كُلُّ الطَّعَامِ كَانَ حِلًّا لِّبَنِي إِسْرَائِيلَ إِلَّا مَا حَرَّمَ إِسْرَائِيلُ عَلَىٰ نَفْسِهِ مِن قَبْلِ أَن تُنَزَّلَ التَّوْرَاةُ ۗ قُلْ فَأْتُوا بِالتَّوْرَاةِ فَاتْلُوهَا إِن كُنتُمْ صَادِقِينَ
තව්රාතය පහළ කරනු ලැබීමට පෙර ඉස්රාඊල් (එනම් යඃකූබ්) විසින් තමන්ටම තහනම් කළ දෑ හැර අන් සියලු (වර්ගයේ) ආහාර ඉස්රාඊල්ගේ දරුවන්ට (ආහාරයට ගැනීමට) අනුමත විය. (නබිවරය,) “නුඹලා සත්යවාදීන්ව සිටින්නේ නම් තව්රාතය ගෙනැවිත් එය කියවවු” යැයි නුඹ පවසවු.
31නබි මුහම්මද් තුමාණන් යුදෙව්වන් ඉදිරියේ තමා නබි ඉබ්රාහීම් තුමාණන්ගේ දහම පිළිපදින බවට ප්රකාශයක් නිකුත් කළ කල්හි ඔවුන් ඒ පිළිබඳව නබි මුහම්මද් තුමාණන්ට විරෝධය පෑහ. එනම් ඔටුවන් හා හාවුන් වැනි සතුන් නබි ඉබ්රාහීම් තුමාගේ දහමේ තහනම් කර තිබිය දී මුස්ලිම්වරුන්ට එය අනුභව කිරීමට අනුමැතිය වී තිබීම යනුවෙන්ය. මෙයට පිළිතුරක් ලෙස ‘ඉස්ලාම් දහමේ අනුභව කිරීමට අනුමැතිය වූ සතුන් නබි ඉබ්රාහීම් තුමාගේ දහමේ ද අනුමත වී තිබුණි, තවද ඔටු මස් හැර අන් සියලු සතුන් විෂයෙහි මෙම අනුමැතිය ඉස්රාඊල්වරුන්ට ද එසේම පැවතුණි.’ යැයි මෙම ආයතය අදහස් කර අභියෝග කර ඇත. ඉස්රාඊල් එනම් යඃකූබ් නබිවරයා ඔටු මස් අනුභව කිරීම තමා විසින්ම තමාට තහනම් කර ගෙන සිටියේය. අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් තුමාණන්ගේ වාර්තාවකට අනුව නබි යඃකූබ් තුමාණන් ‘සයටිකාව’ නම් රෝගයකින් පෙළෙමින් සිටි අතර එවිට ඔහු අල්ලාහ්ට භාරයක් විය. එනම් ‘මාගේ මෙම රෝගය අල්ලාහ් මට සුව කළේ නම් මා හට පි්රයතම ආහාරය වන ඔටු මස් මම අනුභව නොකරමි’ යන්නයි. මින් අදහස් වන්නේ නබි ඉබ්රාහීම් තුමාණන්ගේ දහමෙහි ඔටු මස් කිසි විටෙක තහනම් වී නොතිබුණු බවත් පසුකලෙක නබි යඃකූබ් තුමාණන් තමාටම තහනම් කර ගත් බවයි. එහෙත් මෙවන් භාරවීම් නබි මුහම්මද් තුමාණන්ගේ සමූහයාට තහනම් වී ඇත.
فَمَنِ افْتَرَىٰ عَلَى اللَّهِ الْكَذِبَ مِن بَعْدِ ذَٰلِكَ فَأُولَـٰئِكَ هُمُ الظَّالِمُونَ
තවද එයට පසුවද අල්ලාහ්ට එරෙහිව කවරෙකු බොරු ගොතන්නේ ද ඔවුන්මය අපරාධකරුවන් වන්නේ.
قُلْ صَدَقَ اللَّهُ ۗ فَاتَّبِعُوا مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ
(නබිවරය,) “අල්ලාහ් සත්ය ප්රකාශ කළේය. එබැවින් නුඹලා (සත්යය වෙත) නැඹුරු වූ ඉබ්රාහීම්ගේ දහම අනුගමනය කරවු. තවද ඔහු ආදේශ තබන්නන් අතුරින් (කෙනෙකු) නොවීය.” යැයි නුඹ පවසවු.
إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِّلْعَالَمِينَ
සැබැවින්ම ජනයා වෙනුවෙන් (නැමදුමට) තබනු ලැබූ පළමු වන නිවස අභිවෘද්ධිය ලත් හා සමස්ත ලෝකවාසීන්ටම මග පෙන්වන්නක් වන මක්කාවෙහි (පිහිටා) ඇත්තකි.
فِيهِ آيَاتٌ بَيِّنَاتٌ مَّقَامُ إِبْرَاهِيمَ ۖ وَمَن دَخَلَهُ كَانَ آمِنًا ۗ وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا ۚ وَمَن كَفَرَ فَإِنَّ اللَّهَ غَنِيٌّ عَنِ الْعَالَمِينَ
එහි පැහැදිලි සංඥාවන් ඇත. එනම් ඉබ්රාහීම්ගේ ස්ථානය (ද) ඇත. කවරෙකු එහි පිවිසෙන්නේ ද ඔහු අභයලාභියෙකු වන්නේය. කවරෙකුට මාර්ගයෙන් එ(ම නිවාස)ය වෙත (යෑමට) හැකියාව ඇත්තේ ද එම මින්සුන් කෙරෙහි (අල්ලාහ්ගේ එම) නිවස හජ් කිරීම අල්ලාහ් වෙනුවෙන් (වූ වගකීමක්) වන්නේය. කවරෙකු ප්රතික්ෂේප කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් සමස්ත ලෝකවාසීන්ගෙන් (ස්වාධීන වූ) සර්ව සම්පූර්ණය.
32වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:125 ආයතයට අදාළ පාද සටහන බලන්න.
33මෙම ආයතයෙහි ‘මාර්ගයෙන්’ යනුවෙන් අදහස් වන්නේ හජ් වන්දනය ඉටු කිරීම සඳහා යාමට වත්කම, ශක්තිය, අභය ලද්දන් පිළිබඳවයි.
قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَاللَّهُ شَهِيدٌ عَلَىٰ مَا تَعْمَلُونَ
(නබිවරය,) නුඹ පවසවු ,ධර්ම පුස්තකය ලත් ජනයිනි, නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් සාක්ෂි දරන්නෙකුව සිටිය දී නුඹලා අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කරනුයේ මන් ද?”
34මෙම ආයතයන්හි සිට 120 වැනි ආයතය දක්වා ආයතයන්හි පසුබිම වූයේ මදීනාවෙහි වාසය කළ ‘අව්ස්’ හා ‘හzස්රජ්’ යන ගෝත්රයන් දෙක අතර ඇති වූ සිදුවීමකි. අඥාන යුගයේ මේ දෙපළ අතර දීර්ඝ කාලයක් පුරා යුද වාතාවරණයක් පැවතිණ. නබි මුහම්මද් තුමා මදීනාවට පැමිණි පසු මේ අයගෙන් බොහෝ දෙනා ඉස්ලාමය වැලඳගත් හේතුවෙන් ඔවුන් අතර සමගියක් ඇති විය. වරක් ෂම්මාස් ඉබ්නු කයිස් නැමැති යුදෙව්වා මෙම ගෝත්රිකයින් දෙපළගෙන් සමහරුන් හා එක්ව හිඳ සිටි මොහොතේ ඔවුන් අතර ආරවුලක් ඇති කිරීමට සිතුවේය. මේ අරමුණින් ඔවුන් දෙපළ අතර යුද්ධය පැවති කාලයේ ඔවුන් එකිනෙකාට එරෙහිව පවසා ගත් කවි ඔහු ගයන්නට වූ අතර ඊට සවන් දුන් මෙම ගෝති්රකයින් පැරණි සිදුවීම් මතක් වී ගැටුමකට සැරසුණෝය. කෙතරම් දුරටදයත් එය යුද වාතාවරණයක් බවට පත්වී ඔවුන් අතර යුද කිරීමට දිනයක් ද නියම කළෝය. මෙය ආරංචි වූ සැණින් නබි මුහම්මද් තුමා එතැනට පැමිණ ඔවුන්ට කරුණු පහදා දුන් අවස්ථාවේ ඔවුන් මෙම ගැටුම ෂෙයිතාන්ගෙන් වූ සැලසුමක් යැයි වටහා ගෙන ඉන් වැළකුනු මොහොතේ මෙම ආයතයන් පහළ විය.
قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَصُدُّونَ عَن سَبِيلِ اللَّهِ مَنْ آمَنَ تَبْغُونَهَا عِوَجًا وَأَنتُمْ شُهَدَاءُ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
(නබිවරය,) නුඹ පවසවු, “ධර්ම පුස්තකය ලත් ජනයිනි, නුඹලා (ඉස්ලාම් දහම සත්යය යැයි) සාක්ෂි දරන්නන්ව සිටියදී එහි දෝෂ සොයමින් විශ්වාස කළවුන්ව අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වනුයේ මන් ද?” තවද නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් අනවධානියෙකු නොවේ.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِن تُطِيعُوا فَرِيقًا مِّنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ يَرُدُّوكُم بَعْدَ إِيمَانِكُمْ كَافِرِينَ
විශ්වාස කළවුනි, ධර්ම පුස්තකය දෙනු ලැබූ අය අතුරින් වූ පිරිසකට නුඹලා අවනත වන්නේ නම් නුඹලා විශ්වාස කිරීමෙන් පසුව ඔවුන් නුඹලාව ප්රතිකෂේපකයින් බවට නැවත හරවනු ඇත.
وَكَيْفَ تَكْفُرُونَ وَأَنتُمْ تُتْلَىٰ عَلَيْكُمْ آيَاتُ اللَّهِ وَفِيكُمْ رَسُولُهُ ۗ وَمَن يَعْتَصِم بِاللَّهِ فَقَدْ هُدِيَ إِلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ
තවද අල්ලහ්ගේ වදන් නුඹලා කෙරෙහි පාරායනය කරනු ලබමින් සිටියදී ද නුඹලා අතර ඔහුගේ රසූල්වරයා සිටියදී ද නුඹලා ප්රතික්ෂේප කරනුයේ කෙසේ ද? කවරෙකු අල්ලාහ්ව(දහම) තදින් ග්රහණය කර ගන්නේද සැබැවින්ම ඔහු ඍජු මග වෙත මග පෙන්වනු ලැබීය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ حَقَّ تُقَاتِهِ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسْلِمُونَ
විශ්වාස කළවුනි, අල්ලාහ්ට බිය විය යුතු අයුරින් ඔහුට බිය වවු. තවද නුඹලා සැබැවින්ම (සැබෑ) මුස්ලිම්වරුන් වශයෙන්ම මිස මිය නොයවු.
وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا ۚ وَاذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنتُمْ عَلَىٰ شَفَا حُفْرَةٍ مِّنَ النَّارِ فَأَنقَذَكُم مِّنْهَا ۗ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ
තවද නුඹලා සියල්ල අල්ලාහ්ගේ කඹය(අල් කුර්ආනය) තදින් ග්රහණය කර ගනිවු. තවද නුඹලා වෙන්ව නොයවු. තවද නුඹලා (එකිනෙකාට) සතුරන් ලෙස සිටි කල්හි නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ භාග්යය පිළිබඳව සිහිපත් කරවු. එවිට නුඹලාගේ හදවත් අතර අල්ලාහ් බැඳීමක් ඇති කළේය. එබැවින් ඔහුගේ භාග්යයෙන් නුඹලා සහෝදරයන් බවට පත් වූහ. නුඹලා (නිරා) ගින්නෙන් වූ ගිනිවළ අද්දරයෙහි සිටියෙහුය. පසුව එයින් නුඹලාව ඔහු(අල්ලාහ්) ආරක්ෂා කළේය. මෙලෙසය නුඹලා යහමග යනු පිණිස අල්ලාහ් නුඹලාට ඔහුගේ වදන් පැහැදිලි කරනුයේ.
وَلْتَكُن مِّنكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ ۚ وَأُولَـٰئِكَ هُمُ الْمُفْلِحُونَ
තවද යහපත වෙත (ජනයා) කැඳවන, යහපත විධානය කරන, පිළිකුල් දැයින් වළක්වන ප්රජාවක් නුඹලා අතුරින් සිටිය යුතුය. ඔවුහුමය ජය ලද්දෝ.
وَلَا تَكُونُوا كَالَّذِينَ تَفَرَّقُوا وَاخْتَلَفُوا مِن بَعْدِ مَا جَاءَهُمُ الْبَيِّنَاتُ ۚ وَأُولَـٰئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ
තවද තමන්ට පැහැදිලි සාධකයන් පැමිණි පසුවද (සත්යය දහමින්) වෙන්ව ගිය හා මතභේද ඇති කර ගත් අය මෙන් නුඹලා නොවවු. ඔවුන්ටමය මහත් වූ දඬුවමක් ඇත්තේ.
يَوْمَ تَبْيَضُّ وُجُوهٌ وَتَسْوَدُّ وُجُوهٌ ۚ فَأَمَّا الَّذِينَ اسْوَدَّتْ وُجُوهُهُمْ أَكَفَرْتُم بَعْدَ إِيمَانِكُمْ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ
එ(ම විනිශ්චය )දින (ඇතැම්) මුහුණු ප්රභාවත්ව හා තවත් (ඇතැම්) මුහුණු අඳුරුව පවතී. එබැවින් මුහුණු අඳුරු වූ අය පිළිබඳව (සඳහන් කරන්නේ) නම් “නුඹලා විශ්වාස කිරීමෙන් පසුවද නුඹලා ප්රතික්ෂේප කළෙහි ද? එසේනම් නුඹලා ප්රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් (මෙම) දඬුවම රස විඳිවු.” (යැයි ඔවුනට පවසනු ලැබේ.)
وَأَمَّا الَّذِينَ ابْيَضَّتْ وُجُوهُهُمْ فَفِي رَحْمَةِ اللَّهِ هُمْ فِيهَا خَالِدُونَ
තවද මුහුණු ප්රභාවත් වූ අය පිළිබඳව (සඳහන් කරන්නේ) නම් අල්ලාහ්ගේ කරුණාවෙහිය(ස්වර්ග උයන්හිය). ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
تِلْكَ آيَاتُ اللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ ۗ وَمَا اللَّهُ يُرِيدُ ظُلْمًا لِّلْعَالَمِينَ
(නබිවරය,) මේවා අල්ලාහ්ගේ වදන්ය. ඒවා සත්යයෙන් යුතුව අපි නුඹට පාරායනා කර (පෙන්ව)න්නෙමු. ලෝක වාසීන්ට අසාධාරණකම් කිරීමට අල්ලාහ් අපේක්ෂා නොකරන්නේය.
وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ
අහස්හි ඇති දෑ ද මිහිතලයෙහි ඇති දෑ ද අල්ලාහ් සතුය. තවද අල්ලාහ් වෙතමය (සියලු) කරුණු (විනිශ්චය සඳහා) නැවත යොමු කරනු ලබනුයේ.
كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَتُؤْمِنُونَ بِاللَّهِ ۗ وَلَوْ آمَنَ أَهْلُ الْكِتَابِ لَكَانَ خَيْرًا لَّهُم ۚ مِّنْهُمُ الْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ الْفَاسِقُونَ
(විශ්වාසිකයිනි,) මනුෂ්ය( වර්ග)යා සඳහා බිහි කරනු ලැබූ විශිෂ්ට ප්රජාවක්ව නුඹලා පත් වූහ. නුඹලා (ජනයාට) යහපත විධානය කරන්නෙහුය. තවද නුඹලා පිළිකුල් දැයින් වළක්වන්නෙහුය. තවද අල්ලාහ්ව නුඹලා විශ්වාස කරන්නෙහුය. ධර්ම පුස්තකය ලත් ජනයින් විශ්වාස කළෙහි නම් ඔවුනට එය යහපතක් විය. ඔවුන්ගෙන් බහුතරය පාපතරයින්ව සිටියදී ඔවුන් අතුරින් විශ්වාසිකයින් ද වෙති.
لَن يَضُرُّوكُمْ إِلَّا أَذًى ۖ وَإِن يُقَاتِلُوكُمْ يُوَلُّوكُمُ الْأَدْبَارَ ثُمَّ لَا يُنصَرُونَ
(සුළු) හිංසාවකින් මිස ඔවුහු(යුදෙව්වන්) නුඹලාට (කිසිදු) හානියක් නොපමුණුවන්නෝමය. තවද ඔවුහු නුඹලාට එරෙහිව සටන් වදින්නේ නම් නුඹලා වෙතින් පසුපස හැරී දිව යන්නෝය. පසුව ඔවුහු උදව් කරනු නොලබති.
ضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ أَيْنَ مَا ثُقِفُوا إِلَّا بِحَبْلٍ مِّنَ اللَّهِ وَحَبْلٍ مِّنَ النَّاسِ وَبَاءُوا بِغَضَبٍ مِّنَ اللَّهِ وَضُرِبَتْ عَلَيْهِمُ الْمَسْكَنَةُ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَانُوا يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ الْأَنبِيَاءَ بِغَيْرِ حَقٍّ ۚ ذَٰلِكَ بِمَا عَصَوا وَّكَانُوا يَعْتَدُونَ
ඔවුහු කොතැනක වුවද ඔවුන්ව නින්දාවෙන් වෙළා ගනු ලැබීය. (එනමුත්) අල්ලාහ්ගෙන් වූ ගිවිසුම මගින් ද ජනයාගෙන් වූ ගිවිසුම මගින් ද (අභය ලැබූවන්) මිස. තවද අල්ලාහ්ගෙන් වූ උදහස සමග ඔවුහු ආපසු හැරීය. තවද ඔවුන්ව අසරණභාවයෙන් වෙළා ගනු ලැබීය. එය ඔවුන් අල්ලාහ්ගේ සංඥාවන් ප්රතික්ෂේප කරමින් සිටි හෙයින් ද නබිවරුන්ව යුක්තියකින් තොරව ඝාතනය කරන්නන් වූ හෙයින් ද විය. (තවද) එය ඔවුහු (අල්ලාහ්ගේ අණට) පිටු පා (සියලු) සීමාවන් ඉක්මවූවන් වූ හෙයින් ද විය.
35‘අල්ලාහ්ගෙන් වූ ගිවිසුම’ යනු අල්ලාහ්ගේ විධානයට ඇතුළත් වූ අයයි. මොවුන් නම් ස්තී්රන් ද කුඩා දරුවන් ද මුස්ලිම්වරුන්ට එරෙහිව යුද නොකරන්නන්ය. ‘ජනයාගෙන් වූ ගිවිසුම’ යනු මුස්ලිම්වරුන් සමග සාමය සඳහා ගිවිසුමක් ඇති කර ගත්තවුන්ය. මෙම ආයතය පවසන්නේ මෙවැන්නන් නින්දාවෙන් වෙළා ගනු නොලබන්නෝය යන්නයි.
لَيْسُوا سَوَاءً ۗ مِّنْ أَهْلِ الْكِتَابِ أُمَّةٌ قَائِمَةٌ يَتْلُونَ آيَاتِ اللَّهِ آنَاءَ اللَّيْلِ وَهُمْ يَسْجُدُونَ
(ධර්ම පුස්තකය ලත්) ඔවුහු එක හා සමාන නොවෙති. ධර්ම පුස්තකය ලත් ජනයා අතුරින් තමන් සුජූද් කර( සලාතයේ යෙදෙ)මින් රාත්රි හෝරාවන්හි අල්ලාහ්ගේ වදන් පාරායනය කරමින් (අල්ලාහ්ගේ දහමෙහි) ස්ථාවරව සිටින ප්රජාවක් වෙති.
36මෙය අදහස් කරන්නේ යුදෙව්වන් අතුරින් ඉස්ලාමය වැලඳ ගත්තවුන්ය. (උදා : අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් තුමා වැනි අය).
يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَيُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَأُولَـٰئِكَ مِنَ الصَّالِحِينَ
ඔවුහු අල්ලාහ්ව හා පරමාන්ත දිනය විශ්වාස කරති. තවද ඔවුහු (ජනයින්ට) යහපත විධානය කර පිළිකුල් දැයින් වළක්වති. තවද යහපත් දෑ විෂයෙහි ඔවුහු ශීඝ්ර වෙති. ඔවුහු සැදැහැමියන් අතුරින් වෙති.
وَمَا يَفْعَلُوا مِنْ خَيْرٍ فَلَن يُكْفَرُوهُ ۗ وَاللَّهُ عَلِيمٌ بِالْمُتَّقِينَ
තවද යහපත් දැයින් ඔවුන් කුමක් කරන්නේ ද එය ප්රතික්ෂේප කරනු නොලබන්නේමය. බිය භක්තිකයින් පිළිබඳව අල්ලාහ් සර්වඥය.
إِنَّ الَّذِينَ كَفَرُوا لَن تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُم مِّنَ اللَّهِ شَيْئًا ۖ وَأُولَـٰئِكَ أَصْحَابُ النَّارِ ۚ هُمْ فِيهَا خَالِدُونَ
සැබැවින්ම ප්රතික්ෂේප කළවුන්, ඔවුන්ගේ ධනය ද ඔවුන්ගේ දරුවන් ද අල්ලාහ්ගෙන් වූ (දඬුවමින්) කිසිවකට (එරෙහිව) ඔවුනට ඵලක් ඇති නොකරන්නේමය. තවද ඔවුන්මය (නිරා) ගින්නේ සගයින් වන්නේ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
مَثَلُ مَا يُنفِقُونَ فِي هَـٰذِهِ الْحَيَاةِ الدُّنْيَا كَمَثَلِ رِيحٍ فِيهَا صِرٌّ أَصَابَتْ حَرْثَ قَوْمٍ ظَلَمُوا أَنفُسَهُمْ فَأَهْلَكَتْهُ ۚ وَمَا ظَلَمَهُمُ اللَّهُ وَلَـٰكِنْ أَنفُسَهُمْ يَظْلِمُونَ
(ප්රතික්ෂේපක) ඔවුන් මෙලොව ජීවිතයෙහි වියදම් කරන දෑට උපමාව වන්නේ (ප්රතික්ෂේපය මගින්) තමන්ටම අපරාධ කර ගත් පිරිසකගේ වගාබිම හසු කර එය විනාශ කර දමන එහි දැඩි ශීතක් ඇති සුළඟක උපමාවක් මෙනි. අල්ලාහ් ඔවුන්ට අපරාධ නොකළේය. නමුත් ඔවුහු තමන්ටම අපරාධ කර ගත්තෝය.
37මෙම ආයතයෙහි ‘දැඩි ශීත සුළඟ’ යන්නෙහි උපමේය අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීම වේ. ‘ඔවුන් මෙලොව ජීවිතයේ වියදම් කරන දෑ’ යන්නෙහි උපමේය තමන් උපයන වගාබිම වේ. එනම් ඉතා දැඩි ශීතකට හසු වූ වගාබිම වියළී විනාශ වී යන්නා සේ තමන් කොතරම් වියදම් කළද ප්රතික්ෂේපිත කරුණු හේතුවෙන් තම යහ ක්රියාවන් සියල්ල විනාශ වී යනු ඇත යන්න මෙහි අදහස බව අල් කුර්ආන් විශාරදයින් සඳහන් කොට ඇත.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا بِطَانَةً مِّن دُونِكُمْ لَا يَأْلُونَكُمْ خَبَالًا وَدُّوا مَا عَنِتُّمْ قَدْ بَدَتِ الْبَغْضَاءُ مِنْ أَفْوَاهِهِمْ وَمَا تُخْفِي صُدُورُهُمْ أَكْبَرُ ۚ قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ ۖ إِن كُنتُمْ تَعْقِلُونَ
විශ්වාස කළවුනි, නුඹලා අතුරින්ම වූවන් හැර (යුදෙව්වන්ව නුඹලාගේ) රහස්ය තොරතුරු දන්නෙකු වශයෙන් නුඹලා නොගනිවු. ඔවුහු නුඹලාට හානියක් කිරීමෙහි කිසිදු අඩුවක් නොකරති. ඔවුහු නුඹලා දුෂ්කරත්වයට පත්වීම ප්රිය කරති. ඔවුන්ගේ මුඛ වලින් ක්රෝධය හෙළි වූ අතර ඔවුන්ගේ හදවත් සැඟ වූ දෑ (එයට) වඩා ඉමහත්ය. සැබැවින්ම අපි නුඹලාට සංඥාවන් පැහැදිලි කළෙමු. නුඹලා අවබෝධ කර ගන්නේ නම්( ඔවුන්ව රහස්ය තොරතුරු දන්නෙකු වශයෙන් නුඹලා නොගනිවු).
هَا أَنتُمْ أُولَاءِ تُحِبُّونَهُمْ وَلَا يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِالْكِتَابِ كُلِّهِ وَإِذَا لَقُوكُمْ قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا عَضُّوا عَلَيْكُمُ الْأَنَامِلَ مِنَ الْغَيْظِ ۚ قُلْ مُوتُوا بِغَيْظِكُمْ ۗ إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
බලවු. නුඹලා කවුරුන්ද යත් නුඹලා ඔවුන්ව ප්රිය කරන්නෙහුය. (නමුත්) ඔවුහු නුඹලාව ප්රිය නොකරති. තවද (පෙර පහළ වූ) ධර්ම පුස්තකයන් සියල්ල නුඹලා විශ්වාස කරන්නෙහුය. තවද ඔවුන් නුඹලාව හමු වූ විට “අපි විශ්වාස කළෙමු” යැයි පවසති. ඔවුහු තනි වූ කල්හි නුඹලා කෙරෙහි වූ කෝපයෙන් (ඔවුන්ගේ) ඇඟිලි තුඩු සපා ගනිති. (නබිවරය,) නුඹ පවසවු. “නුඹලාගේ කෝපය සමගම නුඹලා මිය යවු.” සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ හදවත් තුළ ඇති දෑ පිළිබඳව සර්වඥය.
إِن تَمْسَسْكُمْ حَسَنَةٌ تَسُؤْهُمْ وَإِن تُصِبْكُمْ سَيِّئَةٌ يَفْرَحُوا بِهَا ۖ وَإِن تَصْبِرُوا وَتَتَّقُوا لَا يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْئًا ۗ إِنَّ اللَّهَ بِمَا يَعْمَلُونَ مُحِيطٌ
(යුද්ධය ජයග්රහණය කිරීමෙන්) නුඹලාව (යම්) යහපතක් ස්පර්ශ කළ කල්හි එය (යුදෙව්) ඔවුන්ව දුකට පත් කරයි. තවද නුඹලාට (එහි යම්) නරකක් ඇති වූ කල්හි එමගින් ඔවුහු සතුටු වෙති. තවද නුඹලා ඉවසා (අල්ලාහ්ට) බිය භක්තිමත් වන්නෙහු නම් නුඹලාට ඔවුන්ගේ කුමන්ත්රණ කිසිවකින් හානියක් නොපමුණුවයි. සැබැවින්ම ඔවුන් කරන දෑ පිළිබදව අල්ලාහ් සර්ව ප්රකාරයෙන් දැන සිටින්නාය.
وَإِذْ غَدَوْتَ مِنْ أَهْلِكَ تُبَوِّئُ الْمُؤْمِنِينَ مَقَاعِدَ لِلْقِتَالِ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
(නබිවරය,) සටන් වැදීම සඳහා (උහුද් නම් යුද පිටියෙහි ඔවුන්ගේ නියමිත) ස්ථානයන්හි විශ්වාසිකයින්ව නුඹ ස්ථානගත කිරීමට නුඹ නුඹගේ පවුල වෙතින් උදෑසන පිටත් වී ගිය අවස්ථාව (සිහිපත් කරවු.) අල්ලාහ් සර්ව ශ්රාවකය සර්වඥය.
38120 වැනි ආයතයේ ‘නුඹලා ඉවසා (අල්ලාහ්ට) බිය භක්තිමත් වන්නෙහු නම් නුඹලාට ඔවුන්ගේ කුමන්ත්රණ කිසිවකින් හානියක් නොපමුණුවයි’ යන පදයේ ඇති අදහස ඉන් පසුව ඇති ආයතයන්හි ප්රායෝගිකව උහුද් හා බද්ර් යන යුද්ධයන්හි සිදු වූ සිදුවීම් වලින් පෙන්වා දී ඇත. එනම් බද්ර් යුද්ධයේදී මුස්ලිම්වරුන් තුළ යුද බලය හීනව තිබිය දී ඉහත කී ඉවසීම හා බිය භක්තිය යන ගුණාංගයන් දෙකම වූ හේතුවෙන් එම යුද්ධයේ මුස්ලිම්වරුන්ට ජය අත්විය. නමුත් උහුද් යුද්ධයේ මුස්ලිම්වරුන් අතුරින් ඇතැමුන් තුළ මෙම ගුණාංගයන් දෙකෙහි යම් අඩුපාඩුවක් වූ හේතුවෙන් එම යුද්ධයේ මුස්ලිම්වරුන් තාවකාලික පරාජයකට මුහුණ පෑවෝය. 121 සිට 175 දක්වා වූ ආයතයන්හි මෙකී උහුද් යුද්ධය පිළිබඳව විවිධ සිද්ධීන් සඳහන් වී ඇත. තවද ඉහත කී ආයතයන් අතර 123 සිට 127 දක්වා වූ ආයතයන්හි බද්ර් යුද්ධය පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් ද කර ඇත.
إِذْ هَمَّت طَّائِفَتَانِ مِنكُمْ أَن تَفْشَلَا وَاللَّهُ وَلِيُّهُمَا ۗ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
අල්ලාහ් තමන්ගේ භාරකරු වශයෙන් සිටියදී නුඹලා අතුරින් වූ දෙපිරිසක් තමන් අධෛර්යය (වී යුද පිටියෙන් පලා යන්නේ) යැයි සිතූ අවස්ථාව (සිහිපත් කරවු). තවද අල්ලාහ් කෙරෙහිම විශ්වාසිකයින් සියල්ල භාර කළ යුතුය.
39උහුද් යුද්ධය සම්බන්ධ ආයතයන්හි විවිධ සිද්ධීන් පිළිබඳව සඳහන්ව ඇති බැවින් එම යුද්ධය පිළිබඳව යථාදර්ශනයක් අවබෝධය කර ගනු පිණිස මෙහි කෙටි පැහැදිලි කිරීමක් කර ඇත. උහුද් යුද්ධය තුන් වන හිජ්රී වර්ෂයේ සිදු විය. එකල මක්කාවෙහි විසූ ප්රතික්ෂේපකයින් මදීනාව ආක්රමණය කිරීමට පැමිණියෝය. නබි මුහම්මද් තුමාණන් හා ඔහුගේ සමීප සහාබිවරුන් තමන් සිටි සීමාව ආරක්ෂා කිරීමට සූදානම් වූහ. නමුත් බද්ර් යුද්ධයට සහභාගී නොවූ බොහෝ සහාබිවරුන් මදීනාවෙන් පිට එළිමහනක සතුරන් සමග යුද්ධ කිරීමට ආශාව ප්රකාශ කළෝය. නබි මුහම්මද් තුමාණන් ඔවුන්ගේ අදහස පිළිගත්තේය. පසුව මුස්ලිම් සේනාව උහුද් කන්ද දෙසට ගමන් කළෝය. ආත්ම වංචනිකයින්ගේ නායකයා වන අබ්දුල්ලා ඉබ්නු උබෙයි නැමැත්තා මෙම තීරණය පිළිබඳව ප්රකෝපය පළ කළේය. ඔහුගේ අනුගාමිකයන් 300 දෙනෙකු සමග ඔහු යුද නොකර යුද පිටියෙන් නැවත හැරී ගියේය. පසුව මුස්ලිම් සේනාව 700 කට සීමා විය. මෙම මොහොතේ සත්යය මුස්ලිම්වරුන්ගෙන් ගෝත්රයන් දෙකක් වන බනූ සලිමා හා බනූ හාරිසා යුද පිටියෙන් හැරී යෑමට සිතා පසුව එම තීරණය වෙනස් කරමින් යුද පිටියේ ස්ථිරව රැඳී සිටියෝය. මෙම කණ්ඩායම් දෙක පිළිබඳව 122 වැනි ආයතයේ සඳහන් වී ඇත. පසුව සතුරන් අනපේක්ෂිත ලෙස පසුපසින් පහර දීම වැළැක්වීම පිණිස මුස්ලිම්වරුන්ගේ සේනාවට පිටුපසින් පිහිටි කුඩා කන්දක් උඩ නබි මුහම්මද් තුමාණන් දුනුවායන් පනස් දෙනෙකුව ස්ථානගත කළේය. තමාගේ අණ පැමිණෙන තුරු හැර වෙනත් කිසිදු හේතුවක් නිසා හෝ පහළට නොපැමිණෙන ලෙස එතුමාණෝ ඔවුනට අණ කළහ. යුද්ධයේ ආරම්භ අවධියේ මුස්ලිම්වරුන්ට ජය අත් වී සතුරන් පලා දිව්වෝය. කුඩා කන්දෙහි සිටි මුස්ලිම්වරු සතුරන්ගේ පලා යෑම හා මුස්ලිම්වරුන් යුද බිමේ වස්තූන් අත්පත් කර ගැනීම දැක යුද්ධය අවසන් යැයි සිතා කන්දෙන් පහළට බැසීමට අපේක්ෂා කළෝය. එවිට එම කණ්ඩායමට නායකයා ලෙස සිටි අබ්දුල්ලා ඉබ්නු ජුබෙයිර් තුමාණන් නබි මුහම්මද් තුමාණන්ගේ අණ පැමිණෙන තුරු නොබසින ලෙස පැවසුවේය. නමුත් ඔවුන් යුද්ධය අවසන් වන තෙක් පමණක් නබි මුහම්මද් තුමාණන්ගේ අණ අදාළ යැයි සිතා කන්දෙන් බැස්සෝය. එවිට අබ්දුල්ලා ඉබ්නු ජුබෙයිර් තුමා හා තවත් දහ දෙනෙක් හෝ දොළොස් දෙනෙක් කන්දෙන් නොබැස එහි රැඳී සිටියෝය. ඒ අවස්ථාවේ සතුරු සේනාවේ නායකයෙකුව සිටියේ කාලිද් ඉබ්නු වලීද් තුමාණන් වූ අතර ඔහු එම කඳු ප්රදේශය හිස් වීම යුධ උපක්රමය හීනවීමක් ලෙස දැක පසුපසින් පැමිණ මුස්ලිම්වරුන්ට ප්රහාර එල්ල කළේය. එහි සිටි ඉතිරි දුනුවායන් ද මරණයට පත් වූහ. අනපේක්ෂිත මෙම ප්රහාරයෙන් මුස්ලිම්වරුන් යුද පිටියේ සී සී කඩ විසිරී ගියෝය. නමුත් ඔවුන්ගෙන් ඇතැමෙක් යුද පිටියේ ස්ථිරවම රැඳී සිටියෝය. එවිට නබි මුහම්මද් තුමාණන්ගේ පෙනුමට සමාන පෙනුමක් ඇති මුස්ලිම්වරුන්ගේ කොඩිය ඔසවා ගෙන සිටි මුස්අබ් ඉබ්නු උමෙයිර් තුමා ඝාතනය කරනු ලැබුවේය. එවිට මෙය දුටු ඇතැම් ප්රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමාණන්ව ඝාතනය කළේ යැයි කෑ ගැසූහ. මෙම කට කතාව පැතිරෙන විට මුස්ලිම්වරුන් අධෛර්යයට පත් වී මුස්ලිම්වරුන් 70 දෙනෙකු ඝාතනයට ලක් වූහ. ඇතැම් සහාබිවරුන් නබි මුහම්මද් තුමාණන්ව ඔවුන්ගේ විශිෂ්ට වීරත්වයෙන් ආරක්ෂා කර ගෙන සිටි නමුත් එතුමාට ද සුළු තුවාල වූ අතර දතක් ද කැඞී ගියේය. ස්වල්ප මොහොතකින් නබි මුහම්මද් තුමාගේ මරණය බොරු කට කතාවක් බව දැන ගත් මුස්ලිම්වරුන් නැවත යුද පිටිය තම අණසකට නතු කර ගත්තෝය.
وَلَقَدْ نَصَرَكُمُ اللَّهُ بِبَدْرٍ وَأَنتُمْ أَذِلَّةٌ ۖ فَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تَشْكُرُونَ
නුඹලා (සංඛ්යාවෙන් හා ආයුධ බලයෙන්) දුබලයින්ව සිටිය දී සැබැවින්ම අල්ලාහ් බද්ර්( සටනෙ)හි නුඹලාට උදව් කළේය. නුඹලා කෘතවේදී වනු පිණිස නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු.
إِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَن يَكْفِيَكُمْ أَن يُمِدَّكُمْ رَبُّكُم بِثَلَاثَةِ آلَافٍ مِّنَ الْمَلَائِكَةِ مُنزَلِينَ
(නබිවරය,) “පහළ කරනු ලැබූ මලක්වරුන්ගෙන් තුන් දහස(ක පිරිස)ක් මගින් නුඹලාගේ පරමාධිපති නුඹලාට උපකාර කිරීම නුඹලාට ප්රමාණවත් නොවූයේදැ?”යි විශ්වාසිකයින්ට නුඹ පැවසූ අවස්ථාව (සිහිපත් කරවු).
بَلَىٰ ۚ إِن تَصْبِرُوا وَتَتَّقُوا وَيَأْتُوكُم مِّن فَوْرِهِمْ هَـٰذَا يُمْدِدْكُمْ رَبُّكُم بِخَمْسَةِ آلَافٍ مِّنَ الْمَلَائِكَةِ مُسَوِّمِينَ
එසේය. නුඹලා ඉවසා (අල්ලාහ්ට) බිය භක්තිමත් වන්නෙහු නම්, නුඹලා වෙත ක්ෂණිකව ඔවුන් (සටනට) පැමිණියේ නම්, (හඳුනා ගැනීමට පැහැදිළි) සලකුණු ඇති මලක්වරුන්ගෙන් පන්දහසක් මගින් නුඹලාගේ පරමාධිපති නුඹලාට උපකාර කරන්නේය.
وَمَا جَعَلَهُ اللَّهُ إِلَّا بُشْرَىٰ لَكُمْ وَلِتَطْمَئِنَّ قُلُوبُكُم بِهِ ۗ وَمَا النَّصْرُ إِلَّا مِنْ عِندِ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ
තවද අල්ලාහ් නුඹලාට ශුභාරංචියක් වශයෙන් හා එමගින් නුඹලාගේ හදවත් නිසල වීම පිණිස මිස මෙය සිදු නොකළේය. තවද අති බලසම්පන්න සර්ව ප්රඥාවන්ත අල්ලාහ් වෙතින් මිස උපකාරය නොමැත.
لِيَقْطَعَ طَرَفًا مِّنَ الَّذِينَ كَفَرُوا أَوْ يَكْبِتَهُمْ فَيَنقَلِبُوا خَائِبِينَ
(අල්ලාහ් මෙසේ උපකාර කළේ) ප්රතික්ෂේපය කළවුන්ගෙන් කොටසක් කපා දැමීම(විනාශ කිරීම) පිණිස හෝ ඔවුන්ව අවමන් කිරීම පිණිසය. එවිට ඔවුහු බලාපොරොත්තු සුන් වූවන්ව නැවත හැරී යති.
لَيْسَ لَكَ مِنَ الْأَمْرِ شَيْءٌ أَوْ يَتُوبَ عَلَيْهِمْ أَوْ يُعَذِّبَهُمْ فَإِنَّهُمْ ظَالِمُونَ
(නබිවරය, ඔවුන්ගේ) විෂයයෙහි නුඹට කිසිව(කින් අයිතිය)ක් නොවීය. (සියලුම අයිතීන් අල්ලාහ් සතුය.) ඔහු ඔවුන් කෙරෙහි (ඉස්ලාමය මගින්) පශ්චාත්තාපය පිළිගන්නා තෙක් හෝ ඔහු ඔවුනට දඬුවම් කරන තෙක්( නුඹ ඉවසිලිවන්තව සිටිය යුතු)ය. හේතුව සැබැවින්ම ඔවුහු අපරාධකරුවන්ය.
40එක් වාර්තාවකට අනුව නබි මුහම්මද් තුමාණන් උහුද් යුද්ධයේ තුවාල ලබා දතක් ද කැඩී මුහුණෙන් ලේ ගලමින් සිටියදී එතුමන් “තම නබිවරයාව තුවාලයට පත් කළ පිරිසක් කෙසේ නම් ජය ගත හැක්කේ ද?” යැයි පැවසුවේය. 128 වැනි ආයතය මෙම අවස්ථාවේ පහළ විය.
وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ يَغْفِرُ لِمَن يَشَاءُ وَيُعَذِّبُ مَن يَشَاءُ ۚ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ
තවද අහස්හි ඇති දෑ ද මිහිතලයෙහි ඇති දෑ ද අල්ලාහ් සතුය. ඔහු අභිමත කරන අයට සමාව දෙන්නේය. ඔහු අභිමත කරන අයට දඬුවම් කරන්නේය. අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَأْكُلُوا الرِّبَا أَضْعَافًا مُّضَاعَفَةً ۖ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ
විශ්වාස කළවුනි, දෙගුණ හා බහුගුණ වන්නා වූ පොලිය නුඹලා අනුභව නොකරවු. තවද නුඹලා ජය ලබා ගනු පිණිස නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු.
41උහුද් පිටියේ පැවති යුද්ධයේ වියදම වෙනුවෙන් මක්කාවෙහි විසූ ප්රතික්ෂේපකයින් පොලී මුදල් භාවිත කළෝය. මෙම ආයතය මගින් මුස්ලිම්වරුන්ට පොදුවේ පොලී මුදල් භාවිත කිරීම තහනම්ව තිබියදී යුද්ධමය අවස්ථාවේදී පොලී මුදල් භාවිත නොකරන මෙන් තව දුරටත් මෙම නීතිය ස්ථිර කර අවවාද කර ඇත්තේය. තවද මෙම ආයතයේ සඳහන් ‘දෙගුණ හා බහුගුණ’ යන පදයෙන් ඊට අවම ප්රමාණයක පොලිය භාවිත කිරීම අනුමත යැයි අර්ථවත් නොවේ. මන්දයත් අල් කුර්ආන් 2:278 හා 279 යන ආයතයන්හි පොලී සම්බන්ධව විස්තරාත්මකව පැහැදිලි කර ඇත. මෙහි ‘දෙගුණ හා බහුගුණ’ යනුවෙන් භාවිත කර ඇත්තේ ඒ වකවානුවේ පැවත ආ ඉතා නරක අයුරින් දුන් පොලී ක්රමය මෙය යැයි පෙන්නුම් කිරීමටය.
وَاتَّقُوا النَّارَ الَّتِي أُعِدَّتْ لِلْكَافِرِينَ
තවද ප්රතික්ෂේපකයින් සඳහා සූදානම් කරනු ලැබූ (නිරා) ගින්නට නුඹලා බිය වවු.
وَأَطِيعُوا اللَّهَ وَالرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ
තවද නුඹලා (අල්ලාහ්ගේ) කරුණාව ලබනු පිණිස අල්ලාහ්ට ද රසූල්වරයාට ද නුඹලා අවනත වවු.
وَسَارِعُوا إِلَىٰ مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالْأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ
තවද නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සමාව වෙත ද (ස්වර්ග) උයන වෙත ද නුඹලා එකිනෙකා ශීඝ්ර වවු. එහි පළල අහස් හා මිහිතලය (තරම්)ය. එය බිය භක්තිකයින්ට සූදානම් කරනු ලැබ ඇත.
الَّذِينَ يُنفِقُونَ فِي السَّرَّاءِ وَالضَّرَّاءِ وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ ۗ وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ
(ඔවුහු) කවුරුන්ද යත් සමෘද්ධියෙහිදී හා (දිළිඳු කමින් වූ) පීඩාවෙහිදී (අල්ලාහ්ගේ මාර්ගයේ) වියදම් කරන්නෝ වෙති. තවද කෝපය මැඩ පවත්වා ගන්නෝ වෙති. තවද (ඔවුන්ට අපරාධ කළ) ජනයින්ට සමාව දෙන්නෝ ද වෙති. අල්ලාහ් යහපත කරන්නන්ව ප්රිය කරන්නේය.
وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنفُسَهُمْ ذَكَرُوا اللَّهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللَّهُ وَلَمْ يُصِرُّوا عَلَىٰ مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ
තවද (ඔවුහු) කවුරුන්දයත් ඔවුන් අශික්ෂිත දැයක් කළ විට හෝ ඔවුන් තමන්ටම අපරාධ කර ගත් විට අල්ලාහ්ව මෙනෙහි කර තමන්ගේ පාපයන්ට සමාව ඇයැදිති. අල්ලාහ් හැර පාපයන් සමා කරන්නේ කවරෙකු ද? තවද ඔවුහු දැනුවත්වම ඔවුන් කළ (පාපකාරී) දෑ මත (පශ්වාත්තාප නොවී) තිරසාරව නොසිටිති.
أُولَـٰئِكَ جَزَاؤُهُم مَّغْفِرَةٌ مِّن رَّبِّهِمْ وَجَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ وَنِعْمَ أَجْرُ الْعَامِلِينَ
ඔවුන් නම්, ඔවුන්ගේ (යහ)ප්රතිඵලය වන්නේ තම පරමාධිපතිගෙන් වූ සමාව ද (ස්වර්ග) උයන් ද වේ. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. (ඔවුහු) එහි සදාතනිකයෝ වෙති. (යහ)කි්රයා කරන්නන්ගේ වේතනය කෙතරම් යහපත් ද!
قَدْ خَلَتْ مِن قَبْلِكُمْ سُنَنٌ فَسِيرُوا فِي الْأَرْضِ فَانظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ
(විශ්වාසිකයිනි,) නුඹලාට පෙරවූවන්ගේ (විවිධ) ක්රියා මාර්ගයන් ඉකුත්ව ගොස් ඇත. එබැවින් නුඹලා මිහිතලයෙහි සැරිසරා (තම රසූල්වරුන්ව) අසත්යය කරන්නන්ගේ අවසානය කෙසේ වී දැ?යි බලවු.
هَـٰذَا بَيَانٌ لِّلنَّاسِ وَهُدًى وَمَوْعِظَةٌ لِّلْمُتَّقِينَ
මෙ(ම අල් කුර්ආන)ය ජනයාට පැහැදිලි කිරීමකි. තවද මග පෙන්වීමකි. තවද බිය භක්තිකයින්ට උපදෙසකි.
وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنتُمُ الْأَعْلَوْنَ إِن كُنتُم مُّؤْمِنِينَ
(විශ්වාසිකයිනි,) නුඹලා අධෛර්යයමත් නොවවු. තවද දුක් නොවවු. නුඹලා විශ්වාසිකයින්ව සිටියේ නම් නුඹලාමය උත්තරීතර අය වන්නේ.
إِن يَمْسَسْكُمْ قَرْحٌ فَقَدْ مَسَّ الْقَوْمَ قَرْحٌ مِّثْلُهُ ۚ وَتِلْكَ الْأَيَّامُ نُدَاوِلُهَا بَيْنَ النَّاسِ وَلِيَعْلَمَ اللَّهُ الَّذِينَ آمَنُوا وَيَتَّخِذَ مِنكُمْ شُهَدَاءَ ۗ وَاللَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ
නුඹලාට (යම්) තුවාලයක් (උහුද් යුද්ධයේ) ඇති වූයේ නම් එවැනිම තුවාලයක් (බද්ර් යුද්ධයේ ප්රතික්ෂේපක) පිරිසට ඇති වී ඇත. එවන් දිනයන් (මෙලොව) අපි ජනයා අතර (විවිධාකාරව) ඒවා මාරුවෙන් මාරුවට ලබා දෙන්නෙමු. (මන්දයත් සත්ය ලෙස) විශ්වාස කළවුන්ව අල්ලාහ් දැන ගැනීම පිණිස ද නුඹලා අතුරින් (අල්ලාහ්ගේ මගෙහි දිවිපිදූ) ෂහීද්වරුන්ව ඔහු (තෝරා) ගැනීම පිණිස ද වේ. අල්ලාහ් අපරාධකරුවන්ව ප්රිය නොකරන්නේය.
42මෙය උහුද් යුද්ධයේ පීඩාවට පත් වූ මුස්ලිම්වරුන්ට සැනසීමක් ලෙස පහළ වූවකි. එනම් මුස්ලිම්වරුන් උහුද් යුද්ධයේ පීඩාවට ලක් වූවා මෙන් බද්ර් යුද්ධයේ ප්රතික්ෂේපකයින් ද පීඩාවට පත් වී ඔවුන් මහා ලැජ්ජාශීලී පරාජයකට මුහුණ පෑමය. නමුත් මුස්ලිම්වරුන්ගේ පීඩාවට ද ප්රතික්ෂේපකයින්ගේ පීඩාව ද විශාල වෙනසක් විය. ප්රතික්ෂේපකයින් හට මෙම පීඩාව දඬුවමක් වූ අතර මුස්ලිම්වරුන් හට මෙම පීඩාවෙහි බොහෝ ප්රයෝජන විය. කෙලෙසද යත් යුද්ධයෙන් ඝාතනය කරනු ලැබූවන් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ ෂහීද්වරුන්ගේ තරාතිරම ලබා ගත් අතර අන් අය තමන්ගේ අඩුපාඩු වලින් පරිශුද්ධ වූහ.
وَلِيُمَحِّصَ اللَّهُ الَّذِينَ آمَنُوا وَيَمْحَقَ الْكَافِرِينَ
තවද විශ්වාස කළවුන්ව අල්ලාහ් පවිත්ර කිරීම පිණිස ද ප්රතික්ෂේපකයින්ව ඔහු විනාශ කිරීම පිණිස ද වේ.
أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا يَعْلَمِ اللَّهُ الَّذِينَ جَاهَدُوا مِنكُمْ وَيَعْلَمَ الصَّابِرِينَ
නැතහොත් නුඹලා අතුරින් ප්රයත්නය කළවුන් පිළිබඳව අල්ලාහ් (පිරික්සුම් කිරීම මගින්) දැන නොගෙන හා ඉවසිලිවන්තයින් පිළිබඳව ඔහු (පිරික්සුම් කිරීම මගින්) දැන නොගෙන නුඹලා (ස්වර්ග) උයනට පිවිසීමට සිතන්නෙහු ද?
43වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:218 ආයතයෙහි පාද සටහන බලන්න.
44අල්ලාහ් සියලු දෑ දන්නෙකුව සිටිය දී මෙහි ‘දැනුම’ යන්නෙන් අදහස් කරනුයේ ‘ප්රායෝගික පිරික්සුමක්’ යන්නය. එනම් අල්ලාහ් සර්වඥ වුවද ඉහත කී විෂයන්හි මිනිසාව ප්රායෝගිකව පිරික්සුමකට ලක් නොකොට ඒ සඳහා වූ ඉමහත් කුසල් ලබා නොදෙන බවයි.
وَلَقَدْ كُنتُمْ تَمَنَّوْنَ الْمَوْتَ مِن قَبْلِ أَن تَلْقَوْهُ فَقَدْ رَأَيْتُمُوهُ وَأَنتُمْ تَنظُرُونَ
තවද සැබැවින්ම නුඹලා එ(ම උහුද් යුද්ධ)යට මුහුණ දීමට පෙරම නුඹලා මරණය ප්රිය කරන්නන්ව සිටියෙහුය. තවද නුඹලා (යුද පිටියේ) බලා සිටියදීම නුඹලා එ(ම මරණ)ය (විවෘත දෑසින්) දුටුවෙහුමය.
45මෙහි පෙන්නුම් කරන්නේ සහාබිවරුන් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදීමට දැඩි ආශාවක් දැක් වූ බවය.
وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ ۚ أَفَإِن مَّاتَ أَوْ قُتِلَ انقَلَبْتُمْ عَلَىٰ أَعْقَابِكُمْ ۚ وَمَن يَنقَلِبْ عَلَىٰ عَقِبَيْهِ فَلَن يَضُرَّ اللَّهَ شَيْئًا ۗ وَسَيَجْزِي اللَّهُ الشَّاكِرِينَ
මුහම්මද් රසූල්වරයෙකු මිස නොවීය. ඔහුට පෙර (බොහෝ) රසූල්වරුන් ඉකුත් වී ගියහ. (එහෙයින් කවරෙකු පෙර දහමට) ආපසු හැරී යන්නෙහු ද? කවරෙකු තම විළුඹ මත ආපසු හැරී යන්නේ ද (එමගින්) ඔහු අල්ලාහ්ට කිසිවකින් හෝ හානි ඇති නොකරන්නේමය. අල්ලාහ් කෘතවේදීන්ට යහ ප්රතිඵල මතු ලබා දෙනු ඇත.
46මෙම ආයතය පහළ වීමට හේතුව නම් ‘උහුද්’ යුද පිටියෙහි ඇති වූ සිද්ධියක් පදනම් කර ගෙනය. එනම් ‘උහුද්’ නම් යුද අවස්ථාවෙහි නබි මුහම්මද් තුමාණන් තුවාල වූ කල්හි ‘එතුමාණන් මරණයට පත් වූවා’ යැයි කෙනෙකු ශබ්ද නගමින් යුද පිටියෙහි ව්යාජ පුවතක් පතුරවන්නට විය. මෙය ඇසූ මුස්ලිම්වරුන් කම්පනයට පත් වූහ. මෙය කදිම අවස්ථාවක් ලෙස ගත් ආත්ම වංචනිකයින් “නබි මුහම්මද් තුමාණන් රසූල්වරයෙකු නම් ඔහු මරණයට පත් නොවනු ඇත, තවද මොහු මරණයට පත් වී ඇති හෙයින් නුඹලා ඉස්ලාමය අත හැර නුඹලා පෙර සිටි දහම වෙතම පිවිසෙවු” යැයි මුස්ලිම්වරුන් අමතා පවසමින් ඔවුන්ව ඉස්ලාම් දහමෙන් බැහැර කරන්නට වෙර දැරූහ. එහෙයින් ‘කෙනෙක් රසූල්වරයෙකු නම් ඔහු මරණයට පත්විය නොහැක’ යැයි සිතා ඇතැම් මුස්ලිම්වරුන් පවා ව්යාකූලත්වයට පත් වූහ. මෙම ව්යාජ මතය බිඳ දැමීම සඳහා අල්ලාහ් මෙම ආයතය පහළ කොට ‘නබි මුහම්මද් තුමාණන් රසූල්වරයෙකුමය, මොහුට පෙර රසූල්වරුන් ජීවත් වී පසුව මරණයට පත් වූවාක් මෙන් මොහුට ද මරණය ඇති විය හැක, රසූල්වරයෙකු වුවද ඔහු ද මනුෂ්යයෙකි, පෙර රසූල්වරුන් ඉකුත් වී ගිය පසු ඔවුන්ගේ අනුගාමිකයින් ඔවුන්ගේ මග පෙන්වීම අනුව දහම තුළ ස්ථිරවම සිටියාක් මෙන් නබි මුහම්මද් තුමාණන් ස්වාභාවිකව හෝ ඝාතනයට ලක්ව හෝ මරණයට පත් වුයේ නම් නුඹලා ද දහමෙහි ස්ථිරව සිටිය යුතුයැ’යි පැහැදිලි කොට ඇත. ‘නබි මුහම්මද් තුමාණන්ගේ වියෝවයෙන් අනතුරුව එතුමාණන්ගේ අනුගාමිකයින් අතර පවා නබිතුමාණන් මරණයට පත්වී නොමැත, එතුමන් අල්ලාහ්ගේ සන්නිධානයට ගොස් නැවත පැමිණෙනු ඇත යැයි මතභේදයක් ඇති විය. එම අවස්ථාවේදී සහාබිවරයෙකු වන අබූ බක්ර් සිද්දීක් තුමාණන් සභාව අමතා නබි මුහම්මද් තුමාණන් මරණයට පත් ව ඇත. යැයි පවසමින් ඉහත අල් කුර්ආන් ආයතය සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළේය.’ එනමුත් මෙම ආයතයෙහි “ඔහුට(නබි මුහම්මද්ට) පෙර (බොහෝ) රසූල්වරුන් ඉකුත් වී ගියහ” යන ප්රකාශයෙන් නබි ඊසා තුමාණන් බැහැර වන්නේය. මන්දයත් ‘නබි ඊසා තුමාණන් මෙතෙක් මරණයට පත් නොවූ අතර මෙතුමා ජීවමානව අල්ලාහ් අහසට ඔසවා ගත්තේය. ලොව අවසන් දිනය සමීප වෙත්ම එතුමාණන් ලොවට නැවත පැමිණ කලක් ජීවත් වී පසුව නබි මුහම්මද් තුමාණන්ගේ අනුගාමිකයෙකු ලෙස ස්වහාවික මරණයට පත් වනු ඇත’ යන කරුණ අල් කුර්ආන් 3:55 , 4:159 , 5:117 , 43:61 ආයතයන් තුළින් හා මුතවාතිර් ගණයට අයත් බොහෝ හදීසයන් තුළින් තහවුරු වී ඇත. මේ පිළිබඳ වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 3:55 ආයතයට අදාළ පාද සටහන බලන්න.
وَمَا كَانَ لِنَفْسٍ أَن تَمُوتَ إِلَّا بِإِذْنِ اللَّهِ كِتَابًا مُّؤَجَّلًا ۗ وَمَن يُرِدْ ثَوَابَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَن يُرِدْ ثَوَابَ الْآخِرَةِ نُؤْتِهِ مِنْهَا ۚ وَسَنَجْزِي الشَّاكِرِينَ
තවද නිර්ණය කරනු ලැබූ නියමිත කාලයකදී අල්ලාහ්ගේ අනුමැතියෙන් මිස කිසිදු ආත්මයකට මරණයට පත් විය නොහැක. තවද කවරෙකු මෙලොව ප්රතිඵල අපේක්ෂා කරන්නේ ද අපි එයින් ඔහුට ලබා දෙන්නෙමු. තවද කවරෙකු මතු ලොව ප්රතිඵල අපේක්ෂා කරන්නේ ද අපි එයින් ඔහුට ලබා දෙන්නෙමු. තවද කෘතවේදීන්ට අපි යහ ප්රතිඵල මතු ලබා දෙන්නෙමු.
وَكَأَيِّن مِّن نَّبِيٍّ قَاتَلَ مَعَهُ رِبِّيُّونَ كَثِيرٌ فَمَا وَهَنُوا لِمَا أَصَابَهُمْ فِي سَبِيلِ اللَّهِ وَمَا ضَعُفُوا وَمَا اسْتَكَانُوا ۗ وَاللَّهُ يُحِبُّ الصَّابِرِينَ
කොපමණක්දෝ නබිවරුන්, ඔවුන් සමග බොහෝ දැහැමියන් (එක් වී) සටන් කළෝය. (නමුත්) අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔවුන්ට සිදු වූ (හානිකර) දෑ හේතුවෙන් ඔවුහු අධෛර්යමත් නොවූහ. තවද දුබල නොවූහ. තවද (සතුරන්ට) ඔවුහු යටත් නොවූහ. අල්ලාහ් ඉවසිලිවන්තයින්ව ප්රිය කරන්නේය.
وَمَا كَانَ قَوْلَهُمْ إِلَّا أَن قَالُوا رَبَّنَا اغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِي أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ
තවද “අපගේ පරමාධිපතියාණනි, අපගේ පාපයන්ට ද අපගේ කාර්යයන්හි අපගේ සීමාව ඉක්මවීම් වලට ද අපට ක්ෂමාව දෙනු මැනව! ඔබ අපගේ පාදයන් (යුද පිටියෙහි) ස්ථාවර කරනු මැනව! තවද (හර්බී) ප්රතික්ෂේපිත පිරිසකට එරෙහිව අපට ඔබ උපකාර කරනු මැනව!” යැයි ඔවුන් පවසනු මිස ඔවුන්ගේ (වෙනත්) ප්රකාශයක් නොවීය.
فَآتَاهُمُ اللَّهُ ثَوَابَ الدُّنْيَا وَحُسْنَ ثَوَابِ الْآخِرَةِ ۗ وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ
එබැවින් අල්ලාහ් ඔවුනට මෙලොව ප්රතිඵල හා මතු ලොව අලංකාර ප්රතිඵල ලබා දුන්නේය. අල්ලාහ් යහපත කරන්නන්ව ප්රිය කරන්නේය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِن تُطِيعُوا الَّذِينَ كَفَرُوا يَرُدُّوكُمْ عَلَىٰ أَعْقَابِكُمْ فَتَنقَلِبُوا خَاسِرِينَ
විශ්වාස කළවුනි, නුඹලා ප්රතික්ෂේප කළවුන්ට අවනත වන්නේ නම් ඔවුහු නුඹලාව නුඹලාගේ විළුඹ මත (පෙර දහමට) නැවත හරවනු ඇත. එවිට නුඹලා අලාභවන්තයින් ලෙස ආපසු හැරී යන්නෙහුය.
بَلِ اللَّهُ مَوْلَاكُمْ ۖ وَهُوَ خَيْرُ النَّاصِرِينَ
එසේ (නුඹලා සිතන පරිදි) නොව. අල්ලාහ් නුඹලාගේ භාරකරුවාය. තවද ඔහු උදව්කරුවන්ගෙන් ශ්රේෂ්ඨය.
سَنُلْقِي فِي قُلُوبِ الَّذِينَ كَفَرُوا الرُّعْبَ بِمَا أَشْرَكُوا بِاللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا ۖ وَمَأْوَاهُمُ النَّارُ ۚ وَبِئْسَ مَثْوَى الظَّالِمِينَ
කවර දෙයක් සඳහා ඔහු(අල්ලාහ්) බලයක් පහළ නොකළේ ද එ(ම මිත්යා දේවත්ව)ය (ප්රතික්ෂේපක) ඔවුන් අල්ලාහ්ට ආදේශ කළ හේතුවෙන් ප්රතික්ෂේප කළවුන්ගේ හදවත් තුළ අපි බිය උපදවන්නෙමු. තවද ඔවුන්ගේ ලැගුම් ගන්නා ස්ථානය (නිරා) ගින්නය. අපරාධකාරයින්ගේ නවාතැන නපුරු විය.
وَلَقَدْ صَدَقَكُمُ اللَّهُ وَعْدَهُ إِذْ تَحُسُّونَهُم بِإِذْنِهِ ۖ حَتَّىٰ إِذَا فَشِلْتُمْ وَتَنَازَعْتُمْ فِي الْأَمْرِ وَعَصَيْتُم مِّن بَعْدِ مَا أَرَاكُم مَّا تُحِبُّونَ ۚ مِنكُم مَّن يُرِيدُ الدُّنْيَا وَمِنكُم مَّن يُرِيدُ الْآخِرَةَ ۚ ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِيَبْتَلِيَكُمْ ۖ وَلَقَدْ عَفَا عَنكُمْ ۗ وَاللَّهُ ذُو فَضْلٍ عَلَى الْمُؤْمِنِينَ
ඔහුගේ(අල්ලාහ්ගේ) අනුමැතිය පරිදි (උහුද් යුද පිටියේ) නුඹලා (සතුරු) ඔවුන්ව ඝාතනය කරන විට සැබැවින්ම අල්ලාහ් තමාගේ ප්රතිඥාව නුඹලාට සත්යය කළේය. කෙතරම්ද යත් නුඹලා අධෛර්යමත් වී (එම) විෂයෙහි භේද ඇති කර ගෙන නුඹලා ප්රිය කරන දෑ නුඹලාට ඔහු(අල්ලාහ්) පෙන්වා දුන් පසුව ද නුඹලා පිටුපා යන තුරුය. නුඹලා අතුරින් ඇතැමුන් මෙලොව අපේක්ෂා කරන්නන් විය. තවද නුඹලා අතුරින් ඇතැමුන් මතු ලොව අපේක්ෂා කරන්නන් විය. පසුව ඔහු නුඹලාව පිරික්සුම් කිරීම පිණිස ඔවුන්ගෙන් නුඹලාව (පරාජය වෙත) හැරෙව්වේය. තවද නුඹලාට ඔහු සමාව දුන්නේය. විශ්වාසවන්තයින් කෙරෙහි අල්ලාහ් භාග්යයෙන් යුක්තය.
47‘එම විෂයෙහි භේද ඇති කර ගැනීම’ යනු යුද බිමේ අත්පත් කර ගත් දෑ දැක කන්ද උඩ සිට බසින්නේ ද? නැද්ද? යන්නෙන් ඇති වූ මත භේදයයි. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 3:122 ආයතයට අදාළ පාද සටහන බලන්න.
48‘නුඹලා ප්රිය කරන දෑ’ යන්නෙන් අදහස් කරනුයේ යුද බිමේ අත්පත් කර ගත් යුද්ධාජුද වේ.
إِذْ تُصْعِدُونَ وَلَا تَلْوُونَ عَلَىٰ أَحَدٍ وَالرَّسُولُ يَدْعُوكُمْ فِي أُخْرَاكُمْ فَأَثَابَكُمْ غَمًّا بِغَمٍّ لِّكَيْلَا تَحْزَنُوا عَلَىٰ مَا فَاتَكُمْ وَلَا مَا أَصَابَكُمْ ۗ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
රසූල්වරයා නුඹලා පිටුපසින් නුඹලාව කැඳවමින් සිටියදී නුඹලා කිසිවෙකු දෙස හැරී නොබලා (පලා ගොස් කන්දක් උඩ) නැග ගිය අවස්ථාව (සිහිපත් කරවු). එවිට නුඹලාට මග හැරුණු දෑ හා නුඹලාට සිදුවුණු දෑ කෙරෙහි නුඹලා දුක් නොවනු පිණිස (නුඹලා නබිවරයාගේ කැඳවීම මග හැරීමෙන් නබිවරයාට ඇති කළ) දොම්නස වෙනුවෙන් දොම්නසක් නුඹලාට ප්රතිවිපාකය වශයෙන් ඔහු(අල්ලාහ්) ලබා දුන්නේය. නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් අභිඥානවන්තය.
ثُمَّ أَنزَلَ عَلَيْكُم مِّن بَعْدِ الْغَمِّ أَمَنَةً نُّعَاسًا يَغْشَىٰ طَائِفَةً مِّنكُمْ ۖ وَطَائِفَةٌ قَدْ أَهَمَّتْهُمْ أَنفُسُهُمْ يَظُنُّونَ بِاللَّهِ غَيْرَ الْحَقِّ ظَنَّ الْجَاهِلِيَّةِ ۖ يَقُولُونَ هَل لَّنَا مِنَ الْأَمْرِ مِن شَيْءٍ ۗ قُلْ إِنَّ الْأَمْرَ كُلَّهُ لِلَّهِ ۗ يُخْفُونَ فِي أَنفُسِهِم مَّا لَا يُبْدُونَ لَكَ ۖ يَقُولُونَ لَوْ كَانَ لَنَا مِنَ الْأَمْرِ شَيْءٌ مَّا قُتِلْنَا هَاهُنَا ۗ قُل لَّوْ كُنتُمْ فِي بُيُوتِكُمْ لَبَرَزَ الَّذِينَ كُتِبَ عَلَيْهِمُ الْقَتْلُ إِلَىٰ مَضَاجِعِهِمْ ۖ وَلِيَبْتَلِيَ اللَّهُ مَا فِي صُدُورِكُمْ وَلِيُمَحِّصَ مَا فِي قُلُوبِكُمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
දොම්නසට පසු ආරක්ෂාවක්, එනම් නුඹලාගෙන් පිරිසක් ආවරණය කර ගත් මඳ නින්දක් ඔහු(අල්ලාහ්) නුඹලා කෙරෙහි ඉන් පසුව පහළ කළේය. තමන් ගැනම කනස්සල්ලට පත් වූ තවත් පිරිසක්(ආත්ම වංචනිකයින්) අඥානයින් සිතන්නාක් මෙන් අල්ලාහ් පිළිබඳව සත්ය නොවන සිතුවිලි ඇති කර ගත්තෝය. “(අල්ලාහ්ගේ උපකාරය යන) කරුණ (ලැබීම) පිළිබඳව අප සතු (නිශ්චිත) යමක් තිබේ දැ”යි ඔවුහු පවසති. (නබිවරය,) නුඹ පවසවු. “සැබැවින්ම කරුණු සියල්ල අල්ලාහ් සතුය.” ඔවුහු නුඹට හෙළි නොකළ දෑ තමන් තුළ සඟවති. (ඔවුන්ගෙන් පිරිසක්) “මේ කරුණ පිළිබඳව අප සතු යමක් (එනම් ස්ව තෝරා ගැනීමක්) වූයේ නම්, මෙහි අපි ඝාතනය කරනු නොලබන්නෙමු” යැයි ඔවුහු පවසති. (නබිවරය,) නුඹ පවසවු. “නුඹලා නුඹලාගේ නිවෙස් වල සිටිය ද කවරෙකු කෙරෙහි මරණය නියම කරනු ලැබූවේද ඔවුන් තමන්ගේ (අවසාන) සැතපෙන ස්ථානයන් වෙත පිටමං වනු ඇත” තවද (එසේ නුඹලාට කිරීමට හේතුව) නුඹලාගේ හදවත් වල ඇති දෑ අල්ලාහ් පිරික්සුම් කරනු පිණිස ද නුඹලාගේ සිත් තුළ ඇති දෑ පිවිතුරු කරනු පිණිස ද වේ. හදවත් වල ඇති දෑ පිළිබඳව අල්ලාහ් සර්වඥය.
49සතුරන් යුද පිටියෙන් ගිය පසු මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ ශෝකයේ බලපෑමෙන් ඇති වූ පීඩාවට සහනයක් ලෙස අල්ලාහ් මද නින්දක් ඔවුනට ඇති කළේය. එය ඔවුන් සාමන්යය තත්ත්වයට පැමිණීමට උපකාරි විය.
50මොවුන් ආත්ම වංචනික තවත් පිරිසකි. මොවුන් ආරම්භයේදීම මුස්ලිම්වරුන්ට යුද පිටියට නොගොස් නගරයේ සීමාව තුළදී සුරක්ෂාවරණය සඳහා යුධ කරන මෙන් අවවාද කළෝය. පසුව මුස්ලිම්වරුන් එසේ නොකොට යුද කිරීමෙන් පරාජය වෙමින් සිටියදී ‘මේ කරුණ පිළිබඳව අප සතු යමක් (එනම් ස්ව තෝරා ගැනීමක්) වූයේ නම්,’ යැයි පැවසුවෝය. ඇත්තෙන්ම මින් අදහස් වන්නේ ‘කුමක් සිදුවී ඇත්තේද එය අල්ලාහ්ගේ විධානය මත සිදු වූවක්’ බවය. නමුත් ඔවුන් ආත්ම වංචනික ලෙස අදහස් කළේ මුස්ලිම්වරුන්ට මෙම පරාජය අත්වීමට හේතු වූයේ තමන්ගේ අවවාදයට සවන් නොදීම යන්නය.
إِنَّ الَّذِينَ تَوَلَّوْا مِنكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ إِنَّمَا اسْتَزَلَّهُمُ الشَّيْطَانُ بِبَعْضِ مَا كَسَبُوا ۖ وَلَقَدْ عَفَا اللَّهُ عَنْهُمْ ۗ إِنَّ اللَّهَ غَفُورٌ حَلِيمٌ
කණ්ඩායම් දෙක (එකිනෙක) මුණ ගැසුණු (උහුද් යුද) දින සැබැවින්ම නුඹලා අතුරින් පලා ගියවුන්, ෂෙයිතාන් ඔවුන්ව ලිස්සා (නොමග) යෑමට සැලැස්වූයේ ඔවුන්(ගේ ක්රියාවන් අතුරින්) ඉපැයූ දැයින් සමහරක් හේතුවෙනි. සැබැවින්ම අල්ලාහ් ඔවුනට සමාව දුන්නේය. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම දයාබරය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَكُونُوا كَالَّذِينَ كَفَرُوا وَقَالُوا لِإِخْوَانِهِمْ إِذَا ضَرَبُوا فِي الْأَرْضِ أَوْ كَانُوا غُزًّى لَّوْ كَانُوا عِندَنَا مَا مَاتُوا وَمَا قُتِلُوا لِيَجْعَلَ اللَّهُ ذَٰلِكَ حَسْرَةً فِي قُلُوبِهِمْ ۗ وَاللَّهُ يُحْيِي وَيُمِيتُ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
විශ්වාස කළවුනි, නුඹලා ප්රතික්ෂේප කළවුන් (වන ආත්ම වංචනිකයින්) මෙන් නොවවු. (ආත්ම වංචනික) ඔවුහු මිහිතලයෙහි ගමන් කරන විට හෝ සටනට පිටවන විට හෝ ඔවුන් තමන්ගේ සහෝදරයින්ට “ඔවුන් (යුද්ධයට නොගොස්) අප අතරම සිටියේ නම් ඔවුන් මරණයට පත්වන්නේ ද නැත. ඝාතනය කරනු ලබන්නේ ද නැතැ”යි පවසති. (ඔවුන් මෙසේ පවසනුයේ) මෙ(ම ප්රකාශ)ය මොවුන්ගේ හදවත් තුළ කනස්සල්ලක් බවට අල්ලාහ් පත් කරනු පිණිසය. අල්ලාහ් ජීවය ලබා දෙන්නේය. තවද ඔහු මරණයට පත් කරවන්නේය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව සර්ව සුපරික්ෂාකාරීය.
وَلَئِن قُتِلْتُمْ فِي سَبِيلِ اللَّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِّنَ اللَّهِ وَرَحْمَةٌ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ
අල්ලාහ්ගේ මාර්ගයෙහි නුඹලා ඝාතනය කරනු ලැබුවේ නම් හෝ නුඹලා මරණයට පත් වූයේ නම් හෝ (නුඹලාට ලැබෙන) අල්ලාහ්ගෙන් වූ සමාව ද කරුණාව ද ඔවුන් (මෙලොව) රැස් කළ දෑට වඩා යහපත්ය.
وَلَئِن مُّتُّمْ أَوْ قُتِلْتُمْ لَإِلَى اللَّهِ تُحْشَرُونَ
තවද නුඹලා මරණයට පත් වූයේ නම් හෝ ඝාතනය කරනු ලැබූවේ නම් හෝ අල්ලාහ් වෙතමය නුඹලා රැස් කරනු ලබනුයේ.
فَبِمَا رَحْمَةٍ مِّنَ اللَّهِ لِنتَ لَهُمْ ۖ وَلَوْ كُنتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لَانفَضُّوا مِنْ حَوْلِكَ ۖ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الْأَمْرِ ۖ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ
(නබිවරය,) අල්ලාහ්ගෙන් වූ කරුණාව හේතුවෙන් නුඹ ඔවුන් සමග මෘදු ලෙස කටයුතු කළෙහිය. නුඹ පරුෂ බවින් යුත් දැඩි හදවතකින් සිටියේ නම් ඔවුන් නුඹ වෙතින් වෙන් වී යනු ඇත. එබැවින් ඔවුනට සමාව දෙවු. තවද ඔවුන් වෙනුවෙන් පාපක්ෂමාව ඇයැදිවු. තවද (නුඹගේ) කරුණෙහි ඔවුන් සමග සාකච්ඡා කරවු. පසුව (යම් කරුණක) නුඹ තීරණයකට එළැඹුණු විට අල්ලාහ් කෙරෙහි (සියල්ල) නුඹ භාර කරවු. සැබැවින්ම අල්ලාහ් (තමන් වෙත සියල්ල) භාර කරන්නන්ව ප්රිය කරන්නේය.
إِن يَنصُرْكُمُ اللَّهُ فَلَا غَالِبَ لَكُمْ ۖ وَإِن يَخْذُلْكُمْ فَمَن ذَا الَّذِي يَنصُرُكُم مِّن بَعْدِهِ ۗ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
අල්ලාහ් නුඹලාට උපකාර කරන්නේ නම් නුඹලාව අබිබවා යන්නෙකු නැත. තවද ඔහු නුඹලාව අත හැර දැමුවේ නම් ඉන් පසු නුඹලාට උදව් කරන්නා කවරෙකු ද? තවද අල්ලාහ් කෙරෙහිම විශ්වාසිකයින් (සියල්ල) භාර කළ යුතුය.
وَمَا كَانَ لِنَبِيٍّ أَن يَغُلَّ ۚ وَمَن يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ الْقِيَامَةِ ۚ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ
(යුද්ධයෙන් අත්පත් කර ගත් යුද්ධාජුද) වංචා කිරීම නබිවරයෙකුට (සතු) නොවේ. තවද කවරෙකු වංචා කරන්නේ ද (මළවුන්) නැගිටුවනු ලබන දින වංචා කළ දෑ සමග ඔහු පැමිණෙනු ඇත. පසුව (එදින) සෑම කෙනෙකුටම තමන් උපයා ගත් දෑ සඳහා ප්රතිවිපාක පූර්ණව දෙනු ලබන්නේය. තවද ඔවුහු අපරාධයට ලක් නොවෙති.
51නබි මුහම්මද් තුමාණන්ට උහුද් යුද පිටියේදී සතුරන් හැරදමා ගිය වස්තූන්(යුද්ධාජුද) එක්රැස් කොට ඒවා යුද සෙබළුන් අතර බෙදා දෙමින් සිටියදී එම වස්තූන් අතර තිබුණු රතු පැහැති සේද රෙදි කැබැල්ලක් නැති වී තිබුණි, එය ගෙන ඇත්තේ නබි මුහම්මද් තුමාණන් බව චෝදනාවක් එල්ල විය. මෙම අවස්ථාවේදී සර්ව බලධාරී අල්ලාහ් එම ගැටළුව නිරාකරණය කරමින් නබි මුහම්මද් තුමාණන් යුද්ධජුද වස්තූන් ගන්නෙකු නොවේ, එසේ ගැනීමට එතුමන්ට අනුමැතියක් නොමැති බවද එය සියලු ලෝ වැසියන්ට ඔවදනක් ලෙස අවවාද කරමින් මෙම අල් කුර්ආන් ආයතය මගින් පැහැදිළි කර ඇත.
أَفَمَنِ اتَّبَعَ رِضْوَانَ اللَّهِ كَمَن بَاءَ بِسَخَطٍ مِّنَ اللَّهِ وَمَأْوَاهُ جَهَنَّمُ ۚ وَبِئْسَ الْمَصِيرُ
කවරෙකු අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් පිළිපදින්නේ ද ඔහු අල්ලාහ්ගෙන් වූ කෝපය සමග නැවත හැරුණු කෙනෙකු මෙන් (විය හැක්කේ) ද? තවද (කෝපය ලද) මොහුගේ ලැගුම් ගන්නා ස්ථානය නිරයයි. අවසානයෙහි යොමු වන ස්ථානය කෙතරම් නින්දනීය ද!
هُمْ دَرَجَاتٌ عِندَ اللَّهِ ۗ وَاللَّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ
අල්ලාහ් අබියස මොවුන් (විවිධ) තරාතිරම් ඇත්තන්ය. තවද අල්ලාහ් මොවුන් කරන දෑ පිළිබඳව සර්ව සුපරික්ෂාකාරීය.
لَقَدْ مَنَّ اللَّهُ عَلَى الْمُؤْمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولًا مِّنْ أَنفُسِهِمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُوا مِن قَبْلُ لَفِي ضَلَالٍ مُّبِينٍ
විශ්වාසිකයින් කෙරෙහි ඔහුගේ වදන් පාරායනය කර( පෙන්ව)න ඔවුන්ව පිවිතුරු කරවන ඔවුනට ධර්ම පුස්තකය හා ප්රඥාව උගන්වන ඔවුන්ගෙන් වූ රසූල්වරයෙකු ඔවුන් අතරට (අල්ලාහ්) එවූ කල්හි සැබැවින්ම අල්ලාහ් (විශ්වාසික) ඔවුනට අනුග්රහය පිරිනැමුවේය. තවද ඔවුහු මෙයට පෙර පැහැදිලි නොමගෙහි වූහ.
أَوَلَمَّا أَصَابَتْكُم مُّصِيبَةٌ قَدْ أَصَبْتُم مِّثْلَيْهَا قُلْتُمْ أَنَّىٰ هَـٰذَا ۖ قُلْ هُوَ مِنْ عِندِ أَنفُسِكُمْ ۗ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
නුඹලාට (උහුද් සටනේ) දුර්භාග්යයක් ඇති වූ කල්හි සැබැවින්ම නුඹලා (බද්ර් සටනේ) එය මෙන් දෙගුණයක් (ඔවුනට) ඇති කර තිබුණි. “මෙ(ම දුර්භාග්ය)ය (අප හට) කොහෙන් දැ?”යි නුඹලා (පුදුමයෙන්) පවසන්නෙහුය. (නබිවරය,) නුඹ පවසවු. “මෙය නුඹලාගෙන්ම (ඇති වූවක්)ය.” සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
وَمَا أَصَابَكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ فَبِإِذْنِ اللَّهِ وَلِيَعْلَمَ الْمُؤْمِنِينَ
(උහුද් පිටියෙහි) කණ්ඩායම් දෙක එකිනෙක මුණ ගැසුණු දින නුඹලාට ඇති වූ දෑ(දුර්භාග්යය) අල්ලාහ්ගේ තීරණය අනුවය. (එලෙස සිදු වූයේ) ඔහු(අල්ලාහ්) විශ්වාසිකයින් (කවුරුන් දැ’යි) දැන ගනු පිණිසය.
وَلِيَعْلَمَ الَّذِينَ نَافَقُوا ۚ وَقِيلَ لَهُمْ تَعَالَوْا قَاتِلُوا فِي سَبِيلِ اللَّهِ أَوِ ادْفَعُوا ۖ قَالُوا لَوْ نَعْلَمُ قِتَالًا لَّاتَّبَعْنَاكُمْ ۗ هُمْ لِلْكُفْرِ يَوْمَئِذٍ أَقْرَبُ مِنْهُمْ لِلْإِيمَانِ ۚ يَقُولُونَ بِأَفْوَاهِهِم مَّا لَيْسَ فِي قُلُوبِهِمْ ۗ وَاللَّهُ أَعْلَمُ بِمَا يَكْتُمُونَ
තවද ආත්ම වංචනිකයින් (කවුරුන් දැ’යි) දැන ගනු පිණිසය. “නුඹලා පැමිණෙවු. අල්ලාහ්ගේ මාර්ගයෙහි (සතුරන් සමග) සටන් වදිවු. නැතහොත් වළක්වා ගනිවු.” යැයි ඔවුනට කියනු ලැබීය. (එවිට) “සටනක් (සිදුවනු) ඇතැ’යි අපි දන්නේ නම් අපි නුඹලාව පිළිපැද ඇත්තෙමු”යි ඔවුහු (ආත්ම වංචනික ලෙස) ප්රකාශ කළෝය. ඔවුහු විශ්වාසයට (සමීපව සිටියාට) වඩා එදින ඔවුන් ප්රතික්ෂේපයට සමීප වූවන් වූහ. ඔවුන් තම හදවත්හි නොමැති දෑ තම මුවින් ප්රකාශ කරන්නෝය. ඔවුන් වසන් කරන දෑ පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නාය.
52එනම් ආත්ම වංචනිකයින් තමන් මුස්ලිම්වරුන් යැයි පෙන්වමින් මුස්ලිම්වරුන්ට පක්ෂව යුද වැදීමට පැමිණියෝය. මුස්ලිම්වරුන් පරාජය වේ යැයි ඔවුනට හැඟුණු විට නැවත හැරී යාමට තැත් කළෝය. එවිට ‘නුඹලා අපට පක්ෂව යුද වදිවු, නැතහොත් යුද වැදීමට ප්රිය නොකරන්නේ නම් නුඹලා අප සමග එක් වී සේනාව අධික යැයි පෙන්වවු. එමගින් සතුරන් තුළ බියක් ඇති කොට ඔවුන්ගේ උවදුරින් මුස්ලිම්වරුන්ගේ සේනාව වළක්වා ගනිවු.’ යැයි ඔවුනට මුස්ලිම්වරුන් විසින් පවසනු ලැබීම මෙහි සඳහන් වී ඇත.
الَّذِينَ قَالُوا لِإِخْوَانِهِمْ وَقَعَدُوا لَوْ أَطَاعُونَا مَا قُتِلُوا ۗ قُلْ فَادْرَءُوا عَنْ أَنفُسِكُمُ الْمَوْتَ إِن كُنتُمْ صَادِقِينَ
(එනම්) ඔවුහු (සටනට සහභාගි නොවී) රැඳී සිටිමින් (සටනින් මරණයට පත්) තම සහෝදරයින් පිළිබඳව “ඔවුන් අපට අවනත වූයේ නම් ඔවුන් ඝාතනයට ලක් නොවන්නට තිබුණි” යැයි ප්රකාශ කළවුන්ය. “(එසේ නම්) නුඹලා සත්යවාදීහු වූයේ නම් මරණය නුඹලාගෙන් වළකා ගනිවු” යැයි (නබිවරය, ඔවුනට) පවසවු.
وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ أَمْوَاتًا ۚ بَلْ أَحْيَاءٌ عِندَ رَبِّهِمْ يُرْزَقُونَ
අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන් මළවුන් යැයි නුඹලා නොසිතවු. නමුත් (ඔවුහු) තම පරමාධිපති අබියස ජීවමානීන්ය. (ඔවුහු ස්වර්ග බොජුනින්) පෝෂණය කරනු ලබති.
فَرِحِينَ بِمَا آتَاهُمُ اللَّهُ مِن فَضْلِهِ وَيَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُوا بِهِم مِّنْ خَلْفِهِمْ أَلَّا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
අල්ලාහ් තම වරප්රසාදයෙන් ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳව සතුටු විඳින්නන් ලෙස ය. තමන්ට පසු (ස්වර්ගයෙහි තවමත්) තමන් සමග එකතු නොවූ (විශ්වාසික) අය පිළිබඳව ඔවුනට බියක් නොමැති බව ද ඔවුන් දුක් නොවන බව ද ශුභාරංචි ලබමින් සතුටු වෙති.
53එනම් අල්ලාහ්ගේ මාර්ගයෙහි ජීවිතය කැප කළවුන් තමන්ට පක්ෂව යුද වැදුණු අනෙක් විශ්වාසිකයින් කිසිදු බියකින් හෝ දුකකින් තොරව සිටින බව ද ඔවුන් තමන් වෙත පැමිණ සේන්දු වන බව ද ඔවුන් සුබාරංචි ලබමින් සතුටින් ස්වර්ගයෙහි වෙසෙන්නෝය.
يَسْتَبْشِرُونَ بِنِعْمَةٍ مِّنَ اللَّهِ وَفَضْلٍ وَأَنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُؤْمِنِينَ
අල්ලාහ්ගෙන් වූ භාග්යය හා වරප්රසාදය පිළිබඳව ද අල්ලාහ් විශ්වාසිකයින්ගේ ප්රතිඵල ශූන්ය නොකරන බව ද ශුභාරංචි ලබමින් ඔවුහු සතුටු වෙති.
الَّذِينَ اسْتَجَابُوا لِلَّهِ وَالرَّسُولِ مِن بَعْدِ مَا أَصَابَهُمُ الْقَرْحُ ۚ لِلَّذِينَ أَحْسَنُوا مِنْهُمْ وَاتَّقَوْا أَجْرٌ عَظِيمٌ
(විශ්වාසික) ඔවුන් කවුරුන් ද යත් තමන්ට තුවාල ඇති වූ පසුවත් අල්ලාහ්ට ද රසූල්වරයාට ද පිළිතුරු දුන් අය වෙති. ඔවුන් අතුරින් යහපත ඉටු කරමින් බිය භක්තිමත් වූ අයට ඉමහත් වේතන ඇත.
54172 සිට 175 වන ආයතය දක්වා එක්තරා සිද්ධියක් පිළිබඳව සඳහන් වේ. එනම් උහුද් සටනේ දී නබි මුහම්මද් තුමාණන්ට විරුද්ධව සටන් කළ අබූ සුෆ්යාන් හා ඔහුගේ පිරිස මක්කා නගරය බලා යන අවස්ථාවේ දී ‘රව්හා’ නැමැති ස්ථානයේ දී මුස්ලිම්වරුන් සමූල ඝාතනය නොකිරීම පිළිබඳව ඉතා ශෝකයට පත්ව නැවතත් ඔවුන් සමග යුද වැදීමට සූදානම් වූහ. මේ බව නබි මුහම්මද් තුමාණන්ට ආරංචි වූ සැණින් අබූ සුෆ්යාන්ව ලුහුබැඳ යා යුතු යැයි සහාබිවරුන්ට අණ කළේය. එහෙත් උහුද් සටනට සහභාගි වූ අය මිස අන් අය නොයා යුතු යැයි දැඩිව අණ කළේය. සහාබිවරුන් තුවාල ලැබ සිටිය දීත් මෙය බැරෑරුම් කාර්යයක් ලෙස නොසිතා අබූ සුෆ්යාන්ව ලුහුබැඳ ගියෝය. මෙසේ නබි මුහම්මද් තුමාණන් හා ඔහුගේ සහාබිවරුන් මදීනාවේ සිට සැතපුම් අටකට ඈතින් පිහිටි ‘හම්රාඋල් අසද්’ නැමැති ස්ථානයට ළඟා වන විට නුඅයිම් ඉබ්නු මස්ඌද් නැමැති පුද්ගලයා මුස්ලිම්වරුන් වෙත පැමිණ මක්කාවෙහි විසූ ප්රතික්ෂේපකයින් මුස්ලිම්වරුන්ට නැවත පහර දීමට පැමිණෙන්නේ යැයි බිය ගන්වා පැවසුවේය. එවිට “අල්ලාහ් අපට ප්රමාණවත්ය. භාරකාරත්වය දරන්නා වූ අල්ලාහ් කෙතරම් ශ්රේෂ්ඨ වී ද!” යැයි මුස්ලිම්වරුන් නිර්භීතව පැවසුවෝය. අනෙක් පැත්තෙන් ‘මඃබද්’ නම් එක් මගියෙක් ප්රතික්ෂේපකයින් වෙත පැමිණ මුස්ලිම්වරුන් ප්රතික්ෂේපකයින්ට නැවත පහර දීමට පැමිණෙන්නේ යැයි බිය ගන්වා පැවසූ කල්හි මොවුන්ගේ පැමිණිම පිළිබඳව දැන ගත් අබූ සුෆ්යාන් හා පිරිස යුද්ධයට මුහුණ නොපා මක්කාව දෙසට පැන ගියෝය. මොවුන්ගේ පැන යෑම ආරංචි වූ මුස්ලිම්වරුන් අභයදායීව මදීනාවට පැමිණියෝය.
الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُوا لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَانًا وَقَالُوا حَسْبُنَا اللَّهُ وَنِعْمَ الْوَكِيلُ
ඔවුන් කවුරුන් ද යත් “සැබැවින්ම (සතුරු) ජනයා නුඹලාට එරෙහිව (යුද සේනාවන්) එක් රැස් කර ඇත. එහෙයින් ඔවුනට නුඹලා බිය වවු” යැයි ජනයා ඔවුනට ප්රකාශ කර, (එම ප්රකාශය හේතුවෙන්) ඔවුන්ගේ විශ්වාසය (තව තවත්) වර්ධනය වූවන්ය. තවද “(පරාජය අත් වූවා නම්,) අල්ලාහ් අපට ප්රමාණවත්ය. (නමුත්, ජයග්රහණයේ) භාරකාරත්වය දරන්නා (වූ අල්ලාහ්) කෙතරම් ශ්රේෂ්ඨ වී ද!” යැයි ඔවුහු පවසති.
فَانقَلَبُوا بِنِعْمَةٍ مِّنَ اللَّهِ وَفَضْلٍ لَّمْ يَمْسَسْهُمْ سُوءٌ وَاتَّبَعُوا رِضْوَانَ اللَّهِ ۗ وَاللَّهُ ذُو فَضْلٍ عَظِيمٍ
පසුව ඔවුන් කිසිදු හානියක් තමන්ව ස්පර්ශ නොකළ තත්ත්වයෙන් අල්ලාහ්ගෙන් වූ භාග්යය හා වරප්රසාදය සමග (තම නිවෙස් කරා) හැරී ගියෝය. තවද ඔවුහු අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් අනුගමනය කළහ. තවද අල්ලාහ් ඉමහත් වූ වරප්රසාදයෙන් යුක්තය.
إِنَّمَا ذَٰلِكُمُ الشَّيْطَانُ يُخَوِّفُ أَوْلِيَاءَهُ فَلَا تَخَافُوهُمْ وَخَافُونِ إِن كُنتُم مُّؤْمِنِينَ
ඔහු ෂෙයිතාන්මය. ඔහු තම මිතුරන් පිළිබඳව (නුඹලාව) බියට පත් කරන්නේය. නුඹලා ඔවුනට බිය නොවවු. තවද නුඹලා විශ්වාසිකයින් වන්නේ නම් මා හටම බිය වවු.
55මෙහි ඔහු යැයි සඳහන් කර ඇත්තේ මෙම සූරාවෙහි 173 වන ආයතයෙහි සඳහන් පරිදි මුස්ලිම්වරුන්ට යුද්ධයට නොයා සිටින්න යැයි බියගුලු බවක් ඇති කිරීමට උත්සාහ කළ ප්රතික්ෂේපක පුද්ගලයා පිළිබඳවය.
وَلَا يَحْزُنكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ ۚ إِنَّهُمْ لَن يَضُرُّوا اللَّهَ شَيْئًا ۗ يُرِيدُ اللَّهُ أَلَّا يَجْعَلَ لَهُمْ حَظًّا فِي الْآخِرَةِ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
(නබිවරය,) ප්රතික්ෂේප කිරීමෙහි යුහුසුලු වන්නන් නුඹව ශෝකයට පත් නොකළ යුතුය. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ට කිසිවකින් හෝ හානි ඇති නොකරන්නේමය. ඔවුන් සඳහා මතුලොව කිසිදු කොටසක් ලබා නොදීමට අල්ලාහ් අපේක්ෂා කරන්නේය. තවද ඔවුනට මහත් වූ දඬුවමක් (සූදානම් කොට) ඇත.
إِنَّ الَّذِينَ اشْتَرَوُا الْكُفْرَ بِالْإِيمَانِ لَن يَضُرُّوا اللَّهَ شَيْئًا وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
සැබැවින්ම කවරෙකු විශ්වාසය වෙනුවට ප්රතික්ෂේපය මිලට ගත්තේ ද ඔවුන් අල්ලාහ්ට කිසිවකින් හෝ හානියක් නොකරන්නේමය. තවද ඔවුනට වේදනීය දඬුවමක් (සූදානම් කොට) ඇත.
وَلَا يَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِّأَنفُسِهِمْ ۚ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُوا إِثْمًا ۚ وَلَهُمْ عَذَابٌ مُّهِينٌ
අප ප්රතික්ෂේප කළවුන්ට (දඬුවම් නොකොට) කල් ලබා දීම තමන්ට එය යහපතක් යැයි ඔවුන් නොසිතිය යුතුය. සැබැවින්ම ඔවුනට අප කල් ලබා දෙනුයේ පාපයෙන් ඔවුහු වර්ධනය වීම පිණිසය. තවද අවමානයට පමුණු වන දඬුවමක් ඔවුනට (සූදානම් කොට) ඇත.
56ප්රතික්ෂේපකයින් ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට නොයෙකුත් හිංසා, අසාධාරණ හා අයුතු ක්රියා කරමින් අල්ලාහ්ගේ දඬුවමට භාජනය නොවී පොහොසත් ජීවිතයක් ගත කිරීම බලා එය යහ ජීවිතයක් යැයි තමන්ද එලෙසින්ම ජීවත්විය යුතු යැයි ආශා කිරීම පිළිබඳව මුස්ලිම්වරුන්ට මින් බිය ගන්වා අවවාද කර ඇත.
مَّا كَانَ اللَّهُ لِيَذَرَ الْمُؤْمِنِينَ عَلَىٰ مَا أَنتُمْ عَلَيْهِ حَتَّىٰ يَمِيزَ الْخَبِيثَ مِنَ الطَّيِّبِ ۗ وَمَا كَانَ اللَّهُ لِيُطْلِعَكُمْ عَلَى الْغَيْبِ وَلَـٰكِنَّ اللَّهَ يَجْتَبِي مِن رُّسُلِهِ مَن يَشَاءُ ۖ فَآمِنُوا بِاللَّهِ وَرُسُلِهِ ۚ وَإِن تُؤْمِنُوا وَتَتَّقُوا فَلَكُمْ أَجْرٌ عَظِيمٌ
(ආත්ම වංචනිකයිනි,) නුඹලා කවර තත්ත්වයක් මත සිටින්නේ ද එම (වංචනික) තත්ත්වය මතම (නුඹලා සිටියදී) යහපත් අයගෙන් අයහපත් අය වෙන් කරන තෙක් (පිරික්සුම් නොකොට) විශ්වාසිකයින්ව අතහැර දැමීමට අල්ලාහ් නොවීය. තවද ගුප්ත දෑ නුඹලාට ගෙන හැර පෑමට ද (අපේක්ෂා කරන්නෙකුව) අල්ලාහ් නොවීය. නමුත් අල්ලාහ් රසූල්වරුන් අතුරින් තමන් අභිමත කළ අයව (ඇතැම් ගුප්ත දෑ ගෙන හැර පෑම සඳහා) තෝරා ගන්නේය. එබැවින් නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ රසූල්වරුන්ව ද විශ්වාස කරවු. තවද නුඹලා විශ්වාස කර බිය භක්තිමත් වන්නේ නම් නුඹලාට ඉමහත් වේතනයක් ඇත.
57මෙයින් අදහස් කරන්නේ මුස්ලිම්වරුන්ගේ හා ආත්ම වංචනිකයින්ගේ ස්වභාවය අල්ලාහ් හෙළිදරව් කරන්නේය යන්නයි. එසේ කිරීමට ඔවුන්ට පිරික්සුම් ඇති කරන්නේය. මෙම පිරික්සුම් තුළින් ඔවුන් එකිනෙකා වෙන් වෙන්ව හඳුනා ගැනීමට හැකිවනු ඇත යන්නය.
58අල්ලාහ් ආත්ම වංචනිකයින්ගේ නම් සඳහන් කර ඔවුන්ව මුස්ලිම්වරුන්ගෙන් වෙන් නොකළේ මන්ද? යැයි කෙනෙකුට ඇති වන ප්රශ්නයකට මෙම ආයතය පිළිතුරු සපයයි. එනම් ගුප්ත දෑ අල්ලාහ් සාමාන්ය ජනයාට දන්වන්නේ නැත. නමුත් අල්ලාහ්ගේ ප්රඥාවට අනුව පිරික්සුමක් ඇති වන අවස්ථාවේදී අල්ලාහ් ආත්ම වංචනිකයින්ගේ හැසිරීමෙන් ඔවුන්ගේ සත්යය ස්වභාවය හෙළි කිරීමට සලස්වන්නේය යන්නයි.
وَلَا يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللَّهُ مِن فَضْلِهِ هُوَ خَيْرًا لَّهُم ۖ بَلْ هُوَ شَرٌّ لَّهُمْ ۖ سَيُطَوَّقُونَ مَا بَخِلُوا بِهِ يَوْمَ الْقِيَامَةِ ۗ وَلِلَّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
අල්ලාහ් ඔහුගේ වරප්රසාදයෙන් තමන් හට පිරිනැමූ දෑ පිළිබඳව මසුරුවන්නන් එය තමන්ට යහපත් යැයි නොසිතිය යුතුමය. එසේ නොව. එය ඔවුනට හානිදායකය. ඔවුන් කවර දෙයක් කෙරෙහි මසුරු වූයේ ද (මළවුන්) නැගිටුවනු ලබන දිනයේදී එය ඔවුන්ගේ ගෙල වටා (ගිනියම්ව) දමනු ලැබේ. අහස්හි හා මිහිතලයේ උරුමයන් අල්ලාහ් සතුය. නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් අභිඥානවන්තය.
لَّقَدْ سَمِعَ اللَّهُ قَوْلَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ فَقِيرٌ وَنَحْنُ أَغْنِيَاءُ ۘ سَنَكْتُبُ مَا قَالُوا وَقَتْلَهُمُ الْأَنبِيَاءَ بِغَيْرِ حَقٍّ وَنَقُولُ ذُوقُوا عَذَابَ الْحَرِيقِ
“සැබැවින්ම අල්ලාහ් දිළින්ඳෙකි. තවද අපි ධනවතුන්ය” යැයි පැවසුවන්ගේ ප්රකාශයට අල්ලාහ් සැබැවින්ම සවන් දුන්නේය. ඔවුන් ප්රකාශ කළ දෑ පිළිබඳව ද කිසිදු සාධාරණයකින් තොරව ඔවුන් නබිවරුන්ව ඝාතනය කිරීම පිළිබඳව ද අපි සටහන් කරන්නෙමු. “නුඹලා දැවෙන ගින්නේ දඬුවම භුක්ති විඳිවු” යැයි අපි පවසන්නෙමු.
59අල් කුර්ආනයෙහි අල්ලාහ් zසකාතය අනිවාර්යය කර විශ්වාසිකයින්ට අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන ලෙස ඒත්තු ගන්වමින් සිටිය දී ඇතැම් යුදෙව්වන් මෙය සමච්චලයක් ලෙස ගෙන “සැබැවින්ම අල්ලාහ් දිළින්ඳෙකි. තවද අපි ධනවතුන්ය.” යැයි පැවසුවෝය. මෙම ආයතය සඳහන් කරනුයේ මෙවන් පුද්ගලයන් පිළිබඳවය.
ذَٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ اللَّهَ لَيْسَ بِظَلَّامٍ لِّلْعَبِيدِ
මෙය නුඹලාගේ දෑත් පෙර කළකම් හෙයින් හා අල්ලාහ් ගැත්තන්ට (අනිසි ලෙස) මහා අපරාධ කරන්නෙකු නොවන හෙයින්ය.
الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ عَهِدَ إِلَيْنَا أَلَّا نُؤْمِنَ لِرَسُولٍ حَتَّىٰ يَأْتِيَنَا بِقُرْبَانٍ تَأْكُلُهُ النَّارُ ۗ قُلْ قَدْ جَاءَكُمْ رُسُلٌ مِّن قَبْلِي بِالْبَيِّنَاتِ وَبِالَّذِي قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ إِن كُنتُمْ صَادِقِينَ
(ඔවුහු) කවුරුන්ද යත් “රසූල්වරයෙකු ගින්න කාදමන කැප කිරීමක් අප වෙත රැගෙන එන තුරු ඔහුව අප විශ්වාස නොකළ යුතු බවට සැබැවින්ම අල්ලාහ් අපගෙන් ප්රතිඥා ගත්තේයැ”යි පවසන්නන්ය. “මට පෙර, පැහැදිලි සංඥා සමග ද නුඹලා පැවසූ දෑ සමග ද නුඹලා වෙත රසූල්වරුන් පැමිණියහ. නුඹලා (කළ ප්රකාශයේ නුඹලා) සත්යවාදීහු වන්නේ නම් ඔවුන්ව නුඹලා ඝාතනය කළේ කුමක් නිසා දැ?”යි (නබිවරය,) නුඹ විමසවු.
60එකල කෙනෙකුගේ කැප කිරීමක් දේව පිළිගැනීමට ලක් විය යන්නෙහි සලකුණ නම් අහසින් ගින්නක් පැමිණ එම කැප කරන ලද දෑ පුලුස්සා දැමීමයි.
فَإِن كَذَّبُوكَ فَقَدْ كُذِّبَ رُسُلٌ مِّن قَبْلِكَ جَاءُوا بِالْبَيِّنَاتِ وَالزُّبُرِ وَالْكِتَابِ الْمُنِيرِ
(නබිවරය,) ඔවුහු නුඹව අසත්යය කරන්නේ නම් (ඒ පිළිබඳව නුඹ දුක් නොවවු. මන්දයත්) නුඹට පෙර පැහැදිලි සංඥා, දහම් ග්රන්ථ හා ඥනාලෝකමත් වූ ධර්ම පුස්තකය සමග පැමිණි රසූල්වරුන් ද අසත්යය කරනු ලැබුවෝය.
كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ۗ وَإِنَّمَا تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ الْقِيَامَةِ ۖ فَمَن زُحْزِحَ عَنِ النَّارِ وَأُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ ۗ وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ
සෑම ආත්මයක්ම මරණය අත් විඳින්නකි. (මළවුන්) නැගිටුවනු ලබන දින නුඹලාගේ ප්රතිඵල නුඹලාට පූර්ණව දෙනු ලබන්නේමය. කවරෙකු නිරයෙන් ඈත් කරනු ලැබ ස්වර්ගයට ඇතුළු කරනු ලබන්නේ ද සැබැවින්ම ඔහු ජය ලැබුවේය. තවද ලෞකික ජීවිතය මායාකාරී විඳීමක් හැර වෙනෙකක් නොවේ.
لَتُبْلَوُنَّ فِي أَمْوَالِكُمْ وَأَنفُسِكُمْ وَلَتَسْمَعُنَّ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِن قَبْلِكُمْ وَمِنَ الَّذِينَ أَشْرَكُوا أَذًى كَثِيرًا ۚ وَإِن تَصْبِرُوا وَتَتَّقُوا فَإِنَّ ذَٰلِكَ مِنْ عَزْمِ الْأُمُورِ
නුඹලාගේ සම්පත් තුළින් ද නුඹලා තුළින් ද සැබැවින්ම නුඹලා පරීක්ෂාවට ලක් කරනු ලබන්නෙහුමය. තවද නුඹලාට පෙර ධර්ම පුස්තක ලද්දන්ගෙන් ද ආදේශ තැබූවන්ගෙන් ද අධික පීඩාකාරී වදන් වලට සැබැවින්ම නුඹලා සවන් දෙන්නෙහුමය. නුඹලා (එම පීඩාවන්) ඉවසා බිය භක්තිමත් වන්නෙහු නම් සැබැවින්ම එය ස්ථාවර කරුණුවලින් යුක්තය.
وَإِذْ أَخَذَ اللَّهُ مِيثَاقَ الَّذِينَ أُوتُوا الْكِتَابَ لَتُبَيِّنُنَّهُ لِلنَّاسِ وَلَا تَكْتُمُونَهُ فَنَبَذُوهُ وَرَاءَ ظُهُورِهِمْ وَاشْتَرَوْا بِهِ ثَمَنًا قَلِيلًا ۖ فَبِئْسَ مَا يَشْتَرُونَ
ධර්ම පුස්තක ලත් අයගෙන් “නුඹලා එය වසන් නොකර ජනයාට පැහැදිලි කළ යුතුමයැ”යි අල්ලාහ් ප්රතිඥාව ගත් අවස්ථාව (සිහිපත් කරවු). එවිට ඔවුහු එය ඔවුන්ගේ පිට පෙදෙසින් ආපස්සට විසි කළෝය. තවද ඔවුහු ඒ වෙනුවට අල්ප මිලක් උපයා ගත්තෝය. එබැවින් ඔවුන් උපයා ගත් දෑ කෙතරම් නින්දනීය ද!
لَا تَحْسَبَنَّ الَّذِينَ يَفْرَحُونَ بِمَا أَتَوا وَّيُحِبُّونَ أَن يُحْمَدُوا بِمَا لَمْ يَفْعَلُوا فَلَا تَحْسَبَنَّهُم بِمَفَازَةٍ مِّنَ الْعَذَابِ ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
(නබිවරය,) තමන් කළ දෑ පිළිබඳව සතුටු වී තමන් නොකළ දෑ පිළිබඳව ප්රශංසා ලැබීමට ප්රිය කරන්නා වූ අය පිළිබඳව නුඹ නොසිතවු. තවද ඔවුන් දඬුවමින් ආරක්ෂිත යැ’යි නුඹ නොසිතවු. ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
අහස්හි හා මිහිතලයේ ආධිපත්යය අල්ලාහ්ට හිමිය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ لَآيَاتٍ لِّأُولِي الْأَلْبَابِ
අහස් හා මිහිතලය මැවීමෙහි ද රාත්රිය හා දහවලෙහි පරස්පරානු ගමනෙහි ද නුවණැත්තන්ට සංඥාවන් ඇත.
الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىٰ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَـٰذَا بَاطِلًا سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ
ඔවුහු කවරහුද යත් සිටගෙන ද වාඩි වී ද හාන්සි වී ද අල්ලාහ්ව මෙනෙහි කරමින් අහස් හා මිහිතලය මැවීම පිළිබඳව ගැඹුරින් සිතා බලන්නන් වෙති. තවද “අපගේ පරමාධිපතියාණනි! ඔබ මෙය අර්ථ විරහිත ලෙස නොමැව්වෙහිය. නුඹ අති පිවිතුරුය. එබැවින් නිරයේ දඬුවමින් අපව ආරක්ෂා කරනු මැනව!
رَبَّنَا إِنَّكَ مَن تُدْخِلِ النَّارَ فَقَدْ أَخْزَيْتَهُ ۖ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ
අපගේ පරමාධිපතියාණනි! සැබැවින්ම ඔබ කවරෙකු නිරයට ඇතුළු කරනුයේ ද ඔබ ඔහුව අවමානයට ලක් කළේමය. අපරාධකරුවන්ට උදව්කරුවන් කිසිවෙකු නැත.
رَّبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلْإِيمَانِ أَنْ آمِنُوا بِرَبِّكُمْ فَآمَنَّا ۚ رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الْأَبْرَارِ
අපගේ පරමාධිපතියාණනි! ‘නුඹලාගේ පරමාධිපතිව නුඹලා විශ්වාස කරනු’යි විශ්වාසය වෙත කැඳවන කැඳවන්නාට සැබැවින්ම අපි සවන් දුනිමු. එබැවින් අපි (ඔහුව) විශ්වාස කළෙමු. අපගේ පරමාධිපතියාණනි! අපගේ පාපයන් සඳහා අපට සමාව දෙනු මැනව! අපගේ (සුළු) පාපයන් සඳහා අපට පාප ශෝධනය පිරිනමනු මැනව! තවද සැදැහැමියන් සමග අපව මරණයට පත් කරනු මැනව!
رَبَّنَا وَآتِنَا مَا وَعَدتَّنَا عَلَىٰ رُسُلِكَ وَلَا تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ ۗ إِنَّكَ لَا تُخْلِفُ الْمِيعَادَ
අපගේ පරමාධිපතියාණනි, නුඹගේ රසූල්වරුන් මගින් අපට ප්රතිඥා කළ දෑ නුඹ අපට පිරිනමනු මැනව! (මළවුන්) නැගිටුවනු ලබන දින අපව අවමානයට පත් නොකරනු මැනව! සැබැවින්ම නුඹ ප්රතිඥාව කඩ නොකරන්නෙහි යැ”(යි ප්රකාශ කරන්නන් වෙති).
فَاسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّي لَا أُضِيعُ عَمَلَ عَامِلٍ مِّنكُم مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ ۖ بَعْضُكُم مِّن بَعْضٍ ۖ فَالَّذِينَ هَاجَرُوا وَأُخْرِجُوا مِن دِيَارِهِمْ وَأُوذُوا فِي سَبِيلِي وَقَاتَلُوا وَقُتِلُوا لَأُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَأُدْخِلَنَّهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ثَوَابًا مِّنْ عِندِ اللَّهِ ۗ وَاللَّهُ عِندَهُ حُسْنُ الثَّوَابِ
එබැවින් “නුඹලා අතුරින් පිරිමි හෝ ගැහැනු හෝ (ඕනෑම) අයෙකුගේ යම් (යහ) ක්රියාවක් කළ අයගේ යහකම මම අපතේ නොයවමි. නුඹලාගෙන් සමහරු සමහරෙකුගෙන්ය.” යැයි ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිළිතුරු දුන්නේය. කවරෙකු හිජ්රත් කළේ ද තවද (ප්රතික්ෂේපකයින් විසින්) තම නිවෙස් වලින් පිටුවහල් කරනු ලැබුවේ ද තවද මාගේ(අල්ලාහ්ගේ) මාර්ගයේ හිංසනය කරනු ලැබුවේ ද තවද (අල්ලාහ්ගේ මාර්ගයෙහි) සටන් කළේ ද තවද (සටනින්) ඝාතනය කරනු ලැබුවේ ද සැබැවින්ම ඔවුන්ගේ (සුළු) පාපයන් සඳහා ඔවුනට පාප ශෝධනය පිරිනමන්නෙමි. තවද සැබැවින්ම ඔවුන්ව (ස්වර්ග) උයන් වලට ඇතුළු කරන්නෙමි. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. (මේවා) අල්ලාහ්ගෙන් වූ ප්රතිඵලයක් වශයෙනි. තවද යහපත් ප්රතිඵලය ඇත්තේ අල්ලාහ් අබියසය.
61මෙයින් අදහස් කරන්නේ විනිශ්චය දිනයේ අල්ලාහ් මුළු මිනිස් සමූහයාවම සලකනුයේ එක හා සමාන අයුරිනි යන්නයි. ස්තී්රන්ට හෝ පිරිමීන්ට ඔවුන්ගේ කි්රයාවට අනුව ප්රතිවිපාක දෙනු ලැබේ. එබැවින් ධනය, සමාජ තරාතිරම, ස්ත්රී පුරුෂභාවය කෙනෙකුගේ ප්රතිවිපාකයන් වෙනස් නොකරන්නේය යන්නයි.
لَا يَغُرَّنَّكَ تَقَلُّبُ الَّذِينَ كَفَرُوا فِي الْبِلَادِ
(නබිවරය,) ප්රතික්ෂේප කළවුන් (වෙළඳාම සඳහා) නගරයන්හි ගමන් බිමන් යෑම නුඹව නොරැවටිය යුතුය.
62මුස්ලිම්වරුන් දුක් කම්කටොලු විඳිමින් සිටිය දී ප්රතික්ෂේපකයින් පොහොසත් ජීවිතයක් ගත කිරීම දුටු ඇතැම් මුස්ලිම්වරුන් අල්ලාහ්ගේ සතුරන් සුඛෝපභෝගී තත්ත්වයක හා අපි දුගී බවෙහි පෙළෙන්නෙමු යැයි පැවසූ අවස්ථාවේ මෙම ආයතය පහළ විය.
مَتَاعٌ قَلِيلٌ ثُمَّ مَأْوَاهُمْ جَهَنَّمُ ۚ وَبِئْسَ الْمِهَادُ
(එය) ස්වල්ප වින්දනයකි. පසුව ඔවුන්ගේ අවසන් නවාතැන නිරයයි. (එහි) යහන කෙතරම් නින්දනීය ද!
لَـٰكِنِ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا نُزُلًا مِّنْ عِندِ اللَّهِ ۗ وَمَا عِندَ اللَّهِ خَيْرٌ لِّلْأَبْرَارِ
නමුත් කවරෙකු තම පරමාධිපතිට බිය භක්තිමත් වූයේ ද ඔවුනට (ස්වර්ග) උයන් ඇත. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. (ඔවුහු) එහි සදාතනිකයෝ වෙති. (මෙය) අල්ලාහ්ගෙන් වූ සංග්රහයක් වශයෙනි.” අල්ලාහ් අබියස ඇති දෑ සැඳැහැමියන්ට ඉතා උතුම්ය.
وَإِنَّ مِنْ أَهْلِ الْكِتَابِ لَمَن يُؤْمِنُ بِاللَّهِ وَمَا أُنزِلَ إِلَيْكُمْ وَمَا أُنزِلَ إِلَيْهِمْ خَاشِعِينَ لِلَّهِ لَا يَشْتَرُونَ بِآيَاتِ اللَّهِ ثَمَنًا قَلِيلًا ۗ أُولَـٰئِكَ لَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ ۗ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ
සැබැවින්ම ධර්ම පුස්තකය ලත් ජනයා අතුරින් අල්ලාහ්ව ද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ(අල් කුර්ආනය) ද තමන් වෙත පහළ කරනු ලැබූ දෑ(තව්රාතය) ද අල්ලාහ්ට බියවන්නන් ලෙස විශ්වාස කරන්නන් සිටිති. ඔවුහු අල්ලාහ්ගේ වදන් වෙනුවට අල්ප මිළක් නොගනිති. ඔවුනට ඔවුන්ගේ වේතනය තම පරමාධිපති අබියස ඇත්තේය. සැබැවින්ම අල්ලාහ් ගණනය (විනිශ්චය) කිරීමෙහි ශීඝ්රය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اصْبِرُوا وَصَابِرُوا وَرَابِطُوا وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ
විශ්වාස කළවුනි, නුඹලා (විඳ දරා) ඉවසා ගනිවු. තවද එකිනෙකා අබිබවා ඉවසවු. (අල්ලාහ්ගේ මාර්ගයෙහි ප්රයත්නය කිරීමෙහි) ස්ථාවරව සිටිවු. තවද නුඹලා ජය ලබා ගනු පිණිස නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු.
63‘ඉවසීම’ යනු කෙනෙකු ස්ථිරව සිටීමය. එහි අල් කුර්ආනීය පරිභාෂාව වන්නේ අල්ලාහ්ට අවනත වීමෙහි ස්ථිරව සිටීම ද මනෝ ඉච්ඡාව හා පාපතර දෑ වලින් වැළකී සිටීමට ස්ථීරව සිටීම ද ලෞකික ජීවිතයේ ඇති වන කරදර පීඩාවන් ඉවසා දරා ගැනීමෙහි ස්ථිරව සිටීම ද වේ.
64මෙහි ‘බිය භක්තිය’ යන පදයේ අරාබි පදය වන්නේ ‘තක්වා’ යන පදයයි. මෙම පදය අල් කුර්ආනයෙහි නිතර භාවිත වන්නක් වන අතර එහි නිවැරදි අර්ථය පරිපූර්ණ ලෙස වෙනත් භාෂාවකින් අරුත දැක්වීමේ දුෂ්කරතාව හේතුවෙන් ‘අල්ලාහ්ට බිය භක්තිමත් වීම’ යනුවෙන් බොහෝ විට පරිවර්තනය කොට ඇත. එහෙත් ‘තක්වා’ යන පදයෙහි මෙයට වඩා පළල් අර්ථයක් ගැබ් වී ඇත. ‘අල්ලාහ්ගේ නිරතුරු නිරීක්ෂණයට තමන් ලක් වී ඇති බවට ඇති සචේතනිකත්වය, අල්ලාහ්ට පරිපූර්ණ ලෙස අවනත වී ඔහුගේ මහිමයන් හා තම ගැත්තන් වෙත ඔහු ලබා දී ඇති අනුග්රහයන් පිළිබඳ පරිපූර්ණ ලෙස අගය කිරීම, අල්ලාහ්ගේ අසතුට හා දඬුවම පිළිබඳව ඇති බිය’ යන අර්ථයන් මෙහි ගැබ් වී ඇති බව දැක්විය හැක. ‘බිය’ යන්නෙන් මෙහිදී අදහස් වන්නේ තම නිර්මාතෘ වන අල්ලාහ් වෙත ඇති තමාගේ ගෞරවය හා සෙනෙහස කෙරෙහි තම වැරදි කි්රයා හේතුවෙන් ඇති විය හැකි බලපෑම පිළිබඳව සම්බන්ධයෙන් වූ ගෞරවනීය බියකි. තවද මෙමගින් තමා වෙත ලබා දී ඇති අනුග්රහයන් පිළිබඳව තම නිර්මාතෘට අකෘතඥ වීම හා ඔහුගේ අසතුටට ලක් වීම හේතුවෙන් ඇති වන ‘බිය’ අදහස් වේ. මේ අනුව තම නිර්මාතෘ විසින් ලබා දී ඇති සියලු මාර්ගෝපදේශයන් හා නීතිරීති අනුගමනය කිරීම මෙම ‘බිය භක්තිමත් වවු’ යන පදයෙන් ගම්ය වන බව දැක්විය හැකිය.