الشرح

අශ්-ශර්හ්

الشرح

අශ්-ශර්හ් · Ash-Sharh

මක්කී8 පද්‍ය
1

أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ

(නබිවරය,) නුඹට නුඹගේ සිත අපි පුළුල් නොකළෙමු ද? 1
1යමක් කෙරෙහි කෙනෙක් ලබන තෘප්තිය සතුට හා ඒ ගැන වැටහීම පිළිබඳව පැහැදිලි කිරීමට අරාබි භාෂාවෙන් ‘ෂරහ්’ හෝ ‘ඉන්ෂිරාහ්’ යනුවෙන් සඳහන් කරනු ලැබේ. මෙයින් නිරූපණය වන තවත් අර්ථයක් නම් කෙනෙකුගේ හදවත තුළ තිබෙන පුළුල් දැනුමය. මෙහි දී නබි මුහම්මද් තුමාණන්ට අල්ලාහ් විසින් පිරිනැමූ දැනුම, බුද්ධිය හා සාමයෙන් පිරුණු හදවත ගැන ද සතුරන්ගෙන් එතුමා මුහුණ දුන් විවිධ ප්රශ්න ඉදිරියේ නොසැලී සිටි ආකාරය ද සඳහන් කෙරේ.
2

وَوَضَعْنَا عَنكَ وِزْرَكَ

තවද නුඹගේ බර නුඹගෙන් ඉවත් කර තැබුවෙමු.
3

الَّذِي أَنقَضَ ظَهْرَكَ

එය නුඹේ පිටකොන්ද පෙළමින් තිබිණ. 2
2නබි මුහම්මද් තුමාණන් හට ප්රථම වරට අල් කුර්ආන් ආයතයන් ලැබී එතුමාණන් කෙරෙහි අන් අය ඉස්ලාමයට ඇරයුම් කිරීමේ භාරදූර කාර්ය පවරනු ලැබු විට, එහි වගකීම අති මහත් යැයි එතුමාණෝ බිය වූහ. එම අවස්ථාවේ අල්ලාහ් එතුමාගේ හදවතට සැනසුමක් ඇති කළ බව මෙම ආයතයෙන් සඳහන් වෙයි.
4

وَرَفَعْنَا لَكَ ذِكْرَكَ

තවද නුඹට නුඹගේ කීර්තිය අපි උසස් කළෙමු. 3
3නබි මුහම්මද් තුමාණන්ගේ නාමය අල්ලාහ්ගේ නාමය සමග උච්චාරණය කිරීමේ අවස්ථා කිහිපයකින් එතුමාණන්ගේ කීර්තිය උසස් කිරීම සනාථ කරයි. නිදසුන් වශයෙන් සලාතය සඳහා කැඳවීමේ ‘අදාන්’ හා ‘ඉකාමත්’ පෙන්වා දිය හැක.
5

فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا

එබැවින් සැබැවින්ම දුෂ්කරතාව සමග පහසුව (බැඳී) ඇත. 4
4නබි මුහම්මද් තුමාණන් මුහුණ දුන් සියලු පීඩාවන්, අවසානයේ ඉවත්ව යන බවට වූ ශුභාරංචිය එතුමාට දෙනු ලැබුවේ මෙසේය. එයට අමතරව පීඩාවන් හා දුක් කම්කටොලු වලට ලක් වන සෑම කෙනෙක්ම ඉවසීමෙන් යුතුව අල්ලාහ්ගෙන් උපකාරය හා සහනය පැතුවේ නම් සැබැවින්ම තමන් අභිමත කරන මොහොතේ උපකාර ලැබෙන බව අල්ලාහ් සනාථ කරයි.
6

إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا

සැබැවින්ම දුෂ්කරතාව සමග පහසුව (බැඳී) ඇත.
7

فَإِذَا فَرَغْتَ فَانصَبْ

එබැවින් (නුඹගේ සමූහ සේවාවන්) අවසන් කළේ නම් (නැමදුම් කටයුතු සඳහා) නැගී සිටිවු. 5
5ඉස්ලාමය වෙනුවෙන් සිදු කරන සේවාවන්හි එනම් දේශනා කිරීම හෝ මුස්ලිම්වරුන්ට ආරක්ෂාව සැලසීම වැනි බාහිර සමූහ සේවාවන්හි නියැළීමෙන් පසු අල්ලාහ් වෙත හැරී අතිරේක නැමදුම්හි පුද්ගලිකව නිරත වන මෙන් නබි මුහම්මද් තුමාණන්ට මින් පවසා ඇත. එම අතිරේක නැමදුම් තුළින් අල්ලාහ් කෙරෙහි වූ එතුමාගේ සම්බන්ධතාව තව තවත් ශක්තිමත් විය. රාති්ර කාලයේ දීර්ඝ වේලාවක් එතුමා අතිරේක සලාතයේ නිරත වීමට හේතුව මෙයයි. එබැවින් බාහිර සමූහ සේවාවන් හි නියැළෙන කෙනෙකු එම සේවාවන් නිම කළ පසු තම පරමාධිපති වෙත හැරී අවංකව පුද්ගලිකව නැමදුම් කිරීම කිසිවිටෙක අමතක නොකළ යුතුය. මෙහි දී අනිවාර්යය සලාතය පිළිබඳව සඳහන් නොවේ. එය ඊට නියමිත වේලාවෙහිම ඉටු කළ යුතුය.
8

وَإِلَىٰ رَبِّكَ فَارْغَب

තවද නුඹගේ පරමාධිපති වෙත උද්යෝගයෙන් යොමු වවු.