පාරා 3

තිල්ක රුසුලු

111 පද්‍ය
📖පාරා

පාරා 3

තිල්ක රුසුලු111 පද්‍ය

البقرةමදීනී
142

سَيَقُولُ السُّفَهَاءُ مِنَ النَّاسِ مَا وَلَّاهُمْ عَن قِبْلَتِهِمُ الَّتِي كَانُوا عَلَيْهَا ۚ قُل لِّلَّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ ۚ يَهْدِي مَن يَشَاءُ إِلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ

ජනයා අතුරින් වූ අඥානයින් ‘(විශ්වාසික) ඔවුන් පිළිපදිමින් සිටි ඔවුන්ගේ කිබ්ලාවෙන් 86 ඔවුන්ව හැරෙව්වේ කුමක් දැ’?යි ප්රකාශ කරනු ඇත. (නබිවරය,) “බටහිර හා නැගෙනහිර අල්ලාහ් සතුය. ඔහු අභිමත කළ අයව සෘජු මාර්ගය වෙත රැගෙන යනු ඇතැ”යි පවසවු.
86‘කිබ්ලා යනු දිශාව යන අර්ථය ගෙන දෙන අතර මෙහි අදහස් කරනුයේ මුස්ලිම්වරුන් සලාතය ඉටු කිරීම සඳහා හැරිය යුතු මක්කා දේශයෙහි පිහිටි සමචතුරස්ර ගොඩනැගිල්ල වන කඃබාවෙහි දිශාවය.
143

وَكَذَٰلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِّتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا ۗ وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِي كُنتَ عَلَيْهَا إِلَّا لِنَعْلَمَ مَن يَتَّبِعُ الرَّسُولَ مِمَّن يَنقَلِبُ عَلَىٰ عَقِبَيْهِ ۚ وَإِن كَانَتْ لَكَبِيرَةً إِلَّا عَلَى الَّذِينَ هَدَى اللَّهُ ۗ وَمَا كَانَ اللَّهُ لِيُضِيعَ إِيمَانَكُمْ ۚ إِنَّ اللَّهَ بِالنَّاسِ لَرَءُوفٌ رَّحِيمٌ

එලෙසය නුඹලා (සෙසු) ජනයාට සාක්ෂිකරුවන් වීම පිණිස ද රසූල්වරයා නුඹලාට සාක්ෂිකරුවෙකු වීම පිණිස 87 ද අප නුඹලාව මධ්යස්ථ ප්රජාවක් 88 වශයෙන් පත් කළේ. තම විළුඹ (තමන් පෙර සිටි මිථ්යාවන්) මත හැරී යන්නන්ගෙන් වෙන්ව කවරෙකු රසූල්වරයාව අනුගමනය කරන්නේ දැ’යි අපි දැන ගැනීම පිණිස මිස නුඹ පිළිපදිමින් සිටි කිබ්ලාව නියම නොකළෙමු. 89 අල්ලාහ් කවරෙකුට යහමග පෙන්වූයේ ද ඔවුන් කෙරෙහි මිස මෙය සැබැවින්ම බරක් වන්නේ ය. සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ විශ්වාසය 90 අපතේ යවන්නෙකු නොවන්නේය. සැබැවින්ම අල්ලාහ් ජනයා කෙරෙහි දයානුකම්පිතය පරම කරුණාභරිතය.
87පෙර සිටි ප්රජාවන් අතුරින් තම රසූල්වරුන්ව ප්රතික්ෂේප කළවුන් ලොවෙහි තමන්ට ධර්ම පුස්තකයක් නොලැබිණ යැයි ද තවද කිසිදු නබිවරයෙකු තමන් වෙත නොපැමිණියේ යැයි ද විනිශ්චය දිනයෙහි අල්ලාහ් ඉදිරියෙහි ව්යාජ ලෙස පවසති. පසුව නබි මුහම්මද් තුමාණන්ගේ ප්රජාව වන වර්තමාන ප්රජාව කැඳවනු ලබනු ඇත. පෙර රසූල්වරුන් තම සමූහයා වෙත යහමග ගෙනැවිත් ඔවුනට අල්ලාහ්ගේ දූතත්වය සේන්දු කළ බවට වර්තමාන ප්රජාව සාක්ෂි දරන්නෝය. මෙම ප්රජාව එය දෑසින් නොදුටුවද ඔවුන්ගේ සාක්ෂිය පිළිගනු ලැබේ. මන්දයත් පෙර රසූල්වරුන් පිළිබඳව සාධක ඔවුන් අල් කුර්ආනය හා හදීසයන් තුළින් දැනගන්නා හෙයිනි. පසුව නබි මුහම්මද් තුමාණන් ද තමාගේ ප්රජාවේ සාක්ෂිය තහවුරු කරමින් සාක්ෂි දරනු ඇත. මෙම ආයතය අඟවන්නේ එම සාක්ෂි දැරීම පිළිබඳවය.
88කිබ්ලාව විෂයෙහි මීට පෙර ආයතයෙහි සඳහන් පරිදි අන්තවාදී පිරිස් දෙකක් සිටියහ. එක් පිරිසක් කිබ්ලා හෙවත් නැමදුම් දිශාවට කිසිදු වැදගත්කමක් නොදැක්වූහ. අනෙක් පිරිස හුදෙක් කිබ්ලාව හෙවත් නැමදුම් දිශාවට ආවේණික ශුද්ධවන්තකමක් පත් කර ගත්තෝය. එබැවින් ඔවුන් කිබ්ලාව වෙනස් වීම අල්ලාහ්ගේ විධානයක්ව තිබිය දී එය පිළිනොගත්තෝය. ඇත්තෙන්ම ඉස්ලාමය තුළින් කිබ්ලාව තහවුරු කරන්නේ ජනයින් සියල්ලන්ම නැමදුම් කිරීමේ දී එකම දිශාවක් වෙත යොමු විය යුතු යැයි ද ආවේණික ශුද්ධවන්තකම කිබ්ලාව තුළ නොව අල්ලාහ්ගේ විධානය තුළ පදනම් වී ඇති බව ය. අල්ලාහ්ගේ විධානය ඔහු අභිමත කළ පරිදි ඔහු වෙනස් කරන්නේය. මෙම ආයතය පවසන්නේ කිබ්ලාව විෂයහි පමණක් නොව අන් සියලු විෂයන්හි ඉස්ලාම් දහමෙහි හා එහි නීති රීතීන්හි මුස්ලිම්වරුන් මධ්යස්ථභාවයක් දැක්විය යුතු බවය.
89මෙයින් අදහස් වන්නේ කිබ්ලාව හෙවත් නැමදුම් දිශාව වෙනස් කරනු ලැබුවේ පිරික්සුමකටය යන්නය. එනම් ජනයින් මෙම දිශාව නැමදුමේ අරමුණ ලෙස පත් කර ගත්තේද නැතහොත් අල්ලාහ්ගේ විධානයට අනුව අනුගමනය කළේ දැයි පිරික්සනු පිණිසය.
90මෙහි නුඹලාගේ විශ්වාසය යනුවෙන් අදහස් කොට ඇත්තේ සලාතයයි. මෙම අල් කුර්ආන් ආයතයන් පහළ වූයේ මුස්ලිම්වරුන් සලාතයේ යෙදෙන දිශාව වන කඃබාවෙන් හැරී බයිතුල් මක්දිසය(ජෙරුසලම) වෙත යොමු වී සලාතයේ යෙදෙන්නැයි අල්ලාහ් මුස්ලිම්වරුන්ට විධානය කොට තිබී පසුව මාස කිහිපයක් ඒ වෙත ඔවුන් සලාතයේ යෙදී නැවත කඃබාව වෙත හැරී සලාතයේ යෙදෙන්නැයි අල්ලාහ් විධානය කළ අවස්ථාවෙහිය. මෙහි “විශ්වාසය අපතේ නොයවන්නේ” යනු තමන් බයිතුල් මක්දිසය වෙත හැරී ඉටු කළ සලාතයන් අල්ලාහ් පැහැර නොහැර පිළිගත් බවයි.
144

قَدْ نَرَىٰ تَقَلُّبَ وَجْهِكَ فِي السَّمَاءِ ۖ فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا ۚ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ ۚ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّوا وُجُوهَكُمْ شَطْرَهُ ۗ وَإِنَّ الَّذِينَ أُوتُوا الْكِتَابَ لَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّهِمْ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ

(නබිවරය,) අහස දෙසට නුඹගේ මුහුණ (නිතර) යොමු වනු සැබැවින්ම අපි දකින්නෙමු. 91 එහෙයින් නුඹ තෘප්තිමත් වන කිබ්ලාව දෙසට නිශ්චිත වශයෙන්ම අපි නුඹව හරවන්නෙමු. (දැන්, නැමදුමෙහිදී) නුඹගේ මුහුණ මස්ජිදුල් හරාම් දෙසට හරවවු. (විශ්වාසිකයිනි,) නුඹලා කොතැනක සිටිය ද නුඹලාගේ මුහුණු ද ඒ දෙසට හරවවු. සැබැවින්ම ධර්ම පුස්තකය දෙනු ලැබූ අය නිශ්චිත වශයෙන්ම එය (දෙසට හැරීම) තම පරමාධිපතිගෙන් වූ සත්යයක් බව දන්නෙහුය. (එහෙත්) ඔවුන් කරන දෑ පිළිබඳව අල්ලාහ් අනවධානියෙකු නොවේ.
91“බයිතුල් මක්දිස්” හෙවත් “ජෙරුසලමය” මුස්ලිම්වරුන්ගේ කිබ්ලාවක් හෙවත් නැමදුම් දිශාවක් ලෙස පත් කර ගන්නා මෙන් අල්ලාහ් විධානය කළ මොහොතේ පටන් නබි මුහම්මද් තුමාණන් ඊට අවනත වුවද මක්කාවේ පිහිටි කඃබාව කිබ්ලාවක් ලෙස පත් වන්නේදැයි ප්රියත්වයෙන් හා අපේක්ෂාවෙන් සිටියහ. මේ හේතුවෙන් එතුමාණන් ඇතැම් විට මලක්වරයෙකු පැමිණ අල්ලාහ්ගේ නව විධානයක් රැගෙන එන්නේ දැයි අපේක්ෂාවෙන් අහස දෙස බලමින් සිටින්නට වූහ. මෙම ආයතයෙන් හඟවන්නේ නබි මුහම්මද් තුමාණන්ගේ මෙම ක්රියාව පිළිබඳවය.
145

وَلَئِنْ أَتَيْتَ الَّذِينَ أُوتُوا الْكِتَابَ بِكُلِّ آيَةٍ مَّا تَبِعُوا قِبْلَتَكَ ۚ وَمَا أَنتَ بِتَابِعٍ قِبْلَتَهُمْ ۚ وَمَا بَعْضُهُم بِتَابِعٍ قِبْلَةَ بَعْضٍ ۚ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُم مِّن بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ ۙ إِنَّكَ إِذًا لَّمِنَ الظَّالِمِينَ

(නබිවරය,) ධර්ම පුස්තකය දෙනු ලැබූ අය වෙත සෑම සංඥාවක්ම නුඹ ගෙන ආව ද ඔවුහු නුඹගේ කිබ්ලාව අනුගමනය නොකරති. තවද නුඹ ද ඔවුන්ගේ කිබ්ලාව අනුගමනය කරන්නෙකු නොවේ. තවද ඔවුන්ගෙන් ඇතැමුන් ඇතැමුන්ගේ කිබ්ලාව අනුගමනය කරන්නෝ නොවෙති. 92 දැනුමෙන් නුඹ වෙත (කිබ්ලාව පිළිබඳව) පැමිණි දෑට පසුව නුඹ ඔවුන්ගේ ආශාවන් අනුගමනය කරන්නේ නම්, එවිට සැබැවින්ම නුඹ අපරාධකරුවන් අතුරින් වන්නේය.
92මින් අදහස් වන්නේ කඃබාව මුස්ලිම්වරුන්ගේ කිබ්ලාව ලෙස පත් වූ පසු එම නියමය කෙදිනක හෝ වෙනස් නොවනු ඇත යන්නය.
146

الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءَهُمْ ۖ وَإِنَّ فَرِيقًا مِّنْهُمْ لَيَكْتُمُونَ الْحَقَّ وَهُمْ يَعْلَمُونَ

අප කවරෙකුට ධර්ම පුස්තකය පිරිනැමුවෙමුද ඔවුහු තමන්ගේ දරුවන් හඳුනන සේ ඔහුව(මුහම්මද්ව) හඳුනා ගනිති. 93 තවද සැබැවින්ම ඔවුන් අතුරින් පිරිසක් දැනුවත්වම සත්යය වසන් කරති.
93මින් අදහස් කරන්නේ තව්රාත් හා ඉන්ජීල් වැනි පෙර වූ ධර්ම පුස්තකයන් පිළිබඳව දැනුමැත්තන් ඒවාහි සඳහන් අවසන් නබිවරයාගේ ලක්ෂණ හා නිමිති සියල්ල නබි මුහම්මද් තුමාණන් තුළ සම්පූර්ණයෙන්ම අභිමුඛව පවතින බව ඉතා හොඳින් දැන සිටි බවය. එහෙයින් ඔවුන් තම පුතුන්ව නිසැකයෙන්ම හඳුනන මෙන් එතුමාණන්ගේ නබිත්වය සත්යය යැයි ද දැන සිටියහ. එනමුත් මේවා හැදෑරූ උගත් ප්රභූවරුන් තම ගර්වය හා උඬගු කම හේතුවෙන් එය හෙළි නොකර පිළිගැනීමෙන් වැළකී සිටීමය.
147

الْحَقُّ مِن رَّبِّكَ ۖ فَلَا تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ

(මෙම) සත්යය නුඹගේ පරමාධිපතිගෙන්ය. සැබැවින්ම නුඹ (ඒ පිළිබඳව) සැක කරන්නන් අතුරින් නොවවු.
148

وَلِكُلٍّ وِجْهَةٌ هُوَ مُوَلِّيهَا ۖ فَاسْتَبِقُوا الْخَيْرَاتِ ۚ أَيْنَ مَا تَكُونُوا يَأْتِ بِكُمُ اللَّهُ جَمِيعًا ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

සෑම කෙනෙකුටම තමන් හැරෙන්නා වූ දිශාවක් ඇත. යහකම් සඳහා එකිනෙකා අබිබවා යවු. නුඹලා කොතැනක සිටියද නුඹලා සැවොම අල්ලාහ් (විනිශ්චය දිනයේ දී එක් තැනකට) ගෙන එන්නේය. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
149

وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ ۖ وَإِنَّهُ لَلْحَقُّ مِن رَّبِّكَ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

(නබිවරය,) කොතැනක සිට බැහැර වූවද නුඹගේ මුහුණ (නැමදුමෙහි දී) මස්ජිදුල් හරාම් දෙසට හරවවු. සැබැවින්ම එය නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්යයකි. නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් අනවධානියෙකු නොවේ.
150

وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ ۚ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّوا وُجُوهَكُمْ شَطْرَهُ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَيْكُمْ حُجَّةٌ إِلَّا الَّذِينَ ظَلَمُوا مِنْهُمْ فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْنِي وَلِأُتِمَّ نِعْمَتِي عَلَيْكُمْ وَلَعَلَّكُمْ تَهْتَدُونَ

කොතැනක සිට බැහැර වූවද නුඹගේ මුහුණ (නැමදුමෙහි දී) මස්ජිදුල් හරාම් දෙසට හරවවු. (විශ්වාසිකයිනි,) ඔවුන්ගෙන් අපරාධ කළවුන් හැර (අන්) ජනයින්ට නුඹලාට විරුද්ධව සාධකයක් නොවීම පිණිස නුඹලා කොතැනක සිටිය ද නුඹලාගේ මුහුණු ඒ දෙසට හරවවු. 94 නුඹලා ඔවුනට බිය නොවවු. (අල්ලාහ් වන) මට බිය වවු. තවද මාගේ දායාදයන් නුඹලාට පරිපූර්ණ කරනු පිණිස ද තවද නුඹලා යහමග ලැබූවන් වනු පිණිස ද (නුඹලාගේ මුහුණු ඒ දෙසට හරවවු).
94මින් අදහස් වන්නේ “මුස්ලිම්වරුන් අල්ලාහ්ගේ විධානයට කීකරු නොවුයේ නම් ප්රතික්ෂේපකයින් මුස්ලිම්වරුන්ට නුඹලාම නුඹලාගේ දහම අනුගමනය නොකර නුඹලා අන් ජනයාව කෙසේ දහම වෙත කැඳවන්නේ දැයි තර්ක කිරීමට ඔවුනට සාධකයක් උදා වනු ඇත” යන්නය.
151

كَمَا أَرْسَلْنَا فِيكُمْ رَسُولًا مِّنكُمْ يَتْلُو عَلَيْكُمْ آيَاتِنَا وَيُزَكِّيكُمْ وَيُعَلِّمُكُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُعَلِّمُكُم مَّا لَمْ تَكُونُوا تَعْلَمُونَ

නුඹලාට අපගේ වදන් පාරායනා කර පෙන්වන්නා වූද නුඹලාව පවිත්ර කරවන්නාවූද ධර්ම පුස්තකය හා ප්රඥාව නුඹලාට හදාරවන්නා වූද නුඹලා දැනුවත්ව නොසිටි දෑ නුඹලාට හදාරවන්නාවූද නුඹලාගෙන් වූ රසූල්වරයකු 95 නුඹලා අතරෙහි අප යැව්වාක් මෙන්ම (මාගේ දායාදයන් නුඹලාට පරිපූර්ණ කරන්නෙමි.)
95මින් අදහස් කරන්නේ නබි මුහම්මද් තුමාණන් පිළිබඳවය.
152

فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُوا لِي وَلَا تَكْفُرُونِ

එබැවින් නුඹලා මා සිහිපත් කරවු. මම නුඹලාව සිහිපත් කරන්නෙමි. නුඹලා මට කෘතවේදී වවු. මට අකෘතවේදී නොවවු.
153

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ ۚ إِنَّ اللَّهَ مَعَ الصَّابِرِينَ

විශ්වාස කළවුනි, නුඹලා ඉවසීම හා සලාතය මගින් උදව් පතවු. 96 සැබැවින්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමගය.
96මෙයට පෙර වූ ආයතයන් මගින් මුස්ලිම්වරුන්ට විධානය කර ඇත්තේ යුදෙව්වන් සමග කිබ්ලාව විෂයෙහි තර්ක නොකර තම කටයුතු අල්ලාහ්ට භාර කළ යුතු යන්නය. තවද මෙම ආයතයේ සිට 157 වන ආයතය දක්වා වූ ආයතයන් තුළින් මුස්ලිම්වරුන් තම කරුණු කාරණාවන්හි නොයෙකුත් බාධක හා දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු වන බව දන්වා මේ සියලු තත්ත්වයන්හි ඔවුන් කෙළෙස කටයුතු කළ යුතුද යන්න මග පෙන්වා ඇත.
154

وَلَا تَقُولُوا لِمَن يُقْتَلُ فِي سَبِيلِ اللَّهِ أَمْوَاتٌ ۚ بَلْ أَحْيَاءٌ وَلَـٰكِن لَّا تَشْعُرُونَ

අල්ලාහ්ගේ මාර්ගයේ (සටන් කොට) ඝාතනය කරනු ලබන්නන්ට මළවුන් යැයි නොපවසවු. නමුත් (ඔවුහු) ජීවමානීය. එනමුත් නුඹලා නොහඟින්නෙහුය. 97
97වැඩි විස්තර සඳහා අල් කුර්ආන්හි 3:169-171 දක්වා වූ ආයතයන් බලන්න.
155

وَلَنَبْلُوَنَّكُم بِشَيْءٍ مِّنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِّنَ الْأَمْوَالِ وَالْأَنفُسِ وَالثَّمَرَاتِ ۗ وَبَشِّرِ الصَّابِرِينَ

අල්ප බියකින් හා කුසගින්නෙන් ද තවද වස්තූන්, ජීවිත හා පලතුරු හිඟවීම මගින් ද සැබැවින්ම අපි නුඹලාව පරීක්ෂාවට ලක් කරන්නෙමු. (එබැවින් නබිවරය,) ඉවසිලිවන්තයින්ට සුබාරංචි දෙවු.
156

الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قَالُوا إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ

ඔවුහු කවරහුදයත් තමන්ට යම් දුර්භාග්යයක් ඇති වූ කල්හි “ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලෙයිහි රාජිඌන්” 98 යැයි පවසති.
98එනම් “සැබැවින්ම අපි අල්ලාහ් වෙනුවෙන්මය. ඔහු වෙතම අපි නැවත යොමුවන්නන් වෙමු.” යැයි පවසති. මෙම ආයතයෙහි අපි අල්ලාහ් වෙනුවෙන්මය. යනු අපට කුමක් සිදු විය යුතුදැයි තීන්දු කිරීමට සුදුස්සා අල්ලාහ් යන්නයි. ඔහු වෙතම අපි නැවත යොමු වන්නන් වෙමු. යනු මෙලොවෙහි අපගේ සියලු පීඩාවන් තාවකාලික වන අතර අප සියලු දෙනා අල්ලාහ්ගේ හමුවට ගිය පසු මෙම සියලු පීඩාවන් වෙනුවෙන් අල්ලාහ්ගේ නිරන්තර භාග්යයන් ලැබේ යන්නයි. යමෙකු මෙම කරුණු දෙක මැනවින් සිතා බලනා සෑම මොහොතකම කිසිදු පීඩාවක් හෝ දුක් කරදරයක් හේතුවෙන් ඔහු නොඉවසන සුළු කෙනෙකු ලෙස පත් නොවනු ඇත.
157

أُولَـٰئِكَ عَلَيْهِمْ صَلَوَاتٌ مِّن رَّبِّهِمْ وَرَحْمَةٌ ۖ وَأُولَـٰئِكَ هُمُ الْمُهْتَدُونَ

තමන්ගේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාද හා කරුණාව තමන් කෙරෙහි වූවන් ඔවුන් ය. තවද ඔවුහුමය යහමග ලබන්නෝ.
158

إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِن شَعَائِرِ اللَّهِ ۖ فَمَنْ حَجَّ الْبَيْتَ أَوِ اعْتَمَرَ فَلَا جُنَاحَ عَلَيْهِ أَن يَطَّوَّفَ بِهِمَا ۚ وَمَن تَطَوَّعَ خَيْرًا فَإِنَّ اللَّهَ شَاكِرٌ عَلِيمٌ

සැබැවින්ම සෆා හා මර්වා 99 අල්ලාහ්ගේ සලකුණු අතුරින්ය. කවරෙකු (අල්ලාහ්ගේ) නිවස වෙත හජ් ඉටු කිරීමට හෝ උම්රා 100 කිරීමට හෝ පැමිණෙන්නේ ද ඒ දෙක අතර යෑම 101 ඔහුට වරදක් නැත. 102 යමෙක් ස්වෙච්ඡාවෙන් යහකම් අතිරික්තව කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් (ඒවා සඳහා) ප්රතිඵල දෙන්නාය සර්වඥය.
99‘සෆා හා මර්වා යනු මක්කා නගරයේ කඃබාව අසල පිහිටි කඳු ගැටි දෙකකි. හජ් වන්දනාව ඉටු කිරීමේදී හත් වතාවක් මෙම කඳු ගැටි දෙක අතර යාම අනිවාර්යය පිළිවෙතකි. එය සඊ යනුවෙන් හඳුන්වනු ලැබේ.
100‘හජ් යනු ඉස්ලාමයේ ප්රධාන වගකීම් පහෙන් එකකි. එය සුල් හජ් මස 8 වන දින සිට 13 වන දින දක්වා විවිධ වතාවත් වලින් සමන්විත මක්කාව හා අසල ප්රදේශයන් තුළ කරන්නා වූ ද ඒ සඳහා හැකියාව ඇත්තන්ට අනිවාර්යය වූද නැමදුමකි. එමෙන්ම උම්රා නැමදුම යනු හජ් නැමදුමෙහි අඩංගු ඇතැම් වතාවත් වලින් යුක්ත වූ කිසිඳු කාලයකට සීමා නොවී මක්කාව තුළ ඉටු කළ යුතු නැමදුමකි. මෙය ද ඉස්ලාමීය විද්වතුන්ගෙන් බහුතරයකගේ මතය අනුව අනිවාර්යය වූ නැමදුමකි.
101මෙම පදයෙහි යෑම යනුවෙන් සඳහන් වුවද එහි සඳහන් අරාබි පදයේ අන්තර්ගත නිසි අරුත වනුයේ සෆා හා මර්වා යන කඳු දෙක අතර මද වේගයකින් හත් වතාවක් යෑමේ පිළිවෙතයි.
102සෆා හා මර්වා යන කඳු දෙක අතර මද වේගයකින් හත් වතාවක් යෑම හජ් වන්දනාවෙහි අනිවාර්යය පිළිවෙතක් වුව ද මෙම ආයතයේ “වරදක් නැත” යැයි පවසා තිබීමට හේතුව මෙම කඳු දෙක මුදුනේ පිළිම දෙකක් තබා එක් කන්දක සිට අනෙක් කන්ද දක්වා ගොස් එය ස්පර්ශ කිරීමේ සිරිතක් එකල අඥාන යුගයේ මක්කාවේ විසූ මිථ්යාදෘෂ්ටිකයින් අතර විය. එහෙයින් එම කඳු දෙකෙන් එම පිළිමයන් දෙක පසු කාලයක ඉවත් කරනු ලැබුවද මුස්ලිම්වරුන් මෙම කඳු අතර යෑම පාපයක් වනු ඇතැයි සිතන්නට වූහ. මෙම ආයතය මගින් දැන් එම කඳු දෙක අතර මද වේගයකින් හත් වතාවක් යෑම වරදක් නොවන බව පැහැදිලි කර එම වැරදි සිතුවිල්ල ඉවත් කොට ඇත.
159

إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَىٰ مِن بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ ۙ أُولَـٰئِكَ يَلْعَنُهُمُ اللَّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ

අප පැහැදිලි සංඥාවන් තුළින් හා යහමග තුළින් පහළ කළ දෑ (නබිවරුන් විසින්) ජනයාට ධර්ම පුස්තකයෙහි(තව්රාතයෙහි) පැහැදිලි කළායින් පසුව ඒවා වසන් කළවුන් නම්, ඔවුනටය අල්ලාහ් ශාප කරනුයේ. 103 තවද ඔවුනටමය ශාප කරන්නන් ශාප කරනුයේ.
103මෙම ආයතයෙහි “ශාප කළේය” යන පදයෙන් අදහස් වන්නේ අල්ලාහ්ගේ කරුණාවෙන් බැහැර වූවේය යැයි අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි සඳහන් වී ඇත.
160

إِلَّا الَّذِينَ تَابُوا وَأَصْلَحُوا وَبَيَّنُوا فَأُولَـٰئِكَ أَتُوبُ عَلَيْهِمْ ۚ وَأَنَا التَّوَّابُ الرَّحِيمُ

එනමුත් තමන් පශ්චාත්තාපයේ නියැළී තමන් සංශෝධනය කර ගනිමින් (තමන් වසන් කළ දෑ ජනයින්ට) පැහැදිලි කළවුන් හැර. (මෙසේ කරන) ඔවුන්ගේ පශ්චාත්තාපය මම පිළිගනිමි. තවද මම කරුණාභරිත හා පශ්චාත්තාපය පිළිගන්නා වෙමි.
161

إِنَّ الَّذِينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ أُولَـٰئِكَ عَلَيْهِمْ لَعْنَةُ اللَّهِ وَالْمَلَائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ

සැබැවින්ම ප්රතික්ෂේප කර තමන් ප්රතික්ෂේප කරන්නන් ලෙසම මරණයට පත් වූවන් නම්, ඔවුන් කෙරෙහිය අල්ලාහ්ගේ ද මලක්වරුන්ගේ ද මිනිසුන් සියල්ලන්ගේ ද ශාපය හිමි වන්නේ.
162

خَالِدِينَ فِيهَا ۖ لَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنظَرُونَ

(ඔවුහු) එ(ම ශාපය හේතුවෙන් නිරයෙ)හි සදාතනිකයෝ වෙති. ඔවුන්ගෙන් දඬුවම සැහැල්ලු කරනු නොලැබේ. තවද ඔවුනට අවකාශයක් ද දෙනු නොලැබේ.
163

وَإِلَـٰهُكُمْ إِلَـٰهٌ وَاحِدٌ ۖ لَّا إِلَـٰهَ إِلَّا هُوَ الرَّحْمَـٰنُ الرَّحِيمُ

නුඹලාගේ (සැබෑ) දෙවියන් එකම දෙවියන් (වන අල්ලාහ්)ය. ඔහු හැර අන් දෙවියෙකු නොමැත. (ඔහු) සැමට කරුණාභරිත හා පරම කරුණාභරිතය.
164

إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ وَالْفُلْكِ الَّتِي تَجْرِي فِي الْبَحْرِ بِمَا يَنفَعُ النَّاسَ وَمَا أَنزَلَ اللَّهُ مِنَ السَّمَاءِ مِن مَّاءٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَبَثَّ فِيهَا مِن كُلِّ دَابَّةٍ وَتَصْرِيفِ الرِّيَاحِ وَالسَّحَابِ الْمُسَخَّرِ بَيْنَ السَّمَاءِ وَالْأَرْضِ لَآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَ

අහස් හා මිහිතලය මැවීමෙහි ද රාත්රිය හා දහවලෙහි පරස්පරානු ගමනෙහි ද මිනිසුනට ප්රයෝජන ගෙන දෙන දෑ රැගෙන සයුරේ ගමන් කරන නැව්හි ද තවද කවර දෙයක් අහසින් අල්ලාහ් පහළ කර, තවද මිහිතලය මියගිය පසු එමගින් එය ජීවමාන කර, එහි සෑම සත්වයෙකුම ව්යාප්ත කළාවූ එම ජලයෙහි ද සුළං හැමීමට සැළැස්වීමෙහි ද අහස හා මිහිතලය අතර (අල්ලාහ්ගේ ශක්තියෙන්) වසඟ කරනු ලැබූ වලාවන්හි ද නුවණැති ජනයාට සංඥාවන් ඇත.
165

وَمِنَ النَّاسِ مَن يَتَّخِذُ مِن دُونِ اللَّهِ أَندَادًا يُحِبُّونَهُمْ كَحُبِّ اللَّهِ ۖ وَالَّذِينَ آمَنُوا أَشَدُّ حُبًّا لِّلَّهِ ۗ وَلَوْ يَرَى الَّذِينَ ظَلَمُوا إِذْ يَرَوْنَ الْعَذَابَ أَنَّ الْقُوَّةَ لِلَّهِ جَمِيعًا وَأَنَّ اللَّهَ شَدِيدُ الْعَذَابِ

අල්ලාහ් හැර (සෙසු දෑ අල්ලාහ්ට) සමගාමීන් ලෙස ගත් අය මිනිසුන් අතර වෙති. (විශ්වාසිකයින්) අල්ලාහ්ව ප්රිය කරන්නාක් මෙන් ඔවුහු ඔවුන්ව(සමගාමී දෙවිවරුන්ව) ප්රිය කරති. නමුත් විශ්වාස කළවුන් අල්ලාහ්ට (පමණක්) ප්රිය කිරීමෙහි ඉතා දැඩිය. අපරාධ කළවුන් දඬුවම දකින අවස්ථාවේ දී සියලු බලය අල්ලාහ්ට හිමි බව හා අල්ලාහ් දඬුවම් ලබා දීමෙහි ඉතා දැඩි බව (මෙලොවෙහිදී) වටහා ගන්නේ නම්, (ඔවුන් අල්ලාහ්ට සමගාමීන් පත් නොකරනු ඇත.)
166

إِذْ تَبَرَّأَ الَّذِينَ اتُّبِعُوا مِنَ الَّذِينَ اتَّبَعُوا وَرَأَوُا الْعَذَابَ وَتَقَطَّعَتْ بِهِمُ الْأَسْبَابُ

(එම අවස්ථාව, ආදේශකයින්ගේ ප්රධානීන් වන) අනුගමනය කරනු ලැබූවන් (තමන්ව) අනුගමනය කළවුන්ගෙන් ඉවත් වී යන අවස්ථාවය. තවද ඔවුහු (සියල්ලන්ම) දඬුවම දැක ගනිති. තවද ඔවුන් අතර වූ බැඳියාවන් විසන්ධි වී යනු ඇත.
167

وَقَالَ الَّذِينَ اتَّبَعُوا لَوْ أَنَّ لَنَا كَرَّةً فَنَتَبَرَّأَ مِنْهُمْ كَمَا تَبَرَّءُوا مِنَّا ۗ كَذَٰلِكَ يُرِيهِمُ اللَّهُ أَعْمَالَهُمْ حَسَرَاتٍ عَلَيْهِمْ ۖ وَمَا هُم بِخَارِجِينَ مِنَ النَّارِ

අනුගමනය කළවුන් ‘සැබැවින්ම නැවත වාරයක් (මෙලොව ජීවත් වීමට) අපට ඇත්නම්, එවිට (මෙදින) ඔවුන් අපෙන් ඉවත් වූවාක් මෙන් අපි ද ඔවුන්ගෙන් ඉවත් වන්නෙමු’ යැයි ප්රකාශ කරනු ඇත. එලෙසමය ඔවුන්ගේ කළකම් ඔවුන් හට පසුතැවිලි ලෙස අල්ලාහ් පෙන්වනුයේ. ඔවුන් (නිරයේ) ගින්නෙන් බැහැර වන්නන් නොවෙති.
168

يَا أَيُّهَا النَّاسُ كُلُوا مِمَّا فِي الْأَرْضِ حَلَالًا طَيِّبًا وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ ۚ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ

ජනයිනි, මිහිතලයේ ඇති දැයින් අනුමත 104 යහපත් දෑ අනුභව කරවු. තවද ෂෙයිතාන්ගේ පිය සටහන් අනුගමනය නොකරවු. සැබැවින්ම ඔහු නුඹලාට ප්රකට සතුරෙකි.
104මින් අදහස් වන්නේ හලාල් හා හරාම් එනම් ‘අනුමත’ හා ‘අනුමත නැති’ යන සංකල්පය පිළිබඳවයි. මෙම සංකල්පය ඉස්ලාමයට පමණක් සීමා වූවක් නොවේ. ආහාර, මුදල් හා සියලූ ව්යාපාරික ගනු දෙනු, අන්යෝන්ය සම්බන්ධතාවන් ආදිය පිළිබඳව සියලූ දහම් තුළ අනුමත හා අනුමත නැති යන සංකල්පය ඇති අතර එලෙසින්ම ඉස්ලාමය තුළ ද මෙම සියලූ දෑ පිළිබඳව පරිපූර්ණ මග පෙන්වීමක් ඇත. අල් කුර්ආනය නිසි අයුරින් අධ්යයනය කිරීමෙන් අපට මනාව පෙනී යන්නේ ඉස්ලාමයෙන් තහනම් කර ඇත්තේ මනුෂ්යයාගේ ජීවිතයට අහිතකර හා හානිකර දෑ යන්නය. වර්තමානයේ ආහාර නිෂ්පාදනයේදී භාවිත කරන රසකාරක, රසායණික ද්රව්ය හා අඩංගු ද්රව්ය වල අනුමත භාවය පිළිබඳ නිසි දැනුමක් පාරිභෝගිකයාට කොහෙත්ම නැත. එහෙයින් වෙළඳ පොළේ සියලූ භාණ්ඩ පරිභෝජනයට අහිතකරද නැතිද යන්න අවබෝධ කර ගැනීම පාරිභෝගිකයාගේ අයිතිවාසිකමකි. එබැවින් ඒවායේ පරිහරණයට අනුමත තත්ත්වය පිළිබඳව හෙළිදරවු වීමේ විශාල අවශ්යතාවක් සමාජය තුළ එළඹී ඇත. යම් භාණ්ඩයක අනුමත බව පැහැදිලි වනුයේ අවසන් නිෂ්පාදන භාණ්ඩයේ සුදුසු නුසුදුසු බව හා ප්රමිතිය පමණක් පදනම් කර ගෙන නොවේ. ගොවිපළේ සිට ගබඩා කිරීම, ප්රවාහනය, නිෂ්පාදන ක්රියාවලියේ සියලූ අවස්ථා මෙන්ම නිෂ්පාදනයට අඩංගු ද්රව්ය පිළිබඳව නිවැරදි අන්දමින් නිරීක්ෂණය කිරීමෙනි. මනුෂ්යය ජීවිතයේ අනුමත හා අනුමත නොවන යන විෂය ආහාර පාන ආදියට පමණක් සීමා වූවක් නොව. මිනිස් ජීවිතයේ සෑම අංගයක් තුළම අනුමත හා අනුමත නොවන භාවය නිරීක්ෂණය කොට පිළිපැදීම සෑම කෙනෙකුටම අනිවාර්යය වූවකි. මෙම හේතූන් නිසා අද ලෝකයේ විවෘත ආර්ථික ක්රමවේදයත් සමග හලාල් හෙවත් අනුමතභාවයේ සහතික ක්රමවේදය කෙරෙහි දැඩි අවශ්යතාවක් තිබීම අපි දකින්නෙමු. ඒ හැර හලාල් යනු දෙවියන්ට ඉඳුල් කිරීමේ ක්රමවේදයක් යැයි උපකල්පනය කිරීම අර්ථ ශුන්ය අදහසක් යැයි ද අප වටහා ගත යුතුය.
169

إِنَّمَا يَأْمُرُكُم بِالسُّوءِ وَالْفَحْشَاءِ وَأَن تَقُولُوا عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ

සැබැවින්ම ඔහු නුඹලාට විධානය කරනුයේ පාපකම් හා අලජ්ජිතකම් ද නුඹලා නොදන්නා දෑ අල්ලාහ් කෙරෙහි නුඹලා ගොතා පැවසීම ද වේ.
170

وَإِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنزَلَ اللَّهُ قَالُوا بَلْ نَتَّبِعُ مَا أَلْفَيْنَا عَلَيْهِ آبَاءَنَا ۗ أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لَا يَعْقِلُونَ شَيْئًا وَلَا يَهْتَدُونَ

‘අල්ලාහ් පහළ කළ දෑ නුඹලා අනුගමනය කරවු’ යැයි (ආදේශක) ඔවුනට ප්රකාශ කරනු ලැබූ විට ‘නැත, අපගේ මුතුන් මිත්තන් කුමන දැයක් මත (සිටිනු) අපි දුටුවෙමු ද එය අපි පිළිපදින්නෙමු’යි ඔවුහු ප්රකාශ කරති. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් නොදන්නා ලෙස හා ඔවුන් යහමග නොලබන ලෙස සිටියදීත් (පසුව පැවතෙන්නන් ඔවුන්ව පිළිපදිනුයේ) ද?
171

وَمَثَلُ الَّذِينَ كَفَرُوا كَمَثَلِ الَّذِي يَنْعِقُ بِمَا لَا يَسْمَعُ إِلَّا دُعَاءً وَنِدَاءً ۚ صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَعْقِلُونَ

ප්රතික්ෂේප කළවුනට (හා ඔවුන්ව යහමගට කැඳවන්නාට) උපමාව වනුයේ කැඳවුම හා හඬ ඝෝෂාව හැර වෙනත් කිසිවක් නොඇසෙන දැයට(පශු කුලයට අයත් සතුන්ට) හඬ නගන්නෙකුගේ උපමාව මෙනි. 105 (ඔවුහු) බිහිරිය ගොළුය අන්ධය. ඔවුහු (යහමග) අවබෝධ කර නොගනිති.
105ඇතැම් විට එෙඞ්රා තම සත්වයින් සමග කථා කරයි. එහෙත් උන්ට ඔහුගේ කථාව නොතේරෙන අතර නොවැටහෙන තේරුමක් නැති යම් ශබ්දයක් මිස උන්ට නොඇසේ. එලෙසම නබි මුහම්මද් තුමාණන් ප්රතික්ෂේපකයින්ව ඉස්ලාමය වෙත ඇරයුම් කරන විට ඔවුන් එහි සැබෑ අරුත වටහා නොගනිමින් හා එය නොසලකා හරිමින් එම ඇරයුමට කිසිදු වැදගත්කමක් නොදී සවන් දෙන්නෝය. යන්නෙන් මෙම ආයතයෙන් පෙන්නුම් කෙරෙයි.
172

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُلُوا مِن طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَاشْكُرُوا لِلَّهِ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ

විශ්වාස කළවුනි, නුඹලාට අප පිරිනැමූ දැයින් යහ දෑ අනුභව කරවු. නුඹලා අල්ලාහ්ට පමණක් නමදිමින් සිටින්නේ නම්, ඔහුට කෘතවේදී වවු.
173

إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنزِيرِ وَمَا أُهِلَّ بِهِ لِغَيْرِ اللَّهِ ۖ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَلَا إِثْمَ عَلَيْهِ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ

ඔහු නුඹලා කෙරෙහි තහනම් කර ඇත්තේ මළ සතුන්, රුධිරය, සූකර මාංශ හා අල්ලාහ් හැර වෙනත් දෑ සඳහා නාමය උච්චාරණය කරනු ලැබූ දෑම වේ. යමෙක් කැමැත්තකින් තොරව හා (ජීවිතය රැක ගැනීමට අවශ්ය) ප්රමාණය නොඉක්මවා (විකල්පයකින් තොර) බලවත් අවශ්යතාවකට ලක් වූයේ නම්, ඔහු කෙරෙහි (ඒවා ආහාරයට ගැනීම) පාපයක් නැත. සැබැවින්ම අල්ලාහ් ක්ෂමාශීලීය කරුණාභරිතය. 106
106මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 5:3 වන ආයතය බලන්න.
174

إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنزَلَ اللَّهُ مِنَ الْكِتَابِ وَيَشْتَرُونَ بِهِ ثَمَنًا قَلِيلًا ۙ أُولَـٰئِكَ مَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ إِلَّا النَّارَ وَلَا يُكَلِّمُهُمُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ وَلَا يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

සැබැවින්ම ධර්ම පුස්තකයෙන් අල්ලාහ් පහළ කළ දෑ වසන් කර, ඒවා අල්ප මිලකට විකුණන අය ඔවුන්ගේ උදරයන්ට ආහාරය වශයෙන් (නිරා) ගින්න හැර වෙනෙකක් නොලබන්නෝය. (මළවුන්) නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් සමග කථා නොකරයි. තවද ඔවුන්ව පවිත්ර නොකරයි. ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.
175

أُولَـٰئِكَ الَّذِينَ اشْتَرَوُا الضَّلَالَةَ بِالْهُدَىٰ وَالْعَذَابَ بِالْمَغْفِرَةِ ۚ فَمَا أَصْبَرَهُمْ عَلَى النَّارِ

ඔවුහු යහමග වෙනුවට වැරදි මග ද පාප ක්ෂමාව වෙනුවට දඬුවම ද මිලදී ගත්තෝ වෙති. එබැවින් (නිරයේ) ගින්න කෙරෙහි ඔවුන් කෙසේ නම් ඉවසා දරා ගන්නේ ද!
176

ذَٰلِكَ بِأَنَّ اللَّهَ نَزَّلَ الْكِتَابَ بِالْحَقِّ ۗ وَإِنَّ الَّذِينَ اخْتَلَفُوا فِي الْكِتَابِ لَفِي شِقَاقٍ بَعِيدٍ

එය(එම දඬුවම) අල්ලාහ් ධර්ම පුස්තකය සත්යයෙන් යුතුව පහළ කළ බැවිනි. ධර්ම පුස්තකයේ (ඇති දෑ පිළිබඳව තමන් අතර) මතභේද ඇති කර ගත්තවුන් (සත්යයෙන්) දුරස්ථ වූ අසම්මුතියක වෙති.
177

لَّيْسَ الْبِرَّ أَن تُوَلُّوا وُجُوهَكُمْ قِبَلَ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَلَـٰكِنَّ الْبِرَّ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَالْمَلَائِكَةِ وَالْكِتَابِ وَالنَّبِيِّينَ وَآتَى الْمَالَ عَلَىٰ حُبِّهِ ذَوِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينَ وَابْنَ السَّبِيلِ وَالسَّائِلِينَ وَفِي الرِّقَابِ وَأَقَامَ الصَّلَاةَ وَآتَى الزَّكَاةَ وَالْمُوفُونَ بِعَهْدِهِمْ إِذَا عَاهَدُوا ۖ وَالصَّابِرِينَ فِي الْبَأْسَاءِ وَالضَّرَّاءِ وَحِينَ الْبَأْسِ ۗ أُولَـٰئِكَ الَّذِينَ صَدَقُوا ۖ وَأُولَـٰئِكَ هُمُ الْمُتَّقُونَ

නැගෙනහිර හා බටහිර දිශාවට (නැමදුම සඳහා) නුඹලාගේ මුහුණු හැරවීම 107 යහකම නොවේ. එනමුත් යහකම (ඇත්තන්) නම්, අල්ලාහ්ව ද පරමාන්ත දිනය ද මලක්වරුන් ද ධර්ම පුස්තකය ද නබිවරුන් ද විශ්වාස කරන්නන්ය. තවද ධනය තමන් (එය) ඇලුම් කළද සමීපතයින්ට(ඥාතීන්ට) ද අනාථයින්ට ද දුගියන්ට ද මගීන්ට ද යාචකයින්ට ද (නිදහස තහවුරු වූ) වහලුන්ට ද පිරිනමන්නන්ය. තවද සලාතය ස්ථාපිත කර zසකාතය පිරිනමන්නන්ය. තවද යම් ප්රතිඥාවක් දුන් විට තම ප්රතිඥාව ඉෂ්ට කරන්නන්ය. තවද සැබැවින්ම දිළිඳුකම හා පීඩාදායික අවස්ථාවන්හි ද යුද අවස්ථාවන්හි ද ඉවසීමෙන් සිටිනවුන්ය. ඔවුහු සත්යය පවසන්නෝය. තවද ඔවුහුමය බිය බැතිමත් වූවෝ.
107මෙම ආයතයෙන් එකළ විසූ යුදෙව් හා ක්රිස්තියානුවන්ගේ නැමදුම් දිශාවන් පිළිබඳව අඟවා ඇත.
178

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الْقِصَاصُ فِي الْقَتْلَى ۖ الْحُرُّ بِالْحُرِّ وَالْعَبْدُ بِالْعَبْدِ وَالْأُنثَىٰ بِالْأُنثَىٰ ۚ فَمَنْ عُفِيَ لَهُ مِنْ أَخِيهِ شَيْءٌ فَاتِّبَاعٌ بِالْمَعْرُوفِ وَأَدَاءٌ إِلَيْهِ بِإِحْسَانٍ ۗ ذَٰلِكَ تَخْفِيفٌ مِّن رَّبِّكُمْ وَرَحْمَةٌ ۗ فَمَنِ اعْتَدَىٰ بَعْدَ ذَٰلِكَ فَلَهُ عَذَابٌ أَلِيمٌ

විශ්වාස කළවුනි, ඝාතනයට ලක් වූවන් විෂයයෙහි කිසාස් (නැමැති සම ප්රතිදඬුවම් පැනවීමේ නීතිය) 108 නුඹලා කෙරෙහි අනිවාර්යය කරනු ලැබ ඇත. නිදහස් පුද්ගලයකුට නිදහස් පුද්ගලයා ද වහලෙකුට වහලා ද ස්ත්රියකට ස්ත්රීය ද (මරණ දණ්ඩනයේ නීතීයට අයත්) වේ. එනමුත් තම 109 සහෝදරයා(ගේ පාර්ශවය) විසින් කවරෙකුට(ඝාතකයාට) යම් කිසි දෙයක් 110 සමා කරනු ලබන්නේ ද (එවිට සමාව දුන් අය වන්දි මුදල සම්බන්ධයෙන්) සාධාරණත්වය අනුගමනය කළ යුතුය. තවද ඔහු වෙත(සමාව දුන් අය වෙත) යහපත් අයුරින් (වන්දිය) ඉටු කළ යුතුය. එය නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සහනයකි. තවද කරුණාවකි. ඉන් පසුවත් කවරෙකු හෝ සීමාව ඉක්මවා යන්නේ නම් ඔහුට වේදනාකාරී දඬුවමක් ඇත.
108‘කිසාස් යනු ඝාතන හා බරපතළ තුවාල කිරීම් යන වැරදි වලට සම ප්රතිදඬුවම් පැනවීමේ නීතියයි. මෙම ආයතයෙහි ඝාතන සම්බන්ධ නීතිය විග්රහ කොට ඇත.
109මෙම ආයතයෙන් සැබෑ මනුෂ්යත්වයේ සහෝදරත්වය වෙත මග පෙන්වා ඇත. එනම් තම දෑතින් යමෙකු මරණයට පත් වීම මහා වරදක් වුවද එය සහෝදරත්වය බිඳෙන ක්රියාවක් නොවන වග මින් පෙන්වා දෙයි. එහෙයින් ඝාතනයට ලක් වූ පුද්ගලයා තම සහෝදරයා යැයි ආමන්ත්රණය කිරීමෙන් මේ බව ගෙන හැර පෙන්වා ඇත.
110තමන් විසින් යමෙකු ඝාතනයට ලක් වූයේ නම් ඔහුගේ ඥාතීන්ට සම ප්රතිදඬුවමක් වශයෙන් ඝාතකයාට මරණ දණ්ඩනය ලබා දීම හෝ යම් වන්දියක් අය කළ හෝ හැක. මෙම ආයතයෙහි යම් කිසි දෙයක් සමා කරනු ලබන්නේ යනු ඉහත මරණ දඬුවම සඳහා ඔහුට සමාව ලැබීමයි.
179

وَلَكُمْ فِي الْقِصَاصِ حَيَاةٌ يَا أُولِي الْأَلْبَابِ لَعَلَّكُمْ تَتَّقُونَ

නුවණැත්තනී, කිසාස්( නැමැති සම ප්රතිදඬුවම් පැනවීමේ නීතියෙ)හි නුඹලාට ජීවිතයක් ඇත. (මෙම නීතිය ආගමානුගත වී ඇත්තේ ඝාතනයෙන් දුරස්ථ වී) නුඹලා බිය බැතිමත් වනු පිණිසය. 111
111‘ඝාතනයට ඝාතනය යන කිසාස් ක්රමයෙන් අපට ජීවිතයක් ඇත. යනුවෙන් අල්ලාහ් අවධාරණය කරන්නේය. එනම් කිසියම් ඝාතකයෙකුට තමන් සිදු කළ ඝාතනය සඳහා ලැබෙන මරණ දඬුවම සෙසු අයට පාඩමක් වන අතර එම දඬුවම දුටු ජනයා ඒ නීතිය හේතුවෙන් එවැනි වරදක් කිරීමට කිසිසේත්ම නොපෙලඹෙනු ඇත. මෙයින් සමාජයේ ඝාතන සඳහා වූ නැඹුරුව අවම වනු ඇත.
180

كُتِبَ عَلَيْكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ إِن تَرَكَ خَيْرًا الْوَصِيَّةُ لِلْوَالِدَيْنِ وَالْأَقْرَبِينَ بِالْمَعْرُوفِ ۖ حَقًّا عَلَى الْمُتَّقِينَ

නුඹලාගෙන් කෙනෙකුට මරණය ආසන්න වූ විට (තම) වස්තූන් අතහැර යන්නේ නම්, දෙමාපියන්ට ද ඥාතීන්ට ද නියමයන්ට අනුව 112 (වසිය්යත් නැමැති) අන්තිම කැමැත්ත ලබා දීම නුඹලාට අනිවාර්යය කරනු ලැබ ඇත. (එය) බිය භක්තිකයින්ට වගකීමක් වශයෙන් (පත් කර ඇත.)
112ඉස්ලාමයේ ආරම්භ කාලයේ එනම් මෙම ආයතය පහළ වන කාල වකවානුවේ වසිය්යත් හෙවත් අන්තිම කැමැත්ත ලබා දීමේ විෂයයෙහි නිශ්චිත ප්රමාණයන් සඳහන් වූයේ නැත. එහෙත් එකල සමහරෙකු අන්තිම කැමැත්ත සාධාරණ අයුරින් ලබා නුදුන් හෙයින් එය උරුමක්කාරයින්ට සාධාරණ ලෙස ලබා දෙනු යන විධානය මෙම ආයතයෙන් පහළ වූ අතර පසු කලෙක අල් කුර්ආන් 4:11 හා 12 වැනි ආයතයන් මගින් එහි ප්රමාණයන් පැහැදිලි කර ඇත.
181

فَمَن بَدَّلَهُ بَعْدَ مَا سَمِعَهُ فَإِنَّمَا إِثْمُهُ عَلَى الَّذِينَ يُبَدِّلُونَهُ ۚ إِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ

එයට(අන්තිම කැමැත්තට) සවන් දුන් පසු කවරෙකු එය වෙනස් කරන්නේ ද සැබැවින්ම එහි පාපය එය වෙනස් කරන්නන්ටමය. 113 සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්රාවකය සර්වඥය.
113මෙයින් අදහස් වන්නේ යම් පුද්ලගයෙකු කෙනෙකුගේ වසීයත් නම් මරණාසන්න මොහොතෙහි අවසන් කැමැත්තට සවන් දුන්නේ නම් ඔහු යුතු පුද්ගලයින්ට එලෙසින්ම සාක්ෂි දැරීම අනිවාර්යය වනු ඇත යන්නය. එහෙත් ඔහු එම වසීයතය විකෘති කොට පැවසුවේ නම් ඔහු මහා පාපියෙකු වන අතර විනිශ්චය දින දී අල්ලාහ්ගේ දඬුවමට භාජනය වනු ඇත. වසීයතය සවන් දෙන්නාගේ ප්රකාශය අනුව දේපළ බෙදන්නා තීරණය කරනු ඇත.
182

فَمَنْ خَافَ مِن مُّوصٍ جَنَفًا أَوْ إِثْمًا فَأَصْلَحَ بَيْنَهُمْ فَلَا إِثْمَ عَلَيْهِ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ

නමුත් කවරෙකු අන්තිම කැමැත්ත ප්රකාශ කරන්නෙකුගෙන් වැරැද්දක් හෝ (සිතාමතා කරන) පාපයක් පිළිබඳව බිය වී ඔහු ඔවුනතර(උරුමක්කාරයින් අතර) කරුණු සමතයකට පත් කරන්නේ ද ඔහුහට වරදක් නොවේ. 114 සැබැවින්ම අල්ලාහ් ක්ෂමාශීලීය කරුණාභරිතය.
114මෙම ආයතයෙන් අවස්ථාවන් කිහිපයක දී යමෙකුගේ මරණාසන්න කැමැත්ත වෙනස් කිරීමට හැකි බව අනුමත කොට ඇත. එනම් වියෝවයට පත් වන්නා වැරදීමකින් හෝ ඔහු තම ඥාතීන්ට හානියක් කළ යුතුය යන චේතනාවෙන් තම ඥාතීන්ට අසාධාරණව තම දේපළ බෙදීමට අවසන් කැමැත්ත පල කළේ නම් ඔහුගේ දේපළ බෙදන තීරකයාට වියෝවට පත් අයගේ අවසන් කැමැත්ත ප්රවේණි නිලකාරයින් අතර සම්මුතියක් ඇති කිරීම සඳහා වෙනස් කළ හැක.
183

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

විශ්වාස කළවුනි, නුඹලා බිය භක්තිමත් වීම පිණිස නුඹලාට පෙර වූවනට අනිවාර්යය කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද උපවාස ශීලය අනිවාර්යය කරනු ලැබ ඇත.
184

أَيَّامًا مَّعْدُودَاتٍ ۚ فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوْ عَلَىٰ سَفَرٍ فَعِدَّةٌ مِّنْ أَيَّامٍ أُخَرَ ۚ وَعَلَى الَّذِينَ يُطِيقُونَهُ فِدْيَةٌ طَعَامُ مِسْكِينٍ ۖ فَمَن تَطَوَّعَ خَيْرًا فَهُوَ خَيْرٌ لَّهُ ۚ وَأَن تَصُومُوا خَيْرٌ لَّكُمْ ۖ إِن كُنتُمْ تَعْلَمُونَ

(උපවාස ශීලය) නියමිත දිනයන්හි ය. තවද නුඹලා අතුරින් කවරෙකු රෝගියෙකුව හෝ ගමනක සිටින්නේ නම් හෝ (අතපසු වූ උපවාස ශීලය ඉටු කිරීම සඳහා) වෙනත් දිනයන් ගණනයට ගත යුතුය. තවද එ(ම උපවාස ශීල)යට හැකියාව නොමැත්තන්ට ෆිද්යාවක්(වන්දියක්) 115 ඇත. (එනම්,) දුගියෙකුට ආහාර ලබා දීමය. යමෙකු (ස්වෙච්ඡාවෙන්ම) යහකම් අතිරික්තව කරන්නේ ද එය ඔහුට යහපත් වන්නේය. 116 තවද උපවාස ශීලයේ නියැළීම නුඹලාට යහපත්ය. නුඹලා දැන සිටින්නේ නම්!
115ආරම්භ කාලයේ ශක්තිය ඇත්තන්ට හේතුවකින් තොරව උපවාස ශීලයේ නොයෙදී ඒ වෙනුවට ෆිද්යා(වන්දි) ලබා දීමට අනුමැතිය තිබුණ ද පසු කාලීනව එම නීතිය අවලංගු විය. තවද 2:185 වැනි ආයතයේ සඳහන් පරිදි හැකියාව ඇත්තවුන් උපවාස ශීලයේ නියැළිම මිස වෙනත් කිසිදු විකල්පයක් නොමැති බවට විධානය කොට ඇත.
116මෙහි අදහස කෙනෙකු එක් දුගියෙකුට වඩා බොහෝ දුගීන්ට ආහාර සැපයීම හෝ සදකා නම් අනිවාර්යය නොවූ දන්දීම් නියමිත ප්රමාණයට වඩා අධිකව දීම ඔහුට යහපතක් හා මහත් වේතනයක් ගෙන දෙන්නේය යන්නයි.
185

شَهْرُ رَمَضَانَ الَّذِي أُنزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِّلنَّاسِ وَبَيِّنَاتٍ مِّنَ الْهُدَىٰ وَالْفُرْقَانِ ۚ فَمَن شَهِدَ مِنكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ ۖ وَمَن كَانَ مَرِيضًا أَوْ عَلَىٰ سَفَرٍ فَعِدَّةٌ مِّنْ أَيَّامٍ أُخَرَ ۗ يُرِيدُ اللَّهُ بِكُمُ الْيُسْرَ وَلَا يُرِيدُ بِكُمُ الْعُسْرَ وَلِتُكْمِلُوا الْعِدَّةَ وَلِتُكَبِّرُوا اللَّهَ عَلَىٰ مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

රමළාන් මාසය, එහි අල් කුර්ආනය, ජනයාට මග පෙන්වීමක් වශයෙන් හා යහමගින් වූ ද (සත්යය හා අසත්යය අතරෙහි) නිර්ණායකයෙන් වූ ද පැහැදිලි සංඥා වශයෙන් පහළ කරනු ලැබීය. 117 නුඹලාගෙන් කවරෙකු එම මසට සම්මුඛ වන්නේ ද ඔහු එ(ම මසෙ)හි උපවාස ශීලයේ යෙදිය යුතුය. කවරෙකු රෝගියෙකුව හෝ ගමනක සිටින්නේ නම් හෝ (අතපසු වූ උපවාස ශීලය ඉටු කිරීම සඳහා) වෙනත් දිනයන් ගණනයට ගත යුතුය. අල්ලාහ් නුඹලාට පහසුව අපේක්ෂා කරන අතර නුඹලාට දුෂ්කරත්වය අපේක්ෂා නොකරයි. (අතපසු වූ එම) දින ගණන් නුඹලා සම්පූර්ණ කරනු පිණිස ද නුඹලාට යහමග පෙන් වූ හෙයින් අල්ලාහ්ව ශ්රේෂ්ටමත් කිරීම පිණිස ද නුඹලා කෘතවේදී විය හැකිවනු පිණිස ද( වෙනත් දින වල උපවාස ශීලයේ යෙදීමේ සහනය ලැබී)ය.
117වසර 23 ක් පුරා අවස්ථාවන්ට අනුව නබි මුහම්මද් තුමාණන් වෙත ජිබ්රීල් තුමාණන් නම් මලක්වරයා මාර්ගයෙන් කොටස් වශයෙන් අල් කුර්ආනය පහළ විය. මෙළෙස පහළ වීම ප්රථමයෙන් සිදු වූයේ රමළාන් මාසයෙහි බව මෙම ආයතයෙන් පෙන්නුම් කෙරේ. තවද මෙම ආයතය මගින් “බයිතුල් ඉzස්zසා” එනම් කඃබාවට සමාන්තරව ඉහළ අහසෙහි පිහිටි ස්ථානයට අල් කුර්ආනය මුළුමණින්ම අල්ලාහ් අබියසින් පහළ වීම මින් අදහස් කෙරෙන බව අල් කුර්ආන් විශාරදයින් අදහසට දක්වති. මෙම සිදුවීම සිදුවූයේ ද රමළාන් මාසයෙහිය.
186

وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ ۖ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ ۖ فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ

(නබිවරය,) ‘මාගේ ගැත්තා මා ගැන නුඹගෙන් විමසන කල්හි සැබැවින්ම මම සමීපය. 118 යමෙකු මාගෙන් ඇයැදින විට ඇයැදින්නාගේ කැඳවුමට මම පිළිතුරු දෙමි’ (යැයි පවසවු). එබැවින් ඔවුන් මට කීකරු විය යුතුය. තවද මා විශ්වාස කළ යුතුය. එවිට ඔවුනට යහමග ලබා ගත හැක්කේය.
118එනම් සර්වඥ අල්ලාහ්ගේ දැනුමෙහි අප ඉතා සමීපයෙන් සිටින බවත්, අල්ලාහ් පිළිතුරු සැපයීමට ඉතා සමීපයෙන් සිටන බවත් මෙම ආයතයෙන් පෙන්නුම් කෙරෙන බව අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි සඳහන් වී ඇත.
187

أُحِلَّ لَكُمْ لَيْلَةَ الصِّيَامِ الرَّفَثُ إِلَىٰ نِسَائِكُمْ ۚ هُنَّ لِبَاسٌ لَّكُمْ وَأَنتُمْ لِبَاسٌ لَّهُنَّ ۗ عَلِمَ اللَّهُ أَنَّكُمْ كُنتُمْ تَخْتَانُونَ أَنفُسَكُمْ فَتَابَ عَلَيْكُمْ وَعَفَا عَنكُمْ ۖ فَالْآنَ بَاشِرُوهُنَّ وَابْتَغُوا مَا كَتَبَ اللَّهُ لَكُمْ ۚ وَكُلُوا وَاشْرَبُوا حَتَّىٰ يَتَبَيَّنَ لَكُمُ الْخَيْطُ الْأَبْيَضُ مِنَ الْخَيْطِ الْأَسْوَدِ مِنَ الْفَجْرِ ۖ ثُمَّ أَتِمُّوا الصِّيَامَ إِلَى اللَّيْلِ ۚ وَلَا تُبَاشِرُوهُنَّ وَأَنتُمْ عَاكِفُونَ فِي الْمَسَاجِدِ ۗ تِلْكَ حُدُودُ اللَّهِ فَلَا تَقْرَبُوهَا ۗ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَّقُونَ

උපවාස රාත්රියේ නුඹලාගේ ස්ත්රීන් වෙත ලිංගික ඇසුරෙහි යොමු වීම නුඹලාට අනුමත කරනු ලැබ ඇත. ඔවුහු නුඹලාට වස්ත්රයකි. තවද නුඹලා ඔවුනට වස්ත්රයකි. නුඹලා නුඹලාටම වංචා කරමින් සිටිනු අල්ලාහ් දන්නේය. තවද ඔහු නුඹලාගේ පශ්චාත්තාපය පිළිගෙන නුඹලාට සමාව පිරිනමයි. 119 දැන් නුඹලා ඔවුන් සමග ලිංගික ඇසුරෙහි යෙදෙවු. තවද නුඹලාට අල්ලාහ් නියම කළ දෑ (එනම් දරු සම්පත) පතවු. කළු නූලෙන්(රාත්රි අඳුරෙන්) අලුයම සුදු නූල(හිමිදිරි ආලෝකය) නුඹලාට පැහැදිලි වන තෙක් අනුභව කරවු. තවද පානය කරවු. පසුව රාත්රිය දක්වා උපවාස ශීලය සම්පූර්ණ කරවු. නුඹලා මස්ජිදයන්හි ඉඃතිකාෆ් (හෙවත් රැඳී) සිටිය දී ඔවුන් සමග ලිංගික ඇසුරෙහි නොයෙදෙවු. 120 මේවා අල්ලාහ්ගේ සීමාවන් ය. ඒවාට සමීප නොවවු. මිනිසුන් බිය භක්තිමත් වනු පිණිස අල්ලාහ් ඔවුනට තම සංඥාවන් පැහැදිලි කරනුයේ මෙලෙස ය.
119රමළාන් මාසයේ උපවාසය අනිවාර්යය කළ ආරම්භ කාලයේ කෙනෙකුට ආහාර පාන අනුභව කිරීම හෝ තම ස්ත්රීන් සමග ලිංගික ඇසුරෙහි යෙදීමට අනුමැතිය ඇත්තේ රාතී්ර නින්දට යාමට පෙරය. ඔහු ඉෆ්තාර් නම් උපවාසය මිදීමෙන් පසු නින්දට වැටුණේ නම් මෙම කාර්යයන් කිරීම තහනම් වී තිබුණි. මෙම තහනම හේතුවෙන් ඇතැම් සහාබිවරුන්ට දුෂ්කර තත්ත්වයක් උදා විය. ඇතැම් සහාබිවරුන් සුළු නින්දකින් පසුව ඔවුන්ගේ භාර්යාවන් සමග ලිංගික ඇසුරෙහි යෙදුනහ. තවද ඒ හේතුවෙන් ඔවුන් තුළ තමන් වරදකරුවන් යැයි හැඟීමක් ඇති විය. මෙම ආයතයේ නුඹලා නුඹලාටම වංචා කරමින් සිටින යනුවෙන් හඟවන්නේ මෙම සිදුවීම් පිළිබඳවය. පසුව මෙම ආයතය මගින් පෙර සඳහන් තහනම අවලංගු කර රමළාන් මස සම්පූර්ණ රාති්රය තුළ ආහාර පාන අනුභව කිරීම හා තම ස්ත්රීන් සමග ලිංගික ඇසුරෙහි යෙදීම අනුමත කරන ලදි.
120එකල ඇතැම් උදවිය මස්ජිදයෙහි ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැදී සිටින අදිටනින් සිටියද නිවෙස් කරා ගොස් අඹු සැමි ඇසුරෙහි යෙදී පැමිණියෝය. මෙම ආයතයෙන් මෙවන් ක්රියා නොකරන ලෙස ඔවදන් දී ඇත.
188

وَلَا تَأْكُلُوا أَمْوَالَكُم بَيْنَكُم بِالْبَاطِلِ وَتُدْلُوا بِهَا إِلَى الْحُكَّامِ لِتَأْكُلُوا فَرِيقًا مِّنْ أَمْوَالِ النَّاسِ بِالْإِثْمِ وَأَنتُمْ تَعْلَمُونَ

නුඹලා අතර අසාධාරණ අන්දමින් නුඹලා එකිනෙකාගේ වස්තූන් අනුභව නොකරවු. තවද ඒවා නුඹලා (තහනම් බව) දැනුවත්වම ජනයාගේ වස්තූන් වලින් කොටසක් පාපකාරී අයුරින් අනුභව කිරීම පිණිස බලධාරීන් වෙතට (අල්ලස් වශයෙන්) නොයවවු. 121
121අල්ලස් ගන්නා පුද්ගලයාට හා අල්ලස් දෙන පුද්ගලයාට අල්ලාහ්ගේ ශාපය අත්වන බව නබි මුහම්මද් තුමාණන් වදාළ බව අබ්දුල්ලාහ් බින් අම්ර් තුමාණන් දන්වා ඇත. (මූලාශ්රය : අහ්මද්, අබූ දාවූද්, අත් තිර්මිදී, ඉබ්නු මාජා).
189

يَسْأَلُونَكَ عَنِ الْأَهِلَّةِ ۖ قُلْ هِيَ مَوَاقِيتُ لِلنَّاسِ وَالْحَجِّ ۗ وَلَيْسَ الْبِرُّ بِأَن تَأْتُوا الْبُيُوتَ مِن ظُهُورِهَا وَلَـٰكِنَّ الْبِرَّ مَنِ اتَّقَىٰ ۗ وَأْتُوا الْبُيُوتَ مِنْ أَبْوَابِهَا ۚ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ

(නබිවරය,) නුඹගෙන් නව චන්ද්රයන් පිළිබඳව ඔවුහු විමසති. “එය ජනයා සඳහා ද හජ් (වතාවත්) සඳහා ද වූ කාල නියමයන් යැ”යි පවසවු. නිවෙස් වලට ඒවායෙහි පිටුපසින් ඇතුළු වීම යහකමක් නොවේ. එහෙත් යහකම (ඇත්තන්) යනු බිය භක්තිය ඇත්තන්ය. 122 නිවෙස් වලට ඒවායෙහි (ඉදිරි) දොරටු වලින් ඇතුළු වවු. නුඹලා ජය ලබා ගනු පිණිස අල්ලාහ්ට බිය භක්තිමත් වවු.
122අඥාන සමයේ මිථ්යාදෘෂ්ටිකයින් හජ් වන්දනය සඳහා පිට වී හදිසි අවශ්යතාවකට නැවත නිවසට ඒමට සිදු වුවහොත් ඉදිරි දොරටු තුළින් ඇතුළු නොවී නිවස පිටුපස දොරින් ඇතුළුවීම යහකමක් යැයි සිතමින් සිටියහ. මෙම ආයතය මෙම විශ්වාසය බිඳ දමා මෙම සිරිත පදනම් විරහිත දෙයක් යැයි පැහැදිලි කරන්නේය.
190

وَقَاتِلُوا فِي سَبِيلِ اللَّهِ الَّذِينَ يُقَاتِلُونَكُمْ وَلَا تَعْتَدُوا ۚ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُعْتَدِينَ

කවරෙකු නුඹලා සමග යුද වදින්නේ ද ඔවුන් සමග අල්ලාහ්ගේ මාර්ගයෙහි නුඹලා යුද වදිවු. 123 තවද නුඹලා සීමාව ඉක්මවා නොයවු. සැබැවින්ම අල්ලාහ් සීමාව ඉක්ම වන්නන්ව ප්රිය නොකරයි.
123මෙම සූරාවේ 190 සිට 194 දක්වා වූ ආයතයන් එහි සන්දර්භය සමග කියවා බැලිය යුතුය. එනම්, මෙම ආයතය මගින් ලොව සියලූ මුස්ලිම් නොවන්නන්ව ඝාතනය කිරීමට පොදු අනුමැතියක් දී නොමැති අතර මෙම ආයතයන්හි යුද වැදීමට අනුමැතිය දී ඇත්තේ නිශ්චිත පිරිසක් සමගය. එනම් බලවත් භීෂණයක් මුදා හැර එකල මක්කාවේ විසූ මුස්ලිම්වරුන්ව මක්කා නගරයෙන් පිටුවහල් කොට තමන්ගේ සියලූ වස්තුන් හා දේපොළ කොල්ල කෑ අපරාධකාර පිරිසකට එරෙහිවය. නබි මුහම්මද්  තුමාණන් තම සහාබිවරුන් සමග උම්රා වන්දනාව ඉටු කිරීම සඳහා මදීනාවේ සිට තම මාතෘ භූමිය වන මක්කාව බලා පිටත් වූහ. මග දී මක්කාවාසී ප්රතික්ෂේපකයින් මුස්ලිම්වරුන්ව මක්කාවට යෑමෙන් කුමන හෝ අන්දමින් වැළැක්වීමට හා ඔවුන් සමග යුද වැදීමට සේනාවන් එක්රැස් කොට මග බලා සිටියහ. මෙම පුවත ආරංචි වූ නබි මුහම්මද්  තුමාණන් හුදෙයිබියා නැමැති ස්ථානයෙහි රැඳී සිටියහ. ඉන් පසුව දෙපාර්ශවයේ දූතවරුන් මාර්ගයෙන් පණිවිඩ හුවමාරු වීම තුළින් කතාබහක් ඔවුනතර සිදු වී අවසාන වරට මක්කාවාසී ප්රතික්ෂේපකයින්ගේ මුස්ලිම්වරුන්ට අවාසීදායක කොන්දේසීන් වලට අනුව සාම ගිවිසුමක් සිදු වන ලදී. එම ගිවිසුමෙහි ‘ලබන වර්ෂයේ නබි මුහම්මද්  තුමාණන්ට හා තමන් සමග පැමිණියවුන්ට මක්කාවට පිවිස උම්රා වන්දනාව ඉටු කිරීමට දවස් තුනක කාලයක් ඔවුන් විසින් ඉඩ හරිනු ලැබේ’ යනුවෙන් ද සඳහන් වී තිබුණි. පසුව මුස්ලිම්වරුන් මදීනාවට නැවත හැරී ගියහ. ගිවිසුම පරිදි ඊළග වර්ෂයෙහි උම්රා වන්දනාව සඳහා මුස්ලිම්වරුන් සූදානම් වූ විට පසුගිය වර්ෂයෙහි ඔවුන් තමන් සමග හැසිරුනාක් මෙන් මෙම වර්ෂයේ ද තමන්ව උම්රා වන්දනාවෙන් වළක්වා තමන් සමග යුද වදී වී යන බියක් හටගැනිණ. එනමුත් ‘හරම්’ හෙවත් ශුද්ධ වූ පුණ්ය භුමි සීමාව තුළ, ශුද්ධ වූ මාසය තුළ හා ශුද්ධ වූ ඉහ්රාම් වස්ත්රය පැළඳගෙන යුද වැදීම තහනම් වන හෙයින් එම අවස්ථාවෙහි ඔවුන් මුස්ලිම්වරුන් සමග යුද කිරීමට පැමිණිය ද ප්රතිප්රහාරයක් ලෙස හෝ යුද වැදීමට මුස්ලිම්වරුන් ප්රිය නොකළහ. එබැවින් මෙම අවස්ථාවන් තුනෙහිම යුද වැදීම ඉස්ලාමීය නීතීන්ට අනුව තහනම් වුවද ‘යම් පිරිසක් මෙම අවස්ථාවන්හි තමන්ට එරෙහිව යුද්ධයට පැමිණෙන්නේ නම් ඔවුන් සමග පමණක් ප්රතිප්රහාරයක් ලෙස සීමාව ඉක්ම නොවන අන්දමින් ‘ජිහාද් දිෆාඊ’ හෙවත් සුරක්ෂාවරණ සටනෙහි පිවිසීමට මෙම අවස්ථාවන්හි අනුමැතියක් ඇත’ යන්න පැහැදිලි කරමින් මෙම ආයතය පහළ විය. අවුරුදු 13 ක් තිස්සේ ඉස්ලාම් විරෝධීන්ගේ අනේක විධ භීෂණයන් ඉවසා දරා සිටි එකල මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ අපරාධ වලට එරෙහිව ප්රතිප්රහාර එල්ල කිරීමට අනුමැතිය දෙමින් පහළ වූ පළමු අල් කුර්ආන් ආයතය මෙයයි. තවද මෙයට පෙර මෙවැනි අවස්ථාවන්හි මුස්ලිම්වරුන්ට ඉස්ලාමය විසින් ලැබූ ඉගැන්වීම් සියල්ල වී තිබුණේ ඉවසීම පිළිබඳවය. මෙහි සටන් වැදීම සම්බන්ධව ඉතාම වැදගත් මග පෙන්වීම් දෙකක් සඳහන් වී ඇත. එනම්: 1. තමන් සමග සටන් වදින්නන් සමග පමණක් සටන් වැදීම. 2. එසේ සටන් වැදීමේ දී සීමාව ඉක්මවා කටයුතු නොකිරීමට වග බලා ගැනීම. එනම් ඔවුන් හිංසා අපරාධ කිරීමෙන් හා යුද්ධයට පැමිණිමෙන් වැළකෙන්නේ නම් මුස්ලිම්වරුන් ද සටනට පිවිසීමෙන් වැළකී කටයුතු කළ යුතු බව මෙයින් ඉගැන්වේ. යුද තත්ත්වයක් තුළ මෙයට වඩා උතුම් මානුෂීය පිළිවෙතක් නොමැත. මෙම ආයතයෙන් සටන් බිමේ කළ හැකි තවත් ඉතා උසස් ඉගැන්වීමක් ඉදිරිපත් කොට ඇත. එනම් සතුරා සීමාව ඉක්මවුවද තමන් සීමාව ඉක්ම වී සටන් නොවැදිය යුතුයි යන්නය. එනම් ළදරුවන්, කාන්තාවන්, රෝගීන් හා මහළු වියට පත් මෙවැන්නන්ව ඝාතනය කිරීම හෝ ඔවුනට හිංසා අපරාධ කිරීම නැතිනම් ගොඩනැගිලි හෝ ගස් කොළන් නසා දැමීම වැනි ක්රියාවන් සීමාව ඉක්මවා යුද කිරීම යන වරදක් ලෙස ඉස්ලාමීය නීතිය සලකන්නේය.
191

وَاقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ وَأَخْرِجُوهُم مِّنْ حَيْثُ أَخْرَجُوكُمْ ۚ وَالْفِتْنَةُ أَشَدُّ مِنَ الْقَتْلِ ۚ وَلَا تُقَاتِلُوهُمْ عِندَ الْمَسْجِدِ الْحَرَامِ حَتَّىٰ يُقَاتِلُوكُمْ فِيهِ ۖ فَإِن قَاتَلُوكُمْ فَاقْتُلُوهُمْ ۗ كَذَٰلِكَ جَزَاءُ الْكَافِرِينَ

නුඹලා ඔවුන් හසු වූ තැන ඔවුන්ව ඝාතනය කරවු. තවද ඔවුන් නුඹලාව පිටුවහල් කළ ස්ථානයෙන් නුඹලා ද ඔවුන්ව පිටුවහල් කරවු. තවද ව්යසනය ඝාතනයට වඩා ඉතා දරුණුය. (කෙසේ නමුත්) මස්ජිදුල් හරාම් අබියස, ඔවුන් නුඹලා සමග එහි යුද වදිනා තෙක් නුඹලා ඔවුන් සමග යුද නොවදිවු. ඔවුන් නුඹලා සමග යුද වදින්නේ නම් නුඹලා ද ඔවුන්ව ඝාතනය කරවු. එලෙසය ප්රතික්ෂේපකයින්ගේ ප්රතිවිපාකය වනුයේ.
192

فَإِنِ انتَهَوْا فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ

ඔවුන් (අල්ලාහ්ට ආදේශ තැබීම) අත හැර දමන්නේ නම් සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
193

وَقَاتِلُوهُمْ حَتَّىٰ لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ لِلَّهِ ۖ فَإِنِ انتَهَوْا فَلَا عُدْوَانَ إِلَّا عَلَى الظَّالِمِينَ

ව්යසනය ඇති නොවී තවද දහම අල්ලාහ්ටම වන තෙක් 124 නුඹලා ඔවුන් සමග යුද වදිවු. නමුත් ඔවුන් (ආදේශ තැබීම) අතහැර දමන්නේ නම් සතුරුකම අපරාධකරුවන් කෙරෙහි හැර අන් කිසිවෙකුට නොමැත.
124මෙම ආයතයෙහි අල්ලාහ් මුස්ලිම්වරුන්ට සටන් වදින මෙන් අණ කොට ඇත්තේ අල් කුර්ආන් 2:190 පාද සටහනෙහි සඳහන් පරිදි මුස්ලිම්වරුන්ට නිදහසේ තම දහම ඇදහීමට බාධා හා හිංසා කරමින් සිටි මක්කා වාසී හර්බී ප්රතික්ෂේපකයින්ට එරෙහිවය. එසේ යුද වැදීමට සඳහන් වී ඇත්තේ ද මුස්ලිම්වරුන්ට ඉස්ලාම් දහම ඇදහීමට හැකිවන තත්ත්වයක් උදාවන තුරු පමණය.
194

الشَّهْرُ الْحَرَامُ بِالشَّهْرِ الْحَرَامِ وَالْحُرُمَاتُ قِصَاصٌ ۚ فَمَنِ اعْتَدَىٰ عَلَيْكُمْ فَاعْتَدُوا عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدَىٰ عَلَيْكُمْ ۚ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِينَ

ශුද්ධ වූ මාසය 125 (තුළ යුද්ධයට ආ විට ඒ) වෙනුවෙන් ශුද්ධ වූ මාසය (තුළ යුද කිරීමට අනුමත) වේ. පාරිශුද්ධ දෑ (උල්ලංඝනය කළ විට ඒ) වෙනුවෙන් සමප්රතිදඬුවමක් ඇත. (ශුද්ධ වූ මාසයන්හි) නුඹලාට එරෙහිව කවරෙකු සීමාව ඉක්මවා යන්නේ ද නුඹලාට එරෙහිව ඔහු සීමාව ඉක්මවූවාක් මෙන් නුඹලා ද ඔහුට එරෙහිව සීමාව ඉක්මවා යවු. තවද නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. 126 තවද අල්ලාහ් බිය භක්තිකයින් සමග යැයි දැන ගනිවු.
125ශුද්ධ වූ මාස යනු ඉස්ලාමීය චන්ද්රමාස ගණනයට අනුව මුහර්රම්, රජබ්, දුල් කඃදා හා දුල් හිජ්ජා යන මාසයන්ය.
126මින් අදහස් වන්නේ අයුතු ලෙස සීමාව ඉක්මවා යෑමෙන් වැළකී අල්ලාහ්ට බිය භක්තිමත් විය යුතු බවය.
195

وَأَنفِقُوا فِي سَبِيلِ اللَّهِ وَلَا تُلْقُوا بِأَيْدِيكُمْ إِلَى التَّهْلُكَةِ ۛ وَأَحْسِنُوا ۛ إِنَّ اللَّهَ يُحِبُّ الْمُحْسِنِينَ

නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ වියපැහැදම් කරවු. නුඹලාගේ දෑත් විනාශය කරා නොදමවු. තවද යහපත කරවු. සැබැවින්ම අල්ලාහ් යහපත කරන්නන්ව ප්රිය කරන්නේය.
196

وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلَّهِ ۚ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ ۖ وَلَا تَحْلِقُوا رُءُوسَكُمْ حَتَّىٰ يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ ۚ فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوْ بِهِ أَذًى مِّن رَّأْسِهِ فَفِدْيَةٌ مِّن صِيَامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ ۚ فَإِذَا أَمِنتُمْ فَمَن تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ ۚ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلَاثَةِ أَيَّامٍ فِي الْحَجِّ وَسَبْعَةٍ إِذَا رَجَعْتُمْ ۗ تِلْكَ عَشَرَةٌ كَامِلَةٌ ۗ ذَٰلِكَ لِمَن لَّمْ يَكُنْ أَهْلُهُ حَاضِرِي الْمَسْجِدِ الْحَرَامِ ۚ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ

හජ් හා උම්රා අල්ලාහ් වෙනුවෙන් නුඹලා සම්පූර්ණ කරවු. (එය සම්පූර්ණ කිරීමෙන්) නුඹලාව වළක්වනු ලැබුයේ නම් හද්යයෙන්(සත්ව කැප කිරීමකින්) පහසු වන දෑ (නුඹලා කැප කළ යුතුව) ඇත. හද්යය එහි නිශ්චිත ස්ථානයට පැමිණෙන තෙක් නුඹලාගේ හිස් මුඩු නොකරවු. 127 නුඹලාගෙන් කවරෙකු රෝගියෙකුව හෝ එසේත් නොමැති නම් ඔහුට තම හිසෙහි වේදනාවක් ඇති වූ විටෙක (එමගින් හිස මුඩු ගෑමට සිදු වුවහොත් ඒ සඳහා) උපවාසයෙන් හෝ සදකාවෙන් 128 හෝ සත්ව කැප කිරීමෙන් වන්දියක් (ගෙවිය යුතුව) ඇත. නුඹලා (යම් බාධකයකින්) සුරක්ෂිත වූයේ නම්, එවිට කවරෙකු උම්රාවෙන් (පසු) හජ් වන තෙක් (ඉහ්රාමය මගින් තහනම් වන දෑහි නියැළීමෙන්) ප්රයෝජනයක් ලබන්නේ ද (ඔහු) හද්යයෙන් පහසු දෑ (කැප කළ යුතුව) ඇත. 129 කවරෙකු (හද්ය දීමට හැකියාව) නොලැබුවේ ද හජ්හි දින තුනක ද නුඹලා නැවත (තම නිවෙස් කරා) පැමිණි පසු දින සතක ද උපවාස ශීලය (ඉටු කළ යුතුව) ඇත. එය පූර්ණ දින දහයකි. මෙ(ම නීති)ය තම පවුල මස්ජිද් හරාම්හි පදිංචිකරුවන් නොවන අයටය. 130 නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩි බව නුඹලා දැන ගනිවු.
127කෙනෙකු හජ් වන්දනය හෝ උම්රා වන්දනය සඳහා ඉහ්රාම් ශීලයෙහි සිටියේ නම් තමාට අදාළ එම පිළිවෙත ඉටු කරන තුරු ඔහු ඇතැම් සීමාවන් පිළිපැදිය යුතුය. නමුත් ඔහුට මක්කාව තුළට ඇතුළු වීමට බාධාවක් තිබුණේ නම් මෙම ආයතය ඔහු කෙසේ ඉහ්රාම් ශීලයෙන් මිදිය යුතු දැයි සඳහන් කර ඇත. මෙහි සඳහන් වී ඇති නීතිය නම් ඔහු සත්වයෙකු කැප කිරීමෙන් පසුව ඔහු ඉහ්රාම් ශීලයෙන් මිදිය යුතුය යන්නය. තවද ඔහුට හිස මුඩු ගෑමට හැකි වන්නේ සත්ව කැප කිරීමෙන් පසුවය. කෙනෙකුට යම් හේතුවක් මත ඉහ්රාම් ශීලයේ සිටිය දීම හිස මුඩු ගෑමට සිදු වූයේ නම් ඔහු උපවාසයේ නියැළිය යුතුව හෝ දන් දිය යුතුව හෝ සත්ව කැප කිරීමක් කළ යුතුව ඇත. මෙහි වැඩි විස්තර ඉස්ලාමීය නීති ග්රන්ථයන්හි සඳහන් වී ඇත.
128‘සදකා යනු අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් හා මතුලොව යහ ප්රතිඵල අපේක්ෂාවෙන් අවශ්යතාවන් වලින් පෙළෙන්නන්ට ලබා දෙන්නා වූ දන්දීමයි. ඇතැම් අවස්ථාවල සදකා යන වචනය zසකාතය යන අනිවාර්යය දන්දීම වෙනුවෙන් ද උපයෝගි කොට ඇත.
129මෙහි අදහස කෙනෙකු තමත්තුඃ හෝ කිරාන් ක්රමයට හජ් හා උම්රා යන වන්දනා දෙක ඉටු කළේ නම් ඔහු සත්ව කැප කිරීමක් කළ යුතු යන්නයි. තමත්තුඃ යනු උම්රා වන්දනය සඳහා පළමුව මීකාත් හෙවත් අරාබිකරයේ ඇති ඉහ්රාම් ශීලය සඳහා අදිටන් කළ යුතු නියමිත දේශ සීමාවෙහි ඒ සඳහා අදිටන් කොට එම ඉහ්රාම් ශීලයෙන් උම්රා ඉටු කර පසුව එයින් මිදී නියමිත දේශ සීමාවෙන් පිටතට නොගොස් හජ් වන්දනය සඳහා අදිටන් කොට හජ් ඉටු කිරීම සඳහා නැවත ඉහ්රාම් ශීලයට අවතීර්ණ වීම වේ. කිරාන් යනු හජ් වන්දනය සමග උම්රා වන්දනය සංයුක්ත කර ඉටු කිරීම සඳහා අදිටන් කොට ඉහ්රාම් ශීලයට අවතීර්ණ වීම වේ. කවරෙකු හජ් පමණක් හෝ උම්රා පමණක් ඉටු කරන්නේද ඔහුට සත්ව කැප කිරීමක් අනිවාර්යය නොවේ.
130මෙයින් අදහස් වන්නේ මක්කාවෙහි වාසය කරන්නන්ට හජ් හා උම්රා යන වන්දනා දෙකම එක්ව සම්බන්ධ කිරීම අනුමැතිය වූවක් නොවේ යන්නය.
197

الْحَجُّ أَشْهُرٌ مَّعْلُومَاتٌ ۚ فَمَن فَرَضَ فِيهِنَّ الْحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوقَ وَلَا جِدَالَ فِي الْحَجِّ ۗ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ يَعْلَمْهُ اللَّهُ ۗ وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَىٰ ۚ وَاتَّقُونِ يَا أُولِي الْأَلْبَابِ

හජ් (වන්දනය ඉටු කළ යුතු වන්නේ) මැනවින් දන්නා වූ මාසයන්(හි)ය. 131 කවරෙකු එහි හජ් වතාව ඉටුකිරීම (තමන්ට) අනිවාර්යය කර ගන්නේ ද (ඔහුට) හජ් වන්දනයෙහි ලිංගික ඇසුර ද පාපකම් ද නොමනා තර්ක ද (අනුමත) නැත. නුඹලා කවර යහපත් දෙයක් කළ ද එය අල්ලාහ් මැනවින් දන්නේය. (හජ් වන්දනය වෙනුවෙන්) අවශ්ය කළමනා රැස් කර ගනිවු. සැබැවින්ම අවශ්යය කළමනා අතුරින් ශ්රේෂ්ඨ වන්නේ බිය භක්තිමත්කමය. 132 තවද නුවණැත්තනී, නුඹලා මා හට බිය භක්තිමත් වවු.
131මින් අදහස් වන්නේ හජ් වන්දනය සඳහා අදිටන් කර ඉහ්රාම් ශීලයට පිවිසිය හැකි වන මැනවින් දන්නා වූ මාසයන් වන ෂව්වාල්, දුල් කඃදා හා දුල් හජ් යන මාසයන්ය.
132එකල ඇතැම් මිනිසුන් හජ් වන්දනා ගමනට යන අවස්ථාවේ දී ආහාර පාන ගෙන යෑමෙන් වැළකී සිටියෝය. මන්දයත් ඔවුන් තුළ ආහාර පාන ගෙන යෑම අල්ලාහ්ට පටහැණි වූ විශ්වාසයක් යැයි සිතූහ. නමුත් ඇතැම් විට ඔවුන් ගමන අතරතුර තමන්ගේ අවශ්යතාවන් සඳහා අන් අයගෙන් සිඟා කන්නන්ව සිටියෝය. මෙම ආයතය පවසන්නේ හජ් වන්දනා ගමනේ දී අපගේ අවශ්යතාවන් රැගෙන යෑම අල්ලාහ්ගේ විශ්වාසයට පටහැණි වූ දෙයක් නොවන අතර එය සිඟා කෑමට වඩා උසස් වූවකි යන්නය.
198

لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَبْتَغُوا فَضْلًا مِّن رَّبِّكُمْ ۚ فَإِذَا أَفَضْتُم مِّنْ عَرَفَاتٍ فَاذْكُرُوا اللَّهَ عِندَ الْمَشْعَرِ الْحَرَامِ ۖ وَاذْكُرُوهُ كَمَا هَدَاكُمْ وَإِن كُنتُم مِّن قَبْلِهِ لَمِنَ الضَّالِّينَ

නුඹලාගේ පරමාධිපතිගෙන් වූ භාග්යය (ව්යාපාරික කටයුතු තුළින්) සෙවීම නුඹලාට වරදක් නැත. 133 අරෆා( නම් ස්ථානයෙ)හි සිට නුඹලා (ජන ගඟ අතුරින්) ගලා එන විට මෂ්අරිල් හරාම්( නම් ස්ථානයෙ)හි 134 අල්ලාහ්ව (හඬනගා) සිහිපත් කරවු. තවද මීට පෙර නුඹලා නොමග ගියවුන් අතරෙහි සිටියදී නුඹලාට ඔහු යහමග පෙන්වූ හෙයින් නුඹලා ඔහුව (හඬනගා) සිහිපත් කරවු.
133ඇතැම් මිනිසුන් හජ් වන්දනාවේ යෙදී සිටින විට ව්යාපාරයේ යෙදීම තහනම් කර ඇතැයි සිතූහ. මෙම ආයතය ඔවුන්ගේ මෙම වැරදි අදහස අවලංගු කර ඇත.
134‘මෂ්අරිල් හරාම් යනු මුzස්දලිෆා නම් ස්ථානයේ පිහිටි කන්දක් ය. හජ් වන්දනාකරුවන් අරෆා නම් පිටියේ සිට මෙම ස්ථානයට පැමිණෙනු ඇත.
199

ثُمَّ أَفِيضُوا مِنْ حَيْثُ أَفَاضَ النَّاسُ وَاسْتَغْفِرُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ

ඉන්පසුව ජනයා (ජන ගඟ අතුරින්) ගලා එන (අරෆා නම්) තැනින් නුඹලා ද (මුzස්දලිෆා නම් ස්ථානයට) එවු. තවද නුඹලා අල්ලාහ්ගෙන් සමාව ඇයැදිවු. සැබැවින්ම අල්ලාහ් ක්ෂමාශීලීය කරුණාභරිතය.
200

فَإِذَا قَضَيْتُم مَّنَاسِكَكُمْ فَاذْكُرُوا اللَّهَ كَذِكْرِكُمْ آبَاءَكُمْ أَوْ أَشَدَّ ذِكْرًا ۗ فَمِنَ النَّاسِ مَن يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا وَمَا لَهُ فِي الْآخِرَةِ مِنْ خَلَاقٍ

නුඹලාගේ (හජ්) වන්දනාමාන නුඹලා අවසන් කළ පසු නුඹලාගේ මුතුන් මිත්තන්ව නුඹලා සිහිපත් කරන්නාක් මෙන් හෝ එයටත් වඩා දැඩිව අල්ලාහ්ව සිහිපත් කරවු. “අපගේ පරමාධිපතියාණනි, මෙලොවෙහි (සම්පත්) පිරිනමනු මැනව!” යැයි ඇයැදින අය ජනයින් අතුරින් සිටිති. ඔහුට මතු ලොවෙහි කිසිදු කොටසක් නොමැත.
201

وَمِنْهُم مَّن يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ

තවද “අපගේ පරමාධිපතියාණනි, අපට මෙලොවෙහි යහපත ද මතු ලොවෙහි යහපත ද පිරිනමනු මැනව! තවද (නිරා) ගින්නේ වේදනාවෙන් අපව ආරක්ෂා කරනු මැනව!” යැයි ඇයැදින අය ද ඔවුන් අතර සිටිති.
202

أُولَـٰئِكَ لَهُمْ نَصِيبٌ مِّمَّا كَسَبُوا ۚ وَاللَّهُ سَرِيعُ الْحِسَابِ

ඔවුන්ටමය තමන් උපයා ගත් දැයින් (අල්ලාහ් ඔවුන්ට වෙන් කළ) කොටස හිමි වන්නේ. තවද අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ශීඝ්රය.
203

وَاذْكُرُوا اللَّهَ فِي أَيَّامٍ مَّعْدُودَاتٍ ۚ فَمَن تَعَجَّلَ فِي يَوْمَيْنِ فَلَا إِثْمَ عَلَيْهِ وَمَن تَأَخَّرَ فَلَا إِثْمَ عَلَيْهِ ۚ لِمَنِ اتَّقَىٰ ۗ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّكُمْ إِلَيْهِ تُحْشَرُونَ

(අයියාමුත් තෂ්රීක් යන) නියමිත දින ගණන්හි 135 අල්ලාහ්ව නුඹලා සිහිපත් කරවු. කවරෙකු දින දෙකකින් (මිනා පිටියෙන් පිටවීමට) ඉක්මන් වන්නේ ද ඔහුට පාපයක් නැත. කවරෙකු (තෙවන දිනය තෙක්) ප්රමාද වන්නේ ද ඔහුට ද පාපයක් නැත. (මෙය) බිය භක්තිමත් වන්නන්ටය. තවද අල්ලාහ්ට නුඹලා බිය භක්තිමත් වවු. නුඹලා රැස්කරනු ලබන්නේ ඔහු වෙතමයැ’යි දැන ගනිවු.
135නියමිත දින ගණන් යනු චන්ද්ර දින දර්ශනය අනුව හජ් මස 11,12,13 යන දිනයන් වේ. මෙයට අයියාමුත් තෂ්රීක් යනුවෙන් නම් කර ඇත.
204

وَمِنَ النَّاسِ مَن يُعْجِبُكَ قَوْلُهُ فِي الْحَيَاةِ الدُّنْيَا وَيُشْهِدُ اللَّهَ عَلَىٰ مَا فِي قَلْبِهِ وَهُوَ أَلَدُّ الْخِصَامِ

(නබිවරය,) කවරෙකුගේ ප්රකාශය ලෞකික ජීවිතයේදී නුඹව මවිතයට පත් කරන්නේ ද එවැනි අය ජනයින් අතර සිටිති. ඔහු තම සිතෙහි ඇති දෑ කෙරෙහි අල්ලාහ්ව සාක්ෂි වශයෙන් තබයි. ඔහු තර්ක කිරීමෙහි දැඩිය. 136
136මෙම ආයතයේ පටන් 206 දක්වා වූ ආයතයන් තුනහි අඟවන්නේ අහ්නස් නැමැති ආත්ම වංචනිකයා පිළිබඳවය. ඔහු අරාබි වාග් චාතුර්යයේ ඉතා ප්රකට කථිකයෙකි. ඔහු නබි මුහම්මද් තුමාණන් හමුවට පැමිණියේ නම් එතුමන්ට පක්ෂපාතීව සිටින බවට ස්ථිර දිවුරීමකින් දිවුරන්නා මෙන් රඟපාන්නේය. නමුත් ඔහු එතුමාගෙන් බැහැර වී ගියේ නම් මුස්ලිම්වරුන්ට එරෙහිව කුමන්ත්රණ කරන්නේය. වරක් ඔහු මුස්ලිම්වරයෙකුගේ ගොවිපළක් පසු කරමින් යන විට එම ගොවිපළ පුලුස්සා එහි ඇති සතුන්ව මරා දැමුවේය. මෙම ආයතය පහළ වූයේ මෙම සිදුවීම පසුබිම් කර ගෙනය. නමුත් මෙම ආයතයෙහි ඇති පදයන් පොදුවේ භාවිත වී ඇත්තේ කවරෙකු මෙවැනි කලහකාරකම් කරන්නේ ද ඔවුන් ද මෙම ආයතයට අන්තර්ගත වීම පිණිසය.
205

وَإِذَا تَوَلَّىٰ سَعَىٰ فِي الْأَرْضِ لِيُفْسِدَ فِيهَا وَيُهْلِكَ الْحَرْثَ وَالنَّسْلَ ۗ وَاللَّهُ لَا يُحِبُّ الْفَسَادَ

පසුව ඔහු (නුඹ වෙතින්) හැරී ගිය විට මිහිතලයේ එහි කලහකාරකම් කිරීමටත් අස්වැනු හා (පශු කුලයට අයත් සත්ව) පරපුර විනාශ කිරීමටත් උත්සාහ දරයි. කලහකාරකම් කිරීම අල්ලාහ් ප්රිය නොකරන්නේය.
206

وَإِذَا قِيلَ لَهُ اتَّقِ اللَّهَ أَخَذَتْهُ الْعِزَّةُ بِالْإِثْمِ ۚ فَحَسْبُهُ جَهَنَّمُ ۚ وَلَبِئْسَ الْمِهَادُ

‘අල්ලාහ්ට බිය භක්තිමත් වවු’ යැයි ඔහුට කියනු ලැබූ විට, පුහුමානය ඔහුව පාපයෙන් ග්රහණය කරයි. ඔහුට නිරය ප්රමාණවත්ය. තවද සැබැවින්ම (එහි) යහන කෙතරම් නින්දනීය ද!
207

وَمِنَ النَّاسِ مَن يَشْرِي نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ ۗ وَاللَّهُ رَءُوفٌ بِالْعِبَادِ

කවරෙකු අල්ලාහ්ගේ තෘප්තීන් සොයා තමන්වම විකුණන්නේ ද(පරිත්යාග කරන්නේ ද) එවැනි අය ජනයින් අතුරින් සිටියි. අල්ලාහ් ගැත්තන් සමග සානුකම්පිතය.
208

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ادْخُلُوا فِي السِّلْمِ كَافَّةً وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ ۚ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ

විශ්වාස කළවුනි! නුඹලා සම්පූර්ණයෙන්ම ඉස්ලාමයට ඇතුළු වවු. ෂෙයිතාන්ගේ පිය සටහන් අනුගමනය නොකරවු. සැබැවින්ම ඔහු නුඹලාට ප්රකට සතුරෙකි.
209

فَإِن زَلَلْتُم مِّن بَعْدِ مَا جَاءَتْكُمُ الْبَيِّنَاتُ فَاعْلَمُوا أَنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ

නුඹලාට පැහැදිලි සංඥාවන් පැමිණි පසුව ද නුඹලා මග ලිස්සා යන්නේ නම් අල්ලාහ් (දඩුවම් දීමෙහි) අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය යැයි දැන ගනිවු.
210

هَلْ يَنظُرُونَ إِلَّا أَن يَأْتِيَهُمُ اللَّهُ فِي ظُلَلٍ مِّنَ الْغَمَامِ وَالْمَلَائِكَةُ وَقُضِيَ الْأَمْرُ ۚ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ

වලාවන්හි සෙවණැලි අතුරින් අල්ලාහ්ගේ විධානය ද මලක්වරුන් ද (දඬුවම රැගෙන) ඔවුන් වෙත පැමිණෙන තෙක් ඔවුන් අපේක්ෂාවෙන් සිටිනවා ද? විෂය තීන්දු වී හමාරය. විෂයයන් යළි පමුණුවනු ලබන්නේ අල්ලාහ් වෙතමය.
211

سَلْ بَنِي إِسْرَائِيلَ كَمْ آتَيْنَاهُم مِّنْ آيَةٍ بَيِّنَةٍ ۗ وَمَن يُبَدِّلْ نِعْمَةَ اللَّهِ مِن بَعْدِ مَا جَاءَتْهُ فَإِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ

(නබිවරය,) ඉස්රාඊල්ගේ දරුවන්ගෙන් ‘පැහැදිලි සංඥාවෙන් (යුත් සාධක) කොපමණක් ඔවුන් වෙත පැමිණියා දැ?’යි විමසවු. අල්ලාහ්ගේ භාග්යය තමන් වෙත පැමිණි පසුව ද යමෙකු එය වෙනස් කරන්නේ නම්, සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩිය.
212

زُيِّنَ لِلَّذِينَ كَفَرُوا الْحَيَاةُ الدُّنْيَا وَيَسْخَرُونَ مِنَ الَّذِينَ آمَنُوا ۘ وَالَّذِينَ اتَّقَوْا فَوْقَهُمْ يَوْمَ الْقِيَامَةِ ۗ وَاللَّهُ يَرْزُقُ مَن يَشَاءُ بِغَيْرِ حِسَابٍ

ප්රතික්ෂේප කළවුනට ලෞකික ජීවිතය අලංකාර කරනු ලැබ ඇත. තවද ඔවුන් විශ්වාස කළවුනට සමච්චල් කරමින් සිටිති. (නමුත්) අල්ලාහ් කෙරෙහි බිය භක්තිමත් වූවන් (මළවුන් නැවත) නැගිටුවනු ලබන දිනයේ ඔවුනට ඉහළින්ය. අල්ලාහ් අභිමත කරන්නන්ට (කිසිදු) ගණනයකින් තොරව සම්පත් සපයන්නේය.
213

كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللَّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُوا فِيهِ ۚ وَمَا اخْتَلَفَ فِيهِ إِلَّا الَّذِينَ أُوتُوهُ مِن بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَاتُ بَغْيًا بَيْنَهُمْ ۖ فَهَدَى اللَّهُ الَّذِينَ آمَنُوا لِمَا اخْتَلَفُوا فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِهِ ۗ وَاللَّهُ يَهْدِي مَن يَشَاءُ إِلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ

ජනයින් (අල්ලාහ්ට අවනත වන) එකම ප්රජාවක්ව සිටියෝය. එවිට (ඔවුනතර විශ්වාසය විෂයෙහි භේද ඇති කර ගත් හෙයින්) සුබාරංචි දෙන්නන් ලෙස හා අවවාද කරන්නන් ලෙස අල්ලාහ් නබිවරුන් යැව්වේය. ජනයා කවර දෙයක් සම්බන්ධව මතභේද ඇති කර ගත්තේ ද ඒ විෂයෙහි ඔහු(අල්ලාහ්) ඔවුනතර තීන්දු දීම පිණිස ඔවුන්(නබිවරුන්) සමග සත්යයෙන් යුත් ධර්ම පුස්තකය පහළ කළේය. එ(ම ධර්ම පුස්තක)ය පිරිනමනු ලැබූ අයමය පැහැදිලි සංඥාවන් තමන්ට පැමිණි පසුත් ඔවුනතර ඊර්ෂ්යාව හේතුවෙන් එහි මතභේද ඇති කර ගත්තේ. විශ්වාස කළවුන් කවර සත්යය දෙයක් විෂයෙහි මතභේද ඇති කර ගත්තේ ද ඔවුනට අල්ලාහ්, තම අභිමතය පරිදි ඒ වෙතට නිවැරදි මග පෙන්වූයේය. අල්ලාහ්, තමා අභිමත කරන්නන්ට ඍජූ මාර්ගය කරා යොමු කරයි.
214

أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا يَأْتِكُم مَّثَلُ الَّذِينَ خَلَوْا مِن قَبْلِكُم ۖ مَّسَّتْهُمُ الْبَأْسَاءُ وَالضَّرَّاءُ وَزُلْزِلُوا حَتَّىٰ يَقُولَ الرَّسُولُ وَالَّذِينَ آمَنُوا مَعَهُ مَتَىٰ نَصْرُ اللَّهِ ۗ أَلَا إِنَّ نَصْرَ اللَّهِ قَرِيبٌ

නුඹලාට පෙර වාසය කර ඉකුත්වූවන්ට (ඇති වූ දෑ) මෙන් (පරීක්ෂණයක්) නුඹලාට නොපැමිණි තත්ත්වයේ නුඹලා ස්වර්ගයට ඇතුළු වන්නට සිතන්නෙහු ද? දුෂ්කරතා හා දැඩි උවදුරු ඔවුන්ව වෙළා ගත්තේය. (කෙතරම් ද යත්) රසූල්වරයා ද ඔහු සමග සිටි විශ්වාස කළවුන් ද ‘අල්ලාහ්ගේ උපකාරය කවදා (පැමිණේවි) දැ?’යි ප්රකාශ කරන තරමට ඔවුන් කම්පනයට පත් කරනු ලැබුවෝය. ‘දැන ගනිවු, අල්ලාහ්ගේ උපකාරය ඉතා සමීපය.’ (යැයි නබිවරයාගේ ප්රකාශයෙන් ඔවුන් සෑහීමට පත් වූහ.)
215

يَسْأَلُونَكَ مَاذَا يُنفِقُونَ ۖ قُلْ مَا أَنفَقْتُم مِّنْ خَيْرٍ فَلِلْوَالِدَيْنِ وَالْأَقْرَبِينَ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ ۗ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ

(නබිවරය,) ඔවුහු තමන් වියදම් කළ යුත්තේ කුමක් දැ?යි නුඹගෙන් විමසන්නෝය. 137 “වස්තූන් වලින් නුඹලා වියදම් කරන දෑ එය දෙමාපියන්ට ද ඥාතීන්ට ද අනාථයින්ට ද දිළිඳුන්ට ද මගියන්ට ද විය යුතුය. තවද නුඹලා යම් යහපතක් කරන්නේ නම් සැබැවින්ම අල්ලාහ් එය මැනවින් දන්නාය.” යැයි පවසවු.
137මෙම ප්රශ්නය අම්ර් ඉබ්නු ජමූහ් තුමාණන් විසින් කොටස් දෙකක් වශයෙන් නබි මුහම්මද් තුමාණන් වෙත ඉදිරිපත් කරන ලද්දකි. පළමුවැන්න අල්ලාහ්ගේ මාර්ගයෙහි අපි කුමක් වියදම් කළ යුතුද?’ දෙවැන්න කවුරුන් හට වියදම් කළ යුතුද?’ යන්නය. මෙම ආයතයෙන් දෙවැනි ප්රශ්නයට පිළිතුරු දී ඇති අතර පළමු වැනි ප්රශ්නයට 2:219 වැනි ආයතයෙන් පිළිතුරු සපයා ඇත.
216

كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَّكُمْ ۖ وَعَسَىٰ أَن تَكْرَهُوا شَيْئًا وَهُوَ خَيْرٌ لَّكُمْ ۖ وَعَسَىٰ أَن تُحِبُّوا شَيْئًا وَهُوَ شَرٌّ لَّكُمْ ۗ وَاللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ

සටන් වැදීම නුඹලාට පිළිකුල් වුව ද එය නුඹලාට අනිවාර්යය කරනු ලැබ ඇත. 138 නුඹලාට යමක් යහපත්ව තිබියදී නුඹලා එය පිළිකුල් කළ හැක. තවද නුඹලාට යමක් අයහපත්ව තිබියදී නුඹලා එය ප්රිය කළ හැක. අල්ලාහ් (ඒ බව) මැනවින් දන්නේය. තවද නුඹලා නොදන්නෙහුය.
138මෙම ආයතයෙහි සඳහන් වී ඇත්තේ සටන් කිරීම අනිවාර්ය කිරීම පිළිබඳවය. මෙම ආයතයෙන් දක්වන මතය එනම් සටන් කිරීම නොහොත් හමුදා සේවය අනිවාර්ය කිරීම යුක්තිය හා සාධාරණය රජ කිරීමට වෙර දැරීම සඳහා පමණක් බව අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි සඳහන් වී ඇත. තවද මෙම සංකල්පය වර්තමාන ලෝකයේ රටවල් බොහොමයක ක්රියාත්මක වන්නකි. a.ආර්මේනියාව, ඔස්ටි්රයාව, බෙලරූස්, අසර්බයිජාන්, බර්මූඩා, බ්රසීලය, මියන්මාරය, සයිප්රසය, ඩෙන්මාක්, ඊජිප්තුව, ෆින්ලන්තය, ග්රීසිය, ඉරානය, ඊශ්රායලය, උතුරු කොරියාව, දකුණු කොරියාව, මෙක්සිකෝව, නොර්වේ, රුසියාව, සිංගප්පුරුව, ස්විට්සර්ලන්තය, තායිවානය, තායිලන්තය, තුර්කිය, යුක්රේනය සහ එක්සත් එමීර් රාජ්යය (UAE) යුද සේවය අනිවාර්ය කොට ඇති රටවල්ය. නෙදර්ලන්තය, නවසීලන්තය, බි්රතාන්යය, ඇමෙරිකානු එක්සත් ජනපදය, ස්වීඩනය, පෝලන්තය, පෘතුගාලය, රොමේනියාව සහ පේරු රාජ්යයෙහි කඩින් කඩ යුද සේවය අනිවාර්ය කොට තිබුණි. අප මාතෘ භූමියේ දශක තුනක් තිස්සේ පැවති බෙදුම්වාදී ගැටුම් උත්සන්න වූ අවස්ථාවක හමුදා සේවය අනිවාර්ය කිරීමේ යෝජනා අප රටේ ද මතු විය. තවද අනිවාර්ය යුද සේවය (Conscription) ලංකාවේ අතීතයේ ද පැවති බවත් ලෝකයේ බලවත් ජාතීන්ට මෙරට යටත් කර ගැනීමට අපහසු වූයේ මේ හේතුවෙන් බවත් ඉතිහාස පොත්වල සඳහන් වී ඇත. b. අල්ලාහ්ගේ මාර්ගයෙහි සටන් කිරීම අනිවාර්ය කොට ඇත්තේ ලොව බලවත් රාජ්යයන් විසින් බලහීන රාජ්යයන් හට සිදු කරන ආක්රමණික ක්රියාවන් සඳහා මෙන් නොවන බව අල් කුර්ආන් 4:75 හි සඳහන් වී ඇත. තවද මෙම ආයතයෙහි අල්ලාහ්ගේ මාර්ගයෙහි සටන් වැදීම අපරාධයට ලක්වූවන්ගේ විමුක්තිය උදෙසාත් සාමය හා යුක්තිය උදෙසාත් කරන්නක් බව අපට පැහැදිලි කර දෙයි. මෙසේ සටන් වැද සමාජ සාධාරණත්වය හා යුක්තිය ස්ථාපිත කරන්නට කටයුතු නොකරන්නන් ආත්මාර්ථකාමී ලෙස මෙම සටන් අප්රිය කරමින් එයින් ඉවත් වී සිටින්නට කටයුතු කරන්නට වෙර දැරීම පිළිබඳව ද අල් කුර්ආන් 2:216 හා 4:75 යන ආයතයන් මගින් පිළිබිඹු කර ඇත. ඉස්ලාමය යනු යුක්තිය හා සාධාරණය රජ කිරීමට වෙර දරන දහමක් හෙයින් අයුක්තිය, අසාධාරණය හා අපරාධය එසවෙන්නා වූ අවස්ථාවන්හි ඊට විරුද්ධව වෙර දැරීම අපගේ වගකීමක් බව මෙම ආයතයන් මගින් පෙන්වා දෙයි.
217

يَسْأَلُونَكَ عَنِ الشَّهْرِ الْحَرَامِ قِتَالٍ فِيهِ ۖ قُلْ قِتَالٌ فِيهِ كَبِيرٌ ۖ وَصَدٌّ عَن سَبِيلِ اللَّهِ وَكُفْرٌ بِهِ وَالْمَسْجِدِ الْحَرَامِ وَإِخْرَاجُ أَهْلِهِ مِنْهُ أَكْبَرُ عِندَ اللَّهِ ۚ وَالْفِتْنَةُ أَكْبَرُ مِنَ الْقَتْلِ ۗ وَلَا يَزَالُونَ يُقَاتِلُونَكُمْ حَتَّىٰ يَرُدُّوكُمْ عَن دِينِكُمْ إِنِ اسْتَطَاعُوا ۚ وَمَن يَرْتَدِدْ مِنكُمْ عَن دِينِهِ فَيَمُتْ وَهُوَ كَافِرٌ فَأُولَـٰئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ ۖ وَأُولَـٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ

(නබිවරය,) ශුද්ධ වූ මාසයන් පිළිබඳව, (එනම්) එහි යුද වැදීම ගැන නුඹෙන් ඔවුහු විමසති. “එහි සටන් වැදීම මහා වරදකි. නමුත් (ජනයාව) අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක්වීම, ඔහුව ප්රතික්ෂේප කිරීම තවද මස්ජිදුල් හරාමයෙන් ද (ජනයාව වැළැක්වීම) සහ එහි වැසියන් එයින් පිටුවහල් කිරීම අල්ලාහ් අබියස (මෙම මාසයන්හි යුද කිරීමට වඩා) මහා වරදකි. (පරමාධිපතිට ආදේශ තැබීම යන) අක්රමිකතාව ඝාතනයට වඩා මහා වරදකි” යැයි පවසවු. (විශ්වාසිකයිනි, හර්බී ප්රතික්ෂේපක) ඔවුනට හැකි නම් ඔවුන් නුඹලාගේ දහමින් නුඹලාව (දේව ප්රතික්ෂේපය වෙත) හරවන තෙක් නුඹලා සමග යුද වදිමින්ම සිටිති. නුඹලාගෙන් කවරෙකු තම දහමින් හැරී තමන් ප්රතික්ෂේපකයෙකු ලෙස මිය යන්නේ ද ඔවුහුමය මෙලොව හා මතුලොව තමන්ගේ (යහ) ක්රියාවන්(හි ප්රතිඵල) නිෂ්ඵල වූවන් වන්නේ. තවද ඔවුහුමය (නිරා) ගින්නෙහි සගයින් වන්නේ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
218

إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَاجَرُوا وَجَاهَدُوا فِي سَبِيلِ اللَّهِ أُولَـٰئِكَ يَرْجُونَ رَحْمَتَ اللَّهِ ۚ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ

සැබැවින්ම විශ්වාස කළවුන් ද හිජ්රත් කර 139 අල්ලාහ්ගේ මාර්ගයෙහි ජිහාද් කළවුන් ද 140 ඔවුහුමය අල්ලාහ්ගේ කරුණාව බලාපොරොත්තු වන්නෝ. තවද අල්ලාහ් ක්ෂමාශීලීය කරුණාභරිතය.
139‘හිජ්රත් යනු අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා තම දේශය අත හැර දමා තවත් දේශයකට දේශාන්තරණය කිරීමය. මක්කාවාසී කුරෙයිෂ්වරුන්ගේ පීඩාව හමුවේ මුස්ලිම්වරුන්ට කර කියා ගත නොහැකි අවස්ථාවක අල්ලාහ්ගේ නියෝගය අනුව තම දේශය දේපොළ ඥාතීන් සියල්ල අත හැර දමා ඇබීසීනියාවට හා මදීනාවට කළ දේශාන්තරණය උදාහරණ ලෙස ගෙන හැර දැක්විය හැක.
140‘ජිහාද් යනු අරාබි පදයකි. එම අරාබි පදයේ මුල් පද අක්ෂර වන්නේ (ج) ජ - (ه) හ - (د) ද යන්නය. එහි භාෂාමය අර්ථය ලෙස ප්රයත්නය, වෑයම, වෙර දැරීම, ආයාසය, උත්සාහය යනාදී වශයෙන් හුවා දැක්විය හැකිය. ඉස්ලාමීය ව්යවහාරයේ ‘ජිහාද්’ යනු යහ විපාක අපේක්ෂාවෙන් අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා කරන්නා වූ සෑම යහ ප්රයත්නයන් යනුවෙන් විග්රහ කිරීම නිවැරදිය. තවද හිංසාවන් හා අයුක්තියට එරෙහිව යුක්තිය ස්ථාපිත කිරීම සඳහා කරන්නා වූ ප්රයත්න ද ‘ජිහාද්’ ලෙස විග්රහ කළ හැක. මේ අනුව ඉස්ලාමීය විද්වතුන්ගෙන් බහුතරය විසින් ජිහාදය අනු ප්රභේද පහකින් යුක්ත බව සඳහන් කර ඇත. 1. ජිහාද් බින් නෆ්ස්/බිල් කල්බ් එනම් ‘චෛතසිකයෙන් කරන්නා වූ ජිහාදය’ මෙය මිනිසා තම මනසේ ඇති වන වැරදි හා අකුසලට නැඹුරු වූ සිතුවිලි සමග සටන් කොට චිත්ත පාරිශුද්ධිය ඇති කර ගැනීම සඳහා වෙර දැරීම වේ. තවද ඉස්ලාමීය කෝණයෙන් සැබෑ සොල්දාදුවා තම චෛතසිකය සමග සටන් කරන්නාය. 2. ජිහාද් බිල් ලිසාන් එනම් ‘දිව උපයෝගී කර ගනිමින් කරන්නා වූ ජිහාදය.’ ලොවෙහි සිදු වන අපරාධ, දුෂ්ඨකම් මෙන්ම පාප කි්රයාවන් වලට එරෙහිව හඬ නැගීම හා ජනයාව යහමග දෙසට යොමු කිරීම සඳහා කරන දේශනා, සාකච්ඡා හා සංවාද ආදිය මෙම ජිහාද් ප්රභේදයට අන්තර්ගත වේ. තවද අසාධාරණ දුෂ්ඨ පාලකයෙකු ඉදිරියේ නිර්භයව සත්ය ප්රකාශ කර සිටීම ශ්රේෂ්ඨ ජිහාදයක් බව ඉස්ලාමය අපට උගන්වයි. (අල් කුර්ආන් 25:52 බලන්න) 3. ජිහාද් බිල් ඉල්ම්/කලම් එනම් ‘දැනුම/පෑන උපයෝගී කර ගනිමින් කරන්නා වූ ජිහාදය.’ ලොවෙහි සිදුවන අයුක්තියට හා අසාධාරණයට එරෙහිව හා පාප ක්රියාවන් පිළිබඳව යහ හා නිවැරදි අයුරින් කරුණු පහදා දීම උදෙසා කරන්නා වූ විද්වත් ගවේශනයන් මෙන්ම ඉස්ලාමය පහසුවෙන් අවබෝධ කර ගැනීමට උපකාරී වන අයුරින් ලිපි හා ග්රන්ථයන් සකස් කිරීමට කටයුතු කිරීම මෙයට ඇතුළත්ය. තවද යුක්තිය, සාධාරණය හා දහම වෙනුවෙන් ප්රාණත්යාගිත්වයේ යෙදෙන්නාගේ රුධිරයට වඩා විද්වතාගේ තීන්ත ශ්රේෂ්ඨ වන්නේ යැයි ඉස්ලාමය උගන්වයි. 4. ජිහාද් බිල් යද් එනම් ‘දෑත උපයෝගී කර ගනිමින් කරන්නා වූ ජිහාදය.’ අසරණයින්ට පිහිට වීම, සමාජයේ ඇති වන වසංගත රෝග මැඩලීම, ආගමික වතාවන් වල යෙදීම වැනි යහ කි්රයාවන් වල තම ශරීරය හා සම්පත් උපයෝගී කිරීම මෙයට ඇතුළත් වේ. එමෙන්ම දෙමව්පියන්ට උවැටන් කිරීම ද ජිහාද් යනුවෙන් ඉස්ලාමය උගන්වයි. (අල් කුර්ආන් 29:69 බලන්න) 5. ජිහාද් බිස් සෙයිෆ් එනම් ‘අසිපත උපයෝගී කර ගනිමින් කරන්නා වූ ජිහාදය.’ සාමය, යුක්තිය හා සාධාරණය වෙනුවෙන් අසිපතින් හෝ වෙනත් ආයුධ වලින් ජිහාද් නම් ප්රයත්නයක නියැළිය හැක්කේ අවස්ථාවන් දෙකක පමණය. එම අවස්ථාවන්හි සටනක යෙදීම අල් කුර්ආන් ඉගැන්වීම් අනුව අනිවාර්යය වේ. 1) ‘ජිහාද් දිෆාඊ’ එනම් ‘සුරක්ෂාවරණ සටන’. එක් රාජ්යයකට හෝ සමාජයකට එරෙහිව පහර දෙනු ලබන්නේ නම් එම රාජ්යයයේ ආරක්ෂාව පදනම් කර ගෙන ප්රහාරකයින්ට එරෙහිව සටනට පිවිසීම ය. මෙය රාජ්යය හෝ ජනතා නායකත්වයක් හා මග පෙන්වීමක් යටතේ මිස සිදුවිය නොයුතුය. (අල් කුර්ආන් 2:190 බලන්න) 2) ‘ජිහාද් ඉක්දාමී’ එනම් ‘ප්රගාමී සටන.’ ප්රගාමී සටන යනු ඉස්ලාමීය රාජ්යයක් විසින් අපරාධ, අවනීතිය, දුෂ්ඨකම් හා ත්රස්තවාදය ආදියට එරෙහිව ගන්නා වූ යුදමය පියවරකි. මෙවැනි අවස්ථාවකදී ස්වභාවික නීතිය උල්ලංඝනය නොකොට එවැනි අපරාධයන්ට එරෙහිව කටයුතු කිරීම ඉස්ලාමීය රජයකට අනිවාර්යය වේ. තවද ඉස්ලාමීය නොවන රාජ්යයක වෙසෙන මුස්ලිම්වරුන්ට මෙම නීතිය අදාළ නොවන්නකි. (අල් කුර්ආන් 4:75 බලන්න).
219

يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِ ۖ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَمَنَافِعُ لِلنَّاسِ وَإِثْمُهُمَا أَكْبَرُ مِن نَّفْعِهِمَا ۗ وَيَسْأَلُونَكَ مَاذَا يُنفِقُونَ قُلِ الْعَفْوَ ۗ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ

(නබිවරය,) සූදුව හා සුරාව පිළිබඳව නුඹගෙන් ඔවුහු විමසන්නෝය. “ඒ දෙකෙහි විශාල පාපයක් ද ජනයාට සුළු ප්රයෝජනයක් ද ඇත. 141 (නමුත්) ඒ දෙකෙහි පාපය ඒ දෙකෙහි ප්රයෝජනයට වඩා විශාලය.” යැයි පවසවු. තවද ඔවුහු තමන් වියදම් කළ යුත්තේ කුමක් දැ’යි ද නුඹගෙන් විමසන්නෝය. “(වියදම් කළ යුත්තේ) අතිරික්ත දෑ 142 ” යැයි පවසවු. නුඹලා සිතා බලනු පිණිස එලෙසය නුඹලාට අල්ලාහ් (තමන්ගේ) වදන් පැහැදිලි කරනුයේ.
141එනම් මින් අදහස් වන්නේ මිනිසෙකු තම ලෞකික ජීවිතය බාහිරයෙන් බැලූකල මෙම පාපකාරී දැයෙන් තාවකාලික වින්දනයක් ද සුළු මුදල් ඉපයීමක් ද ලබා ගන්නා බවයි. නමුත් එය නිරන්තර නොවන හා පාපකාරී විෂයක් බව මින් අවධාරණය කරයි.
142අල් කුර්ආනය මගින් මුස්ලිම්වරුන්ට දන්දෙන මෙන් දිරිගැන් වූ අවස්ථාවේ දි සහාබිවරුන් දන්දීම විෂයෙහි තරඟකාරිත්වයක් ඇති කර ගත්තෝය. ඇතැමුන් තමන්ට හා දරු පවුල් වලට ඉතිරි නොවන අන්දමින් තම මුළු සේසතම වියදම් කළෝය. මෙම ආයතය මගින් තම දරු පවුල්හි අවශ්යතාවන් පරිපූර්ණ කොට අතිරික්තය දන්දෙන මෙන් අවධාරණය කොට ඇත.
220

فِي الدُّنْيَا وَالْآخِرَةِ ۗ وَيَسْأَلُونَكَ عَنِ الْيَتَامَىٰ ۖ قُلْ إِصْلَاحٌ لَّهُمْ خَيْرٌ ۖ وَإِن تُخَالِطُوهُمْ فَإِخْوَانُكُمْ ۚ وَاللَّهُ يَعْلَمُ الْمُفْسِدَ مِنَ الْمُصْلِحِ ۚ وَلَوْ شَاءَ اللَّهُ لَأَعْنَتَكُمْ ۚ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ

(එනම්) මෙලොවෙහි (අස්ථීරභාවය) හා මතු ලොවෙහි (සදාතනිකභාවය සිතා බලනු පිණිසය). තවද (නබිවරය,) අනාථයින් පිළිබඳව නුඹගෙන් ඔවුහු විමසන්නෝය. “ඔවුනට සෙත සැලසීම යහපතය. ඔවුන් සමග නුඹලා මිශ්ර (වී ජීවත්) වන්නේ නම් එවිට (ඔවුන්) නුඹලාගේ සහෝදරයින් වන්නෝය.” යැයි පවසවු. කලහකරුවාව යහපත ඉටු කරන්නාගෙන් (කවරෙකු ද යන්න) වෙන් කොට අල්ලාහ් දන්නේය. 143 අල්ලාහ් අභිමත කළේ නම් ඔහු නුඹලාව දුෂ්කර තත්ත්වයකට පත් කරන්නට තිබුණේය. සැබැවින්ම අල්ලාහ් අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය.
143අනාථ දරුවන් රැක බලා ගැනීම ඉස්ලාමය විසින් තහවුරු කරන්නා වූ විශේෂිත යහ ක්රියාවකි. ඊට නොයෙක් නීති මාලාවන් ඉස්ලාමය උගන්වයි. ඔවුන්ගේ වස්තූන් තමන් අනුභව නොකිරීම පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතුය. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 4:2 බලන්න. තවද එකල සහාබිවරුන් මෙම අනාථ දරුවන් විෂයෙහි පරිස්සම් වීම හේතුවෙන් කෑම බීම් පවා වෙන් වෙන්ව පිස ගත් හෙයින් සහාබිවරුන්ට මෙන්ම තමන් රැක බලා ගන්නා අනාථ දරුවන්ට ද අපහසු තත්ත්වයක් ඇති විය. එහෙත් මෙම ආයතයෙන් අවධාරණය කරන්නේ මෙලෙස අපහසුතාවට පත් නොවී අනාථ දරුවන්ගේ අයිතීන් උල්ලංඝනය නොකොට යහ අයුරින් කටයුතු කරන ලෙසය.
221

وَلَا تَنكِحُوا الْمُشْرِكَاتِ حَتَّىٰ يُؤْمِنَّ ۚ وَلَأَمَةٌ مُّؤْمِنَةٌ خَيْرٌ مِّن مُّشْرِكَةٍ وَلَوْ أَعْجَبَتْكُمْ ۗ وَلَا تُنكِحُوا الْمُشْرِكِينَ حَتَّىٰ يُؤْمِنُوا ۚ وَلَعَبْدٌ مُّؤْمِنٌ خَيْرٌ مِّن مُّشْرِكٍ وَلَوْ أَعْجَبَكُمْ ۗ أُولَـٰئِكَ يَدْعُونَ إِلَى النَّارِ ۖ وَاللَّهُ يَدْعُو إِلَى الْجَنَّةِ وَالْمَغْفِرَةِ بِإِذْنِهِ ۖ وَيُبَيِّنُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

(විශ්වාසිකයිනි, අල්ලාහ්ට) ආදේශ කරන්නියන් ඔවුන් (අල්ලාහ්ව) විශ්වාස කරන තෙක් නුඹලා ඔවුන්ව විවාහ කර නොගනිවු. ආදේශ කරන්නිය නුඹලාව ආකර්ෂණයට පත් කළ ද ඇයට වඩා විශ්වාස කළ වහලියක් උසස්ය. නුඹලා (විශ්වාස කළ කාන්තාවන්ව) ආදේශ කරන්නන්ට ඔවුන් විශ්වාස කරන තෙක් විවාහ කර නොදෙවු. ආදේශ කරන්නා නුඹලාව ආකර්ෂණයට පත් කළ ද ඔහුට වඩා විශ්වාස කළ වහලෙක් උසස්ය. (ආදේශක) ඔවුහු නිරය කරා කැඳවන්නෝය. අල්ලාහ් ඔහුගේ අභිමතය අනුව ස්වර්ගය හා ක්ෂමාව කරා කැඳවන්නේය. ජනයා උපදෙස් ලබනු පිණිස ඔවුනට ඔහුගේ වදන් ඔහු පැහැදිලි කරන්නේය.
222

وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ ۖ قُلْ هُوَ أَذًى فَاعْتَزِلُوا النِّسَاءَ فِي الْمَحِيضِ ۖ وَلَا تَقْرَبُوهُنَّ حَتَّىٰ يَطْهُرْنَ ۖ فَإِذَا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ اللَّهُ ۚ إِنَّ اللَّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ

(නබිවරය,) ඔසප් පිළිබඳව නුඹගෙන් ඔවුහු විමසන්නෝය. “එය කිලිටකි” යැයි පවසවු. එහෙයින් ඔසප්( කාලයෙ)හි භාර්යාවන්ගෙන්(ලිංගික ඇසුරෙන්) වැළකී සිටිවු. ඔවුන් පිරිසිදු වන තෙක් ඔවුන් සමග (ලිංගික ඇසුරට) සමීප නොවවු. 144 ඔවුන් පිරිසිදු වූවා නම් අල්ලාහ් නුඹලාට නියම කළ පෙදෙසින් 145 ඔවුන් වෙත යවු. සැබැවින්ම (තමන් කළ වරදට) පශ්චාත්තාපයේ නියැළෙන්නන්ව අල්ලාහ් ප්රිය කරන්නේය. තවද පිවිතුරුව සිටින්නන්ව ද අල්ලාහ් ප්රිය කරන්නේය.
144මෙයින් අදහස් වන්නේ මෙම කාලයෙහි බිරියන් සමග ලිංගික සංසර්ගයේ යෙදීම පමණක් තහනම් වන අතර ඒ හැරුණු කොට ඔවුන්ව ස්පර්ශ කිරීම, ඔවුන්ව සිප ගැනීම වැනි ඔවුන් සමග සුහදව හැසිරීම යන අනෙකුත් ඇසුරුකම් තහනම් නොවන්නේය යන්නය.
145‘අල්ලාහ් නුඹලාට නියම කළ පෙදෙසින් ඔවුන් වෙතට යවු යනු ලිංගික ඇසුරෙහි දී ගුද මාර්ගය සංසර්ගය සඳහා උපයෝගී නොකොට සම්මත අයුරින් එහි නියැළීමය. තවද මෙහිදී අල් කුර්ආනයේ වාග් අලංකාරය සඳහා මෙවන් අදහස් සෘජුව භාවිත නොකොට වක්රව භාවිත කොට ඇත.
223

نِسَاؤُكُمْ حَرْثٌ لَّكُمْ فَأْتُوا حَرْثَكُمْ أَنَّىٰ شِئْتُمْ ۖ وَقَدِّمُوا لِأَنفُسِكُمْ ۚ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّكُم مُّلَاقُوهُ ۗ وَبَشِّرِ الْمُؤْمِنِينَ

නුඹලාගේ භාර්යාවෝ නුඹලාට වපුරන කෙතකි. නුඹලාගේ කෙතට නුඹලා අභිමත අයුරින් යවු. 146 නුඹලා වෙනුවෙන් (යහපත් ක්රියාවන්) නුඹලා පෙරටු කරගනිවු. 147 තවද අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද නුඹලා ඔහුව මුණ ගැහෙන්නන් බව දැන ගනිවු. තවද (නබිවරය,) විශ්වාස කළවුනට ශුභාරංචි පවසවු.
146මෙහි ස්ත්රිය වපුරන කෙතකට උපමා කර ඇත්තේ ලිංගික සන්තර්පණයේ උත්තරීතර අපේක්ෂාව මනුෂ්ය පරපුරේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීම බව පෙන්වීමටය. ලිංගික ඇසුරේ දී කායික මානසික තෘප්තිය මෙන්ම ධාර්මික දූ දරුවන් අපේක්ෂා කිරීම ද මෙහි දී අවධාරණය කොට ඇත. කෙතක ගොවිතැන් කරන්නා එහි නියැළීමෙන් ලබන්නා වූ සතුට මෙන්ම සාර්ථක අස්වැන්නක් ලැබීමෙන් ද ඇති කර ගන්නේ විශාල සතුටකි.
147මෙයින් අදහස් වන්නේ විවාහ බන්ධනය යනු ලිංගික ආස්වාදයන් පමණක් මුල් කර ගනිමින් ඇති කරන්නක් නොව එම විවාහ බන්ධනය තුළින් යහ ක්රියාවන්හි නියැළෙමින් බිය භක්තිමත් පරපුරක් ඇති කිරීමට උත්සහ කිරීම යන්නයි.
224

وَلَا تَجْعَلُوا اللَّهَ عُرْضَةً لِّأَيْمَانِكُمْ أَن تَبَرُّوا وَتَتَّقُوا وَتُصْلِحُوا بَيْنَ النَّاسِ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ

තවද නුඹලා යහපත කිරීමට ද (අල්ලාහ්ට) බිය භක්තිමත් වීමට ද ජනයා අතර සමාදානය ඇති කිරීමට ද එරෙහිව නුඹලා කරන දිවුරුම් වලට අල්ලාහ්(ගේ නාමය) විෂය කර නොගනිවු. 148 අල්ලාහ් සර්ව ශ්රාවකය සර්වඥය.
148මෙයින් අදහස් වන්නේ යහපත කිරීමට, (අල්ලාහ්ට) බිය භක්තිමත් වීමට හා ජනයා අතර සමාදානය ඇති කිරීමට එරෙහි වෙමින් අල්ලාහ්ගේ නාමය පවසමින් දිවුරුම් නොකළ යුතුයි යන්නයි.
225

لَّا يُؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَـٰكِن يُؤَاخِذُكُم بِمَا كَسَبَتْ قُلُوبُكُمْ ۗ وَاللَّهُ غَفُورٌ حَلِيمٌ

නුඹලාගේ දිවුරීම්හි ඵල රහිත දෑ 149 තුළින් අල්ලාහ් නුඹලාව වරදට ග්රහණය නොකරන්නේය. නමුත් ඔහු නුඹලාව වරදට ග්රහණය කරන්නේ (චේතනාවෙන් යුතු වූ) නුඹලාගේ සිත් උපයා ගත් දෑ(දිවුරුම්) හේතුවෙනි. අල්ලාහ් අති ක්ෂමාශීලීය දැඩි ඉවසිලිවන්තය.
149මින් අදහස් වන්නේ සිතෙහි කිසිදු දිවුරීමේ චේතනාවකින් තොරව දිව පැටලීමකින් දිවුරීමේ පද භාවිත වීමෙන් අල්ලාහ් ඉදිරියේ ඔහු වරදකරුවෙකු නොවන බවයි. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 5:89 බලන්න.
226

لِّلَّذِينَ يُؤْلُونَ مِن نِّسَائِهِمْ تَرَبُّصُ أَرْبَعَةِ أَشْهُرٍ ۖ فَإِن فَاءُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ

තම භාර්යාවන්ගෙන් (ලිංගික ඇසුරෙන්) ඈත් වී සිටින බවට දිවුරන්නන් හට මාස හතරක පොරොත්තු කාලයක් ඇත. ඔවුන් එයින්(දිවුරීමෙන් මිදී සංසර්ගයේ යෙදීම මගින්) නැවත හැරෙන්නේ නම් සැබැවින්ම අල්ලාහ් ක්ෂමාශීලීය පරම කරුණාභරිතය. 150
150මෙම ආයතය මගින් අදහස් වන්නේ යමෙකු තම බිරිය සමග කෝපයෙන් යම් කාල පරාසයකට සංසර්ගයේ නොයෙදෙන බවට දිවුරුම් කිරීමය. මෙය ඊලා නමින් හැඳින්වේ. එනම් මෙම දිවුරීමෙන් පසුව ඔහුට යම් තීන්දුවකට එළැඹීම සඳහා උපරිම මාස හතරක අවකාශයක් ඇත. මෙම කාලය තුළ දී නැවත සංසර්ගයේ යෙදීමෙන් ඔහුගේ එම දිවුරුම් කඩ වේ. එසේ ඔහු නැවත සමීප කර ගැනීමේ තීන්දුවකට නොපැමිණියේ නම් කාල අවකාශයෙන් අනතුරුව ඇය දික්කසාද වනු ඇත. එහෙත් මොහු සංසර්ගයේ යෙදීමෙන් දිවුරුම කඩ කළේ නම් වන්දියක් දිය යුතුය. එහි විස්තර 5:89 වැනි ආයතයේ සඳහන් වේ. මෙම ආයතය මගින් කාන්තාවන්ට නිසි තීරණයක් නොදී ඇයව ඈත් කොට තැබීමෙන් අත් වන අසාධාරණය හෙළා දැක ඇති අතර ඇය සමග යහ අයුරින් විවාහ ජීවිතය ගත කරන මෙන් හෝ ඇයට වෙනත් අයෙකු විවාහ කර ගැනීමට අවස්ථාව ලැබෙන සේ දික්කසාදය ප්රකාශ කරන ලෙස හෝ අවවාද කොට ඇත. තවද සැබැවින්ම අල්ලාහ් ක්ෂමාශීලීය පරම කරුණාභරිතය යන පදයෙන් අදහස් කර ඇත්තේ ඔවුන් එසේ දිවුරුම කඩ කිරීමේ පාපය අල්ලාහ් කමා කරන බවයි.
227

وَإِنْ عَزَمُوا الطَّلَاقَ فَإِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ

(එම පොරොත්තු කාලය තුළ) ඔවුන් දික්කසාදයට දැඩි අධිෂ්ඨානයක් කර ගත්තේ නම්, (එය ඉටු කළ හැකිය. මන්දයත්) සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්රාවකය සර්වඥය.
228

وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ ثَلَاثَةَ قُرُوءٍ ۚ وَلَا يَحِلُّ لَهُنَّ أَن يَكْتُمْنَ مَا خَلَقَ اللَّهُ فِي أَرْحَامِهِنَّ إِن كُنَّ يُؤْمِنَّ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۚ وَبُعُولَتُهُنَّ أَحَقُّ بِرَدِّهِنَّ فِي ذَٰلِكَ إِنْ أَرَادُوا إِصْلَاحًا ۚ وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ ۚ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ

දික්කසාදය ප්රකාශ කරනු ලබන්නියන් තමන් විසින්ම කුරූඋ 151 වාර තුනක් පොරොත්තු කළ යුතුය. ඔවුන් අල්ලාහ්ව ද අවසාන දිනය ද විශ්වාස කරන්නේ නම් ඔවුන්ගේ ගර්භයන් තුළ අල්ලාහ් නිර්මාණය කළ දෑ 152 සැඟ වීමට ඔවුනට අවසර නොමැත්තේය. ඔවුන් නැවත එකඟතාවක් අපේක්ෂා කරන්නේ නම් ඔවුන්ව ඒ (පොරොත්තු කාලය) අතරතුර ආපසු කැඳවා ගැනීමට ඉතා උරුමය ඇත්තා ඔවුන්ගේ ස්වාමි පුරුෂයින්මය. ඔවුනට (ස්වාමි පුරුෂයින් සඳහා කළයුතු වගකීම්) තිබෙන්නාක් සේ යහ අයුරින් ඔවුන් සඳහා (ස්වාමි පුරුෂයින්ගෙන් ලැබිය යුතු නිසි අයිතිවාසි කම්) ද ඇත. (එහෙත්) ඔවුනට වඩා පුරුෂයින්ට තරාතිරමක් ඇත. 153 අල්ලාහ් අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය.
151‘කුරූඋ පිළිබඳව විද්වතුන්ගේ විවිධ අදහස් ඇත. සමහරු ඔසප් කාලය බවත් තවත් සමහරු ඔසප්යෙන් මිදී පවිත්ර කාලය බවත් සඳහන් කර ඇත.
152ඉද්දා හෙවත් පොරොත්තු කාලයක් ගත කිරීමේ නැණවත් බවක් නම්, ඇය ගැබිනියක් ද? නැති ද? යන්න තහවුරු වීමය. ඇය ගැබ් ගෙන සිටී නම් දරුවා ප්රසූත වන තුරු ඇය ඉද්දාව ගත කළ යුතුය. එබැවින් මෙම ආයතය මගින් ඇය තම ගැබිනි බව හෝ ඔසප් බව සැඟ විය නොයුතුයි යනුවෙන් අවධාරණය කෙරේ.
153ලෝකය කාන්තාවකගේ මාතෘත්වය නොසලකා ඇයට දිය යුතු ඇයගේ අයිතිවාසිකම් ද ලබා නොදී ඇයව ව්යාපාරික භාණ්ඩයක් ලෙස සලකමින් සිටියදී ඇයගේ ආර්ථික අයිතිවාසිකම් ඇතුලු සියලු අයිතිවාසිකම් ඇයට ලබා දී දුවෙකු, සහෝදරියෙකු, මවකු හා බිරිඳෙකු ලෙස ඇයගේ තනතුර හා ඇයගේ මානසික හැඟීම් ඉතා අලංකාර ලෙස පරිපූර්ණව ආරක්ෂා වන අන්දමින් වග බලා ගන්නේ ඉස්ලාමයයි. නිවසින් පිට වී ගොස් රැකි රක්ෂා කොට හම්බ කිරීම් වැනි කාර්යයන්හි නියැලී බොහෝ දුක් කරදර හා මහන්සි වීම් වලට ගොදුරු වීමේ අනිවාර්යයක් ඇයට නොතබා ඇයගේ සියලු වියදම් ඇයගේ පවුලේ පිරිමින් කෙරෙහි පවරා ඇයව ගෞරවයෙන් යුතුව ජීවත් කරවනුයේ ඉස්ලාමයයි. ඉස්ලාමය තුළින් සමාජයාට පැවරී ඇති වගකීම් අනුව බැලූකල සාමාන්යයෙන් කාන්තාවක් ලද වගකීම් වලට වඩා පිරිමියෙකු ලද වගකීම් අත් බහුල වන අතර ඒ සඳහා ඔහු ලද හැකියාවද අති විශාල බව මෙම ආයතයෙන් පෙන්වා දෙයි. ඉස්ලාමය යනු ලිංග සමානාත්මතාව අවධාරණය කරන දහමක් නොව, නමුත් ඉස්ලාමය යනු යුක්තිය, සාධාරණය හා නිසි පදවිය අවධාරණය කරන දහමකි. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් සූරා 4 හි හැඳින්වීම බලන්න.
229

الطَّلَاقُ مَرَّتَانِ ۖ فَإِمْسَاكٌ بِمَعْرُوفٍ أَوْ تَسْرِيحٌ بِإِحْسَانٍ ۗ وَلَا يَحِلُّ لَكُمْ أَن تَأْخُذُوا مِمَّا آتَيْتُمُوهُنَّ شَيْئًا إِلَّا أَن يَخَافَا أَلَّا يُقِيمَا حُدُودَ اللَّهِ ۖ فَإِنْ خِفْتُمْ أَلَّا يُقِيمَا حُدُودَ اللَّهِ فَلَا جُنَاحَ عَلَيْهِمَا فِيمَا افْتَدَتْ بِهِ ۗ تِلْكَ حُدُودُ اللَّهِ فَلَا تَعْتَدُوهَا ۚ وَمَن يَتَعَدَّ حُدُودَ اللَّهِ فَأُولَـٰئِكَ هُمُ الظَّالِمُونَ

දික්කසාදය ප්රකාශ කිරීම දෙවරකි. 154 ඉන් පසුව යහපත් අයුරින් රඳවා ගැනීම හෝ නිසි අයුරින් මුදවා හැරීම කළ යුතුය. අල්ලාහ් නියම කළ සීමාවන් දෙදෙනා විසින් පවත්වා ගෙන යාමට නොහැකි වේ යැයි දෙදෙනාම බිය වන්නේ නම් හැර, ඔවුනට(ස්ත්රීන්ට) නුඹලා (මහ්ර් වශයෙන්) ලබා දුන් කිසිවක් නුඹලා නැවත ගැනීම නුඹලාට අනුමත නැත. අල්ලාහ් නියම කළ සීමාවන් ඔවුන් දෙදෙනා විසින් පවත්වා ගෙන යාමට නොහැකි යැයි නුඹලා බිය වන්නේ නම්, ඇය තමාව මුදවා ගැනීමක් වශයෙන් (ඔහුට) යමක් ලබා දෙන්නේ ද එය (ලබා දීම හෝ පිළිගැනීම) විෂයෙහි ඔවුන් දෙදෙනාට වරදක් නැත. 155 මේවා අල්ලාහ් නියම කළ සීමාවන්ය. ඒවා නුඹලා ඉක්මවා නොයවු. කවරෙකු අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා යන්නේ ද ඔවුන්මය අපරාධකාරයින් වන්නේ.
154එකල අඥාන යුගයේ දී ස්වාමි පුරුෂයින් තම ස්ව කැමැත්ත අනුව කිසිදු සීමාවකින් තොරව අපමණ සංඛ්යාවකින් තලාක් නැමැති දික්කසාදය ප්රකාශ කරමින් සිට ඇය ඉද්දා නම් පොරොත්තු කාලයේ සිටියදී නැවත ඇයව සමීප කර ගනීයි. මෙලෙස වීම හේතුවෙන් ඇයට විවාහ ජීවිතය නිසි අයුරින් ගත කිරීමට නොහැකි වන අතර වෙනත් විවාහයක් කර ගැනීමට ද නොහැකි වනු ඇත. නමුත් මෙම ආයතය මගින් අඥාන යුගයේ සිරිත් හෙළා දැක භාර්යාවගේ අයිතීන් තකා ස්වාමි පුරුෂයා තම භාර්යාවට තලාක් නැමැති දික්කසාදය ප්රකාශ කළ හැක්කේ දෙවරක් පමණක් වන අතර තෙවන වරට පැවසීමෙන් ඇයව නැවත සමීප කර ගැනීමට නොහැකි බවට ස්වාමි පුරුෂයාට අවවාද කොට ඇත. එවිට ඇයට වෙනත් විවාහයක් සඳහා පිය නැගීමට අවස්ථාව ලැබෙනු ඇත.
155එනම් පුරුෂයා විසින් දික්කසාදය ඇයැද සිටි අවස්ථාවේ දී ඔහු තම භාර්යාවට දුන් මහ්ර් මුදල ආපසු ගැනීමට ඔහුට අයිතියක් නොමැත. එනමුත් භාර්යාව විසින් දික්කසාදය ඇයැදුම් කළ විට මහ්ර් මුදල සම්පූර්ණව හෝ කොටසක් හෝ ආපසු ලබා ගැනීම පුරුෂයාට වරදක් නොවන්නේය.
230

فَإِن طَلَّقَهَا فَلَا تَحِلُّ لَهُ مِن بَعْدُ حَتَّىٰ تَنكِحَ زَوْجًا غَيْرَهُ ۗ فَإِن طَلَّقَهَا فَلَا جُنَاحَ عَلَيْهِمَا أَن يَتَرَاجَعَا إِن ظَنَّا أَن يُقِيمَا حُدُودَ اللَّهِ ۗ وَتِلْكَ حُدُودُ اللَّهِ يُبَيِّنُهَا لِقَوْمٍ يَعْلَمُونَ

ඔහු ඇයට (තෙවැනි වරටත්) දික්කසාදය ප්රකාශ කළේ නම් ඇය ඔහු හැර තවත් අයෙකු විවාහ කර ගන්නා තුරු ඇය තවදුරටත් ඔහුට (නැවත විවාහ කිරීමට) අනුමත නොවන්නේය. ඔහු(දෙවැනි පුරුෂයා) ඇයව දික්කසාද කළේ නම් (ඇය හා පළමු පුරුෂයා යන) ඔවුන් දෙදෙනා අල්ලාහ් නියම කළ සීමාවන් පවත්වා ගෙන යාමට සිතන්නේ නම් ඔවුන් දෙදෙනා එකිනෙකා (විවාහ ජීවිතයට) නැවත හැරීම ඔවුන් දෙදෙනාට වරදක් නැත. 156 මේවා අල්ලාහ් නියම කළ සීමාවන්ය. ඒවා ඔහු අවබෝධ කර ගන්නා වූ පිරිසකට පැහැදිලි කර දෙන්නේය.
156ඉහත සඳහන් පරිදි මෙම ආයතය මගින් තෙවන වරට තලාක් නැමැති දික්කසාදය වාචිකව ප්රකාශ කිරීමේ නීතිය පැහැදිලි කරයි. ස්වාමි පුරුෂයා තම භාර්යාවට තෙවරක් තලාකය ප්රකාශ කිරීමෙන් අනතුරුව ඇයව නැවත සමීප කර ගැනීමට තහනම් වනු ඇත. එහෙත් පසුව ඇය ඉද්දා නම් පොරොත්තු කාලයක් ගත කොට වෙනත් විවාහයකට එළැඹී ඔහු සමග විවාහ ජීවිතය ගත කර යම් හේතුවක් මත ඔහුගෙන් ද ඇය දික්කසාද වූයේ නම් ඇයගේ කැමැත්ත පරිදි පෙර වූ සැමියාව නැවත විවාහ කර ගැනීමට අනුමැතිය ඇත. මෙවැනි පිළිවෙතක් ස්ථාපිත වී ඇත්තේ දික්කසාදයේ බැ?රුම් බව මිනිසාට හඟවා දික්කසාදය සඳහා ඔහු නොපෙළඹීම උදෙසාය. තවද යමෙකු භාර්යාව දික්කසාද කරන බලාපොරොත්තුව මත ඇයව විවාහ කර ගැනීම මහා පාපයක් වන්නේය.
231

وَإِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَبَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ سَرِّحُوهُنَّ بِمَعْرُوفٍ ۚ وَلَا تُمْسِكُوهُنَّ ضِرَارًا لِّتَعْتَدُوا ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَقَدْ ظَلَمَ نَفْسَهُ ۚ وَلَا تَتَّخِذُوا آيَاتِ اللَّهِ هُزُوًا ۚ وَاذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ وَمَا أَنزَلَ عَلَيْكُم مِّنَ الْكِتَابِ وَالْحِكْمَةِ يَعِظُكُم بِهِ ۚ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

නුඹලා කාන්තාවන්ට (වරක්) දික්කසාදය ප්රකාශ කළ විට ඔවුහු ඔවුන්ගේ පොරොත්තු කාල(යේ අවසාන)යට එළඹුණේ නම්, එවිට ඔවුන්ව නුඹලා යහපත් අයුරින් රඳවා ගනිවු. එසේ නොමැති නම් ඔවුන්ව නුඹලා යහපත් අයුරින් මුදවා හරිවු. නුඹලා (ඔවුනට) අපරාධ කිරීම පිණිස හිංසාකාරීව ඔවුන්ව රඳවා නොගනිවු. කවරෙකු එලෙස කරන්නේ ද ඔහු තමන්ටම අපරාධ කර ගත්තේය. තවද නුඹලා අල්ලාහ්ගේ වදන් සරදමක් ලෙස නොගනිවු. නුඹලා වෙත වූ අල්ලාහ්ගේ භාග්යයන් ද ධර්ම පුස්තකයෙන්(අල් කුර්ආනය) හා ඥානයෙන් ඔහු නුඹලා වෙත පහළ කළ දෑ ද සිහිපත් කරවු. එයින් නුඹලාට උපදෙස් දෙන්නේය. තවද අල්ලාහ්ට බිය භක්තිමත් වවු. අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වඥ බව නුඹලා දැන ගනිවු.
232

وَإِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَبَلَغْنَ أَجَلَهُنَّ فَلَا تَعْضُلُوهُنَّ أَن يَنكِحْنَ أَزْوَاجَهُنَّ إِذَا تَرَاضَوْا بَيْنَهُم بِالْمَعْرُوفِ ۗ ذَٰلِكَ يُوعَظُ بِهِ مَن كَانَ مِنكُمْ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۗ ذَٰلِكُمْ أَزْكَىٰ لَكُمْ وَأَطْهَرُ ۗ وَاللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ

නුඹලා කාන්තාවන්ට (වරක්) දික්කසාදය ප්රකාශ කළ විට ඔවුහු ඔවුන්ගේ පොරොත්තු කාල(යේ අවසාන)යට එළඹුණේ නම් යහපත් අයුරින් (අඹු සැමි) ඔවුන් අතර අන්යෝන්යය පිළිගැනීමක් ඇති වූ කල (භාරකාරයින් වන) නුඹලා ඔවුන් තම සැමියන් (නැවත) විවාහ කර ගැනීමෙන් ඔවුන්ව නොවළක්වවු. නුඹලා අතුරින් අල්ලාහ්ව ද අවසන් දිනය ද විශ්වාස කරමින් සිටි අයට මෙමගින් උපදෙස් දෙනු ලබන්නේය. මෙය නුඹලාට අති පාරිශුද්ධය අති පවිත්රය. අල්ලාහ් (ඒ බව) මැනවින් දන්නේය. තවද නුඹලා නොදන්නෙහුය.
233

وَالْوَالِدَاتُ يُرْضِعْنَ أَوْلَادَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ ۖ لِمَنْ أَرَادَ أَن يُتِمَّ الرَّضَاعَةَ ۚ وَعَلَى الْمَوْلُودِ لَهُ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ بِالْمَعْرُوفِ ۚ لَا تُكَلَّفُ نَفْسٌ إِلَّا وُسْعَهَا ۚ لَا تُضَارَّ وَالِدَةٌ بِوَلَدِهَا وَلَا مَوْلُودٌ لَّهُ بِوَلَدِهِ ۚ وَعَلَى الْوَارِثِ مِثْلُ ذَٰلِكَ ۗ فَإِنْ أَرَادَا فِصَالًا عَن تَرَاضٍ مِّنْهُمَا وَتَشَاوُرٍ فَلَا جُنَاحَ عَلَيْهِمَا ۗ وَإِنْ أَرَدتُّمْ أَن تَسْتَرْضِعُوا أَوْلَادَكُمْ فَلَا جُنَاحَ عَلَيْكُمْ إِذَا سَلَّمْتُم مَّا آتَيْتُم بِالْمَعْرُوفِ ۗ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

(අඹු සැමියන් දික්කසාද සමයෙහි තම දරුවන්ට) කිරි දීම සම්පූර්ණ කිරීමට යමෙකු අදහස් කරන්නේ නම් මව්වරුන් තම දරුවන්ට පූර්ණ වසර දෙකක් කිරි දිය යුතුය. 157 ඔවුන්ගේ(මව්වරුන්ගේ) ආහාරයත් ඔවුන්ගේ වස්ත්රත් යහ අයුරින් ලබා දීම කවරෙකුට දරුවා සතු වන්නේ ද ඔහුහට(පියාහට පැවරෙන) වගකීමකි. කිසිවෙකු ඔහුගේ හැකියාවන්ට අනුව මිස පවරනු නොලබයි. මවකට තම දරුවා හේතුවෙන් හිංසා නොපමුණු විය යුතුය. කවරෙකුට දරුවා සතු වන්නේද ඔහුට ද තම දරුවා හේතුවෙන් (හිංසා නොපමුණු විය යුතුය). 158 (දරුවාගේ) උරුමක්කරුවන්ටත් එලෙසම වගකීම් පැවරේ. (දෙමාපියන්) සාකච්ඡාවකින් හා ඔවුන් දෙදෙනා අතර වූ එකඟතාවකින් (වසර දෙකක් ඇතුළත) මව්කිරි වැරීමට සිතන්නේ නම් ඔවුන් දෙපොළට (එසේ කිරීම) වරදක් නැත. නුඹලා නුඹලාගේ දරුවන්ට කිරි පෙවීමට (කිරි මවකු) අපේක්ෂා කරන්නේ නම් යහ අයුරින් නුඹලා (කිරි මවට) දෙන දෑ(කුලිය) නුඹලා ලබා දෙන්නේ නම් එය නුඹලාට වරදක් වන්නේ නැත. නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් සුපරික්ෂාකාරී බව නුඹලා දැන ගනිවු.
157පූර්ණ වසර දෙකක් මව්කිරි දීම සම්බන්ධයෙන් අල් කුර්ආනය අපට මග පෙන්වන අතර මේ පිළිබඳව සලකා බලන කල මව හා දරුවා යන දෙදෙනාටම මෙයින් යහපත ඇති බව තහවුරු වේ. ඒ අනුව මව්කිරි දීම කුඩා බිළිඳාගේ යහ වැඩීමට අත්යවශ්ය කරුණක් බව පෙන්වා දී ඇත. ලෝක සෞඛ්ය සංවිධානය පෙන්වා දෙන්නේ උපරිම ඵලය ලබන්නට නම් අඩුම වශයෙන් අවුරුදු දෙකක් හෝ මව්කිරි දිය යුතු බවය. මව්කිරි දීම මවගේ සෞඛ්යට ද ඉතා යහපත් යන්නෙන් ඔවුන් තවදුරටත් පෙන්වා දී ඇත.
158මෙයින් අදහස් වන්නේ මවට කිරි නොදීමට සාධාරණ හේතුවක් ඇත්නම් ඇයට කිරි දීමට බල කළ නොයුතුය. එසේම මවට කිරි දීමේ ශක්තිය තිබියදී හා පියාට කිරි මවක් පත් කිරීමේ ආර්ථික ශක්තිය නොතිබියදී ඔහු හට කිරි මවක් පත් කිරීම පිළිබඳව බල කිරීම නොකළ යුතු බවය.
234

وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنكُمْ وَيَذَرُونَ أَزْوَاجًا يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا ۖ فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا فَعَلْنَ فِي أَنفُسِهِنَّ بِالْمَعْرُوفِ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

නුඹලා අතුරින් කවරෙකු තම භාර්යාවන් (මෙලොවෙහි) හැර දමා මරණයට පත් වන්නේ ද (භාර්යාවන් වන) ඔවුන් (නැවත විවාහ නොවී) සිව් මසක් හා දස දිනක පොරොත්තු කාලයක් සිටිය යුතුය. ඔවුහු ඔවුන්ගේ පොරොත්තු කාල(යේ අවසාන)යට එළැඹුණේ නම් (ඉස්ලාමය) පිළිගත් අයුරින් ඔවුන්ගේ විෂයයෙහි ඔවුන් කළ දෑ පිළිබඳව නුඹලාට වරදක් නැත. නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් අභිඥානවන්තය. 159
159ස්වාමි පුරුෂයා මිය ගිය විට හෝ දික්කසාද කරනු ලැබූ විට හෝ ස්ත්රීන් විවාහ නොවී නිශ්චිත පොරොත්තු (ඉද්දා) කාලයක් ගත කළ යුතු බව ඉස්ලාමය උගන්වයි. ස්ත්රිය ගැබ් ගෙන සිටී ද? නැද්ද? යන්න මෙම කාලය තුළ දී දැන ගන්නට ලැබීම අපේක්ෂිත එක් ප්රධාන අරමුණකි. ගැබ් ගෙන සිටී නම් ඒ ගැන නොදැන විවාහ වුවහොත් දරුවාගේ පීතෘත්වය පිළිබඳව ව්යාකූලත්වයක් ඇති විය හැක. එහෙයින් දරුවාගේ පීතෘත්වය පිළිබඳව නිශ්චිත නිගමනයකට එළැඹීමට මෙම පොරොත්තු කාලය තුළ හැකි වන්නේය. තම ස්වාමි පුරුෂයා මිය ගිය විට දී හෝ දික්කසාදයකට ලක් වූ අවස්ථාවක දී ස්ත්රීය මානසික නොසන්සුන්තාවකට හා අසරණභාවයකට පත් වීම නොවැළැක්විය හැක්කකි. ඇගේ අනාගතය පිළිබඳව මෙම මානසික නොසන්සුන්තාව සමග නිවැරදි තීරණයකට එළැඹීම අසීරු කරුණකි. මෙම පොරොත්තු කාලය නිසා තමන්ගේ අනාගතයට බලපාන තීරණයන් තැන්පත්ව හා බුද්ධිමත්ව ගැනීමට මානසික ස්ථාවරභාවයක් ඇති කර ගැනීම මෙහි අපේක්ෂිත තවත් අරමුණකි. මෙයින් කාන්තාව දුර්වලව සිටින අවස්ථාවකදී තවත් අයෙකුට වැරදි අයුරින් උපයෝගි කර ගැනීමට ඇති අවස්ථාව ද වැළකී යනු ඇත. මෙමගින් කාන්තාවන්ගේ අයිතීන් සුරැකෙනු ඇත. ඉද්දා නම් පොරොත්තු කාල සීමාවන් පහක් වර්ග කළ හැක. එනම්, (1) සැමියා මරණයට පත් වැන්දඹු ස්ත්රියක් නම් ඇයගේ ඉද්දා කාලය වන්නේ චන්ද්ර මාස 4 ක් හා දින 10 කි. (2) විවාහ වී ලිංගික ඇසුරින් පසු දික්කසාද කරනු ලැබූ ස්ත්රියක් නම් ඇයගේ ඉද්දා කාලය වන්නේ ඔසප් පිරිසිදු වීම් 3 කි. (3) විවාහ වී ලිංගික ඇසුරින් තොරව දික්කසාද කරනු ලැබූ ස්ත්රියක් නම් ඇයට ඉද්දා කාලයක් නොමැත. (4) ගර්භිනී මවක් නම් පොදුවේ ඇය තම දරුවා ප්රසූත කිරීම ඇයගේ ඉද්දා කාලයෙහි අවසානයයි. (5) ඔසප් ඇති නොවන ස්ත්රියක් නම් ඇයගේ ඉද්දා කාලය වන්නේ චන්ද්ර මාස තුනකි.
235

وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا عَرَّضْتُم بِهِ مِنْ خِطْبَةِ النِّسَاءِ أَوْ أَكْنَنتُمْ فِي أَنفُسِكُمْ ۚ عَلِمَ اللَّهُ أَنَّكُمْ سَتَذْكُرُونَهُنَّ وَلَـٰكِن لَّا تُوَاعِدُوهُنَّ سِرًّا إِلَّا أَن تَقُولُوا قَوْلًا مَّعْرُوفًا ۚ وَلَا تَعْزِمُوا عُقْدَةَ النِّكَاحِ حَتَّىٰ يَبْلُغَ الْكِتَابُ أَجَلَهُ ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي أَنفُسِكُمْ فَاحْذَرُوهُ ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ غَفُورٌ حَلِيمٌ

(ඉද්දා කාලය ගෙවමින් සිටින) ස්ත්රීන්ට විවාහ යෝජනාව ගැන නුඹලා ඒ පිළිබඳව ඉඟියෙන් දැන්වීම හෝ නුඹලාගේ සිත් තුළ සඟවා තබා ගැනීම හෝ නුඹලා කෙරෙහි වරදක් නොවේ. සැබැවින්ම නුඹලා ඔවුන්(ස්ත්රීන්) සිහි කරන්නෙහු යැයි අල්ලාහ් හොඳින් දන්නේය. එනමුත් (ඉස්ලාමය) පිළිගත් වදනක් නුඹලා පැවසීම හැර ඔවුන්ට රහසිගතව (විවාහය සඳහා) ප්රතිඥා නොදෙවු. තවද නිශ්චිත පොරොත්තු කාලය අවසන් වන තුරු විවාහ ගිවිසුම ස්ථීරවම නුඹලා නිශ්චය නොකරවු. අල්ලාහ් නුඹලාගේ සිත්හි ඇති දෑ මැනවින් දන්නේ යැයි නුඹලා දැන ගනිවු. එබැවින් නුඹලා ඔහුට බිය වවු. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය දැඩි ඉවසිලිවන්තය. යන්න නුඹලා දැන ගනිවු.
236

لَّا جُنَاحَ عَلَيْكُمْ إِن طَلَّقْتُمُ النِّسَاءَ مَا لَمْ تَمَسُّوهُنَّ أَوْ تَفْرِضُوا لَهُنَّ فَرِيضَةً ۚ وَمَتِّعُوهُنَّ عَلَى الْمُوسِعِ قَدَرُهُ وَعَلَى الْمُقْتِرِ قَدَرُهُ مَتَاعًا بِالْمَعْرُوفِ ۖ حَقًّا عَلَى الْمُحْسِنِينَ

නුඹලා ස්ත්රීන්ව (ලිංගිකව) ස්පර්ශ නොකොට හෝ ඔවුනට මහ්ර් නියම නොකොට සිටිය දී නුඹලා ඔවුන්ව දික්කසාද කළහොත් නුඹලා කෙරෙහි වරදක් නොවේ. තවද ධනවතා තමන්ගේ හැකියාව අනුව ද දිළින්ඳා තමන්ගේ හැකියාව අනුව ද සැදැහැමියන් හට ඇති වගකීමක් වශයෙන් (ඉස්ලාමය) පිළිගත් අයුරින් නුඹලා ඔවුන්ට ත්යාගයක් පිරිනමවු.
237

وَإِن طَلَّقْتُمُوهُنَّ مِن قَبْلِ أَن تَمَسُّوهُنَّ وَقَدْ فَرَضْتُمْ لَهُنَّ فَرِيضَةً فَنِصْفُ مَا فَرَضْتُمْ إِلَّا أَن يَعْفُونَ أَوْ يَعْفُوَ الَّذِي بِيَدِهِ عُقْدَةُ النِّكَاحِ ۚ وَأَن تَعْفُوا أَقْرَبُ لِلتَّقْوَىٰ ۚ وَلَا تَنسَوُا الْفَضْلَ بَيْنَكُمْ ۚ إِنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

නුඹලා ඔවුනට මහ්ර් (ප්රමාණය) නියම කර තිබියදී නුඹලා ඔවුන් (ලිංගිකව) ස්පර්ශ කිරීමට පෙර දික්කසාද කළහොත් නියම කළ දැයින් අඩක් (පිරිනැමීම අනිවාර්යය) වේ. (එනමුත්) ඔවුන්(බිරින්දෑවරුන්) හෝ විවාහ බන්ධනය තම අතෙහි ඇත්තා(ස්වාමිපුරුෂයා) හෝ (ත්යාගශීලීව) කමාකර දැමුවොත් මිස. 160 (ස්වාමි පුරුෂයින් වන) නුඹලා ක්ෂමාශීලී වීම බිය භක්තිමත්භාවයට ඉතා සමීපය. නුඹලා අතරේ දයාශීලීත්වය අමතක නොකරවු. සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව සර්ව සුපරික්ෂාකාරීය.
160නියම කළ මහ්රය ස්වාමි පුරුෂයා තම බිරියට ලබා දී තිබුණද ඉන් අඩක් නැවත ඉල්ලා නොසිටීම ඔහුට වඩාත් සුදුසු බව මින් අදහස් වේ.
238

حَافِظُوا عَلَى الصَّلَوَاتِ وَالصَّلَاةِ الْوُسْطَىٰ وَقُومُوا لِلَّهِ قَانِتِينَ

(පස්වේල) සලාතයන් හා (විශේෂයෙන්) මධ්යස්ථ සලාතය රැක ගනිවු. අල්ලාහ්ට පූර්ණ ශ්රද්ධාවන්තයින් ලෙස නැගී සිටිවු. 161
161මෙහි සඳහන් මධ්යස්ථ සලාතයට විවිධ අදහස් ඇති නමුත් විද්වත් බහුතරයක අදහස වන්නේ අසර් නැමැති සලාතයයි. අසර් සලාතය පමණක් විශේෂණය කිරීමට හේතුව නම් ව්යාපාරික කටයුතු හේතූන් මත මෙම වේලාවෙහි සලාතය අතපසු විය හැකි බැවිනි. තවද මෙම ආයතයේ අල්ලාහ්ට පූර්ණ ශ්රද්ධාවන්තයින් ලෙස නැගී සිටිවු යනු සලාතයේ යෙදී සිටින විට කථාව, අනුභවය වැනි වෙනත් කි්රයාවන් කිරීම තහනම් කර ඇත යන්නය.
239

فَإِنْ خِفْتُمْ فَرِجَالًا أَوْ رُكْبَانًا ۖ فَإِذَا أَمِنتُمْ فَاذْكُرُوا اللَّهَ كَمَا عَلَّمَكُم مَّا لَمْ تَكُونُوا تَعْلَمُونَ

(යුදමය අවස්ථාවක දී) නුඹලා බිය වන්නේ නම් එවිට පදිකව හා වාහනිකව (සලාතය ඉටු කළ හැක.) නුඹලා (යුද්ධයෙන්) අභය වූයේ නම් නුඹලා දැනුවත්ව නොසිටි දෑ අල්ලාහ් නුඹලාට ඉගැන් වූ අයුරින් ඔහුව (සලාතය ඉටු කිරීම තුළින්) සිහිපත් කරවු. 162
162මින් අදහස් වන්නේ යුදමය අවස්ථාවේ පදිකව හා වාහනිකව සලාතය ඉටු කළද යුද්ධයෙන් අභයදායී වූ පසු සාමාන්ය අයුරින් හා සන්සුන්ව සලාතය ඉටු කළ යුතුය යන්නය.
240

وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنكُمْ وَيَذَرُونَ أَزْوَاجًا وَصِيَّةً لِّأَزْوَاجِهِم مَّتَاعًا إِلَى الْحَوْلِ غَيْرَ إِخْرَاجٍ ۚ فَإِنْ خَرَجْنَ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِي مَا فَعَلْنَ فِي أَنفُسِهِنَّ مِن مَّعْرُوفٍ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ

තම භාර්යාවන් (මෙලොවෙහි) හැර දමා නුඹලා අතුරින් කවරෙකු මරණයට පත් වන්නේ ද තමන්ගේ භාර්යාවන් වෙනුවෙන් වසරක් දක්වා (නිවසින්) පිටමං නොකොට යැපීම් පහසුකම් ලබා දිය යුතු බව වසිය්යත්(අන්තිම කැමැත්ත) කළ යුතුය. ඔවුන් පිට වී යන්නේ නම් ඔවුන්ගේ විෂයයෙහි (ඉස්ලාමය) පිළිගත් අයුරින් ඔවුන්ටම ඔවුන් කළ දෑ කෙරෙහි නුඹලාට වරදක් නැත. තවද අල්ලාහ් අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය. 163
163මෙම ආයතය මගින් මැයගේ ඉද්දා නම් පොරොත්තු කාලය වසරක කාලයක් ලෙස නීති ගත වී තිබුණ ද එම කොන්දේසිය අවලංගු වී අල් කුර්ආන් 2:234 වැනි ආයතයෙන් මාස හතරක් හා දින දහයක් දක්වා අඩු කර ඇත. එයට අමතරව ස්ත්රීන්ට සැමියාගේ වස්තුවෙන් කිසිදු කොටසක් හිමි නොවූ යුගයක වසරක යැපීම් පහසුකම් පිරිනැමිය යුතු යැයි මෙම ආයතය මගින් නියම කොට ස්ත්රීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර තිබිණ. එනමුත් එම දීමනාව ස්වාමියාගේ මුළු වස්තුවෙන් නිශ්චිත ප්රමාණයකට උරුමකම් ඇති බවට 4:12 වැනි ආයතය මගින් නියම කර ඇත.
241

وَلِلْمُطَلَّقَاتِ مَتَاعٌ بِالْمَعْرُوفِ ۖ حَقًّا عَلَى الْمُتَّقِينَ

දික්කසාදය කරන ලද ස්ත්රීන්ට (ඉස්ලාමය) පිළිගත් අයුරින් යැපීම් පහසුකම් 164 හිමි විය යුතුය. (එය) බිය භක්තිකයින්ට වගකීමක් වශයෙනි.
164මෙහි යැපීම් පහසුකම් යන වචනය පොදුවේ භාවිත වුවද මෙය තුළ ඉද්දා කාල පරිචඡේදයේදී කළ යුතු වියදම් ද මහ්ර් නම් විවාහ බන්ධන දීමනාව ගෙවා නැත්නම් එය ද අන්තර්ගත වේ.
242

كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ

නුඹලා අවබෝධ කර ගනු පිණිස එලෙසය, අල්ලාහ් තම වදන් නුඹලාට පැහැදිලි කරනුයේ.
243

أَلَمْ تَرَ إِلَى الَّذِينَ خَرَجُوا مِن دِيَارِهِمْ وَهُمْ أُلُوفٌ حَذَرَ الْمَوْتِ فَقَالَ لَهُمُ اللَّهُ مُوتُوا ثُمَّ أَحْيَاهُمْ ۚ إِنَّ اللَّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَـٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ

(නබිවරය,) මරණයට බිය වී තම නිවෙස් අත හැර දමා දහස් ගණනින් පිට වී ගියවුන්ව නුඹ නුදුටුවෙහි ද? ‘මරණයට පත් වවු’ යැයි අල්ලාහ් ඔවුනට ප්රකාශ කළේය. (එසැණින් ඔවුන් මරණයට පත් වී) පසුව ඔවුනට ඔහු ජීවය ලබා දුන්නේය. 165 සැබැවින්ම අල්ලාහ් මිනිසා කෙරෙහි දයාශීලීය. එනමුත් මිනිසුන් බොහෝ දෙනා (ඔහුට) කෘතවේදී නොවෙති.
165මොවුන් පිළිබඳව අල් කුර්ආනයෙහි විස්තරාත්මකව සඳහන් වී නොමැත. නමුත් මෙහි නබි හිzස්කීල්(එසෙකියල්) තුමාණන් සම්බන්ධ වූ කතා වස්තුව ගෙන හැර දක්වන්නක් බව ඇතැම් වාර්තා වල සඳහන් වී ඇත. මොවුනට වසංගත රෝගයක් වැලඳුණි. එහෙයින් මොවුන් මරණයට බිය වී ගම්බිම් අත හැර ගියෝය. විශාල තැනිතලා භූමියකට පිවිසුණු විටදී අල්ලාහ්ගේ විධානය පරිදි සියල්ලෝම සැණින් මරණයට පත් වූහ. ඒ අසලින් ගමන් කළ නබි හිzස්කීල් තුමාණන් මොවුනට නැවත ජීවය දෙන මෙන් අල්ලාහ්ගෙන් ඇයැද සිටි හෙයින් මොවුන්ට අල්ලාහ් නැවත ජීවය ලබා දුන් බව සඳහන් වී ඇත.
244

وَقَاتِلُوا فِي سَبِيلِ اللَّهِ وَاعْلَمُوا أَنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ

නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරවු. තවද අල්ලාහ් සර්ව ශ්රාවකය සර්වඥය යැයි දැන ගනිවු.
245

مَّن ذَا الَّذِي يُقْرِضُ اللَّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ أَضْعَافًا كَثِيرَةً ۚ وَاللَّهُ يَقْبِضُ وَيَبْسُطُ وَإِلَيْهِ تُرْجَعُونَ

අල්ලාහ්ට අලංකාර ණයක් ලබා දෙන්නා කවරෙකු ද? 166 එවිට එය ඔහු වෙනුවෙන් අධික ගුණයෙන් දෙගුණ කරන්නේය. අල්ලාහ් (ඇතැමුන්ට සම්පත් නොදී) රඳවා තබා ගන්නේය. තවද (ඇතැමුන්ට) ව්යාප්ත කරන්නේය. ඔහු වෙතමය නුඹලා නැවත යොමු කරනු ලබන්නේ.
166මෙහි අලංකාර ණයක් යනු අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීම වේ.
246

أَلَمْ تَرَ إِلَى الْمَلَإِ مِن بَنِي إِسْرَائِيلَ مِن بَعْدِ مُوسَىٰ إِذْ قَالُوا لِنَبِيٍّ لَّهُمُ ابْعَثْ لَنَا مَلِكًا نُّقَاتِلْ فِي سَبِيلِ اللَّهِ ۖ قَالَ هَلْ عَسَيْتُمْ إِن كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ أَلَّا تُقَاتِلُوا ۖ قَالُوا وَمَا لَنَا أَلَّا نُقَاتِلَ فِي سَبِيلِ اللَّهِ وَقَدْ أُخْرِجْنَا مِن دِيَارِنَا وَأَبْنَائِنَا ۖ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ الْقِتَالُ تَوَلَّوْا إِلَّا قَلِيلًا مِّنْهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ

මූසාගෙන් පසු ඉස්රාඊල් දරුවන්ගෙන් සමූහයක් නුඹ නුදුටුවෙහි ද? ‘අපට පාලකයෙකු පත් කරවු. (එමගින්) අප අල්ලාහ්ගේ මගෙහි සටන් කරන්නෙමු’යි ඔවුන්ගේ නබිවරයාට 167 ඔවුහු පැවසූහ. (එසේ නම්) ‘නුඹලාට සටන් කිරීම අනිවාර්යය කරනු ලැබුවහොත් සටන් නොකරන්නන් බවට පත් වන්නෙහු දැ?’යි ඔහු(නබිවරයා) විමසීය. ‘අපගේ නිවෙස් වලින් ද පුතුන්ගෙන් ද අප පිටුවහල් කරනු ලැබ සිටිය දී අල්ලාහ්ගේ මගෙහි අප සටන් නොකිරීමට අපට කුමක් සිදු වී ඇත් දැ?’යි ඔවුහු පැවසූහ. සටන් කිරීම ඔවුන්ට අනිවාර්යය කරනු ලැබූ විට ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙකු හැර (අන් අය) පිටුපෑහ. අපරාධකාරයින් පිළිබඳව අල්ලාහ් හොඳින් දන්නේය.
167මෙය නබි ෂම්වීල්(සැමුවෙල්) තුමාණන් පිළිබඳ ගෙන හැර පාන කතා වස්තුවක් යැයි ඇතැම් වාර්තා වල සඳහන් වී ඇත.
247

وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ اللَّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا ۚ قَالُوا أَنَّىٰ يَكُونُ لَهُ الْمُلْكُ عَلَيْنَا وَنَحْنُ أَحَقُّ بِالْمُلْكِ مِنْهُ وَلَمْ يُؤْتَ سَعَةً مِّنَ الْمَالِ ۚ قَالَ إِنَّ اللَّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَزَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ ۖ وَاللَّهُ يُؤْتِي مُلْكَهُ مَن يَشَاءُ ۚ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ

‘සැබැවින්ම අල්ලාහ් නුඹලාට පාලකයෙකු වශයෙන් තාලූත්ව එවා ඇතැ’යි ඔවුන්ගේ නබිවරයා ඔවුනට පැවසුවේය. ‘අප ඔහුට වඩා පාලක තනතුරට සුදුසුව සිටිය දී හා ඔහුට සම්පත් වලින් සමෘද්ධියක් ද නොදී තිබිය දී කෙසේ නම් ඔහුට අප කෙරෙහි පාලන බලය තිබිය හැක්කේ දැ?’යි ඔවුහු පැවසූහ. (එවිට) ඔහු(නබිවරයා) “සැබැවින්ම අල්ලාහ් ඔහුව නුඹලාට ඉහළින් තෝරා ගෙන, තවද ඔහුගේ ශරීර ශක්තියේ හා ප්රඥාවේ පුළුල් බව ද වැඩි කළේය. අල්ලාහ් තමන් අභිමත කළ අයෙකුට ඔහුගේ පාලන බලය ලබා දෙන්නේය. අල්ලාහ් සර්ව ව්යාපකය සර්වඥය” යැයි පැවසුවේය.
248

وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ آيَةَ مُلْكِهِ أَن يَأْتِيَكُمُ التَّابُوتُ فِيهِ سَكِينَةٌ مِّن رَّبِّكُمْ وَبَقِيَّةٌ مِّمَّا تَرَكَ آلُ مُوسَىٰ وَآلُ هَارُونَ تَحْمِلُهُ الْمَلَائِكَةُ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

“ඔහුගේ පාලන බලයේ සලකුණක් වශයෙන් පෙට්ටගම 168 මලක්වරුන් උසුලා ගෙන සිටි තත්ත්වයේ නුඹලා වෙත පැමිණෙනු ඇත. එහි නුඹලාගේ පරමාධිපතිගෙන් ශාන්තභාවය ද මූසාගේ පවුල හා හාරූන්ගේ පවුල අතහැර ගිය දැයින් ශේෂිතව ඇති දෑ ද ඇත. නුඹලා විශ්වාසිකයින්ව සිටියෙහි නම්, සැබැවින්ම එහි නුඹලාට සලකුණක් ඇත.” යැයි ඔවුන්ගේ නබිවරයා ඔවුනට පැවසුවේය.
168මෙහි නබි මූසා තුමාණන්ගේ යුගයේ පටන් පැවත ආ පෙට්ටගමක් පිළිබඳව කියැවෙන්නේය. මෙම පෙට්ටගම සතුරන් විසින් සොරා ගනු ලැබූ අතර තාලූත් පාලකයකු වශයෙන් නියම වීමේ සලකුණක් වශයෙන් අල්ලාහ් විසින් මලක්වරුන්ගේ ආධාරයෙන් තාලූත්ගේ දොරකඩට එම පෙට්ටගම ගෙන එන ලදී.
249

فَلَمَّا فَصَلَ طَالُوتُ بِالْجُنُودِ قَالَ إِنَّ اللَّهَ مُبْتَلِيكُم بِنَهَرٍ فَمَن شَرِبَ مِنْهُ فَلَيْسَ مِنِّي وَمَن لَّمْ يَطْعَمْهُ فَإِنَّهُ مِنِّي إِلَّا مَنِ اغْتَرَفَ غُرْفَةً بِيَدِهِ ۚ فَشَرِبُوا مِنْهُ إِلَّا قَلِيلًا مِّنْهُمْ ۚ فَلَمَّا جَاوَزَهُ هُوَ وَالَّذِينَ آمَنُوا مَعَهُ قَالُوا لَا طَاقَةَ لَنَا الْيَوْمَ بِجَالُوتَ وَجُنُودِهِ ۚ قَالَ الَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلَاقُو اللَّهِ كَم مِّن فِئَةٍ قَلِيلَةٍ غَلَبَتْ فِئَةً كَثِيرَةً بِإِذْنِ اللَّهِ ۗ وَاللَّهُ مَعَ الصَّابِرِينَ

තාලූත් සේනාව සමග පිටත් වූ කල්හි ‘සැබැවින්ම අල්ලාහ් නුඹලාව නදියකින් පරීක්ෂා කරන්නේය. කවරෙකු එයින් පානය කරන්නේ ද ඔහු මාගෙන් (කෙනෙකු) නොවන්නේය. කවරෙකු එය පානය නොකරන්නේ ද ඔහු මාගෙන් කෙනෙකු වන්නේය. (කෙසේ නමුත්) තම දෝතින් පතක් පමණක් ගත් අය හැර 169 (අන් අයට එය වරදකි) යැ’යි ඔහු පැවසුවේය. එකල්හි ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙකු හැර (අන් අය) එයින් පානය කළෝය. ඉන් පසුව ඔහු(තාලූත්) ද තමන් සමග සිටි විශ්වාස කළවුන් ද එය තරණය කර ගිය විට ‘ජාලූත් හා ඔහුගේ සේනාව සමග අද දින (යුද්ධ කිරීමට) අපට ශක්තියක් නැතැ’යි (ජලය අධික ලෙස පානය කළවුන්) පැවසූහ. ‘අල්ලාහ්ගේ අභිමතය පරිදි කොපමණ කුඩා සේනාවන් මහා සේනාවන් අබිබවා ඇත්තේ ද! තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් සමග යැ’යි සැබැවින්ම තමන් අල්ලාහ් හමුවන්නෝ යැයි නිශ්චිතව දැන සිටින්නන් (වන ස්වල්ප ලෙස ජලය පානය කළවුන්) පැවසූහ.
169තාලූත්ගේ සේනාවට මෙසේ ජල පානය නොකරන මෙන් ඔහු පැවසුවේ ඔවුනට යුද්ධයකට අවශ්ය දරා ගැනීමේ ශක්තිය හා ඉවසීම ඇත් දැයි පිරික්සුම් කිරීමට හා පුහුණුවක් ඇති කිරීමටය.
250

وَلَمَّا بَرَزُوا لِجَالُوتَ وَجُنُودِهِ قَالُوا رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَثَبِّتْ أَقْدَامَنَا وَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ

ඔවුන් ජාලූත් සහ ඔහුගේ සේනාවට මුහුණලා සිටි කල්හි ‘අපගේ පරමාධිපතියාණනි, අප වෙත ඉවසීම වගුරු වවු. අපගේ පාදයන් ස්ථාවර කරවු. ප්රතික්ෂේපක පිරිසට එරෙහිව අපට උපකාර කරවු යැ’යි පැවසුවෝය.
251

فَهَزَمُوهُم بِإِذْنِ اللَّهِ وَقَتَلَ دَاوُودُ جَالُوتَ وَآتَاهُ اللَّهُ الْمُلْكَ وَالْحِكْمَةَ وَعَلَّمَهُ مِمَّا يَشَاءُ ۗ وَلَوْلَا دَفْعُ اللَّهِ النَّاسَ بَعْضَهُم بِبَعْضٍ لَّفَسَدَتِ الْأَرْضُ وَلَـٰكِنَّ اللَّهَ ذُو فَضْلٍ عَلَى الْعَالَمِينَ

අල්ලාහ්ගේ අභිමතය පරිදි ඔවුහු ඔවුන්ව පරාජයට පත් කළහ. (තාලූත්ගේ සේනාවෙහි සිටි) දාවූද් ජාලූත්ව මරා දැමූ අතර අල්ලාහ් ඔහුට රාජ්යය ද 170 ප්රඥාව(නබිත්වය) ද පිරිනැමුවේය. තවද ඔහු(අල්ලාහ්) අභිමත කළ දැයින් ඔහුට ඉගැන්වූයේය. මිනිසුන්ගෙන් ඇතැමුන් ලවා ඇතැමුන්ව අල්ලාහ් නොවැළැක්වූයේ නම් මිහිතලය කලහකාරී තත්ත්වයට පත් වනු ඇත. එනමුත් අල්ලාහ් සමස්ත විශ්වය කෙරෙහි සර්ව භාග්යයන්ගෙන් යුක්ත වන්නේය.
170මෙම ආයතයන් කිහිපයෙන් අදහස් වන්නේ නබි ෂම්වීල් තුමාණන්ගේ ජන සමූහයා අපගේ සතුරන්ට එරෙහිව යුද කිරීමට අපගේ පාලකයා පත් කර දෙනු මැනව යැයි අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරන මෙන් එතුමාණන්ගෙන් ඉල්ලා සිටියෝය යන්නයි. පසුව අල්ලාහ්ගේ විධානයට අනුව ඔවුන්ගේ පාලකයා වශයෙන් ඉතාමත් එඩිතර දැහැමි පුද්ගලයෙකු වන තාලූත් නැමැත්තාව නබි ෂම්වීල් තුමාණන් විසින් පත් කරනු ලැබීය. තවද පසු කලෙක නබි ෂම්වීල් තුමාණන්ගේ හා තාලූත්ගේ අභාවයෙන් පසු නබි දාවූද් තුමාණන්ව එම සමූහයේ පාලකයා වශයෙන් ද ඔවුන්ගේ නබිවරයා වශයෙන් ද අල්ලාහ් විසින් පත් කරනු ලද බව මෙම ආයතයෙන් පැහැදිලි කෙරෙයි.
252

تِلْكَ آيَاتُ اللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ ۚ وَإِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ

(නබිවරය,) මේවා අල්ලාහ්ගේ වදන්ය. ඒවා සත්යයෙන් යුතුව අපි නුඹට පාරායනා කර( පෙන්ව)න්නෙමු. සැබැවින්ම නුඹ රසූල්වරුන් අතුරිනි.