පාරා 2

සියකූලු

67 පද්‍ය
📖පාරා

පාරා 2

සියකූලු67 පද්‍ය

البقرةමදීනී
75

أَفَتَطْمَعُونَ أَن يُؤْمِنُوا لَكُمْ وَقَدْ كَانَ فَرِيقٌ مِّنْهُمْ يَسْمَعُونَ كَلَامَ اللَّهِ ثُمَّ يُحَرِّفُونَهُ مِن بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ

‘(විශ්වාසිකයිනි, යුදෙව්වන් වන) ඔවුනතුරින් පිරිසක් අල්ලාහ්ගේ වදන් වලට සවන් දී අනතුරුව එය (නිසියාකාරව) අවබෝධ කර ගත් පසු, දැනුවත්වම එය විකෘති කරමින් සිටිය දී, ඔවුන් නුඹලා වෙනුවෙන් විශ්වාස කරනු ඇතැ’යි නුඹලා ආශා කරන්නෙහු ද?
76

وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَا بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ قَالُوا أَتُحَدِّثُونَهُم بِمَا فَتَحَ اللَّهُ عَلَيْكُمْ لِيُحَاجُّوكُم بِهِ عِندَ رَبِّكُمْ ۚ أَفَلَا تَعْقِلُونَ

(යුදෙව් ආත්ම වංචනිකයින් වන) ඔවුහු විශ්වාස කළවුන් හමු වූ විට, (මුහම්මද් පිළිබඳව තව්රාතයෙහි සඳහන් දෑ) ‘අපි ද විශ්වාස කළෙමු’යි ඔවුහු ප්රකාශ කරති. (නමුත්) ඔවුන්ගෙන් ඇතැමුන් (ඔවුන්ගේ ප්රධානීන් වන තවත්) ඇතැමුන් හා තනිව රැස් වූ කල්හි, “(විශ්වාසිකයින් වන) ඔවුන් නුඹලාගේ පරමාධිපති ඉදිරියේ නුඹලාට එරෙහිව වාද කිරීම පිණිස, අල්ලාහ් නුඹලාට (තව්රාතයෙහි මුහම්මද් පිළිබඳව) අනාවරණය කළ දෑ නුඹලා ඔවුනට දන්වන්නෙහු ද? නුඹලා (මේ පිළිබඳව) අවබෝධ කර නොගන්නෙහු ද?’ යැයි ඔවුහු(ප්රධානීන්) පවසති. 50
50ඇතැම් යුදෙව්වන් තමන් ඉස්ලාමය වැළඳ ගත් අය මෙන් රඟපාමින් සිටියෝය. ඔවුහු තමන් මුස්ලිම්වරුන් යැයි අන් අයට පෙන්වීම සඳහා අල් කුර්ආනයේ සඳහන් පරිදි තව්රාතයේ ද නබි මුහම්මද් තුමාණන්ගේ පැමිණීම පිළිබඳව සඳහන් වී ඇතැයි අනාවරණය කළෝය. නමුත් ඔවුහු යුදෙව් ප්රධානීන්ව හමු වූ කල්හි “අපි මුස්ලිම්වරුන්ව රැවටීම පිණිස මෙසේ පැවසුවෙමු යැයි පැවසුවෝය. එවිට එම යුදෙව් ප්රධානීන් “නබි මුහම්මද් තුමාණන් පිළිබඳව තව්රාතයෙහි අපි සඟවා ගෙන සිටි දෑ නුඹලා අනාවරණය කළේ මන්දැ?”යි විමසා මොවුන්ට තරවටු කළෝය. “තවද මුස්ලිම්වරුන්ට අනාවරණය කළ දෑ හේතුවෙන් ඔවුන් අප සමග තර්ක කරන විට, එය ඔවුනට සාධකයක් වනු ඇතැ”යි ද තරවටු කළෝය.
77

أَوَلَا يَعْلَمُونَ أَنَّ اللَّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ

ඔවුන් සඟවන දෑ ද ඔවුන් හෙළිදරවු කරන දෑ ද සැබැවින්ම අල්ලාහ් දනී යැයි ඔවුහු නොදන්නෝ ද?
78

وَمِنْهُمْ أُمِّيُّونَ لَا يَعْلَمُونَ الْكِتَابَ إِلَّا أَمَانِيَّ وَإِنْ هُمْ إِلَّا يَظُنُّونَ

ඔවුන්(යුදෙව්වන්) අතුරින් අකුරු නොදන්නවුන් සිටිති. මිථ්යා විශ්වාසයන් හැර ඔවුනට ධර්ම පුස්තකය පිළිබඳ දැනුමක් නොමැත. තවද ඔවුන් අනුමාන කරන්නෝ මිස නැත.
79

فَوَيْلٌ لِّلَّذِينَ يَكْتُبُونَ الْكِتَابَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَـٰذَا مِنْ عِندِ اللَّهِ لِيَشْتَرُوا بِهِ ثَمَنًا قَلِيلًا ۖ فَوَيْلٌ لَّهُم مِّمَّا كَتَبَتْ أَيْدِيهِمْ وَوَيْلٌ لَّهُم مِّمَّا يَكْسِبُونَ

තමන්ගේ අත්වලින් ධර්ම පුස්තකය ලියා ඉන් පසු සුළු මිලක් ලබා ගැනීම පිණිස “මෙය අල්ලාහ්ගෙන් යැ”යි පවසන්නන්ට දැඩි දඬුවමක් ඇත. එබැවින් ඔවුන්ගේ අත් වලින් ලියූ දෑ සඳහා ඔවුනට දැඩි දඬුවමක් 51 ඇත. තවද ඔවුන් උපයන දෑ සඳහා ද ඔවුනට දැඩි දඬුවමක් ඇත.
51මෙහි දැඩි දඬුවම යන්නට භාවිත කර ඇති වයිල් යන අරාබි යෙදුමට අර්ථ කිහිපයක් ඇති අතර දැඩි දඬුවම, නිරයේ සැරව හා රුධිරයෙන් පිරි මිටියාවත, විනාශය හා ඛේදය යන්න ඉන් සමහරකි.
80

وَقَالُوا لَن تَمَسَّنَا النَّارُ إِلَّا أَيَّامًا مَّعْدُودَةً ۚ قُلْ أَتَّخَذْتُمْ عِندَ اللَّهِ عَهْدًا فَلَن يُخْلِفَ اللَّهُ عَهْدَهُ ۖ أَمْ تَقُولُونَ عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ

“නියමිත දින ගණනකට විනා (නිරයේ) ගින්න අපව ස්පර්ශ නොකරන්නේම යැ”යි ඔවුහු ප්රකාශ කළෝය. “අල්ලාහ්ගෙන් නුඹලා (මේ පිළිබඳව) ප්රතිඥාවක් ගෙන ඇත්තේ ද? එසේ නම්, අල්ලාහ් ඔහුගේ ප්රතිඥාව කඩ නොකරන්නේමය. නැතහොත් අල්ලාහ් පිළිබඳව නුඹලා නොදන්නා දෑ ප්රකාශ කරන්නේ දැ?”යි (නබිවරය, ඔවුනට) පවසවු.
81

بَلَىٰ مَن كَسَبَ سَيِّئَةً وَأَحَاطَتْ بِهِ خَطِيئَتُهُ فَأُولَـٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ

එසේ නොව කවරෙකු දුෂ්ටකම උපයා, තවද ඔහුගේ පාපය ඔහුව වටකර ගන්නේ ද 52 ඔවුහු ගින්නේ සගයින්ය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
52‘දුෂ්ටකම යනුවෙන් මෙම ආයතයෙහි අදහස් වන්නේ අල්ලාහ්ට ආදේශ තැබීමේ ක්රියාවලියයි. පාපය ඔහුව වටකර ගන්නේය යනු ඔහු අල්ලාහ්ට ආදේශ තබමින් ජීවත් වෙමින් සිටියදී ඉන් නොමිදී මරණයට පත් වීම යන්නයි. තවද අල්ලාහ්ට ආදේශ තබමින් සිටින තත්ත්වය තුළ ඔවුන් කරන්නා වූ යහ කි්රියාවන් සඳහා කිසිදු ප්රයෝජනයක් ඔවුන්ට මතු ලොවෙහි නොලැබේ යනුවෙන් ද අල් කුර්ආන් විශාරදයින් අදහස් දක්වා ඇත.
82

وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَـٰئِكَ أَصْحَابُ الْجَنَّةِ ۖ هُمْ فِيهَا خَالِدُونَ

තවද විශ්වාස කොට යහකම් කළවුන් නම්, ඔවුන් ස්වර්ගයේ සගයින්ය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
83

وَإِذْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ لَا تَعْبُدُونَ إِلَّا اللَّهَ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَقُولُوا لِلنَّاسِ حُسْنًا وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ ثُمَّ تَوَلَّيْتُمْ إِلَّا قَلِيلًا مِّنكُمْ وَأَنتُم مُّعْرِضُونَ

අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නොනමදිවු. දෙමාපියන්ට ද තවද ඥාතීන්ට ද අනාථයින්ට ද දුගියන්ට ද යහපත ඉටු කරවු. තවද නුඹලා මිනිසුනට යහ දේ පවසවු. තවද සලාතය ස්ථිරවම ඉටු කරවු. zසකාතය පිරිනමවු යැයි අප ඉස්රාඊල්ගේ දරුවන්ගෙන් ප්රතිඥාව ගත් අවස්ථාව (සිහිපත් කරවු). පසුව නුඹලාගෙන් ස්වල්ප දෙනෙකු හැර (අන් සියල්ලන් සත්යය) මගහරිමින් (ප්රතිඥාවට) පිටු පෑවෝය.
84

وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ لَا تَسْفِكُونَ دِمَاءَكُمْ وَلَا تُخْرِجُونَ أَنفُسَكُم مِّن دِيَارِكُمْ ثُمَّ أَقْرَرْتُمْ وَأَنتُمْ تَشْهَدُونَ

නුඹලා( එකිනෙකා)ගේ රුධිරය නුඹලා නොවගුරුවන ලෙසද, නුඹලාගේ නිවෙස් වලින් නුඹලා( එකිනෙකා)ව බැහැර නොකරන ලෙසද, අප නුඹලාගෙන් ප්රතිඥාව ගත් අවස්ථාව (සිහිපත් කරවු). පසුව නුඹලාම (එයට) සාක්ෂි දරමින් පිළිගත්තෙහුය.
85

ثُمَّ أَنتُمْ هَـٰؤُلَاءِ تَقْتُلُونَ أَنفُسَكُمْ وَتُخْرِجُونَ فَرِيقًا مِّنكُم مِّن دِيَارِهِمْ تَظَاهَرُونَ عَلَيْهِم بِالْإِثْمِ وَالْعُدْوَانِ وَإِن يَأْتُوكُمْ أُسَارَىٰ تُفَادُوهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَيْكُمْ إِخْرَاجُهُمْ ۚ أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ ۚ فَمَا جَزَاءُ مَن يَفْعَلُ ذَٰلِكَ مِنكُمْ إِلَّا خِزْيٌ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَيَوْمَ الْقِيَامَةِ يُرَدُّونَ إِلَىٰ أَشَدِّ الْعَذَابِ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

පසුව නුඹලා( එකිනෙකා)වම නුඹලා මරා දමන්නෙහුය. තවද නුඹලාගෙන්ම පිරිසක්ව තම නිවෙස් වලින් නුඹලා බැහැර කරන්නෙහුය. නුඹලා පාපය හා සීමාව ඉක්මවා යෑම තුළින් ඔවුනට එරෙහිව (නුඹලාගෙන්) එකිනෙකාට උපකාර කර ගන්නෙහුය. තවද ඔවුන්ව (නිවෙස් වලින්) බැහැර කිරීම නුඹලාට තහනම් කර තිබිය දී ඔවුන් නුඹලා වෙත සිරකරුවන් ලෙස පැමිණි විට (නිදහස් කිරීම සදහා) වන්දි(යක්) ගෙවන්නෙහුය. 53 (මෙසේ කටයුතු කරන) නුඹලා ධර්ම පුස්තකයේ ඇතැම් දෑ විශ්වාස කර, ඇතැම් දෑ ප්රතික්ෂේප කරන්නෙහු ද? නුඹලාගෙන් කවුරුන් එසේ කරන්නේ ද ඔවුනට මෙලොව ජීවිතයෙහි නින්දාවක් හැර අන් කිසි විපාකයක් නොමැත. තවද (මළවුන්) නැගිටුවනු ලබන දිනයේ දී ඔවුහු දැඩි දඬුවම් දෙසට යොමු කරනු ලබන්නෝය. තවද නුඹලා කරන දෑ පිළිබදව අල්ලාහ් අනවධානියෙකු නොවේ.
53මදීනාවේ බනූ කුරෙයිලා හා බනූ නළීර් යන ගෝත්රික යුදෙව්වන් දෙපිරිසක් ජීවත් වූහ. ඔවුන් එකිනෙකා ඔවුනොවුනට එරෙහිව මිථ්යා දෘෂ්ටික “අවුස්” සහ “කzස්රජ්” අරාබි ගෝත්රිකයන්ට සහය දක්වමින් සටන් කළහ. මේ සටනේ දී ඔවුන් එකිනෙකා මරා ගත්තෝය. එහෙත් ඇතැම් සතුරු යුදෙව් ගෝත්රයෙන් කෙනෙක්ව තම සහායක මිථ්යා දෘෂ්ටික අවුස් හෝ කzස්රජ් ගෝත්රිකයින් විසින් සිරකරුවෙකු ලෙස ගත්තේ නම් තව්රාතයේ වන්දි ගෙවා නිදහස් කර වීම අනිවාර්යය යැයි පවසා සතුරු යුදෙව් සිරකරුවාව නිදහස් කර ගැනීමට තර්ක කළහ. එනමුත් අල් කුර්ආනය පවසා ඇත්තේ ඔවුන් එකිනෙකා මරා නොගන්නා බවට ද ප්රතිඥා දී ඇති බවය. ඔවුන් එසේ නොකොට වන්දි ගෙවා සිරකරුවන් නිදහස් කිරීම පමණක් අනුගමනය කරති. මෙය ඔවුන් කළේ හුදෙක්ම දේශපාලන ලාභ පදනම් කර ගෙනය.
86

أُولَـٰئِكَ الَّذِينَ اشْتَرَوُا الْحَيَاةَ الدُّنْيَا بِالْآخِرَةِ ۖ فَلَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنصَرُونَ

ඔවුහු මතුලොව වෙනුවට මෙලොව ජීවිතය මිල දී ගත්තෝ වෙති. එහෙයින් දඬුවම ඔවුනට සැහැල්ලු කරනු නොලැබේ. තවද ඔවුනට උදව් කරනු නොලැබේ.
87

وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَقَفَّيْنَا مِن بَعْدِهِ بِالرُّسُلِ ۖ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ ۗ أَفَكُلَّمَا جَاءَكُمْ رَسُولٌ بِمَا لَا تَهْوَىٰ أَنفُسُكُمُ اسْتَكْبَرْتُمْ فَفَرِيقًا كَذَّبْتُمْ وَفَرِيقًا تَقْتُلُونَ

(යුදෙව්වනි,) අපි සැබැවින්ම මූසාට ධර්ම පුස්තකය පිරිනැමුවෙමු. ඔහුට පසුව රසූල්වරුන් අනුපිළිවෙළින් යැව්වෙමු. මර්යම්ගේ පුත් ඊසාට පැහැදිලි ප්රාතිහාර්යයන් ලබා දී පිවිතුරු ආත්මය 54 මගින් ඔහුට සහය දුන්නෙමු. (නමුත් නුඹලා දහමෙහි ස්ථීර නොවූයෙහුය. මන්දයත්) නුඹලාගේ ආත්ම ආශාවන්ට අනුකූල නොවූ යමක් නුඹලා වෙත රසූල්වරයකු ගෙන ආ සෑම විටකම නුඹලා උඩඟු (නො)වූයේද? නුඹලා (රසූල්වරුන්ගෙන්) පිරිසක් අසත්යය කළෙහුය. තවත් පිරිසක්ව නුඹලා මරා දැමුවෙහුය.
54‘පිවිතුරු ආත්මය යනුවෙන් මෙම ආයතයෙහි හඳුන්වන්නේ ජිබ්රීල් නම් මලක්වරයාය. නබිවරුන්ට අල්ලාහ්ගෙන් දේව පණිවිඩ ගෙන එනු ලැබුවේ ජිබ්රීල් නම් මලක්වරයා විසිනි. තවද මොහු මලක්වරුන්ගේ ප්රධානියා ද වන්නේය. මෙම සූරාවේ 97 වැනි ආයතයෙන් ද මෙම කරුණ පැහැදිලි කොට ඇත. ජිබ්රීල් නම් මලක්වරයා නොයෙක් ආකාරයෙන් නබි ඊසා තුමාණන්ට ද උපකාර කර ඇත. තවද එතුමාගේ සතුරන්ගේ කුමන්ත්රණ වලින් එතුමාව අල්ලාහ්ගේ අන පරිදි ආරක්ෂා කළේ ඔහුමය. අවසානයේදී නබි ඊසා තුමාණන්ව අහස දෙසට ඔසවනු ලැබුවේද මොහු විසින්මය.
88

وَقَالُوا قُلُوبُنَا غُلْفٌ ۚ بَل لَّعَنَهُمُ اللَّهُ بِكُفْرِهِمْ فَقَلِيلًا مَّا يُؤْمِنُونَ

‘අපගේ හදවත් වැසී ඇතැ’යි (යුදෙව්) ඔවුහු (සමච්චලයෙන්) ප්රකාශ කළෝය. එසේ නොව ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුනට ශාප කළේය. තවද ඔවුන් විශ්වාස කරනුයේ අල්පයකි. 55
55මෙහි ඔවුන් විශ්වාස කරනුයේ අල්පයකි යනු ඉස්ලාමයට හා යුදෙව් ආගමට පොදුවේ තිබූ විශ්වාසයන් අදහස් කෙරෙයි. උදාහරණ : අල්ලාහ්ව විශ්වාස කිරීම හා ඇතැම් යුදෙව්වන් විනිශ්ච දිනය විශ්වාස කිරීම යනාදිය වේ.
89

وَلَمَّا جَاءَهُمْ كِتَابٌ مِّنْ عِندِ اللَّهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ وَكَانُوا مِن قَبْلُ يَسْتَفْتِحُونَ عَلَى الَّذِينَ كَفَرُوا فَلَمَّا جَاءَهُم مَّا عَرَفُوا كَفَرُوا بِهِ ۚ فَلَعْنَةُ اللَّهِ عَلَى الْكَافِرِينَ

ඔවුන් සමග ඇති දෑ(තව්රාතය) සත්යය කරවන අල්ලාහ්ගෙන් වූ ධර්ම පුස්තකයක්(අල් කුර්ආනය) ඔවුන් වෙත පැමිණි කල්හි, (තවද) ඔවුන් දැන සිටි දෑ 56 ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුන් එය ප්රතික්ෂේප කළෝය. (එහෙත්) එයට පෙර (එනම් මුහම්මද් නබිවරයා පැමිණීමට පෙර) ඔවුහු ප්රතික්ෂේප කළවුනට එරෙහිව (අල්ලාහ්ගෙන්) පිහිට පතමින් සිටියෝය. 57 එහෙයින් අල්ලාහ්ගේ ශාපය ප්රතික්ෂේපකයින් කෙරෙහිමය.
56මෙහි “දැන සිටි දෑ” යනු තව්රාතයෙහි සඳහන් වන අල් කුර්ආනයේ හා නබි මුහම්මද් තුමාණන්ගේ පැමිණීම පිළිබඳවයි.
57යුදෙව්වන්ගේ ශුද්ධ වූ ධර්ම පුස්තකයන්හි අවසාන නබිවරයා වන නබි මුහම්මද් තුමාණන්ගේ පැමිණීම පිළිබඳව අන්තර්ගත වී තිබුණි. එය පදනම් කරමින් යුදෙව්වන් මිථ්යා දෘෂ්ටිකයින් සමග තර්ක කළේ අවසාන නබිවරයා පැමිණිමට සමීප බව ද එම නබිවරයා තමන්ට උපකාර කරන බව ද එලෙසම ඔවුන් එම නබිවරයා මාර්ගයෙන් මිථ්යා දෘෂ්ටිකයින්ට එරෙහිව උදවු පතනු ඇතැයි ද පවසමින් සිටියෝය.
90

بِئْسَمَا اشْتَرَوْا بِهِ أَنفُسَهُمْ أَن يَكْفُرُوا بِمَا أَنزَلَ اللَّهُ بَغْيًا أَن يُنَزِّلَ اللَّهُ مِن فَضْلِهِ عَلَىٰ مَن يَشَاءُ مِنْ عِبَادِهِ ۖ فَبَاءُوا بِغَضَبٍ عَلَىٰ غَضَبٍ ۚ وَلِلْكَافِرِينَ عَذَابٌ مُّهِينٌ

අල්ලාහ් ඔහුගේ වරප්රසාදයෙන් (දේව පණිවිඩය) ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු අභිමත කළ අයෙකුට(මුහම්මද්ට) පහළ කර තිබීම පිළිබඳව (යුදෙව්වන් තුළ තිබූ) ඊර්ෂ්යාව හේතුවෙන් අල්ලාහ් පහළ කළ දෑ(අල් කුර්ආනය) ඔවුන් ප්රතික්ෂේප කිරීම තුළින් ඔවුන්වම ඔවුන් යම් (අල්ප) දැයකට විකිණීම නින්දා සහගතය. එහෙයින් ඔවුහු (අල්ලාහ්ගේ) උදහසින් උදහසට ලක් වූහ. තවද ප්රතික්ෂේප කළවුනට නින්දනීය දඬුවමක් ඇත. 58
58අවසාන රසූල්වරයාගේ පැමිණීම පිළිබඳව ඉස්රාඊල් ජනයාට පහළ කළ ධර්ම පුස්තකයන්හි පූර්ව දැනුම් දීමක් සඳහන් වී තිබුණ ද අප්රසාදය හා ඊර්ෂ්යාව හේතුවෙන් නබි මුහම්මද් තුමාණන්ව ප්රතික්ෂේප කළහ. ඔවුන්ගේ පරපුරෙන් නොවී නබි ඉස්මාඊල් තුමාණන්ගේ පරපුරෙන් අවසාන රසූල්වරයාගේ පැමිණීම පිළිගැනීමට ඔවුන් එකඟ නොවූහ. නමුත් දේව පණිවිඩය ජනයාට ඉදිරිපත් කිරීම සඳහා ඔවුන්ගේ පරපුරෙන් නොවී වෙනත් ජන සමූහයකින් අල්ලාහ් නබිවරුන් පත් කරන බවට ඔවුන්ගේ ධර්ම පුස්තකයන්හි පැහැදිළි සාක්ෂි තිබියදීත් ඔවුන් එයට එකඟ නොවූහ.
91

وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا بِمَا أَنزَلَ اللَّهُ قَالُوا نُؤْمِنُ بِمَا أُنزِلَ عَلَيْنَا وَيَكْفُرُونَ بِمَا وَرَاءَهُ وَهُوَ الْحَقُّ مُصَدِّقًا لِّمَا مَعَهُمْ ۗ قُلْ فَلِمَ تَقْتُلُونَ أَنبِيَاءَ اللَّهِ مِن قَبْلُ إِن كُنتُم مُّؤْمِنِينَ

‘නුඹලා අල්ලාහ් පහළ කළ දෑ(අල් කුර්ආනය) විශ්වාස කරවු’ යැයි ඔවුනට ප්රකාශ කරනු ලැබූ කල්හි ‘අපි අප වෙත පහළ කරනු ලැබූ දෑ(තව්රාතය) විශ්වාස කරන්නෙමු’ යැයි ඔවුහු ප්රකාශ කරති. එ(ම අල් කුර්ආන)ය ඔවුන් සතුව ඇති දෑ(තව්රාතය) සත්යය කරන සත්යයක්ව තිබිය දී එ(ම තව්රාත)යට පරිබාහිරව ඇති දෑ(අල් කුර්ආනය) ඔවුහු ප්රතික්ෂේප කරන්නෝය. ‘නුඹලා (තව්රාතය පිළිබඳ) විශ්වාසිකයින් ලෙස සිටියෙහු නම් මීට පෙර සිටි, අල්ලාහ්ගේ නබිවරුන්ව මරා දැමුවේ කුමක් නිසා දැ?’යි (නබිවරය,) නුඹ විමසවු.
92

وَلَقَدْ جَاءَكُم مُّوسَىٰ بِالْبَيِّنَاتِ ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِن بَعْدِهِ وَأَنتُمْ ظَالِمُونَ

සැබැවින්ම මූසා නුඹලා වෙත පැහැදිලි සාක්ෂි රැගෙන ආවේය. අනතුරුව ඔහු( තූර් කන්ද වෙත නික්ම ගියා)ට පසුව නුඹලා අපරාධකාරයින් ලෙස වසු පැටවා (නැමදුම සඳහා) ගත්තෙහුය.
93

وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُوا مَا آتَيْنَاكُم بِقُوَّةٍ وَاسْمَعُوا ۖ قَالُوا سَمِعْنَا وَعَصَيْنَا وَأُشْرِبُوا فِي قُلُوبِهِمُ الْعِجْلَ بِكُفْرِهِمْ ۚ قُلْ بِئْسَمَا يَأْمُرُكُم بِهِ إِيمَانُكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

‘අප නුඹලාට පිරිනැමූ දෑ(තව්රාතය) නුඹලා තදින් හසු කර ගනිවු. තවද ශ්රවණය කරවු.’ යැයි නුඹලාට ඉහළින් තූර් (කන්ද) ඔසවා නුඹලාගෙන් අප ප්රතිඥාව ගත් අවස්ථාව (සිහිපත් කරවු). 59 (එවිට) “අපි (නුඹගේ ප්රකාශය) ශ්රවණය කළෙමු. තවද අපි (නුඹගේ අණ) පිටුපෑවෙමු” යැයි ඔවුහු ප්රකාශ කළෝය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතු කොටගෙන වසු පැටවා 60 (නැමදීම) පිළිබඳව (ආශාව) ඔවුන්ගේ හදවත් තුළට පොවනු ලැබූහ. ‘නුඹලා (සැබෑ) විශ්වාසිකයින් නම්, නුඹලාගේ විශ්වාසය නුඹලාට කුමක් පිළිබඳව අණ කරන්නේ ද එය(වසු පැටවා නැමදීම) කෙතරම් නින්දා සහගත දැ’යි (නබිවරය,) පවසවු.
59වැඩි විස්තර සඳහා 63 ආයතයේ පාද සටහන බලන්න.
60වසු පැටියාගේ කතා වස්තුව සඳහා අල් කුර්ආනයේ 7:148 බලන්න.
94

قُلْ إِن كَانَتْ لَكُمُ الدَّارُ الْآخِرَةُ عِندَ اللَّهِ خَالِصَةً مِّن دُونِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ إِن كُنتُمْ صَادِقِينَ

“අල්ලාහ් අබියස මතුලොව වාසස්ථානය (අන්) මිනිසුන්ගෙන් තොර, නුඹලාට (පමණක්) විශේෂිත වූවා (යැයි නුඹලා අදිටන් කරන්නෙහු) නම්, (ඒ පිළිබඳව) නුඹලා සත්යවාදීහු වන්නේ නම් නුඹලා මරණය ප්රිය කරවු.” යැයි (නබිවරය,) පවසවු.
95

وَلَن يَتَمَنَّوْهُ أَبَدًا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ

ඔවුන්ගේ දෑත් පෙර කළකම් හේතුවෙන් ඔවුහු කිසිවිටෙක එය(මරණය) ප්රිය නොකරන්නෝමය. තවද අල්ලාහ් අපරාධකාරයින් පිළිබඳව සර්වඥය.
96

وَلَتَجِدَنَّهُمْ أَحْرَصَ النَّاسِ عَلَىٰ حَيَاةٍ وَمِنَ الَّذِينَ أَشْرَكُوا ۚ يَوَدُّ أَحَدُهُمْ لَوْ يُعَمَّرُ أَلْفَ سَنَةٍ وَمَا هُوَ بِمُزَحْزِحِهِ مِنَ الْعَذَابِ أَن يُعَمَّرَ ۗ وَاللَّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ

සැබැවින්ම (අන් සියලු) මිනිසුන්ට වඩා ද (අල්ලාහ්ට යමක්) ආදේශ කරන්නන්(ගේ ආශාව)ට වඩා ද (මෙලොව) ජීවිතයට දැඩිව ආශා කරන්නන් ලෙස නුඹ ඔවුන්ව දකින්නෙහිය. ඔවුන්ගෙන් කෙනෙකු ‘(තමන්ට) වසර දහසක ආයුෂ පිරිනමනු ලැබීම’ ඇලුම් කරති. (එහෙත්, දීර්ඝ) ආයුෂ පිරිනමනු ලැබීම, දඬුවමෙන් ඔහුව දුරස් කරන්නක් නොවේ. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳව සර්ව සුපරික්ෂාකාරීය.
97

قُلْ مَن كَانَ عَدُوًّا لِّجِبْرِيلَ فَإِنَّهُ نَزَّلَهُ عَلَىٰ قَلْبِكَ بِإِذْنِ اللَّهِ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ وَهُدًى وَبُشْرَىٰ لِلْمُؤْمِنِينَ

(නබිවරය,) කවරෙකු ජිබ්රීල්ට 61 සතුරෙකු වන්නේද, (ඔහු ජිබ්රීල්ට සතුරු වීමට කිසිදු හේතුවක් නැතැ’යි) නුඹ ප්රකාශ කරවු. සැබැවින්ම එයට(අල් කුර්ආනයට) පෙර ඇති දෑ(ධර්ම පුස්තක) සත්යය කරවන්නක් වශයෙන් ද විශ්වාසිකයින්ට මග පෙන්වීමක් වශයෙන් ද සුබාරංචියක් වශයෙන් ද අල්ලාහ්ගේ අවසරයෙන් නුඹේ හදවතට එ(ම අල් කුර්ආන)ය පහළ කළේ ඔහුය. 62
61ජිබ්රීල් තුමාණන් යනු අල්ලාහ්ගේ රසූල්වරුන්ට අල්ලාහ්ගේ අනුමැතියෙන් වහී නම් දේව පණිවිඩ ගෙන ආ මලක්වරයාය. මෙතුමන් මලක්වරුන්ගේ ප්රධානියා ද වන්නේය.
62ඇතැම් යුදෙව්වන් නබි මුහම්මද් තුමාණන්ට මෙසේ පැවසුවෝය. “අපි අල් කුර්ආනය විශ්වාස නොකරන්නෙමු. මන්දයත් එය රැගෙන එන්නේ අපගේ සතුරා වන ජිබිරීල් තුමාණන්ය.” මෙම ආයතයෙන් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ මෙම ප්රකාශය පිළිබඳවයි.
98

مَن كَانَ عَدُوًّا لِّلَّهِ وَمَلَائِكَتِهِ وَرُسُلِهِ وَجِبْرِيلَ وَمِيكَالَ فَإِنَّ اللَّهَ عَدُوٌّ لِّلْكَافِرِينَ

කවරෙකු අල්ලාහ්ට ද ඔහුගේ මලක්වරුන්ට ද ඔහුගේ රසූල්වරුන්ට ද ජිබ්රීල්ට ද මීකායිල්ට 63 ද සතුරෙකු වන්නේද, සැබැවින්ම අල්ලාහ් (එම) ප්රතික්ෂේපකයින්ට සතුරෙකි.
63මීකායිල් යනු අල්ලාහ්ගේ ප්රධාන මලක්වරුන්ගෙන් කෙනෙකි.
99

وَلَقَدْ أَنزَلْنَا إِلَيْكَ آيَاتٍ بَيِّنَاتٍ ۖ وَمَا يَكْفُرُ بِهَا إِلَّا الْفَاسِقُونَ

සැබැවින්ම අපි නුඹට පැහැදිලි සංඥා පහළ කර ඇත්තෙමු. ඒවා පාපතරයින් මිස (වෙනත් කිසිවෙක්) ප්රතික්ෂේප නොකරන්නේය.
100

أَوَكُلَّمَا عَاهَدُوا عَهْدًا نَّبَذَهُ فَرِيقٌ مِّنْهُم ۚ بَلْ أَكْثَرُهُمْ لَا يُؤْمِنُونَ

ගිවිසුමක් ඔවුන් ගිවිස ගත් සෑම අවස්ථාවකම ඔවුන්ගෙන් පිරිසක් එය (ඉවතට) විසි (නො)කළාහු ද? (ඔවුන් එය කඩ කිරීමෙන් ඉවතට විසි කළෝමය). ඇත්තෙන්ම, ඔවුන්ගෙන් බොහෝ දෙනා විශ්වාස නොකරති.
101

وَلَمَّا جَاءَهُمْ رَسُولٌ مِّنْ عِندِ اللَّهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ نَبَذَ فَرِيقٌ مِّنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ كِتَابَ اللَّهِ وَرَاءَ ظُهُورِهِمْ كَأَنَّهُمْ لَا يَعْلَمُونَ

තවද ඔවුන් සමග ඇති දෑ(තව්රාතය) සත්යය කරන අල්ලාහ්ගෙන් වූ රසූල්වරයකු (වන මුහම්මද්) ඔවුන් වෙත පැමිණි කල්හි ධර්ම පුස්තකය පිරිනමනු ලැබූවන්ගෙන් පිරිසක් අල්ලාහ්ගේ ධර්ම පුස්තකය(තව්රාතය, එය සත්යය බව) ඔවුන් නොදන්නා සේ ඔවුන්ගේ පිට පෙදෙසින් පසුපසට විසි කළෝය.
102

وَاتَّبَعُوا مَا تَتْلُو الشَّيَاطِينُ عَلَىٰ مُلْكِ سُلَيْمَانَ ۖ وَمَا كَفَرَ سُلَيْمَانُ وَلَـٰكِنَّ الشَّيَاطِينَ كَفَرُوا يُعَلِّمُونَ النَّاسَ السِّحْرَ وَمَا أُنزِلَ عَلَى الْمَلَكَيْنِ بِبَابِلَ هَارُوتَ وَمَارُوتَ ۚ وَمَا يُعَلِّمَانِ مِنْ أَحَدٍ حَتَّىٰ يَقُولَا إِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلَا تَكْفُرْ ۖ فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِهِ بَيْنَ الْمَرْءِ وَزَوْجِهِ ۚ وَمَا هُم بِضَارِّينَ بِهِ مِنْ أَحَدٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۚ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمْ وَلَا يَنفَعُهُمْ ۚ وَلَقَدْ عَلِمُوا لَمَنِ اشْتَرَاهُ مَا لَهُ فِي الْآخِرَةِ مِنْ خَلَاقٍ ۚ وَلَبِئْسَ مَا شَرَوْا بِهِ أَنفُسَهُمْ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ

තවද සුලෙයිමාන්ගේ රාජ්යය පාලන සමයෙහි ෂෙයිතානුන් ජප කළ දෑ ඔවුහු අනුගමනය කළෝය. සුලෙයිමාන් දේව ප්රතික්ෂේපය කළේ නැත. එනමුත් ෂෙයිතානුන් හූනියම ද බැබිලෝනියාවෙහි හාරූත් හා මාරූත් (නම්) මලක්වරුන් දෙපළට පහළ කරනු ලැබූ දෑ 64 ද මිනිසුනට උගන්වමින් (දේව) ප්රතික්ෂේපය කළෝය. ඔවුන් දෙපළ(හාරූත් හා මාරූත්) “සැබැවින්ම අපි (නුඹලාට) පරීක්ෂාවකි. එබැවින් නුඹලා ප්රතික්ෂේප නොකරනු” යැයි (ප්රථමයෙන්ම) කියන තෙක් (හූනියම් කිසිවක්) කිසිවෙකුට උගන්වන්නේ නැත. එනමුත් කෙනෙකු හා ඔහුගේ බිරිය අතර ඔවුහු වෙන් කරවන දෑ ඔවුන් දෙපොළගෙන් ඉගෙන ගන්නෝය. අල්ලාහ්ගේ නියමයෙන් තොරව එමගින් කිසිවෙකුට හානි පමුණුවන්නන් ලෙස ඔවුහු නොවූහ. ඔවුහු ඔවුනට හානි පමුණුවන දෑ ද ඔවුනට ප්රයෝජනවත් නොවන දෑ ද ඉගෙන ගනිමින් සිටියෝය. 65 තවද කවරෙකු එය මිලට ගත්තේ ද ඔවුනට මතුලොව කිසිදු කොටසක් නැතැ’යි සැබැවින්ම ඔවුහු දැන සිටියහ. ඔවුන් තමන්ව විකුණා ලත් දෑ නින්දිතය. ඔවුන් (මේ බව) දැන සිටියා නම්!
64‘මලක්වරුන් දෙපළට පහළ කළ දෑ යනු හූනියම් සූත්රයන් ය. මෙම සිදුවීමේ පසුබිම වන්නේ කලක් බැබිලෝනියාවෙහි ඉන්ද්රජාල මායම සුප්රකටව තිබුණි. කෙතරම්ද යත් නබිවරුන්ගේ ප්රාතිහාර්යයන් හා මෙවැනි ඉන්ද්රජාල මායම් අතර ජනයින් ව්යාකූලත්වයට පත් වූහ. ජනයින් එකල සිටි ඉන්ද්රජාලිකයින්ව ඉතා උතුම් වූ අය ලෙස විශ්වාස කර පාප කි්රියාවන්හි ඔවුන්ට අවනත වූහ. මෙම දුර්මතය ඉවත් කිරීමට අල්ලාහ් හාරූත් හා මාරූත් යන මලක්වරුන් දෙදෙනෙකුව මිනිස් ස්වරූපයෙන් යැව්වේය. ඔවුන්ව බැබිලෝනියාවට යැවූ අරමුණ වූයේ නබිවරුන්ගේ ප්රාතිහාර්යයන් හා ඉන්ද්රජාලිකයින්ගේ මායම් අතර වෙනස පහදා දීමය. මෙසේ පහදා දීමේදී ඔවුනට හූනියම් සූත්ර ද හෙළි කිරීමට සිදු විය. ඔවුන් එය හෙළි කළේ, එය භාවිත කිරීමට අල්ලාහ් තහනම් කර ඇති බවට අවවාද කරමින්ය. එහෙයින් හූනියම් ඉන්ද්රජාලයේ සූත්රයන් හැදෑරූවන්ට එක් පිරික්සුමක් විය. මෙම ආයතයෙහි සැබැවින්ම අපි නුඹලාට පරික්ෂාවකි යැයි සඳහන් වී ඇත්තේ එම අදහසයි. එනම් මෙම ඉන්ද්රජාල මායම් වලින් ඉවත් වී සිටින්නේ ද නැතහොත් එහි යෙදී සිටින්නේ ද යන්නය. ඔවුන්ගෙන් ඇතැමුන් මෙම පිරික්සුමෙන් ජය ගත් අතර ඇතැමුන් මෙයින් අසමත් වූහ. මෙම ආයතයේ අසමත් වූ අය පිළිබඳව කෙටි සඳහනක් කර ඇත.
65මෙම ආයතය හා පහත සඳහන් කරුණු වෙත අවධානය යොමු කළ විට හූනියමට ඇති යථාර්ථය පැහැදිලි වනු ඇත. 1. “...අල්ලාහ්ගේ නියමයෙන් තොරව එමගින් කිසිවෙකුට හානි පමුණවන්නන් ලෙස ඔවුන් නොවූහ.” යනුවෙන් මෙම ආයතයෙහි අල්ලාහ් පවසා ඇත. එහි අර්ථය නම්, ‘අල්ලාහ්ගේ නියමයෙන් තොරව එම හූනියම මගින් කිසිවෙකුට බලපෑම් ඇති නොවන අතර අල්ලාහ් අභිමත කළේ නම් ඔහුගේ නියමයට අනුව බලපෑම් සිදු විය හැක යන්නය. 2. අල් කුර්ආන් 113:4 වැනි ආයතයෙහි “ගැට මත (මතුරා) පිඹින්නියන්ගේ නපුරෙන් ද (මම රැකවරණය පතමි)” යනුවෙන් පවසා හූනියමෙන් අල්ලාහ් අබියස ආරක්ෂාව පතන මෙන් නබි මුහම්මද් තුමාණන්ට අල්ලාහ් පවසා ඇත. 3. “(නුඹලාව) විනාශයට යොමු කරවන දෑ හතකින් නුඹලා වැළකී සිටිනු : අල්ලාහ්ට සමානයන් තැබීම, හූනියම් කිරීම,......” යැයි නබි මුහම්මද් තුමාණන් පැවසූ බව අබූ හුරෙයිරා තුමා වාර්තා කරන්නේය. (ග්රන්ථය : සහීහුල් බුහාරි) 4. “කවරෙකු දිනපතා උදෑසනහි අජ්වා නම් රටඉඳි අනුභව කරන්නේ ද එම දවසෙහි රාත්රිය දක්වා කිසිදු විසකින් හෝ හූනියමකින් ඔහු බලපෑමට ලක් වන්නේ නැත.” යැයි නබි මුහම්මද් තුමාණන් පවසා ඇති බව සඃද් තුමා වාර්තා කරන්නේය. a. ඉහත සඳහන් සියලු කරුණු තුළින් හූනියමට යථාර්ථයක් තිබෙන බව ද අල්ලාහ් අභිමත කළේ නම් එයින් බලපෑමක් සිදු වන බව ද පැහැදිලි වන්නේය. එබැවින් බහුතර විද්වතුන් අල් කුර්ආනය හා හදීසයන් පදනම් කොටගත් ඒකමතික තීරණයට අනුව හූනියමට යථාර්ථයක් හා අල්ලාහ් අභිමත කළේ නම් යම් බලපෑම්ක් ඇති විය හැක යන්න අහලුස් සුන්නා වල් ජමාආවරුන්ගේ පොදු ප්රතිපත්තියයි.
103

وَلَوْ أَنَّهُمْ آمَنُوا وَاتَّقَوْا لَمَثُوبَةٌ مِّنْ عِندِ اللَّهِ خَيْرٌ ۖ لَّوْ كَانُوا يَعْلَمُونَ

සැබැවින්ම ඔවුහු(යුදෙව්වෝ, හූනියම අතහැර මුහම්මද් හා අල් කුර්ආනය) විශ්වාස කොට බිය භක්තිමත් වූයේ නම්, අල්ලාහ් අබියසින් වූ (ඔවුන්ගේ) යහවිපාකය ශ්රේෂ්ඨමත්ය. ඔවුන් (මේ බව) දැන සිටියා නම්! 66
66මෙම ආයතයන්ගෙන් යුදෙව් ජනයාගේ තවත් නොමනා ක්රියාවක් පිළිබඳව සඳහන් වේ. හූනියම් හා ඉන්ද්රජාල කටයුතු අල්ලාහ් විසින් තහනම් කර තිබිය දී ඔවුන් ඒවායෙහි නියැළුණහ. තවද නබි සුලෙයිමාන් තුමාණන් එවන් කටයුතු වල නිරත වූ බව අසත්යය ලෙස පවසා තමන්ගේ නොමනා ක්රියාවන් සාධාරණීය කරන්නට ඔවුහු උත්සාහ දැරූහ. මෙසේ කිරීමෙන් ඔවුහු ප්රතික්ෂේපකයින්ගේ තත්ත්වයට පත් වූහ.
104

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقُولُوا رَاعِنَا وَقُولُوا انظُرْنَا وَاسْمَعُوا ۗ وَلِلْكَافِرِينَ عَذَابٌ أَلِيمٌ

විශ්වාස කළවුනි, නුඹලා ‘රාඉනා 67 ’ යැයි නොපවසවු. ‘උන්ළුර්නා’ යැයි පවසවු. (නුඹලාට විධානය කරනු ලැබූ දෑ සාවධානව) සවන් දෙවු. ප්රතික්ෂේපකයිනට වේදනාකාරී දඬුවමක් ඇත.
67‘රාඉනා සහ උන්ළුර්නා යන පදයන් අරාබි බසින් අප ගැන සැලකිලිමත් වන්න යන අර්ථය ගෙන දෙන නමුත් රාඉනා යන පදය යුදෙව්වන් අතර හිබෲ භාෂාවෙන් සමච්චලයට භාවිත කළ පදයකි. නමුත් ඒ පිළිබඳව මුස්ලිම්වරුන් නොදැනුවත්ව එම පදයෙන් නබි මුහම්මද් තුමාණන්ව ඇමතීම සවන් දුන් යුදෙව්වන් සමච්චලයෙන් සිනහ වූවෝය. එහෙයින් මෙම පදයෙන් නබි මුහම්මද් තුමාණන්ට නොඅමතා එවැනිම අරුතක් ගෙන දෙන පදයක් වන උන්ළුර්නා යන පදයෙන් අමතන ලෙස අල්ලාහ් මුස්ලිම්වරුන්ට විධානය කළේය.
105

مَّا يَوَدُّ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَلَا الْمُشْرِكِينَ أَن يُنَزَّلَ عَلَيْكُم مِّنْ خَيْرٍ مِّن رَّبِّكُمْ ۗ وَاللَّهُ يَخْتَصُّ بِرَحْمَتِهِ مَن يَشَاءُ ۚ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ

ධර්ම පුස්තක ලත් අය අතුරින් හා ආදේශකයින් අතුරින් ප්රතික්ෂේප කළවුන්, නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත කිසිදු යහපතක් පහළ කරනු ලැබීම ප්රිය නොකරති. අල්ලාහ් තමන් අභිමත කරනවුන්ව ඔහුගේ කරුණාව තුළින් විශේෂ කරන්නේය. තවද අල්ලාහ් මහත් වූ ප්රසාදයෙන් යුක්තය.
106

مَا نَنسَخْ مِنْ آيَةٍ أَوْ نُنسِهَا نَأْتِ بِخَيْرٍ مِّنْهَا أَوْ مِثْلِهَا ۗ أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

(නබිවරය,) කිසියම් ආයතයක් අප නිෂ්ප්රභ කරන්නේ නම්, එසේ නොමැති නම් ඒවා (නුඹට) අමතක කරවන්නේ නම්, ඊට වඩා යහපත් දෙයක් හෝ ඊට සමාන දෙයක් හෝ අපි ගෙන එන්නෙමු. 68 සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්න බව නුඹ නොදන්නෙහි ද?
68ඉස්ලාමීය ෂරීආවේ ඇතැම් නීති රීතීන් අල්ලාහ් ප්රඥාවකින් යුක්තව වෙනස් කළ කල්හි එය යුදෙව්වන් මුස්ලිම්වරුන්ට සමච්චල් කිරීමට අවකාශයක් කර ගත්තෝය. එනම් ඔවුන් “මුස්ලිම්වරුන්ගේ දහම ඒකාකාරව පවතින්නේ නැතැයි” සමච්චල් කළෝය. මෙම ආයතය පහළ වූයේ ඔවුන්ගේ එම සමච්චලයට පිළිතුරක් වශයෙනි. එම පිළිතුරේ සාරාංශය නම් කුමන කාලයේ කුමන නීති රීතීන් තිබිය යුතු ද? කුමන නීති රීතීන් වෙනස් කළ යුතු ද යන්න අල්ලාහ් පමණක් දන්නේය යන්න දැනුම් දීම සඳහාය.
107

أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَمَا لَكُم مِّن دُونِ اللَّهِ مِن وَلِيٍّ وَلَا نَصِيرٍ

අල්ලාහ්ට (පමණක්) අහස්හි හා මිහිතලයේ ආධිපත්යය හිමි බව නුඹ නොදන්නෙහි ද? අල්ලාහ් හැර නුඹලාට භාරකරුවෙකු ද නැත. උදව්කරුවෙකු ද නැත.
108

أَمْ تُرِيدُونَ أَن تَسْأَلُوا رَسُولَكُمْ كَمَا سُئِلَ مُوسَىٰ مِن قَبْلُ ۗ وَمَن يَتَبَدَّلِ الْكُفْرَ بِالْإِيمَانِ فَقَدْ ضَلَّ سَوَاءَ السَّبِيلِ

මීට පෙර මූසාගෙන් ප්රශ්න අසනු ලැබුවාක් මෙන් නුඹලාගේ රසූල්වරයාගෙන් ප්රශ්න ඇසීමට නුඹලා ප්රිය කරන්නෙහු ද? 69 කවරෙකු විශ්වාසය වෙනුවට ප්රතික්ෂේපය හුවමාරු කර ගන්නේ ද සැබැවින්ම ඔහු ඍජු මාර්ගයෙන් බැහැර විය.
69යුදෙව්වන් නිතර නබි මුහම්මද් තුමාණන්ට අහංකාර ලෙස අභියෝග කරමින් සිටියෝය. වරක් ඔවුන් තව්රාතය මෙන් අල් කුර්ආනය ද එක වරම අප ඉදිරියේ ඉදිරිපත් කරන්නැයි නබි මුහම්මද් තුමාණන්ගෙන් ඉල්ලා සිටියෝය. ඔවුන්ගේ මෙම නොහොබිනා ඉල්ලීම තරවටු කිරීම පිණිස මෙම ආයතය මගින් ඔවුන්ගේ මුතුන් මිත්තන් ද මෙලෙසම කටයුතු කළෝය යන්න ඔවුන්ට සිහිපත් කර ඇත. උදාහරණ ලෙස ඔවුන් නබි මූසා තුමාණන්ගෙන් අල්ලාහ්ව තමන්ගේ පියවි ඇසින් බැලිය යුතු යැයි ඉල්ලා සිටියෝය. ඔවුන් එසේ ඉල්ලා සිටියේ යහමග ලැබීමට නොව එම නබිවරයාව නින්දා කිරීම පිණිසය. මෙම ආයතයෙහි මෙවැනි හැසිරීම් කුෆ්ර් නම් ප්රතික්ෂේපය කිරීමකි යනුවෙන් හඳුන්වා ඇත.
109

وَدَّ كَثِيرٌ مِّنْ أَهْلِ الْكِتَابِ لَوْ يَرُدُّونَكُم مِّن بَعْدِ إِيمَانِكُمْ كُفَّارًا حَسَدًا مِّنْ عِندِ أَنفُسِهِم مِّن بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْحَقُّ ۖ فَاعْفُوا وَاصْفَحُوا حَتَّىٰ يَأْتِيَ اللَّهُ بِأَمْرِهِ ۗ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

(විශ්වාසිකයිනි,) ධර්ම පුස්තක ලත් ජනයා අතුරින් බොහෝ දෙනා, තමන්ට සත්යය පැහැදිලි වූවායින් පසුවද තමන් තුළ වූ ඊර්ෂ්යයාව හේතුවෙන් නුඹලා විශ්වාස කළායින් පසුව ‘නුඹලාව ප්රතික්ෂේපකයින් බවට නැවත පත් කළ යුතු’ යැයි ප්රිය කරති. අල්ලාහ් ඔහුගේ නියෝගය ගෙන එන තෙක් ඔවුනට සමාව දී (නොසලකා) අත් හරිවු. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
110

وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ ۚ وَمَا تُقَدِّمُوا لِأَنفُسِكُم مِّنْ خَيْرٍ تَجِدُوهُ عِندَ اللَّهِ ۗ إِنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

සලාතය ස්ථිරවම ඉටු කරවු. zසකාතය පිරිනමවු. නුඹලා වෙනුවෙන් නුඹලා යහපත් දැයින් යමක් පෙරටු කරන්නෙහි ද අල්ලාහ් අබියස නුඹලා එ(යට අදාළ වේතන)ය ලබා ගන්නෙහුය. සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව සර්ව සුපරික්ෂාකාරීය.
111

وَقَالُوا لَن يَدْخُلَ الْجَنَّةَ إِلَّا مَن كَانَ هُودًا أَوْ نَصَارَىٰ ۗ تِلْكَ أَمَانِيُّهُمْ ۗ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِن كُنتُمْ صَادِقِينَ

‘යුදෙව්වෙකු හෝ ක්රිස්තියානුවෙකු වූ අය හැර අන් කිසිවෙකු ස්වර්ගයට ඇතුළු වන්නේම නැතැ’යි ඔවුහු ප්රකාශ කරති. එය ඔවුන්ගේ හුදු අනුමානයන්ය. ‘නුඹලා සත්යයවාදීහු නම් නුඹලාගේ සාධක ගෙන එනු’යි (නබිවරය,) ඔවුනට පවසවු.
112

بَلَىٰ مَنْ أَسْلَمَ وَجْهَهُ لِلَّهِ وَهُوَ مُحْسِنٌ فَلَهُ أَجْرُهُ عِندَ رَبِّهِ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

එසේ නොව. කවරෙකු දැහැමියෙකු වශයෙන් සිට, තම මුහුණ අල්ලාහ්ට අවනත කරවන්නේ ද ඔහුට තම පරමාධිපති අබියස ඔහුගේ යහ විපාක ඇත. තවද ඔවුනට (කිසිදු) බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් වන්නේ ද නැත.
113

وَقَالَتِ الْيَهُودُ لَيْسَتِ النَّصَارَىٰ عَلَىٰ شَيْءٍ وَقَالَتِ النَّصَارَىٰ لَيْسَتِ الْيَهُودُ عَلَىٰ شَيْءٍ وَهُمْ يَتْلُونَ الْكِتَابَ ۗ كَذَٰلِكَ قَالَ الَّذِينَ لَا يَعْلَمُونَ مِثْلَ قَوْلِهِمْ ۚ فَاللَّهُ يَحْكُمُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ

ඔවුහු(යුදෙව්වන් හා ක්රිස්තියානුවන්) ධර්ම පුස්තකය කියවමින් සිටිය දී, යුදෙව්වෝ ‘ක්රිස්තියානුවන් කිසිදු (සත්යය) දෙයක් මත නැතැ’යි ප්රකාශ කරමින් සිටියහ. තවද ක්රිස්තියානුවෝ ‘යුදෙව්වන් කිසිදු (සත්යය) දෙයක් මත නැතැ’යි ප්රකාශ කරමින් සිටියහ. එලෙසම දැනුම නැත්තවුන් 70 ද ඔවුන්ගේ ප්රකාශ මෙන් ප්රකාශ කළෝය. ඔවුහු කවර දෙයක් පිළිබඳව මතභේද ඇති කර ගනිමින් සිටියේ ද ඒ පිළිබඳව අල්ලාහ් මළවුන් නැගිටුවනු ලබන දිනයේ දී ඔවුන් අතර විනිශ්චය ලබා දෙන්නේය.
70මෙයින් අදහස් කරන්නේ මක්කාවේ විසූ මිථ්යාදෘෂ්ටිකයන් පිළිබඳවය. මෙසේ අල් කුර්ආනය ඔවුන්ව දැනුම නැත්තවුන් යනුවෙන් සඳහන් කිරීමට හේතුව ඔවුන් කිසිදු ධර්ම පුස්තකයක් විශ්වාස නොකළ හෙයිනි. මන්දයත් යුදෙව්වන් හා කිතුනුවන් ඔවුන් දෙපක්ෂයම එකා අනෙකාගේ දහමට කිසිදු ස්ථාවරත්වයක් නොමැත යැයි දොස් නගමින් සිටීම දැක මෙම මිථ්යාදෘෂ්ටිකයන් ඔවුන් දෙපිරිසගේ දහම ප්රතික්ෂේප කර පිළිම වන්දනාව සත්ය දහමක් බවට පත් කර ගත්තෝය.
114

وَمَنْ أَظْلَمُ مِمَّن مَّنَعَ مَسَاجِدَ اللَّهِ أَن يُذْكَرَ فِيهَا اسْمُهُ وَسَعَىٰ فِي خَرَابِهَا ۚ أُولَـٰئِكَ مَا كَانَ لَهُمْ أَن يَدْخُلُوهَا إِلَّا خَائِفِينَ ۚ لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ

අල්ලාහ්ගේ මස්ජිදයන් තුළ ඔහුගේ නාමය සිහිපත් කිරීම කවරෙකු වළකා, ඒවා විනාශ කිරීමෙහි වෙර දැරුවේද ඔහුට වඩා දැඩි අපරාධකරුවා කවරෙක්ද? 71 ඔවුන් බියට පත් වූවන් ලෙස හැර එහි පිවිසීමට ඔවුනට හැකි නොවීය. ඔවුනට මෙලොවෙහි නින්දාවක් ද ඔවුනට මතු ලොවෙහි මහත් වූ දඬුවමක් ද ඇත.
71මෙම ආයතය මගින් පිරිස් තුනක අකටයුතුකම් පිළිබඳව සඳහන් කර ඇත. පළමුවැනි පිරිස යුදෙව්වන්ය. මුස්ලිම්වරුන් යම් සීමිත කලකට නැමදුම සඳහා හැරිය යුතු දිශාව වී තිබුණේ යුදෙව්වන්ට විශේෂිත ස්ථානයක් වූ ජෙරුසලම් මස්ජිදයයි. නමුත් අල්ලාහ් විසින් නැමදුම් දිශාව කඃබාවට වෙනස් කරනු ලැබීම පිළිබඳව යුදෙව්වන් තම විරුද්ධත්වය පළ කිරීම තුළින් මුස්ලිම්වරුන්ව මස්ජිදයන්හි නැමදුම් කිරීමෙන් වැළැක්වූවෝය. දෙවැනි පිරිස කිතුනුවන්ය. මොවුන්, ජෙරුසලමය ආක්රමණය කොට එය විනාශ කළ රෝමානු රජු ටයිටස්ට රහසිගතව උදව් කළවුන්ය. තෙවන පිරිස මක්කාවෙහි විසූ මිථ්යාදෘෂ්ටිකයින්ය. මොවුන් නබි මුහම්මද් තුමාණන් මක්කාවෙහි පිහිටි ශුද්ධ වූ මස්ජිදය තුළට පිවිසීම වැළකූහ. සාරාංශයක් වශයෙන් බැලූ කල මෙම පිරිස් තුනම කුමන හෝ අන්දමින් මුස්ලිම්වරුන් මස්ජිදයන්හි වන්දනාමාන කිරීමට අවහිර කරන්නන් වූහ. මෙම ආයතය මගින් මෙවන් අකටයුතු කම් සියල්ල තරයේ හෙළා දකින්නේය.
115

وَلِلَّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ ۚ فَأَيْنَمَا تُوَلُّوا فَثَمَّ وَجْهُ اللَّهِ ۚ إِنَّ اللَّهَ وَاسِعٌ عَلِيمٌ

බටහිර හා නැගෙනහිර අල්ලාහ්ටම සතුය. නුඹලා මොනයම් දෙසට (නැමදුම සඳහා) හැරුණ ද අල්ලාහ් තෘප්තිමත් වූ දිශාව 72 එහි වේ. සැබැවින්ම අල්ලාහ් සර්ව ව්යාපකය සර්වඥය.
72මුස්ලිම්වරුන් මදීනාවට දේශාන්තරණය කිරීමෙන් පසු නැමදුම් කිරීම සඳහා ජෙරුසලම වෙත හැරෙන්නැයි අල්ලාහ් විධානය කළේය. එහෙත් නබි මුහම්මද් තුමාණන් හා එතුමන්ගේ සගයින් වන සහාබිවරුන් නැමදුම් දිශාව මක්කාහි පිහිටි කඃබාව පත් විය යුතු යැයි ආශා කරමින් සිටියෝය. මාස දහසයකින් පසුව මක්කාවෙහි පිහිටා ඇති කඃබාව කිබ්ලා හෙවත් නැමදුමෙහි හැරිය යුතු දිශාව ලෙස පත් කර ගන්නැයි අල්ලාහ්ගේ විධානය පහළ වන ලදී. යුදෙව්වන් මෙම මාරුවීම පිළිබඳව පවසමින් මුස්ලිම්වරුන්ව සමච්චලයට ගන්නට වූහ. මෙම ආයතය මුස්ලිම්වරුන් ලද සැනසිලි වදනක් වන අතර යුදෙව්වන්ගේ අඥාන විරෝධතාව හෙළි කරන්නකි.
116

وَقَالُوا اتَّخَذَ اللَّهُ وَلَدًا ۗ سُبْحَانَهُ ۖ بَل لَّهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ كُلٌّ لَّهُ قَانِتُونَ

‘අල්ලාහ් පුතෙකු ගත්තේ යැ’යි ඔවුහු ප්රකාශ කළෝය. ඔහු අති පාරිශුද්ධය. එසේ (ඔවුන් ප්රකාශ කරන්නාක් මෙන්) නොව, අහස්හි හා මිහිතලයේ ඇති දෑ අල්ලාහ් සතුය. සියල්ලන් ඔහුට අවනතවන්නන්ය. 73
73අල් කුර්ආනයේ ඇතැම් ආයතයන්හි සඳහන් වී ඇති සේ ඇතැම් යුදෙව්වරුන් උzසෙයිර් තුමාණන් අල්ලාහ්ගේ පුත්රයෙකු යැයි ද කිතුනුවන් නබි ඊසා තුමාණන්ව අල්ලාහ්ගේ පුත්රයෙකු යැයි ද මක්කාවෙහි විසූ ආදේශකයින් මලක්වරුන් අල්ලාහ්ගේ දියණියන් යැයි ද පැවසුවෝය. මෙම ආයතය මගින් ද මීළඟ ආයතය මගින් ද මෙවැන්නන්ගේ අඥාන ප්රකාශයන් පිළිබඳව පෙන්නුම් කර ඊට නිසි පිළිතුරු සපයා ඇත.
117

بَدِيعُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ وَإِذَا قَضَىٰ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ

(අල්ලාහ්) අහස්හි හා මිහිතලයේ (පූර්ව නිදසුනකින් තොර) උත්පාදකයාය. ඔහු යමක් (නිර්මාණය කිරීමට) තීරණය කළ විට ඔහු එයට ‘වනු’ යැයි පැවසූ වහාම එය සිදුවනු ඇත.
118

وَقَالَ الَّذِينَ لَا يَعْلَمُونَ لَوْلَا يُكَلِّمُنَا اللَّهُ أَوْ تَأْتِينَا آيَةٌ ۗ كَذَٰلِكَ قَالَ الَّذِينَ مِن قَبْلِهِم مِّثْلَ قَوْلِهِمْ ۘ تَشَابَهَتْ قُلُوبُهُمْ ۗ قَدْ بَيَّنَّا الْآيَاتِ لِقَوْمٍ يُوقِنُونَ

‘(නුඹ රසූල්වරයෙකු යැයි පැවසීමට) අල්ලාහ් අප හා කථා නොකරන්නේ මන් ද? නැතහොත් අප වෙත (ඒ පිළිබඳව) සංඥාවක් නොඑන්නේ මන් දැ?යි අඥානයින් ප්රකාශ කළෝය. ඔවුන්ගේ (මෙම) ප්රකාශය මෙන්ම ඔවුනට පෙර වූවන් ද එලෙසම ප්රකාශ කළෝය. ඔවුන්( සියල්ලන්)ගේ හදවත් එක හා සමාන විය. සැබැවින්ම අපි නිශ්චිතව විශ්වාස කරන ජනයිනට සංඥාවන් පැහැදිලි කර ඇත්තෙමු.
119

إِنَّا أَرْسَلْنَاكَ بِالْحَقِّ بَشِيرًا وَنَذِيرًا ۖ وَلَا تُسْأَلُ عَنْ أَصْحَابِ الْجَحِيمِ

(නබිවරය,) සැබැවින්ම අපි නුඹව සත්යය(අල් කුර්ආනය) සමග සුබාරංචි පවසන්නෙක් වශයෙන් ද අවවාද කරන්නෙක් වශයෙන් ද යැව්වෙමු. නිරයේ සගයින් පිළිබඳව නුඹගෙන් ප්රශ්න කරනු නොලබන්නේය.
120

وَلَن تَرْضَىٰ عَنكَ الْيَهُودُ وَلَا النَّصَارَىٰ حَتَّىٰ تَتَّبِعَ مِلَّتَهُمْ ۗ قُلْ إِنَّ هُدَى اللَّهِ هُوَ الْهُدَىٰ ۗ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُم بَعْدَ الَّذِي جَاءَكَ مِنَ الْعِلْمِ ۙ مَا لَكَ مِنَ اللَّهِ مِن وَلِيٍّ وَلَا نَصِيرٍ

නුඹ ඔවුන්ගේ(යුදෙව්වන් හා ක්රිස්තියානුවන්ගේ) පිළිවෙත අනුගමනය කරන තෙක්, නුඹ පිළිබඳව යුදෙව්වන් හා ක්රිස්තියානිවරුන් තෘප්තිමත් වන්නේම නැත. ‘සැබැවින්ම අල්ලාහ්ගේ යහමගමය යහමග වන්නේ යැ’යි (නබිවරය,) පවසවු. දැනුමෙන් නුඹ වෙත පැමිණි දැයට පසුවත් නුඔ ඔවුන්ගේ ආශාවන් අනුගමනය කරන්නේ නම්, නුඹට අල්ලාහ්ගෙන් වූ භාරකරුවෙකු ද නැත. උදව්කරුවෙකු ද නැත.
121

الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَتْلُونَهُ حَقَّ تِلَاوَتِهِ أُولَـٰئِكَ يُؤْمِنُونَ بِهِ ۗ وَمَن يَكْفُرْ بِهِ فَأُولَـٰئِكَ هُمُ الْخَاسِرُونَ

කවුරුන් හට අපි ධර්ම පුස්තකය පිරිනැමුවෙමු ද, ඔවුහු එය පාරායනය කළ යුතු අයුරින් පාරායනය කරන්නෝය. ඔවුහුමය එය විශ්වාස කරන්නෝ. 74 එය කවරෙකු ප්රතික්ෂේප කරන්නේද ඔවුහුමය අලාභවන්තයෝ වනුයේ.
74ඇතැම් අල් කුර්ආන් විශාරදයින්ගේ මතයට අනුව මෙම ආයතයේ ධර්ම පුස්තකය දෙනු ලැබූවන් සහාබිවරුන් වන අතර ධර්ම පුස්තකය යනු අල් කුර්ආනයයි. එය පරායනය කළ යුතු අයුරින් පාරායනය කිරීම යනු එය පැහැදිලිව ද එහි අක්ෂරයන් නිවැරදිව උච්චාරණය කිරීම ද එය පාරායනය කරන විට සිතින් අල්ලාහ්ගේ ආදරය හා බිය ඇතිව පාරායනය කිරීම ද එය පිළිපැදිය යුතු යැයි අදිටන් කිරීම ද වේ.
122

يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُوا نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ

ඉස්රාඊල්ගේ දරුවනි, මා නුඹලාට ප්රදානය කළ මාගේ ආශිර්වාදයන් ද ලෝකවාසීන්ට වඩා මා නුඹලාව ශ්රේෂ්ඨමත් කර තිබීම ද සිහිපත් කරවු.
123

وَاتَّقُوا يَوْمًا لَّا تَجْزِي نَفْسٌ عَن نَّفْسٍ شَيْئًا وَلَا يُقْبَلُ مِنْهَا عَدْلٌ وَلَا تَنفَعُهَا شَفَاعَةٌ وَلَا هُمْ يُنصَرُونَ

කිසිදු ආත්මයක් කිසිදු ආත්මයකට කිසිවකින් වග නොකියන්නා වූ ද කිසිවෙකුගෙන් වන්දියක් පිළිගනු නොලබන්නා වූ ද (කිසිදු) රෙකමදාරුවක් කිසිවෙකුට ප්රයෝජනවත් නොවන්නා වූ ද ඔවුනට පිහිටක් දෙනු නොලබන්නා වූ ද (ලොව අවසන් විනිශ්චය) දිනයට නුඹලා බිය වවු.
124

وَإِذِ ابْتَلَىٰ إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ ۖ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا ۖ قَالَ وَمِن ذُرِّيَّتِي ۖ قَالَ لَا يَنَالُ عَهْدِي الظَّالِمِينَ

ඉබ්රාහීම්ව 75 තම පරමාධිපති ඇතැම් වදන් මගින් පරීක්ෂාවට ලක් කළ අවස්ථාව (සිහිපත් කරවු). ඔහු ඒවා පරිපූර්ණ(ව ඉටු) කළේය. ‘සැබැවින්ම ජනයින්ට ඉමාම්වරයෙකු 76 වශයෙන් මා නුඹව පත් කරන්නෙමි’යි ඔහු(අල්ලාහ්) ප්රකාශ කළේය. “මාගේ පරපුරෙන් ද (ඉමාම්වරුන් පත් කරවු!) යැයි” (ඉබ්රාහීම්) ප්රකාශ කළේය. “(නමුත් ඉමාම්වරුන් පත් කිරීම පිළිබඳ වූ) මාගේ ප්රතිඥාව අපරාධකාරයින්ට නොලැබෙනු ඇතැ”යි (අල්ලාහ්) ප්රකාශ කළේය.
75මෙතැන් සිට යුදෙව්වන්, කිතුනුවන් හා මිථ්යාදෘෂ්ටික අරාබිවරුන් අතර පොදු පිළිගැනීමක් තිබූ හා මොවුන් සියල්ලන්ගේ ආරම්භක නබිවරයා වූ නබි ඉබ්රාහීම් තුමාණන්ගේ සැබෑ චරිතය අල්ලාහ් විස්තර කර ඇත්තේ නබි මුහම්මද් තුමාණන්ගේ දේව පණිවිඩය ද නබි ඉබ්රාහීම් තුමාණන්ගේ දේව පණිවිඩය ද එක හා සමාන බව තහවුරු කිරීමටය. තවද මිථ්යාදෘෂ්ටිකයින් අල්ලාහ්ට ආදේශ තැබුවාක් මෙන් නබි ඉබ්රාහීම් තුමාණන් අල්ලාහ්ට ආදේශ තැබුවේ නැත. කිතුනුවන් හා ඇතැම් යුදෙව්වන් අල්ලාහ්ට පුතුන් සිටින්නේ යැයි විශ්වාස කළාක් මෙන් එතුමා විශ්වාස කළේ නැත. නබි ඉබ්රාහීම් තුමාණන් විවිධ පිරික්සුම් වලට මුහුණ දී එයින් සාර්ථකව ජය ගත්තේය.
76මෙම ආයතයෙහි නබි ඉබ්රාහීම් තුමාණන්ව ජනයින්ට ඉමාම්වරයෙකු ලෙස අල්ලාහ් පත් කරනු ඇතැයි එතුමාණන් හට පවසා ඇත. ඉමාම් යන අරාබි පදයට භාෂාමය හා ඉස්ලාමීය ව්යවහාරමය අර්ථයන් කිහිපයක් ඇත. ඒවා මෙසේය. 1. ‘කලීෆා හෙවත් අනුප්රාප්තිකයා. (නබි මුහම්මද් තුමාණන්ට පසුව මුස්ලිම්වරුන්ගේ නායකයෙකු ලෙස නියම කරනු ලබන පාලකයාට හෝ ජනපතිවරයාට ඉමාම් යැයි පවසනු ලබන්නේ මෙම අර්ථයට අනුවය.) 2. අන් අය විසින් පිළිපදිනු ලබන්නා. (සලාතය සාමූහිකව ඉටු කරන විට සලාතය මෙහෙයවන්නාව සියල්ලන් විසින් පිළිපැදිය යුතු වන හෙයින් සලාතය මෙහෙයවන්නාට ද ඉමාම් යැයි පවසනු ලැබේ.) 3. ආදර්ශමත් පුද්ගලයා. 4. නායකයා. 5. ඉස්ලාමීය අධ්යාපනයේ ඉතා උසස් තත්ත්වයට පත් උගතා. 6. රසූල්වරයා. 7. මග පෙන්වන්නා. 8. මාර්ගෝපදේශකයා. 9. සේනාධිපති. 10. ධර්ම පුස්තකය. (අල් කුර්ආනය අල්ලාහ් විසින් පහළ කරන ලද ධර්ම පුස්තකයක් හා ජනයාට මග පෙන්වීමක් වන හෙයින් අල් කුර්ආනයට ද ඉමාම් යනුවෙන් පවසනු ලැබේ.) 11. පැහැදිලි ප්රධාන මාර්ගය.‘ a. ඉමාම් යන පදයට ඉහත සඳහන් අර්ථයන් තිබුණ ද මෙම ආයතයෙහි මෙම පදයේ අර්ථය වනුයේ දෙකේ සිට හතර දක්වා වූ අර්ථ වන අන් අය විසින් පිළිපදිනු ලබන්නා, ‘ආදර්ශමත් පුද්ගලයා හා නායකයා යන්නය. එනම් නබි ඉබ්රාහීම් තුමාණන්ව ජනයින් විසින් පිළිපදිනු ලබන ආදර්ශමත් නායකයෙකු ලෙස පත් කරන බව අල්ලාහ් ඔහුට ප්රතිඥා දී ඇත. තවද මෙම ආයතයෙහි ඉමාම් යන පදයෙන් රසූල්වරයා යනුවෙන් ද අදහස් කළ හැක යැයි ඇතැම් අල් කුර්ආන් විශාරදයින් සඳහන් කර ඇත. මෙම පදයේ අර්ථය හා අදහස ඉහත කී අයුරින් වටහා ගත් පසු අප පැහැදිලිවම අවබෝධ කර ගත යුතු කරුණක් නම්, ‘ඉමාම් යනු නබිත්වයට හා රිසාලත් හෙවත් දූතත්වයට වඩා උසස් තනතුරක් නොවේ යන්නයි. මන්දයත් මෙම විෂයෙහි සියලු මුස්ලිම්වරුන්ගේ ඒකමතික ප්රතිපත්තිය වනුයේ ඉස්ලාමයෙහි නබිත්වය හා රිසාලතයට වඩා උසස් තනතුරක් නොමැත යන්නයි. මෙයට පටහැනිව ඉමාම් යන තනතුර නබිවරුන් හා රසූල්වරුන්ගේ තනතුරට වඩා උසස් කොට සැලකීම හා අහස් හා පොළව පිහිටෙනුයේ මෙම ඉමාම්වරුන්ගේ පිහිටීමෙන් යැයි ද අල්ලාහ්ගෙන් පණිවිඩ වාර්තා කිරීමේ අයිතිය ඇත්තේ මොවුන්ට පමණි යැයි ද විශ්වාස කිරීම අහ්ලුස් සුන්නති වල් ජමාආවරුන්ගේ ප්රතිපත්තියෙන් බැහැර වූ ප්රතිපත්තියක් යැයි පැහැදිලිවම අවබෝධ කර ගත යුතු කරුණකි.
125

وَإِذْ جَعَلْنَا الْبَيْتَ مَثَابَةً لِّلنَّاسِ وَأَمْنًا وَاتَّخِذُوا مِن مَّقَامِ إِبْرَاهِيمَ مُصَلًّى ۖ وَعَهِدْنَا إِلَىٰ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ أَن طَهِّرَا بَيْتِيَ لِلطَّائِفِينَ وَالْعَاكِفِينَ وَالرُّكَّعِ السُّجُودِ

අප (මක්කාවේ පිහිටි කඃබාව නැමැති අල්ලාහ්ගේ) නිවස ජනයින්ට (නිරන්තරයෙන්ම) යන එන හා අභය ස්ථානයක් වශයෙන් පත් කළ අවස්ථාව (සිහිපත් කරවු). 77 ඉබ්රාහීම්ගේ ස්ථානයෙන් 78 සලාතය ඉටු කරන ස්ථානයක් නුඹලා ඇති කර ගනිවු. තවාෆය කරන්නන් වෙනුවෙන් ද (එහි) ඉඃතිකාෆ් 79 සිටින්නන්(රැඳී සිටින්නන්) වෙනුවෙන් ද සුජූද්, රුකූඋ කරන්නන් වෙනුවෙන් ද මාගේ නිවස පිරිසිදු කරන්නැ’යි අපි ඉබ්රාහීම් හා ඉස්මාඊල්ට ප්රතිඥා 80 දුන්නෙමු.
77මෙහි නිවස යනුවෙන් සඳහන් වී ඇත්තේ අල්ලාහ්ගේ නිවස වන කඃබාවයි. මෙයට ආවේණික වූ සුවිශේෂී ලක්ෂණයන් දෙකක් මෙහි සඳහන් කර ඇත. පළමුවැන්න ඒ වෙත නැවත නැවත යෑමට ආශාවෙන් හා අභිලාෂයෙන් සිටින විශ්වාසිකයින් නිතර බැහැ දකින්නා වූ ස්ථානයක් යන්නය. දෙවැන්න එයට අභය ස්ථානයක් යැයි පවසනු ලැබ ඇත. එනම් එහි සීමාව තුළ යුද වැදීම හෝ ලේ වැගිරීම හෝ සතුන් දඩයම් කිරීම වැනි ක්රියාවන් තහනම් කර ඇත යන්නය.
78මෙම ආයතයෙහි සඳහන් ඉබ්රාහීම්ගේ ස්ථානයෙන් යනු නබි ඉබ්රාහීම් තුමාණන් කඃබාවේ ගොඩනැගිල්ල ඉදිකරන අවස්ථාවේ දී සිට ගත් ගලකි. ප්රාතිහාර්යය ජනක ලෙස එහි නබි ඉබ්රාහීම් තුමාණන්ගේ දෙපා සටහන් පතිත වී ඇති අතර ජනයාට දැක ගත හැකි අයුරින් කඃබාවේ දොරටුව ඉදිරියේ කුටියක එය තැන්පත් කර ඇත. තවාෆය අවසන් කිරීමෙන් පසු ඒ අසල සලාතය රකආත් දෙකක් ඉටු කළ යුතු බවට හදීස්හි සඳහන් වී ඇත.
79‘තවාෆය යනු කඃබාව වටා සත් වරක් ප්රදක්ෂිණ කිරීමේ ක්රියාවලියයි. ඉඃතිකාෆ් යනු නැමදුම් කටයුතු සඳහා අල්ලාහ් වෙනුවෙන් රැදී සිටීමි යන අදිටනින් නිශ්චිත කාල සීමාවක් තුළ මස්ජිදයේ රැඳී සිටීමය.
80මෙම ආයතයෙහි ප්රතිඥා දුන්නෙමු යනු විධානය කළෙමු යන අදහස පෙන්නුම් කෙරෙන බව අල් කුර්ආන් විශාරදයින් සඳහන් කර ඇත.
126

وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَـٰذَا بَلَدًا آمِنًا وَارْزُقْ أَهْلَهُ مِنَ الثَّمَرَاتِ مَنْ آمَنَ مِنْهُم بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۖ قَالَ وَمَن كَفَرَ فَأُمَتِّعُهُ قَلِيلًا ثُمَّ أَضْطَرُّهُ إِلَىٰ عَذَابِ النَّارِ ۖ وَبِئْسَ الْمَصِيرُ

‘මාගේ පරමාධිපතියාණනි, මෙය අභය වූ නගරයක් ලෙස පත් කරනු මැනව! තවද එහි සිටින්නන් අතුරින් අල්ලාහ්ව ද පරමාන්ත දිනය ද විශ්වාස කළවුන් වන ඔවුනට, පලතුරුවලින් පෝෂණය කරනු මැනව! යැ’යි ඉබ්රාහීම් ප්රකාශ කළ අවස්ථාව (සිහිපත් කරවු). “(එනමුත්) කවරෙකු ප්රතික්ෂේප කරන්නේ ද ඔහුට (මෙලොවදී පමණක්) ස්වල්පයක් භුක්ති විදීමට සලස්වමි. පසුව ඔහුව නිරයේ දඬුවමට බලහත්කාරයෙන් යොමු කරවමි” යැයි ඔහු(අල්ලාහ්) ප්රකාශ කළේ ය. තවද අවසානයේ යොමු වන ස්ථානය කෙතරම් නින්දනීය ද!
127

وَإِذْ يَرْفَعُ إِبْرَاهِيمُ الْقَوَاعِدَ مِنَ الْبَيْتِ وَإِسْمَاعِيلُ رَبَّنَا تَقَبَّلْ مِنَّا ۖ إِنَّكَ أَنتَ السَّمِيعُ الْعَلِيمُ

ඉබ්රාහීම් සහ ඉස්මාඊල් (අල්ලාහ්ගේ) නිවසේ අත්තිවාරම් එස වූ කල්හි “අපගේ පරමාධිපතියාණනි, අපගෙන් (මෙම ප්රයත්නය) පිළිගනු මැනව! සැබැවින්ම ඔබමය සර්ව ශ්රාවක සර්වඥ වන්නේ,
128

رَبَّنَا وَاجْعَلْنَا مُسْلِمَيْنِ لَكَ وَمِن ذُرِّيَّتِنَا أُمَّةً مُّسْلِمَةً لَّكَ وَأَرِنَا مَنَاسِكَنَا وَتُبْ عَلَيْنَا ۖ إِنَّكَ أَنتَ التَّوَّابُ الرَّحِيمُ

අපගේ පරමාධිපතියාණනි, ඔබට අවනත වන්නන් ලෙස අප දෙපළ ද තවද අපගේ පරපුරෙන් ඔබට අවනත වන ප්රජාවක් ද පත් කරනු මැනව! තවද අපගේ (හජ්) 81 වතාවන් අපට පෙන්වා දෙනු මැනව! තවද අප සඳහා (අපගේ) පශ්චාත්තාපය පිළිගනු මැනව! සැබැවින්ම ඔබමය පශ්චාත්තාපය පිළිගන්නා පරම කරුණාභරිත වන්නේ,
81‘හජ් වන්දනය යනු ඉස්ලාමීය අනිවාර්යය නැමදුම් අතුරින් එකකි.
129

رَبَّنَا وَابْعَثْ فِيهِمْ رَسُولًا مِّنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِكَ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُزَكِّيهِمْ ۚ إِنَّكَ أَنتَ الْعَزِيزُ الْحَكِيمُ

අපගේ පරමාධිපතියාණනි, ඔවුනට ඔබේ වදන් පාරායනා කර පෙන්වන, තවද ධර්ම පුස්තකය හා ප්රඥාව ඔවුනට හදාරා දෙන, තවද ඔවුන් පවිත්ර කරවන ඔවුන්ගෙන් වූ රසූල්වරයෙක් 82 ඔවුන් අතරෙහි යවනු මැනව! සැබැවින්ම ඔබමය අති බලසම්පන්න සර්ව ප්රඥාවන්ත වන්නේ” (යැයි ප්රාර්ථනා කළහ).
82මෙම ආයතයෙහි රසූල්වරයෙක් යනුවෙන් සඳහන් වනුයේ නබි මුහම්මද් තුමාණන් පිළිබඳව බව අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි සඳහන් වී ඇත.
130

وَمَن يَرْغَبُ عَن مِّلَّةِ إِبْرَاهِيمَ إِلَّا مَن سَفِهَ نَفْسَهُ ۚ وَلَقَدِ اصْطَفَيْنَاهُ فِي الدُّنْيَا ۖ وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ

ඉබ්රාහීම්ගේ පිළිවෙත පිළිකුල් කරන්නේ තමන් පිළිබඳ අඥාන වූ අයෙකු හැර වෙනත් කවරෙකු ද? සැබැවින්ම අපි ඔහුව(ඉබ්රාහීම්ව) මෙලොවෙහි (නබිත්වය සඳහා) තෝරා ගතිමු. සැබැවින්ම ඔහු මතු ලොවෙහි සැදැහැමියන් අතරය.
131

إِذْ قَالَ لَهُ رَبُّهُ أَسْلِمْ ۖ قَالَ أَسْلَمْتُ لِرَبِّ الْعَالَمِينَ

ඔහුට තම පරමාධිපති “අවනත වනු” යැයි පැවසූ කල්හි, “සමස්ත විශ්වයේ 83 පරමාධිපතිට අවනත වුණෙමි” යැයි ඔහු ප්රකාශ කළේ ය.
83වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 1:2 හි පාද සටහන බලන්න.
132

وَوَصَّىٰ بِهَا إِبْرَاهِيمُ بَنِيهِ وَيَعْقُوبُ يَا بَنِيَّ إِنَّ اللَّهَ اصْطَفَىٰ لَكُمُ الدِّينَ فَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسْلِمُونَ

ඉබ්රාහීම් තම පුතුන්ට තවද යඃකූබ් ද (තම පුතුන්ට) “මාගේ පුතණුවනි, සැබැවින්ම අල්ලාහ් නුඹලා වෙනුවෙන් (ඉස්ලාම්) දහම තෝරා ඇත්තේය. එබැවින් නුඹලා අවනත වූවන් ලෙසින්ම හැර මරණයට පත් නොවවු” යැයි ඒ (දහම) පිළිබඳව ඔවදන් දුන්නේය.
133

أَمْ كُنتُمْ شُهَدَاءَ إِذْ حَضَرَ يَعْقُوبَ الْمَوْتُ إِذْ قَالَ لِبَنِيهِ مَا تَعْبُدُونَ مِن بَعْدِي قَالُوا نَعْبُدُ إِلَـٰهَكَ وَإِلَـٰهَ آبَائِكَ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ إِلَـٰهًا وَاحِدًا وَنَحْنُ لَهُ مُسْلِمُونَ

(යුදෙව්වනි,) “යඃකූබ්ට මරණය පැමිණි අවස්ථාවේ නුඹලා (එහි) අභිමුඛ වූවන් ලෙස සිටියෙහු ද? එවිට ඔහු(යඃකූබ්) තම පුතුන්ට ‘මට පසු නුඹලා කුමක් නමදින්නේ දැ?”යි ඇසුවේය. “අපි ඔබේ දෙවියන් ද ඔබේ මුතුන්මිත්තන් වන ඉබ්රාහීම්, ඉස්මාඊල් හා ඉස්හාක්ගේ දෙවියන් ද වන එකම දෙවියන් (වන අල්ලාහ්වම) නමදින්නෙමු. තවද අපි ඔහුටම අවනත වන්නන් වෙමු” යැයි ඔවුහු ප්රකාශ කළෝ ය.
134

تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ ۖ لَهَا مَا كَسَبَتْ وَلَكُم مَّا كَسَبْتُمْ ۖ وَلَا تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ

එය ඉකුත් වී ගිය ප්රජාවකි. ඔවුනට ඔවුන් උපයා ගත් දෑ හිමිය. නුඹලාට නුඹලා උපයා ගත් දෑ හිමිය. ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව නුඹලා ප්රශ්න කරනු නොලබන්නෙහුය.
135

وَقَالُوا كُونُوا هُودًا أَوْ نَصَارَىٰ تَهْتَدُوا ۗ قُلْ بَلْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا ۖ وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ

‘නුඹලා යුදෙව්වන් වවු. එසේ නොමැති නම් ක්රිස්තියානුවන් වවු. (එවිට) නුඹලා ඍජු මග ලබන්නෙහු යැ’යි ඔවුහු(යුදෙව්වන් සහ ක්රිස්තියානුවන් විශ්වාසිකයින්ට) ප්රකාශ කළෝය. (නබිවරය,) “නොඑසේය. (අපි පිළිපදින්නේ ආදේශයකින් තොරව ඍජූ දහම වෙත) නැඹුරු වූ ඉබ්රාහීම්ගේ පිළිවෙතය. ඔහු ආදේශකයින් අතුරින් නොවීය” යැයි පවසවු.
136

قُولُوا آمَنَّا بِاللَّهِ وَمَا أُنزِلَ إِلَيْنَا وَمَا أُنزِلَ إِلَىٰ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَىٰ وَعِيسَىٰ وَمَا أُوتِيَ النَّبِيُّونَ مِن رَّبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ

(විශ්වාසිකයිනි,) ‘අල්ලාහ් ව ද අප වෙත පහළ කරනු ලැබූ දෑ(අල් කුර්ආනය) ද ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් සහ අස්බාත්ට(යඃකූබ්ගේ පරපුරට) පහළ කරනු ලැබූ දෑ ද මූසා සහ ඊසාට පිරිනමනු ලැබූ දෑ ද (සෙසු) නබිවරුන්ට තම පරමාධිපති( වන අල්ලාහ්)ගෙන් පිරිනමනු ලැබූ දෑ ද අපි විශ්වාස කළෙමු. ඔවුන්ගෙන්(නබිවරුන්ගෙන්) කිසිදු කෙනෙකු අතර අපි වෙනසක් නොකරමු. තවද අපි ඔහුටම(අල්ලාහ්ටම) අවනත වන්නන් වෙමු” යැයි නුඹලා පවසවු.
137

فَإِنْ آمَنُوا بِمِثْلِ مَا آمَنتُم بِهِ فَقَدِ اهْتَدَوا ۖ وَّإِن تَوَلَّوْا فَإِنَّمَا هُمْ فِي شِقَاقٍ ۖ فَسَيَكْفِيكَهُمُ اللَّهُ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ

නුඹලා කුමන දෙයක් විශ්වාස කළෙහි ද එවන් දැයක් (යුදෙව් සහ ක්රිස්තියානි) ඔවුන් විශ්වාස කළේ නම් සැබැවින්ම ඔවුහු ඍජු මග ලබන්නෝමය. තවද ඔවුන් පිටුපාන්නේ නම් ඔවුන්මය භේදයෙහි පසුවන්නන්. ඔවුන්ට එරෙහිව අල්ලාහ් නුඹට ප්රමාණවත් වනු ඇත. තවද ඔහු සර්ව ශ්රාවකය සර්වඥය.
138

صِبْغَةَ اللَّهِ ۖ وَمَنْ أَحْسَنُ مِنَ اللَّهِ صِبْغَةً ۖ وَنَحْنُ لَهُ عَابِدُونَ

“(අප වර්ණවත් වන්නේ) අල්ලාහ්ගේ සිබ්ගාවෙන්ය(රන්ජනයෙන්ය). 84 සිබ්ගාවලින් අල්ලාහ්ට වඩා ඉතා අලංකාරයා කවරෙකු ද? තවද අපි ඔහුවම නමදින්නන් වෙමු” (යැයි ද නුඹලා පවසවු.)
84‘සිබ්ගා යන්නෙහි සෘජු පරිවර්තනය වන්නේ වර්ණ කිරීමය. මෙය කිතුනුවන්ගේ භෞතීස්ම කිරීමේ සම්ප්රදාය පිළිබඳව ඉඟියෙන් අදහස් දැක්වීමකි. භෞතීස්ම කිරීම සඳහා අරාබි බසින් ඉස්තිබ්ගා යන වචනය යොදන අතර සිබ්ගා යන වචනයේ හා මෙම පදයේ පද මූලය එකකි. දරු උපතින් සත්වන දිනයේ වර්ණ ජලයේ දරුවා නෑවීම, ඉස්ලාමයේ පවසා ඇති ලිංගාග්ර චර්මෙඡ්දනයට ආදේශයක් ලෙස දරුවාගේ බාහිර හා අභ්යන්තර පාරිශුද්ධත්වයට සහතිකයක් වශයෙන් ඔවුහු සලකති. මෙහි අර්ථ ශූන්යතාව පැහැදිලි කරමින් සැබෑ වර්ණය හෙවත් පාරිශුද්ධත්වය වන්නේ ඉස්ලාමයේ නිවැරදි මග අනුගමනය කිරීම බව අල්ලාහ් මෙම ආයතයෙන් පැහැදිලි කරයි.
139

قُلْ أَتُحَاجُّونَنَا فِي اللَّهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمْ وَلَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ وَنَحْنُ لَهُ مُخْلِصُونَ

“(නබිවරය,) ඔහු අපගේ පරමාධිපති හා නුඹලාගේ පරමාධිපතිව සිටියදී නුඹලා අල්ලාහ්ගේ විෂයෙහි අප සමග වාද කරන්නෙහු ද? අපගේ ක්රියාවන් අපටමය. නුඹලාගේ ක්රියාවන් නුඹලාටමය. තවද අපි ඔහු වෙනුවෙන්ම චිත්ත පාරිශුද්ධිය ඇත්තන් වෙමු” යැයි පවසවු.
140

أَمْ تَقُولُونَ إِنَّ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطَ كَانُوا هُودًا أَوْ نَصَارَىٰ ۗ قُلْ أَأَنتُمْ أَعْلَمُ أَمِ اللَّهُ ۗ وَمَنْ أَظْلَمُ مِمَّن كَتَمَ شَهَادَةً عِندَهُ مِنَ اللَّهِ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

“නුඹලා සැබැවින්ම ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් සහ අස්බාත්(යඃකූබ්ගේ පරපුර) ද යුදෙව්වන්ව හෝ කිතුනුවන්ව සිටි බව පවසන්නෙහු ද?” (යැයි විමසවු. නබිවරය, එම නබිවරුන්ගේ පිළිවෙත පිළිබඳව) “මැනවින් දන්නේ නුඹලා ද? එසේ නැතහොත් අල්ලාහ් දැ?”යි විමසවු. තමන් වෙත වූ අල්ලාහ්ගෙන් ලද සාක්ෂිය 85 වසන් කරන්නාට වඩා දරුණු අපරාධකරුවා කවරෙකු ද? නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් අනවධානියෙකු නොවේ.
85මෙම ආයතයෙහි “අල්ලාහ්ගෙන් ලද සාක්ෂිය වසන් කිරීම” යනු තව්රාතයෙහි හා ඉන්ජීලයෙහි එම ශුද්ධ වූ නබි ඉබ්රාහීම් තුමාණන් යුදෙව් හෝ කිතුනු හෝ නොවූ බව හා ඔහු සත්ය දහම තුළ සිටි බව සඳහන් වී තිබීම ඔවුන් වසන් කිරීම වේ. එනම් යුදෙව් හෝ කිතුනු දහම බිහි වූයේ නබි ඉබ්රාහීම් තුමාණන් ජීවත්ව සිටි සමයට පසුවයි. මොවුන් නබි ඉබ්රාහීම් තුමාණන් යුදෙව්වෙකු හෝ කිතුනුවෙකු වේ යැයි වාද කිරීම අර්ථ ශුන්ය බව මෙයින් අල්ලාහ් පැහැදිළි කරන්නේය.
141

تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ ۖ لَهَا مَا كَسَبَتْ وَلَكُم مَّا كَسَبْتُمْ ۖ وَلَا تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ

එය ඉකුත් වී ගිය ප්රජාවකි. ඔවුනට ඔවුන් උපයා ගත් දෑ හිමිය. නුඹලාට නුඹලා උපයා ගත් දෑ හිමිය. ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව නුඹලා ප්රශ්න කරනු නොලබන්නෙහුය.