يَسْأَلُونَكَ عَنِ الْأَنفَالِ ۖ قُلِ الْأَنفَالُ لِلَّهِ وَالرَّسُولِ ۖ فَاتَّقُوا اللَّهَ وَأَصْلِحُوا ذَاتَ بَيْنِكُمْ ۖ وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ إِن كُنتُم مُّؤْمِنِينَ
(නබිවරය, යුද බිමේ දී සතුරන්ගෙන්) අත්පත් වූ වස්තූන් පිළිබඳව නුඹගෙන් ඔවුහු විමසති. “(යුද බිමේ දී සතුරන්ගෙන්) අත්පත් වූ වස්තූන් අල්ලාහ්ට හා රසූල්වරයාට සතු යැ”යි නුඹ පවසවු. නුඹලා විශ්වාසිකයින්ව සිටින්නේ නම් නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද නුඹලා අතර වූ බැඳියාවන් නිවැරදි කර ගනිවු. අල්ලාහ්ට ද ඔහුගේ රසූල්වරයාට ද අවනත වවු.
1බද්ර් යුද පිටියෙන් මක්කාවාසී ප්රතික්ෂේපකයින් පලා ගිය කල්හි සහාබිවරුන්ගෙන් එක් කණ්ඩායමක් සතුරන් පසුපසින් ඔවුන්ව එළවාගෙන ගියෝය. තවත් කණ්ඩායමක් නබි මුහම්මද් තුමාගේ ආරක්ෂාව පිණිස එතුමා සමග සිටියෝය. තවත් කණ්ඩායමක් යුද බිමේ සතුරන් අත් හැර ගිය වස්තූන් එක්රැස් කළෝය. පළමු කණ්ඩායම් දෙක තමන් නබි මුහම්මද් තුමාණන්ගේ ආරක්ෂා කිරීම පිණිස එතුමා සමග සිටි හෙයින් ද සතුරන්ව එළවාගෙන ගිය හෙයින් ද ඔවුන්ට යුද බිමේ සතුරන් අත් හැර ගිය වස්තූන් එක්රැස් කිරීමට අවස්ථාවක් නොවූ බව ද ඔවුන් ද යුද්ධයට සමාන දායකත්වයක් දුන් හෙයින් ඔවුන් ද එම වස්තූන් ලැබීමට සුදුස්සන් යැයි ද අයිතිය කියා පෑවෝය. මෙම ගැටලුව නබි මුහම්මද් තුමා වෙත ඉදිරිපත් කරන ලදි. එයට පැහැදිලි කිරීමක් ලෙස අල්ලාහ් මෙම ආයතය පහළ කළේය. එනම් යුද බිමේ සතුරන් අත් හැර ගිය වස්තූන් සියල්ල අල්ලාහ්ට පමණක් සතු වන අතර නබි මුහම්මද් තුමාට අල්ලාහ්ගේ විධානයට අනුව ඒවා බෙදා දෙන ලෙස බලයක් පවරා ඇත යන්නයි. එබැවින් එතුමා සියල්ලන්ටම සමානව ඒවා බෙදා දුන්නේය. මෙයින් සියල්ලෝම සතුටට පත් වූහ.
إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ
සැබැවින්ම විශ්වාසිකයින් වනුයේ අල්ලාහ්( පිළිබඳ)ව සිහිපත් කරනු ලැබූ කල්හි ඔවුන්ගේ හදවත් තැති ගන්නා වූ ද ඔහුගේ වදන් ඔවුන් හට පාරායනය කරනු ලැබූ කල්හි ඒවා ඔවුන්ව විශ්වාසයෙන් වර්ධනය කරන්නා වූ ද තවද තම පරමාධිපතියාණන් කෙරෙහිම සියල්ල භාර කරන්නා වූ ද අය වෙති.
الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ
(ඔවුහු) සලාතය ස්ථාපිත කරති. තවද අපි ඔවුනට ලබා දුන් දැයින් (අනුමත දැයට) වියදම් කරති.
أُولَـٰئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا ۚ لَّهُمْ دَرَجَاتٌ عِندَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ
සැබෑ ලෙස විශ්වාස කරන්නෝ ඔවුහුමය. ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස (ස්වර්ගයෙහි උසස්) තරාතිරම් ද පාප ක්ෂමාව ද ගෞරවනීය බොජුන් ද ඇත.
كَمَا أَخْرَجَكَ رَبُّكَ مِن بَيْتِكَ بِالْحَقِّ وَإِنَّ فَرِيقًا مِّنَ الْمُؤْمِنِينَ لَكَارِهُونَ
(නබිවරය, යුද පිටියේ දී අත්පත් වූ වස්තූන් සම්බන්ධව පැන නැගී ඇති තත්ත්වය) විශ්වාසිකයින්ගෙන් පිරිසක් පිළිකුල් කළ මොහොතෙහි නුඹව නුඹගේ පරමාධිපති නුඹගේ නිවසින් සත්යය වෙනුවෙන් පිට කළ (විට පැන නැගුණු තත්ත්වය) මෙන්ය.
2විශ්වාසිකයින්ගෙන් පිරිසක් මක්කා ප්රතික්ෂේපකයින් සමග යුද කිරීමට පිළිකුල් කළෝය. මන්දයත් ආරම්භයේදී ඔවුන් අබූ සුෆ්යාන් නැමැත්තාගේ තවලම ආක්රමණය කිරීමට පිට වූ හෙයින් මෙය පහසු මෙහෙයවීමක් යැයි සිතුවෝය. පසුව ප්රතික්ෂේපකයින්ගේ විශාල යුද සේනාව හා ඔවුන්ගේ ආයුධ බලය දැක ඒ මොහොතේ ඔවුන් යුද කිරීමට අකමැත්තක් දැක්වූහ. නමුත් ඔවුන් අල්ලාහ්ගේ හා ඔහුගේ රසූල්වරයාගේ විධානයට අවනත වී යුද්ධ කළ හේතුවෙන් ඔවුන්ට අත් වූ ජයග්රහණය ඔවුන්ගේ දෑස් වලින්ම දුටුවෝය. මේ අයුරින්ම නබි මුහම්මද් තුමාණන් යුද්ධයෙන් සතුරන් දමා ගොස් තිබූ වස්තූන් යුද්ධයට සහභාගී වූ සහාබිවරුන් අතර බෙදා දෙන මොහොතෙහි ඇතැම් පිරිසක් මෙම බෙදා දෙන පිළිවෙත අප්රිය කළෝය. නමුත් ඔවුන් අල්ලාහ්ගේ විධානයට හා නබි මුහම්මද් තුමාණන්ට අවනත වූ හෙයින් පෙර මෙන් සතුටුදායී තත්වයක් ඇතිව සහාබිවරුන් අතරේ එම වස්තූන් සමාන අයුරින් බෙදී ගියහ.
3මෙහි ‘සත්යය’ යනු මුස්ලිම්වරුන්ට අත්වූ මහත් වූ ජයග්රහණයයි. ආයතයේ සඳහන් පරිදි ආරම්භයේ දී නබි මුහම්මද් තුමාණන් අබූ සුෆ්යාන් නැමැත්තාගේ තවලම ආක්රමණය කිරීමට නිවසින් පිට වුවද අවසානයේ යුද්ධයක් ඇති වී එම යුද්ධයෙන් මුස්ලිම්වරුන් මහත් ජයග්රහණයක් අත් කර ගනු ඇතැයි අල්ලාහ් මැනවින් දනියි. එබැවින් අල්ලාහ් මෙම ආයතයේ “නුඹගේ නිවසින් තවලම වෙනුවෙන් පිට කළ මෙන්” යැයි නොපවසා “නුඹගේ නිවසින් සත්යය වෙනුවෙන් පිට කළ මෙන්” යැයි සඳහන් කර ඇත.
يُجَادِلُونَكَ فِي الْحَقِّ بَعْدَ مَا تَبَيَّنَ كَأَنَّمَا يُسَاقُونَ إِلَى الْمَوْتِ وَهُمْ يَنظُرُونَ
ඔවුන් (මරණය) බලමින් සිටිය දීම (අප්රියෙන්) මරණය වෙත ඇද ගෙන යනු ලබන්නාක් මෙන් ඔවුහු සත්යය විෂයෙහි එය පැහැදිලි වූ පසුව ද (එය අප්රිය කරමින්) නුඹ සමග තර්ක කරති.
وَإِذْ يَعِدُكُمُ اللَّهُ إِحْدَى الطَّائِفَتَيْنِ أَنَّهَا لَكُمْ وَتَوَدُّونَ أَنَّ غَيْرَ ذَاتِ الشَّوْكَةِ تَكُونُ لَكُمْ وَيُرِيدُ اللَّهُ أَن يُحِقَّ الْحَقَّ بِكَلِمَاتِهِ وَيَقْطَعَ دَابِرَ الْكَافِرِينَ
‘(සතුරු) කණ්ඩායම් දෙකින් එකක් නුඹලාට සතු වනු ඇත’ යැයි අල්ලාහ් නුඹලාට ප්රතිඥා දුන් අවස්ථාව (සිහිපත් කරවු.) තවද නිරායුද (ව්යාපාරික) පිරිස නුඹලාට සතු විය යුතු යැයි නුඹලා ප්රිය කරන්නෙහුය. අල්ලාහ් තම වදන් තුළින් සත්යය තහවුරු කිරීමට ද (හර්බී දේව) ප්රතික්ෂේපකයින්ගේ අවසානයා තෙක් මුලිනුපුටා දැමීමට ද අපේක්ෂා කරන්නේය.
4මෙහි ‘කණ්ඩායම් දෙක’ යනු අබූ සුෆ්යාන්ගේ තවලමේ පැමිණි කණ්ඩායම හා අබූ ජහ්ල්ගේ යුද සේනාවේ කණ්ඩායමයි. මෙම කණ්ඩායම් දෙකෙන් දුර්වල කණ්ඩායම වූයේ අබූ සුෆ්යාන්ගේ තවලමේ පැමිණි කණ්ඩායමයි. එබැවින් මුස්ලිම්වරුන්ගෙන් පිරිසක් මෙම කණ්ඩායම තම අක්රමණයට නතු විය යුතු යැයි පැතූහ. නමුත් අල්ලාහ්, අනෙක් කණ්ඩායම වන අබූ ජහ්ල්ගේ යුද සේනාව සමග මුස්ලිම්වරුන්ව යුද වැදීමට සලස්වා මුස්ලිම්වරුන්ට මහත් ජයග්රහණයක් අත් කර දුන්නේය. තවද ප්රතික්ෂේපිත කණ්ඩායම සහමුලින්ම පරාජයට පත් විය. මොවුන් අරාබිවරුන්ට ඉස්ලාම් දහම වැලඳ ගැනීමට බාධාවක්ව සිටි ප්රධාන පෙළේ ප්රතික්ෂේපකයින්ය.
لِيُحِقَّ الْحَقَّ وَيُبْطِلَ الْبَاطِلَ وَلَوْ كَرِهَ الْمُجْرِمُونَ
(අල්ලාහ් එලෙස කරනුයේ) වැරදිකරුවන් පිළිකුල් කළ ද අසත්යය නිෂ්ඵල කර සත්යය ස්ථාපිත කිරීම පිණිසය.
إِذْ تَسْتَغِيثُونَ رَبَّكُمْ فَاسْتَجَابَ لَكُمْ أَنِّي مُمِدُّكُم بِأَلْفٍ مِّنَ الْمَلَائِكَةِ مُرْدِفِينَ
(යුද පිටියේ දී සතුරන්ට එරෙහිව) නුඹලා තම පරමාධිපතිගෙන් උදව් පැතූ විට “එකිනෙකා පෙළ ගැසී එන මලක්වරුන්ගෙන් දහසක් දෙනා මගින් මා නුඹලාට උදව් කරන්නෙකු වෙමි” යැයි ඔහු නුඹලාට පිළිතුරු දුන් අවස්ථාව (සිහිපත් කරවු).
وَمَا جَعَلَهُ اللَّهُ إِلَّا بُشْرَىٰ وَلِتَطْمَئِنَّ بِهِ قُلُوبُكُمْ ۚ وَمَا النَّصْرُ إِلَّا مِنْ عِندِ اللَّهِ ۚ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ
අල්ලාහ් (නුඹලාට) ශුභාරංචියක් වශයෙන් හා නුඹලාගේ හදවත් එමගින් නිසල වීම පිණිස මිස මෙය සිදු නොකළේය. තවද උපකාරය අල්ලාහ් වෙතින් මිස නොමැත. සැබැවින්ම අල්ලාහ් අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය.
إِذْ يُغَشِّيكُمُ النُّعَاسَ أَمَنَةً مِّنْهُ وَيُنَزِّلُ عَلَيْكُم مِّنَ السَّمَاءِ مَاءً لِّيُطَهِّرَكُم بِهِ وَيُذْهِبَ عَنكُمْ رِجْزَ الشَّيْطَانِ وَلِيَرْبِطَ عَلَىٰ قُلُوبِكُمْ وَيُثَبِّتَ بِهِ الْأَقْدَامَ
ඔහුගෙන් (දායාද) වූ නිර්භියක් වශයෙන් සුළු නින්දෙන් ඔහු නුඹලාව ආවරණය කර ඔහු නුඹලාට අහසින් ජලය පහළ කළ අවස්ථාව (සිහිපත් කරවු. එලෙස ජලය පහළ කළේ) එමගින් නුඹලාව පිරිසිදු කිරීම පිණිස ද (නුඹලාගේ සිතට උවදුරු කළ) ෂෙයිතාන්ගේ අපවිත්රතාව නුඹලාගෙන් ඉවත් කිරීම පිණිස ද නුඹලාගේ හදවත් (විශ්වාසයෙන්) බැඳියාවක් ඇති කරනු පිණිස ද එමගින් පාද ස්ථාවර කිරීම පිණිස ද වේ.
5මුස්ලිම්වරුන්ට වඩා සතුරන්ට ආයුධ බලය හා මිනිස් බලය අධිකව තිබුණ ද අල්ලාහ් මුස්ලිම්වරුන්ගේ සිත් තුළ යුද පිටියේදී සන්සුන්භාවයක් ඇති කර සුළු නින්දක් ද ඇති කළේය.
6මුස්ලිම්වරුන් සුදු වැලි තලාවකට ගොස් කඳවුරු බැන්ඳෝය. ඒ ස්ථානය වාලුකාවෙන් ගහන බැවින් ජනයා ඇවිද ඔවුන්ගේ පා වැලි යට එරුණි. කුරෙයිෂ්වරුන් මොවුනට ඉදිරියෙහි වූ දොළට සමීපව කඳවුරු බැන්දෝය. මුස්ලිම්වරුන් නිදා ගත් කල්හි බොහෝ දෙනෙකුට ස්නානය කිරීමට අනිවාර්යය තත්ත්වයක් උදා විය. මක්කාවාසී ප්රතික්ෂේපකයින් එහි වූ දිය තොටු පළවල් අයිති කර ගත් බැවින් මුස්ලිම්වරුන්ට නෑමට පවා ජලය නැති විය. එවිට ෂෙයිතාන් මුස්ලිම්වරුන්ගේ සිතට අපොහොසත්භාවය පිළිබඳව උවදුරු කළ හෙයින් මුස්ලිම්වරුන් දුක් මුසුව සිටියෝය. එදින රාත්රියෙහි අල්ලාහ් වර්ෂාව පහළ කළ හේතුවෙන් එම දොළ උතුරා ගියේය. මුස්ලිම්වරුන් නැවතී සිටි සුදු වැලි කන්ද වර්ෂාව හේතුවෙන් ඝන වී තලාවක් බවට පත් විය. මක්කාවාසී ප්රතික්ෂේපකයින් සිටි පෙදෙස ජලයෙන් උතුරා ගිය බැවින් මඩ වගුරු බවට පත් විය. මුස්ලිම්වරුන්ට සිතට ශාන්තිය ද සැනසුම ද වී දෙවන දින සටනට සැරසුණෝය.
إِذْ يُوحِي رَبُّكَ إِلَى الْمَلَائِكَةِ أَنِّي مَعَكُمْ فَثَبِّتُوا الَّذِينَ آمَنُوا ۚ سَأُلْقِي فِي قُلُوبِ الَّذِينَ كَفَرُوا الرُّعْبَ فَاضْرِبُوا فَوْقَ الْأَعْنَاقِ وَاضْرِبُوا مِنْهُمْ كُلَّ بَنَانٍ
“මා නුඹලා සමගය. එබැවින් විශ්වාස කළවුන්ව ස්ථාවර කරවු. (හර්බීව සිටි) ප්රතික්ෂේප කළවුන්ගේ හදවත් තුළ මා බිය උපදවන්නෙමි. එබැවින් (ඔවුන්ගේ) බෙලි වලට ඉහළින් නුඹලා පහර දෙවු. තවද සෑම ඇඟිලි තුඩක්ම ඔවුන්ගෙන් නුඹලා ගසා දමවු” යැයි නුඹගේ පරමාධිපති මලක්වරුන්ට වහී(දේව පණිවිඩය) පහළ කළ අවස්ථාව (නබිවරය, සිහිපත් කරවු).
7ඉස්ලාමීය කෝණයෙන් බැලූ කල මුස්ලිම් නොවන්නන් කොටස් තුනකට වර්ග කළ හැක. පළමුවැනි කොටස නම් මුස්ලිම් රටවල්හි ඉස්ලාමීය රජය යටතේ වෙසෙන්නන්ය. මොවුන්ට ‘zදිම්මිවරුන්’ යැයි හඳුන්වනු ලැබේ. දෙවන කොටස මුස්ලිම් නොවන රාජ්යයක පොදුවේ මුස්ලිම්වරුන් සමග සහජීවනයෙන් වෙසෙන්නන්ය. මොවුන්ට ‘මුආහිද්වරුන්’ යැයි පවසනු ලැබේ. මෙම දෙපාර්ශවය විෂයෙහි ඔවුන්ගේ ජීවිතයන්ට හෝ සම්පත් වලට කිසිදු ආපදාවක් ඇති වන අයුරින් හැසිරීම මුස්ලිම්වරුන්ට තහනම්ය. එපමණක් නොව එය මහා පාපයක් ලෙස සලකනු ලැබේ. තෙවන කොටස නම් මුස්ලිම්වරුන්ට විරුද්ධකම් පෙන්වමින් ඔවුනට එරෙහිව අපරාධිතව සටනට පෙලඹෙන්නන්ය. මුස්ලිම් රාජ්යයකට සටන් කරන මෙන් අල්ලාහ් විධානය කොට ඇත්තේ මෙම පිරිසට එරෙහිවය. මොවුන් ‘හර්බීවරුන්’ යැයි හඳුන්වනු ලැබේ. තවද මෙම ආයතය සූරාවේ හැඳින්වීමේ සඳහන් පරිදි බදර් යුද්ධය හා සම්බන්ධ වැකියකි, එම යුද්ධයේ මුස්ලිම්වරුන්ගේ සතුරන් වූ එකල වාසය කළ කුරෙයිෂි හර්බී කාෆිර්වරුන් හා සම්බන්ධව පහළ වූ වැකියකි.
ذَٰلِكَ بِأَنَّهُمْ شَاقُّوا اللَّهَ وَرَسُولَهُ ۚ وَمَن يُشَاقِقِ اللَّهَ وَرَسُولَهُ فَإِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ
මෙය (හර්බී ප්රතික්ෂේපක) ඔවුන් අල්ලාහ්ටත් ඔහුගේ රසූල්වරයාටත් විරුද්ධ වූ හේතුවෙනි. කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට විරුද්ධ වන්නේ ද එවිට (දැන ගනු.) සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය.
ذَٰلِكُمْ فَذُوقُوهُ وَأَنَّ لِلْكَافِرِينَ عَذَابَ النَّارِ
(ලොවෙහි නුඹලාට අත්වන දඬුවම වනුයේ) මෙයයි. මෙය නුඹලා භුක්ති විදිවු. තවද ප්රතික්ෂේප කළවුනට (මතු ලොවෙහි නිරා) ගින්නේ දඬුවම ද ඇත.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا لَقِيتُمُ الَّذِينَ كَفَرُوا زَحْفًا فَلَا تُوَلُّوهُمُ الْأَدْبَارَ
විශ්වාස කළවුනි! ප්රතික්ෂේප කළවුන් (යුද බිමෙහි) රොක් වී පැමිණීම නුඹලා මුණ ගැසුණු විට නුඹලා ඔවුනට පසුපස හැරී පසුබට වී නොයවු.
وَمَن يُوَلِّهِمْ يَوْمَئِذٍ دُبُرَهُ إِلَّا مُتَحَرِّفًا لِّقِتَالٍ أَوْ مُتَحَيِّزًا إِلَىٰ فِئَةٍ فَقَدْ بَاءَ بِغَضَبٍ مِّنَ اللَّهِ وَمَأْوَاهُ جَهَنَّمُ ۖ وَبِئْسَ الْمَصِيرُ
යුද වැදීමට (යුද උපක්රමයක් වශයෙන් පෙරළා පහර දීම සඳහා) පසුපසට පැමිණෙන්නෙකුව හෝ පිටුපස වී (යුද වදින තම) කණ්ඩායමක් සමග එකතු වන්නෙකුව මිස එදින කවරෙකු ඔවුනට තම පිටුපස ලා හැරී යන්නේ ද එවිට අල්ලාහ්ගෙන් වූ කෝපය සමග ඔහු හැරී එන්නේය. තවද ඔහුගේ ලැගුම් ගන්නා ස්ථානය නිරයයි. නැවත යොමු වන ස්ථාන අතුරින් (එය) ඉතා නපුරුය.
فَلَمْ تَقْتُلُوهُمْ وَلَـٰكِنَّ اللَّهَ قَتَلَهُمْ ۚ وَمَا رَمَيْتَ إِذْ رَمَيْتَ وَلَـٰكِنَّ اللَّهَ رَمَىٰ ۚ وَلِيُبْلِيَ الْمُؤْمِنِينَ مِنْهُ بَلَاءً حَسَنًا ۚ إِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ
(යුද බිමේ දී) ඔවුන්ව නුඹලා ඝාතනය කළේ නැත. නමුත් ඔවුන්ව ඝාතනය කළේ අල්ලාහ්ය. (නබිවරය,) නුඹ විසි කළ විට (ඇත්තෙන්ම) නුඹ විසි කළේ නැත. නමුත් එය විසි කළේ අල්ලාහ්ය. (අල්ලාහ් එලෙස කළේ) එයින් විශ්වාසිකයින්ව යහ පරීක්ෂණයකින් පරීක්ෂා කිරීම පිණිසය. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්රාවකය සර්වඥය.
8බද්ර් යුද්ධයේ දී නබි මුහම්මද් තුමා වැලි හා ගල් කැට අහුරක් ගෙන සතුරන් දෙසට විසි කළේය. ඒවා සතුරන්ගේ දෑස් තුළට ගොස් ඔවුන් අතර කලබලකාරී තත්ත්වයක් ඇති කළේය.
9යුද බිමේ සිටින හර්බී ප්රතික්ෂේපකයින්ට ආයුධ බලය සහ සේනා බලය තිබියදී, කිසිදු පහසුකමක් නොවූ මුස්ලිම්වරුන්ට ජයග්රහණය ලබා දීමෙන් මුස්ලිම්වරුන් සත්යය වටහාගෙන අල්ලාහ්ට කෘතවේදී වේදැ’යි පරික්ෂා කිරීම මින් අදහස් වේ.
ذَٰلِكُمْ وَأَنَّ اللَّهَ مُوهِنُ كَيْدِ الْكَافِرِينَ
(නුඹලාට අත් වූ විමුක්තිය) මෙයයි. තවද අල්ලාහ් ප්රතික්ෂේපකයින්ගේ කුමන්ත්රණ දුබලයට පත් කරන්නෙකුය.
إِن تَسْتَفْتِحُوا فَقَدْ جَاءَكُمُ الْفَتْحُ ۖ وَإِن تَنتَهُوا فَهُوَ خَيْرٌ لَّكُمْ ۖ وَإِن تَعُودُوا نَعُدْ وَلَن تُغْنِيَ عَنكُمْ فِئَتُكُمْ شَيْئًا وَلَوْ كَثُرَتْ وَأَنَّ اللَّهَ مَعَ الْمُؤْمِنِينَ
(ප්රතික්ෂේපකයිනි!) නුඹලා තීන්දුව පැතුවේ නම් දැන් (දැනගනු.) සැබැවින්ම නුඹලාට තීන්දුව පැමිණ ඇත. නුඹලා (නැවත යුද වැදීමෙන්) වැළකී සිටියේ නම් එය නුඹලාට යහපත්ය. නුඹලා නැවතත් පැමිණෙන්නේ නම් අපි ද (විශ්වාසිකයින්ගේ උදව්වට) නැවත පැමිණෙන්නෙමු. නුඹලාගේ කණ්ඩායම් අධික වුව ද එය කිසිවකින් හෝ නුඹලාට ප්රයෝජනයක් නොදෙන්නේමය. තවද අල්ලාහ් විශ්වාසිකයින් සමගය.
10මෙහි තීන්දුව යනුවෙන් අදහස් වනුයේ ජයග්රහණයයි. එනම් ප්රතික්ෂේපකයින් තමන්ට ජයග්රහණයේ තීරණාත්මක තත්ත්වයක් උදාවිය යුතු යැයි යුද්ධය සඳහා මක්කාවෙන් පිටත් වීමට පෙර තමන් සත්යයේ සිටින යහපත් කණ්ඩායම යනුවෙන් විශ්වාස කරමින් කඃබාවේ තිර රෙදි අල්ලාගෙන “සත්යයේ සිටින යහපත් කණ්ඩායමට ජයග්රහණය ලබා දෙනු මැනව!” යනුවෙන් ප්රාර්ථනා කළෝය. යථාර්ථයෙන්ම මුස්ලිම්වරුන් සත්යයේ සිටින යහපත් කණ්ඩායම වූ හෙයින් ඔවුනට ජයග්රහණයේ තීන්දුව ලැබීය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَرَسُولَهُ وَلَا تَوَلَّوْا عَنْهُ وَأَنتُمْ تَسْمَعُونَ
විශ්වාස කළවුනි! අල්ලාහ්ට ද ඔහුගේ රසූල්වරයාට ද අවනත වවු. නුඹලා (අල් කුර්ආනීය උපදෙස්) සවන් දෙමින් සිටිය දී එයින් නුඹලා හැරී නොයවු.
وَلَا تَكُونُوا كَالَّذِينَ قَالُوا سَمِعْنَا وَهُمْ لَا يَسْمَعُونَ
තමන් (නිවැරදිව) සවන් නොදී “අපි සවන් දුන්නෙමු” යැයි (අසත්යය ලෙස) පැවසූ අය මෙන් නුඹලා නොවවු.
11මෙයින් අදහස් කරන්නේ ආත්ම වංචනිකයින් පිළිබඳවය. ඔවුන් නබි මුහම්මද් තුමාගේ විධානයට ‘අපි සවන් දුන්නෙමු’ යැයි පැවසුව ද නමුත් ඔවුන් ඒ අනුව කි්රයා කළේ නැත. ඔවුන් ඇත්තෙන්ම සවන් නොදුන්නාක් මෙන් ඔවුන්ගේ සවන් දීම කිසිදු ප්රයෝජනයක් නොවීය.
إِنَّ شَرَّ الدَّوَابِّ عِندَ اللَّهِ الصُّمُّ الْبُكْمُ الَّذِينَ لَا يَعْقِلُونَ
සැබැවින්ම අල්ලාහ් අභියස ඉතා නපුරු ජීවීන් වන්නේ (සත්යය) අවබෝධ කර නොගන්නා බිහිරන් හා ගොළුවන් ය.
وَلَوْ عَلِمَ اللَّهُ فِيهِمْ خَيْرًا لَّأَسْمَعَهُمْ ۖ وَلَوْ أَسْمَعَهُمْ لَتَوَلَّوا وَّهُم مُّعْرِضُونَ
ඔවුන් තුළ යහපතක් තිබෙන බව අල්ලාහ් දැන සිටියේ නම් ඔවුනට සවන් දීමට සලස්වනු ඇත. (එහෙත්) ඔවුනට ඔහු සවන් දීමට සැලැස්සුව ද (ඒ පිළිබඳව) නොසැලකිලිමත් වූවන් ලෙස හැරී යති.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَجِيبُوا لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ ۖ وَاعْلَمُوا أَنَّ اللَّهَ يَحُولُ بَيْنَ الْمَرْءِ وَقَلْبِهِ وَأَنَّهُ إِلَيْهِ تُحْشَرُونَ
විශ්වාස කළවුනි, නුඹලාව ජීවත් කරවන දෑ(දහම් කරුණු) වෙත (රසූල්වරයා) නුඹලාව කැඳවූ විට අල්ලාහ්ට ද රසූල්වරයාට ද නුඹලා ප්රතිචාර දක්වවු. මිනිසා හා ඔහුගේ හදවත අතර අල්ලාහ් සිටින බව ද නුඹලා ඔහු වෙතම එක්රැස් කරනු ලබන බව ද දැන ගනිවු.
12මෙහි අදහස සියලු දෑ අල්ලාහ්ගේ අභිමතය අනුව සිදු වන අතර ඔහුගේ අනුදැනුමෙන් තොරව විශ්වාසිකයෙකු හෝ ප්රතික්ෂේපකයෙකු හෝ විය නොහැක යන්නය.
وَاتَّقُوا فِتْنَةً لَّا تُصِيبَنَّ الَّذِينَ ظَلَمُوا مِنكُمْ خَاصَّةً ۖ وَاعْلَمُوا أَنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ
නුඹලා අතුරින් අපරාධ කළවුන්ට පමණක් (සීමා වී) සිදු නොවන්නා වූ ව්යසනයකට නුඹලා බිය වවු. තවද අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි බව නුඹලා දැන ගනිවු.
13මෙයින් අදහස් කරනුයේ සමාජයක යම් අයහපතක් බහුලව පැතිරුණේ නම් තවද කවුරුන් එම අයහපතෙන් ඈත් වී එය වැළැක්වීමට උත්සහ නොකර තමන්ගේ යහ කි්රයාවන් මගින් සෑහීමට පත් වන්නේද අල්ලාහ්ගේ දඬුවම සමාජයේ සිටින සියල්ලන්ටම බලපානු ඇත. යහ ගැත්තන් පවා මෙම දඬුවමට ග්රහණය වන්නෝය. මන්දයත් ඔවුන් වටා සිදු වන සිද්ධීන් බලා ඔවුන්ගේ සමාජය සංශෝධනය කිරීමට උත්සහ නොකළ හෙයිනි. මෙම ආයතය මගින් එවන් වූ අයට අවවාදයක් කර ඇත.
وَاذْكُرُوا إِذْ أَنتُمْ قَلِيلٌ مُّسْتَضْعَفُونَ فِي الْأَرْضِ تَخَافُونَ أَن يَتَخَطَّفَكُمُ النَّاسُ فَآوَاكُمْ وَأَيَّدَكُم بِنَصْرِهِ وَرَزَقَكُم مِّنَ الطَّيِّبَاتِ لَعَلَّكُمْ تَشْكُرُونَ
(ප්රතික්ෂේපක) ජනයා නුඹලාව (සිර භාරයට) ගනු ඇතැ’යි නුඹලා බියට පත්ව මිහිතලයෙහි නුඹලා දුබලව ස්වල්ප දෙනෙකුව සිටි අවස්ථාව සිහිපත් කරවු. එවිට ඔහු නුඹලාට (පිළිසරණක් වශයෙන්) අභය ස්ථානයක් ලබා දුන්නේය. තවද ඔහු තම උපකාරයෙන් නුඹලාව ස්ථාවර කළේය. යහ දැයින් නුඹලාව පෝෂණය කළේය. (මේවා) නුඹලා කෘතවේදී වනු පිණිසය.
14මින් අදහස් වන්නේ මුස්ලිම්වරුන් මක්කාවේ සිටි අවදියේදී මක්කා වාසී මිත්යා දෘෂ්ටික ප්රතික්ෂේපකයින් විසින් මුස්ලිම්වරුන්ට හිංසා ප්රහාර එල්ල කරමින් සිටි අවදිය පිළිබඳවයි.
15පසු කලෙක නබි මුහම්මද් තුමාණන් හා මුස්ලිම්වරුන් තම ගම්බිම් අතහැර මදීනා නගරයට දේශාන්තරණය කිරීමෙන් එහි අභය ස්ථානයක් ලද සිදුවීම මින් අදහස් වන්නේය.
16මුස්ලිම්වරුන්ට කිසිදු පහසුකමක් නොවූ බද්ර් යුද්ධය අවස්ථාවේ දී අල්ලාහ් විසින් මලක්වරුන් පහළ කොට මුස්ලිම්වරුන්ට උපකාර කළ සිදුවීම මින් අදහස් කර ඇත.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَخُونُوا اللَّهَ وَالرَّسُولَ وَتَخُونُوا أَمَانَاتِكُمْ وَأَنتُمْ تَعْلَمُونَ
විශ්වාස කළවුනි! නුඹලා දැනුවත්වම අල්ලාහ්ට ද රසූල්වරයාට ද වංචා නොකරවු. තවද නුඹලා (පවරනු ලැබ ඇති) අමානතයන්ට(වගකීම් වලට) ද වංචා නොකරවු.
وَاعْلَمُوا أَنَّمَا أَمْوَالُكُمْ وَأَوْلَادُكُمْ فِتْنَةٌ وَأَنَّ اللَّهَ عِندَهُ أَجْرٌ عَظِيمٌ
නුඹලාගේ ධනය හා නුඹලාගේ දරුවන් පිරික්සුමක් බව ද (නුඹලාට) අල්ලාහ් අබියස මහත් වූ වේතන ඇති බව ද නුඹලා දැන ගනිවු.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِن تَتَّقُوا اللَّهَ يَجْعَل لَّكُمْ فُرْقَانًا وَيُكَفِّرْ عَنكُمْ سَيِّئَاتِكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ
විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වන්නෙහු නම් ඔහු නුඹලාට (යහපත හා අයහපත අතර) නිර්ධාරණ( ඥාන)ය ලබා දෙන්නේය. තවද නුඹලාගේ පාපයන් නුඹලාගෙන් ශෝධනය කරන්නේය. තවද නුඹලාට පාප ක්ෂමාව දෙන්නේය. තවද අල්ලාහ් අති මහත් වූ භාග්යයෙන් යුක්තය.
وَإِذْ يَمْكُرُ بِكَ الَّذِينَ كَفَرُوا لِيُثْبِتُوكَ أَوْ يَقْتُلُوكَ أَوْ يُخْرِجُوكَ ۚ وَيَمْكُرُونَ وَيَمْكُرُ اللَّهُ ۖ وَاللَّهُ خَيْرُ الْمَاكِرِينَ
(නබිවරය,) ප්රතික්ෂේප කළවුන් නුඹව රඳවා තබා ගැනීමට හෝ නුඹව ඝාතනය කිරීමට හෝ නුඹව පිටුවහල් කිරීමට හෝ නුඹට කුමන්ත්රණ කරමින් සිටි අවස්ථාව (සිහිපත් කරවු.) ඔවුන් කූට උපාය සැලසුම් කරති. අල්ලාහ් ද සැලසුම් කරන්නේය. තවද අල්ලාහ් සැලසුම්කරුවන්ගෙන් අති ශ්රේෂ්ඨය.
17මෙයින් පෙන්නුම් කරනුයේ මක්කා වාසී ප්රතික්ෂේපකයින්ගේ එක් සභාවක් පිළිබඳවය. එම සභාවෙහි සිටි ප්රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමා දේශාන්තරණය කිරීමෙන් හා එතුමාගේ පණිවිඩය වැඩි දුර ප්රචාරය කිරීමෙන් වැළැක්වීමට සාකච්ඡා කළෝය. ඔවුන්ගෙන් ඇතැමුන් නබි මුහම්මද් තුමාව අත්අඩංගුවට ගෙන මරණය තෙක් නිවසක රඳවා තැබිය යුතු යැයි යෝජනාවක් ඉදිරිපත් කළෝය. තවත් සමහරුන් එතුමාව උපන් නගරයෙන් පිටුවහල් කළ යුතු යැයි යෝජනාවක් ඉදිරිපත් කළෝය. නමුත් මෙම යෝජනා දෙක එම සභාවේ බහුතරය මගින් ප්රතික්ෂේප කරන ලදි. අවසානයේ දී විවිධ ගෝත්රයන්ගෙන් සෑදුණු තරුණ කණ්ඩායමක් තෝරා ගෙන ඔවුන් එතුමාව ඝාතනය කළ යුතු යැයි තීන්දු විය. ඒ සඳහා සියලු කටයුතු සූදානම් කරන ලදී. එම තරුණ කණ්ඩායම ඔවුන්ගේ එම අයහපත් කුමන්ත්රණය කි්රයාවට නැංවීමට එතුමාගේ නිවස වට කළෝය. නමුත් අල්ලාහ් නබි මුහම්මද් තුමාව විස්මිත අයුරින් ආරක්ෂා කර කිසිදු හානියකින් තොරව එතුමාගේ නිවසින් පිට කිරීම මගින් ඔවුන්ගේ කුමන්ත්රණය නිෂ්ප්රභ කළේය. එවිට එතුමා මක්කාවේ සිට මදීනාවට දේශාන්තරණය කිරීමට හැකියාව ලැබුවේය.
18එනම් මිථ්යා දෘෂ්ටික ප්රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමාණන්ව ඝාතනය කිරීමට නොයෙකුත් කුමන්ත්රණ කළෝය. නමුත් අල්ලාහ් එම කුමන්ත්රණ සියල්ල නිෂ්ඵල කොට මුස්ලිම්වරුන්ට අවාසිදායක වුවද බද්ර් යුද්ධය හට ගත් අවස්ථාවේදී මිථ්යා දෘෂ්ටික ප්රතික්ෂේපකයින්වම ඝාතනය කිරීමට සැලසුම් කළේය යන්නයි. මෙම ආයතය අරාබි වාගලංකාරයට අනුව ‘මුෂාකලා’ ගණයට අයත් ආයතයන් කිහිපයකින් එකකි. මුෂාකලා යනු “එක් විෂයක් යම් පාර්ශවයක් හා සම්බන්ධව සඳහන් වී ඇති අවස්ථාවක දී එම විෂය හා පාර්ශවය සැළකිල්ලට ගෙන එහි සැබෑ භාෂාමය අර්ථය හැර යථාර්ථයෙන් අර්ථවත් වන්නා වූ අරුත ගෙන ඒම වේ.” මෙම ආයතයෙහි “කූට උපාය සැලසුම් කිරීම” යන පදයට අදාළ අරාබි පදය වන “මක්ර්” යන පදය අරාබි වාගලංකාරයට අනුව අල්ලාහ් හා මැවුම යන දෙපාර්ශවයටම භාවිත වී තිබුණ ද දෙපාර්ශවයට දෙආකාරයක අරුත ගෙන දේ. එහෙයින් අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි ‘අල්ලාහ් ද කූට උපාය සැලසුම් කළේය’ යන පරිවර්තනයට ‘මුෂාකලා’ යන නීතිය අනුව ‘අල්ලාහ් ද සැලසුම් කළේය’ යැයි අරුත දැක් වේ.
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا قَالُوا قَدْ سَمِعْنَا لَوْ نَشَاءُ لَقُلْنَا مِثْلَ هَـٰذَا ۙ إِنْ هَـٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ
ඔවුන් වෙත අපගේ වදන් පාරායනා කර පෙන්වනු ලද්දේ නම් “සැබැවින්ම අපි (මේවාට) සවන් දුනිමු. අප සිතුවේ නම් මෙවැන්නක් අපට ද පැවසිය හැක. මෙය පැරැන්නන්ගේ (මිථ්යා) ප්රබන්ධ මිස නැතැ”යි ඔවුහු පවසති.
1931 සිට 35 දක්වා ආයතයන්හි අදහස් කරන්නේ නල්ර් ඉබ්නු හාරිස් නම් ප්රතික්ෂේපකයා අල් කුර්ආනය මෙන් ප්රකාශනයක් රචනා කරන බවට ප්රකාශ කළේය. අල් කුර්ආන් 2:23 හා 24 ආයතයන්හි අල් කුර්ආනය මෙන් ලේඛනයක් ගෙන එන මෙන් අල්ලාහ් අභියෝග කළ කල්හි ඔහුට එය ඉටු කිරීමට නොහැකි වූ හෙයින් ඔහු එම අභියෝගය තර්කයක් වෙත යොමු කළේය. එනම් අල් කුර්ආනය සත්යය නම් ප්රතික්ෂේපකයින්ට අහසින් දඬුවමක් පහළ කරන මෙන් ඔහු අභියෝග කළේය. කරුණු දෙකක් හේතුවෙන් ඔවුන්ට පොදු දඬුවමක් පහළ වන්නේ නැතැ’යි 33 වන ආයතයෙහි මෙයට පිළිතුරක් දී ඇත. ඉන් එකක් ඔවුන් අතර නබි මුහම්මද් තුමා සිටින හෙයින් ද අනෙක ඔවුන් තවාෆ් හෙවත් කඃබාව ප්රදක්ෂිණ කරන විට ‘අහෝ අල්ලාහ්, අපි ඔබගෙන් සමාව අයැදින්නෙමු’ යැයි පවසන හෙයින් ද වේ. කෙසේ වෙතත් ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන්ට මෙලොව දඬුවම් නොලැබුණ ද ඔවුන් මතු ලොවදී නිතැතින්ම දඬුවමට ලක් වන්නෝමය. කෙසේ වෙතත් 34 වන ආයතය අවවාද කරන්නේ අල්ලාහ් ඔවුනට කිසිදු දඬුවමක් නොදෙන්නේය යනුවෙන් නොව සුළු දඬුවම් දෙන්නේය යන්නය. (උදා: ඔවුන් මුස්ලිම්වරුන් සමග යුද්ධ කර පරාජයට පත් වී මුස්ලිම්වරුන් ඉදිරියේ නින්දාවට ලක් වන්නෝය.) කුරෙයිෂ් ගෝති්රක සාමාජිකයින් මස්ජිදුල් හරාමය තමන්ගේ පාලනය යටතේ ඇති බවට උඩඟුකම් පෑහ. 34 හා 35 යන ආයතයන්හි ඔවුන් එයට සුදුසුකම් නොවන අය යැයි සඳහන් වී ඇත. මන්දයත් 1) ඔවුන් බිය භක්තිකයන් නොවීමය. 2) ජනයින්ව මස්ජිදයේ නැමදුම් කිරීමෙන් වළක්වන්නෝය. 3) ඔවුන්ගේ නැමදුම වූයේ නාද නැගීම හා අත් පොළසන් දීමය.
وَإِذْ قَالُوا اللَّهُمَّ إِن كَانَ هَـٰذَا هُوَ الْحَقَّ مِنْ عِندِكَ فَأَمْطِرْ عَلَيْنَا حِجَارَةً مِّنَ السَّمَاءِ أَوِ ائْتِنَا بِعَذَابٍ أَلِيمٍ
“අහෝ අල්ලාහ්, මෙ(ම අල් කුර්ආන)ය ඔබගෙන් (පහළ) වූ සත්යයක් වූයේ නම් අහසින් අප මත ගල් වර්ෂාවක් පහළ කරවු. නැතහොත් වේදනීය දඬුවමක් අප වෙත ගෙන එවු” යැයි ඔවුන් පැවසූ අවස්ථාව (සිහිපත් කරවු).”
وَمَا كَانَ اللَّهُ لِيُعَذِّبَهُمْ وَأَنتَ فِيهِمْ ۚ وَمَا كَانَ اللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ
(නබිවරය,) නුඹ ඔවුන් අතර සිටිය දී අල්ලාහ් ඔවුනට දඬුවම් කිරීමට (ඉදිරිපත්) නොවීය. තවද ඔවුන් පාපක්ෂමාව අයැදිමින් සිටිය දී අල්ලාහ් ඔවුනට දඬුවම් කරන්නෙකු නොවීය.
وَمَا لَهُمْ أَلَّا يُعَذِّبَهُمُ اللَّهُ وَهُمْ يَصُدُّونَ عَنِ الْمَسْجِدِ الْحَرَامِ وَمَا كَانُوا أَوْلِيَاءَهُ ۚ إِنْ أَوْلِيَاؤُهُ إِلَّا الْمُتَّقُونَ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
මස්ජිදුල් හරාමයෙන් ඔවුන් (ජනයාව) වළක්වමින් සිටිය දී ඔවුනට අල්ලාහ් දඬුවම් නොකර සිටීමට ඔවුනට කුම(න හේතුව)ක් වී ද? ඔවුන් එහි (සුදුසු) භාරකරුවන්ව නොසිටියෝය. එහි (සැබෑ) භාරකරුවන් බිය භක්තිකයින් මිස (අන් කිසිවෙකු) නැත. එනමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා (මේ පිළිබඳව) නොදනිති.
وَمَا كَانَ صَلَاتُهُمْ عِندَ الْبَيْتِ إِلَّا مُكَاءً وَتَصْدِيَةً ۚ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ
(මස්ජිදුල් හරාම් නැමැති) නිවසෙහි නාද නැගීම හා අත් පොළසන් දීම මිස ඔවුන්ගේ නැමදුම නොවීය. එබැවින් නුඹලා ප්රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා දඬුවම භුක්ති විදිවු.
20එනම් බද්ර් සටනෙහි ප්රතික්ෂේපකයින්ට අත් වූ පරාජයයි.
إِنَّ الَّذِينَ كَفَرُوا يُنفِقُونَ أَمْوَالَهُمْ لِيَصُدُّوا عَن سَبِيلِ اللَّهِ ۚ فَسَيُنفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَيْهِمْ حَسْرَةً ثُمَّ يُغْلَبُونَ ۗ وَالَّذِينَ كَفَرُوا إِلَىٰ جَهَنَّمَ يُحْشَرُونَ
සැබැවින්ම ප්රතික්ෂේප කළවුන් තමන්ගේ ධනය අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයාව) වැළැක්වීම සඳහා වියදම් කරති. මින් මතුවට ද ඔවුන් ඒවා වියදම් කරති. පසුව(මතු ලොවෙහි) එය ඔවුනට පසුතැවිල්ලක් වනු ඇත. පසුව ඔවුන් පරාජයට පත් වනු ඇත. තවද ප්රතික්ෂේප කළවුන් නිරය වෙත රැස් කරනු ලබන්නෝය.
لِيَمِيزَ اللَّهُ الْخَبِيثَ مِنَ الطَّيِّبِ وَيَجْعَلَ الْخَبِيثَ بَعْضَهُ عَلَىٰ بَعْضٍ فَيَرْكُمَهُ جَمِيعًا فَيَجْعَلَهُ فِي جَهَنَّمَ ۚ أُولَـٰئِكَ هُمُ الْخَاسِرُونَ
(එලෙස අල්ලාහ් කරනුයේ) දැහැමියන්ගෙන් නපුරු අය වෙන් කර නපුරු අයගෙන් සමහරෙකු තවත් සමහරෙකු වෙත පත් කොට ඔවුන් සියල්ල ගොඩ ගසා ඔහු ඔවුන්ව නිරයෙහි හෙළනු පිණිසය. අලාභවන්තයින් වන්නේ ඔවුන්මය.
قُل لِّلَّذِينَ كَفَرُوا إِن يَنتَهُوا يُغْفَرْ لَهُم مَّا قَدْ سَلَفَ وَإِن يَعُودُوا فَقَدْ مَضَتْ سُنَّتُ الْأَوَّلِينَ
(නබිවරය, අකටයුතුකම් කිරීමෙන්) “ඔවුන් වැළකී සිටියේ නම් පෙර සිදු වූ දෑ සඳහා ඔවුනට ක්ෂමාව දෙනු ලැබේ. ඔවුන් නැවතත් කරන්නේ නම් පැරැන්නන්ගේ (විෂයෙහි ක්රියාත්මක කළ දඬුවමෙහි) පිළිවෙත සැබැවින්ම පෙරටු වී ඇත. (එබැවින් එවැනිම දඬුවමක් මොවුන්ටත් අත් වනු ඇත.)” යැයි ප්රතික්ෂේප කළවුනට පවසවු.
وَقَاتِلُوهُمْ حَتَّىٰ لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ كُلُّهُ لِلَّهِ ۚ فَإِنِ انتَهَوْا فَإِنَّ اللَّهَ بِمَا يَعْمَلُونَ بَصِيرٌ
භීෂණය තුරන්ව ගොස් දහම සම්පූර්ණයෙන්ම අල්ලාහ්ට සතුවන තෙක් ඔවුන් සමග නුඹලා සටන් වදිවු. ඔවුන් (භීෂණයෙන්) වැළකුණේ නම්, (ඔවුන් සමග නුඹලා සටන් නොවදිවු.) එවිට සැබැවින්ම අල්ලාහ් ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව සර්ව සුපරීක්ෂාකාරීය.
21මෙම වාක්යයෙහි අල්ලාහ් මුස්ලිම්වරුන්ට සටන් වදින මෙන් අණ කොට ඇත්තේ ඉහත සඳහන් පරිදි ඔවුන්ට නිදහසේ තම දහම ඇදහීමට බාධා හා හිංසා කරමින් සිටි මක්කා වාසී හර්බී ප්රතික්ෂේපකයින්ට එරෙහිව ඉස්ලාම් දහම පරිපූර්ණව ඇදහීමට හැකිවන තත්ත්වයක් උදාවන තුරු ප්රයත්නයක් දරණ මෙන්ය.
وَإِن تَوَلَّوْا فَاعْلَمُوا أَنَّ اللَّهَ مَوْلَاكُمْ ۚ نِعْمَ الْمَوْلَىٰ وَنِعْمَ النَّصِيرُ
තවද ඔවුහු පිටුපෑවෙහු නම්, එවිට අල්ලාහ් නුඹලාගේ භාරකරුවා යැයි දැන ගනිවු. ඔහු භාරකරුවන් අතුරින් ශ්රේෂ්ඨ විය. තවද ඔහු උදව්කරුවන් අතුරින් ද ශ්රේෂ්ඨ විය.
وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ إِن كُنتُمْ آمَنتُم بِاللَّهِ وَمَا أَنزَلْنَا عَلَىٰ عَبْدِنَا يَوْمَ الْفُرْقَانِ يَوْمَ الْتَقَى الْجَمْعَانِ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
(මුස්ලිම්වරුන් හා සතුරන් වන) සේනාංක දෙක මුණගැසුණු දින (එනම් සත්යය හා අසත්යය අතර) නිර්ධාරණ( තීරණ)ය දැක් වූ දින අපගේ ගැත්තා(මුහම්මද්) කෙරෙහි අප පහළ කළ දෑ ද අල්ලාහ්ව ද නුඹලා විශ්වාස කරමින් සිටියෙහු නම්, (යුද පිටියේ සතුරන්ගෙන්) නුඹලා අත්පත් කර ගත් දැයින් පහෙන් කොටසක් අල්ලාහ්ට ද රසූල්වරයාට ද (ඔහුගේ) ඥාතීන්ට ද අනාථයින්ට ද දුප්පතුන්ට ද මගියන්ට ද සතු වන්නේ යැ’යි දැන ගනිවු. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
إِذْ أَنتُم بِالْعُدْوَةِ الدُّنْيَا وَهُم بِالْعُدْوَةِ الْقُصْوَىٰ وَالرَّكْبُ أَسْفَلَ مِنكُمْ ۚ وَلَوْ تَوَاعَدتُّمْ لَاخْتَلَفْتُمْ فِي الْمِيعَادِ ۙ وَلَـٰكِن لِّيَقْضِيَ اللَّهُ أَمْرًا كَانَ مَفْعُولًا لِّيَهْلِكَ مَنْ هَلَكَ عَن بَيِّنَةٍ وَيَحْيَىٰ مَنْ حَيَّ عَن بَيِّنَةٍ ۗ وَإِنَّ اللَّهَ لَسَمِيعٌ عَلِيمٌ
(එනම් මදීනාවට) අසලින් පිහිටි මිටියාවතෙහි නුඹලා ද ඈතින් පිහිටි මිටියාවතෙහි ඔවුන් ද (ප්රතික්ෂේපකයින්ගේ) තවලම නුඹලාට පහළින් ද සිටි අවස්ථාවය. නුඹලා (ඔවුන් හා සටන් වැදීමට) එකඟ වී සිටියද එම තීරණයෙන් නුඹලා පසු බසින්නට තිබුණි. එනමුත් සිදු වන්නට තිබූ කරුණ අල්ලාහ් තීරණය කිරීමට ද මරණයට පත් වන අය පැහැදීමකින් මරණයට පත් වන්නට ද ජීවත් වන අය පැහැදීමකින් ජීවත් වන්නට ද (අල්ලාහ් මෙම තත්ත්වය උදා කළේය). තවද සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්රාවකය සර්වඥය.
22මෙම ආයතය බද්ර් යුද්ධයේ එක් දර්ශනයක් පිළිබඳව සඳහන් කරයි. මුස්ලිම්වරුන් මදීනාවට ඉතා සමීපව ඇති මිටියාවතක් අබියස කඳවුරු තනා ගත්තෝය. එය වැලි සහිත ස්ථානයක් වූ හෙයින් එතැන කඳවුරු තැනීමට සුදුසු ස්ථානයක් නොවීය. සතුරන් එම මිටියාවතට විරුද්ධ පසින් වූ අවසාන කොටසෙහි කඳවුරු තනා ගත්තෝය. එතැන කඳවුරු තැනීමට සුදුසු ස්ථානයක් විය. තවද සතුරන්ට තවත් වාසියක් විය. සතුරන්ගේ තවලම ද මිටියාවත මග හැර මුහුද ආසන්න ස්ථානයකට සේන්දු වී තිබුණි. ඔවුන්ට ද අවශ්ය වූයේ නම් සතුරු සේනාවට සහය දැක්වීමට තිබුණි.
23මෙම ආයතය කරුණු දෙකක් අවධාරණය කර ඇත. 1) මුස්ලිම්වරුන් හා සතුරන් සටනට දිනක් හා ස්ථානයක් නියම කර ගැනීමකින් තොරව අහම්බෙන් එකිනෙකා හමුවීමට අවස්ථාවක් අල්ලාහ් ඇති කළේය. 2) අල්ලාහ් මෙවැනි යුද්ධයක් ඇති වීමට තීරණය කළේ මුස්ලිම්වරුන් ජයග්රහණය කිරීම මගින් ඔවුන්ගේ දහමේ සත්යය හෙළි දැක්වීමටය. එතුළින් මිනිසෙකුට ඉස්ලාමය තෝරා ගත හැක. නැතහොත් ප්රතික්ෂේපය තෝරා ගත හැක. එබැවින් අල්ලාහ් මෙම ආයතයේ මරණය යනුවෙන් ප්රතික්ෂේපය ද ජීවිතය යනුවෙන් විශ්වාසය ද වක්රාකාරව අදහස් කර ඇත.
إِذْ يُرِيكَهُمُ اللَّهُ فِي مَنَامِكَ قَلِيلًا ۖ وَلَوْ أَرَاكَهُمْ كَثِيرًا لَّفَشِلْتُمْ وَلَتَنَازَعْتُمْ فِي الْأَمْرِ وَلَـٰكِنَّ اللَّهَ سَلَّمَ ۗ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
(නබිවරය) අල්ලාහ් නුඹගේ සිහිනයෙහි ඔවුන්ව ස්වල්පයක් වශයෙන් පෙන් වූ අවස්ථාව (සිහිපත් කරවු). ඔවුන්ව අධික ලෙස නුඹට පෙන්වූයේ නම් නුඹලා අධෛර්යමත් වී (සටන් වැදීම) විෂයෙහි නුඹලා භේද වනු ඇත. එනමුත් අල්ලාහ් ආරක්ෂා කළේය. සැබැවින්ම ඔහු හදවත් තුළ ඇති දෑ පිළිබඳව සර්වඥය.
وَإِذْ يُرِيكُمُوهُمْ إِذِ الْتَقَيْتُمْ فِي أَعْيُنِكُمْ قَلِيلًا وَيُقَلِّلُكُمْ فِي أَعْيُنِهِمْ لِيَقْضِيَ اللَّهُ أَمْرًا كَانَ مَفْعُولًا ۗ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ
නුඹලා (යුද පිටියෙහි සතුරන්) මුණගැසුණු විට නුඹලාගේ ඇස් වලට ඔවුන්ව ස්වල්පයක් ලෙස නුඹලාට පෙන්වා සිදු වන්නට තිබෙන කරුණ අල්ලාහ් තීරණය කිරීම පිණිස ඔවුන්ගේ ඇස් වලට නුඹලාව ස්වල්පයක් කළ අවස්ථාව ද (සිහිපත් කරවු). තවද (සියලු) කරුණු නැවත යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතමය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا لَقِيتُمْ فِئَةً فَاثْبُتُوا وَاذْكُرُوا اللَّهَ كَثِيرًا لَّعَلَّكُمْ تُفْلِحُونَ
විශ්වාස කළවුනි! (යුද පිටියෙහි) නුඹලා (සතුරු) කණ්ඩායමකට මුහුණ දුන්නේ නම් නුඹලා ජයග්රහණය ලබනු පිණිස නුඹලා (එහි) ස්ථාවරව සිටිවු. තවද අධික ලෙස අල්ලාහ්ව සිහිපත් කරවු.
وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ وَلَا تَنَازَعُوا فَتَفْشَلُوا وَتَذْهَبَ رِيحُكُمْ ۖ وَاصْبِرُوا ۚ إِنَّ اللَّهَ مَعَ الصَّابِرِينَ
නුඹලා අල්ලාහ්ට ද ඔහුගේ රසූල්වරයාට ද අවනත වවු. නුඹලා භේද නොවවු. එසේ (භේද වූයේ) නම්, නුඹලා අධෛර්යයමත් වී නුඹලාගේ ජීව( බල)ය පහ වී යනු ඇත. තවද නුඹලා ඉවසවු. සැබැවින්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමගය.
وَلَا تَكُونُوا كَالَّذِينَ خَرَجُوا مِن دِيَارِهِم بَطَرًا وَرِئَاءَ النَّاسِ وَيَصُدُّونَ عَن سَبِيلِ اللَّهِ ۚ وَاللَّهُ بِمَا يَعْمَلُونَ مُحِيطٌ
උඩඟු ලීලාවෙන් ද මිනිසුනට මුණිච්චා වන ලෙස ද අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයාව) වළක්වමින් ද තමන්ගේ නිවෙස් වලින් (යුද්ධය සඳහා) පිටත් වූවන් ලෙස නුඹලා පත් නොවවු. (එලෙස හැසිරෙන) ඔවුන් කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ප්රකාරයෙන් දැන සිටින්නාය.
وَإِذْ زَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ وَقَالَ لَا غَالِبَ لَكُمُ الْيَوْمَ مِنَ النَّاسِ وَإِنِّي جَارٌ لَّكُمْ ۖ فَلَمَّا تَرَاءَتِ الْفِئَتَانِ نَكَصَ عَلَىٰ عَقِبَيْهِ وَقَالَ إِنِّي بَرِيءٌ مِّنكُمْ إِنِّي أَرَىٰ مَا لَا تَرَوْنَ إِنِّي أَخَافُ اللَّهَ ۚ وَاللَّهُ شَدِيدُ الْعِقَابِ
ෂෙයිතාන් ඔවුන්ගේ ක්රියාවන් ඔවුනට අලංකාරමත් කළ අවස්ථාව (සිහිපත් කරවු). තවද “අද දින මිනිසුන් අතුරින් (ජයග්රහණය කොට) නුඹලාව ඉක්මවා යන්නෙකු නැත. සැබැවින්ම මම නුඹලා අසලින් සිටින්නෙකු වෙමි” යැයි ඔහු(ෂෙයිතාන්) පැවසුවේය. නමුත් කණ්ඩායම් දෙක (මුහුණට මුහුණලා) මුණ ගැසුණු විට ඔහු තම විළුඹු මත පසුබැස ගොස් “මම නුඹලාගෙන් වෙන් වෙමි. සැබැවින්ම නුඹලා නොදකින දෑ මම දකිමි. තවද මම අල්ලාහ්ට බිය වෙමි. තවද අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය” යැයි ඔහු(ෂෙයිතාන්) පැවසුවේය.
24මෙම ආයතය පවසන්නේ ෂෙයිතාන් කුරෙයිෂ් වංශික ප්රතික්ෂේකයින් අමතා මුස්ලිම්වරුන්ට ප්රහාර එල්ල කරන ලෙස පෙලඹුවේය යන්නය. මෙම ආයතයේ සඳහන් වන පරිදි ෂෙයිතාන් මිනිස් ස්වරූපයෙන් ඔවුන් වෙත පැමිණ ඇතැ’යි නිගමනය කළ හැක. එක් හදීස් දැන්වීමකට අනුව මෙය තහවුරු වී ඇත. එනම් ඉබ්නු අබ්බාස් තුමා දන්වයි : බද්ර් යුද්ධය සඳහා කුරෙයිෂ් ගෝත්රිකයින් තමන්ගේ නිවෙස් වලින් පිට වන විට තමන්ගේ අසල්වැසි ගෝත්රිකයන් හා සතුරන්ව සිටි බක්ර් ගෝත්රිකයන් තමන් නැති අවස්ථාවේ දී තමන්ගේ නිවෙස් වලට ප්රහාරය එල්ල කරනු ඇතැයි ඔවුන් තුළ බියක් ඇති විය. එවිට කුරෙයිෂ්වරුන් අතර ප්රසිද්ධ පුද්ගලයෙකුව සිටි සුරාකාගේ ස්වරූපයෙන් ෂෙයිතාන් පැමිණ බියට පත් එම කුරෙයිෂ්වරුන් අමතා “නුඹලාගේ සතුරන්ගෙන් නුඹලාගේ නිවෙස් හා නුඹලාගේ නිවැසියන්ව මම මාගේ ගෝති්රකයන් මගින් ආරක්ෂා කරන්නෙමි” යැයි පවසා ඔවුන් තුළ තිබූ බිය පහ කළේය. පසුව ඔවුහු බියකින් තොරව යුද්ධයට පිටත් වූහ. ඉන් පසුව බද්ර් යුද පිටියේ ෂෙයිතාන් කුරෙයිෂ්වරුන් සමග එකතු වී “මුස්ලිම්වරුන්ට කිසි දිනක නුඹලාව පරාජයට පත් කළ නොහැක” යැයි පවසමින් සිටියේය. නමුත් කණ්ඩායම් දෙකම එකිනෙකා ගැටෙන්නට පටන් ගත් වහාම මලක්වරුන් මුස්ලිම්වරුන්ට උදවු කිරීමට යුද පිටියට පහළ වූහ. මෙය දුටු ෂෙයිතාන් කුරෙයිෂ්වරුන් අමතා “මම මාගේ පොරොන්දුවට සම්බන්ධ නොවෙමි. තවද මම නුඹලාගෙන් වෙන් වෙමි. සැබැවින්ම නුඹලා නොදකින දෑ මම දකිමි.” යැයි පවසා එහි සිට පලා දිව්වේය.
إِذْ يَقُولُ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ غَرَّ هَـٰؤُلَاءِ دِينُهُمْ ۗ وَمَن يَتَوَكَّلْ عَلَى اللَّهِ فَإِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ
ආත්ම වංචනිකයින් හා තම හදවත් වල රෝගය ඇත්තන් (මුස්ලිම්වරුන්ව අමතා) “මොවුන්ගේ දහම මොවුන්ව රවටා දැමුවේ යැ”යි පැවසූ අවස්ථාව (සිහිපත් කරවු). තවද කවරෙකු අල්ලාහ් වෙත (තම සියලු කරුණු) භාර කරන්නේ ද (ඔහු ජය ලබන්නේමය. මන්දයත්) සැබැවින්ම අල්ලාහ් අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය.
25කුඩා සේනාවක්ව සිටි මුස්ලිම්වරුන් විශාල සේනාවක්ව සිටි කුරෙයිෂ්වරුන් සමග සටන් වැදීමට මුහුණලා සිටි අවස්ථාවේ දී ආත්ම වංචනිකයින් මෙසේ ඔවුන් තුළ කතාබහ කර ගත්තෝය. එනම් “මුස්ලිම්වරුන්ගේ දහම මුස්ලිම්වරුන්ට උසස් බලාපොරොත්තු ඇති කළේය. නමුත් ඔවුන් පරාජයට පත් වූයේ නම් සත්යය දැන ගනු ඇත.” යනුවෙන් පැවසුවෝය යන්නයි.
وَلَوْ تَرَىٰ إِذْ يَتَوَفَّى الَّذِينَ كَفَرُوا ۙ الْمَلَائِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَارَهُمْ وَذُوقُوا عَذَابَ الْحَرِيقِ
මලක්වරුන් (යුද පිටියෙහි) ප්රතික්ෂේප කළවුන්ව ඔවුන්ගේ මුහුණු වලට ද ඔවුන්ගේ පිට වලට ද පහර දෙමින් “ඇවිළෙන ගින්නෙහි දඬුවම භුක්ති විඳිවු” යැයි (පවසමින්) ඔවුන්ව මරණයට පත් කරන අවස්ථාවෙහි (ඔවුන්ගේ තත්ත්වය) නුඹ දකින්නේ නම් (එවිට නුඹට භයානක දැයක් දර්ශනය වනු ඇත).