الم
අලිෆ්. ලාම්. මීම්.
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
اللَّهُ لَا إِلَـٰهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ
අල්ලාහ්, ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැත. (ඔහු) සදා ජීවමානය සර්ව පෝෂකය.
نَزَّلَ عَلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ وَأَنزَلَ التَّوْرَاةَ وَالْإِنجِيلَ
(නබිවරය,) සත්යයෙන් යුත් ධර්ම පුස්තකය(අල් කුර්ආනය) එයට පෙර ඇති දෑ(පෙර ධර්ම පුස්තකයන්) සත්යය කරවන්නක් ලෙස ඔහු(අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය. තවද මෙය( පහළ වීම)ට පෙර ජනයාට මග පෙන්වීමක් ලෙස තව්රාතය හා ඉන්ජීලය ඔහු පහළ කළේය. තවද ෆුර්කානය(සත්යය හා අසත්යය නිර්ණය කරන සංකල්පය) ද ඔහු පහළ කළේය. සැබැවින්ම අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළවුන් වන ඔවුනට දැඩි දඬුවමක් ඇත. අල්ලාහ් සර්ව බලසම්පන්නය ප්රතිදඬුවම් දෙන්නාය.
مِن قَبْلُ هُدًى لِّلنَّاسِ وَأَنزَلَ الْفُرْقَانَ ۗ إِنَّ الَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ ۗ وَاللَّهُ عَزِيزٌ ذُو انتِقَامٍ
(නබිවරය,) සත්යයෙන් යුත් ධර්ම පුස්තකය(අල් කුර්ආනය) එයට පෙර ඇති දෑ(පෙර ධර්ම පුස්තකයන්) සත්යය කරවන්නක් ලෙස ඔහු(අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය. තවද මෙය( පහළ වීම)ට පෙර ජනයාට මග පෙන්වීමක් ලෙස තව්රාතය හා ඉන්ජීලය ඔහු පහළ කළේය. තවද ෆුර්කානය(සත්යය හා අසත්යය නිර්ණය කරන සංකල්පය) ද ඔහු පහළ කළේය. සැබැවින්ම අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළවුන් වන ඔවුනට දැඩි දඬුවමක් ඇත. අල්ලාහ් සර්ව බලසම්පන්නය ප්රතිදඬුවම් දෙන්නාය.
إِنَّ اللَّهَ لَا يَخْفَىٰ عَلَيْهِ شَيْءٌ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ
සැබැවින්ම අල්ලාහ්, අහසෙහි හා මිහිතලයෙහි ඇති කිසිවක් ඔහුගෙන් නොසැඟ වේ.
هُوَ الَّذِي يُصَوِّرُكُمْ فِي الْأَرْحَامِ كَيْفَ يَشَاءُ ۚ لَا إِلَـٰهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ
තමන් අභිමත කරන අයුරින් නුඹලාව ගර්භාශයන්හි හැඩගස්වන්නේ ඔහුමය. සර්ව බලසම්පන්න සර්ව ප්රඥාවන්ත වූ ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැත.
2හැඳින්වීමේ සඳහන් පරිදි මෙම සූරාවෙහි ආරම්භක කොටස නජ්රාන් දෙසින් පැමිණි කිතුනුවන්ගේ තර්කයට පිළිතුරක් වශයෙන් මෙම ආයතය පහළ විය. ඔවුන්ගේ තර්කය වූයේ නබි ඊසා තුමාණන් පියෙකු නොමැතිව බිහි වීම එතුමා දෙවියෙකු ලෙස සනාථ කරන බවය. එයට පිළිතුරක් වශයෙන් මෙහි මිනිසා මවනු ලබනුයේ අල්ලාහ් විසින් බව ද ඔහුගේ අභිමතය පරිදි මවගේ ගර්භාශයේ හැඩගස්වන බව ද සඳහන්ව ඇත. මිනිසා සාමාන්ය පරිදි පියෙකුගේ මාර්ගයෙන් බිහි වීම සම්බන්ධයෙන් හෝ අසාමාන්ය ලෙස පියෙකු නොමැතිව බිහි වීම සම්බන්ධයෙන් හෝ කිසිදු කරුණක් සඳහන් වී නොමැත. පියෙකු නොමැතිව සාමාන්ය මිනිසෙකු ලෙස නබි ඊසා තුමාණන්ව එතුමාගේ මව් කුසෙහි සැකසුවේ සර්ව බලධාරී අල්ලාහ්ය.
هُوَ الَّذِي أَنزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُّحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ ۖ فَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ ۗ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللَّهُ ۗ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا ۗ وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ
නුඹ වෙත ධර්ම පුස්තකය(අල් කුර්ආනය) පහළ කළේ ද ඔහුමය. එහි පැහැදිලි නිරවුල් වදන් ඇත. ඒවා ධර්ම පුස්තකයේ මාතෘ( වදන්)ය. සෙසු දෑ ගැටමුසු( වදන්)ය. තමන්ගේ හදවත්හි මුළාවක් ඇති අය එහි තුළ වූ ගැටමුසු දෑ(වදන්) අනුගමනය කරති. (මක්නිසාද යත්) විසංවාදය (ඇති කිරීමේ) අපේක්ෂාවෙන් ද එයට අර්ථ නිරූපණ කිරීමේ අපේක්ෂාවෙන් ද වේ. තවද එහි අර්ථ නිරූපණය අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදන්නේය. තවද දැනුමෙහි ස්ථාවරව ස්ථාපිත වූවෝ “එය අපි විශ්වාස කළෙමු. සියල්ල අපගේ පරමාධිපති අබියසින්ය” යැයි පවසති. නුවණැත්තන් හැර (අන් අය මෙයින්) උපදෙස් නොලබති.
3අල් කුර්ආනයේ අන්තර්ගත ඇතැම් විෂයන් මිනිස් බුද්ධියට වටහා ගැනීමට පහසු හා අපහසු යන දෙවර්ගයම ඇත. එහි ඇතැම් ප්රකාශයන් සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට සාමාන්ය මිනිස් බුද්ධියට නොහැකිය. එවැනි ප්රකාශයන් ‘මුතෂාබිහාත්’ (ගැටමුසු වදන්) යන නමින් හැඳින් වේ. අල්ලාහ්ගේ ඇතැම් විශේෂණයන් මීට උදාහරණ වශයෙන් ගත හැක. එනම් ‘අල්ලාහ් කතා කරන්නේය’ යනුවෙන් අල් කුර්ආනයේ සඳහන් වී ඇත. නමුත් අපට වටහා ගත හැක්කේ එම ක්රියාව පමණය. ඔහු කතා කරන්නේ කෙසේ ද? සාමාන්යය පරිදි දිවක් නොමැතිව කතා කළ හැක්කේ කෙසේ ද? කවර හඬකින් කතා කරන්නේ ද? යන්න ගැටලු සහගතය. මෙය මිනිසාගේ සාමාන්යය බුද්ධියට නොවැටහෙන බැවින් මෙවැනි ප්රකාශයන් කෙරෙහි ගත යුතු සාධාරණ නිගමනය හා නිවැරදි ක්රමය වනුයේ මෙය සඳහන් වී ඇති අයුරින්ම පිළිගැනීමය. මිනිසා තම සීමිත දැනුම භාවිත කරමින් එයට අර්ථ ගැන්වීම නුසුදුසුය. නබි ඊසා තුමාණන්ගේ විෂයෙහි “මර්යම් වෙත ඔහු එය ආධානය කළේය. තවද (ඔහු) ඔහුගෙන් වූ ප්රාණය වේ.” ( 4:171 ) යන වාක්යයේ ‘ඔහුගෙන් වූ ප්රාණය’ යනු දෙවියන් යැයි අරුත ගැන්වීම හේතුවෙන් කිතුනුවන් තම ආගමික ඒක දේව වන්දනය යන විශ්වාසයේ ප්රතිපත්තියෙන් බැහැර වී, නබි ඊසා තුමාණන් දෙවියන් බව හෝ දෙවියන්ගේ පුතනුවන් බව හෝ අල් කුර්ආනයෙහි සනාථ කර ඇත යන්නෙන් විශ්වාස කොට නොමග යෑම මීට කදිම නිදසුනක් වශයෙන් ගත හැක. එමෙන්ම අල් කුර්ආනයේ සඳහන් මිනිස් බුද්ධියෙන් පහසුවෙන් වටහා ගත හැකි ප්රකාශයන් ‘මුහ්කමාත්’(පැහැදිලි නිරවුල් වදන්) යන නමින් හැඳින් වේ.
رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً ۚ إِنَّكَ أَنتَ الْوَهَّابُ
“අපගේ පරමාධිපතියාණනි, ඔබ අපට (ඍජු) මග පෙන්වූවායින් පසුව අපගේ හදවත් ඔබ මුළාවට පත් නොකරනු මැනව! ඔබගෙන් වූ කරුණාව අප වෙත ප්රදානය කරනු මැනව! සැබැවින්ම ඔබමය පරම ප්රදායකයා වන්නේ.”
رَبَّنَا إِنَّكَ جَامِعُ النَّاسِ لِيَوْمٍ لَّا رَيْبَ فِيهِ ۚ إِنَّ اللَّهَ لَا يُخْلِفُ الْمِيعَادَ
“අපගේ පරමාධිපතියාණනි, දිනයක් සඳහා සැබැවින්ම ඔබ ජනයා එක්රැස් කරන්නාය. එ(ම විනිශ්චය දින)ය පිළිබඳව කිසිදු සැකයක් නොමැත. සැබැවින්ම අල්ලාහ් ප්රතිඥාව කඩ නොකරන්නේය.
إِنَّ الَّذِينَ كَفَرُوا لَن تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُم مِّنَ اللَّهِ شَيْئًا ۖ وَأُولَـٰئِكَ هُمْ وَقُودُ النَّارِ
සැබැවින්ම ප්රතික්ෂේප කළවුන්, ඔවුන්ගේ ධනය ද ඔවුන්ගේ දරුවන් ද අල්ලාහ්ගෙන් වූ (දඬුවමින්) කිසිවකට (එරෙහිව) ඔවුනට ඵලක් ඇති නොකරන්නේමය. ඔවුන්මය (නිරා) ගින්නේ ඉන්ධන වන්නේ.
كَدَأْبِ آلِ فِرْعَوْنَ وَالَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَّبُوا بِآيَاتِنَا فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ ۗ وَاللَّهُ شَدِيدُ الْعِقَابِ
(මොවුන්ගේ චරිතය) ෆිර්අවුන්ගේ පිරිසගේ හා ඔවුනට පෙරවූවන්ගේ චරිතය මෙනි. ඔවුන් අපගේ සංඥාවන් අසත්යය කළෝය. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ පාපකම් හේතුවෙන් ඔවුන්ව ග්රහණය කළේය. අල්ලාහ් දඬුවම් කිරීමෙහි දැඩිය.
قُل لِّلَّذِينَ كَفَرُوا سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَىٰ جَهَنَّمَ ۚ وَبِئْسَ الْمِهَادُ
(නබිවරය,) නුඹ ප්රතික්ෂේප කළවුන්ට පවසවු “නුඹලා යටපත් කරනු ලබන්නෙහුය. තවද නිරය වෙත එක්රැස් කරනු ලබන්නෙහුය. (එහි) යහන කෙතරම් නින්දනීය ද!”
قَدْ كَانَ لَكُمْ آيَةٌ فِي فِئَتَيْنِ الْتَقَتَا ۖ فِئَةٌ تُقَاتِلُ فِي سَبِيلِ اللَّهِ وَأُخْرَىٰ كَافِرَةٌ يَرَوْنَهُم مِّثْلَيْهِمْ رَأْيَ الْعَيْنِ ۚ وَاللَّهُ يُؤَيِّدُ بِنَصْرِهِ مَن يَشَاءُ ۗ إِنَّ فِي ذَٰلِكَ لَعِبْرَةً لِّأُولِي الْأَبْصَارِ
(බද්ර් සටන සඳහා) අභිමුඛ වූ දෙපිරිසෙහි නුඹලාට සැබැවින්ම සංඥාවක් ඇත. එක් පිරිසක් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන්නෝය. අනෙක ප්රතික්ෂේපකයින්ය. ඔවුහු තමන්ව (විශ්වාසික) ඔවුන් මෙන් දෙගුණයක් ලෙස පියවි ඇසින් දකින්නෝය. අල්ලාහ් ඔහුගේ උපකාරය මගින් තමන් අභිමත කරන්නන්ව ශක්තිමත් කරන්නේය. සැබැවින්ම දෘෂ්ටිය ඇත්තන්ට එහි ඉගෙනුමක් ඇත
44) 12 වැනි ආයතයේ “නුඹලා යටපත් කරනු ලබන්නෙහිය.” යනුවෙන් ප්රතික්ෂේපකයින්ට පවසනු ලැබීය. ඇතැම් දැන්වීම් වලට අනුව මෙය පවසනු ලැබුවේ ‘කයිනුකා’ යන යුදෙව් ගෝත්රයටය. මක් නිසාද යත් ඔවුන් බද්ර් සටනින් පසුව මුස්ලිම්වරුන්ට “මක්කාවෙහි විසූ ප්රතික්ෂේපකයින් සටන් කිරීමෙහි දුර්වලය. එබැවින් ඔවුන් මුස්ලිම්වරුන්ට පරාජය විය” යනුවෙන් පුරසාරම් දොඩවමින් සිටියෝය. තවද ඔවුන් “යුදෙව්වන් ප්රතික්ෂේපකයින්ට වඩා ඉතා එඩිතරය. ඔවුන් මුස්ලිම්වරුන් සමග සටන් වැදුණේ නම් නියතව ඔවුන් ජය ලබන්නෝය.” යනුවෙන් ද පුරසාරම් දොඩවමින් සිටියෝය. මෙම ආයතයෙන් අදහස් කරනුයේ ප්රතික්ෂේපකයින් මුස්ලිම්වරුන්ට වඩා ශක්තියෙන් හා සේනාංකයෙන් බලවත්ව සිටියද මුස්ලිම්වරුන් ඉදිරියේ පරාජය වූ බවය. තවද මුස්ලිම්වරුන් ජය ලැබීමට හේතු වූයේ අල්ලාහ්ගේ උපකාරයයි. යුදෙව්වන් ප්රතික්ෂේපකයින්ට වඩා බලවත්ව සිටියේ නම් ද මුස්ලිම්වරුන්ට අල්ලාහ්ගේ උපකාරය ඇති හෙයින් මුස්ලිම්වරුන් යුදෙව්වන්ව පරාජය කරන බව ද මෙම ආයතයෙන් අදහස් කෙරේ.
زُيِّنَ لِلنَّاسِ حُبُّ الشَّهَوَاتِ مِنَ النِّسَاءِ وَالْبَنِينَ وَالْقَنَاطِيرِ الْمُقَنطَرَةِ مِنَ الذَّهَبِ وَالْفِضَّةِ وَالْخَيْلِ الْمُسَوَّمَةِ وَالْأَنْعَامِ وَالْحَرْثِ ۗ ذَٰلِكَ مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا ۖ وَاللَّهُ عِندَهُ حُسْنُ الْمَآبِ
කාන්තාවන් ද පුතුන් ද රනින් හා රිදියෙන් රැස් කළ සංචිතයන් ද සන්නම් තබනු ලැබූ (ඉස්තරම්) අශ්වයින් ද පශු කුලයට අයත් සතුන් ද ගොවි බිම් (යනාදිය) අතුරින් දැඩි ආශාවෙන් ඇලුම් කරන දෑ ජනයාට අලංකාර කර පෙන්වනු ලැබීය. මෙය මෙලොව ජීවිතයේ වින්දනයයි. (නමුත්) නැවත යොමු වන ස්ථානයෙහි අලංකාරය අල්ලාහ් අබියසය.
قُلْ أَؤُنَبِّئُكُم بِخَيْرٍ مِّن ذَٰلِكُمْ ۚ لِلَّذِينَ اتَّقَوْا عِندَ رَبِّهِمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَأَزْوَاجٌ مُّطَهَّرَةٌ وَرِضْوَانٌ مِّنَ اللَّهِ ۗ وَاللَّهُ بَصِيرٌ بِالْعِبَادِ
(නබිවරය,) “මෙ(ම වින්දන)යට වඩා යහපත් දැයක් නුඹලාට මා දැනුම් දෙන්නදැ?”යි නුඹ විමසවු. බිය භක්තිකයින්ට ඔවුන්ගේ පරමාධිපති අබියස (ස්වර්ග) උයන් ඇත. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. (ඔවුහු) එහි සදාතනිකයෝ වෙති. තවද (ඔවුනට) පාරිශුද්ධ කරන ලද සහකාරියන් වෙති. තවද අල්ලාහ්ගෙන් වූ තෘප්තිය ද ඇත. අල්ලාහ් ගැත්තන් පිළිබඳව සර්ව සුපරික්ෂාකාරීය.
الَّذِينَ يَقُولُونَ رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ النَّارِ
(ඔවුහු) කවුරුන්ද යත් “අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම අපි විශ්වාස කළෙමු. එබැවින් අපට අපගේ පාපයන් ක්ෂමා කරනු මැනව! තවද (නිරා) ගින්නේ දඬුවමින් අපව ආරක්ෂා කරනු මැනවැ!”යි පවසන්නන්ය.
الصَّابِرِينَ وَالصَّادِقِينَ وَالْقَانِتِينَ وَالْمُنفِقِينَ وَالْمُسْتَغْفِرِينَ بِالْأَسْحَارِ
තවද (ඔවුහු) ඉවසිලිවන්තයින් ද සත්යවන්තයින් ද ශ්රද්ධාවන්තයින් ද (අල්ලාහ්ගේ මාර්ගයෙහි) වියදම් කරන්නන් ද ‘සහර්’ වේලාවෙහි පාප ක්ෂමාව ඇයැදි සිටින්නන් ද වෙති.
5‘සහර්’ වේලාව යනු අලුයමට පෙර ඇති කාලයයි.
شَهِدَ اللَّهُ أَنَّهُ لَا إِلَـٰهَ إِلَّا هُوَ وَالْمَلَائِكَةُ وَأُولُو الْعِلْمِ قَائِمًا بِالْقِسْطِ ۚ لَا إِلَـٰهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ
අල්ලාහ්, තමන් හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැති බව සාධාරණත්වය ස්ථාපිත කරන්නෙකු වූ තත්ත්වයේ සාක්ෂි දරන්නේය. තවද මලක්වරුන් ද දැනුම ඇත්තවුන් ද (සාක්ෂි දරන්නෝය). සර්ව බලසම්පන්න, සර්ව ප්රඥාවන්ත වූ ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැත.
إِنَّ الدِّينَ عِندَ اللَّهِ الْإِسْلَامُ ۗ وَمَا اخْتَلَفَ الَّذِينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِن بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ ۗ وَمَن يَكْفُرْ بِآيَاتِ اللَّهِ فَإِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ
සැබැවින්ම අල්ලාහ් අබියස (පිළිගත්) දහම වන්නේ ඉස්ලාමයයි. තවද ධර්ම පුස්තකය දෙනු ලැබූ අය, දැනුම ඔවුන් වෙත පැමිණි පසුවද ඔවුනතර ඊර්ෂ්යාව හේතුවෙන් මිස (එහි) මතභේද ඇති කර නොගත්හ. අල්ලාහ්ගේ වදන් කවරෙකු ප්රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින්ම අල්ලාහ් ගණනය(විනිශ්චය) කිරීමෙහි ශීඝ්රය.
فَإِنْ حَاجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِيَ لِلَّهِ وَمَنِ اتَّبَعَنِ ۗ وَقُل لِّلَّذِينَ أُوتُوا الْكِتَابَ وَالْأُمِّيِّينَ أَأَسْلَمْتُمْ ۚ فَإِنْ أَسْلَمُوا فَقَدِ اهْتَدَوا ۖ وَّإِن تَوَلَّوْا فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ ۗ وَاللَّهُ بَصِيرٌ بِالْعِبَادِ
එවිට (නබිවරය,) නුඹ සමග ඔවුහු තර්ක කළේ නම් “මාගේ මුහුණ අල්ලාහ්( වෙත)ට අවනත කළෙමි. තවද මා අනුගමනය කළවුන් ද(මෙලෙසම කළෝය).” යැයි නුඹ (ඔවුනට) පවසවු. තවද “නුඹලා අවනත වූවෙහිදැ?”යි ධර්ම පුස්තකය දෙනු ලැබූවන්ගෙන් ද උම්මිවරුන්ගෙන් ද නුඹ විමසවු. (එසේ) ඔවුන් අවනත වූයේ නම් ඔවුහු යහමග ලැබුවෝය. තවද ඔවුහු පිටුපෑවේ නම් එවිට සැබැවින්ම නුඹ කෙරෙහි (වගකීම) වන්නේ (දේව පණිවිඩය) දැන්වීම පමණය. අල්ලාහ් ගැත්තන් පිළිබඳව සර්ව සුපරික්ෂාකාරීය.
6‘උම්මිවරුන්’(අකුරු නොදන්නන්) යන වචනය මෙහි භාවිත වී ඇත්තේ මක්කාවෙහි ප්රතික්ෂේපකයන්ටය. මන්දයත් ඔවුන්ට අනුගමනය කිරීම සඳහා කිසිදු ධර්ම පුස්තකයක් නොවීය.
إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ حَقٍّ وَيَقْتُلُونَ الَّذِينَ يَأْمُرُونَ بِالْقِسْطِ مِنَ النَّاسِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ
සැබැවින්ම අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළවුන් ද (කිසිදු) යුක්තියකින් තොරව නබිවරුන්ව ඝාතනය කළවුන් ද ජනයින් අතුරින් සාධාරණත්වය විධානය කළවුන්ව ඝාතනය කළවුන් ද, ඔවුන්( සියල්ලන්)ට වේදනීය දඬුවමක් පිළිබඳව නුඹ ශුභාරංචි පවසවු.
أُولَـٰئِكَ الَّذِينَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمَا لَهُم مِّن نَّاصِرِينَ
ඔවුන්මය මෙලොවෙහි හා මතු ලොවෙහි තම ක්රියාවන් නිෂ්ඵල වූවෝ. තවද ඔවුනට උදව්කරුවන්ගෙන් කිසිවෙකු නැත.
أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِّنَ الْكِتَابِ يُدْعَوْنَ إِلَىٰ كِتَابِ اللَّهِ لِيَحْكُمَ بَيْنَهُمْ ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٌ مِّنْهُمْ وَهُم مُّعْرِضُونَ
(තව්රාත් නම්) ධර්ම පුස්තකයෙන් කොටසක් දෙනු ලැබූ අයව නුඹ නොදුටුවෙහි ද? ඔවුන් අතර තීන්දු ගැනීම පිණිස අල්ලාහ්ගේ ධර්ම පුස්තකය වෙත ඔවුන්ව කැඳවනු ලැබුවෝය. පසුව ඔවුන්ගෙන් පිරිසක් (එය) පිටුපාන්නන්ව හැරී ගියෝය.
ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا لَن تَمَسَّنَا النَّارُ إِلَّا أَيَّامًا مَّعْدُودَاتٍ ۖ وَغَرَّهُمْ فِي دِينِهِم مَّا كَانُوا يَفْتَرُونَ
එය (මක්නිසාදයත්) “නියමිත දින ගණනකට මිස (නිරා) ගින්න අපව ස්පර්ශ නොකරන්නේම යැ”යි ඔවුහු පැවසූ හෙයිනි. තවද ඔවුන් (බොරු) ගොතමින් සිටි දෑ ඔවුන්ගේ දහම විෂයෙහි ඔවුන්ව රවටා දැමීය.
فَكَيْفَ إِذَا جَمَعْنَاهُمْ لِيَوْمٍ لَّا رَيْبَ فِيهِ وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ
කිසිදු සැකයක් නොමැති (විනිශ්චය) දිනයක් සඳහා අප ඔවුන්ව එක්රැස් කරන විට (ඔවුන්ගේ තත්ත්වය) කෙසේ වෙත් ද? තවද සෑම කෙනෙකුටම තමන් උපයා ගත් දෑ සඳහා ප්රතිවිපාක පූර්ණව දෙනු ලබන්නේය. තවද ඔවුහු අපාරාධ කරනු නොලබති.
قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَن تَشَاءُ وَتَنزِعُ الْمُلْكَ مِمَّن تَشَاءُ وَتُعِزُّ مَن تَشَاءُ وَتُذِلُّ مَن تَشَاءُ ۖ بِيَدِكَ الْخَيْرُ ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
(නබිවරය,) නුඹ පවසවු. “අල්ලාහ්! සර්ව රාජ්යයේ අධිපතියාණනි, ඔබ අභිමත කළ අයට රාජ්යය ලබා දෙන්නෙහිය. ඔබ අභිමත කළ අයගෙන් රාජ්යය ඉවත් කරන්නෙහිය. තවද ඔබ අභිමත කළ අයට ගෞරවය පිරිනමන්නෙහිය. තවද ඔබ අභිමත කළ අයව අවමන් කරන්නෙහිය. (සියලු) යහපත ඔබ සතුය. සැබැවින්ම ඔබ සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
تُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَتُولِجُ النَّهَارَ فِي اللَّيْلِ ۖ وَتُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَتُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ ۖ وَتَرْزُقُ مَن تَشَاءُ بِغَيْرِ حِسَابٍ
ඔබ රාත්රිය දහවලෙහි ඇතුළු කරවන්නේය. තවද දහවල රාත්රියෙහි ඇතුළු කරවන්නේය. ඔබ මළ දැයින් ජීවී දෑ පිට කරන්නේය. තවද ජීවී දැයින් මළ දෑ පිට කරන්නේය. තවද ඔබ අභිමත කරන්නන්ට (කිසිදු) ගණනයකින් තොරව (ජීවන) සම්පත් සපයන්නේය.”
لَّا يَتَّخِذِ الْمُؤْمِنُونَ الْكَافِرِينَ أَوْلِيَاءَ مِن دُونِ الْمُؤْمِنِينَ ۖ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَلَيْسَ مِنَ اللَّهِ فِي شَيْءٍ إِلَّا أَن تَتَّقُوا مِنْهُمْ تُقَاةً ۗ وَيُحَذِّرُكُمُ اللَّهُ نَفْسَهُ ۗ وَإِلَى اللَّهِ الْمَصِيرُ
විශ්වාසිකයින්, විශ්වාසිකයින් හැර ප්රතික්ෂේපකයින්ව සමීප මිතුරන් ලෙස නොගත යුතුය. තවද ආරක්ෂක උපායක් ලෙස ඔවුන්ගෙන් නුඹලා පූර්වාරක්ෂාව ලබා ගැනීමට මිස කවරෙකු මෙලෙස කරන්නේ ද ඔහු අල්ලාහ්ගෙන් වූ (දහමෙහි) කිසිවකින් (හිමිකරුවෙකු) නොවන්නේය. අල්ලාහ් තමන් පිළිබඳව නුඹලාට අවවාද කරන්නේය. අවසානයෙහි යොමු වන ස්ථානය අල්ලාහ් වෙතය.
7මෙම අල් කුර්ආන් ආයතය පහළ වීමට සන්දර්භය වූයේ අන් ආගමිකයින් විසින් කුරිරු ලෙස මුස්ලිම්වරුන්ව මැරීමට හා දේපල හානි සිදු කිරීමට පැමිණි අවස්ථාවය. යුද තත්ත්වයකදී සතුරු කඳවුරේ අයෙකුව තම සමීප මිතුරෙකු, ආරක්ෂකයෙකු හෝ භාරකරුවෙකු ලෙස පත් කර ගන්නා, පෙළඹෙනුයේ සියදිවි හානි කර ගැනීමකටය. a)නමුත් ඉස්ලාමීය ඉගැන්වීම්හි අන් අය සමග ඇසුරුකම් පැවැත් වීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙත් හතරක් ඇත. එනම්, (1) ආචාර සම්පන්න ඇසුර (මුදාරාත්) = මෙය පොදුවේ යහ ලෙසින් මෘදු ලෙසින්, සාමකාමීව සත්යවාදීව හැසිරීම වේ. ‘නිත්යවශයෙන් (ජනයා සමග) මෘදුභාවයෙන් හැසිරී කරන ලද විෂයක් ඉතා අලංකාර බවත් මෘදු භාවයෙන් තොරව හැසිරි කරන ලද විෂය ඉතා අවලස්සන බවත් නබි මුහම්මද් තුමාණන් පවසා ඇත. (මූලාශ්රය : මුස්ලිම් : 6767). (2) සමානාත්මක ඇසුර (මුවාසාත්) = මෙය මිතුරුකමින් හා අන් අයට ප්රයෝජනයක් වන අයුරින් හැසිරීම සහ ඇතැම් අවස්ථාවන්හි මුදල්මය උපකාර කිරීමද වේ. “කවරෙකුගේ අසල්වැසියා තම හිංසා අපරාධවලින් ආරක්ෂාව නොලබන්නේද ඔහු සත්ය විශ්වාසිකයෙකු නොවේ.” යැයි නබි මුහම්මද් තුමාණන් අල්ලාහ් මත දිවුරා පවසා ඇත. (මූලාශ්රය : තබරානි 8171).අල් කුර්ආනයේ වැකි වලට පළමු විවරණය වනුයේ අල් කුර් ආනයේම සෙසු වැකි වන හෙයින් අල් කුර්ආන් 60:8 යන වැකිය තුලින් සාමාන්ය ජනයා සමඟ සමානාත්මකව ඇසුරුකම් කල යුතු බව විග්රහයක් වශයෙන් සෘජුව සඳහන් වී ඇත. (3) ව්යාපාරික ඇසුර (මුආමලාත්) = මෙය ගනුදෙනු හා ව්යාපාර වැනි මුදල්මය වැඩ කටයුතු වල යෙදීම වේ. නබි මුහම්මද් තුමාණන් මුස්ලිම් නොවන කිතුනු, යුදෙව් හා පාරම්පරික දහම් ඇදහූ පිරිස සමග විවිධ ආකාරයේ මුල්යමය සම්බන්ධතාවන් පවත්වාගෙන සිටි බවට විවිධ ඓතිහාසික සාක්ෂි ඉදිරිපත් කළ හැක. මින් වැදගත් සාක්ෂියක් වන්නේ නබි මුහම්මද් තුමාණන් මරණයට පත්වන විට එතුමාගේ ලෝහමය යුද ආරක්ෂක ඇඳුම තම පවුලේ සාමාජිකයින්ගේ ආහාර අවශ්යතාවන් සඳහා යුදෙව් ජාතිකයෙකුගේ වගකීමේ ඇපයට තබා ණයට ආහාර ලබා තිබීමයි. (මූලාශ්රය : බුහාරි 2069). (4) ස්වීකරණීය ඇසුර (මුවාලාත්) = කෙනෙකුට තම ආගමික මූල ධර්මයන් හා තම ආගමික සංස්කෘතියෙහි වෙනසක් හෝ හානියක් ඇති වන තරමට තවත් කෙනෙකුගේ සංස්කෘතියෙන් බලපෑමක් ඇති වන අන්දමින් ඔහු සමග සමීප ඇසුරුකම් පැවැත්වීම හෝ යුදබිමේ දී මුස්ලිම්වරුන්ට විරුද්ධකම් කරන පිරිස සමග ඇසුරුකම් පැවැත් වීම මින් අදහස් වේ.අල් කුර් ආන් 60:9 යන වැකිය තුළින් මෙම පිරිස පිළිබඳව සෘජුව සඳහන් වී ඇත. ඉහත ආයතයෙන් ඇසුරුකම තහනම් කොට ඇත්තේ මෙම හතර වන ප්රභේදයට අයත් පිරිස සමග පමණය. එය නොවන අනෙකුත් වර්ගයේ පොදු ඇසුරුකම් පැවැත්වීම මෙවැනි ආයතයන් වලින් අදහස් නොකෙරෙන අතර එවන් ඇසුරුකම් පැවැත්වීම ඉස්ලාමයෙහි ප්රියජනක ක්රියාවක් වන බව ඉස්ලාමීය ඓතිහාසික සාධකයන් තුළින් පැහැදිලිවම සනාථ වී ඇත. යම් සමූහයක් තම ආගමික මූල ධර්මයන්, චාරිත්ර හා සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා උත්සුක වන්නේ නම් එය අපවාදයට ලක් විය යුතු කරුණක් නොවේ. මන්දයත් සියලු සංස්කෘතිකයින් සඳහා ජාත්යන්තර මට්ටමෙන් පිළිගනු ලබන උරුමයන් අතුරින් තම සංස්කෘතිය ආරක්ෂා කිරීමේ උරුමය ද වේ. එහෙයින් මෙම ආයතය තුළින් අදහස් කෙරෙනුයේ මුස්ලිම් නොවන්නන් සමග විරුද්ධකම් පෑම නොවේ. එයට වෙනස්ව ‘මුස්ලිම්වරුන් බහු සංස්කෘතිකයින් සමග ඇසුරු කළද තම ධාර්මික සංස්කෘතිය ආරක්ෂා වන අන්දමින් ඇසුරුකම් පෑමට වග බලා ගත යුතුය’ යනනයි.
8මෙම ආයතයෙහි සන්දර්භය වනුයේ, නබි මුහම්මද් තුමාණන්ගේ සගයෙකු වූ අම්මාර් තුමාණන් හා එතුමාගේ දෙමාපියන් යාසිර් තුමාණන් හා සුමෛයා තුමිය හා බැඳුනු කථාවස්තුවයි. ඔවුන් ඉස්ලාමය වැළඳ ගැනීම හේතුවෙන් මක්කාවේ විසූ ඉස්ලාම් විරෝධීන් විසින් ඔවුන්ව කුරිරු වධ හිංසා වලට ලක් කොට මරණයට පත් කරන ලදී. මෙවන් පීඩාකාරී තත්ත්වයකට පත්ව සිටි අම්මාර් තුමාව දිනක් ඉස්ලාම් විරෝධීන් විසින් මරණ තර්ජන ඉදිරිපත් කරමින් ඉස්ලාමය හා නබි මුහම්මද් තුමාණන්ව ප්රතික්ෂේප කළ බව පවසන්නට බල කරනු ලැබීය. මෙලෙස තදබල අයුරින් බලපෑම් වලට ලක් වූ අම්මාර් තුමා කිසිවක් කරකියා ගන්නට නොහැකි තත්ත්වයක් තුළ සිතේ විශ්වාසය ශක්තිමත්ව තබා ගනිමින් ඉස්ලාම් විරෝධීන්ගේ ඉල්ලීමට අනුව එසේ ප්රකාශ කළහ. ඉන්පසුව ඔහු ඉතා දැඩි සිත් තැවුලකට පත් වී නබි මුහම්මද් තුමාණන් හමු වූ අවස්ථාවේ අම්මාර් තුමාව නිදොස් කරමින් ඉහත ආයතය පහළ කරන ලදී. ඉහතින් විස්තර කරන ලද පරිදි ජීවිත තර්ජන එල්ල වන ආකාරයේ බරපතළ අයුරින් බලපෑම් සිදු වූ විට පමණක් ආත්ම ආරක්ෂාව සඳහා තම ආගමික විශ්වාසය පිළිබඳව සිතේ ඇති සත්යය තත්ත්වයට පටහැනි අයුරින් අදහස් ප්රකාශ කිරීමට අවස්ථාවක් ඇති අතර ඉන් බැහැරව වංචනික හා ප්රෝඩාකාරී අයුරින් අසත්යවාදීව ක්රියා කිරීමට ඉස්ලාමීය ඉගැන්වීම්හි කිසිදු අනුමැතියක් නොමැත. මෙවන් කුරිරු අවස්ථාවන් වලදී “තමා මුස්ලිම් භක්තිකයෙකු නොවේ” යැයි මුවින් පවසා හෝ තමාව ආරක්ෂා කර ගැනීමේ අනුමැතියට ‘තකියියා’ යැයි පවසනු ලැබේ. අහ්ලුස් සුන්නා වල් ජමාආවරුන්ගේ මතයට අනුව හුදෙක් මෙම නීතිය යම් අනුමැතියක් පමණක් වන අතර ඉස්ලාමීය ඉගැන්වීම් තුළින් දිරිගන්වන්නා වූ හෝ පින් ලබන්නා වූ හෝ ඉස්ලාමයේ ප්රධාන මූල ධර්මයක් හෝ නොවන්නේය. තවද මෙම අනුමැතියෙහි පරමාර්ථය වන්නේ තමාගේ ආරක්ෂාව පමණක් මිස අපරාධකරුවා කෙතරම් කුරිරු පුද්ගලයෙකු වුව ද එම අපරාධකරුවා නොමග යැවීම හා රැවටීම නොවේ. ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජය තුළ වුවද තම ආත්ම හා ධන ආරක්ෂාව සඳහා විරුද්ධවාදියාට පහර දීමට වුවද අනුමැතියක් ඇත. මෙවන් ඉගැන්වීම තුළින් අප ඉතා ආඩම්බර වන කරුණක් නම් ලොවේ ජීවත් වන සෑම මිනිසෙකුටම තමන් මුහුණ දෙන්නා වූ සෑම අවස්ථාවකදීම හැසිරිය යුතු අන්දම හා විසඳුම් ඉස්ලාමය තුළින් පෙන්වා දී තිබීමයි. තවද නූතන අපරාධ විද්යාව හා අනුකූලතාවක් ඇති ඉගැන්වීම් දැනට වර්ෂ 1400 කට පෙර පහළ කරන ලද අල් කුර්ආනයෙහි අන්තර්ගත වී තිබීම සැබැවින්ම එහි ඉගැන්වීම්හි ඇති සදාතනික හා යාවත්කාලීන බව සනාථ කිරීමක් ලෙස අපි දකින්නෙමු.
قُلْ إِن تُخْفُوا مَا فِي صُدُورِكُمْ أَوْ تُبْدُوهُ يَعْلَمْهُ اللَّهُ ۗ وَيَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
(නබිවරය,) “නුඹලාගේ හදවත්හි නුඹලා කුමක් සැඟවුවද නැතහොත් එය නුඹලා හෙළි කළද එය අල්ලාහ් දන්නේය.” යැයි නුඹ පවසවු. අහස්හි ඇති දෑ ද මිහිතලයෙහි ඇති දෑ ද ඔහු දන්නේය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ مِنْ خَيْرٍ مُّحْضَرًا وَمَا عَمِلَتْ مِن سُوءٍ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُ أَمَدًا بَعِيدًا ۗ وَيُحَذِّرُكُمُ اللَّهُ نَفْسَهُ ۗ وَاللَّهُ رَءُوفٌ بِالْعِبَادِ
සෑම ආත්මයක්ම යහපත් දැයින් තමන් කළ දෑ ද අයහපත් දැයින් තමන් කළ දෑ ද ඉදිරිපත් කරන්නක් ලෙස ලබා ගන්නා (විනිශ්චය) දින ඔහු හා එය(අයහපත) අතර දීර්ඝ දුරක් තිබිය යුතු යැයි එ(ම ආත්ම)ය පි්රය කරයි. අල්ලාහ් තමන් පිළිබඳව නුඹලාට අවවාද කරන්නේය. අල්ලාහ් ගැත්තන් පිළිබඳව දයානුකම්පිතය
قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ
(නබිවරය, ප්රතික්ෂේපකයින්ට) නුඹ පවසවු. “නුඹලා අල්ලාහ්ව ප්රිය කරන්නන්ව සිටියේ නම් මා අනුගමනය කරවු. (එවිට) අල්ලාහ් නුඹලාව ප්රිය කරන්නේය. තවද නුඹලාගේ පාපයන්ට නුඹලාට සමාව දෙන්නේය. අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.”
قُلْ أَطِيعُوا اللَّهَ وَالرَّسُولَ ۖ فَإِن تَوَلَّوْا فَإِنَّ اللَّهَ لَا يُحِبُّ الْكَافِرِينَ
(නබිවරය,) නුඹ පවසවු. “අල්ලාහ්ට හා රසූල්වරයාට නුඹලා අවනත වවු. තවද නුඹලා පිටුපාන්නේ නම් එවිට සැබැවින්ම අල්ලාහ් ප්රතික්ෂේපකයින්ව ප්රිය නොකරන්නේය.”
إِنَّ اللَّهَ اصْطَفَىٰ آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ
සැබැවින්ම අල්ලාහ් ආදම්ව ද නූහ්ව ද ඉබ්රාහීම්ගේ පරපුර ද ඉම්රාන්ගේ පරපුර ද ලෝක වාසීන්ට වඩා (ඉහළින්) තෝරා ගත්තේය.
ذُرِّيَّةً بَعْضُهَا مِن بَعْضٍ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
එයින් සමහරුන් තවත් සමහරුන්ගෙන් (පැවත එන) පරපුරක් වශයෙනි. අල්ලාහ් සර්ව ශ්රාවකය සර්වඥය.
إِذْ قَالَتِ امْرَأَتُ عِمْرَانَ رَبِّ إِنِّي نَذَرْتُ لَكَ مَا فِي بَطْنِي مُحَرَّرًا فَتَقَبَّلْ مِنِّي ۖ إِنَّكَ أَنتَ السَّمِيعُ الْعَلِيمُ
ඉම්රාන්ගේ බිරිය (ගැබ් ගත් කල්හි) “මාගේ පරමාධිපතියාණනි, සැබැවින්ම මාගේ කුස තුළ ඇති දෑ ඔබ වෙනුවෙන්ම (ඔබගේ මෙහෙය සඳහා) සම්පූර්ණයෙන්ම යෙදවීමට මම භාර කරමි. මාගෙන් (මෙම භාරය) පිළිගනු මැනව! සැබැවින්ම ඔබමය සර්ව ශ්රාවක සර්වඥ වන්නේ.” යැයි පැවසූ අවස්ථාව (නබිවරය, නුඹ සිහිපත් කරවු.)
9ඇතැම් ඉගැන්වීම් වලට අනුව ඉම්රාන් තුමාණන් පලස්තීනයේ පිහිටි අල් අක්සා යන මස්ජිදයේ නැමදුම් මෙහෙය වන්නාය. ඔහුගේ භාර්යාව හන්නා නම් ස්ත්රියයි. ඇය මර්යම් තුමියගේ මව වූ අතර නබි ඊසා තුමාණන්ගේ මිත්තණිය විය. ඇයගේ සහෝදරිය වූයේ නබි zසකරිය්යා තුමාණන්ගේ භාර්යාව හා නබි යහ්යා තුමාණන්ගේ මව වන ඉලීසා තුමිය යි. හන්නා තුමිය ආරම්භයේ වඳ ස්ති්රයක් ලෙස සිටියද පසුව ඇය ගැබ් ගත්තාය. එම අවස්ථාවේ දී ඇය කළ ඇයැදීම මෙම ආයතයේ අල්ලාහ් සඳහන් කර ඇත.
فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ إِنِّي وَضَعْتُهَا أُنثَىٰ وَاللَّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَلَيْسَ الذَّكَرُ كَالْأُنثَىٰ ۖ وَإِنِّي سَمَّيْتُهَا مَرْيَمَ وَإِنِّي أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ الشَّيْطَانِ الرَّجِيمِ
එබැවින් ඇය එය ප්රසූත කළ අවස්ථාවේ “මාගේ පරමාධිපතියාණනි, මම එය ගැහැනු දරුවකු ලෙස ප්රසූත කළෙමි” යැයි ඇය පැවසුවාය. තවද ඇය ප්රසූත කළ දෑ පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නාය. තවද පිරිමියෙකු කාන්තාවක මෙන් නොවන්නේය. “සැබැවින්ම මම ඇයට මර්යම් යැයි නම් තැබුවෙමි. තවද ඇය හා ඇයගේ පරපුර පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් (ඇති වන හානියෙන්) ඔබගෙන් ආරාක්ෂාව පතන්නෙමි” (යැයි ද ඇය පැවසුවාය.)
10හන්නා තුමිය පිරිමි දරුවෙකු ආශා කළ ද ඇය ගැහැනු දරුවෙකු ප්රසූත කළාය. මෙම ගැහැනු දරුවා එනම් මර්යම් තුමිය, ඇය ආශා කළ පිරිමි දරුවෙකුව නොවූවද ඇය පිරිමි දරුවෙකුට වඩා උසස් ගුණාංගයන් ඇති ගැහැනු දරුවෙකු වූ බව අල් කුර්ආන් විවිරණකරුවන් මෙම ආයතයට අදහස් දක්වා ඇත.
فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍ وَأَنبَتَهَا نَبَاتًا حَسَنًا وَكَفَّلَهَا زَكَرِيَّا ۖ كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا الْمِحْرَابَ وَجَدَ عِندَهَا رِزْقًا ۖ قَالَ يَا مَرْيَمُ أَنَّىٰ لَكِ هَـٰذَا ۖ قَالَتْ هُوَ مِنْ عِندِ اللَّهِ ۖ إِنَّ اللَّهَ يَرْزُقُ مَن يَشَاءُ بِغَيْرِ حِسَابٍ
එබැවින් ඇයගේ පරමාධිපති ඇයව අලංකාර පිළිගැනීමකින් පිළිගත්තේය. ඇයව ඔහු අලංකාර වැඩීමකින් ඇති දැඩි කළේය. තවද ඔහු ඇයට zසකරිය්යාව භාරකරු ලෙස පත් කළේය. zසකරිය්යා ඇය වෙත පිවිසෙන සෑම විටම (ඇයගේ නැමදුම්) මැදිරියෙහි ඇය අබියස ආහාර දුටුවේය. “අහෝ මර්යම්! නුඹට මේවා කොහෙන්දැ?”යි ඔහු විමසුවේය. “මේවා අල්ලාහ්ගෙන්ය. සැබැවින්ම අල්ලාහ් අභිමත කරන්නන්ට (කිසිදු) ගණනයකින් තොරව (ජීවන) සම්පත් සපයන්නේ යැ.”යි ඇය පැවසුවාය.
11ඇතැම් වාර්තාවන්ට අනුව ඇතැම් පලතුරු එහි අවාරයේදී මර්යම් තුමිය ලබමින් සිටි බව සඳහන් වී ඇත.
هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ ۖ قَالَ رَبِّ هَبْ لِي مِن لَّدُنكَ ذُرِّيَّةً طَيِّبَةً ۖ إِنَّكَ سَمِيعُ الدُّعَاءِ
එහි දී zසකරිය්යා තම පරමාධිපතිව ඇයැද “මාගේ පරමාධිපතියාණනි, ඔබ වෙතින් යහපත් පරපුරක් මට පිරිනමනු මැනව! සැබැවින්ම ඔබ ඇයැදීම ශ්රවණය කරන්නා යැ”යි පැවසුවේය.
12අල් කුර්ආන් 19:4 හා 5 යන ආයතයන් වලට අනුව නබි zසකරිය්යා තුමාණන් මහලු වියෙහි පසු වූයේය. තවද ඔහුගේ භාර්යාව වඳ ස්ති්රයකව සිටියාය. එසේ තිබිය දී මර්යම් තුමියට අවාරයේ ද නොයෙක් වර්ගයේ පලතුරු පැමිණීම ඔහු දැක මර්යම් තුමියට අවාරයේ පලතුරු දීමට අල්ලාහ්ට ශක්තියක් ඇත්නම් මට මාගේ මහලු වියේ ද අල්ලාහ්ට දරුවෙකු පිරිනැමිය හැකි යැයි ඔහු අවබෝධ කර අල්ලාහ්ගෙන් දරුවෙකු ඇයැදින්නට විය.
فَنَادَتْهُ الْمَلَائِكَةُ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي الْمِحْرَابِ أَنَّ اللَّهَ يُبَشِّرُكَ بِيَحْيَىٰ مُصَدِّقًا بِكَلِمَةٍ مِّنَ اللَّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِّنَ الصَّالِحِينَ
පසුව ඔහු මස්ජිදයෙහි සලාතය (ස්ථාපිත) කරන්නෙකුව සිට ගෙන සිටිය දී “සැබැවින්ම අල්ලාහ්ගෙන් වූ වදනක් සත්යය කරවන, නායකත්වය හොබ වන, (ස්තී්රන්ගෙන්) වැළකී සිටින, සැදැහැමියන්ගෙන් වූ නබිවරයකු වන යහ්යා (නම් දරුවා) පිළිබඳව අල්ලාහ් නුඹට ශුභාරංචි පවසන්නේ යැ”යි මලක්වරුන් ඔහුව අමතා පැවසුවෝය.
13මෙම ආයතයෙහි ‘අල්ලාහ්ගෙන් වූ වදනක්’ යනුවෙන් අදහස් කර ඇත්තේ නබි ඊසා තුමාණන්වය. මන්දයත් ඔහු පියෙකු නොමැතිව අල්ලාහ්ගේ ‘කුන්’(වනු) යන වචනයෙන් බිහි වූවෙකි. තවද නබි යහ්යා තුමාණන් නබි ඊසා තුමාණන්ව සත්යය කරවන්නෙකුව සිටි හේතුවෙන් සත්යය කරන්නා ලෙස හදුන්වා ඇත.
قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَامٌ وَقَدْ بَلَغَنِيَ الْكِبَرُ وَامْرَأَتِي عَاقِرٌ ۖ قَالَ كَذَٰلِكَ اللَّهُ يَفْعَلُ مَا يَشَاءُ
“මාගේ පරමාධිපතියාණනි, මා පිරිමි දරුවෙකු ලබන්නේ කෙසේද? වයෝවෘද්ධභාවය මා වෙත පැමිණ ඇත. තවද මාගේ බිරිය ද වඳය.” යැයි ඔහු(zසකරිය්යා) පැවසුවේය. “මෙලෙසය අල්ලාහ්. ඔහු අභිමත කරන දෑ කරන්නේ යැ”යි ඔහු (මලක්වරයා) පැවසුවේය.
14නබි zසකරිය්යා තුමාණන් මහලු වියෙහි සිටිය ද දරුවෙකු ලැබීමට ප්රාර්ථනා කළේය. නමුත් ඔහුගේ භාර්යාවට පිරිමි දරුවෙකු ලැබීමට නියමිත යැයි පැවසූ කල්හි ඇති වූ විස්මය හේතුවෙන් අල්ලාහ්ට තුති පුද කිරීම ප්රශ්නාර්ථයකින් ප්රකාශ කර ඇති අතර එය විශ්වාසයේ ඇති වූ අඩුපාඩුවකින් කළ ප්රකාශයක් නොවේ.
قَالَ رَبِّ اجْعَل لِّي آيَةً ۖ قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَةَ أَيَّامٍ إِلَّا رَمْزًا ۗ وَاذْكُر رَّبَّكَ كَثِيرًا وَسَبِّحْ بِالْعَشِيِّ وَالْإِبْكَارِ
“මාගේ පරමාධිපතියාණනි, මා හට සංඥාවක් ඇති කරනු මැනවැ!”යි ඔහු පැවසුවේය. “නුඹගේ සංඥාව වන්නේ දින තුනක් ඉඟියෙන් මිස ජනයා සමග නුඹ කතා නොකිරීමය. තවද නුඹගේ පරමාධිපතිව අධිකව මෙනෙහි කරවු. තවද සැඳෑවෙහි හා උදෑසන නුඹ පිවිතුරු කරවු” යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
15නබි zසකරිය්යා තුමාණන්ට තමන්ගේ භාර්යාවගේ කුස තුළ දරුවා ගැබ් ගන්නා නියමිත වේලාව දැන ගැනීමට අවශ්ය විය. එයට හේතුව එම මොහොතේ සිට ඔහුට අල්ලාහ්ව තුති පුද කළ හැකි හෙයිනි. මේ හේතුවෙන් ඔහු අල්ලාහ්ගෙන් තම භාර්යාව ගැබ් ගත් බවට සංඥාවක් ඉල්ලා සිටියේය. එම සංඥාව ලෙස ඇය ගැබ් ගත් අවස්ථාවේ සිට ඔහුට අන් අය සමග කතා කිරීමේ ශක්තිය නැති විය. නමුත් ඔහුට ඉඟියෙන් කතා කළ හැකි විය. තවද නිරතුරුවම ඔහු අල්ලාහ්ව මෙනෙහි කිරීමට ද පිවිතුරු කිරීමට ද හැකියාවක් ලැබුවේය.
وَإِذْ قَالَتِ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ اصْطَفَاكِ وَطَهَّرَكِ وَاصْطَفَاكِ عَلَىٰ نِسَاءِ الْعَالَمِينَ
“අහෝ මර්යම්! සැබැවින්ම අල්ලාහ් නුඹව තෝරා ගෙන ඇත. තවද නුඹව පවිත්ර කර ඇත. ලෝකවාසී කාන්තාවන්ට වඩා (ඉහළින්) ඔහු නුඹව තෝරා ගෙන ඇතැ”යි මලක්වරුන් පැවසූ අවස්ථාව (සිහිපත් කරවු).
يَا مَرْيَمُ اقْنُتِي لِرَبِّكِ وَاسْجُدِي وَارْكَعِي مَعَ الرَّاكِعِينَ
“අහෝ මර්යම්! නුඹගේ පරමාධිපතිට නුඹ අවනත වවු. තවද සුජූද් කරවු. තවද රුකූඃ කරන්නන් සමග රුකූඃ කරවු.
ذَٰلِكَ مِنْ أَنبَاءِ الْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۚ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يُلْقُونَ أَقْلَامَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ
(නබිවරය,) මේවා ගුප්ත පුවත් අතුරින්ය. අපි එය නුඹට වහී(දේව පණිවිඩය) ලෙස පහළ කරන්නෙමු. මර්යම්ව ඔවුන්ගෙන් කවරෙකු භාර ගන්නේ දැ’යි ඔවුන් ඔවුන්ගේ පෑන් (මගින් සීට්ටු) දැමූ අවස්ථාවේදී නුඹ ඔවුන් අතර නොවීය. තවද ඔවුන් තර්ක කරන අවස්ථාවේදී ද නුඹ ඔවුන් අතර නොවීය.
16මර්යම් තුමියගේ පියා ඇය ඉපදීමට පෙරම මිය ගියේය. එවිට ඇයගේ භාරකාරත්වය පිළිබඳව මතභේදයක් ඇති විය. අවසානයේ දී එය විසඳුමකට පැමිණියේ සීට්ටු දැමීම මගිනි. එය එක්තරා අන්දමක පෑන් මගින් සීට්ටු දැමීමේ ක්රමයකි. එයින් zසකරිය්යා තුමාණන්ට ඇයගේ භාරකාරත්වය හිමි විය.
إِذْ قَالَتِ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍ مِّنْهُ اسْمُهُ الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ وَجِيهًا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمِنَ الْمُقَرَّبِينَ
“අහෝ මර්යම්! සැබැවින්ම අල්ලාහ් තමන්ගෙන් වූ වදනකින් (බිහිවීමට නියමිත ඊසා නබිවරයා පිළිබඳව) නුඹට ශුභාරංචි පවසන්නේය. ඔහුගේ නාමය මසීහ් නම් මර්යම්ගේ පුත් ඊසා ය. (ඔහු) මෙලොවෙහි හා මතු ලොවෙහි ගෞරවයට පත් අයෙකු ලෙස හා (අල්ලාහ්ට) සමීපතයින්ගෙන් කෙනෙකු ලෙසය.” යැයි මලක්වරුන් පැවසූ අවස්ථාව (සිහිපත් කරවු).
17මෙහි වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 3:39 ආයතයට අදාළ පාද සටහන බලන්න.
وَيُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلًا وَمِنَ الصَّالِحِينَ
තවද ඔහු තොටිල්ලෙ(හි සිටි අවදියෙ)හි ද තරුණ වියේ ද ජනයා සමග කතා කරන්නේය. තවද සැදැහැමියන් අතුරින් (කෙනෙකු) ද වන්නේය.
18මෙහි අදහස් වන්නේ මර්යම් තුමිය කිසිදු පිරිමියෙකු ස්පර්ශ නොකළ කන්යාවක්ව සිටියද ඇය දරුවෙකු පිළිසිඳ ගැනීම පිළිබඳව ජනයා චෝදනා කළ අවස්ථාවේදී තොටිල්ලෙහි සිටි දරුවා ඊට පිළිතුරු සැපයීමයි. මෙහි සම්පූර්ණ කථාව සඳහා අල් කුර්ආන් 19:16-31 දක්වා ආයතයන් බලන්න.
قَالَتْ رَبِّ أَنَّىٰ يَكُونُ لِي وَلَدٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ ۖ قَالَ كَذَٰلِكِ اللَّهُ يَخْلُقُ مَا يَشَاءُ ۚ إِذَا قَضَىٰ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ
“මාගේ පරමාධිපතියාණනි, කිසිදු පිරිමියෙකු මා ස්පර්ශ කර නොතිබිය දී මට කෙසේ නම් දරුවෙකු වේදැ?”යි ඇය පැවසුවාය. “මෙලෙසය අල්ලාහ්. ඔහු අභිමත කරන දෑ මවන්නේය. ඔහු යමක් තීරණය කළ විට ඔහු එයට ‘කුන් (වනු)’ යැයි පැවසූ වහාම එය සිදුවනු ඇතැ”යි ඔහු පැවසුවේය.
وَيُعَلِّمُهُ الْكِتَابَ وَالْحِكْمَةَ وَالتَّوْرَاةَ وَالْإِنجِيلَ
ඔහු(අල්ලාහ්, පෙර රසූල්වරුන්ගේ) ධර්ම පුස්තකය(න්) ද ප්රඥාව ද තව්රාතය ද ඉන්ජීලය ද ඔහුට(ඊසාට) උගන්වන්නේය.
وَرَسُولًا إِلَىٰ بَنِي إِسْرَائِيلَ أَنِّي قَدْ جِئْتُكُم بِآيَةٍ مِّن رَّبِّكُمْ ۖ أَنِّي أَخْلُقُ لَكُم مِّنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنفُخُ فِيهِ فَيَكُونُ طَيْرًا بِإِذْنِ اللَّهِ ۖ وَأُبْرِئُ الْأَكْمَهَ وَالْأَبْرَصَ وَأُحْيِي الْمَوْتَىٰ بِإِذْنِ اللَّهِ ۖ وَأُنَبِّئُكُم بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ
තවද ඉස්රාඊල්ගේ දරුවන්ට රසූල්වරයෙකු වශයෙන් ද (ඔහුව අල්ලාහ් පත් කරන්නේ)ය. “නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් රැගෙන සැබැවින්ම මම නුඹලා වෙත පැමිණියෙමි. තවද සැබැවින්ම මැටියෙන් පක්ෂියෙකුගේ හැඩය මෙන් (හැඩයක්) මම නුඹලාට නිර්මාණය කරන්නෙමි. පසුව මම එහි පිඹින්නෙමි. එවිට එය අල්ලාහ්ගේ අනුමැතියෙන් පක්ෂියෙකු වනු ඇත. තවද අල්ලාහ්ගේ අනුමැතියෙන් මම (උත්පත්තියෙන්ම) අන්ධ හා ලාදුරු රෝගීන් සුව කරන්නෙමි. තවද මළවුන්ට ප්රාණය ද දෙන්නෙමි. තවද නුඹලා අනුභව කරන දෑ ද නුඹලාගේ නිවෙස් වල නුඹලා රැස් කර තබන දෑ ද මම නුඹලාට දැනුම් දෙමි. නුඹලා විශ්වාසිකයින්ව සිටියේ නම් මෙහි සැබැවින්ම නුඹලාට සංඥාවක් ඇත.” (යැයි ඊසා පැවසුවේය.)
وَمُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَلِأُحِلَّ لَكُم بَعْضَ الَّذِي حُرِّمَ عَلَيْكُمْ ۚ وَجِئْتُكُم بِآيَةٍ مِّن رَّبِّكُمْ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ
“තවද මට පෙර පැවති තව්රාතයෙන් වූ දෑ සත්ය කරවමින් ද නුඹලාහට තහනම් කරනු ලැබූ දැයින් සමහරක් නුඹලාට මම අනුමත කිරීමට ද (මම පැමිණ ඇත්තෙමි). තවද නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් රැගෙන මම නුඹලා වෙත පැමිණ ඇත්තෙමි. එබැවින් නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද නුඹලා මට අවනත වවු.