පාරා 11

ය'තදිරූන

127 පද්‍ය
📖පාරා

පාරා 11

ය'තදිරූන127 පද්‍ය

الأنفالමදීනී
41

وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ إِن كُنتُمْ آمَنتُم بِاللَّهِ وَمَا أَنزَلْنَا عَلَىٰ عَبْدِنَا يَوْمَ الْفُرْقَانِ يَوْمَ الْتَقَى الْجَمْعَانِ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

(මුස්ලිම්වරුන් හා සතුරන් වන) සේනාංක දෙක මුණගැසුණු දින (එනම් සත්යය හා අසත්යය අතර) නිර්ධාරණ( තීරණ)ය දැක් වූ දින අපගේ ගැත්තා(මුහම්මද්) කෙරෙහි අප පහළ කළ දෑ ද අල්ලාහ්ව ද නුඹලා විශ්වාස කරමින් සිටියෙහු නම්, (යුද පිටියේ සතුරන්ගෙන්) නුඹලා අත්පත් කර ගත් දැයින් පහෙන් කොටසක් අල්ලාහ්ට ද රසූල්වරයාට ද (ඔහුගේ) ඥාතීන්ට ද අනාථයින්ට ද දුප්පතුන්ට ද මගියන්ට ද සතු වන්නේ යැ’යි දැන ගනිවු. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
42

إِذْ أَنتُم بِالْعُدْوَةِ الدُّنْيَا وَهُم بِالْعُدْوَةِ الْقُصْوَىٰ وَالرَّكْبُ أَسْفَلَ مِنكُمْ ۚ وَلَوْ تَوَاعَدتُّمْ لَاخْتَلَفْتُمْ فِي الْمِيعَادِ ۙ وَلَـٰكِن لِّيَقْضِيَ اللَّهُ أَمْرًا كَانَ مَفْعُولًا لِّيَهْلِكَ مَنْ هَلَكَ عَن بَيِّنَةٍ وَيَحْيَىٰ مَنْ حَيَّ عَن بَيِّنَةٍ ۗ وَإِنَّ اللَّهَ لَسَمِيعٌ عَلِيمٌ

(එනම් මදීනාවට) අසලින් පිහිටි මිටියාවතෙහි නුඹලා ද ඈතින් පිහිටි මිටියාවතෙහි ඔවුන් ද (ප්රතික්ෂේපකයින්ගේ) තවලම නුඹලාට පහළින් ද සිටි අවස්ථාවය. 22 නුඹලා (ඔවුන් හා සටන් වැදීමට) එකඟ වී සිටියද එම තීරණයෙන් නුඹලා පසු බසින්නට තිබුණි. එනමුත් සිදු වන්නට තිබූ කරුණ අල්ලාහ් තීරණය කිරීමට ද මරණයට පත් වන අය පැහැදීමකින් මරණයට පත් වන්නට ද ජීවත් වන අය පැහැදීමකින් ජීවත් වන්නට ද (අල්ලාහ් මෙම තත්ත්වය උදා කළේය). 23 තවද සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්රාවකය සර්වඥය.
22මෙම ආයතය බද්ර් යුද්ධයේ එක් දර්ශනයක් පිළිබඳව සඳහන් කරයි. මුස්ලිම්වරුන් මදීනාවට ඉතා සමීපව ඇති මිටියාවතක් අබියස කඳවුරු තනා ගත්තෝය. එය වැලි සහිත ස්ථානයක් වූ හෙයින් එතැන කඳවුරු තැනීමට සුදුසු ස්ථානයක් නොවීය. සතුරන් එම මිටියාවතට විරුද්ධ පසින් වූ අවසාන කොටසෙහි කඳවුරු තනා ගත්තෝය. එතැන කඳවුරු තැනීමට සුදුසු ස්ථානයක් විය. තවද සතුරන්ට තවත් වාසියක් විය. සතුරන්ගේ තවලම ද මිටියාවත මග හැර මුහුද ආසන්න ස්ථානයකට සේන්දු වී තිබුණි. ඔවුන්ට ද අවශ්ය වූයේ නම් සතුරු සේනාවට සහය දැක්වීමට තිබුණි.
23මෙම ආයතය කරුණු දෙකක් අවධාරණය කර ඇත. 1) මුස්ලිම්වරුන් හා සතුරන් සටනට දිනක් හා ස්ථානයක් නියම කර ගැනීමකින් තොරව අහම්බෙන් එකිනෙකා හමුවීමට අවස්ථාවක් අල්ලාහ් ඇති කළේය. 2) අල්ලාහ් මෙවැනි යුද්ධයක් ඇති වීමට තීරණය කළේ මුස්ලිම්වරුන් ජයග්රහණය කිරීම මගින් ඔවුන්ගේ දහමේ සත්යය හෙළි දැක්වීමටය. එතුළින් මිනිසෙකුට ඉස්ලාමය තෝරා ගත හැක. නැතහොත් ප්රතික්ෂේපය තෝරා ගත හැක. එබැවින් අල්ලාහ් මෙම ආයතයේ මරණය යනුවෙන් ප්රතික්ෂේපය ද ජීවිතය යනුවෙන් විශ්වාසය ද වක්රාකාරව අදහස් කර ඇත.
43

إِذْ يُرِيكَهُمُ اللَّهُ فِي مَنَامِكَ قَلِيلًا ۖ وَلَوْ أَرَاكَهُمْ كَثِيرًا لَّفَشِلْتُمْ وَلَتَنَازَعْتُمْ فِي الْأَمْرِ وَلَـٰكِنَّ اللَّهَ سَلَّمَ ۗ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

(නබිවරය) අල්ලාහ් නුඹගේ සිහිනයෙහි ඔවුන්ව ස්වල්පයක් වශයෙන් පෙන් වූ අවස්ථාව (සිහිපත් කරවු). ඔවුන්ව අධික ලෙස නුඹට පෙන්වූයේ නම් නුඹලා අධෛර්යමත් වී (සටන් වැදීම) විෂයෙහි නුඹලා භේද වනු ඇත. එනමුත් අල්ලාහ් ආරක්ෂා කළේය. සැබැවින්ම ඔහු හදවත් තුළ ඇති දෑ පිළිබඳව සර්වඥය.
44

وَإِذْ يُرِيكُمُوهُمْ إِذِ الْتَقَيْتُمْ فِي أَعْيُنِكُمْ قَلِيلًا وَيُقَلِّلُكُمْ فِي أَعْيُنِهِمْ لِيَقْضِيَ اللَّهُ أَمْرًا كَانَ مَفْعُولًا ۗ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ

නුඹලා (යුද පිටියෙහි සතුරන්) මුණගැසුණු විට නුඹලාගේ ඇස් වලට ඔවුන්ව ස්වල්පයක් ලෙස නුඹලාට පෙන්වා සිදු වන්නට තිබෙන කරුණ අල්ලාහ් තීරණය කිරීම පිණිස ඔවුන්ගේ ඇස් වලට නුඹලාව ස්වල්පයක් කළ අවස්ථාව ද (සිහිපත් කරවු). තවද (සියලු) කරුණු නැවත යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතමය.
45

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا لَقِيتُمْ فِئَةً فَاثْبُتُوا وَاذْكُرُوا اللَّهَ كَثِيرًا لَّعَلَّكُمْ تُفْلِحُونَ

විශ්වාස කළවුනි! (යුද පිටියෙහි) නුඹලා (සතුරු) කණ්ඩායමකට මුහුණ දුන්නේ නම් නුඹලා ජයග්රහණය ලබනු පිණිස නුඹලා (එහි) ස්ථාවරව සිටිවු. තවද අධික ලෙස අල්ලාහ්ව සිහිපත් කරවු.
46

وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ وَلَا تَنَازَعُوا فَتَفْشَلُوا وَتَذْهَبَ رِيحُكُمْ ۖ وَاصْبِرُوا ۚ إِنَّ اللَّهَ مَعَ الصَّابِرِينَ

නුඹලා අල්ලාහ්ට ද ඔහුගේ රසූල්වරයාට ද අවනත වවු. නුඹලා භේද නොවවු. එසේ (භේද වූයේ) නම්, නුඹලා අධෛර්යයමත් වී නුඹලාගේ ජීව( බල)ය පහ වී යනු ඇත. තවද නුඹලා ඉවසවු. සැබැවින්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමගය.
47

وَلَا تَكُونُوا كَالَّذِينَ خَرَجُوا مِن دِيَارِهِم بَطَرًا وَرِئَاءَ النَّاسِ وَيَصُدُّونَ عَن سَبِيلِ اللَّهِ ۚ وَاللَّهُ بِمَا يَعْمَلُونَ مُحِيطٌ

උඩඟු ලීලාවෙන් ද මිනිසුනට මුණිච්චා වන ලෙස ද අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයාව) වළක්වමින් ද තමන්ගේ නිවෙස් වලින් (යුද්ධය සඳහා) පිටත් වූවන් ලෙස නුඹලා පත් නොවවු. (එලෙස හැසිරෙන) ඔවුන් කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ප්රකාරයෙන් දැන සිටින්නාය.
48

وَإِذْ زَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ وَقَالَ لَا غَالِبَ لَكُمُ الْيَوْمَ مِنَ النَّاسِ وَإِنِّي جَارٌ لَّكُمْ ۖ فَلَمَّا تَرَاءَتِ الْفِئَتَانِ نَكَصَ عَلَىٰ عَقِبَيْهِ وَقَالَ إِنِّي بَرِيءٌ مِّنكُمْ إِنِّي أَرَىٰ مَا لَا تَرَوْنَ إِنِّي أَخَافُ اللَّهَ ۚ وَاللَّهُ شَدِيدُ الْعِقَابِ

ෂෙයිතාන් ඔවුන්ගේ ක්රියාවන් ඔවුනට අලංකාරමත් කළ අවස්ථාව (සිහිපත් කරවු). තවද “අද දින මිනිසුන් අතුරින් (ජයග්රහණය කොට) නුඹලාව ඉක්මවා යන්නෙකු නැත. සැබැවින්ම මම නුඹලා අසලින් සිටින්නෙකු වෙමි” යැයි ඔහු(ෂෙයිතාන්) පැවසුවේය. නමුත් කණ්ඩායම් දෙක (මුහුණට මුහුණලා) මුණ ගැසුණු විට ඔහු තම විළුඹු මත පසුබැස ගොස් “මම නුඹලාගෙන් වෙන් වෙමි. සැබැවින්ම නුඹලා නොදකින දෑ මම දකිමි. තවද මම අල්ලාහ්ට බිය වෙමි. තවද අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය” යැයි ඔහු(ෂෙයිතාන්) පැවසුවේය. 24
24මෙම ආයතය පවසන්නේ ෂෙයිතාන් කුරෙයිෂ් වංශික ප්රතික්ෂේකයින් අමතා මුස්ලිම්වරුන්ට ප්රහාර එල්ල කරන ලෙස පෙලඹුවේය යන්නය. මෙම ආයතයේ සඳහන් වන පරිදි ෂෙයිතාන් මිනිස් ස්වරූපයෙන් ඔවුන් වෙත පැමිණ ඇතැ’යි නිගමනය කළ හැක. එක් හදීස් දැන්වීමකට අනුව මෙය තහවුරු වී ඇත. එනම් ඉබ්නු අබ්බාස් තුමා දන්වයි : බද්ර් යුද්ධය සඳහා කුරෙයිෂ් ගෝත්රිකයින් තමන්ගේ නිවෙස් වලින් පිට වන විට තමන්ගේ අසල්වැසි ගෝත්රිකයන් හා සතුරන්ව සිටි බක්ර් ගෝත්රිකයන් තමන් නැති අවස්ථාවේ දී තමන්ගේ නිවෙස් වලට ප්රහාරය එල්ල කරනු ඇතැයි ඔවුන් තුළ බියක් ඇති විය. එවිට කුරෙයිෂ්වරුන් අතර ප්රසිද්ධ පුද්ගලයෙකුව සිටි සුරාකාගේ ස්වරූපයෙන් ෂෙයිතාන් පැමිණ බියට පත් එම කුරෙයිෂ්වරුන් අමතා “නුඹලාගේ සතුරන්ගෙන් නුඹලාගේ නිවෙස් හා නුඹලාගේ නිවැසියන්ව මම මාගේ ගෝති්රකයන් මගින් ආරක්ෂා කරන්නෙමි” යැයි පවසා ඔවුන් තුළ තිබූ බිය පහ කළේය. පසුව ඔවුහු බියකින් තොරව යුද්ධයට පිටත් වූහ. ඉන් පසුව බද්ර් යුද පිටියේ ෂෙයිතාන් කුරෙයිෂ්වරුන් සමග එකතු වී “මුස්ලිම්වරුන්ට කිසි දිනක නුඹලාව පරාජයට පත් කළ නොහැක” යැයි පවසමින් සිටියේය. නමුත් කණ්ඩායම් දෙකම එකිනෙකා ගැටෙන්නට පටන් ගත් වහාම මලක්වරුන් මුස්ලිම්වරුන්ට උදවු කිරීමට යුද පිටියට පහළ වූහ. මෙය දුටු ෂෙයිතාන් කුරෙයිෂ්වරුන් අමතා “මම මාගේ පොරොන්දුවට සම්බන්ධ නොවෙමි. තවද මම නුඹලාගෙන් වෙන් වෙමි. සැබැවින්ම නුඹලා නොදකින දෑ මම දකිමි.” යැයි පවසා එහි සිට පලා දිව්වේය.
49

إِذْ يَقُولُ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ غَرَّ هَـٰؤُلَاءِ دِينُهُمْ ۗ وَمَن يَتَوَكَّلْ عَلَى اللَّهِ فَإِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ

ආත්ම වංචනිකයින් හා තම හදවත් වල රෝගය ඇත්තන් (මුස්ලිම්වරුන්ව අමතා) “මොවුන්ගේ දහම මොවුන්ව රවටා දැමුවේ යැ”යි පැවසූ අවස්ථාව (සිහිපත් කරවු). 25 තවද කවරෙකු අල්ලාහ් වෙත (තම සියලු කරුණු) භාර කරන්නේ ද (ඔහු ජය ලබන්නේමය. මන්දයත්) සැබැවින්ම අල්ලාහ් අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය.
25කුඩා සේනාවක්ව සිටි මුස්ලිම්වරුන් විශාල සේනාවක්ව සිටි කුරෙයිෂ්වරුන් සමග සටන් වැදීමට මුහුණලා සිටි අවස්ථාවේ දී ආත්ම වංචනිකයින් මෙසේ ඔවුන් තුළ කතාබහ කර ගත්තෝය. එනම් “මුස්ලිම්වරුන්ගේ දහම මුස්ලිම්වරුන්ට උසස් බලාපොරොත්තු ඇති කළේය. නමුත් ඔවුන් පරාජයට පත් වූයේ නම් සත්යය දැන ගනු ඇත.” යනුවෙන් පැවසුවෝය යන්නයි.
50

وَلَوْ تَرَىٰ إِذْ يَتَوَفَّى الَّذِينَ كَفَرُوا ۙ الْمَلَائِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَارَهُمْ وَذُوقُوا عَذَابَ الْحَرِيقِ

මලක්වරුන් (යුද පිටියෙහි) ප්රතික්ෂේප කළවුන්ව ඔවුන්ගේ මුහුණු වලට ද ඔවුන්ගේ පිට වලට ද පහර දෙමින් “ඇවිළෙන ගින්නෙහි දඬුවම භුක්ති විඳිවු” යැයි (පවසමින්) ඔවුන්ව මරණයට පත් කරන අවස්ථාවෙහි (ඔවුන්ගේ තත්ත්වය) නුඹ දකින්නේ නම් (එවිට නුඹට භයානක දැයක් දර්ශනය වනු ඇත).
51

ذَٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ اللَّهَ لَيْسَ بِظَلَّامٍ لِّلْعَبِيدِ

මෙ(ම භයානක තත්ත්ව)ය නුඹලාගේ දෑත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් හා අල්ලාහ් ගැත්තන්ට මහා අපරාධකරුවෙකු නොවන හේතුවෙන්ය.
52

كَدَأْبِ آلِ فِرْعَوْنَ ۙ وَالَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَفَرُوا بِآيَاتِ اللَّهِ فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ ۗ إِنَّ اللَّهَ قَوِيٌّ شَدِيدُ الْعِقَابِ

(මොවුන්ගේ චරිතය ද) ෆිර්අවුන්ගේ පිරිසගේ හා ඔවුනට පෙරවූවන්ගේ චරිතය මෙනි. ඔවුන් අල්ලාහ්ගේ සංඥාවන් ප්රතික්ෂේප කළෝය. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ පාපකම් හේතුවෙන් ඔවුන්ව ග්රහණය කළේය. සැබැවින්ම අල්ලාහ් ශක්තිවන්තය. දඬුවම් දීමෙහි ඉතා දැඩිය.
53

ذَٰلِكَ بِأَنَّ اللَّهَ لَمْ يَكُ مُغَيِّرًا نِّعْمَةً أَنْعَمَهَا عَلَىٰ قَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا مَا بِأَنفُسِهِمْ ۙ وَأَنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ

මෙයට හේතු වන්නේ කිසිදු සමූහයක් ඔවුන් සමග වූ (යහමගට රැගෙන යන) දෑ (පිටුපෑමක් ලෙස) වෙනස් කරගන්නා තුරු අල්ලාහ් ඔවුනට කළ කිසිදු දායාදයක් ඔහු (ව්යසනයක් ලෙස) වෙනස් කරන්නෙකු නොවීමය. තවද අල්ලාහ් සර්ව ශ්රාවකය සර්වඥය.
54

كَدَأْبِ آلِ فِرْعَوْنَ ۙ وَالَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَّبُوا بِآيَاتِ رَبِّهِمْ فَأَهْلَكْنَاهُم بِذُنُوبِهِمْ وَأَغْرَقْنَا آلَ فِرْعَوْنَ ۚ وَكُلٌّ كَانُوا ظَالِمِينَ

(මොවුන්ගේ චරිතය ද) ෆිර්අවුන්ගේ පිරිසගේ හා ඔවුනට පෙරවූවන්ගේ චරිතය මෙනි. ඔවුන් තමන්ගේ පරමාධිපතිගේ සංඥාවන් අසත්යය කළෝය. එබැවින් ඔවුන්ගේ පාපකම් හේතුවෙන් ඔවුන්ව අපි විනාශ කළෙමු. තවද ෆිර්අවුන්ගේ සේනාව අපි මුහුදුබත් කළෙමු. තවද ඔවුහු සියල්ලෝම අපරාධකරුවන් වූහ.
55

إِنَّ شَرَّ الدَّوَابِّ عِندَ اللَّهِ الَّذِينَ كَفَرُوا فَهُمْ لَا يُؤْمِنُونَ

සැබැවින්ම අල්ලාහ් අබියස ඉතා නපුරු ජීවීන් වන්නේ (සත්යය) ප්රතික්ෂේප කළවුන්ය. ඔවුහු විශ්වාස නොකරති.
56

الَّذِينَ عَاهَدتَّ مِنْهُمْ ثُمَّ يَنقُضُونَ عَهْدَهُمْ فِي كُلِّ مَرَّةٍ وَهُمْ لَا يَتَّقُونَ

ඔවුන් කවුරුන්ද යත් ඔවුන් සමග නුඹ ගිවිසුම් කර ගත් පසු තමන්ගේ ගිවිසුම සෑම වාරයකදීම කඩ කරන්නන්ය. තවද ඔවුහු (අල්ලාහ්ට) බිය භක්තිමත් නොවෙති. 26
26මෙයින් අදහස් වන්නේ යුදෙව්වන්වය. නබි මුහම්මද් තුමා මදීනාවට දේශාන්තරණය කළ වහාම ඔවුන් සමග ගිවිසුමක් ඇති කර ගත්තේය. එම ගිවිසුමෙහි මුස්ලිම්වරුන් හා යුදෙව්වන් ඔවුන් අතර සාමයෙන් ජීවත් විය යුතු යැයි ද ඔවුනොවුන් අන් පාර්ශවයන්ගේ සතුරන්ට උදවු නොකළ යුතු යැයි ද සඳහන් වී තිබුණි. නමුත් එම යුදෙව්වන් බද්ර් යුද්ධයේදී මුස්ලිම්වරුන් පරාජය වී ඉස්ලාමීය පාලනය අවසන් වේ යැයි සිතා මුස්ලිම්වරුන්ට විරුද්ධව කුරෙයිෂ්වරුන්ට උදවු කර එම ගිවිසුම උල්ලංඝනය කළෝය. නමුත් මුස්ලිම්වරුන්ගේ ජයග්රහණයට පසුව ඔවුහු නබි මුහම්මද් තුමාගෙන් සමාව අයැද සිටියෝය. එතුමා ද සමාව දුන්නේය. එහෙත් ඉන් පසුව ඇති වූ උහුද් හා අහ්zසාබ් වැනි යුද්ධයන්හි ද ඔවුන් නැවත නැවත එම ගිවිසුම උල්ලංඝනය කළෝය.
57

فَإِمَّا تَثْقَفَنَّهُمْ فِي الْحَرْبِ فَشَرِّدْ بِهِم مَّنْ خَلْفَهُمْ لَعَلَّهُمْ يَذَّكَّرُونَ

එබැවින් යුද්ධයේ දී නුඹ ඔවුන්ව හසුකර ගත්තේ නම් ඔවුන්ගේ පිටුපසින් සිටින අය පාඩමක් ලබනු පිණිස ඔවුන් සීසීකඩ යන්නා සේ මොවුනට කරවු.
58

وَإِمَّا تَخَافَنَّ مِن قَوْمٍ خِيَانَةً فَانبِذْ إِلَيْهِمْ عَلَىٰ سَوَاءٍ ۚ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْخَائِنِينَ

යම් පිරිසක් වංචාවක් කරති’යි නුඹ බිය වන්නෙහි නම් නුඹ ද (ඔවුන් හා) සමාන( පැහැදීමකින් යුක්ත)ව ඔවුන් වෙත (ඔවුන්ගේ ගිවිසුම) අත් හැර දමවු. 27 සැබැවින්ම අල්ලාහ් වංචනිකයින්ව ප්රිය නොකරයි.
27මෙයින් අදහස් කරන්නේ ගිවිසුමක් අවලංගු කරන්නේ නම් එය ප්රසිද්ධියේ අවලංගු කළ යුතුයි යන්නය. මන්දයත් එමගින් සතුරන් එම ගිවිසුම සමග කිසිදු සම්බන්ධකමක් නැතැ’යි දැන ගනු පිණිසය. ගිවිසුම ප්රසිද්ධියේ අවලංගු නොකර කෙනෙකු එහි කොන්දේසි වලට එරෙහිව කි්රයා කිරීමට අනුමැතියක් නොමැත.
59

وَلَا يَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا سَبَقُوا ۚ إِنَّهُمْ لَا يُعْجِزُونَ

ප්රතික්ෂේප කළවුන් තමන් (අල්ලාහ්ගේ දඬුවමින්) මිදුණු බව නොසිතිය යුතුය. සැබැවින්ම ඔවුහු (දඬුවමින්) නොමිදෙන්නෝය.
60

وَأَعِدُّوا لَهُم مَّا اسْتَطَعْتُم مِّن قُوَّةٍ وَمِن رِّبَاطِ الْخَيْلِ تُرْهِبُونَ بِهِ عَدُوَّ اللَّهِ وَعَدُوَّكُمْ وَآخَرِينَ مِن دُونِهِمْ لَا تَعْلَمُونَهُمُ اللَّهُ يَعْلَمُهُمْ ۚ وَمَا تُنفِقُوا مِن شَيْءٍ فِي سَبِيلِ اللَّهِ يُوَفَّ إِلَيْكُمْ وَأَنتُمْ لَا تُظْلَمُونَ

අල්ලාහ්ගේ සතුරාව ද නුඹලාගේ සතුරාව ද ඔවුන් හැර සෙසු අයව ද බිය ගැන්විය හැකි අයුරින් නුඹලාට හැකි සන්නද්ධ බලයෙන් හා අශ්ව බලඇණියෙන් ඔවුනට එරෙහිව සූදානම් කරවු. (සෙසු අය වන) ඔවුන්ව නුඹලා නොදන්නෙහුය. (නමුත්) අල්ලාහ් ඔවුන්ව දන්නේය. නුඹලා කවර දෙයක් අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කළ ද එ(හි වේතන)ය නුඹලාට මුළුමණින්ම පිරිනමනු ලැබේ. තවද නුඹලා අසාධාරණයට ලක් කරනු නොලබන්නෙහුය.
61

وَإِن جَنَحُوا لِلسَّلْمِ فَاجْنَحْ لَهَا وَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ

(නබිවරය,) ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම්, නුඹ ද ඒ වෙත නැඹුරු වවු. 28 තවද අල්ලාහ් වෙත (සියලු) විශ්වාසය තබවු. සැබැවින්ම ඔහු සර්ව ශ්රාවකය සර්වඥය.
28ඉස්ලාමය සැම විටම සාමය හා සහජීවනය ඉතා ප්රිය කරන්නක් හා එය ලොව පුරා පැතිරිය යුතු යැයි පතන්නක් බව ‘ඉස්ලාම්’ යන නාමයෙන්ම තහවුරු වන්නේය. මන්දයත් ‘ඉස්ලාම්’ යනු ‘සලාම්’ යන පදයෙන් බෙදී ආ එකකි. ‘සලාම්’ යනු ශාන්තිය, සාමය, සමාදානය යන අර්ථය ගෙන දෙන අතර අභයදායීභාවය, ආරක්ෂාව යන තවත් අර්ථයක් ද එයට ඇත. එබැවින් මුස්ලිම්වරයෙකු නම් තමන්ගෙන් අනෙකාට අභයදායීභාවය හා ශාන්තිය ඇති වන අයුරින් හැසිරිය යුතුය. “කවරෙකුගේ දිවෙන් හා දෑතින් (ඇතිවන හිංසාවෙන්) අන් අය ආරක්ෂා වන්නේද ඔහුමය සත්යය මුස්ලිම්වරයා” යැයි නබි මුහම්මද් තුමාණන් පවසා ඇත්තේය. කෙනෙකු තවත් පුද්ගලයෙකුව මුණගැසෙන අවස්ථාවේදී හෝ බොහෝ අවස්ථාවන් වලදී එකා අනෙකාට ‘සලාම්’ හෙවත් ‘අස්සලාමු අලෙයිකුම්’ (නුඹලා කෙරෙහි ශාන්තිය, සමාදානය හා අභයදායී තත්ත්වයක් ඇති වේවා!) යන්නෙන් පැතිය යුතුයි යැයි ඉස්ලාමයෙහි ආගමානුගත කර ඇත්තේ ද මෙනිසාය. තවද “(නබිවරය,) සමස්ත විශ්වයන්ට දයාලුවක් වශයෙන් මිස අපි නුඹව (නබිවරයෙකු ලෙස) නොඑව්වෙමු.” යැයි අල්ලාහ් අල් කුර්ආනයෙහි නබි මුහම්මද් තුමාණන් අමතා පවසා ඇත. මුළු විශ්ව වැසියන් හට අල්ලාහ්ගේ දයාලුභාවය හා කරුණාව ලැබිය යුතු යැයි ඉස්ලාමය පතන බව මෙම ආයතය පැහැදිලි කරන්නේය. මිනිසුන් අතර කිසිදු භේදයකින් තොරව සදා පැවතිය යුතු සහජීවනය උදෙසා ඉස්ලාමය නොයෙකුත් අන්දමින් ප්රයත්නය දරන්නක් බවට ඉතිහාසය සාක්ෂි දරන බව ඉතිහාසය අධ්යයනය කරන කිසිවෙකුටත් ප්රතික්ෂේප කළ නොහැක. සහජීවනය උදෙසා ඉස්ලාමය වෙර දරා ඇති අන්දම ඓතිහාසික බැල්මෙන් මඳක් අප අවධානය යොමු කිරීම උචිතය. මුස්ලිම්වරුන් තම පාලනයන්, තම ගිවිසුම් හා තම කටයුතු පවත්වාගෙන යෑමේදී මුස්ලිම් නොවන්නන්ගේ වස්තූන්, අයිතිවාසිකම්, ජීවිත, දේවස්ථාන හා ආගමික සහ සංස්කෘතික කටයුතු ආරක්ෂා කිරීමට ප්රමුඛත්වය දීම. 1. ‘නජ්රාන් වැසියන් හා ඔවුන් සමග සිටින්නන් අල්ලාහ්ගේ ආරක්ෂාවෙහි හා ඔහුගේ දූතයාණන් වූ නබි මුහම්මද්ගේ වගකීමෙහි සිටිති. ඔවුන්ගේ ජීවිත, දහම, ඉඩකඩම් ඇතුළු සියලු දේපල, මෙහි සිටින්නන් හා නොසිටින්නන්, ආගමික නැමදුම් ස්ථාන යනාදීන්, තවද ඔවුන්ගේ පවුලේ උදවිය හා ඔවුන්ව පිළිපදින්නන් යන සියල්ලන් කෙරෙහිම මෙහි ආරක්ෂාව හා වගකීම හිමි වේ. ඔවුන්ගේ අයිතිවාසිකමින් හෝ ඔවුන්ගේ දහමින් හෝ කිසිවක් වෙනස් කරනු නොලැබේ. තවද කිසිදු පූජකවරයෙකු හෝ පැවිද්දෙකු තමන්ගේ පදවියෙන් ඉවත් නොකෙරේ. නිත්යානුකූලව ඔවුන්ගේ දෑත් යට ඇති විශාල හෝ කුඩා සෑම දෙයක්ම ඔවුන් සතු දෑය.’ යනුවෙන් නබි මුහම්මද් තුමාණන් වෙත නජ්රාන් දේශයේ සිට පැමිණි කිතුනු නියෝජිත කණ්ඩායමක් සමග එතුමාණන් කර ගත් ගිවිසුමෙහි සඳහන් වී ඇත. (උපුටා ගැනීම : දලාඉලුන් නුබුව්වා කුදූමු ළමාම් ඉබ්නු තඃලබා) 2.(නබි මුහම්මද් තුමාණන්ගෙන් පසු දෙවන කලීෆා හෙවත් පාලකයා වූ උමර් තුමා විසින් ඊලියා ප්රදේශවාසී කිතුනුවන් සමග කරන ලද ගිවිසුමක පහත අයුරින් සඳහන් වී ඇත.) ‘මෙය අල්ලාහ්ගේ ගැත්තා හා ඉස්ලාමීය පාලකයා වන උමර් බින් අල් කත්තාබ් තුමාණන් විසින් මුස්ලිම් නොවන ජනයාට දෙනු ලබන ආරක්ෂාව පිළිබඳව වූ ප්රඥාප්තියයි. ඔවුන්ගේ ජීවිත, වස්තූන්, දෙව් මැදුරු, කුරුසියන් හා මුළු ප්රජාවම ආරක්ෂා කිරීමට සහතික වෙමි. ඔවුන්ගේ දෙව් මැදුරු බලෙන් අල්ලා ගැනීම, බිඳ හෙළීම හෝ හානි සිදු කිරීම නොකළ යුතුය. ඔවුන්ගේ කුරුසියන් හෝ ඔවුන් සතු කිසිවක් කෙරෙහි අත නොතැබිය යුතුය. ඔවුන්ව තම දහම අත්හරින ලෙස බල කරනු නොලබන අතර ඔවුනට කිසිදු ආකාරයක හානියක් සිදු නොකළ යුතුය.’ (උපුටා ගැනීම : අත් තාරීකුත් තබරී) 3. ඉතිහාසඥයින් දැනුවත්ව ඇති පරිදි ජෙරුසලමෙහි පිහිටා ඇති ‘යාච්ඥා විලාප ප්රකාරය’ (Wailing Wall in Jerusalem) යුදෙව් දහමේ අති පාරිශුද්ධ නැමදුම් ස්ථාන අතුරින් එකකි. කලකට පෙර එම ස්ථානය සුන්බුන් වී ගල් කැබලි වලින් සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබුණි. ඔටෝමාන් ඉස්ලාමීය පාලකයා වූ සුල්තාන් සුලෙයිමාන් මේ බව දැනගත් විගස ජෙරුසලමේ ආණ්ඩුකාරවරයාට උපදෙස් දෙමින් ‘යාච්ඥා විලාප ප්රකාරය’ පිහිටි ස්ථානය සම්පූර්ණයෙන්ම ප්රතිසංසස්කරණය කොට ගල් කැබලි ඉවත් කොට පිරිසිදු තත්ත්වයට පත් කර යුදෙව්වන්ට එම ස්ථානයට පිවිසීමට පහසුකම් සලසා දෙන ලෙස නියෝග කරන ලදී. (උපුටා ගැනීම : තසාමුහුල් ගර්බ් මඅල් මුස්ලිමීන්) මුස්ලිම් නොවන ජනයාට සමානාත්මතාව, යුක්තිය හා සාධාරණය භුක්ති විඳීමට නිදහස ලබා දීම. 1. ‘ඉස්ලාමීය ෂරීආව මුස්ලිම් නොවන ජනයාට වෘත්තීන්හි නියැළීමේ අවස්ථාවන් වසා දැමුවේ නැත. ඔවුන් ඉතා ඵලදායී උසස් වෘත්තීන්හි නියැළී සිටියහ. ඔවුන් ඉස්ලාමීය රාජ්යයන්හි මුදල් හුවමාරු කරන්නන්, ව්යාපාරිකයින්, රන් ආභරණ වෙළඳුන්, වෛද්යවරුන් හා ඉඩම් හිමියන් ලෙස කටයුතු කළහ. ඉතාමත් ඵලදායී අයුරින් ඔවුන් සංවිධානය වී සිටියහ. සිරියාවෙහි බොහෝ මුදල් හුවමාරු කරන්නන් හා රන් ආභරණ වෙළඳුන් ලෙස සිටියේ යුදෙව්වන් වූ අතර බොහෝ වෛද්යවරුන්, ලිපිකරුවන්, හා ලේඛකයින් ලෙස සිටියේ කිතුනුවන්ය. බැග්ඩෑඩ්හි කලීෆාවරයාගේ(ඉස්ලාමීය පාලකයාගේ) වෛද්යවරයා ලෙස කටයුතු කළේ කිතුනුවන්ගේ නායකයා වූ අතර යුදෙව්වන්ගේ නායකයින් හා යුදෙව් ව්යාපාරිකයින් කලීෆාවරයාගේ සේවකයින් ලෙස සිටියහ.’ (‘The Islamic Civilization in the Fourth Century’-Mitz Adam/‘Jews & Cristians’-Ref Section) 2. දිම්මි ප්රතික්ෂේපකයින්ව (එනම් ඉස්ලාමීය රාජ්යක ජීවත් වන මුස්ලිම් නොවන ජනයාව) ශාරීරික හානියෙන් ආරක්ෂා කිරීම පමණක් නොව ඔවුන්ව සියලුම ආකාරයේ වාචික අපහාසාත්මක ක්රියාවන්ගෙන් ද ආරක්ෂා කිරීම ඉස්ලාමීය රාජ්යයක වගකීම වේ. මුස්ලිම්වරුන්ට සමාන අයුරින් දිම්මිවරුන් සම්බන්ධයෙන් ද සාධාරණ හේතුවකින් තොරව අපහාසාත්මක කිසිවක් ඔවුනට පැවසීම සහමුලින්ම තහනම්ය. (උපුටා ගැනීම : අල් ෆුරූක්) නබි මුහම්මද් තුමාණන් හා අනෙකුත් මුස්ලිම්වරුන් මදීනාවෙහි තම මුස්ලිම් නොවන අසල්වැසියන් සමග යහ අයුරින් හැසිරීම, ඔවුනට ත්යාග පිරිනැමීම හා ඔවුන්ගේ ත්යාගයන් පිළිගැනීම. 1. නබි මුහම්මද් තුමාණන්ගේ අසල්වැසියා වූයේ යුදෙව්වෙකුය. එසේ තිබියදීත් “කවරෙකුගේ අසල්වැසියා තම හිංසා අපරාධවලින් ආරක්ෂාව නොලබන්නේද, ඔහු සත්ය විශ්වාසිකයෙකු නොවේ.” යැයි නබි මුහම්මද් තුමාණන් අල්ලාහ් මත දිවුරා පවසා ඇත. (මූලාශ්රය : සහීහුල් බුහාරි) 2. සහාබිවරයෙකු වන ඉබ්නු අම්ර් තුමාණන් වරක් ඔහුගේ පවුල තුළ කෑමට එළුවෙකු පිසා තිබූ අවස්ථාවේ “අපගේ අසල්වැසි යුදෙව්වාට (මෙයින්) පිරිනැමුවේදැ”යි විමසූහ. “නැත” යැයි පවුලේ උදවිය පිළිතුරු දුන්හ. එවිට “ඔවුනට ද මෙයින් පිරිනමන්නැ”යි ඔහු පැවසීය. (මූලාශ්රය : අහ්මද්) 3. මුකව්කස් හා කිස්රා නමැති කිතුනු රජවරුන් වෙතින් පැමිණි ත්යාගයන් නබි මුහම්මද් තුමාණන් සතුටින් පිළිගෙන ඇත. රජවරුන් පමණක් නොව මුස්ලිම් නොවන සාමාන්යය ජනයා වෙතින් පැමිණි ත්යාගයන් ද සතුටින් පිළිගෙන ඇත. මුස්ලිම් නොවන සහෝදරයෙකු අසනීප වී සිටින විට ඔවුන්ව සුවදුක් විමසීමට යෑම හා ඔවුන්ගෙන් මරණයට පත් වූ අයගේ දේහයට ගෞරව කිරීම. 1. නබි මුහම්මද් තුමාණන් හට සේවය කරමින් සිටි යුදෙව් ළමයෙකු අසනීප තත්ත්වයකට පත් වූ අවස්ථාවක එතුමාණන් ඔහුගේ සුව දුක් විමසීම සඳහා ගොස් ඇත. (මූලාශ්රය : සහීහුල් බුහාරි) 2. විටෙක අයෙකුගේ දේහයක් ගෙන යනු දුටු නබි මුහම්මද් තුමාණන් නැගිට ඊට ආචාර කළහ. “එය යුදෙව් ජාතිකයකුගේ දේහයක්” යැයි පවසනු ලැබූ කල, එතුමාණන් “එය මනුෂ්ය ආත්මයක් නොවේ දැ”යි විමසූහ. (මූලාශ්රය: සහීහුල් බුහාරි) මුස්ලිම් නොවන පුද්ගලයින් සමග මුස්ලිම්වරුන් ගනුදෙනුවල යෙදීම හා ඔවුන්ගේ හැකියාවන් තුළින් ප්රයෝජන ගැනීම. 1. නබි මුහම්මද් තුමාණන් යුදෙව් ජාතිකයෙකුගෙන් ආහාර වර්ගයක් ණයට ගෙන ඒ වෙනුවට තම යුද කවසම ඔහු අබියස උකසට තබා ඇත. (මූලාශ්රය : සහීහුල් බුහාරි) මෙය පමණක් නොව තවත් විටෙක නබි මුහම්මද් තුමාණන් තවත් යුදෙව්වෙකුගෙන් ණයක් ගෙන සිටි අවස්ථාවක ණය හරවා දීමේ දිනයට පෙරම එම යුදෙව්වා පැමිණ අයුතු ආකාරයකින් තම ණය ඉල්ලා සිටිය ද එතුමාණන් යහ අයුරින් හැසිරී ඔහුගේ ණය හරවා දුන්නේය. 2. අබ්දුල්ලාහ් බින් උරෙයිකිත් නැමැත්තා අන්ය ආගමිකයෙකුව සිටියද නබි මුහම්මද් තුමාණන් ගමනක යෙදෙන විට ඔහුව තම මාර්ගෝපදේශකයෙකු ලෙස කුලියට ගත්හ. ඔහු ගමන් මාර්ගයන් පිළිබඳව හොඳ දැනුමැත්තෙකුව සිටියේය. (මූලාශ්රය : සහීහුල් බුහාරි) ඉස්ලාමයෙහි සහජීවනය සඳහා වූ වැදගත්කම හා ප්රමුඛත්වය පිළිබඳව ඉහත සඳහන් ඓතිහාසික සාධක තුළින් පැහැදිලි වන්නේය. එබැවින් මෙම යථාර්ථය අවබෝධ කරගෙන සමස්ත මුස්ලිම් ප්රජාව මුස්ලිම් නොවන සහෝදරයින් සමග නබි මුහම්මද් තුමාණන් කටයුතු කළ ආකාරය ආදර්ශයක් ලෙස ගෙන ජීවත් වීම තුළින් හා මුස්ලිම් නොවන්නන් ඉහත සඳහන් කරුණු පැහැදිලිවම අවබෝධ කරගෙන මුස්ලිම්වරුන් සමග අන්යෝන්ය ලෙස කටයුතු කිරීම තුළින් ලොවෙහි සහජීවනය ඉතාමත් ශක්තිමත් වනු ඇත.
62

وَإِن يُرِيدُوا أَن يَخْدَعُوكَ فَإِنَّ حَسْبَكَ اللَّهُ ۚ هُوَ الَّذِي أَيَّدَكَ بِنَصْرِهِ وَبِالْمُؤْمِنِينَ

ඔවුන් නුඹට වංචා කිරීමට අපේක්ෂා කරන්නේ නම් අල්ලාහ් නුඹට ප්රමාණවත් වන්නේය. තම උදව් උපකාරයෙන් හා විශ්වාසිකයින් මගින් නුඹව බලවත් කළේ ඔහුමය.
63

وَأَلَّفَ بَيْنَ قُلُوبِهِمْ ۚ لَوْ أَنفَقْتَ مَا فِي الْأَرْضِ جَمِيعًا مَّا أَلَّفْتَ بَيْنَ قُلُوبِهِمْ وَلَـٰكِنَّ اللَّهَ أَلَّفَ بَيْنَهُمْ ۚ إِنَّهُ عَزِيزٌ حَكِيمٌ

තවද ඔහු (විශ්වාසික) ඔවුන්ගේ හදවත් අතර බැඳියාව ඇති කළේය. නුඹ මිහිතලයේ ඇති සියල්ල (ඔවුන්ව සමාදාන කිරීමට) වියදම් කළ ද ඔවුන්ගේ හදවත් අතර බැඳියාව ඇති කරවාලිය නොහැක. නමුත් අල්ලාහ් ඔවුන් අතර බැඳියාව ඇති කළේය. සැබැවින්ම ඔහු අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය.
64

يَا أَيُّهَا النَّبِيُّ حَسْبُكَ اللَّهُ وَمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ

අහෝ නබිවරය! අල්ලාහ් නුඹට ප්රමාණවත්ය. තවද විශ්වාසිකයින් අතුරින් නුඹව පිළිපැද්දවුන් ද (ප්රමාණවත්ය).
65

يَا أَيُّهَا النَّبِيُّ حَرِّضِ الْمُؤْمِنِينَ عَلَى الْقِتَالِ ۚ إِن يَكُن مِّنكُمْ عِشْرُونَ صَابِرُونَ يَغْلِبُوا مِائَتَيْنِ ۚ وَإِن يَكُن مِّنكُم مِّائَةٌ يَغْلِبُوا أَلْفًا مِّنَ الَّذِينَ كَفَرُوا بِأَنَّهُمْ قَوْمٌ لَّا يَفْقَهُونَ

නබිවරය! විශ්වාසිකයින්ව සටනට දිරිගන්වවු. නුඹලා අතුරින් ඉවසිලිවන්ත විසි දෙනෙකු වේ නම් ඔවුහු දෙසීය දෙනෙකු අබිබවා යන්නෝය. නුඹලා අතුරින් සිය දෙනෙකු වේ නම් ඔවුහු ප්රතික්ෂේප කළවුන් අතුරින් දහසක් දෙනා අබිබවා යන්නෝය. හේතුව (ප්රතික්ෂේපක) ඔවුන් අවබෝධ කර නොගන්නා පිරිසක් බැවිනි. 29
29මෙම ආයතය පහළ වූයේ හා මෙම යුද්ධය සිදුවූයේ පහත සිදුවීම් පසුබිම් කරගනිමින්ය. මුස්ලිම්වරුන් ප්රතික්ෂේපකයින්ගේ අපරාධයට ලක්ව තමන්ගේ මාතෘ භූමිය වන මක්කාවෙන් පිටුවහල් කරනු ලැබුවෝය. තවද මදීනා නගරයට දේශාන්තරණය කළ ඇතැම් මුස්ලිම්වරුන්ගේ සමීප ඥාතීන්ව ද ප්රතික්ෂේපකයින් විසින් මක්කාවෙහි රඳවා තබා ගත්තෝය. ‘බද්ර්’ සටන සිදු වූයේ මෙවන් තත්ත්වයක් මුල්කර ගෙනය. එවිට ප්රතික්ෂේපකයින්ගේ සේනාව සමග සසඳා බැලූ කල මුස්ලිම්වරුන්ගේ සේනාව සංඛ්යාවෙන් හා සන්නද්ධ බලයෙන් ඉතා බලහීන හා අපොහොසත් තත්ත්වයක සිටියහ. එබැවින් තමන්ට සිදු වූ අපරාධ වලට ප්රතිප්රහාරයක් වශයෙන් කරන මෙම සටනින් මුස්ලිම්වරුන් පසුබට නොවිය යුතු හෙයින් මොවුන්ව දිරිගන්වනු පිණිස ‘නුඹලාගේ සංඛ්යාවේ අපොහොසත්කම දෙස නොබලවු. තම අරමුණ දෙස පමණක් බලවු. නුඹලා ස්වල්ප දෙනෙකු වුවද අධික පිරිසක් අබිබවා ජයග්රහණය කරන්නෙහුය.’ යනුවෙන් පවසනු ලැබ ඇත. දැන් අප අවධානය යොමු කළ යුතු කරුණ නම්, “මුස්ලිම්වරුන් අන්යය ආගමිකයින් අතුරින් කුමන පිරිසට එරෙහිව ‘සටන් වැදිය යුතු’ යැයි දිරිගන්වනු ලැබුවේ ද?” යන්නයි. එනම් එකල මුස්ලිම්වරුන්ට ‘සටන් වදින’ ලෙස දිරිගන්වනු ලැබුවේ තමන්ට නොනවතින රැළි මෙන් ප්රථමයෙන් ඉදිරිපත් වී ප්රහාර එල්ල කළ, තම ජීවිත හා සම්පත් සූරා ගැනීමට තැත් කළ ප්රතික්ෂේපකයින්ට එරෙහිව යන්නය. මෙවන් අවස්ථාවක දී තමන්ට අපරාධිතව හිංසා හා ප්රහාර එල්ල කළ පිරිසට එරෙහිව ප්රතිප්රහාරයක් ලෙස සටන් වැදීමට අවස්ථාවක් එළඹී තිබිය දී පසුබට නොවී සටන් වැදීමට දිරිගැන්වීම අනිවාර්යය කරුණක් නොවේ ද? සතුරන් විසින් තම රටට ප්රහාර එල්ල කරනු ලබන විට තම මව්බිම ආරක්ෂා කරනු පිණිස රටේ වැසියන් සතුරන්ට එරෙහිව සටනෙහි පිවිසීම කෙරෙහි දිරිගැන්වීම ලොවෙහි සෑම රාජ්යයකම දක්නට තිබෙන කරුණකි.
66

الْآنَ خَفَّفَ اللَّهُ عَنكُمْ وَعَلِمَ أَنَّ فِيكُمْ ضَعْفًا ۚ فَإِن يَكُن مِّنكُم مِّائَةٌ صَابِرَةٌ يَغْلِبُوا مِائَتَيْنِ ۚ وَإِن يَكُن مِّنكُمْ أَلْفٌ يَغْلِبُوا أَلْفَيْنِ بِإِذْنِ اللَّهِ ۗ وَاللَّهُ مَعَ الصَّابِرِينَ

නමුත් වර්තමානයේ අල්ලාහ් නුඹලාට සහනයක් ලබා දුන්නේය. නුඹලා අතර දුබලත්වයක් ඇති බව ඔහු දන්නේය. නුඹලා අතුරින් ඉවසිලිවන්ත සිය දෙනෙකු වේ නම් ඔවුහු දෙසීය දෙනෙකු අබිබවා යන්නෝය. තවද නුඹලා අතුරින් දහසක් දෙනා වේ නම් අල්ලාහ්ගේ අනුබලයෙන් දෙදහසක් දෙනා ඔවුහු අබිබවා යන්නෝය. 30 තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් සමගය.
30මෙම ආයතය මෙම සූරාවෙහි 15 හා 16 වන ආයතයන් වල නීතිය පරිපූර්ණ කරන්නේය. ඒවායෙහි සතුරන්ට මුහුණ දීමෙන් මුස්ලිම්වරුන් පලා යෑම තහනම් කර ඇත. නමුත් මෙම ආයතයෙහි එසේ පලා යන්නේ නම් එයට අදාළ සීමාවන් පනවා ඇත.
67

مَا كَانَ لِنَبِيٍّ أَن يَكُونَ لَهُ أَسْرَىٰ حَتَّىٰ يُثْخِنَ فِي الْأَرْضِ ۚ تُرِيدُونَ عَرَضَ الدُّنْيَا وَاللَّهُ يُرِيدُ الْآخِرَةَ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ

මිහිතලයෙහි (අපරාධකාර සතුරන්) මර්දනය කරන තෙක් තමන්ට (යුද) සිරකරුවන් අත්කර ගැනීමට කිසිදු නබිවරයෙකුට (බලයක්) නොමැත. 31 නුඹලා මෙලොව වස්තූන් අපේක්ෂා කරන්නෙහුය. (නමුත්) අල්ලාහ් (නුඹලාට) මතුලොව අපේක්ෂා කරන්නේය. තවද අල්ලාහ් අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය.
31කුරෙයිෂ්වරුන් අතුරින් ප්රකට හැත්තෑ දෙනෙකු බද්ර් යුද්ධයේදී සිරගත කරනු ලැබුවෝය. ඔවුන් සමග කෙසේ කටයුතු කළ යුතු දැයි නබි මුහම්මද් තුමා සහාබිවරුන්ගෙන් අදහස් විමසුවේය. අබූ බක්ර් තුමා ඇතුළු බොහෝ සහාබිවරුන්ගේ අදහස වූයේ ඔවුන්ගෙන් වන්දියක් ගෙන ඔවුන්ව නිදහස් කළ යුතුය යන්නය. උමර් තුමා හා සඃද් ඉබ්නු මුආද් තුමාගේ අදහස වූයේ ඔවුන්ව ඝාතනය කළ යුතුය යන්නය. මන්දයත් මෙමගින් කුරෙයිෂ්වරුන්ගේ බලය හීන වීමට ද ඔවුන් මුස්ලිම්වරුන්ට විරුද්ධව යළි පහර නොදී සිටීමට ද එය හේතු වන බැවිනි. නමුත් නබි මුහම්මද් තුමා බහුතරයකගේ මතය පිළිගෙන කි්රයාවට නැංවූයේය. ඔවුන්ගෙන් වන්දි ගෙන ඔවුන්ව නිදහස් කළ පසු අල්ලාහ් මෙම ආයතය පහළ කළේය. මෙම ආයතය අදහස් කරන්නේ වන්දි ගැනීමට සුදුසුම වේලාව වනුයේ සිරභාරයට ගත් සැණින්ම නොව, යම් කලක් ගත වීමෙන් සතුරන්ගේ බලය මුළුමනින්ම හීනවී යෑමෙන් පසුවය.
68

لَّوْلَا كِتَابٌ مِّنَ اللَّهِ سَبَقَ لَمَسَّكُمْ فِيمَا أَخَذْتُمْ عَذَابٌ عَظِيمٌ

අල්ලාහ්ගෙන් වූ නියමයක් 32 පෙරටු නොවී නම්, (සිරකරුවන්ට නිදහස ලබා දීම පිණිස) නුඹලා ලබා ගත් දෑ(වන්දිය) විෂයෙහි අති මහත් වූ දඬුවමක් නුඹලාව ග්රහණය කරනු ඇත.
32එනම් සිරකරුවන් නිදහස් කිරීම සඳහා වන්දි මුදල් අය කිරීම හා ගනීමතයන් මුස්ලිම්වරුන්ට අනුමත වීමේ නීතිය පිළිබඳව ලව්හුල් මහ්ෆුල් නැමැති ආරක්ෂිත ඵලකයෙහි අල්ලාහ් සඳහන් කොට ඇති නියමයයි. මුස්ලිම්වරුන් සිරකරුවන්ගෙන් වන්දි මුදල් ගෙන ඔවුන්ව නිදහස් කළෝය. එහෙත් මෙතෙක් මෙම වන්දි ගැනීමේ හා යුද්ධාජුද ගැනීමේ ක්රියාව පිළිබඳව කිසිදු නීතියක් අල්ලාහ් මුස්ලිම්වරුන්ට පහළ කොට නොතිබුණි. මුස්ලිම්වරුන් අල්ලාහ් ගෙන් එහි නීතිය පිළිබඳව නොවිමසා ක්රියා කිරීම වැරදි ක්රියාවකි. එහෙත් අල්ලාහ් මෙම නියමය ලව්හුල් මහ්ෆූල් හි මුස්ලිම්වරුන්ට නීතියක් යැයි පහළ කිරීමට තීන්දු කොට සිටි හෙයින් ඔවුනට දඬුවම් නොකළේය.
69

فَكُلُوا مِمَّا غَنِمْتُمْ حَلَالًا طَيِّبًا ۚ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ

එබැවින් නුඹලා (යුද ජයග්රහණයෙන්) අත් කරගත් දැයින් 33 පිවිතුරු අනුමත දෑ අනුභව කරවු. තවද නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය මහා කරුණාභරිතය.
33මෙම ආයතයෙහි ‘ගනීමත්’ හෙවත් යුද්ධාජුද වස්තූන්/යුද බිමේ දී සතුරන්ගෙන් අත්පත් වූ වස්තූන් පිළිබඳව සඳහන් වී ඇත. මෙයට ‘බලෙන් උදුරාගනු ලබන වස්තූන්’ යැයි ඇතැමුන් විසින් පරිවර්තනය කර තිබෙන අතර ‘මුස්ලිම්වරුන් විසින් මුස්ලිම් නොවන්නන්ගෙන් බලෙන් උදුරාගනු ලබන වස්තූන්, ඒවා මුස්ලිම්වරුන් සතු වූවක්’ යැයි ගෙන හැර පෙන්වා ඇත. ඇත්තෙන්ම මෙය ව්යාජ ප්රචාරයකි. මන්දයත් පළමුව මෙම ආයතය මුස්ලිම් නොවන සෑම කෙනෙකු හා සම්බන්ධ වූවක් නොව මුස්ලිම්වරුන් සමග යුද වදින්නන් වන හර්බී ප්රතික්ෂේපකයින් හා සම්බන්ධ වූවකි. එනම් මුස්ලිම්වරුන් තමන් සමග සටනට පෙලඹෙන්නන්ට එරෙහිව යුද වැද ජයග්රහණය කළේ නම්, ඔවුන්ගෙන් අත්පත් වන වස්තූන් ‘ගනීමත්’ (හෙවත් යුද බිමේ දී සතුරන්ගෙන් අත්පත් වූ) වස්තූන් යැයි පැහැදිලි කොට ඇත. ඇතැමුන් පවසන්නාක් මෙන් ‘ගනීමත්’ යනු ‘මුස්ලිම් නොවන ඕනෑම අයෙකුගෙන් උදුරාගනු ලැබූ හෝ පැහැරගනු ලැබූ වස්තූන්’ යැයි විග්රහ කිරීම නිවැරදි වනවා නම් මුස්ලිම්වරුන්ට මදීනාවේ තමන්ගේ අසල්වැසියන් ලෙස වාසය කළ මුස්ලිම් නොවන්නන්ගේ වස්තූන් බලෙන් තමන් සතු කර ගන්නට තිබිණ. නමුත් ඔවුන් එසේ කටයුතු නොකිරීම ‘ගනීමත්’ යනු යුද බිමේ දී සතුරන්ව ජය ගැනීමෙන් අනතුරුව අත් කර ගත් වස්තූන් බවට පැහැදිලි සාධකයක් වී ඇත. දෙවනුව ‘ගනීමත්’ යන පදයට ‘බලෙන් පැහැර ගනු ලබන වස්තූන්’ යැයි අර්ථකථනය කිරීම වැරදි බව තහවුරු වන්නේය. මන්දයත් අරාබි භාෂාවෙහි ‘ගොවිතැන් හෝ ව්යාපාර වැනි මුදල් ඉපයීමේ අරමුණින් කරනු ලබන කිසිදු උත්සහයකින් තොරව අත් වන වස්තූන්’ වලට ‘ගුන්මුන්’ යන පදය භාවිත වේ. ‘ගනීමත්’ යන පදය මෙම පදයෙන් බෙදී ආ එකකි. යුද්ධයේ දී සතුරන්ව ජය ගැනීමෙන් අත් වන වස්තූන් ඉහත සඳහන් වස්තූන් ඉපයීමේ කිසිදු උත්සහයකින් තොරව අත් වන්නේය. එබැවින් මෙයට ‘ගනීමත්’ යන පදය භාවිත වේ. මෙම පදයට ‘බලෙන් පැහැර ගනු ලබන වස්තූන්’ යැයි විග්රහ කිරීම එම වචනය අනිසි ලෙස භාවිත කිරීමකි. මන්දයත් ‘වස්තූන් බලෙන් පැහැර ගැනීම’ යනු නිත්යානුකූල නොවූවකි. යම් පිරිසක් මුස්ලිම්වරුන්ට විරුද්ධව යුද වැද මුස්ලිම්වරුන් සටනින් ජය ලැබුවේ නම් ඔවුන්ගේ වතු හා කුඹුරු වැනි සම්පත් බලෙන් සතු කර ගැනීම හෝ ඒවා විනාශ කිරීම, ගොඩනැගිලි බිඳ දැමීම, තමන්ට අයිති නොවන අන් අයගේ වස්තූන් තමන්ගේ වස්තූන් මෙන් භාවිත කිරීම ඉස්ලාමීය නීතියට සහමුලින්ම පටහැණි වූවකි. වරක් මුස්ලිම්වරුන්ගේ සේනාව එක් යුද්ධයක් ජය ගත් අවස්ථාවේ එළුවන් කිහිපයක් අනිසි ලෙස අත් කර ගෙන ඒවා කපා උයන්නට ද වූහ. නබි මුහම්මද් තුමාණන් එතැනට සම්ප්රාප්ත වූ විට එම සිද්ධිය දැක කෝපයට පත් වී ඔවුන් පිසමින් සිටි භාජන පෙරළා දමා එම එළුවන් දහය වෙනුවට මහත් ඔටුවෙකු දී හානිය පියවූවේය. ‘ගනීමත්’ හෙවත් යුද බිමේ දී සතුරන්ගෙන් අත්පත් වූ වස්තූන් සතු කර ගැනීමේ නීතිය නම් යුද්ධයේ දී ජයගත් වස්තූන් සියල්ල රජය වෙත රැස් කළ යුතුය. ඉන් පසුව එයින් පහෙන් කොටසක් රජයේ පොදු භාණ්ඩාගාරයට සතු වේ. එම කොටස පොදු භාණ්ඩාගාරයේ නීතියට අනුව මුස්ලිම්වරුන් හා මුස්ලිම් නොවන්නන් යන කිසිදු භේදයකින් තොරව රට වැසියන් වෙනුවෙන් වියදම් කරනු ලැබේ. එම කාලයේ සෙබළුන්ට නියමිත වැටුප් නොතිබුණ හෙයින් එයින් ඉතිරි කොටස් හතර ඔවුනතර බෙදා දෙනු ලැබිණ. ඇතැම් අවස්ථාවන් වල පොදු සුභසාධක කටයුතු සැලකිල්ලට ගෙන රජය විසින් ඉතිරි කොටස් හතරෙන් යම් ප්රමාණයක් රඳවා තබා ගත හැකිය. තවද ඉස්ලාමීය දෙවන පාලක උමර් තුමාණන්ගේ සමයෙහි යුද්ධයෙන් ලද වස්තූන් සියල්ල පොදු සුභසාධක කටයුතු සඳහා මහා භාණ්ඩාගාරයට ගෙන සෙබළුන්ට වැටුපක් පමණක් ලබා දුන් අවස්ථා ද ඇත. මේවා තුළින් කරුණු දෙකක් ඉතා පැහැදිලිවම දිස් වන්නේය. පළමුවැන්න ‘ගනීමත්’ යනු සෑම මුස්ලිම් නොවන්නන්ගේ වස්තූන් හෝ පැහැර ගන්නා ලද වස්තූන් හෝ නොවේ. එයට වෙනස්ව යුද්ධයකදී සතුරන්ට එරෙහිව සටන් කර ජය ලැබීමෙන් අනතුරුව ඔවුන් හැර දමා ගිය වස්තූන් යන්නය. දෙවැන්න මෙම ‘ගනීමත්’ වස්තූන් අතුරින් කුමන දැයක් කාගේ දෑතට හසු වන්නේ ද ඔහුට එය සතු කර ගත නොහැකිය. එනමුත් එයට කෙනෙකු අයිතිකරු විය හැක්කේ රාජ්ය නීතියට අනුවය. කිසියම් රටක් තම සතුරන් සමග යුද වැද ජය ලැබුවේ නම් ජය ලැබූ රට පරාජිත වූ සතුරන්ගෙන් අත් කර ගත් වස්තූන් තමන් සතු කර ගෙන එය බෙදා දීම හෝ භාවිත කිරීම වර්තමානයේ ද ලොවෙහි දක්නට ඇති කරුණකි. එනමුත් යුද්ධයෙහි ජය ගත් සේනාවක් තම සතුරු සේනාව හැර දමා ගිය වස්තූන් අත් කර ගැනීමට ඉස්ලාමයෙහි අනුමැතිය තිබුණ ද එය අත් කර ගැනීම අනිවාර්යය නොවන අතර එය පරාජයට පත් අයගේ අයිතිය යටතේම අත් හැර දැමිය හැකිය. යුදෙව්වන් සමග සිදු වූ ‘හයිබර්’ නම් යුද්ධය අවස්ථාවේ දී නබි මුහම්මද් තුමාණන් ‘ගනීමත්’ වස්තූන් විෂයෙහි ක්රියා කළේ එලෙසය.
70

يَا أَيُّهَا النَّبِيُّ قُل لِّمَن فِي أَيْدِيكُم مِّنَ الْأَسْرَىٰ إِن يَعْلَمِ اللَّهُ فِي قُلُوبِكُمْ خَيْرًا يُؤْتِكُمْ خَيْرًا مِّمَّا أُخِذَ مِنكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ

නබිවරය, සිරකරුවන් අතුරින් නුඹලාගේ යටතේ සිටින අයට පවසවු. “නුඹලාගේ හදවත් තුළ යහපත ඇති බවට අල්ලාහ් දන්නේ නම් 34 (නිදහස් කිරීමට වන්දියක් වශයෙන්) නුඹලාගෙන් ලබා ගත් දෑට වඩා යහපත් දෑ ඔහු නුඹලාට පිරිනමන්නේය. තවද නුඹලාට පාප ක්ෂමාව දෙන්නේය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය මහා කරුණාභරිතය.”
34මෙහි අදහස වනුයේ ඔවුන් සිය කැමැත්තෙන් ඉස්ලාමය වැලඳ ගත්තේ නම් ඔවුන්ගෙන් ගත් වන්දිය වෙනුවට මෙලොවෙහි හා මතු ලොවෙහි මෙයට වඩා වටිනා ප්රයෝජනයක් අල්ලාහ් ප්රතිඵල ලෙස ලබා දෙන්නේය යන්නය.
71

وَإِن يُرِيدُوا خِيَانَتَكَ فَقَدْ خَانُوا اللَّهَ مِن قَبْلُ فَأَمْكَنَ مِنْهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ

(එහෙත්) ඔවුන් නුඹට වංචා කිරීමට අපේක්ෂා කරන්නේ නම්, මීට පෙර ද ඔවුන් අල්ලාහ්ට වංචා කර ඇත. එබැවින් ඔවුන් කෙරෙහි ඔහු (නුඹට) බලය ලබා දී ඇත. 35 තවද අල්ලාහ් සර්වඥය සර්ව ප්රඥාවන්තය.
35මෙහි අදහස වනුයේ සිරකරුවන් අතුරින් කෙනෙකු තමා සැබෑ සිතින් ඉස්ලාමය වැළඳ ගන්නේ යැයි ප්රකාශ කරමින් මුස්ලිම්වරුන්ව රවටා ව්යාජ ප්රකාශයක් පවසා පැමිණියේ නම්, අල්ලාහ් බද්ර් යුද්ධයේදී ඔහුව සිරගත කිරීමට සැළසුවා මෙන් නැවත වරක් කෙසේ හෝ ඔහුව එවන් තත්ත්වයකට පත් කරයි යන්නය.
72

إِنَّ الَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ وَالَّذِينَ آوَوا وَّنَصَرُوا أُولَـٰئِكَ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ وَالَّذِينَ آمَنُوا وَلَمْ يُهَاجِرُوا مَا لَكُم مِّن وَلَايَتِهِم مِّن شَيْءٍ حَتَّىٰ يُهَاجِرُوا ۚ وَإِنِ اسْتَنصَرُوكُمْ فِي الدِّينِ فَعَلَيْكُمُ النَّصْرُ إِلَّا عَلَىٰ قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَاقٌ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

සැබැවින්ම විශ්වාස කර දේශාන්තරණය කර තම ධනයෙන් හා තම ජිවිතයෙන් අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද්(ප්රයත්නය) 36 කළවුන් (වන මුහාජිර්වරුන්) ද තවද (ඔවුනට) ඉඩ පහසුකම් සලසා දී උදව් කළවුන් (වන අන්සාර්වරුන්) ද ඔවුන්ගෙන් සමහරු තවත් සමහරුන්ගේ (දේපළ) උරුමකරුවන්ය. 37 තවද විශ්වාස කොට දේශාන්තරණය නොකළවුන් නම්, ඔවුන් (නුඹලා වෙත) දේශාන්තරණය කරන තෙක් ඔවුන්ගේ මිතුරුකමෙන් කිසිවක් නුඹලාට නොවන්නේය. 38 තවද දහම විෂයෙහි නුඹලාගෙන් ඔවුන් උදව් පැතුවේ නම්, නුඹලා හා කවුරුන් අතර (කුමක් හෝ) ගිවිසුමක් ඇත්තේ ද එවන් පිරිසකට එරෙහිව හැර (ඔවුනට) උදව් කිරීම නුඹලා සතු වගකීමකි. තවද නුඹලා කරමින් සිටි දෑ පිළිබඳව අල්ලාහ් සර්ව සුපරික්ෂාකාරීය.
36ජිහාද් පිළිබඳව වැඩි විස්තර සඳහා ආයත් 2:218 පාද සටහන බලන්න.
3772 සිට 74 දක්වා ඇති ආයතයන් මක්කා මුස්ලිම්වරුන් මදීනාවට දේශාන්තරණය කළ වකවානුවේ පහළ වූ ආයතයන්ය. නබි මුහම්මද් තුමාගේ සගයින් මක්කාවේ සිට මදීනාවට දේශාන්තරණය කළ කල්හි මක්කාවාසී ප්රතික්ෂේපකයින් මුස්ලිම්වරුන්ගේ වස්තූන් සූරා කෑ හේතුවෙන් කිසිදු වත්කමක් නොමැතිව අන්ත දුගීන් ලෙස පැමිණියෝය. එහෙයින් ඔවුන් එකිනෙකාට මදීනා වැසියන් එකිනෙකාව උපකාරකයින් බවට නබි මුහම්මද් තුමා පත් කළේය. එහෙයින් මෙලෙස දේශාන්තරණය කර පැමිණි මක්කා වැසියන්ට මුහාජිර්වරුන් යන නමින් ද ඔවුනට උපකාරකයින් වූ මදීනා වැසියන්ට අන්සාර්වරුන් යන නමින්ද හඳුන්වනු ලැබූහ. එහෙයින් අන්සාර්වරයෙකු මරණයට පත් වී ඔහුගේ දේපළ බෙදා දෙන අවස්ථාවන්හි පවා මුහාජිර්වරයාව දේපළ උරුමක්කාරයෙකු යැයි සැළකූහ. එමෙන්ම මුහාජිර්වරයා මරණයට පත් වූයේ නම් ඔහුගේ උපකාරකයා වන අන්සාර්වරයාට දිය යුතු යැයි සීමිත කලකට විධානය කරනු ලැබීය. මෙම ආයතය මගින් ගෙන හැර පෙන්වා ඇත්තේ මෙම නීතිය පිළිබඳවය. නමුත් පසුව මෙම නීතිය අල් කුර්ආන් 4:33 ආයතය මගින් අහෝසි වී දෙමාපියන්ට හා සමීප ඥාතීන්ට අල් කුර්ආන් 4:11 හා 12 ආයතයන්හි විස්තර කළ පරිදි දේපළ උරුමය බෙදා දිය යුතුය යැයි සඳහන් වී ඇත. 8:75 වන ආයතයද මේ බව සනාථ කර ඇත.
38වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 3:28 , 9:23 පාද සටහන් සමග බලන්න.
73

وَالَّذِينَ كَفَرُوا بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ إِلَّا تَفْعَلُوهُ تَكُن فِتْنَةٌ فِي الْأَرْضِ وَفَسَادٌ كَبِيرٌ

ප්රතික්ෂේප කළවුන්, ඔවුන්ගෙන් සමහරු තවත් සමහරුන්ගේ (දේපළ) උරුමකරුවන්ය. 39 (එහෙත් අල්ලාහ් විධානය කළ අන්දමින්) මෙ(ම දේපළ බෙදීමේ ක්රම)ය නුඹලා නොකළෙහු නම්, මිහිතලයේ ව්යසනයක් හා මහත් අර්බුදයක් සිදු වනු ඇත.
39මෙම ආයතයෙන් අදහස් වන්නේ මෙම කාල වකවානුවේ මක්කාවේ විසූ ප්රතික්ෂේපකයින් තම ඥාතී මුස්ලිම්වරුන් මදීනාවට දේශාන්තරණය කර සිට හෙයින් ඔවුන්ට අයත් දේපළ උරුමය නොදී ප්රතික්ෂේපකයින් අතරම බෙදා ගත්තෝය යන්නයි.
74

وَالَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا فِي سَبِيلِ اللَّهِ وَالَّذِينَ آوَوا وَّنَصَرُوا أُولَـٰئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا ۚ لَّهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ

සැබැවින්ම විශ්වාස කර දේශාන්තරණය කර අල්ලාහ්ගේ මාර්ගයේ ප්රයත්නය 40 කළවුන් (වන මුහාජිර්වරුන්) ද තවද (ඔවුනට) ඉඩ පහසුකම් සලසා දී උදව් කළවුන්(අන්සාර්වරුන්) ද ඔවුහුමය සැබෑ ලෙස විශ්වාස කරන්නෝ වන්නේ. ඔවුනට පාපක්ෂමාව ද (ස්වර්ගයේ) ගෞරවනීය බොජුන් ද ඇත.
40වැඩි විස්තර සඳහා ආයත් 2:218 හි පාද සටහන බලන්න.
75

وَالَّذِينَ آمَنُوا مِن بَعْدُ وَهَاجَرُوا وَجَاهَدُوا مَعَكُمْ فَأُولَـٰئِكَ مِنكُمْ ۚ وَأُولُو الْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِبَعْضٍ فِي كِتَابِ اللَّهِ ۗ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

මින් පසුව විශ්වාස කර දේශාන්තරණය කර නුඹලා සමග ප්රයත්නය කළවුන් වන ඔවුන් නුඹලා අතුරින්ය. ලේ ඥාතීන් අල්ලාහ්ගේ ලේඛන(යේ තීරණ)ය අනුව ඔවුන්ගෙන් සමහරු සමහරුන්ගෙන් (දේපළ උරුමයට) සුදුස්සන් වන්නෝය. 41 සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වඥය.
41මෙහි වැඩි විස්තර සඳහා මෙම සූරාවේ 72 ආයතයෙහි පාද සටහන බලන්න.
التوبةමදීනී
1

بَرَاءَةٌ مِّنَ اللَّهِ وَرَسُولِهِ إِلَى الَّذِينَ عَاهَدتُّم مِّنَ الْمُشْرِكِينَ

(මෙය) ආදේශකයින් අතුරින් නුඹලා කවරෙකු සමග ගිවිසුම් ඇති කර ගත්තේ ද ඔවුන් වෙත අල්ලාහ් හා තම රසූල්වරයාගෙන් වූ නිදොස් වීම( පිළිබඳව ප්රකාශනය)කි. 1
1අරාබිකරයේ ආදේශකවරුන් කොටස් හතරක් සිටියෝය. මෙම ආයතය හා ඉදිරි ආයතයන් වටහා ගැනීමට නම් ඔවුන් පිළිබඳව අවබෝධයක් ඇති කර ගත යුතුය. අ) සීමා නොකළ කාලයක් සඳහා මුස්ලිම්වරුන් සමග ගිවිසුම් ඇති කර ගත්තවුන්ය. පළමු ආයතය පවසන්නේ එවැනි ගිවිසුමක් අවසන් වී නිදොස් වීම පිළිබඳවය. දෙවන ආයතය පවසන්නේ එවැනි ගිවිසුමක් ඇති කර ගත්තවුන්ට ගිවිසුම අවසන් වීමට පෙර මාස හතරක අවකාශයක් ලබා දීම පිළිබඳවය. ආ) සීමා කළ කාලයක් සඳහා මුස්ලිම්වරුන් සමග ගිවිසුම් ඇති කර ගත්තවුන්ය. නමුත් මොවුන් එම ගිවිසුමේ ඇති නීති රීතීන් උල්ලංඝනය නොකළෝය. මොවුන්ගේ ගිවිසුම් කාලය කෙතරම් දීර්ඝ වුවද ඔවුන්ගේ ගිවිසුම ගෞරවය කරන මෙන් හතරවන ආයතය මගින් මුස්ලිම්වරුන්ට අණ කර ඇත. ඇ) මුස්ලිම්වරුන් සමග කිසිදු ගිවිසුම් ඇති කර නොගත්තවුන්ය. මොවුන්ට දෙවන ආයතයේ සඳහන් පරිදි මාස හතරක කාල අවකාශයක් දෙනු ලැබේ. ඈ) මුස්ලිම්වරුන් සමග ගිවිසුම් ඇති කර එය තමන් විසින්ම කඩ කළවුන්ය. මොවුන්ට කිසිදු අවකාශයක් දෙනු නොලැබේ. මොවුන්ගේ ගිවිසුම අවසන් කර නිදොස් වීම පිළිබඳව නිවේදනයක් නිකුත් කළේ නම් මොවුන් සමග යුද වැදිය යුතුය. එම නිවේදනය ඉස්ලාමීය පරිශුද්ධ වූ මාසයන් හතර තුළදී නිකුත් කළේ නම් එම මාසයන් අවසන් වන තුරු ඔවුන් සමග යුද නොවැදිය යුතුය. මේ පිළිබඳව පස් වන ආයතයේ පවසා ඇත. මෙම සූරාවේ හැඳින්වීමෙහි සඳහන් පරිදි මෙම නිවේදනයේ මූලික අරමුණ වන්නේ ඉස්ලාමීය මූලස්ථානය වූ අරාබි අර්ධද්වීපය ඒකදේවත්වය යන පාරිශුද්ධභාවයට පරිවර්තනය කිරීම සඳහා බහුදේවත්වය යන වැරදි මතය ඉවත් කිරීමය. ආදේශකයන්ට මෙවන් කාල පරාසයක් දී ඇත්තේ ඔවුන්ගේ අනාගතය ගැන සිතීමට හා ඔවුන් ඉස්ලාමය වැලඳ ගැනීමට එකඟ වන්නේ දැ’යි තීන්දු කිරීමටය. නැතහොත් ඔවුන් කඃබාව අවට ප්රදේශය අත් හැර යන්නේ ද එසේත් නැතහොත් මුස්ලිම්වරුන් සමග යුද වදින්නේදැ’යි ද තීන්දු කිරීමටය. තවද මෙම සියලු නීතීන් එයට අදාළ පාර්ශවයන්ට පැහැදිලිව දැන්විය යුතුව තිබිණි. මෙම සියලු නීති රීතීන් කඃබාව අවට ප්රදේශයට පමණක් සීමා වූවකි. අනෙකුත් ඉස්ලාමීය රාජ්යයන්හි ජීවත් වන මුස්ලිම් නොවන අයට ඔවුන්ගේ සිවිල් අයිතිවාසිකම් සමග ජීවත් විය හැක. එය ඔවුන් ඉස්ලාමීය රාජ්යයන්හි නීති රීතීන් උල්ලංඝනය නොකරන තුරුය.
2

فَسِيحُوا فِي الْأَرْضِ أَرْبَعَةَ أَشْهُرٍ وَاعْلَمُوا أَنَّكُمْ غَيْرُ مُعْجِزِي اللَّهِ ۙ وَأَنَّ اللَّهَ مُخْزِي الْكَافِرِينَ

එබැවින් (ප්රතික්ෂේපකයිනි!) සිව් මසක් (මෙම මක්කා) භූමියෙහි නුඹලා (සිත් පරිදි) සැරිසරවු. තවද නුඹලා අල්ලාහ්ව නොහැකියාවට පත් නොකරන්නන් බවද අල්ලාහ් ප්රතික්ෂේපකයින්ව අවමානයට ලක් කරන්නෙකු බවද දැන ගනිවු.
3

وَأَذَانٌ مِّنَ اللَّهِ وَرَسُولِهِ إِلَى النَّاسِ يَوْمَ الْحَجِّ الْأَكْبَرِ أَنَّ اللَّهَ بَرِيءٌ مِّنَ الْمُشْرِكِينَ ۙ وَرَسُولُهُ ۚ فَإِن تُبْتُمْ فَهُوَ خَيْرٌ لَّكُمْ ۖ وَإِن تَوَلَّيْتُمْ فَاعْلَمُوا أَنَّكُمْ غَيْرُ مُعْجِزِي اللَّهِ ۗ وَبَشِّرِ الَّذِينَ كَفَرُوا بِعَذَابٍ أَلِيمٍ

තවද (මෙය) ආදේශකයින්ගෙන් අල්ලාහ් ද ඔහුගේ රසූල්වරයා ද නිදොස් වූ බව අති මහත් වූ හජ් දිනයෙහි 2 ජනයා වෙත අල්ලාහ්ගෙන් හා ඔහුගේ රසූල්වරයාගෙන් වූ දැන්වීමකි. එබැවින් නුඹලා පශ්චාත්තාප (වී අල්ලාහ් වෙත යොමු) වූයෙහු නම් එය නුඹලාට යහපත්ය. තවද නුඹලා (අල්ලාහ්ට) පිටුපෑවෙහු නම් නුඹලා අල්ලාහ්ව නොහැකියාවට පත් නොකරන්නන් බව දැන ගනිවු. තවද (නබිවරය,) ප්රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් පිළිබඳව ශුභාරංචි පවසවු.
2‘අති මහත් වූ හජ්’ යනු හජ් වන්දනාව පෙන්නුම් කිරීමට භාවිත වී ඇත. උම්රා වන්දනාවට ද හජ් යැයි සඳහන් වීම හේතුවෙන් එම දෙකෙහි වෙනස පෙන්නුම් කිරීමට මෙසේ භාවිත වී ඇත.
4

إِلَّا الَّذِينَ عَاهَدتُّم مِّنَ الْمُشْرِكِينَ ثُمَّ لَمْ يَنقُصُوكُمْ شَيْئًا وَلَمْ يُظَاهِرُوا عَلَيْكُمْ أَحَدًا فَأَتِمُّوا إِلَيْهِمْ عَهْدَهُمْ إِلَىٰ مُدَّتِهِمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ

(නමුත්) ආදේශකයින් අතුරින් නුඹලා කවුරුන් සමග ගිවිසුම් ඇති කර ගෙන පසුව (එම ගිවිසුමෙහි) නුඹලාට ඔවුන් කිසිවක් අඩු නොකර නුඹලාට එරෙහිව කිසිවෙකුට උදව් නොකර සිටියවුන්ට හැරය. එබැවින් ඔවුන්ගේ ගිවිසුම ඔවුන්ගේ කාලය (අවසන් වන) තෙක් ඔවුනට නුඹලා සම්පූර්ණ කරවු. සැබැවින්ම අල්ලාහ් බිය භක්තිකයින්ව ප්රිය කරන්නේය.
5

فَإِذَا انسَلَخَ الْأَشْهُرُ الْحُرُمُ فَاقْتُلُوا الْمُشْرِكِينَ حَيْثُ وَجَدتُّمُوهُمْ وَخُذُوهُمْ وَاحْصُرُوهُمْ وَاقْعُدُوا لَهُمْ كُلَّ مَرْصَدٍ ۚ فَإِن تَابُوا وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ فَخَلُّوا سَبِيلَهُمْ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ

ශුද්ධ වූ මාසයන් ඉක්ම වූ පසු (නුඹලා සමග යුද වැදී සිටින) ආදේශකයින්ව නුඹලා දුටු තැන මරා දමවු. 3 තවද ඔවුන්ව අල්ලා ගනිවු. තවද ඔවුන්ව වටලා ගනිවු. නුඹලා සෑම විපරමින් සිටිය යුතු ස්ථානයකම ඔවුන් වෙනුවෙන් (සැඟ වී) වාඩි වී සිටිවු. එවිට ඔවුන් (ප්රතික්ෂේපයෙන් ඉවත් වී) පශ්චාත්තාප වී සලාතය ස්ථාපිත කර zසකාතය ද ලබා දුන්නේ නම් ඔවුන්ගේ මගෙහි ඔවුන්ව අතහැර දමවු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
3මෙම ආයතය එකල මක්කා දේශයේ විසූ ආදේශකයින් විෂයෙහි පහළ වූවක් බව මෙම ආයතයෙන්ම පැහැදිලි වේ. ඉස්ලාමීය චන්ද්ර දින දර්ශනයට අනුව ශුද්ධ වූ මාසයන් වන මුහර්රම්, රජබ්, දුල් කඃදා හා දුල් හිජ්ජා යන මාසයන් හතරෙහි යුද කිරීම අල්ලාහ් තහනම් කර ඇත. එහෙයින් ආදේශකයින් ද ඒවාට ගෞරව කරන්නන්ව සිටියෝය. මුස්ලිම්වරුන්ව මක්කා නගරයෙන් පිටුවහල් කර ඔවුන් මදීනා නගරයට දේශාන්තරණය කළ විට ඔවුන්ගේ සමීප ඥාතීන්ව මක්කාවෙහි තමන් යටතේ රඳවා තබා සිටියවුන් මෙම ආදේශකයින්ය. එපමණක් නොව ඔවුන් මුස්ලිම්වරුන්ව කොතැනක හමු වුවද ඔවුන්ව සිරභාරයට ගෙන මරා දැමූහ. නැතහොත් මුස්ලිම්වරුන්ව ඝාතනය කිරීම සඳහා සොයමින් සිටිනවුන් වෙත ඔවුන් එම මුස්ලිම්වරුන්ව යවා ඒ සඳහා වේතන ලබමින් සිටියෝය. මුස්ලිම්වරුන් මදීනාවට දේශාන්තරණය කළ පසුව මෙම ආදේශකයින් ඔවුන් සමග සාම ගිවිසුමක් ඇති කර පසුව එම ගිවිසුම ද කඩ කළෝය. “ආදේශකයින්ව නුඹලා දුටු තැන මරා දමවු.” යැයි මෙම ආයතයෙහි අල්ලාහ් පවසා ඇත්තේ ආදේශකයින් අතුරින් වූ මෙම පිරිස පමණක් වන බව මෙයට පෙර හා පසු ඇති ආයතයන් තුළින් පැහැදිලිවම සනාථ වන්නේය. මන්දයත් මෙම ආයතයට පෙර ඇති හතර වන ආයතයෙහි ‘මුස්ලිම්වරුන් සමග ගිවිසුමක් කර එය කඩ නොකර මුස්ලිම්වරුන්ට එරෙහිව සතුරන්ට උදව් නොකළ ආදේශකයින් සමග යහ අයුරින් කටයුතු කරන’ මෙන් අල්ලාහ් විධානය කර ඇත. තවද මීළඟට ඇති සය වන ආයතයෙහි ‘ආදේශකයෙකු මුස්ලිම්වරුන්ගෙන් සාමය පතා පැමිණියේ නම් ඔහුට අභය ලබා දී ඔහුව සුදුසු ආරක්ෂක ස්ථානයකට රැගෙන යන’ ලෙස අල්ලාහ් විධානය කර ඇත. තවද මෙම සූරාවෙහි ඇති 13 වැනි ආයතය දෙස අවධානයෙන් යුතුව බැලූ කල “තමන්ගේ ප්රතිඥාවන් කඩ කර තම රසූල්වරයාව (නගරයෙන්) පිටුවහල් කිරීමට ස්ථිරව අදිටන් කර ප්රථමයෙන් නුඹලා සමග (යුද වැදීමට) ආරම්භ කළ පිරිසක් සමග නුඹලා සටන් කළ යුතු නොවේ ද?” යැයි අල්ලාහ් පවසා ඇත්තේ මෙම ආයතයෙහි සඳහන් අපරාධකාර එම ආදේශකයින් පිළිබඳව පමණක් බව පැහැදිලි වන්නේය. එම ආදේශකයින්ට එරෙහිව සටන් කරන මෙන් අල්ලාහ් විධානය කොට ඇති සටන නම් මුස්ලිම්වරුන් තම සුරක්ෂාවරණය පිණිස ප්රතිප්රහාරයක් ලෙස කළ යුතු සටනක් බව මෙම සියලු කරුණු වෙත අවධානය යොමු කිරීමෙන් පැහැදිලි වන්නේය. මෙම ආයතය හා ඊළඟ ආයතය මක්කා ජයග්රහණයට පෙර පහළ වූවකි. මෙම අල් කුර්ආන් වදන් පහළ වීමට පෙරම ආදේශකයින් මුස්ලිම්වරුන්ව තම මාතෘභූමිය වන මක්කා නගරයෙන් පිටුවහල් කළෝය. ඉන් පසුව මුස්ලිම්වරුන්ට එරෙහිව මොවුන් යුද ගැටුම් 3 ක් ඇති කර ගත්තෝය. පළමුවැන්න නම් මුස්ලිම්වරුන් මදීනාවට දේශාන්තරණය කළ පසු පළමුවැනි වර්ෂයේ දී සිදු වූ ‘බද්ර්’ සටන වේ. දෙවැන්න නම් තෙවන වර්ෂයේ සිදු වූ ‘උහුද්’ සටන වේ. තුන්වැන්න නම් පස්වන වර්ෂයේ සිදු වූ ‘හන්දක්’ සටන වේ. මේවා තුළින් මොවුන්ගේ අරමුණ වී තිබුණේ ‘මුස්ලිම්වරුන්ව මක්කාවෙන් පිටුවහල් කළාක් මෙන් මදීනාවේ සිට ද පිටුවහල් කර විනාශ කර දැමිය යුතුයි’ යන්නයි. එපමණක් නොව සය වැනි වර්ෂයේ දී මක්කා වැසියන් වන මෙම ආදේශකයින් තමන් විසින්ම ගොනු කළා වූ කොන්දේසීන්ට අනුව මුස්ලිම්වරුන් සමග සාම ගිවිසුමක් කර ගෙන වසර එකහමාරක් ඇතුළත එය එම ආදේශකයින් විසින්ම කඩ කර දමන ලදි. මෙම ආයතයෙහි “ආදේශකයින්ව නුඹලා දුටු තැන මරා දමවු.” යැයි පවසා ඇත්තේ ඉහත සඳහන් කෲර අපරාධයන් කළවුන් පිළිබඳව බව මෙයින් මනාව පැහැදිලි වේ. එහෙයින් මොවුන් සමග මෙසේ කටයුතු කිරීමට අල්ලාහ් අණ කොට ඇත.
6

وَإِنْ أَحَدٌ مِّنَ الْمُشْرِكِينَ اسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّىٰ يَسْمَعَ كَلَامَ اللَّهِ ثُمَّ أَبْلِغْهُ مَأْمَنَهُ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَّا يَعْلَمُونَ

තවද ආදේශකයින් අතුරින් කෙනෙකු නුඹගෙන් අභය පැතුවේ නම් අල්ලාහ්ගේ වදන් වලට 4 ඔහු සවන් දෙන තුරු නුඹ ඔහුට අභය ලබා දෙවු. පසුව ඔහුව ඔහුගේ ආරක්ෂක ස්ථානයකට සේන්දු කරවවු. එය (මක්නිසාද යත්) ඔවුන් (දහම පිළිබඳව) නොදැනුවත් පිරිසක් හේතුවෙනි.
4එනම් ‘අල් කුර්ආනයෙහි සඳහන් අල්ලාහ්ගේ වදන් වලට සවන් දෙන තුරු’ යැයි අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි සඳහන් වී ඇත. මුස්ලිම්වරුන් සමග ඉතා දරුණු අයුරින් සටන් වැදී සිටි ඉස්ලාම් විරෝධියෙක් රැකවරණ පතා සිටියේ නම් පළමුව ඔහුට අල් කුර්ආනයේ වදන් වලට සවන් දීමට අවස්ථාවක් ලබා දී ඔහුට ආරක්ෂාව ඇති ස්ථානයක් කරා යොමු කරන ලෙස මෙම වැකියෙන් උපදෙස් දී ඇත. යුද ආචාර ධර්ම පිළිබඳ කතා කරන්නන් පොදුවේ ඉදිරිපත් කරන්නේ තමන්ට යටහත් වන සතුරු සෙබළා සිරභාරයට ගෙන කටයුතු කිරීමේ ප්රතිපත්තියකි. නමුත් ඉස්ලාමයේ යුද ආචාර ධර්ම අනුව සතුරු සෙබළා යටහත් වුවහොත් ඔහුට ආරක්ෂාව සහතික වන ස්ථානයකට ගෙන ගොස් මුදා හැරීම එක් ප්රතිපත්තියක් බව මෙයින් පැහැදිළි වේ. එය එසේ කරනු ලබන්නේ ඔහු සටන් කොට ඇත්තේ සත්යයට එරෙහිව බව පෙන්නුම් කිරීමට විනා අවිචාරවත් අන්දමින් ආගම් වෙනස් කිරීමේ උත්සාහයක් සඳහා නොවන බව වටහා දීමටයි. එහෙයින් ලොව කිසිදු පිළිවෙතක නොමැති උත්තරීතර ඉගැන්වීම් අනුව ඉස්ලාමීය මග පෙන්වීම සැකසී ඇති බව මෙයින් මනා පැහැදිළි වනු ඇතැ’යි විශ්වාස කරන්නෙමු.
7

كَيْفَ يَكُونُ لِلْمُشْرِكِينَ عَهْدٌ عِندَ اللَّهِ وَعِندَ رَسُولِهِ إِلَّا الَّذِينَ عَاهَدتُّمْ عِندَ الْمَسْجِدِ الْحَرَامِ ۖ فَمَا اسْتَقَامُوا لَكُمْ فَاسْتَقِيمُوا لَهُمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ

(ආදේශකයින් අතුරින්) මස්ජිදුල් හරාම් අබියස නුඹලා ගිවිසුමක් ඇති කර ගත්තවුන් (සමග) මිස (අන්) ආදේශකයින්ට අල්ලාහ් අබියස ද තම රසූල්වරයා අබියස ද ගිවිසුමක් තිබිය හැක්කේ කෙසේ ද? එබැවින් ඔවුන් නුඹලා සමග ඍජූ ලෙස කටයුතු කරන තාක්කල් නුඹලා ඔවුන් සමග ඍජූ ලෙස කටයුතු කරවු. සැබැවින්ම අල්ලාහ් බිය භක්තිකයින්ව පි්රය කරන්නේය.
8

كَيْفَ وَإِن يَظْهَرُوا عَلَيْكُمْ لَا يَرْقُبُوا فِيكُمْ إِلًّا وَلَا ذِمَّةً ۚ يُرْضُونَكُم بِأَفْوَاهِهِمْ وَتَأْبَىٰ قُلُوبُهُمْ وَأَكْثَرُهُمْ فَاسِقُونَ

නුඹලාට එරෙහිව ඔවුන් ජය ලැබුවේ නම් නුඹලා තුළ ඇති ඥාති සම්බන්ධකම ද ගිවිසුම ද ඔවුන් සැලකිල්ලට නොගනිමින් සිටියදී (නුඹලා හා ඔවුන් අතර ගිවිසුමක් ඇති විය හැක්කේ) කෙසේ ද? ඔවුන්ගේ මුවින් ඔවුහු නුඹලාව තෘප්තියට පත් කරති. (නමුත්) ඔවුන්ගේ හදවත් (එය) පිටුපාති. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනා පාපතරයින්ය.
9

اشْتَرَوْا بِآيَاتِ اللَّهِ ثَمَنًا قَلِيلًا فَصَدُّوا عَن سَبِيلِهِ ۚ إِنَّهُمْ سَاءَ مَا كَانُوا يَعْمَلُونَ

ඔවුන් අල්ලාහ්ගේ වදන් වෙනුවට සුළු වටිනාකමක් ගත්තෝය. තවද ඔහුගේ මාර්ගයෙන් (ජනයින්ව) වැළැක්වුවෝය. සැබැවින්ම ඔවුන් කරමින් සිටි දෑ නපුරු විය.
10

لَا يَرْقُبُونَ فِي مُؤْمِنٍ إِلًّا وَلَا ذِمَّةً ۚ وَأُولَـٰئِكَ هُمُ الْمُعْتَدُونَ

විශ්වාසිකයෙකුගේ විෂයෙහි ඥාති සම්බන්ධකම ද ගිවිසුම ද ඔවුන් සැලකිල්ලට නොගන්නෝය. තවද සීමාව ඉක්මවා යන්නෝ ඔවුන්මය.
11

فَإِن تَابُوا وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ فَإِخْوَانُكُمْ فِي الدِّينِ ۗ وَنُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ

ඔවුන් (ප්රතික්ෂේපයෙන් ඉවත් වී) පශ්චාත්තාප වී සලාතය ස්ථාපිත කර zසකාතය ද ලබා දුන්නේ නම් දහමෙහි (ඔවුන්) නුඹලාගේ සහෝදරයින්ය. තවද අපි දැනුමැති පිරිසකට (අපගේ) වදන් පැහැදිලි කරන්නෙමු.
12

وَإِن نَّكَثُوا أَيْمَانَهُم مِّن بَعْدِ عَهْدِهِمْ وَطَعَنُوا فِي دِينِكُمْ فَقَاتِلُوا أَئِمَّةَ الْكُفْرِ ۙ إِنَّهُمْ لَا أَيْمَانَ لَهُمْ لَعَلَّهُمْ يَنتَهُونَ

තවද ඔවුන් තම ගිවිසුමෙන් පසු ඔවුන්ගේ ප්රතිඥාවන් කඩ කර නුඹලාගේ දහමට නින්දා ඇති කළේ නම් ප්රතික්ෂේපයේ ප්රධානීන් සමග නුඹලා යුද වදිවු. සැබැවින්ම ඔවුනට කිසිදු ප්රතිඥාවන් නොමැත. (එසේ සටන් වැදුණේ නම්) ඔවුන් (ඔවුන්ගේ මෙම පිළිවෙතින්) වැළකිය හැක්කේය.
13

أَلَا تُقَاتِلُونَ قَوْمًا نَّكَثُوا أَيْمَانَهُمْ وَهَمُّوا بِإِخْرَاجِ الرَّسُولِ وَهُم بَدَءُوكُمْ أَوَّلَ مَرَّةٍ ۚ أَتَخْشَوْنَهُمْ ۚ فَاللَّهُ أَحَقُّ أَن تَخْشَوْهُ إِن كُنتُم مُّؤْمِنِينَ

තමන්ගේ ප්රතිඥාවන් කඩ කර (තම) රසූල්වරයාව (නගරයෙන්) පිටුවහල් කිරීමට ස්ථිරව අදිටන් කර ප්රථමයෙන් නුඹලා සමග (යුද වැදීමට) ආරම්භ කළ පිරිසක් සමග නුඹලා සටන් කළ යුතු නොවේ ද? නුඹලා ඔවුනට බිය වන්නෙහු ද? නුඹලා විශ්වාසිකයින්ව සිටියෙහු නම් අල්ලාහ්, ඔහුමය නුඹලා බියවන්නට ඉතා සුදුස්සා වනුයේ.
14

قَاتِلُوهُمْ يُعَذِّبْهُمُ اللَّهُ بِأَيْدِيكُمْ وَيُخْزِهِمْ وَيَنصُرْكُمْ عَلَيْهِمْ وَيَشْفِ صُدُورَ قَوْمٍ مُّؤْمِنِينَ

නුඹලා ඔවුන් සමග යුද වදිවු. අල්ලාහ් නුඹලාගේ අත් මගින් ඔවුනට දඬුවම් කරන්නේය. තවද ඔවුන්ව අවමන් කරන්නේය. තවද ඔහු ඔවුන්ට එරෙහිව නුඹලාට උදව් කරන්නේය. තවද ඔහු විශ්වාසික පිරිසගේ හදවත් සනසන්නේය. 5
5මෙම ආයතය සම්බන්ධ වන සිදුවීම නම් ‘බනූ බක්ර්’ හා ‘බනූ කුzසාආ’ නැමැති ගෝත්රයන් දෙකක් අතර ඇති වූ යුද ගැටුමයි. මන්දයත් මෙම ගෝත්රයන් දෙකම ආදේශකයින්ව සිටි අතර ‘බනූ බක්ර්’ නම් ගෝත්රය මක්කාවේ ආදේශකයින් සමග ගිවිසුමෙන් බැඳුණු අය ලෙස හා ‘බනූ කුzසාආ’ නම් ගෝත්රය මුස්ලිම්වරුන් සමග ගිවිසුමෙන් බැඳුණු අය ලෙස සිටියෝය. හිජ්රි හය වැනි වර්ෂයේ මුස්ලිම්වරුන් හා මක්කාවේ ආදේශකයින් අතර සිදු වූ සාම ගිවිසුමෙහි ‘මෙම ගිවිසුම මෙම ගෝත්රයන් දෙක කෙරෙහි ද කි්රයාත්මක වේ. එබැවින් එකා අනෙකාට කිසිදු අපරාධයක් නොකළ යුතුය.’ යන්නෙන් සඳහන් වී තිබුණි. එනමුත් මක්කාවේ ආදේශකයින් සමග ගිවිසුමෙන් බැඳුණු අය වන බනූ බක්ර්වරුන් මුස්ලිම්වරුන් සමග ගිවිසුමෙන් බැඳුණු අය වන බනූ කුzසාආවරුන්ට ප්රාණයන් ආරක්ෂා කළ යුතු ශුද්ධ වූ මස්ජිදුල් හරම් සීමාව තුළ දී පවා පහර දී මරා දමන්නට වූහ. මෙම ගැටුමේ දී මක්කාවේ ආදේශකයින් තමන් සමග ගිවිසුමෙන් බැඳුණු අය වන බනූ බක්ර්වරුන්ට උදව් කර මෙම ගැටුමෙහි හවුල්කරුවන් බවට ද පත් වූහ. එබැවින් මුස්ලිම්වරුන් සමග කර ගත් ගිවිසුම කඩ කර ඔවුන්ට හා ඔවුන් සමග ගිවිසුමෙන් බැඳුණු ගෝත්රයට අපරාධ කළ එම ආදේශකයින්ට එරෙහිව අල්ලාහ් උදව් කර මොවුන් කළ අපරාධය හේතුවෙන් කුමන ගින්නක් බනූ කුzසාආවරුන්ගේ හදවත් තුළ දැවී තිබුණේ ද එය නිවා දමා ඔවුන්ගේ හදවත් සිසිල් කරන බවට අල්ලාහ් දුන් ප්රතිඥාව දන්වමින් මෙම ආයතය පහළ විය.
15

وَيُذْهِبْ غَيْظَ قُلُوبِهِمْ ۗ وَيَتُوبُ اللَّهُ عَلَىٰ مَن يَشَاءُ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ

තවද ඔවුන්ගේ හදවතේ (ඇති) ක්රෝධය ඔහු ඉවත් කරන්නේය. තවද (ආදේශකයින් අතුරින්) අල්ලාහ් අභිමත කළ අයට පශ්චාත්තාපය පිළිගන්වන්නේය. තවද අල්ලාහ් සර්වඥය සර්ව ප්රඥාවන්තය.
16

أَمْ حَسِبْتُمْ أَن تُتْرَكُوا وَلَمَّا يَعْلَمِ اللَّهُ الَّذِينَ جَاهَدُوا مِنكُمْ وَلَمْ يَتَّخِذُوا مِن دُونِ اللَّهِ وَلَا رَسُولِهِ وَلَا الْمُؤْمِنِينَ وَلِيجَةً ۚ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

නුඹලා අතුරින් ප්රයත්නය 6 කර, තවද අල්ලාහ්ව ද තම රසූල්වරයාව ද විශ්වාසිකයින්ව ද හැර වෙනත් අය රහස්ය මිතුරන් ලෙස නොගත්තවුන් (කවුරුන්දැ’යි) අල්ලාහ් නොදැන නුඹලාව (පිරික්සුමට ලක් නොකර) අත් හරිනු ලැබතැ’යි නුඹලා සිතන්නෙහු ද? තවද නුඹලා කරමින් සිටින දෑ පිළිබඳව අල්ලාහ් අභිඥානවන්තය.
6වැඩි විස්තර සඳහා අල්කුර්ආන් 2:218 හි පාද සටහන බලන්න.
17

مَا كَانَ لِلْمُشْرِكِينَ أَن يَعْمُرُوا مَسَاجِدَ اللَّهِ شَاهِدِينَ عَلَىٰ أَنفُسِهِم بِالْكُفْرِ ۚ أُولَـٰئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ وَفِي النَّارِ هُمْ خَالِدُونَ

ආදේශකයින් ප්රතික්ෂේපය පිළිබඳව තමන්ටම සාක්ෂිකරුවන්ව සිටිය දී අල්ලාහ්ගේ මස්ජිදයන් පරිපාලනය කිරීමට ඔවුනට (කිසිදු අයිතියක්) නොවීය. මොවුන්, තම (යහ)ක්රියාවන් නිෂ්ඵල වූවන්ය. තවද (නිරා) ගින්නෙහි ඔවුහු සදාතනිකයෝ වෙති.
18

إِنَّمَا يَعْمُرُ مَسَاجِدَ اللَّهِ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَأَقَامَ الصَّلَاةَ وَآتَى الزَّكَاةَ وَلَمْ يَخْشَ إِلَّا اللَّهَ ۖ فَعَسَىٰ أُولَـٰئِكَ أَن يَكُونُوا مِنَ الْمُهْتَدِينَ

අල්ලාහ්ගේ මස්ජිදයන් පරිපාලනය කළ යුත්තේම අල්ලාහ්ව හා පරමාන්ත දිනය විශ්වාස කර සලාතය ස්ථාපිත කර zසකාතය ලබා දී අල්ලාහ්ට මිස (වෙනත් කිසිවෙකුට) බිය නොවන අයයි. 7 එබැවින් ඔවුන් යහමග වූවන් අතුරින් වීමට හැක්කේය.
7මක්කාවෙහි විසූ ආදේශකයන් මක්කාවෙහි පිහිටි මස්ජිදුල් හරමයට සේවය කිරීමෙන් ආඩම්බර වූහ. මෙම ආයතය පැහැදිලි කරනුයේ අල්ලාහ්ව පමණක් විශ්වාස කළවුන් මස්ජිදයට සේවය කළ යුතු අතර ආදේශකයන්ට එය ගොඩ නැගීමට හෝ එයට සේවය කිරීමට හෝ කිසිදු අයිතියක් නැත යන්නය. මන්දයත් මස්ජිදයේ අරමුණ වන්නේ අල්ලාහ්ව නැමදීමය. එය අල්ලාහ්ව විශ්වාස කළවුන්ට පමණක් සීමා වේ.
19

أَجَعَلْتُمْ سِقَايَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ كَمَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَجَاهَدَ فِي سَبِيلِ اللَّهِ ۚ لَا يَسْتَوُونَ عِندَ اللَّهِ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

හජ් වන්දනාකරුවන්ට ජලය සැපයීම හා මස්ජිදුල් හරාමය පරිපාලනය කිරීම(හි නියැළෙන ආදේශකයින්) අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කර අල්ලාහ්ගේ මාර්ගයේ ප්රයත්නය කළ අය මෙන් නුඹලා පත් කරන්නෙහු ද? ඔවුහු අල්ලාහ් අබියස සමාන නොවෙති. තවද අපරාධකාර පිරිසට අල්ලාහ් යහමග පෙන්වන්නේ නැත.
20

الَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا فِي سَبِيلِ اللَّهِ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِندَ اللَّهِ ۚ وَأُولَـٰئِكَ هُمُ الْفَائِزُونَ

විශ්වාස කර දේශාන්තරණය කර තම ධනයෙන් ද තම ප්රාණයෙන් ද අල්ලාහ්ගේ මාර්ගයේ ප්රයත්නය 8 කළ අයට අල්ලාහ් අබියස තරාතිරමෙන් අති මහත් දෑ ඇත. තවද ජයග්රාහකයෝ ඔවුහුමය.
8වැඩි විස්තර සඳහා අල්කුර්ආන් 2:218 පාද සටහන බලන්න.
21

يُبَشِّرُهُمْ رَبُّهُم بِرَحْمَةٍ مِّنْهُ وَرِضْوَانٍ وَجَنَّاتٍ لَّهُمْ فِيهَا نَعِيمٌ مُّقِيمٌ

ඔවුන්ගේ පරමාධිපති ඔහුගෙන් වූ දයාව පිළිබඳව ද (ඔහුගේ) තෘප්තිය පිළිබඳව ද ඔවුනට හිමි (ස්වර්ග) උයන් පිළිබඳව ද ඔවුනට ශුභාරංචි පවසන්නේය. එ(ම ස්වර්ග උයන්)හි සදාතනික පූර්ණ සොම්නසක් ඇත.
22

خَالِدِينَ فِيهَا أَبَدًا ۚ إِنَّ اللَّهَ عِندَهُ أَجْرٌ عَظِيمٌ

නිරන්තරයෙන්ම (ඔවුහු) එහි සදාතනිකයෝ වෙති. සැබැවින්ම අල්ලාහ්, ඔහු අබියස මහත් වූ වේතනයක් ඇත.
23

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا آبَاءَكُمْ وَإِخْوَانَكُمْ أَوْلِيَاءَ إِنِ اسْتَحَبُّوا الْكُفْرَ عَلَى الْإِيمَانِ ۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمْ فَأُولَـٰئِكَ هُمُ الظَّالِمُونَ

විශ්වාස කළවුනි! නුඹලාගේ පියවරුන් හා නුඹලාගේ සහෝදරයින් විශ්වාසයට වඩා ප්රතික්ෂේපය ප්රිය කරන්නේ නම් ඔවුන්ව මිතුරන් ලෙස නොගනිවු. නුඹලා අතුරින් කවරෙකු ඔවුන්ව මිතුරන් කර ගන්නේ ද ඔවුන්මය අපරාධකරුවෝ වන්නෝ. 9
9මෙම ආයතයෙහි ලේ සම්බන්ධකම් හා ඥාතිත්වයට වඩා ධාර්මික සම්බන්ධකම් හා ආගමික ප්රත්පත්තීන් ඉතා වැදගත් බව සඳහන් කරමින් මුස්ලිම්වරුන්ව ආමන්ත්රණය කොට ඇත. එනම් යම් පුද්ගලයෙකු ඉස්ලාමය වැලඳ ගෙන ඔහුගේ දෙමාපියන් හා සහෝදර සහෝදරියන් හෝ අනෙකුත් ඥාතීන් ඉස්ලාමය වැලඳ නොගෙන ප්රතික්ෂේපක තත්ත්වයේම පසු වන්නේ නම් එවිට මොහුට ඔවුන් සමග ඇති සෙනෙහස හා මොහු ඔවුන් සමග ඇසුරු කිරීම මොහුව සත්යය මාර්ගය වන ඉස්ලාමයෙන් බැහැර නොකළ යුතු යැයි අල්ලාහ් මුස්ලිම්වරුන්ට අවධාරණය කොට ඇත. මන්දයත් සත්යය දහමෙහි සිටින පුද්ගලයෙකු සත්යය හා අසත්යය ගැටෙන අවස්ථාවක දී එනම් එක් පැත්තක තමන් සිටින සත්යය දහම ද තවත් පැත්තක තම ප්රතික්ෂේපක ඥාතීන් ද සිටින විට ඔහු මුල් තැන දිය යුත්තේ සත්යය දහමටය, යන්න උසස් ගුණදහම පිළිබඳ වූ ඉගැන්වීමකි. කුමන සමූහයක් වුවද තමන් ‘සත්යය’ යැයි සිතමින් සිටින කරුණට අන් සියලු දෑට වඩා මුල් තැන දීම ස්වභාවික කරුණකි. ඇතැමුන් විග්රහ කරන්නාක් මෙන් ‘කෙනෙකු තම මුස්ලිම් නොවන ඥාතීන්ව පිළිකුල් කළ යුතුය, ඔවුන් සමග යහ අයුරින් හැසිරිය නොයුතුය.’ යන්න මෙම ආයතයෙහි අදහස විය නොහැක. මන්දයත් කුමන තත්ත්වයක් මත වුවද ඥාතිත්වය නොබිඳෙන අන්දමින් ක්රියා කළ යුතු යැයි ඉස්ලාමය මග පෙන්වාදෙයි. මීට ඉතිහාසය තුළින් ආදර්ශ කිහිපයක් පහතින් දක්වා ඇත්තෙමු. මුස්ලිම් නොවන අය රෝගාතුරු වී සිටින විට නබි මුහම්මද් තුමාණන් ඔවුන්ගේ සුව දුක් විමසීම සඳහා ගොස් ඇත. එකල මක්කා දේශයෙහි දරුණු නියඟයක් ඇති විය. එවිට එහි සිටින මුස්ලිම් නොවන්නන් සඳහා නබි මුහම්මද් තුමාණන් මදීනාවේ සිට සහනාධාර යවා ඇත. එකල පුද්ගයෙකු ඉස්ලාමය වැලඳ ගත් හේතුවෙන් ඔහුගේ මව ඔහු සමග කෝප වී ආහාර පාන ගැනීමෙන් වැළකී සිටියාය. මේ පිළිබඳව මොහු නබි මුහම්මද් තුමාට පැමිණිලි කළ කල්හි නබි මුහම්මද් තුමාණන් මොහුට දුන් උපදෙස නම් ‘නුඹ ඉස්ලාමය අත් නොහැරිය යුතුය. තවද නුඹගේ මෑණියන් සමග අකටයුතු ලෙස නොහැසිර ඇයව වග බලා ගත යුතුය’ යන්නය. මෙහි දී අප අවධානය යොමු කළ යුතු තවත් කරුණක් ඇත. එනම් කෙනෙකු මුස්ලිම් නොවන තම ඥාතීන්ව සමීප මිතුරන් ලෙස නොගන්නා ලෙස අල්ලාහ් පවසා තිබීමෙන් සෑම ඇසුරක්ම අදහස් නොකෙරේ. මන්දයත් ඇසුරුකම වර්ග හතරකින් වර්ග කළ හැක යැයි ඇතැම් විශාරදයින් ග්රන්ථයන්හි සඳහන් කර ඇත. එනම්, පළමු වැන්න - ආචාර සම්පන්න ඇසුර (මුදාරාත්) = මෙය පොදුවේ යහ ලෙසින් මෘදු ලෙසින්, සාමකාමීව සත්යවාදීව හැසිරීම වේ. ‘නිත්යවශයෙන් (ජනයා සමග) මෘදුභාවයෙන් හැසිරී කරන ලද විෂයක් ඉතා අලංකාර බවත් මෘදුභාවයෙන් තොරව හැසිරි කරන ලද විෂය ඉතා අවලස්සන බවත් නබි මුහම්මද් තුමාණන් පවසා ඇත. (මූලාශ්රය : මුස්ලිම් : 6767). දෙවැන්න - සමානාත්මක ඇසුර (මුවාසාත්) = මෙය මිතුරුකමින් හා අන් අයට ප්රයෝජනයක් වන අයුරින් හැසිරීම සහ ඇතැම් අවස්ථාවන්හි මුදල්මය උපකාර කිරීමද වේ. “කවරෙකුගේ අසල්වැසියා තම හිංසා අපරාධවලින් ආරක්ෂාව නොලබන්නේද ඔහු සත්ය විශ්වාසිකයෙකු නොවේ.” යැයි නබි මුහම්මද් තුමාණන් අල්ලාහ් මත දිවුරා පවසා ඇත. (මූලාශ්රය : තබරානි 8171).අල් කුර්ආන් 60:8 යන වැකිය තුළින් මෙම පිරිස පිළිබඳව සෘජුව සඳහන් වී ඇත. තෙවැන්න -ව්යාපාරික ඇසුර (මුආමලාත්) = මෙය ගනුදෙනු හා ව්යාපාර වැනි මුදල්මය වැඩ කටයුතු වල යෙදීම වේ. නබි මුහම්මද් තුමාණන් මුස්ලිම් නොවන කිතුනු, යුදෙව් හා පාරම්පරික දහම් ඇදහූ පිරිස සමග විවිධ ආකාරයේ මුල්යමය සම්බන්ධතාවන් පවත්වාගෙන සිටි බවට විවිධ ඓතිහාසික සාක්ෂි ඉදිරිපත් කළ හැක. මින් වැදගත් සාක්ෂියක් වන්නේ නබි මුහම්මද් තුමාණන් මරණයට පත්වන විට එතුමාගේ ලෝහමය යුද ආරක්ෂක ඇඳුම තම පවුලේ සාමාජිකයින්ගේ ආහාර අවශ්යතාවන් සඳහා යුදෙව් ජාතිකයෙකුගේ වගකීමේ ඇපයට තබා ණයට ආහාර ලබා තිබීමයි. (මූලාශ්රය : බුහාරි 2069). සිව්වැන්න - ස්වීකරණීය ඇසුර (මුවාලාත්) = කෙනෙකුට තම ආගමික මූල ධර්මයන් හා තම ආගමික සංස්කෘතියෙහි වෙනසක් හෝ හානියක් ඇති වන තරමට තවත් කෙනෙකුගේ සංස්කෘතියෙන් බලපෑමක් ඇති වන අන්දමින් ඔහු සමග සමීප ඇසුරුකම් පැවැත්වීම හෝ යුදබිමේ දී මුස්ලිම්වරුන්ට විරුද්ධකම් කරන පිරිස සමග ඇසුරුකම් පැවැත් වීම මින් අදහස් වේ.අල් කුර්ආන් 60:9 මුස්ලිම්වරයෙකු මුස්ලිම් නොවන්නන් තම සමීප මිතුරෙකු ලෙස පත් නොකරන මෙන් අණ කර තිබීමෙන් අදහස් කෙරෙන්නේ මෙම හතරවැනි වර්ගයේ මුවාලාත් නම් ඇසුරුකම පිළිබඳව පමණය. එනමුත් මෙම ආයතයෙහි සමීප මිතුරා යැයි පරිවර්තනය කොට ඇත්තේ අව්ලියා යන අරාබි පදයට ඍජූ පරිවර්තනයක් යෙදිය නොහැකි හෙයිනි. මුවාලාත් යන ඇසුරුකම නොවන අනෙකුත් වර්ගයේ පොදු ඇසුරුකම් පැවැත්වීම මෙවැනි ආයතයන් වලින් අදහස් නොකෙරෙන අතර එවැනි ඇසුරුකම් පැවැත්වීම ඉස්ලාමයෙහි ප්රියජනක ක්රියාවක් වන බව ඉහත සඳහන් ඓතිහාසික සාධකයන් තුළින් පැහැදිලිවම සනාථ වන්නේය. යම් සමූහයක් තම චාරිත්ර හා සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා උත්සුක වන්නේ නම් එය අපවාදයට ලක් විය යුතු කරුණක් නොවේ. මන්දයත් සියලු සංස්කෘතිකයින් සඳහා ජාත්යන්තර මට්ටමෙන් පිළිගනු ලබන උරුමයන් අතුරින් තම සංස්කෘතිය ආරක්ෂා කිරීමේ උරුමය ද ඇත්තේය. එහෙයින් මෙම ආයතය තුළින් අදහස් කෙරෙනුයේ මුස්ලිම් නොවන්නන් සමග විරුද්ධකම් පෑම නොවේ. එයට පටහැණිව මුස්ලිම්වරුන් බහු සංස්කෘතිකයින් සමග ඇසුරුම් කළද තම ධාර්මික සංස්කෘතිය ආරක්ෂා වන අන්දමින් ඇසුරුකම් පෑමට වග බලා ගත යුතුය යන්නෙන් ඉස්ලාමය මෙවැනි ආයතයන් තුළින් උගන්වන්නේය.
24

قُلْ إِن كَانَ آبَاؤُكُمْ وَأَبْنَاؤُكُمْ وَإِخْوَانُكُمْ وَأَزْوَاجُكُمْ وَعَشِيرَتُكُمْ وَأَمْوَالٌ اقْتَرَفْتُمُوهَا وَتِجَارَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَمَسَاكِنُ تَرْضَوْنَهَا أَحَبَّ إِلَيْكُم مِّنَ اللَّهِ وَرَسُولِهِ وَجِهَادٍ فِي سَبِيلِهِ فَتَرَبَّصُوا حَتَّىٰ يَأْتِيَ اللَّهُ بِأَمْرِهِ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ

(නබිවරය,) නුඹ පවසවු. “නුඹලාගේ පියවරුන් ද නුඹලාගේ පිරිමි දරුවන් ද නුඹලාගේ සහෝදරයින් ද නුඹලාගේ කලත්රයන් ද නුඹලාගේ පවුලේ අය ද නුඹලා ඉපැයූ ධනයන් ද නුඹලා අලාභය (පිළිබඳව) බිය වන ව්යාපාරය ද නුඹලා ප්රිය කරන වාසස්ථාන ද (යන දෑ) අල්ලාහ්ට ද ඔහුගේ රසූල්වරයාට ද ඔහුගේ මාර්ගයේ ප්රයත්නය කිරීමට ද වඩා නුඹලා වෙත ඉතා ප්රියමනාප වූයේ නම් එවිට අල්ලාහ් තම (දඬුවමේ) අණ ගෙන එන තෙක් නුඹලා බලාපොරොත්තු වවු. තවද පාපතර පිරිසට අල්ලාහ් යහ මග පෙන්වන්නේ නැත.
25

لَقَدْ نَصَرَكُمُ اللَّهُ فِي مَوَاطِنَ كَثِيرَةٍ ۙ وَيَوْمَ حُنَيْنٍ ۙ إِذْ أَعْجَبَتْكُمْ كَثْرَتُكُمْ فَلَمْ تُغْنِ عَنكُمْ شَيْئًا وَضَاقَتْ عَلَيْكُمُ الْأَرْضُ بِمَا رَحُبَتْ ثُمَّ وَلَّيْتُم مُّدْبِرِينَ

සැබැවින්ම අල්ලාහ් බොහෝ (යුද)බිම්හි ද හුනෙයින් 10 දින ද නුඹලාට උදව් කළේය. (එම) අවස්ථාවේ නුඹලාගේ අධිකත්වය නුඹලාව මවිතයට පත් කළේය. (නමුත්) එය නුඹලාට කිසිදු ඵලක් ඇති නොකළේය. තවද මිහිතලය, එය විශාලව පැවතුණ ද නුඹලා කෙරෙහි පටු විය. පසුව පිටුපෑවවුන් ලෙස නුඹලා හැරී ගියෙහුය.
10මක්කා ජයග්රහණයෙන් පසුව අසල්වැසි ගෝති්රකයින් විශාල සේනාවක් මුස්ලිම්වරුන්ව ආක්රමණය කිරීමට සැරසෙන බව නබි මුහම්මද් තුමාණන්ට ආරංචි විය. එතුමා ඔවුන් වෙත සේනාවක් රැගෙන ගියේය. නැගෙනහිර මක්කාවේ සිට සැතපුම් දහයක් පමණ දුරින් පිහිටි හුනෙයින් නම් මිටියාවතෙහි යුද්ධය ඇති විය. කිසිදු යුද්ධයක නොවූ මුස්ලිම්වරුන්ගේ විශාල සේනාවක් මෙම යුද්ධයට සහභාගී වූහ. ඔවුන්ගේ සංඛ්යාව 12,000 ක් පමණ විය. මෙම යුද්ධයට සහභාගී වන විට ඇතැම් මුස්ලිම්වරුන්ගේ සිත් තුළ මීට පෙර යුද්ධයන්හි මුස්ලිම්වරුන් කුඩා සේනාවක්ව සිට ජය ගෙන ඇති බැවින් මෙම යුද්ධයේ ඔවුන් පරාජය නොවේ යැයි සිතූහ. ඔවුන් අල්ලාහ්ගේ උදව්ව වෙනුවට තම අධිකත්වය කෙරෙහි විශ්වාස තැබීම අල්ලාහ් පිළිකුල් කළේය. එබැවින් යුද්ධය ආරම්භයේදීම ඔවුන් පසුබට වීමකට මුහුණ දුන්නෝය. මුස්ලිම්වරුන්ගෙන් විශාල පිරිසක් විසිරී ගියෝය. නමුත් නබි මුහම්මද් තුමාණන් හා ඔහුගේ ඇතැම් සහාබිවරුන් යුද පිටියේ රැඳී සිටියෝය. ස්වල්ප වේලාවකට පසු තත්ත්වය වෙනස් වී මුස්ලිම්වරුන් අල්ලාහ්ගේ උදව්වෙන් යුද්ධය ජය ගත්තෝය. මෙම ආයතය මෙවැනි සිද්ධීන් සිහිපත් කරන්නේය.
26

ثُمَّ أَنزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَىٰ رَسُولِهِ وَعَلَى الْمُؤْمِنِينَ وَأَنزَلَ جُنُودًا لَّمْ تَرَوْهَا وَعَذَّبَ الَّذِينَ كَفَرُوا ۚ وَذَٰلِكَ جَزَاءُ الْكَافِرِينَ

පසුව අල්ලාහ් ඔහුගේ ශාන්තභාවය තම රසූල්වරයා වෙත ද විශ්වාසිකයින් වෙත ද පහළ කළේය. තවද නුඹලා නුදුටු (මලක්වරුන්ගෙන් යුත්) සේනාවක් ද ඔහු පහළ කළේය. තවද ප්රතික්ෂේප කළවුන්ට දඬුවම් කළේය. තවද මෙය ප්රතික්ෂේපකයින්ගේ ප්රතිවිපාකයයි.
27

ثُمَّ يَتُوبُ اللَّهُ مِن بَعْدِ ذَٰلِكَ عَلَىٰ مَن يَشَاءُ ۗ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ

ඉන් පසුව (ඔවුන් අතුරින්) අල්ලාහ් අභිමත කළ අයට පශ්චාත්තාපය පිළිගන්නේය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
28

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْمُشْرِكُونَ نَجَسٌ فَلَا يَقْرَبُوا الْمَسْجِدَ الْحَرَامَ بَعْدَ عَامِهِمْ هَـٰذَا ۚ وَإِنْ خِفْتُمْ عَيْلَةً فَسَوْفَ يُغْنِيكُمُ اللَّهُ مِن فَضْلِهِ إِن شَاءَ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ حَكِيمٌ

විශ්වාස කළවුනි! සැබැවින්ම ආදේශකයින් (අභ්යන්තරයෙහි) අපිරිසිදුමය. 11 එබැවින් ඔවුන්ගේ මෙම වසරට පසුව මස්ජිදුල් හරාම් වෙත ඔවුන් සමීප නොවිය යුතුය. නුඹලා දිළිඳුකමට බිය වූයෙහු නම් අල්ලාහ් අභිමත කළේ නම් තම වරප්රසාදයෙන් නුඹලාව පොහොසත් කරන්නේය. 12 සැබැවින්ම අල්ලාහ් සර්වඥය සර්ව ප්රඥාවන්තය.
11මෙම ආයතයෙහි ‘ආදේශකයින් අපිරිසිදුමය’ යන පදයට ‘පිළිම වන්දනාකරුවන් පමණක් අපිරිසිදු’ යැයි වැරදි අදහසක් මතු වන අන්දමින් ඇතැමුන් විසින් පරිවර්තනය කර ඇත. එබැවින් මෙම ආයතයේ නිවැරදි අර්ථය දැන ගැනීම සඳහා පහත සඳහන් කරුණු වෙත අප අවධානය යොමු කළ යුතුය. 1. මෙහි ආදේශකයින් යන්නෙන් අදහස් කෙරෙනුයේ අල්ලාහ් නොවන දෑ නමදින්නන්, නබිවරයෙකුව හෝ මලක්වරයෙකුව අල්ලාහ්ට සමාන ලෙස සලකන්නන් නැතහොත් අල්ලාහ්ගේ යහ ගැත්තන්ව අල්ලාහ්ට පමණක් සතු ගුණාංගයන්හි හවුල්කරුවන් යැයි විශ්වාස කරන්නන් වේ. මුස්ලිම්වරුන් වුවද මෙවැනි විශ්වාසයන් මත සිටින්නේ නම් ඔවුන් ද මෙම ගණයට ඇතුළත්ය. 2. ‘ආදේශකයින් අපිරිසිදුමය’ යන්නෙහි අර්ථය වනුයේ ‘ඔවුන්ගේ දේහය හෝ ඇඳුම් පැලඳුම් අපිරිසිදුයි’ යන අදහස නොවේ. එයට වෙනස්ව මෙහි අර්ථය වනුයේ ‘ඔවුන්ගේ සිතෙහි ඇති වැරදි විශ්වාසයන් හා ප්රතිපත්තීන් අපිරිසිදුයි’ යන්නය. නරක සිතුවිල්ලක් ඇති පුද්ගලයෙකුගේ ක්රියාව දෙස බලා ඔහු නරක පුද්ගලයෙක් යැයි පැවසීමෙහි අදහස ඔහුගේ දේහය නරක් වූවා යන්න නොවේ. ඔහු තුළ ඇති සිතුවිල්ල හා ඔහුගේ ක්රියාව නරකයි යන්නය. නබි මුහම්මද් තුමාණන් තමන් වෙත පැමිණි මුස්ලිම් නොවන අයට ආගන්තුක සත්කාර කර ඇත්තාහ. ඇතැම් අවස්ථාවන් වල ඔවුන් සංග්රහයකට ආරාධනා කළ විට එය පිළිගෙන ද ඇත. එපමණක් නොව ඇතැම් අවස්ථාවන්වල ඔවුන්ව තම ඇතිරිල්ල මත ඉඳගන්නට ඉඩ දී ඇත. මෙම ආයතයෙහි ඔවුන්ගේ බාහිර අපිරිසිදුකම අදහස් කෙරෙන්නේ නම් නබි මුහම්මද් තුමාණන් මුස්ලිම් නොවන්නන් සමග මෙලෙස කටයුතු නොකරන්නට තිබුණි. මෙම ආයතයෙහි සඳහන් වී ඇත්තේ ආදේශකයින්ගේ විශ්වාසයේ අපිරිසිදුකම පිළිබඳව බව නබි මුහම්මද් තුමාණන්ගේ ඉහත සඳහන් ක්රියාවන් ප්රමාණවත් සාධක ලෙස ගෙන හැර දැක්විය හැක.
12එකල මක්කාවෙහි ආර්ථිකය රඳා පැවතුණේ වෙළඳාම මතය. අරාබිකරයේ සෑම ප්රදේශයකින්ම මිනිසුන් මක්කාවට හජ් වන්දනාව සඳහා පැමිණි විට ඔවුන්ගේ ව්යාපාරය මල්ඵල දැරීය. ආදේශකයන්ට මක්කාවට පැමිණීම තහනම් කරනු ලැබූ විට ඇතැම් මුස්ලිම්වරුන් ඔවුන්ගේ ව්යාපාරයේ පසුබැස්මක් ඇතිවේ දෝ යැයි බිය වූහ. මෙම ආයතය ඔවුන් තුළ තිබූ බිය පහ කරමින් දුප්පත්කම හා සෞභාග්යය අල්ලාහ් සතුය. ඔහු ඔවුන්ගේ ආර්ථික සෞභාග්යයට වෙනත් මාර්ගයන් ඇති කිරීමට ශක්තිය ඇත්තාය. එබැවින් මුස්ලිම්වරුන් ඔහු වෙතම සියල්ල භාර කළ යුතු යැයි පවසා ඇත.
29

قَاتِلُوا الَّذِينَ لَا يُؤْمِنُونَ بِاللَّهِ وَلَا بِالْيَوْمِ الْآخِرِ وَلَا يُحَرِّمُونَ مَا حَرَّمَ اللَّهُ وَرَسُولُهُ وَلَا يَدِينُونَ دِينَ الْحَقِّ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ حَتَّىٰ يُعْطُوا الْجِزْيَةَ عَن يَدٍ وَهُمْ صَاغِرُونَ

ධර්ම පුස්තකය ලත් අය අතුරින් කවුරුන් අල්ලාහ්ව හා පරමාන්ත දිනය විශ්වාස නොකරන්නේ ද අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයා තහනම් කළ දෑ තහනම් ලෙස නොගන්නේ ද සත්යය දහම(ඉස්ලාමය) දහමක් ලෙස පිළිනොගන්නේ ද ඔවුන් (ස්ව කැමැත්තෙන්) යටත් වූවන් ලෙස දෑතින් ජිzස්යා 13 (නම් බද්ද) ලබා දෙන තෙක් ඔවුන් සමග නුඹලා යුද වදිවු.
13මෙම ආයතයෙහි සඳහන් ‘ජිzස්යා’ යන පදය ‘බද්ද’ යන අර්ථය ගෙන දේ. එනම් ඉස්ලාමීය රජයක් විසින් තමන්ගේ පාලනය යටතේ සිටින මුස්ලිම් නොවන අයට ලබා දී ඇති ආරක්ෂාව හා අනෙකුත් පහසුකම් සඳහා ඔවුන්ගෙන් වාර්ෂිකව අය කරනු ලබන සුළු බද්ද මෙම නමින් හැඳින් වේ. මෙම ආයතයෙහි ‘ධර්ම පුස්තකය ලත් ජනයා’ යනුවෙන් විශේෂයෙන් සඳහන් වුවද මෙම නීතියට පොදුවේ මුස්ලිම් නොවන්නන් අන්තර්ගත වේ. ඉස්ලාමීය නීතිය අනුව මුස්ලිම්වරුන් අනිවාර්යයෙන් ‘zසකාතය’ හෙවත් අනිවාර්යය දන්දීම් ඉටු කළ යුත්තකි. ඉස්ලාමීය පාලනය යටතේ සිටින මුස්ලිම් නොවන වැසියන් හට ද මෙම දන්දීමේ ක්රමය අනිවාර්යය කොට තිබුණේ නම් එය ඔවුනට ඉස්ලාමීය පිළිවෙතක් කෙරෙහි කරන ලද බලපෑමක් වනු ඇත. තවද එය ඔවුන්ගේ ආගමික නිදහස උල්ලංඝනය කිරීමක් ද වනු ඇත. එහෙයින් ඔවුනට ඉස්ලාමීය රජය විසින් සපයන ලද ආරක්ෂාවන් හා අනෙකුත් පහසුකම් සඳහා වාර්ෂිකව සුළු මුදල් ප්රමාණයක් ඔවුන්ගෙන් අය කෙරේ. ඇතැමුන් විසින් වැරදි අන්දමින් විග්රහ කර තිබෙනවාක් මෙන් මෙය මුස්ලිම් නොවන්නන්ගෙන් තමන් මුස්ලිම් නොවන හෙයින් පළි ගැනීමක් වශයෙන් අය කරනු ලබන මුදලක් නොවේ. මන්දයත් ඔවුන් විග්රහ කරන්නාක් මෙන් මෙම මුදල් ප්රමාණය අය කිරීම පළි ගැනීමක් වනවා නම් ඉස්ලාමය මගින් කාන්තාවන්, ළමුන්, මහලු උදවියන්, රෝගීන්, රැකියාවක් නොමැත්තන් හා අන් ආගමික නායකයින් හට ද මෙම වාර්ෂික බදු ක්රමය කි්රයා කරන්නට තිබුණි. නමුත් මෙවැන්නන් කෙරෙහි මෙම බදු ක්රමය ඉස්ලාමය ක්රියාත්මක කර නොමැත. එක් රටක් තම රටවැසියන් හට ආරක්ෂාව හා වෙනත් පහසුකම් සැපයීමට ඉදිරිපත් වීම සඳහා සුළු ප්රමාණයක මුදලක් වාර්ෂිකව අය කරන්නේ නම් එය සාධාරණයක් වීම පැහැදිලි වන කරුණකි. ක්රි.ව 634 දී කාලිද් ඉබ්නු වලීද් තුමන්ගේ නායකත්වයෙන් පැවති යුද්ධයෙන් ඩැමස්කස් හි බලය මුස්ලිම්වරුනට පත් වූ අවස්ථාවේදී කිතුනු නිකාය හා යුදෙව්වන් මුස්ලිම් පාලකයින්ව සතුටින් පිළිගත්හ. ඊට ප්රධාන හේතුව වූයේ පෙර පාලකයින්ගේ හිංසා හා අධික බදු පැටවීමෙන් තුරන් වීම හා මෙම පාලනයේ ගෙවීමට සිදුවන ඉතා සුළු ප්රමාණයේ බදු ක්රමයයි.මුස්ලිම්වරුනට එරෙහිව හෙරක්ලියස් තම හමුදාවන් රැස් කොට යර්මුක්හි සටනට එන බව මුස්ලිම්වරු දැන ගත් විගස හමුදාවට සේනාව අවශ්ය හෙයින් තම ප්රජාව ආරක්ෂා කිරීමට ප්රමාණවත් අයුරින් හමුදාව යෙදවීමට අපොහොසත් වූ තත්වයක් උදා වූ නිසා ඔවුන්ගෙන් අයකර තිබූ ජිzස්යා හෙවත් ඉතා සුළු බදු මුදල ආපසු ගෙවීමට කටයුතු කරන ලදී.මෙම ක්රියාව කිතුනු හා යුදෙව් ප්රජාවගේ මහත් වූ සතුටට හේතු වූ අතර ඔවුන් දෙවිඳුන් ඇයැදිමින් මුස්ලිම් හමුදාවට ජයග්රහණය පතා යාච්ඤා කළ සිද්ධිය අපට ඉතිහාසය තුලින් දැනගත හැකි කරුණකි. තවද මෙම ආයතයෙහි “සාගිරූන්” යන පදයට පරිවර්තනයෙහි “යටත් වූවන්” යනුවෙන් සඳහන් වී ඇත. මෙම “සාගිරූන්” යන පදයට ඇතැමුන් ‘නින්දාවට පත් වූවන් ලෙස ඔවුන් දෑතින් ජිzස්යා (නම් බද්ද) ලබා දෙන තෙක් ඔවුන් සමග නුඹලා යුද වදිවු.’ යැයි වැරදි අන්දමින් පරිවර්තනය කර ඇත. එනමුත් මෙහි “සාගිරූන්” යන්නෙහි අර්ථය වනුයේ “යටත් වූවන්” යන්නය. එනම් ‘යම් යුද්ධයක දී පරාජයට පත් කණ්ඩායම ජය ගත් කණ්ඩායමට අත් වූ ප්රජාපාලන බලය හා තමන් ඔවුන්ට යටත් වූ බව පිළිගැනීම’ වේ. යම් කණ්ඩායමක් තමන් සමග සටන් කර ජය ගත් කණ්ඩායම ඉදිරියෙහි තම අවි ආයුධ පහත හෙළන්නේ නම් එහි අර්ථය ඔවුන් නින්දාවට පත් වූවා යන්න නොවේ. එයට පටහැණිව එහි අර්ථය වනුයේ ඔවුන් තම පරාජය පිළිගෙන ජය ගත් අයට යටත් වූ බවය.
30

وَقَالَتِ الْيَهُودُ عُزَيْرٌ ابْنُ اللَّهِ وَقَالَتِ النَّصَارَى الْمَسِيحُ ابْنُ اللَّهِ ۖ ذَٰلِكَ قَوْلُهُم بِأَفْوَاهِهِمْ ۖ يُضَاهِئُونَ قَوْلَ الَّذِينَ كَفَرُوا مِن قَبْلُ ۚ قَاتَلَهُمُ اللَّهُ ۚ أَنَّىٰ يُؤْفَكُونَ

“උzසෙයිර් අල්ලාහ්ගේ පුත්රයා” 14 යැයි යුදෙව්වෝ පවසති. “මසීහ් (නම් ඊසා) අල්ලාහ්ගේ පුත්රයා” යැයි කිතුනුවෝ පවසති. මෙය ඔවුන්ගේ මුවින් (පවසන්නා) වූ ඔවුන්ගේ ප්රකාශයයි. ඔවුහු (ඔවුන්ට) පෙර ප්රතික්ෂේප කළවුන්ගේ ප්රකාශනය අනුකරණය කරන්නෝය. අල්ලාහ් ඔවුන්ව විනාශ කර දමනු මැනව! කෙසේ නම් ඔවුන් (යහ මගින් මුළා වී) හරවනු ලැබුවේ ද?
14උzසෙයිර් තුමාණන්ව යුදෙව්වන් ගරු කොට සැලකූහ. මන්දයත් මොහු තව්රාත් ධර්ම පුස්තකය නැතිවී ගිය පසු නැවත එය සම්පාදනය කළ හෙයිනි. යුදෙව්වන්ගෙන් බොහෝ දෙනා ඔහු අල්ලාහ්ගේ පුත්රයා යැයි විශ්වාස නොකළද ඔවුන්ගෙන් ඇතැම් කණ්ඩායම් - විශේෂයෙන් අරාබිකරයේ ජීවත් වූ අය - ඔහු අල්ලාහ්ගේ පුත්රයා යැයි විශ්වාස කළෝය.
31

اتَّخَذُوا أَحْبَارَهُمْ وَرُهْبَانَهُمْ أَرْبَابًا مِّن دُونِ اللَّهِ وَالْمَسِيحَ ابْنَ مَرْيَمَ وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا إِلَـٰهًا وَاحِدًا ۖ لَّا إِلَـٰهَ إِلَّا هُوَ ۚ سُبْحَانَهُ عَمَّا يُشْرِكُونَ

ඔවුහු අල්ලාහ් හැර ඔවුන්ගේ (යුදෙව්) ධර්මාචාර්යවරුන්ව ද ඔවුන්ගේ (කිතුනු) පියතුමන්ලාව ද මර්යම්ගේ පුත් මසීහ්(නම් ඊසා)ව ද දෙවිවරුන් ලෙස ගත්තෝය. තවද (අල්ලාහ් වන) එකම දෙවියන්ව නැමදීම පිණිස මිස ඔවුන් අණ කරනු නොලැබුවෝය. ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නැත. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු පිවිතුරුය.
32

يُرِيدُونَ أَن يُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَيَأْبَى اللَّهُ إِلَّا أَن يُتِمَّ نُورَهُ وَلَوْ كَرِهَ الْكَافِرُونَ

ඔවුහු තම මුවින් අල්ලාහ්ගේ ආලෝකය නිවාලීමට අදහස් කරති. ප්රතික්ෂේපකයින් (එය) පිළිකුල් කළ ද අල්ලාහ් තම ආලෝකය පරිපූර්ණ කිරීම මිස (ඔවුන්ගේ උත්සහයන් සියල්ල) ප්රතික්ෂේප කරන්නේය.
33

هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ

ආදේශකයින් පිළිකුල් කළ ද (අන්) සියලු දහම් වලට වඩා එය(ඉස්ලාමය) ඔහු උසස් කිරීම පිණිස ඔහුගේ රසූල්වරයාව යහමග හා සත්යය වූ දහම සමග එව්වේ ඔහුමය.
34

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّ كَثِيرًا مِّنَ الْأَحْبَارِ وَالرُّهْبَانِ لَيَأْكُلُونَ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ وَيَصُدُّونَ عَن سَبِيلِ اللَّهِ ۗ وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلَا يُنفِقُونَهَا فِي سَبِيلِ اللَّهِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ

විශ්වාස කළවුනි! (යුදෙව්)ධර්මාචාර්යවරුන් හා (කිතුනු) පියතුමන්ලා අතුරින් බොහෝ දෙනා ජනයාගේ ධනය අයුතු ලෙස අනුභව කරති. තවද ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයින්ව) වළක්වති.තවද කවුරුන් රන් හා රිදී නිධන්ගත කර තබා ඒවා අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් නොකරන්නේද, (නබිවරය,) ඔවුනට වේදනීය දඬුවමක් පිළිබඳව නුඹ ශුභාරංචි පවසවු.
35

يَوْمَ يُحْمَىٰ عَلَيْهَا فِي نَارِ جَهَنَّمَ فَتُكْوَىٰ بِهَا جِبَاهُهُمْ وَجُنُوبُهُمْ وَظُهُورُهُمْ ۖ هَـٰذَا مَا كَنَزْتُمْ لِأَنفُسِكُمْ فَذُوقُوا مَا كُنتُمْ تَكْنِزُونَ

එ(ම රන් රිදී යනාදි)ය නිරා ගින්නෙහි උණු කරනු ලබන දිනයෙහි( ඔවුහු දඬුවම් කරනු ලබන්නෝ)ය. එවිට එමගින් ඔවුන්ගේ නළල් ද ඔවුන්ගේ ඇක පෙදෙස් ද ඔවුන්ගේ පිට පෙදෙස් ද හංවඩු ගසනු ලැබේ. “මෙය නුඹලා වෙනුවෙන් නුඹලා නිධන්ගත කර ගත් දෑය. එබැවින් නුඹලා නිධන්ගත කර ගනිමින් සිටි දෑ නුඹලා රස විඳිවු.” (යැයි ඔවුනට පවසනු ලැබේ.)
36

إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللَّهِ اثْنَا عَشَرَ شَهْرًا فِي كِتَابِ اللَّهِ يَوْمَ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ ۚ فَلَا تَظْلِمُوا فِيهِنَّ أَنفُسَكُمْ ۚ وَقَاتِلُوا الْمُشْرِكِينَ كَافَّةً كَمَا يُقَاتِلُونَكُمْ كَافَّةً ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِينَ

අහස් හා මිහිතලය මැවූ දින (සිට) අල්ලාහ්ගේ (ආරක්ෂිත) ලේඛනයෙහි ඇති පරිදි සැබැවින්ම අල්ලාහ් අබියස මාස ගණන මාස දොළොහකි. ඒවායින් ශුද්ධ වූ (මාස) හතරකි. එයයි ඍජූ දහම වන්නේ. එබැවින් ඒවායෙහි නුඹලා නුඹලාට අපරාධ කර නොගනිවු. 15 තවද ආදේශකයින් නුඹලා සමග පූර්ණ ලෙස යුද වදින්නාක් මෙන් නුඹලා ද ඔවුන් සමග පූර්ණ ලෙස යුද වදිවු. තවද සැබැවින්ම අල්ලාහ් බිය භක්තිකයින් සමග යැ’යි නුඹලා දැන ගනිවු.
15මෙයට පෙර ආයතයෙහි ‘අහස් හා මිහිතලය මැවූ දින (සිට) අල්ලාහ්ගේ (ආරක්ෂිත) ලේඛනයෙහි ඇති පරිදි සැබැවින්ම අල්ලාහ් අබියස මාස ගණන මාස දොළොහකි. ඒවායින් ශුද්ධ වූ (මාස) හතරකි.’ යනුවෙන් සඳහන් කර ඇත. ‘එම මාසයන් හතර ශුද්ධ වූවන්’ යන්නෙහි අර්ථය නම් ‘එම මාසයන්හි යුද කිරීම අල්ලාහ් විසින් මුළුමනින්ම තහනම් කරනු ලැබ ඇති බවය.’ මෙම නීතිය නබි ඉබ්රාහීම් තුමාණන්ගේ කාලයේ සිටම අරාබිවරුන් අතර ඉතා වැදගත් නීතියක් ලෙස පැවැත එන්නකි. එම වැසියන්ට එක් තැනක සිට තවත් තැනකට අභයදායීව ගමන් කළ හැකි වී තිබුණේ යුද්ධයන් නොමැති කාලය වන මෙම මාසයන් හතරෙහිය. චන්ද්ර ගණනය අනුව මෙම මාස හතර නම් ‘මුහර්රම්’, ‘රජබ්’, ‘දුල් කඃදා’ හා ‘දුල් හිජ්ජා’ යන මාසයන්ය. එකල විසූ ප්රතික්ෂේපකයින් මෙම මාසයන් තුළ සටන් කිරීමට අවස්ථාවක් එළඹුණු විට එම මාසයන්හි සටන් කිරීම තහනම් කොට ඇති හෙයින් එම මාසය වෙනස් කරන්නන්ව සිටියෝය. එනම් උදාහරණයක් ලෙස ඉහත සඳහන් මාස අතුරින් ‘දුල් කඃදා’ නම් මාසයෙහි මොවුනට සටන් කළ යුතු නම් එම මාසයේ ස්ථානයට සටන් කිරීමට තහනම් නොවන මාසයක් වන ‘සෆර්’ නම් මාසය පත් කර ‘සෆර්’ මාසයෙහි ස්ථානයේ ‘දුල් කඃදා’ මාසය පත් කර ගනිති. එකල ඔවුන්ව පාලනය කරන්නා වූ රජයක් හෝ ආණ්ඩු ක්රමයක් නොතිබුණ හෙයින් ඔවුන් තමන්ට අවශ්ය පරිදි මෙලෙස වෙනස්කම් කරමින් සිටියෝය. මෙමගින් සිදුවනුයේ තමන්ට සටන් කිරීමට අවශ්ය වූ විට සටන් කිරීමට තහනම් වූ කාලය ප්රමාද කර තහනම් නොවන කාලය එතැනට පත් කර ගැනීමකි. තවද අවුරුද්දකට මාස 12 ක් වන අතර ඇතැම් අවස්ථාවන්හි ඔවුන් මාසයක් අධික කර එම අවුරුද්දෙහි මාස 13 ක් බවට පත් කර ගනිති. තවත් අවස්ථාවන්හි මාස 12 න් මාසයක් අඩු කර එම අවුරුද්දෙහි මාස 11 ක් බවට පත් කර ගනිති. අල්ලාහ් ඊළඟ ආයතයෙහි අවසානයෙහි ‘යහ මග පෙන්වන්නේ නැත.’ යනුවෙන් සඳහන් කර ඇත්තේ මෙවැනි අපරාධිත ක්රියාවන් කරමින් සිටි එම ප්රතික්ෂේකයින් පිළිබඳවය. මන්දයත් මෙලෙස මාසයන්හි තැන් මාරු කිරීම් හා ඒවා අඩු වැඩි කිරීම් අන් අයට යම් හානියක් සිදු කරන ක්රියාවකි. උදාහරණයක් ලෙස බැලූ කල යමෙකු එක් පුද්ගලයෙකුව වැඩ කිරීම සඳහා ගෙන ඔහුට වාර්ෂික කුලියක් නිර්ණය කර එම වර්ෂයේ මාස දෙකක් අධික කර මාස 14 ක් ලෙස පත් කරන්නේ නම් ඔහුට මාස දෙකක් අධිකව වැඩ කරන්නට සිදු වනු ඇත. මෙයට ‘නසී’ යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙලෙස කිරීමෙන් අන් අයට අසාධාරණයක් සිදුවන හෙයින් ඉස්ලාමීය බැල්මෙහි යහමග ලෙස සලකනු ලබන එම මග මෙවැනි ක්රියාවන් කළ එම ප්රතික්ෂේපකයින්ට නොලැබේ යැයි අවවාද කර ඇත.
37

إِنَّمَا النَّسِيءُ زِيَادَةٌ فِي الْكُفْرِ ۖ يُضَلُّ بِهِ الَّذِينَ كَفَرُوا يُحِلُّونَهُ عَامًا وَيُحَرِّمُونَهُ عَامًا لِّيُوَاطِئُوا عِدَّةَ مَا حَرَّمَ اللَّهُ فَيُحِلُّوا مَا حَرَّمَ اللَّهُ ۚ زُيِّنَ لَهُمْ سُوءُ أَعْمَالِهِمْ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ

(පාරිශුද්ධ මාසයන් තමන්ගේ කැමැත්ත පරිදි) ප්රමාද කිරීම (දේව) ප්රතික්ෂේපයෙහි වර්ධනය වීමක්මය. මෙ(සේ කිරීම )මගින් ප්රතික්ෂේප කළවුන් මුළා කරනු ලබති. එක් වසරක එ(සේ මසක ප්රමාද)ය ඔවුහු අනුමත කර ගනිති. (තවත්) වසරක එය තහනම් කර ගනිති. (ඔවුන් මෙසේ කරනුයේ) අල්ලාහ් සුවිශුද්ධ කළ දෑහි(මාසයන්හි) ගණනට ඔවුන්(ගේ ගණනය) අනුකූල වීම පිණිසය. තවද අල්ලාහ් තහනම් කළ දෑ ඔවුහු අනුමත කර ගනිති. ඔවුන්ගේ ක්රියාවන්හි නරකය ඔවුනට (ෂෙයිතාන් විසින්) අලංකාර කර පෙන්වනු ලැබීය. තවද ප්රතික්ෂේපක පිරිසට අල්ලාහ් යහමග පෙන්වන්නේ නැත.
38

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا مَا لَكُمْ إِذَا قِيلَ لَكُمُ انفِرُوا فِي سَبِيلِ اللَّهِ اثَّاقَلْتُمْ إِلَى الْأَرْضِ ۚ أَرَضِيتُم بِالْحَيَاةِ الدُّنْيَا مِنَ الْآخِرَةِ ۚ فَمَا مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا فِي الْآخِرَةِ إِلَّا قَلِيلٌ

විශ්වාස කළවුනි! නුඹලාට කුමක් වී ද? “අල්ලාහ්ගේ මාර්ගයේ පිටව යවු” යැයි නුඹලාට පවසනු ලැබූ විට නුඹලා මිහිතලයට (ඇලී) බර වන්නෙහුය. මතු ලොවට වඩා මෙලොව ජීවිතය මගින් නුඹලා තෘප්තියට පත් වන්නෙහු ද? මෙලොව ජීවිතයේ වින්දනය මතු ලොවෙහි (වින්දනය සමග සසඳා බලන්නේ නම්) ස්වල්පයක් මිස නැත. 16
16මෙතැන් සිට ‘තබූක්’ යුද්ධය පිළිබඳව ඇතැම් සිද්ධීන් සඳහන් වී ඇත. එයත් සමග සූරාව අවසානය දක්වා ආත්ම වංචනිකයින්ගේ හැසිරීම පිළිබඳව සඳහන් වී ඇත. තබූක් යනු ජෝර්දානයට යාබදව මදීනාවේ උතුරු දේශ සීමාවේ එක් ස්ථානයකි. එය බෙන්සන්ටයින් අධිරාජ්යයා විසින් පාලනය කළ සිරියාවේ කොටසකි. මුස්ලිම්වරුන් අරාබි දේශ සීමාව ජයග්රහණය කරමින් මුළු අරාබි අර්ධද්වීපයම ඔවුන් යටතට පත් කරවනු දැක ඔවුන්ට එරෙහිව ප්රහාර එල්ල කිරීමට විශාල සේනාවක් සමග ඇතැම් අරාබි ක්රිස්තියානි රාජ්යයන්ගෙන් උදවු පතමින් බෙන්සන්ටයින් අධිරාජ්යයා සූදානම් විය. මෙය දැනගත් නබි මුහම්මද් තුමා ඔවුන් සමග යුද කිරීමට තීරණය කළේය. එම කාලය අරාබිකරයේ උෂ්ණ සමයක් විය. මුස්ලිම්වරුන්ට දැඩි උෂ්ණත්වයක් සමග සැතපුම් සියයක් පමණ කාන්තාරය තරණය කිරීමට සිදු විය. එය මදීනාවෙහි රටඉඳි අස්වනු නෙළන සමයක් ද විය. මදීනාවේ ආර්ථිකය රඳා පැවතියේ රටඉඳි වෙළදාම මතය. මුස්ලිම්වරුන්ට ඔටුවන් හා භාණ්ඩ ප්රවාහනයේ විශාල හිඟයක් විය. මුස්ලිම්වරුන්ට අසීරුම යුද්ධය වූයේ මෙයයි. සහාබිවරුන් බොහෝ දෙනෙක් නබි මුහම්මද් තුමා සමග සිත් පතුලින්ම යුද්ධයට සූදානම් වූහ. තවත් සමහරුන් ඉහත පැවසූ දුෂ්කරතාවන් නිසා අකමැති වුවද අවසානයේ සූදානම් වූහ. මෙම ආයතය ඔවුන්ව ආමන්ත්රණය කරන්නේය. ආත්ම වංචනිකයින් එය දුෂ්කර ගමනක් වීම හේතුවෙන් සූදානම් නොවූහ. ඔවුන් විවිධ නිදහසට කරුණු පවසමින් පසුබට වූහ. මින්පසු ආයතයන්හි ඔවුන්ගේ කුමන්ත්රණ හා ඔවුන්ගේ දඬුවම පිළිබඳව අවවාද කර ඇත. අවසානයේදී 30,000 ක් පමණ මුස්ලිම් සේනාව තබූක් නම් ස්ථානයට සේන්දු වූ කල්හි රෝමානු අධිරාජ්යයා තම සේනාව ප්රහාර එල්ල නොකර ආපසු කැඳවා ගත්තේය. එබැවින් යුද්ධයක් එහි දී සිදු නොවීය.
39

إِلَّا تَنفِرُوا يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا وَيَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّوهُ شَيْئًا ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

නුඹලා (අල්ලාහ්ගේ මාර්ගයේ) පිටව නොගියේ නම් නුඹලාට වේදනීය දඬුවමකින් ඔහු(අල්ලාහ්) දඬුවම් කරන්නේය. තවද (නුඹලා වෙනුවට) නුඹලා නොවන (වෙනත්) පිරිසක් ප්රතිස්ථාපනය කරන්නේය. තවද කිසිවකින් නුඹලා ඔහුට හිංසාවක් කළ නොහැක. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බල සම්පන්නය.
40

إِلَّا تَنصُرُوهُ فَقَدْ نَصَرَهُ اللَّهُ إِذْ أَخْرَجَهُ الَّذِينَ كَفَرُوا ثَانِيَ اثْنَيْنِ إِذْ هُمَا فِي الْغَارِ إِذْ يَقُولُ لِصَاحِبِهِ لَا تَحْزَنْ إِنَّ اللَّهَ مَعَنَا ۖ فَأَنزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَيْهِ وَأَيَّدَهُ بِجُنُودٍ لَّمْ تَرَوْهَا وَجَعَلَ كَلِمَةَ الَّذِينَ كَفَرُوا السُّفْلَىٰ ۗ وَكَلِمَةُ اللَّهِ هِيَ الْعُلْيَا ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ

නුඹලා ඔහුට(නබිවරයාට) උදව් නොකරන්නේ නම් (එමගින් ඔහුට කිසිවක් සිදුවන්නේ නැත. මන්දයත්) ප්රතික්ෂේප කළවුන් (විසින්, මක්කාවෙන්) ඔහුව පිටමං කළ අවස්ථාවේදී සැබැවින්ම අල්ලාහ් ඔහුට උදව් කළේය. (ඔහු එම) දෙදෙනාගෙන් දෙවැන්නාව සිටියේය. (එවිට) ඔවුන් දෙදෙනා ගුහාවේ සිටි අවස්ථාවේදී, (එනම්) ඔහු තම සගයාට “නුඹ දුක් නොවවු. සැබැවින්ම අල්ලාහ් අප සමගය.” 17 යැයි පැවසූ අවස්ථාවෙහිය.එවිට අල්ලාහ් ඔහු කෙරෙහි තමාගේ ශාන්තභාවය පහළ කර නුඹලා නොදුටු සේනාවකින් ඔහුව ශක්තිමත් කළේය. තවද ප්රතික්ෂේප කළවුන්ගේ වදන පහත් ලෙස පත් කළේය. තවද අල්ලාහ්ගේ වදන, එයමය උසස් වන්නේ. තවද අල්ලාහ් අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය.
17මෙහි සඳහන් වන්නේ නබි මුහම්මද් තුමාණන්ගේ දේශාන්තරණය පිළිබඳවය. නබි මුහම්මද් තුමා තමාව මක්කාවාසී ප්රතික්ෂේපකයන් ඝාතනය කිරීමට කුමන්ත්රණ කරන බව දැන ගත් විට අබූ බක්ර් තුමා සමග මදීනාවට දේශාන්තරණය කිරීමට පිටත් වුණේය. සතුරන් එතුමාව ලුහුබඳින බව දැන ගත් නබි මුහම්මද් තුමාණන් ‘සව්ර්’ නම් කන්දේ ගුහාවක සැඟවුණේය. ඔවුන් දෙදෙනා ඒ තුළ දින තුනක් සිටිය දී ඔවුන්ගේ සතුරන් සෑම දිශාවකම සොයමින් සිටියෝය. සමහරුන් ගුහාව අසලට ද පැමිණියෝය. අබූ බක්ර් තුමාණන් හසු වේවි යැයි දුකට පත් විය. නමුත් නබි මුහම්මද් තුමාණන් “නුඹ දුක් නොවවු. සැබැවින්ම අල්ලාහ් අප සමගය.” යැයි ඔහුව සැනසුවේය. අල්ලාහ් මකුළුවෙකු මගින් ගුහාවේ දොරටුව වැසෙන පරිදි දැල් වියන්නට සැලසුවේය. එය දුටු ඔවුන් මිනිසෙකු ඒ තුළ සිටිය නොහැක යැයි අනුමාන කර එය පසු කරමින් ගියෝය.
41

انفِرُوا خِفَافًا وَثِقَالًا وَجَاهِدُوا بِأَمْوَالِكُمْ وَأَنفُسِكُمْ فِي سَبِيلِ اللَّهِ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ

සැහැල්ලුව සිටියදී ද පීඩිතව සිටියදී ද 18 නුඹලා (අල්ලාහ්ගේ මාර්ගයේ) පිටව යවු. තවද නුඹලා නුඹලාගේ ධනයෙන් ද නුඹලාගේ ප්රාණයෙන් ද අල්ලාහ්ගේ මාර්ගයේ ප්රයත්නය 19 කරවු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට ඉතා යහපත් වන්නේය.
18මෙම ආයතයෙහි අදහස ජනයා ශක්තිමත්, දුර්වල, පොහොසත්, දුප්පත්, තරුණ හා මහළු යන කුමන හෝ අවස්ථාවක වුවද අල්ලාහ්ගේ මාර්ගයේ පිටවන ලෙසය.
19වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:218 හි පාද සටහන බලන්න.
42

لَوْ كَانَ عَرَضًا قَرِيبًا وَسَفَرًا قَاصِدًا لَّاتَّبَعُوكَ وَلَـٰكِن بَعُدَتْ عَلَيْهِمُ الشُّقَّةُ ۚ وَسَيَحْلِفُونَ بِاللَّهِ لَوِ اسْتَطَعْنَا لَخَرَجْنَا مَعَكُمْ يُهْلِكُونَ أَنفُسَهُمْ وَاللَّهُ يَعْلَمُ إِنَّهُمْ لَكَاذِبُونَ

(නබිවරය, නුඹ කුමක් වෙත කැඳෙව්වේ ද) එය සමීපයෙන් ඇති වස්තුවක් ලෙස ද මධ්යස්ථ ගමනක් ලෙස ද තිබී නම් (ආත්ම වංචනික) ඔවුන් (තබූක් යුද්ධය සඳහා) නුඹව පිළිපදින්නට තිබුණි. එනමුත් දීර්ඝ මාර්ගයන් ඔවුනට දුරස් විය. (එබැවින් ඔවුන් එයට සහභාගී නොවූහ.) “අපට හැකියාව තිබුණේ නම් නුඹලා සමග අපි ද පිට වී ඇත්තෙමු” යැයි ඔවුහු අල්ලාහ් මත දිවුරති. ඔවුන් තමන්වම විනාශ කර ගනිති. 20 තවද සැබැවින්ම ඔවුන් අසත්යවන්තයින් යැයි අල්ලාහ් දන්නේය.
20මෙම ආයතයෙහි ආත්ම වංචනිකයින් යුද්ධයට නොගොස් සිටීමට බොරු නිදහසට කරුණු පැවසීම පිළිබඳව සඳහන් වේ. එනම් ඔවුන් “ඇතැම් හේතූන් නිසා අපට නුඹලා සමග යුද්ධයට පැමිණීමට නොහැකි විය. එසේ නැතහොත් අපද නුඹලා සමග සතුටින් යුද්ධයට සහභාගී වී ඇත්තෙමු.” යැයි මුස්ලිම්වරුන්ට බොරු පැවසූහ.
43

عَفَا اللَّهُ عَنكَ لِمَ أَذِنتَ لَهُمْ حَتَّىٰ يَتَبَيَّنَ لَكَ الَّذِينَ صَدَقُوا وَتَعْلَمَ الْكَاذِبِينَ

(නබිවරය,) අල්ලාහ් නුඹට සමාව දුන්නේය. (ඔවුන් පවසන දැයෙහි) සත්යය ප්රකාශ කළවුන් කවුරුන් දැ’යි නුඹට පැහැදිලි වී අසත්යවන්තයින් කවුරුන් දැ’යි නුඹ දැන ගන්නා තුරු ඔවුනට නුඹ (යුද්ධයට සහභාගී නොවී මදීනාවේ රැඳී සිටීමට) අවසර දුන්නේ මන්ද?
44

لَا يَسْتَأْذِنُكَ الَّذِينَ يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ أَن يُجَاهِدُوا بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِالْمُتَّقِينَ

අල්ලාහ්ව ද පරමාන්ත දිනය ද විශ්වාස කරන්නන් තම ධනයෙන් හා තම ප්රාණයෙන් (අල්ලාහ්ගේ මාර්ගයේ) ප්රයත්නය 21 නොකර සිටීමට නුඹගෙන් අවසර නොපතන්නෝය. තවද අල්ලාහ් බිය භක්තිකයින් පිළිබඳව සර්වඥය.
21වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:218 හි පාද සටහන බලන්න.
45

إِنَّمَا يَسْتَأْذِنُكَ الَّذِينَ لَا يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَارْتَابَتْ قُلُوبُهُمْ فَهُمْ فِي رَيْبِهِمْ يَتَرَدَّدُونَ

(එසේ) නුඹගෙන් අවසර පතනුයේ අල්ලාහ්ව ද පරමාන්ත දිනය ද විශ්වාස නොකරන්නන්මය. තවද ඔවුන්ගේ හදවත් සැකයෙහි විය. එබැවින් ඔවුහු තමන්ගේ සැකයෙහි දෙගිඩියාවෙන් සිටිති.
46

وَلَوْ أَرَادُوا الْخُرُوجَ لَأَعَدُّوا لَهُ عُدَّةً وَلَـٰكِن كَرِهَ اللَّهُ انبِعَاثَهُمْ فَثَبَّطَهُمْ وَقِيلَ اقْعُدُوا مَعَ الْقَاعِدِينَ

ඔවුන් (නුඹ සමග යුද්ධය සඳහා) පිටත් වීමට අපේක්ෂා කළේ නම් ඒ සඳහා (පෙර) සූදානමක් ඔවුන් සූදානම් කරනු ඇත. එනමුත් ඔවුන්ගේ පිටත් වීම අල්ලාහ් පිළිකුල් කළේය. 22 එබැවින් ඔවුන්ව ඔහු රඳවා තැබුවේය. තවද “රැඳෙන්නන් 23 සමග නුඹලා ද රැඳී සිටිවු” යැයි (ඔවුනට) පවසනු ලැබීය.
22මන්දයත් සත්ය මුස්ලිම්වරුන් පමණක් මෙම යුද්ධයට සහභාගී විය යුතු යැයි අල්ලාහ් අභිමත කළ හෙයිනි.
23මෙහි “රැඳෙන්නන් සමග නුඹලා ද රැඳී සිටිවු” යැයි ආත්ම වංචනිකයින්ට අල්ලාහ් ආමන්ත්රණය කොට ඇත්තේ කාන්තාවන්, දරුවන් හා මහළු උදවිය සමග යුද්ධයට නොගොස් රැඳී සිටින ලෙසය.
47

لَوْ خَرَجُوا فِيكُم مَّا زَادُوكُمْ إِلَّا خَبَالًا وَلَأَوْضَعُوا خِلَالَكُمْ يَبْغُونَكُمُ الْفِتْنَةَ وَفِيكُمْ سَمَّاعُونَ لَهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ

නුඹලා සමග ඔවුන් පිටත් වූයේ නම් කලහකමක් මිස (වෙනත් කිසිවක්) නුඹලාට ඔවුන් වර්ධනය නොකරනු ඇත. තවද ඔවුන් නුඹලාට අක්රමිකතා ඇති වීමේ බලාපොරොත්තුවෙන් නුඹලා අතර (කේළාම් කියමින්) සැරිසරන්නෝය. නුඹලා තුළ ඔවුන් වෙනුවෙන් (ඔවුන් පවසන දෑ) කැමැත්තෙන් අසන්නන් ද වෙති. අපරාධකරුවන් පිළිබඳව අල්ලාහ් සර්වඥය.
48

لَقَدِ ابْتَغَوُا الْفِتْنَةَ مِن قَبْلُ وَقَلَّبُوا لَكَ الْأُمُورَ حَتَّىٰ جَاءَ الْحَقُّ وَظَهَرَ أَمْرُ اللَّهِ وَهُمْ كَارِهُونَ

(නබිවරය,) සැබැවින්ම ඔවුහු මීට පෙරද අක්රමිකතා ඇති කිරීමට බලාපොරොත්තු වූවෝය. තවද ඔවුන් නුඹ වෙත (නුඹගේ) කරුණු (කනපිට) හැරෙව්වෝය. (කෙතරම් දුරටදයත්,) ඔවුන් පිළිකුල් කරන්නන්ව සිටියදී සත්යය පැමිණ අල්ලාහ්ගේ විධානය (ව්යාප්ත වී) හෙළිදරවු වන තුරුය.
49

وَمِنْهُم مَّن يَقُولُ ائْذَن لِّي وَلَا تَفْتِنِّي ۚ أَلَا فِي الْفِتْنَةِ سَقَطُوا ۗ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَ

තවද ඔවුන් අතුරින් “මට (යුද්ධයට නොගොස් රැඳී සිටීමට) අවසර දෙනු. තවද මා පරීක්ෂා නොකරනු”යි පවසන්නෙකු ද වෙති. 24 දැන ගනිවු. ඔවුන් අක්රමිකතාවයේ වැටී ඇත. තවද සැබැවින්ම නිරය ප්රතික්ෂේපකයින්ව වෙළා ගන්නකි.
24‘ජද් ඉබ්නු කයිස්’ නැමැති ආත්ම වංචනිකයා නබි මුහම්මද් තුමාණන් වෙත පැමිණ තබූක් යුද්ධයට නොගොස් සිටීමට නිදහසට කරුණු පැවසුවේය. එනම් ඔහුට අන් අයට වඩා අලංකාර කාන්තාවන් කෙරෙහි වැඩි ආශාවක් ඇතැ’යි ද ඔහු තබූක් යුද්ධයට ගොස් එහි ඇති අලංකාර රෝමානු කාන්තාවන් දුටුවේ නම් ඔහුගේ ලිංගික ආශාව යටපත් කළ නොහැකි වනු ඇතැ’යි ද ඔහු පරීක්ෂණයට මුහුණ දීමට සිදු වනු ඇතැ’යි ද පැවසුවේය. මෙයට අල්ලාහ් ඔහු හා ඔහුගේ ආත්ම වංචනික සගයින් ඔවුන් කරමින් සිටි නරක කි්රයාවන් හේතුවෙන් දැනටමත් අක්රමිකතාවයේ වැටී ඇතැ’යි පවසා ඇත.
50

إِن تُصِبْكَ حَسَنَةٌ تَسُؤْهُمْ ۖ وَإِن تُصِبْكَ مُصِيبَةٌ يَقُولُوا قَدْ أَخَذْنَا أَمْرَنَا مِن قَبْلُ وَيَتَوَلَّوا وَّهُمْ فَرِحُونَ

(යුද්ධය ජයග්රහණය කිරීමෙන්) නුඹට (යම්) යහපතක් ඇති වූ කල්හි එය ඔවුන්ව දුකට පත් කරයි. තවද නුඹට (එහි යම්) දුර්භාග්යයක් ඇති වූ කල්හි “සැබැවින්ම මීට පෙරම (නුඹලා සමග යුද්ධයට නොගොස්) අපි අපගේ විෂය (අවධානයට) ගත්තෙමු” යැයි පවසා ඔවුහු ප්රීති වන්නන්ව හැරී යති.
51

قُل لَّن يُصِيبَنَا إِلَّا مَا كَتَبَ اللَّهُ لَنَا هُوَ مَوْلَانَا ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ

(නබිවරය, ඔවුනට) නුඹ පවසවු. “අල්ලාහ් අපට නියම කළ දෑ හැර (වෙනත් කිසිවක්) අපට සිදුවන්නේම නැත. ඔහු අපගේ භාරකරුය. තවද විශ්වාසිකයින් අල්ලාහ් කෙරෙහිමය සියල්ල භාර කළ යුත්තේ.”
52

قُلْ هَلْ تَرَبَّصُونَ بِنَا إِلَّا إِحْدَى الْحُسْنَيَيْنِ ۖ وَنَحْنُ نَتَرَبَّصُ بِكُمْ أَن يُصِيبَكُمُ اللَّهُ بِعَذَابٍ مِّنْ عِندِهِ أَوْ بِأَيْدِينَا ۖ فَتَرَبَّصُوا إِنَّا مَعَكُم مُّتَرَبِّصُونَ

(නබිවරය,) නුඹ පවසවු. (ජයග්රහණය හෝ වීර මරණය යන) යහපත් කරුණු දෙකෙන් එකක් හැර (වෙනෙකක් අපට අත්විය යුතු යැයි) නුඹලා අප වෙනුවෙන් බලාපොරොත්තු වන්නෙහු ද?තවද නුඹලාට අල්ලාහ් ඔහු අබියසින් වූ දඬුවමක් මගින් හෝ අපගේ අත් මගින් නුඹලාට (දඬුවමක්) ඇති කිරීම (නුඹලාට අත් විය යුතු යැයි) අපි ද නුඹලා වෙනුවෙන් බලාපොරොත්තු වන්නෙමු. එබැවින් නුඹලා බලාපොරොත්තුවෙන් සිටිවු. සැබැවින්ම අපද නුඹලා සමග බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.”
53

قُلْ أَنفِقُوا طَوْعًا أَوْ كَرْهًا لَّن يُتَقَبَّلَ مِنكُمْ ۖ إِنَّكُمْ كُنتُمْ قَوْمًا فَاسِقِينَ

(නබිවරය, ආත්ම වංචනිකයින්ට) නුඹ පවසවු. “කැමැත්තෙන් හෝ පිළිකුලෙන් හෝ නුඹලා (නුඹලාගේ ධනය අල්ලාහ්ගේ මාර්ගයේ) වියදම් කරවු. නුඹලාගෙන් එය පිළිගනු නොලැබෙන්නේමය. (මන්දයත්) සැබැවින්ම නුඹලා පාපතර පිරිසක්ව සිටියෙහුය.”
54

وَمَا مَنَعَهُمْ أَن تُقْبَلَ مِنْهُمْ نَفَقَاتُهُمْ إِلَّا أَنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَبِرَسُولِهِ وَلَا يَأْتُونَ الصَّلَاةَ إِلَّا وَهُمْ كُسَالَىٰ وَلَا يُنفِقُونَ إِلَّا وَهُمْ كَارِهُونَ

තවද ඔවුන් අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයාව ප්රතික්ෂේප කිරීම ද ඔවුන් මැළිකමෙන් මිස සලාතයට නොපැමිණීම ද ඔවුන් පිළිකුලෙන් මිස වියදම් නොකිරීම ද (යන කරුණු) මිස (අල්ලාහ්ගේ මාර්ගයේ) ඔවුන්ගේ වියදම් ඔවුන්ගෙන් පිළිගනු ලැබීම (සඳහා වෙනත් කිසිවක්) ඔවුන්ව වැළැක්වූයේ නැත.
55

فَلَا تُعْجِبْكَ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُعَذِّبَهُم بِهَا فِي الْحَيَاةِ الدُّنْيَا وَتَزْهَقَ أَنفُسُهُمْ وَهُمْ كَافِرُونَ

එබැවින් (නබිවරය,) ඔවුන්ගේ ධනය ද ඔවුන්ගේ දරුවන් ද නුඹව මවිතයට පත් නොකළ යුතුය. සැබැවින්ම අල්ලාහ් අපේක්ෂා කරනුයේම එමගින් මෙලොව ජීවිතයේ ඔවුනට දඬුවම් කිරීමට හා ඔවුන් ප්රතික්ෂේපකයින් ලෙස (සිටිය දී) ඔවුන්ගේ ආත්මාවන් (ඔවුන්ගෙන්) නික්ම වීමටය.
56

وَيَحْلِفُونَ بِاللَّهِ إِنَّهُمْ لَمِنكُمْ وَمَا هُم مِّنكُمْ وَلَـٰكِنَّهُمْ قَوْمٌ يَفْرَقُونَ

ඔවුන් (විශ්වාසික) නුඹලා සමග නොවී සිටියදී සැබැවින්ම ඔවුන් නුඹලා සමග යැයි අල්ලාහ් මත ඔවුන් දිවුරති. එනමුත් ඔවුන් බියට පත් වන පිරිසකි.
57

لَوْ يَجِدُونَ مَلْجَأً أَوْ مَغَارَاتٍ أَوْ مُدَّخَلًا لَّوَلَّوْا إِلَيْهِ وَهُمْ يَجْمَحُونَ

ඔවුන් (බේරී යාමට) සරණාගත ස්ථානයක් හෝ ගුහා හෝ පිවිසිය හැකි ස්ථානයක් හෝ ලබන්නේ නම් ඔවුන් ඉතා ඉක්මණින් ඒ වෙත හැරී (ඉවත්ව) යනු ඇත.
58

وَمِنْهُم مَّن يَلْمِزُكَ فِي الصَّدَقَاتِ فَإِنْ أُعْطُوا مِنْهَا رَضُوا وَإِن لَّمْ يُعْطَوْا مِنْهَا إِذَا هُمْ يَسْخَطُونَ

තවද සදකාවන් (පිරිනැමීමේ) විෂයෙහි නුඹට විවේචනය කරන්නන් ඔවුන් අතුරින් වෙති. ඒවායින් ඔවුනට පිරිනමනු ලැබුවේ නම් ඔවුහු තෘප්තිමත් වෙති. තවද ඒවායින් ඔවුනට පිරිනමනු නොලැබුවේ නම් එවිට ඔවුහු කෝප වෙති.
59

وَلَوْ أَنَّهُمْ رَضُوا مَا آتَاهُمُ اللَّهُ وَرَسُولُهُ وَقَالُوا حَسْبُنَا اللَّهُ سَيُؤْتِينَا اللَّهُ مِن فَضْلِهِ وَرَسُولُهُ إِنَّا إِلَى اللَّهِ رَاغِبُونَ

සැබැවින්ම අල්ලාහ් ද ඔහුගේ රසූල්වරයා ද ඔවුනට පිරිනැමූ දැයින් ඔවුන් තෘප්තියට පත් වී, “අල්ලාහ් අපට ප්රමාණවත්ය. අල්ලාහ් ද ඔහුගේ රසූල්වරයා ද ඔහුගේ භාග්යයෙන් අපට පිරිනමනු ඇත. සැබැවින්ම අපි අල්ලාහ් වෙත ආශා කරන්නන් වෙමු” යැයි පැවසුවේ නම් (එය ආත්ම වංචනික ඔවුනට යහපතක් වන්නේ)ය.
60

إِنَّمَا الصَّدَقَاتُ لِلْفُقَرَاءِ وَالْمَسَاكِينِ وَالْعَامِلِينَ عَلَيْهَا وَالْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِي الرِّقَابِ وَالْغَارِمِينَ وَفِي سَبِيلِ اللَّهِ وَابْنِ السَّبِيلِ ۖ فَرِيضَةً مِّنَ اللَّهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ

සැබැවින්ම සදකාවන් (නම් zසකාත්) හිමිවනුයේම දුගියන්ට 25 ද දුප්පතුන්ට 26 ද එ(ම zසකාත)ය කෙරෙහි වූ සේවාදායකයින්ට ද (ඉස්ලාමය සමග) තම හදවත් බැඳියාවට පත්වූවන්ට 27 ද වහලුන් (නිදහස් කිරීමේ) විෂයෙහි ද ණය බරින් සිටින්නන්ට ද අල්ලාහ්ගේ මාර්ගයෙහි (සිටින්නන්ට) ද මගීන්ට ද වේ. (මෙය) අල්ලාහ්ගෙන් (නියම කරනු ලැබුවා) වූ අනිවාර්යය වගකීමක් වශයෙනි. තවද අල්ලාහ් සර්වඥය සර්ව ප්රඥාවන්තය.
25මෙම ආයතයෙහි අනිවාර්යය zසකාතය දිය හැකි කණ්ඩායම් අට පිළිබඳව සඳහන් කර ඇත. එහි දුගියන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ජීවන වියදම සඳහා ඔවුනට කිසිවක් නොමැති අය පිළිබඳවය.
26මෙහි දුප්පතුන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඔවුනට ඉපැයීමක් තිබුණ ද එය ජීවන වියදමට ප්රමාණවත් නොවන අය පිළිබඳවය.
27‘හදවත් බැඳියාවට පත්වූවන්’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ මෑතක දී ඉස්ලාමය වැළඳ ගෙන තමන් කෙරෙහි දිරිගැන්වීමේ හා ආර්ථික සහයක් අවශ්ය වූවන්ය.
61

وَمِنْهُمُ الَّذِينَ يُؤْذُونَ النَّبِيَّ وَيَقُولُونَ هُوَ أُذُنٌ ۚ قُلْ أُذُنُ خَيْرٍ لَّكُمْ يُؤْمِنُ بِاللَّهِ وَيُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَرَحْمَةٌ لِّلَّذِينَ آمَنُوا مِنكُمْ ۚ وَالَّذِينَ يُؤْذُونَ رَسُولَ اللَّهِ لَهُمْ عَذَابٌ أَلِيمٌ

නබිවරයාට හිංසා කරනවුන් ද (ආත්ම වංචනික) ඔවුන් අතුරින් වෙති. තවද “ඔහු (කවර දෙයක් ශ්රවණය කළ ද එයට සවන් දී එය සත්යය කරවන) ශ්රවණයකි” යැයි ඔවුහු පවසති. (නබිවරය,) පවසවු. “(ඔහු) නුඹලාට යහපතෙහි ශ්රවණය( කරන්නෙ)කි. ඔහු අල්ලාහ්ව විශ්වාස කරයි. තවද ඔහු (සත්යය) විශ්වාසිකයින්ව ද විශ්වාස කරයි.තවද (ඔහු) නුඹලා අතුරින් (ව්යාජ ලෙස) විශ්වාස කළවුනට (ද) දයාවකි.” 28 තවද කවුරුන් අල්ලාහ්ගේ රසූල්වරයාට හිංසා කරන්නේ ද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
28ඇතැම් ආත්ම වංචනිකයන් තමන්ගේ නිදොස්භාවය නබි මුහම්මද් තුමාට ඒත්තු ගැන්විය හැකි යැයි පැවසුවෝය. මන්දයත් ඔහු සියලු දෙනාටම සවන් දෙන අතර එය විශ්වාස කරන්නේය. එබැවින් එම ආත්ම වංචනිකයන් තමන් කැමැති දෑ කර නබි මුහම්මද් තුමා ඉදිරියේ නිදහසට කරුණු පැවසුවේ නම් ඔහු එය පිළිගනු ඇතැ’යි සිතූහ. මෙම ආයතය ඔවුන්ට පිළිතුරක් දී ඇත. එනම් නබි මුහම්මද් තුමා සියල්ලන්ටම සවන් දෙන මුත් අල්ලාහ්ව, සැබෑ විශ්වාසිකයන්ව හා සත්ය ප්රකාශකයින්ව පමණක් විශ්වාස කරන්නේය. ආත්ම වංචනිකයින්ගේ විෂයෙහි එතුමාගේ කරුණාව හා අචාරශීලී ස්වභාවය හේතුවෙන් ඔවුන්ට සවන් දුන්නද ඔවුන්ගේ අසත්ය ප්රකාශයන් විශ්වාස නොකරන්නේය.
62

يَحْلِفُونَ بِاللَّهِ لَكُمْ لِيُرْضُوكُمْ وَاللَّهُ وَرَسُولُهُ أَحَقُّ أَن يُرْضُوهُ إِن كَانُوا مُؤْمِنِينَ

(විශ්වාසිකයිනි!) නුඹලාව තෘප්තියට පත් කරවනු පිණිස (ආත්ම වංචනික) ඔවුහු නුඹලාට අල්ලාහ් මත දිවුරති. (නමුත්) ඔවුන් (සත්යය) විශ්වාසිකයින්ව සිටියේ නම් ඔවුන් තෘප්තිමත් කිරීමට අල්ලාහ් ද ඔහුගේ රසූල්වරයා ද ඉතා සුදුසු වන්නේය.
63

أَلَمْ يَعْلَمُوا أَنَّهُ مَن يُحَادِدِ اللَّهَ وَرَسُولَهُ فَأَنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدًا فِيهَا ۚ ذَٰلِكَ الْخِزْيُ الْعَظِيمُ

‘කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට විරුද්ධ වන්නේ ද එවිට ඔහු වෙනුවෙන් නිරා ගින්න ඇත. (ඔහු) එහි සදාතනිකයෙකු වෙයි. මෙයමය අති මහත් අවමානය වන්නේ’ යැයි ඔවුහු නොදැනගත්තේ ද?
64

يَحْذَرُ الْمُنَافِقُونَ أَن تُنَزَّلَ عَلَيْهِمْ سُورَةٌ تُنَبِّئُهُم بِمَا فِي قُلُوبِهِمْ ۚ قُلِ اسْتَهْزِئُوا إِنَّ اللَّهَ مُخْرِجٌ مَّا تَحْذَرُونَ

ආත්ම වංචනිකයින් තමන්ගේ හදවත් තුළ ඇති දෑ පිළිබඳව තමන්ට දන්වා සිටින (අල් කුර්ආනයේ) පරිච්ඡේදයක් (විශ්වාසික) ඔවුන් කෙරෙහි පහළ කරනු ලැබීම පිළිබඳව බිය වෙති. (නබිවරය,) නුඹ පවසවු. “නුඹලා සමච්චල් කරවු. සැබැවින්ම අල්ලාහ් නුඹලා බිය වෙමින් සිටින දෑ හෙළිකරන්නාය”
65

وَلَئِن سَأَلْتَهُمْ لَيَقُولُنَّ إِنَّمَا كُنَّا نَخُوضُ وَنَلْعَبُ ۚ قُلْ أَبِاللَّهِ وَآيَاتِهِ وَرَسُولِهِ كُنتُمْ تَسْتَهْزِئُونَ

ඔවුන්ගෙන් (මේ පිළිබඳව) නුඹ විමසුවෙහි නම්, “සැබැවින්ම අපි කතා කරමින් ද සෙල්ලම් කරමින් ද සිටියෙමු” යැයි ඔවුහු පවසති. “නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ වදන් ද ඔහුගේ රසූල්වරයාව ද සමච්චල් කරමින් සිටින්නෙහු ද?” යැයි (නබිවරය,) නුඹ පවසවු. 29
29ඇතැම් ආත්ම වංචනිකයින් ඉස්ලාමය හා මුස්ලිම්වරුන් පිළිබඳව සමච්චලයෙන් හාස්ය කතා පවසන්නෝය යැයි නබි මුහම්මද් තුමාට පවසන ලදී. නමුත් ඒ පිළිබඳව ඔවුන්ගෙන් විමසනු ලැබූ කල්හි ‘අපි එය සැබෑවට නොව, විහිළුවෙන් හා සෙල්ලමට පැවසුවෙමු’ යැයි පැවසුවෝය.
66

لَا تَعْتَذِرُوا قَدْ كَفَرْتُم بَعْدَ إِيمَانِكُمْ ۚ إِن نَّعْفُ عَن طَائِفَةٍ مِّنكُمْ نُعَذِّبْ طَائِفَةً بِأَنَّهُمْ كَانُوا مُجْرِمِينَ

නුඹලා (මේ සඳහා) නිදහසට කරුණු නොපවසවු. නුඹලාගේ (දේව) විශ්වාසයට පසු නුඹලා (සමච්චල් කිරීම හේතුවෙන් නැවත) ප්රතික්ෂේප කළෙහුය. නුඹලා අතුරින් පිරිසකට (ඔවුන්ගේ පශ්චාත්තාපය හේතුවෙන්) අප සමාව දුන්න ද තවත් පිරිසකට අපි දඬුවම් කරන්නෙමු. (මක්නිසාද යත්) සැබැවින්ම ඔවුන් වැරදිකරුවන් වීම හේතුවෙනි.
67

الْمُنَافِقُونَ وَالْمُنَافِقَاتُ بَعْضُهُم مِّن بَعْضٍ ۚ يَأْمُرُونَ بِالْمُنكَرِ وَيَنْهَوْنَ عَنِ الْمَعْرُوفِ وَيَقْبِضُونَ أَيْدِيَهُمْ ۚ نَسُوا اللَّهَ فَنَسِيَهُمْ ۗ إِنَّ الْمُنَافِقِينَ هُمُ الْفَاسِقُونَ

ආත්ම වංචනික පිරිමින් හා ආත්ම වංචනික ස්තී්රන් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙන්ය. 30 ඔවුහු අයහපත අණ කරති. තවද (ජනයින්ව) යහපතින් වළක්වති. තවද ඔවුහු (වියදම් නොකර) තම අත් මිටි මොළවා ගනිති. ඔවුහු අල්ලාහ්ව අමතක කළෝය. එබැවින් ඔහු ද ඔවුන්ව අතහැරියේය. 31 සැබැවින්ම ආත්ම වංචනිකයින් වන ඔවුහුමය පාපතරයින් වන්නෝ.
30මෙහි ‘ඇතැමෙකු ඇතැමෙකුගෙන්ය’ යනුවෙන් අදහස් කරන්නේ ආත්ම වංචනික පිරිමින් හා ස්ත්රීන් සියල්ලන්ම එක හා සමානය යන්නෙන් පෙන්නුම් කිරීමටය.
31“ඔවුහු අල්ලාහ්ව අමතක කළෝය.” යනු ආත්ම වංචනික ඔවුන් අල්ලාහ්ට අවනත නොවී නැමදුම් කිරීමෙන් වැළකී සිටියෝය යන්නයි. “එබැවින් ඔහු ද ඔවුන්ව අතහැරියේය” යනු ඔවුන් අල්ලාහ්ට පිටුපෑ හෙයින් අල්ලාහ් ද ඔවුන් සමග මෘදු නොවී දරුණුව ක්රියාකරන බවයි යනුවෙන් අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි සඳහන් වී ඇත. මෙම ආයතය අරාබි වාගලංකාරයට අනුව ‘මුෂාකලා’ ගණයට අයත් ආයතයන් කිහිපයකින් එකකි. මුෂාකලා යනු “එක් විෂයක් යම් පාර්ශවයක් හා සම්බන්ධව සඳහන් වී ඇති අවස්ථාවක දී එම විෂය හා පාර්ශවය සැළකිල්ලට ගෙන එහි සැබෑ භාෂාමය අර්ථය හැර යථාර්ථයෙන් අර්ථවත් වන්නා වූ අරුත ගෙන ඒම වේ.” මෙම ආයතයෙහි “අමතක කිරීම” යන පදයට අදාළ අරාබි පදය වන “නිස්යාන්” යන පදය අරාබි වාගලංකාරයට අනුව අල්ලාහ් හා මැවුම යන දෙපාර්ශවයටම භාවිත වී තිබුණ ද දෙපාර්ශවයට දෙආකාරයක අරුත ගෙන දේ. එහෙයින් අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි ‘එබැවින් ඔහු(අල්ලාහ්) ද ඔවුන්ව අමතක කළේය’ යන පරිවර්තනයට ‘මුෂාකලා’ යන නීතිය අනුව “එබැවින් ඔහු ද ඔවුන්ව අතහැරියේය” යැයි අරුත දැක් වේ.
68

وَعَدَ اللَّهُ الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْكُفَّارَ نَارَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۚ هِيَ حَسْبُهُمْ ۚ وَلَعَنَهُمُ اللَّهُ ۖ وَلَهُمْ عَذَابٌ مُّقِيمٌ

ආත්ම වංචනික පිරිමින්ට ද ආත්ම වංචනික ස්තී්රන්ට ද ප්රතික්ෂේපකයන්ට ද අල්ලාහ් නිරා ගින්න ප්රතිඥා කළේය. (ඔවුහු) එහි සදාතනිකයෝ වෙති. එය ඔවුනට ප්රමාණවත්ය. තවද අල්ලාහ් ඔවුනට ශාප කළේය. තවද ඔවුනට සදාතනික දඬුවමක් ඇත. 32
32වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 4:56 ආයතයේ පාද සටහන බලන්න.
69

كَالَّذِينَ مِن قَبْلِكُمْ كَانُوا أَشَدَّ مِنكُمْ قُوَّةً وَأَكْثَرَ أَمْوَالًا وَأَوْلَادًا فَاسْتَمْتَعُوا بِخَلَاقِهِمْ فَاسْتَمْتَعْتُم بِخَلَاقِكُمْ كَمَا اسْتَمْتَعَ الَّذِينَ مِن قَبْلِكُم بِخَلَاقِهِمْ وَخُضْتُمْ كَالَّذِي خَاضُوا ۚ أُولَـٰئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ ۖ وَأُولَـٰئِكَ هُمُ الْخَاسِرُونَ

(ආත්ම වංචනිකයිනි! නුඹලා ද) නුඹලාට පෙර සිටියවුන් මෙනි. ඔවුහු නුඹලාට වඩා ශක්තියෙන් ඉතා දැඩිව ද ධනයෙන් හා දරුවන්ගෙන් ඉතා අධිකව ද සිටියෝය. එබැවින් (මෙලොවෙහි) ඔවුන්ගේ කොටස ඔවුන් භුක්ති වින්දෝය. නුඹලාට පෙර වූවන් ඔවුන්ගේ කොටස භුක්ති වින්දාක් මෙන් නුඹලා ද නුඹලාගේ කොටස භුක්ති වින්දෝය. තවද ඔවුන් (පාපයෙහි) නියැළුනාක් මෙන් නුඹලා ද නියැළුනෝය. මොවුන් (නම්) මෙලොවෙහි ද මතු ලොවෙහි ද තම ක්රියාවන් නිෂ්ඵල වූවන්ය. තවද මොවුහුමය අලාභවන්තයින් වන්නෝ.
70

أَلَمْ يَأْتِهِمْ نَبَأُ الَّذِينَ مِن قَبْلِهِمْ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَقَوْمِ إِبْرَاهِيمَ وَأَصْحَابِ مَدْيَنَ وَالْمُؤْتَفِكَاتِ ۚ أَتَتْهُمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ ۖ فَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَـٰكِن كَانُوا أَنفُسَهُمْ يَظْلِمُونَ

ඔවුන්ට පෙර වූ නූහ්ගේ ජනයාගේ ද (හූද්ගේ ජනයා වන) ආද්ගේ ද (සාලිහ්ගේ ජනයා වන) සමූද්ගේ ද ඉබ්රාහීම්ගේ ජනයාගේ ද (ෂුඅයිබ්ගේ ජනයා වන) මද්යන් වාසීන්ගේ ද (ලූත්ගේ ජනයා වන) උඩුයටිකුරු කරනු ලැබූ නගරය(න්හි වැසිය)න්ගේ 33 ද පුවත ඔවුන් වෙත නොපැමිණියේ ද? ඔවුන්ගේ රසූල්වරුන් පැහැදිලි සාධකයන් රැගෙන ඔවුන් වෙත පැමිණියෝය. එබැවින් අල්ලාහ් ඔවුනට අපරාධ කරන්නෙකු නොවීය. නමුත් ඔවුහු තමන්ටම අපරාධකර ගන්නන් වූහ.
33මෙම සිදුවීම් පිළිබඳව කෙටි විස්තරයක් සඳහා අල් කුර්ආන් 7:59 සිට 93 දක්වා ඇති ආයතයන් පාද සටහන සමග බලන්න.
71

وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَيُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَيُطِيعُونَ اللَّهَ وَرَسُولَهُ ۚ أُولَـٰئِكَ سَيَرْحَمُهُمُ اللَّهُ ۗ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ

විශ්වාසිකයින් ද විශ්වාසික කාන්තාවන් ද, ඔවුන්ගෙන් එකිනෙකා අනෙකාගේ මිතුරන්ය. ඔවුහු යහපත අණ කරති. තවද අයහපත (ජනයින්ගෙන්) වළක්වති. සලාතය ස්ථාපිත කරති. zසකාතය ද ලබා දෙති. තවද අල්ලාහ්ට ද ඔහුගේ රසූල්වරයාට ද අවනත වෙති.ඔවුන්ටමය අල්ලාහ් දයාව දක්වනුයේ. සැබැවින්ම අල්ලාහ් අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය.
72

وَعَدَ اللَّهُ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَمَسَاكِنَ طَيِّبَةً فِي جَنَّاتِ عَدْنٍ ۚ وَرِضْوَانٌ مِّنَ اللَّهِ أَكْبَرُ ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ

අල්ලාහ් විශ්වාසිකයින්ට ද විශ්වාසික කාන්තාවන්ට ද (ස්වර්ග) උයන් ප්රතිඥා කළේය. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. (ඔවුන්) එහි සදාතනිකයෝ වෙති. තවද සදාතනික වූ (ස්වර්ග) උයන්හි ඇති මනරම් වූ නවාතැන් ද ඇත. තවද අල්ලාහ්ගෙන් වූ තෘප්තිය අති ශ්රේෂ්ඨය. එයමය ඉමහත් ජයග්රහණය වන්නේ.
73

يَا أَيُّهَا النَّبِيُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنَافِقِينَ وَاغْلُظْ عَلَيْهِمْ ۚ وَمَأْوَاهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ الْمَصِيرُ

නබිවරය, (හර්බී) ප්රතික්ෂේපකයින් හා ආත්ම වංචනිකයින් සමග ප්රයත්නය කර ඔවුන් කෙරෙහි දැඩිව සිටිවු. 34 තවද ඔවුන්ගේ (අවසන්) ලැගුම් ගන්නා ස්ථානය නිරයයි. තවද (ඔවුන්) අවසානයේ යොමු වන ස්ථානය කෙතරම් නින්දනීය ද!
34ඉස්ලාමීය කෝණයෙන් බැලූ කල මුස්ලිම් නොවන්නන් කොටස් තුනකට වර්ග කළ හැක. පළමුවැනි කොටස නම් මුස්ලිම් රටවල්හි ඉස්ලාමීය රජය යටතේ වෙසෙන්නන්ය. මොවුන්ට ‘zදිම්මිවරුන්’ යැයි හඳුන්වනු ලැබේ. දෙවන කොටස මුස්ලිම් නොවන රාජ්යයක පොදුවේ මුස්ලිම්වරුන් සමග සහජීවනයෙන් වෙසෙන්නන්ය. මොවුන්ට ‘මුආහිද්වරුන්’ යැයි පවසනු ලැබේ. මෙම දෙපාර්ශවය විෂයෙහි ඔවුන්ගේ ජීවිතයන්ට හෝ සම්පත් වලට කිසිදු ආපදාවක් ඇති වන අයුරින් හැසිරීම මුස්ලිම්වරුන්ට තහනම්ය. එපමණක් නොව එය මහා පාපයක් ලෙස සලකනු ලැබේ. තෙවන කොටස නම් මුස්ලිම්වරුන්ට විරුද්ධකම් පෙන්වමින් ඔවුනට එරෙහිව අපරාධිතව සටනට පෙලඹෙන්නන්ය. මුස්ලිම් රාජ්යයකට සටන් කරන මෙන් අල්ලාහ් විධානය කොට ඇත්තේ මෙම පිරිසට එරෙහිවය. මොවුන් ‘හර්බීවරුන්’ යැයි හඳුන්වනු ලැබේ. නමුත් මෙම ආයතයේ ‘මුනාෆික්වරුන්’ හෙවත් මුස්ලිම්වරුන් ලෙස තමන්ව පෙන්වමින් මුස්ලිම්වරුන්ටම වංචා කරමින් සිටි ආත්ම වංචනිකයින් විෂයෙහි ජිහාද් බිල් ලිසාන් හෙවත් ‘දිව උපයෝගී කර ගනිමින් කරන්නා වූ ජිහාදය.’ යන ජිහාද් ප්රභේදයට අනුව ප්රයත්නයෙහි යෙදිය යුතු බව ශ්රේෂ්ඨ අල් කුර්ආන් විශාරදයෙකු වන ඉබ්නු අබ්බාස් තුමාණන් දන්වා ඇත. (වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:218 හි පාද සටහන් සමග බලන්න).
74

يَحْلِفُونَ بِاللَّهِ مَا قَالُوا وَلَقَدْ قَالُوا كَلِمَةَ الْكُفْرِ وَكَفَرُوا بَعْدَ إِسْلَامِهِمْ وَهَمُّوا بِمَا لَمْ يَنَالُوا ۚ وَمَا نَقَمُوا إِلَّا أَنْ أَغْنَاهُمُ اللَّهُ وَرَسُولُهُ مِن فَضْلِهِ ۚ فَإِن يَتُوبُوا يَكُ خَيْرًا لَّهُمْ ۖ وَإِن يَتَوَلَّوْا يُعَذِّبْهُمُ اللَّهُ عَذَابًا أَلِيمًا فِي الدُّنْيَا وَالْآخِرَةِ ۚ وَمَا لَهُمْ فِي الْأَرْضِ مِن وَلِيٍّ وَلَا نَصِيرٍ

ප්රතික්ෂේපයේ වදන ඔවුන් ප්රකාශ කර සිටිය ද (එසේ) ඔවුන් නොපැවසූ බවට අල්ලාහ් මත දිවුරති. තවද ඔවුන්ගේ ඉස්ලාමයෙන් පසු (ආත්ම වංචනික) ඔවුහු ප්රතික්ෂේප කළෝය.ඔවුන්ට සාක්ෂාත් කර ගත නොහැකි දෑ (ලබා ගන්නට) ඔවුන් අදිටන් කළෝය. 35 තවද අල්ලාහ් ද ඔහුගේ රසූල්වරයා ද ඔහුගේ වරප්රසාදයෙන් (මුස්ලිම්වරුන් වන) ඔවුන්ව (අල්ලාහ්) ධනවත් කළ හේතුවෙන් මිස ඔවුන් (මුස්ලිම්වරුන්ගෙන් මෙළෙස) පළි නොගත්තෝය. ඔවුන් පශ්චාත්තාප කළේ නම් එය ඔවුනට යහපත් වන්නේය. තවද ඔවුන් පිටුපෑවේ නම් මෙලොවෙහි ද මතු ලොවෙහි ද වේදනීය දඬුවමකින් අල්ලාහ් ඔවුනට දඬුවම් කරන්නේය. තවද ඔවුනට මිහිතලයෙහි (කිසිදු) භාරකරුවෙකු හෝ උදව්කරුවෙකු නොමැත.
35ඇතැම් වාර්තාවන් වලට අනුව නබි මුහම්මද් තුමාණන්ව ඝාතනය කිරීමට ආත්ම වංචනිකයින් කුමන්ත්රණ කළෝය. නමුත් ඔවුන්ට එය කි්රයාවට නැංවිය නොහැකි විය. මෙම ආයතය බොහෝ දුරට හඟවනුයේ මෙම සිදුවීමය.
75

وَمِنْهُم مَّنْ عَاهَدَ اللَّهَ لَئِنْ آتَانَا مِن فَضْلِهِ لَنَصَّدَّقَنَّ وَلَنَكُونَنَّ مِنَ الصَّالِحِينَ

“ඔහු(අල්ලාහ්) තම වරප්රසාදයෙන් අපට පිරිනැමුවේ නම් සැබැවින්ම අපි දන් දෙන්නෙමු. තවද සැබැවින්ම අපි සැදැහැමියන් අතුරින් ද වන්නෙමු” යැයි අල්ලාහ්ට ප්රතිඥා දුන් අය ද ඔවුන් අතුරින් වෙති.
76

فَلَمَّا آتَاهُم مِّن فَضْلِهِ بَخِلُوا بِهِ وَتَوَلَّوا وَّهُم مُّعْرِضُونَ

(නමුත්) ඔහු තම වරප්රසාදයෙන් ඔවුනට පිරිනැමූ විට එහි ඔවුහු මසුරුකම් පෑවෝය. තවද ඔවුන් පිටුපාන්නන්ව හැරී ගියෝය.
77

فَأَعْقَبَهُمْ نِفَاقًا فِي قُلُوبِهِمْ إِلَىٰ يَوْمِ يَلْقَوْنَهُ بِمَا أَخْلَفُوا اللَّهَ مَا وَعَدُوهُ وَبِمَا كَانُوا يَكْذِبُونَ

එබැවින් ඔවුන් අල්ලාහ්ට දුන් ප්රතිඥාව කඩ කළ හෙයින් ද අසත්යය ප්රකාශ කරමින් සිටි හෙයින් ද ඔහුව(අල්ලාහ්ව) ඔවුන් මුණගැසෙන (විනිශ්චය) දින දක්වා ඔවුනට ඔවුන්ගේ හදවත් තුළ (නොකඩවාම) ආත්ම වංචනික භාවය ඔහු ඇති කළේය.
78

أَلَمْ يَعْلَمُوا أَنَّ اللَّهَ يَعْلَمُ سِرَّهُمْ وَنَجْوَاهُمْ وَأَنَّ اللَّهَ عَلَّامُ الْغُيُوبِ

අල්ලාහ් ඔවුන් (තම සිත් තුළ) සඟවන දෑ හා (ඔවුන් අතර කතා කරන) ඔවුන්ගේ රහස් සාකච්ඡාවන් දන්නේ යැයි ද අල්ලාහ් ගුප්ත දෑ පිළිබඳව මැනවින් දන්නා යැයි ද ඔවුහු නොදැනගත්තෝ ද?
79

الَّذِينَ يَلْمِزُونَ الْمُطَّوِّعِينَ مِنَ الْمُؤْمِنِينَ فِي الصَّدَقَاتِ وَالَّذِينَ لَا يَجِدُونَ إِلَّا جُهْدَهُمْ فَيَسْخَرُونَ مِنْهُمْ ۙ سَخِرَ اللَّهُ مِنْهُمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

(ආත්ම වංචනිකයින් වන ඔවුන්) කවුරුන්ද යත් සදකාවන් විෂයෙහි විශ්වාසිකයින් අතුරින් ස්වෙච්ඡාවෙන් අතිරික්තව (වියදම්) කරන්නන්ව ද, තම පරිශ්රමයෙන් මිස (වෙනත්) කිසිවක් (දන් දීමේ හැකියාව) නොලැබූවන්ව ද විවේචනය කර ඔවුනට සමච්චල් කරන්නන්ය.අල්ලාහ් (ආත්ම වංචනිකයින් වන) ඔවුන්ට සමච්චල් කරයි. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත. 36
36තබූක් යුද්ධය සඳහා අවශ්ය දෑ නබි මුහම්මද් තුමාණන් එක් රැස් කරන මෙන් අණ කළ කල්හි සියලු මුස්ලිම්වරුන් ඔවුන්ගේ හැකියාවට අනුව පරිත්යාග කළෝය. නමුත් ආත්ම වංචනිකයන් පරිත්යාග කිරීමට මසුරුකම් පෑහ. තවද ඔවුහු පරිත්යාග කරන්නන්ව සමච්චල් කළෝය. ධනවතෙක් විශාල ප්රමාණයේ පරිත්යාගයක් කළේ නම් ඔහුට ‘අන් අයට පෙන්වීම සඳහා කරන්නේ’ යැයි චෝදනා කළෝය. දුගියෙක් තමාගේ මහන්සියෙන් උපයා යම් කුඩා ප්රමාණයක් පරිත්යාග කළේ නම් ඔහුව බලා සමච්චලයෙන් සිනාසුණෝය.
80

اسْتَغْفِرْ لَهُمْ أَوْ لَا تَسْتَغْفِرْ لَهُمْ إِن تَسْتَغْفِرْ لَهُمْ سَبْعِينَ مَرَّةً فَلَن يَغْفِرَ اللَّهُ لَهُمْ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَرَسُولِهِ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ

(නබිවරය,) ඔවුන් වෙනුවෙන් පාප ක්ෂමාව අයැදිවු. නැතහොත් ඔවුන් වෙනුවෙන් පාප ක්ෂමාව නොඅයැදිවු. නුඹ ඔවුන් වෙනුවෙන් හැත්තෑ වාරයක් පාපක්ෂමාව අයැද සිටිය ද ඔවුනට අල්ලාහ් සමාව නොදෙන්නේමය. එය ඔවුන් අල්ලාහ්ව ද ඔහුගේ රසූල්වරයාව ද ප්රතික්ෂේප කළ හෙයිනි. තවද පාපතර පිරිසට අල්ලාහ් යහමග පෙන්වන්නේ නැත.
81

فَرِحَ الْمُخَلَّفُونَ بِمَقْعَدِهِمْ خِلَافَ رَسُولِ اللَّهِ وَكَرِهُوا أَن يُجَاهِدُوا بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ وَقَالُوا لَا تَنفِرُوا فِي الْحَرِّ ۗ قُلْ نَارُ جَهَنَّمَ أَشَدُّ حَرًّا ۚ لَّوْ كَانُوا يَفْقَهُونَ

(ආත්ම වංචනිකයින් අතුරින් යුද්ධයට සහභාගී නොවී) රැඳී සිටියවුන් අල්ලාහ්ගේ රසූල්වරයාට පටහැණිව තමන්ගේ (නිවෙස්හික) හිඳගැනීම පිළිබඳව සතුටු වූවෝය. තවද ඔවුහු තම ධනයෙන් හා තම ප්රාණයෙන් අල්ලාහ්ගේ මාර්ගයේ ප්රයත්නය 37 කිරීම පිළිකුල් කළෝය. තවද “නුඹලා (මෙම) උණුසුමෙහි (අල්ලාහ්ගේ මාර්ගයෙහි) පිටව නොයවු” යැයි ඔවුහු පැවසුවෝය. (නබිවරය) “නිරා ගින්න උණුසුමින් ඉතා දැඩිය.” යැයි නුඹ පවසවු. (මේ පිළිබඳව) ඔවුහු වටහා ගන්නන්ව සිටියෙහු නම් (මැනව!)
37‘ජිහාද්’ පිළිබඳව වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:218 ආයතයේ පාද සටහන බලන්න.
82

فَلْيَضْحَكُوا قَلِيلًا وَلْيَبْكُوا كَثِيرًا جَزَاءً بِمَا كَانُوا يَكْسِبُونَ

එබැවින් ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් වූ ප්රතිඵලයක් වශයෙන් (මෙලොවෙහි) ඔවුන් සුළු වශයෙන් සිනාසෙත්වා! (මතු ලොවෙහි) ඔවුන් අධික වශයෙන් හඬත්වා!
83

فَإِن رَّجَعَكَ اللَّهُ إِلَىٰ طَائِفَةٍ مِّنْهُمْ فَاسْتَأْذَنُوكَ لِلْخُرُوجِ فَقُل لَّن تَخْرُجُوا مَعِيَ أَبَدًا وَلَن تُقَاتِلُوا مَعِيَ عَدُوًّا ۖ إِنَّكُمْ رَضِيتُم بِالْقُعُودِ أَوَّلَ مَرَّةٍ فَاقْعُدُوا مَعَ الْخَالِفِينَ

(නබිවරය,) අල්ලාහ් නුඹව (ආත්ම වංචනික) ඔවුන්ගෙන් වූ පිරිසක් වෙත (යුද්ධය අවසන් වීමෙන් පසුව) නැවත යවා පසුව (තවත් යුද්ධයකට) පිටත් වීමට ඔවුන් නුඹගෙන් අවසර පැතුවේ නම්, 38 “නුඹලා මා සමග කිසි විටෙක පිටත් නොවන්නෙහුමය. තවද මා සමග සතුරන්ට එරෙහිව නුඹලා යුද නොවදින්නෙහුමය. සැබැවින්ම නුඹලා මුල්වරට (යුද්ධයට සහභාගී නොවී නිවෙස්හි) හිඳ සිටීම පිළිබඳව ප්රිය කළෙහුය. එබැවින් නුඹලා (යුද්ධයට සහභාගී නොවන) රැඳී සිටින්නන් සමගම රැඳී සිටිවු.” යැයි නුඹ පවසවු.
38මෙයින් අදහස් කරන්නේ ආත්ම වංචනිකයන් තබූක් යුද්ධයෙන් පසුව තවත් යුද්ධයකට නබි මුහම්මද් තුමාගෙන් අවසර පැතුවේ නම් ඔවුන්ට අවසර නොදිය යුතු බවය. මන්දයත් ඔවුන් යම් අවස්ථාවක මුස්ලිම්වරුන්ව පාවා දිය හැක. තවද ඔවුන් යුද්ධයට සහභාගී වන්නේ පිරිසුදු චේතනාවකින් නොව ලෞකික වස්තූන් හා පුහු මානය අපේක්ෂාවෙන්ය.
84

وَلَا تُصَلِّ عَلَىٰ أَحَدٍ مِّنْهُم مَّاتَ أَبَدًا وَلَا تَقُمْ عَلَىٰ قَبْرِهِ ۖ إِنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَرَسُولِهِ وَمَاتُوا وَهُمْ فَاسِقُونَ

තවද (ආත්ම වංචනික) ඔවුන් අතුරින් මරණයට පත් කිසිවෙකු සඳහා කිසිවිටෙක නුඹ සලාතය 39 ඉටු නොකරවු. තවද ඔහුගේ මිනීවළ අසල (වළ දැමීම පිණිස හෝ බැහැ දැකීම පිණිස) සිට නොගනිවු. 40 සැබැවින්ම ඔවුහු අල්ලාහ්ව ද ඔහුගේ රසූල්වරයාව ද ප්රතික්ෂේප කළෝය. තවද පාපතරයින්ව සිටියදීම ඔවුහු මරණයට පත් වූවෝය.
39මෙම ආයතයෙහි සඳහන් සලාතය යනු මළගිය ඇත්තන් සඳහා ඉටු කරනු ලබන නැමදුමයි. ඊට “ජනාzසා සලාතය” යැයි හඳුන්වනු ලැබේ.
40ආත්ම වංචනිකයන්ගේ නායක අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි මරණයට පත් වූ අවස්ථාවේ සත්යය මුස්ලිම්වරයෙකු වන ඔහුගේ පුත්රයා නබි මුහම්මද් තුමාට තම පියාගේ දේහය සඳහා ජනාසා සලාතය ඉටු කරන මෙන් ඉල්ලා සිටියේය. එතුමා ඔහුගේ ඉල්ලීම පිළිගෙන සලාතය ඉටු කළේය. මන්දයත් ඔහු මුස්ලිම්වරයෙකු මෙන් සිටි හෙයිනි. මෙම ආයතය පහළ වූයේ ආත්ම වංචනිකයින් වෙනුවෙන් නබි මුහම්මද් තුමා සලාතය ඉටු නොකළ යුතු යැයි වැළැක්වීමටය. ඉන් පසුව නබි මුහම්මද් තුමා කිසිදු ආත්ම වංචනිකයෙකුගේ ජනාසා සලාතයට සහභාගී නොවීය. නමුත් මින් අදහස් කරනුයේ පොදුවේ ඉස්ලාම් නොවන්නන්ගේ අවමංගල්යයන්ට සහභාගී නොවීම පිළිබඳව නොවය. මන්දයත් ඉස්ලාම් නොවන්නන්ගේ අවමංගල්යයන්ට සහභාගී වීම ඉස්ලාමය අගය කරන විෂයකි. එවන් නිවෙස්හි සහභාගී වී උසුරිය යුතු විශේෂ ප්රාර්ථනාවන්ද නබිවදන්හි පැහැදිලිව සඳහන් වී ඇත.
85

وَلَا تُعْجِبْكَ أَمْوَالُهُمْ وَأَوْلَادُهُمْ ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ أَن يُعَذِّبَهُم بِهَا فِي الدُّنْيَا وَتَزْهَقَ أَنفُسُهُمْ وَهُمْ كَافِرُونَ

තවද (නබිවරය,) ඔවුන්ගේ ධනය ද ඔවුන්ගේ දරුවන් ද නුඹව මවිතයට පත් නොකළ යුතුය. සැබැවින්ම අල්ලාහ් අපේක්ෂා කරනුයේම එමගින් මෙලොවෙහි ඔවුනට දඬුවම් කිරීමට හා ඔවුන් ප්රතික්ෂේපකයින් ලෙස (සිටියදී) ඔවුන්ගේ ආත්මාවන් (ඔවුන්ගෙන්) නික්ම වීමටය.
86

وَإِذَا أُنزِلَتْ سُورَةٌ أَنْ آمِنُوا بِاللَّهِ وَجَاهِدُوا مَعَ رَسُولِهِ اسْتَأْذَنَكَ أُولُو الطَّوْلِ مِنْهُمْ وَقَالُوا ذَرْنَا نَكُن مَّعَ الْقَاعِدِينَ

“නුඹලා අල්ලාහ්ව විශ්වාස කරවු. තවද ඔහුගේ රසූල්වරයා සමග (එක් වී) ප්රයත්නය 41 කරවු.” යැයි පරිච්ඡේදයක් පහළ කරනු ලැබූ කල්හි ඔවුන් අතුරින් වත්කම් ඇත්තන් “(යුද්ධයට සහභාගී නොවී නිවෙස්හි) හිඳ සිටින්නන් සමග අප වීමට අපව අතහැර දමන්නැ”යි පවසා නුඹගෙන් ඔවුහු අවසර පතති.
41වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:218 ආයතයේ පාද සටහන බලන්න.
87

رَضُوا بِأَن يَكُونُوا مَعَ الْخَوَالِفِ وَطُبِعَ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَفْقَهُونَ

ඔවුහු (යුද්ධයට සහභාගී නොවී සිටි) ගෘහස්ථ කාන්තාවන් සමග වීමට පි්රය කළෝය. තවද ඔවුන්ගේ (පාපයන් හේතුවෙන්) හදවත් මත මුද්රා තබන ලදී. එබැවින් ඔවුන් වටහා නොගනිති.
88

لَـٰكِنِ الرَّسُولُ وَالَّذِينَ آمَنُوا مَعَهُ جَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ ۚ وَأُولَـٰئِكَ لَهُمُ الْخَيْرَاتُ ۖ وَأُولَـٰئِكَ هُمُ الْمُفْلِحُونَ

නමුත් රසූල්වරයා ද ඔහු සමග වූ විශ්වාස කළවුන් ද තමන්ගේ ධනයෙන් හා ප්රාණයෙන් ප්රයත්නය 42 කළෝය. තවද (මෙලොව සහ මතුලොව) යහපත් දෑ ඇත්තේ ඔවුන්ටමය. තවද ජයග්රාහකයින් ද ඔවුන්මය.
42වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:218 ආයතයේ පාද සටහන බලන්න.
89

أَعَدَّ اللَّهُ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ

අල්ලාහ් ඔවුන් වෙනුවෙන් (ස්වර්ග) උයන් සූදානම් කළේය. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. (ඔවුහු) එහි සදාතනිකයෝ වෙති. ඉමහත් වූ ජයග්රහණය එයයි.
90

وَجَاءَ الْمُعَذِّرُونَ مِنَ الْأَعْرَابِ لِيُؤْذَنَ لَهُمْ وَقَعَدَ الَّذِينَ كَذَبُوا اللَّهَ وَرَسُولَهُ ۚ سَيُصِيبُ الَّذِينَ كَفَرُوا مِنْهُمْ عَذَابٌ أَلِيمٌ

ගම්බද අරාබිවරුන් අතුරින් (යුද්ධයට යා නොහැකි නිසි) කාරණා ඇත්තන් (යුද්ධයට සහභාගී නොවී සිටීමට) තමන් වෙනුවෙන් අවසර ලබනු පිණිස (රසූල්වරයා වෙතට) පැමිණියෝය.තවද අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයාව අසත්යය කළවුන් (අවසර නොපතාම යුද්ධයට නොගොස් නිවසෙහි) හිඳ සිටියෝය. ඔවුන් අතුරින් ප්රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් ඇති වනු ඇත.
91

لَّيْسَ عَلَى الضُّعَفَاءِ وَلَا عَلَى الْمَرْضَىٰ وَلَا عَلَى الَّذِينَ لَا يَجِدُونَ مَا يُنفِقُونَ حَرَجٌ إِذَا نَصَحُوا لِلَّهِ وَرَسُولِهِ ۚ مَا عَلَى الْمُحْسِنِينَ مِن سَبِيلٍ ۚ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ

දුබලයින් කෙරෙහි ද රෝගීන් කෙරෙහි ද (යුද්ධය සඳහා) වියදම් කිරීමට කිසිවක් නොලැබූවන් කෙරෙහි ද ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට අවංකව සිටියේ නම් (යුද්ධයට සහභාගී නොවීම) වරදක් නැත. යහපත කරන්නන්ට එරෙහිව (අඩුපාඩු කීමට) කිසිදු මාර්ගයක් නැත. අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
92

وَلَا عَلَى الَّذِينَ إِذَا مَا أَتَوْكَ لِتَحْمِلَهُمْ قُلْتَ لَا أَجِدُ مَا أَحْمِلُكُمْ عَلَيْهِ تَوَلَّوا وَّأَعْيُنُهُمْ تَفِيضُ مِنَ الدَّمْعِ حَزَنًا أَلَّا يَجِدُوا مَا يُنفِقُونَ

තවද (නබිවරය,) නුඹ ඔවුන්ව නංවාගෙන (යුද්ධයට) යෑම පිණිස (වාහනයක් ඉල්ලා) ඔවුන් නුඹ වෙත පැමිණ නුඹ ‘නුඹලාව නංවාගෙන යන්නට යමක්(වාහනයක්) මා නොලැබුවෙමි’යි පැවසූ විට (යුද්ධය සඳහා) තමන්ට වියදම් කිරීමට යමක් නොලැබුවේ යැ’යි දුකින් ඔවුන්ගේ ඇස් කදුළු සලමින් (යුද්ධයට නොගොස්) හැරී ගියවුන් කෙරෙහි ද (කිසිදු වරදක්) නැත.