّةٌ ۗ بَلِ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ فِي الْعَذَابِ وَالضَّلَالِ الْبَعِيدِ
“අල්ලාහ් පිළිබඳව ඔහු බොරුවක් ගෙතුවේ ද? නැතහොත් ඔහු තුළ උමතුභාවයක් ඇත් ද?” (යැයි ද පැවසුවෝය.) එසේ නොව, මතුලොව පිළිබඳව විශ්වාස නොකරන්නන් දඬුවමෙහි ද (යහමගින්) දුරස්ථ වූ මුළාවෙහි ද වෙති.
أَفَلَمْ يَرَوْا إِلَىٰ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُم مِّنَ السَّمَاءِ وَالْأَرْضِ ۚ إِن نَّشَأْ نَخْسِفْ بِهِمُ الْأَرْضَ أَوْ نُسْقِطْ عَلَيْهِمْ كِسَفًا مِّنَ السَّمَاءِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِّكُلِّ عَبْدٍ مُّنِيبٍ
ඔවුනට ඉදිරියෙන් ඇති තවද ඔවුනට පසු පසින් ඇති අහස හා මිහිතලය ඔවුහු නොදුටුවෙහු ද? අප අභිමත කළේ නම් මිහිතලයෙහි ඔවුන්ව අප ගිල්වන්නට තිබිණ. නැතහොත් අහසින් වූ කැබලි ඔවුන් මත අප හෙළන්නට තිබිණ. සැබැවින්ම එහි (අප වෙත) නැඹුරු වන සෑම ගැත්තෙකුටම සංඥාවක් ඇත.
وَلَقَدْ آتَيْنَا دَاوُودَ مِنَّا فَضْلًا ۖ يَا جِبَالُ أَوِّبِي مَعَهُ وَالطَّيْرَ ۖ وَأَلَنَّا لَهُ الْحَدِيدَ
තවද සැබැවින්ම අපි දාවූද්ට අපගෙන් වරප්රසාද පිරිනැමුවෙමු. “අහෝ කඳු හා පක්ෂිය, ඔහු සමග නුඹලා ද (අල්ලාහ්ව) නැවත නැවතත් සුවිශුද්ධ කරවු.” (යැයි අපි පැවසුවෙමු.) තවද අපි ඔහුට යකඩ මෙළෙක් කර දුන්නෙමු.
2වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 21:79 වන ආයතය එහි පාද සටහන සමග බලන්න.
أَنِ اعْمَلْ سَابِغَاتٍ وَقَدِّرْ فِي السَّرْدِ ۖ وَاعْمَلُوا صَالِحًا ۖ إِنِّي بِمَا تَعْمَلُونَ بَصِيرٌ
“(අහෝ දාවූද්, එමගින්) නුඹ යුද ඇඳුම් සාදවු. (එහි) කරවළලු නිසි ලෙස පිළියෙල කරවු. තවද (දාවූද්ගේ ජනයිනි,) නුඹලා යහකම් කරවු. සැබැවින්ම මම නුඹලා කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂකය.” (යැයි ද පැවසුවෙමු.)
وَلِسُلَيْمَانَ الرِّيحَ غُدُوُّهَا شَهْرٌ وَرَوَاحُهَا شَهْرٌ ۖ وَأَسَلْنَا لَهُ عَيْنَ الْقِطْرِ ۖ وَمِنَ الْجِنِّ مَن يَعْمَلُ بَيْنَ يَدَيْهِ بِإِذْنِ رَبِّهِ ۖ وَمَن يَزِغْ مِنْهُمْ عَنْ أَمْرِنَا نُذِقْهُ مِنْ عَذَابِ السَّعِيرِ
තවද සුලෙයිමාන්ට සුළඟ( අප විසින් වසඟ කර දෙනු ලැබී)ය. එ(ම සුළඟ)හි උදෑසන ගමන එක් මසක දුර( ප්රමාණ)ය. එහි සවස් ගමන එක් මසක දුර( ප්රමාණ)ය. (ජලය මෙන්) තඹ උල්පතක් ඔහු වෙනුවෙන් ගලා බසින්නට සැලැස්වූයෙමු. තවද ජින්වරුන් අතුරින් ඔහුගේ පරමාධිපතිගේ අනුමැතියෙන් ඔහු ඉදිරියේ සේවය කරන්නන් ද සිටිති. ඔවුන් අතුරින් කවරෙකු අපගේ අණට පිටුපාන්නේ ද ඔහුට ඇවිළෙන ගින්නේ දඬුවම විඳින්නට සලස්වන්නෙමු.
3වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 21:81 වන ආයතය එහි පාද සටහන සමග බලන්න.
4‘ඇවිළෙන ගින්න’ යනු අල්ලාහ්ගේ අණට හා නබි සුලෙයිමාන් තුමාණන්ගේ අණට අකීකරුවූවන්ට දඬුවම් කිරීම සඳහා විනිශ්චය දිනයේ සූදානම් කරනු ලැබ ඇති නිරා ගින්නයි. තවද මෙයට ඔවුන්ගේ දඬුවමක් වශයෙන් මෙලොවෙහිම සූදානම් කරනු ලැබූ ගින්නක් යන්නෙන් ද අදහස් දැක්විය හැක.
يَعْمَلُونَ لَهُ مَا يَشَاءُ مِن مَّحَارِيبَ وَتَمَاثِيلَ وَجِفَانٍ كَالْجَوَابِ وَقُدُورٍ رَّاسِيَاتٍ ۚ اعْمَلُوا آلَ دَاوُودَ شُكْرًا ۚ وَقَلِيلٌ مِّنْ عِبَادِيَ الشَّكُورُ
මිහ්රාබයන් , ප්රතිමාවන්, තටාකයන් මෙන් (විශාල) බඳුන් හා (ආහාර පිසීම සඳහා පොළොවට) සවි කරන ලද විශාල බඳුන් අතුරින් ඔහු(සුලෙයිමාන්) අභිමත කළ දෑ ඔහු වෙනුවෙන් ඔවුහු(ජින්වරුන්) ඉදි කරන්නෝය. දාවූද්ගේ නිවැසියනි, (අල්ලාහ්ට) කෘතවේදී වනු පිණිස නුඹලා යහකම් කරවු. මාගේ ගැත්තන් අතුරින් (අල්ලාහ්ට) කෘතවේදී වනුයේ ඉතා ස්වල්ප දෙනෙකි.
5මිහ්රාබ් යන අරාබි පදයට මාළිගය, මස්ජිදය හා උස් ගොඩනැගිල්ල යන අර්ථයන් ඇත.
فَلَمَّا قَضَيْنَا عَلَيْهِ الْمَوْتَ مَا دَلَّهُمْ عَلَىٰ مَوْتِهِ إِلَّا دَابَّةُ الْأَرْضِ تَأْكُلُ مِنسَأَتَهُ ۖ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ الْجِنُّ أَن لَّوْ كَانُوا يَعْلَمُونَ الْغَيْبَ مَا لَبِثُوا فِي الْعَذَابِ الْمُهِينِ
ඔහුට(සුලෙයිමාන්ට) අප මරණය නියම කළ කල්හි ඔහුගේ මරණය පිළිබඳව (පුවත) ඔහුගේ රාජ්ය සෙංකෝලය අනුභව කරමින් සිටි (වේයන් වැනි) කෘමීන් මිස ඔවුනට(ජින්වරුන්ට) දැන්වූයේ නැත. පසුව ඔහු(ගේ සෙංකෝලය කැඩී ඔහු) බිම වැටුණු කල්හි ජින්වරුන් “තමන් ගුප්ත දෑ පිළිබඳව දැන සිටියේ නම් (ඔහුට වහල්ව කටයුතු කිරීම වන) නින්දනීය දඬුවමෙහි තමන් (දිගු කලක්) රැඳී නොසිටිනු ඇතැ”යි පහදා ගත්තෝය.
6‘ජෙරුසලම්’ නම් ‘බයිතුල් මක්දිස්’ නම් මස්ජිදය ඉදි කිරීමේ කටයුත්ත නබි සුලෙයිමාන් තුමාණන් ජින්වරුන්ට පැවරුවේය. ඔවුන් මෙම කටයුත්තෙහි නියැළෙන්නේ ඔහු අධීක්ෂණයෙහි සිටින විට පමණි. එහෙයින් ඔහු එම ස්ථානයට අසල පිහිටි තමන්ගේ නැමදුම් කරන තැනෙහි තම සෙංකෝළයට බර දී ඔවුන් ඉදිරියෙහි සිට ගත්තේය. මෙම තත්ත්වයෙහිම ඔහු මරණයට පත් වූ නමුත් ඔහුගේ සෙංකෝලය ආධාරයෙන් ඔහුගේ ශරීරය බිම නොවැටුණි. තමන් ඉදිරියේ සිටගෙන සිටින නබි සුලෙයිමාන් තුමාණන් මරණයට පත් වී ඇත යන කරුණ නොදත් ජින්වරුන් මොහු අධීක්ෂණයේ සිටිනවා යැයි සිතා මස්ජිදය ඉදිකිරීමේ කටයුත්ත පරිපූර්ණ කළෝය. පසුව කෘමීන් විසින් කනු ලැබූ ඔහුගේ සෙංකෝලය කැඞී මොහුගේ ශරීරය බිම වැටුණු විට මොහු මරණයට පත් වී ඇත යන්න ජින්වරුන්ට පැහැදිලි විය. මෙයින් පැහැදිලි වන එක් කරුණක් නම් ගුප්ත දෑහි දැනුම හෝ අනාගතයේ දැනුම ජින්වරුන්ට පවා නොමැත යන්නය. තවත් කරුණක් නම් නබිවරුන්ගේ ශරීරය නරක් වී හෝ පොලොවේ දිරාපත් වී හෝ නොයන බවය.
لَقَدْ كَانَ لِسَبَإٍ فِي مَسْكَنِهِمْ آيَةٌ ۖ جَنَّتَانِ عَن يَمِينٍ وَشِمَالٍ ۖ كُلُوا مِن رِّزْقِ رَبِّكُمْ وَاشْكُرُوا لَهُ ۚ بَلْدَةٌ طَيِّبَةٌ وَرَبٌّ غَفُورٌ
සැබැවින්ම සබඃ (නගර) වැසියන්ට ඔවුන්ගේ වාසස්ථානයෙහි සංඥාවක් තිබුණි. (එනම්) දකුණු පසින් ද වම් පසින් ද උයන් දෙකකි. “නුඹලාගේ පරමාධිපතිගේ ජීවන සම්පතින් නුඹලා භුක්ති විඳ ඔහුට කෘතවේදී වවු. (මෙය) පරිශුද්ධ නගරයකි. තවද (අල්ලාහ්) අති ක්ෂමාශීලී පරමාධිපතිය.” (යැයි සබඃ නගර වැසියන්ට ඔවුන්ගේ නබිවරුන් විසින් පවසනු ලැබීය.)
7සබඃ වැසියන් යෙමන් දේශයෙහි වාසය කළ එක් පිරිසකි. ඔවුන්ට ඉමහත් ශිෂ්ඨාචාරයක් තිබුණි. ඔවුන්ගේ ප්රධාන මාර්ග අවට විශාල උයන් හා පලතුරු වතු පිරී තිබුණි. ඔවුන්ට මෙවන් අලංකාර සම්පත් දුන් පරමාධිපති අල්ලාහ්ට කෘතඥ වීම වෙනුවට ඔවුන්ගේ මෙම ලෞකික ජීවිතයේ මෝහනය නිසා ඔවුන් තම පරමාධිපති අමතක කළෝය. තවද ඔවුන්ට අල්ලාහ් විසින් කරනු ලැබූ අනිවාර්යය වගකීම් නොතකා හැරියෝය. අවසානයේ දී ඔවුන්ගේ මෙම ගර්වය නිසා ඔවුහු අල්ලාහ්ගේ දඬුවමට භාජනය වූහ. ‘මආරිබ්’ නම් ඔවුන්ගේ ප්රධාන ජල සම්පාදනය වන ඔවුන්ගේ විශාල වේල්ල බිඳී මුළු නගරයම යට වී ඔවුන්ගේ උයන් හා ගොවිපළ සියල්ල විනාශ වී ගියේය.
فَأَعْرَضُوا فَأَرْسَلْنَا عَلَيْهِمْ سَيْلَ الْعَرِمِ وَبَدَّلْنَاهُم بِجَنَّتَيْهِمْ جَنَّتَيْنِ ذَوَاتَيْ أُكُلٍ خَمْطٍ وَأَثْلٍ وَشَيْءٍ مِّن سِدْرٍ قَلِيلٍ
එහෙත් ඔවුහු පිටුපෑවෝය. අපි ඔවුන් කෙරෙහි බැමි අමුණු (බිඳමින් විශාල) ජල ගැල්මක් යැව්වෙමු. තවද අපි ඔවුන්ගේ (නැවුම් පලතුරු පල දුන්) උයන් දෙක වෙනුවට තිත්ත ගෙඩි වලින් (යුත් ගස්) ද අස්ල් ගස් හා මසන් ගස් ස්වල්පයකින් යුත් උයන් දෙකක් ඔවුනට දුන්නෙමු.
8‘අස්ල් ගස්’ යනු සදාහරිත ශාකයක් වන අතර ඊට එළමිදෙල්ල යනුවෙන් ද පවසනු ලැබේ.
ذَٰلِكَ جَزَيْنَاهُم بِمَا كَفَرُوا ۖ وَهَلْ نُجَازِي إِلَّا الْكَفُورَ
ඔවුන් අකෘතඥවේදී වූ හේතුවෙන් අපි එය(දඬුවම) ඔවුනට ඵලවිපාක ලෙස පිරිනැමුවෙමු. තවද අකෘතඥවේදීන්ට හැර අපි (මෙලෙස) පලවිපාක පිරිනමන්නෙමු ද?
وَجَعَلْنَا بَيْنَهُمْ وَبَيْنَ الْقُرَى الَّتِي بَارَكْنَا فِيهَا قُرًى ظَاهِرَةً وَقَدَّرْنَا فِيهَا السَّيْرَ ۖ سِيرُوا فِيهَا لَيَالِيَ وَأَيَّامًا آمِنِينَ
තවද අපි ඔවුන් අතර හා අප අභිවෘද්ධිමත් කළා වූ නගරයන් අතර පෙනෙන තෙක් මාන(යන්හි) ගම්මානයන් ඇති කළෙමු. තවද එහි ගමන් බිමන්(හි දුර ප්රමාණය) පිළියෙල කළෙමු. එ(ම මාර්ගයෙ)හි නුඹලා? දවාලෙහි නිර්භියව ගමන් කරවු.
9“අප අභිවෘද්ධිමත් කළා වූ නගරයන්” යනුවෙන් මීට පෙර ආයතයෙන් අදහස් කරන්නේ සිරියාව හා පලස්තීනයයි. ව්යාපාර සඳහා සබඃ වැසියන් මෙම නගර වලට ගමන් කරන්නට වූහ. මොවුන් සිරියාවට හා පලස්තීනයට යන ප්රධාන මාර්ගයන්හි එකිනෙකට සමීපව ඇති බොහෝ ගම්මානයන් තිබුණි. මෙනිසා ඔවුන්ගේ ගමන ඉතා පහසු විය. එබැවින් ඔවුනට ඕනෑම අවස්ථාවක දී ජනයා ගැවසෙන ස්ථානයක විවේක ගැනීමට හැකි විය. “තවද එහි ගමන් බිමන්(හි දුර ප්රමාණය) පිළියෙල කළෙමු.” යනුවෙන් අදහස් කරන්නේ ද මෙයයි. මෙයින් ඔවුනට ඇති තවත් ප්රයෝජනයක් වූයේ මං කොල්ලකෑම වැනි දැයින් ආරක්ෂාව ලැබීමය. “එ(ම මාර්ගයෙ)හි නුඹලා? දවාලෙහි නිර්භියව ගමන් කරවු.” යනුවෙන් අදහස් කරන්නේ ද මෙයයි. අල්ලාහ්ගේ මෙපමණ ආශිර්වාදයන් ඔවුන් ලැබුව ද ඔවුන් අල්ලාහ්ට කෘතඥ වූයේ නැත.
فَقَالُوا رَبَّنَا بَاعِدْ بَيْنَ أَسْفَارِنَا وَظَلَمُوا أَنفُسَهُمْ فَجَعَلْنَاهُمْ أَحَادِيثَ وَمَزَّقْنَاهُمْ كُلَّ مُمَزَّقٍ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍ
නමුත් ඔවුන් “අපගේ පරමාධිපතියාණනි, අපගේ ගමන් බිම් අතර (ඇති දුර) දුරස්ථ කරවු.” යැයි ඇයැද සිට ඔවුන් තමන්ටම අපරාධ කර ගත්තෝය. එබැවින් අපි ඔවුන්ව (මතු ජනයින් අතර කතාබහට ලක් වන) කථා වස්තූන් බවට පත් කළෙමු. තවද අපි ඔවුන්ව (බොහෝ නගරයන් වලට) සහමුලින්ම වෙන් කර දැමුවෙමු. සැබැවින්ම එ(ම සිදුවීමෙ)හි දැඩි ඉවසිලිවන්ත මහා කෘතඥවේදී සියල්ලන්ට ආදර්ශයන් ඇත.
10ඔවුනට අල්ලාහ්ගේ මෙවන් දායාදයන් පිළිබඳව පවසනු ලැබූ විට ඔවුන් ගර්විතව “අපගේ පරමාධිපතියාණනි, අපගේ ගමන් බිම් අතර (ඇති දුර) දුරස්ථ කරවු” යනුවෙන් සමච්චලයෙන් පැවසුවෝය. පසුව ඔවුන්ට ඇති වූ ජල ගැල්මෙන් බේරුණු අය පවා තමන්ගේ නගරයෙහි ජීවත් වීමට නොහැකිව විවිධ ගම්මානයන්ට විසිරී යන්නට සිදු විය. මේනිසා ‘සබඃ වැසියන්’ යන නාමයම නැති වී ගියේය.
وَلَقَدْ صَدَّقَ عَلَيْهِمْ إِبْلِيسُ ظَنَّهُ فَاتَّبَعُوهُ إِلَّا فَرِيقًا مِّنَ الْمُؤْمِنِينَ
තවද සැබැවින්ම ඉබ්ලීස් (ඔවුන්ව නොමග යවන) තම සිතුවිලි ඔවුන් කෙරෙහි සැබෑ (ලෙස ඉටු) කළේය. එබැවින් විශ්වාසික පිරිසක් හැර අන් අය ඔහුව අනුගමනය කළෝය.
وَمَا كَانَ لَهُ عَلَيْهِم مِّن سُلْطَانٍ إِلَّا لِنَعْلَمَ مَن يُؤْمِنُ بِالْآخِرَةِ مِمَّنْ هُوَ مِنْهَا فِي شَكٍّ ۗ وَرَبُّكَ عَلَىٰ كُلِّ شَيْءٍ حَفِيظٌ
තවද මතු ලොව පිළිබඳව සැකයෙහි ඇත්තන් අතුරින් එය විශ්වාස කරන්නන් කවුරුන් දැ?යි අප දැන ගනු පිණිස මිස ඔවුන් කෙරෙහි ඔහුට(ඉබ්ලීස්ට කිසිදු) ආධිපත්යයක් නොවීය. තවද නුඹගේ පරමාධිපති සියලු දෑ කෙරෙහි පරම ආරක්ෂකය.
قُلِ ادْعُوا الَّذِينَ زَعَمْتُم مِّن دُونِ اللَّهِ ۖ لَا يَمْلِكُونَ مِثْقَالَ ذَرَّةٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ وَمَا لَهُمْ فِيهِمَا مِن شِرْكٍ وَمَا لَهُ مِنْهُم مِّن ظَهِيرٍ
(නබිවරය,) “අල්ලාහ් හැර නුඹලා කවුරුන්ව (දෙවිවරුන් යැයි) ස්ථිර ලෙස විශ්වාස කළෙහු ද ඔවුන්ව නුඹලා කැඳවවු.” යැයි ප්රතික්ෂේපකයින්ට පවසවු. ඔවුහු අහස්හි හා මිහිතලයෙහි අණු ප්රමාණයක තරම් හෝ හිමිකමක් නොදරන්නෝය. තවද ඒ දෙකෙහි ඔවුනට (කිසිදු) හවුල්කාරකමක් නොමැත. තවද ඔවුන් අතුරින් ඔහුට(අල්ලාහ්ට කිසිදු) උදවුකරුවෙකු නොමැත.
وَلَا تَنفَعُ الشَّفَاعَةُ عِندَهُ إِلَّا لِمَنْ أَذِنَ لَهُ ۚ حَتَّىٰ إِذَا فُزِّعَ عَن قُلُوبِهِمْ قَالُوا مَاذَا قَالَ رَبُّكُمْ ۖ قَالُوا الْحَقَّ ۖ وَهُوَ الْعَلِيُّ الْكَبِيرُ
තවද ඔහු(අල්ලාහ්) කවරෙකුට (රෙකමදාරු වීමට) අනුමැතිය දුන්නේ ද ඔහුට මිස (අන් කිසිවෙකුට) ඔහු අබියස (තවත් කෙනෙකු වෙනුවෙන්) රෙකමදාරු වීම ප්රයෝජන නොදෙන්නේය. (එවිට ඔවුන් අල්ලාහ්ගේ අනුමැතිය ලබන තුරු භීතියෙන් පසුවෙති.) කෙතරම්ද යත් (අනුමැතිය ලැබී) ඔවුන්ගේ හදවත් තුළින් භීතිය පහ වූ කල්හි ඔවුන් “නුඹලාගේ පරමාධිපති කුමක් පැවසුවේ දැ?”යි විමසති. “සත්යය” (පැවසුවේ) යැයි ඔවුහු පවසති. තවද ඔහු අති උත්තරීතරය අති ශ්රේෂ්ඨය.
11මෙම සූරාවේ 22 වන හා 23 වන ආයාත් මගින් බහු දේවවාදීන්ගේ ඇතැම් විශ්වාසයන් වැරදි බව ඔප්පු කර ඇත. අල්ලාහ්ට ඇති ශක්තිය ඔවුන් විසින්ම සාදනු ලැබූ පිළිමයන්ට ද ඇති බව ඔවුහු විශ්වාස කළෝය. මෙය ප්රතික්ෂේප කරනු පිණිස “ඔවුන් අහස්හි හා මිහිතලයෙහි අණු ප්රමාණයක තරම් හෝ හිමිකමක් නොදරන්නෝය” යැයි අල්ලාහ් පවසා ඇත. ඔවුන්ගෙන් තවත් ඇතැමුන්ට මෙම විශ්වාසය නොතිබුණු නමුත් ඔවුන් නමදින දෙවිවරුන් අල්ලාහ්ගේ උදව් කරුවන් යැයි විශ්වාස කළෝය. “තවද ඒ දෙකෙහි ඔවුනට (කිසිදු) හවුල්කාරකමක් නොමැත” යැයි කීම මගින් අල්ලාහ් ප්රතික්ෂේප කරන්නේ ද මෙම විශ්වාසයයි. ඔවුන්ගෙන් තවත් පිරිසක්, ඔවුන්ගේ දෙවිවරුන් පිළිබඳව වෙනත් විශ්වාසයක් තබා සිටියෝය. එනම් මෙම දෙවිවරුන්ව ඔවුන් නමදින්නේ විනිශ්චය දිනයේ අල්ලාහ් ඉදිරියේ තමන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් අයැදින්නන් වනු ඇත යනුවෙනි. මෙම විශ්වාසය ප්රතික්ෂේප කර මෙසේ පැවසුවේය. “ඔහු(අල්ලාහ්) කවරෙකුට (කෙනෙකු වෙනුවෙන් අයැද සිටීමට) අනුමැතිය දුන්නේ ද ඔහුට මිස (අන් කිසිවෙකුට) ඔහු අබියස (කෙනෙකු) වෙනුවෙන් ඇයැද සිටීම ප්රයෝජන නොදෙන්නේය”. එනම් කිසිදු නබිවරයෙකුට හා මලක්වරයෙකුට අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව ඔහු ඉදිරියේ අන් අය වෙනුවෙන් අයැද සිටීමට අනුමැතිය නැත යන්නයි.
قُلْ مَن يَرْزُقُكُم مِّنَ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ قُلِ اللَّهُ ۖ وَإِنَّا أَوْ إِيَّاكُمْ لَعَلَىٰ هُدًى أَوْ فِي ضَلَالٍ مُّبِينٍ
(නබිවරය,) “අහස් වලින් හා මිහිතලයෙන් නුඹලාට ජීවන සම්පත් දෙන්නේ කවුරුන් දැ?”යි විමසා “අල්ලාහ් යැ”යි පවසවු. තවද “සැබැවින්ම යහමගෙහි හෝ පැහැදිලි මුළාවෙහි (සිටින්නේ) අපි ද? නැතහොත් නුඹලා ද?” (යැයි ප්රතික්ෂේපකයින්ගෙන් විමසවු.)
قُل لَّا تُسْأَلُونَ عَمَّا أَجْرَمْنَا وَلَا نُسْأَلُ عَمَّا تَعْمَلُونَ
(නබිවරය, තවද) නුඹ පවසවු “අප කළ වැරදි දෑ පිළිබඳව නුඹලා විමසුමට ලක් නොවන්නෝය. තවද නුඹලා කරන දෑ පිළිබඳව අපි විමසුමට ලක් නොවන්නෙමු.”
قُلْ يَجْمَعُ بَيْنَنَا رَبُّنَا ثُمَّ يَفْتَحُ بَيْنَنَا بِالْحَقِّ وَهُوَ الْفَتَّاحُ الْعَلِيمُ
(නබිවරය,) “අපගේ පරමාධිපති (විනිශ්චය දිනයෙහි) අපව එක්රැස් කරන්නේය. පසුව ඔහු අප අතර යුක්තිගරුකව විනිශ්චය කරන්නේය. තවද ඔහු මහා විනිශ්චයකරුය, සර්වඥය” යැයි ද පවසවු.
قُلْ أَرُونِيَ الَّذِينَ أَلْحَقْتُم بِهِ شُرَكَاءَ ۖ كَلَّا ۚ بَلْ هُوَ اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ
(නබිවරය) “නුඹලා කවුරුන්ව ඔහුට(අල්ලාහ්ට) හවුල්කරුවන් ලෙස සම්බන්ධ කළේ ද ඔවුන්ව නුඹලා මට පෙන්වවු. එසේ (නුඹලාට හවුල්කරුවන් පෙන්වීමට හැකියාවක්) නැත. නමුත් ඔහු අල්ලාහ් අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය.” යැයි ද (ප්රතික්ෂේපකයින්ට) පවසවු.
وَمَا أَرْسَلْنَاكَ إِلَّا كَافَّةً لِّلنَّاسِ بَشِيرًا وَنَذِيرًا وَلَـٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
තවද (නබිවරය,) අපි නුඹව සමස්ත ජනයාටම ශුභාරංචි පවසන්නෙකු හා අවවාද කරන්නෙකු වශයෙන් මිස නොයැව්වෙමු. එනමුත් ජනයින්ගෙන් බොහෝ දෙනා (එය) නොදනිති.
وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ
තවද “නුඹලා සත්යවන්තයින් වන්නේ නම් මෙම ප්රතිඥාව(විනිශ්චය දිනය සිදු වනුයේ) කවදා දැ?”යි (ප්රතික්ෂේපකයින් වන) ඔවුහු විමසති.
قُل لَّكُم مِّيعَادُ يَوْمٍ لَّا تَسْتَأْخِرُونَ عَنْهُ سَاعَةً وَلَا تَسْتَقْدِمُونَ
(නබිවරය,) “නුඹලාටම නියම කරන ලද දිනයක් ඇත. (එයමය ප්රතිඥා දෙනු ලැබූ විනිශ්චය දිනය වනුයේ.) නුඹලා එයින් (සුළු) මොහොතක් හෝ ප්රමාද නොවන්නෝය. පෙරටු ද නොවන්නෝය.” යැයි (ඔවුනට) පවසවු.
وَقَالَ الَّذِينَ كَفَرُوا لَن نُّؤْمِنَ بِهَـٰذَا الْقُرْآنِ وَلَا بِالَّذِي بَيْنَ يَدَيْهِ ۗ وَلَوْ تَرَىٰ إِذِ الظَّالِمُونَ مَوْقُوفُونَ عِندَ رَبِّهِمْ يَرْجِعُ بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ الْقَوْلَ يَقُولُ الَّذِينَ اسْتُضْعِفُوا لِلَّذِينَ اسْتَكْبَرُوا لَوْلَا أَنتُمْ لَكُنَّا مُؤْمِنِينَ
තවද “මෙම අල් කුර්ආනය පිළිබඳව ද මෙයට පෙර වූ දෑ(ධර්ම පුස්තකයන්) පිළිබඳව ද සැබැවින්ම අපි විශ්වාස නොකරන්නෙමු.” යැයි ප්රතික්ෂේප කළවුන් පැවසුවෝය. තවද (නබිවරය) අපරාධකරුවන් තම පරමාධිපති අබියස රඳවා තැබූ අවස්ථාවෙහි ඔවුන්ගෙන් සමහරුන් තවත් සමහරුන් වෙත දොස් වචන පවසමින් සිටිය දී නුඹ (ඔවුන්ව) දුටුවේ නම් (පුදුමාකාර දෑ දැක ගනු ඇත. එනම්) දුබලයින් ලෙස හඳුන්වනු ලැබූවන් (වන අනුගාමිකයින්) “නුඹලා නොසිටියේ නම් අපි විශ්වාසිකයින්ව සිටීමට තිබුණි.” යැයි (නායකයින් වන) උඩඟුකම් පාමින් සිටියවුන්ට පවසනු ඇත.
قَالَ الَّذِينَ اسْتَكْبَرُوا لِلَّذِينَ اسْتُضْعِفُوا أَنَحْنُ صَدَدْنَاكُمْ عَنِ الْهُدَىٰ بَعْدَ إِذْ جَاءَكُم ۖ بَلْ كُنتُم مُّجْرِمِينَ
(එවිට) උඩඟුකම් පාමින් සිටියවුන් “නුඹලා වෙත යහ මග පැමිණි පසු එයින් නුඹලාව වැළැක්වූයේ අපි ද” (යැයි විමසා) “එසේ නොව, නුඹලාම (යහමගට නොගොස්) වැරදිකරුවන් ලෙස සිටියෝය” යැයි දුබලයින් ලෙස හඳුන්වනු ලැබූවන්ට පවසන්නෝය.
وَقَالَ الَّذِينَ اسْتُضْعِفُوا لِلَّذِينَ اسْتَكْبَرُوا بَلْ مَكْرُ اللَّيْلِ وَالنَّهَارِ إِذْ تَأْمُرُونَنَا أَن نَّكْفُرَ بِاللَّهِ وَنَجْعَلَ لَهُ أَندَادًا ۚ وَأَسَرُّوا النَّدَامَةَ لَمَّا رَأَوُا الْعَذَابَ وَجَعَلْنَا الْأَغْلَالَ فِي أَعْنَاقِ الَّذِينَ كَفَرُوا ۚ هَلْ يُجْزَوْنَ إِلَّا مَا كَانُوا يَعْمَلُونَ
තවද දුබලයින් ලෙස හඳුන්වනු ලැබූවන් “එසේ නොව අප අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීමට ද ඔහුට අප සමගාමීන් පත් කිරීමට ද නුඹලා අපට විධානය කළ කල්හි රාත්රියෙහි හා දහවලෙහි (නුඹලා) කළ කූටෝපාය (අපව මුළාවට පත් කළේ)” යැයි උඬඟුකම් පාමින් සිටියවුන්ට පවසන්නෝය. තවද ඔවුහු (දෙපිරිසම තමන්ගේ) දඬුවම දකින කල්හි පසුතැවිල්ල වසං කර ගන්නෝය. තවද ප්රතික්ෂේප කළවුන්ගේ ගෙලෙහි අපි විලංගු දමන්නෙමු. ඔවුහු (ලොවෙහි) කරමින් සිටි දැයට මිස පලවිපාක දෙනු ලබන්නෝ ද?
وَمَا أَرْسَلْنَا فِي قَرْيَةٍ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا بِمَا أُرْسِلْتُم بِهِ كَافِرُونَ
තවද යම් නගරයක සුඛෝපභෝගීව ජීවත් වන්නන් “සැබැවින්ම නුඹලා කුමක් සමග එවනු ලැබුවේද එය අපි ප්රතික්ෂේප කරන්නන් යැ”යි පැවසුවා මිස අවවාද කරන්නෙකුව(නබිවරයෙකුව) අපි එහි නොයැව්වෙමු.
وَقَالُوا نَحْنُ أَكْثَرُ أَمْوَالًا وَأَوْلَادًا وَمَا نَحْنُ بِمُعَذَّبِينَ
තවද “අපි ධනයෙන් ද දරුවන්ගෙන් ද අධිකව සිටින්නෙමු. (එබැවින්) අපි දඬුවමට ලක් වන්නන් නොවන්නෙමු” යැයි ද ඔවුහු පැවසුවෝය.
قُلْ إِنَّ رَبِّي يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاءُ وَيَقْدِرُ وَلَـٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
(නබිවරය,) “සැබැවින්ම මාගේ පරමාධිපති, ඔහු අභිමත කළවුන්ට ජීවන සම්පත් විස්තීර්ණ කරන්නේය. තවද (ඔහු අභිමත කළවුන්ට එය) සීමා කරන්නේය. එනමුත් මිනිසුන් අතුරින් බොහෝ දෙනා (ඒ පිළිබඳව) නොදනිති” යනුවෙන් පවසවු.
وَمَا أَمْوَالُكُمْ وَلَا أَوْلَادُكُم بِالَّتِي تُقَرِّبُكُمْ عِندَنَا زُلْفَىٰ إِلَّا مَنْ آمَنَ وَعَمِلَ صَالِحًا فَأُولَـٰئِكَ لَهُمْ جَزَاءُ الضِّعْفِ بِمَا عَمِلُوا وَهُمْ فِي الْغُرُفَاتِ آمِنُونَ
තවද නුඹලාගේ වස්තූන් ද නුඹලාගේ දරුවන් ද නුඹලාව අප හමුවෙහි ඉතා සමීපයට ගෙන එන්නන් නොවෙති. එනමුත් කවරෙකු විශ්වාස කර යහ කම් කළේද ඔහුමය( අප හමුවෙහි ඉතා සමීප වන්නන් වනුයේ). එබැවින් ඔවුන්මය තමන් කළ දෑ සඳහා (යහ) ප්රතිඵල දෙගුණවයක් හිමියන් වන්නෝ. තවද ඔවුහු (ස්වර්ගයේ උසස්) මන්දිරයන්හි අභයදායින් වෙති.
وَالَّذِينَ يَسْعَوْنَ فِي آيَاتِنَا مُعَاجِزِينَ أُولَـٰئِكَ فِي الْعَذَابِ مُحْضَرُونَ
තවද අපගේ වදන් විෂයෙහි (අපව) නොහැකියාවට පත් කරන්නන් ලෙස උත්සාහ කරන්නන් ඔවුන්මය (නිරා) දඬුවමට ඉදිරිපත් කරනු ලබන්නන් වන්නෝ.
قُلْ إِنَّ رَبِّي يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاءُ مِنْ عِبَادِهِ وَيَقْدِرُ لَهُ ۚ وَمَا أَنفَقْتُم مِّن شَيْءٍ فَهُوَ يُخْلِفُهُ ۖ وَهُوَ خَيْرُ الرَّازِقِينَ
(නබිවරය,) “සැබැවින්ම මාගේ පරමාධිපති, ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු අභිමත කළවුනට ජීවන සම්පත් විස්තීර්ණ කරන්නේය. තවද ඔහුට සීමා කරන්නේය. තවද කවර දැයක් නුඹලා වියදම් කරන්නේ ද ඔහු එය වෙනුවට ප්රතිඵල ලබා දෙන්නේය. තවද ඔහු ජීවන සම්පත් සපයන්නන් අතුරින් ශ්රේෂ්ඨයා” යැයි පවසවු.
وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ يَقُولُ لِلْمَلَائِكَةِ أَهَـٰؤُلَاءِ إِيَّاكُمْ كَانُوا يَعْبُدُونَ
(මිථ්යා දෙවිවරුන්, මලක්වරුන් හා මොවුන්ව නමදිමින් සිටි) ඔවුන් සියල්ලන්වම ඔහු එක්රැස් කරන (විනිශ්චය) දිනය (සිහිපත් කරවු). පසුව “නුඹලාව නමදිමින් සිටියේ මොවුන් දැ?”යි ඔහු(අල්ලාහ්) මලක්වරුන්ගෙන් විමසන්නේය.
قَالُوا سُبْحَانَكَ أَنتَ وَلِيُّنَا مِن دُونِهِم ۖ بَلْ كَانُوا يَعْبُدُونَ الْجِنَّ ۖ أَكْثَرُهُم بِهِم مُّؤْمِنُونَ
(එවිට) ඔවුන් “ඔබ අති පිවිතුරුය. ඔවුන් නොව ඔබමය අපගේ භාරකරු වන්නේ. නමුත් ඔවුන් ජින්වරුන්ව නමදිමින් සිටියෝය. (ප්රතික්ෂේපක) ඔවුන්ගෙන් බොහෝ දෙනා ඔවුන්ව(ජින්වරුන්ව) විශ්වාස කරන්නන්ය.” යැයි (මලක්වරුන්) පවසන්නෝය.
12ඇතැම් බහු දේවවාදීන් මලක්වරුන්ව නැමදුම් කළෝය. එනමුත් මලක්වරුන් “නමුත් ඔවුන් ජින්වරුන්ව නමදිමින් සිටියෝය” යැයි පැවසීමට හේතු වූයේ මොවුන්ව නමදින ලෙස එම ප්රතික්ෂේපකයින්ට පෙලඹ වූයේ මෙම ෂෙයිතානීය ජින්වරුන්ය. ඇත්තෙන්ම බැලූ කල මොවුන් එම ෂෙයිතානීය ජින්වරුන්ට අවනත වීම තුළින් මලක්වරුන්ට නැමදුම් කළා හා සමාන විය.
فَالْيَوْمَ لَا يَمْلِكُ بَعْضُكُمْ لِبَعْضٍ نَّفْعًا وَلَا ضَرًّا وَنَقُولُ لِلَّذِينَ ظَلَمُوا ذُوقُوا عَذَابَ النَّارِ الَّتِي كُنتُم بِهَا تُكَذِّبُونَ
එබැවින් අද දින නුඹලා සමහරුන් තවත් සමහරුන්ට ඵලක් හෝ හානියක් කළ නොහැකිය. තවද “නුඹලා අසත්යය කරමින් සිටි (නිරා) ගින්නේ දඬුවම රස විඳිවු.” යැයි අපි අපරාධ කළවුනට පවසන්නෙමු.
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالُوا مَا هَـٰذَا إِلَّا رَجُلٌ يُرِيدُ أَن يَصُدَّكُمْ عَمَّا كَانَ يَعْبُدُ آبَاؤُكُمْ وَقَالُوا مَا هَـٰذَا إِلَّا إِفْكٌ مُّفْتَرًى ۚ وَقَالَ الَّذِينَ كَفَرُوا لِلْحَقِّ لَمَّا جَاءَهُمْ إِنْ هَـٰذَا إِلَّا سِحْرٌ مُّبِينٌ
තවද (ලොවෙහි) ඔවුන් වෙත අපගේ (අල් කුර්ආන්) වදන් පැහැදිලිව පාරායනා කරනු ලබන විට “මොහු නුඹලාගේ මුතුන්මිත්තන් නැමදුම් කරමින් සිටි දැයින් නුඹලාව වැළැක්වීමට පතන මිනිසෙකු මිස නොව.” යැයි ඔවුහු පැවසුවෝය. තවද “මෙය(අල්කුර්ආනය) ගොතන ලද බොරුවක් මිස නැත.” යැයි ද ඔවුහු පැවසුවෝය. තවද ප්රතික්ෂේප කළවුන් සත්ය( අල්කුර්ආන)ය පිළිබඳව එය ඔවුන් වෙත පැමිණි කල්හි “මෙය පැහැදිලි හූනියමක් මිස නැත.” යැයි පැවසුවෝය.
وَمَا آتَيْنَاهُم مِّن كُتُبٍ يَدْرُسُونَهَا ۖ وَمَا أَرْسَلْنَا إِلَيْهِمْ قَبْلَكَ مِن نَّذِيرٍ
(ඔවුන් පවසන දෑ එහි ඇති) ඔවුන් හදාරන්නා වූ ධර්ම පුස්තක කිසිවක් ඔවුනට අපි නොදුන්නෙමු. තවද (නබිවරය) නුඹට පෙර ඔවුන් වෙත (එවැනි වැරදි දෑ උගන්වන) කිසිදු අවවාද කරන්නෙකු(නබිවරයෙකු) අපි නොයැව්වෙමු.
وَكَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ وَمَا بَلَغُوا مِعْشَارَ مَا آتَيْنَاهُمْ فَكَذَّبُوا رُسُلِي ۖ فَكَيْفَ كَانَ نَكِيرِ
තවද (මක්කාවාසී ප්රතික්ෂේපක) මොවුනට පෙර වූවන් ද (රසූල්වරුන්ව) අසත්යය කළෝය. (පෙර වූවන් වන) ඔවුනට අප දුන් දැයින් දහයෙන් කොටසක් හෝ මොවුන් ලබා නොගත්තෝය. ඔවුන් මාගේ රසූල්වරුන්ව අසත්ය කළෝය. (එවිගස ඔවුන් මාගේ දඬුවමට භාජනය වූවෝය) එසේ නම් (ඔවුනට) මාගේ නින්දාව කෙසේ වීද? (යැයි අවධානය කරවු.)
13‘පෙර වූවන්ට දුන් දෑ’ යනු ඔවුනට තිබූ ශක්තිය, ධනය හා ආයුෂ කාලය යනාදිය අදහස් වේ.
قُلْ إِنَّمَا أَعِظُكُم بِوَاحِدَةٍ ۖ أَن تَقُومُوا لِلَّهِ مَثْنَىٰ وَفُرَادَىٰ ثُمَّ تَتَفَكَّرُوا ۚ مَا بِصَاحِبِكُم مِّن جِنَّةٍ ۚ إِنْ هُوَ إِلَّا نَذِيرٌ لَّكُم بَيْنَ يَدَيْ عَذَابٍ شَدِيدٍ
(නබිවරය,) පවසවු. “සැබැවින්ම මා නුඹලාට උපදෙස් දෙන්නේම එක( දැය)ක් පිළිබඳවය. (එය) නුඹලා යුගලව හා තනි තනිව අල්ලාහ් වෙනුවෙන් නැගී සිට පසුව ගැඹුරින් සිතා බැලීමයි. (එවිට) නුඹලාගේ සගයා (වන මා) තුළ කිසිදු උන්මත්තකභාවයක් නොමැත. (යනුවෙන් නුඹලා වටහා ගනු ඇත).” (විනිශ්චය දිනයෙහි) දැඩි දඬුවම( පැමිණීම)ට පෙර නුඹලාට ඔහු(රසූල්වරයා) අවවාද කරන්නෙකු මිස නැත.
قُلْ مَا سَأَلْتُكُم مِّنْ أَجْرٍ فَهُوَ لَكُمْ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ
(තවද) නුඹ පවසවු. “නුඹලාගෙන් මම (යම්) වේතනයක් ඉල්ලුවේ නම් එයද නුඹලා වෙනුවෙන්මය. (නමුත්) මාගේ වේතනය අල්ලාහ් කෙරෙහි (පමණක්) මිස නැත. තවද ඔහු සියලු දෑ කෙරෙහි (දැනුම ඇති) සාක්ෂිකරුය.”
قُلْ إِنَّ رَبِّي يَقْذِفُ بِالْحَقِّ عَلَّامُ الْغُيُوبِ
(තවද) පවසවු. “සැබැවින්ම මාගේ පරමාධිපති (නබිවරුන් වෙත) සත්යය පහළ කරන්නේය. ගුප්ත දෑ (පිළිබඳව අල්ලාහ්) මැනවින් දන්නාය.”
قُلْ جَاءَ الْحَقُّ وَمَا يُبْدِئُ الْبَاطِلُ وَمَا يُعِيدُ
පවසවු. “සත්යය පැමිණියේය. අසත්යය (විනාශ වී ගියේය. තවද එය කිසිවක්) උපදවන්නේ නැත. තවද එය (විනාශ වූවක්) යළි උපදවන්නේ ද නැත.”
قُلْ إِن ضَلَلْتُ فَإِنَّمَا أَضِلُّ عَلَىٰ نَفْسِي ۖ وَإِنِ اهْتَدَيْتُ فَبِمَا يُوحِي إِلَيَّ رَبِّي ۚ إِنَّهُ سَمِيعٌ قَرِيبٌ
(තවද) පවසවු. “මා (සත්යය හැර) නොමග ගියේ නම් සැබැවින්ම මා නොමග (යාමෙහි පාඩුව) වන්නේ මා කෙරෙහිමය. තවද මා යහමග ලැබුවේ නම් (එය) මාගේ පරමාධිපති මා වෙත වහී පහළ කළ දෑ(අල් කුර්ආනය) හේතුවෙනි. සැබැවින්ම ඔහු සර්ව ශ්රාවකය සදා සමීපය.”