البلد
අල්-බලද් · Al-Balad
මක්කී20 පද්‍ය
1
لَا أُقْسِمُ بِهَـٰذَا الْبَلَدِ
මෙම (මක්කා) නගරය මත දිවුරමි.
2
وَأَنتَ حِلٌّ بِهَـٰذَا الْبَلَدِ
(නබිවරය,) නුඹ මෙම නගරයෙහි ස්වාධීනයෙකු වන්නෙහිය. 1
1එවකට මක්කා නගරය තුළ සතුරන් සමග සටන් කිරීමට නබි මුහම්මද් තුමාණන්ට අල්ලාහ්ගේ අනුමැතිය නොවීය. නමුත් ඉදිරි කාලයේ දී එසේ සටන් කිරීමට අවසර දෙනු ලබන අවස්ථාවක් පැමිණෙනු ඇතැයි යන්න මෙහි අර්ථයයි. මක්කා ජය ගත් දිනයේ එක් දිනකට පමණක් සටන් කිරීමට නබි මුහම්මද් තුමාණන්ට අනුමත දෙන ලද නමුත් කිසිදු ලේ වැගිරීමකින් තොරව මක්කාව ජය ගන්නට එතුමාට හැකි විය. වෙනත් විවරණයක ‘මෙම මක්කා නගරයේ නබිවරය, නුඹව ඝාතනය කිරීම අනුමත දෙයක් ලෙස ඔවුහු සැලකුවෝය. මේ අනුව මිථ්යාදෘෂ්ටිකයින් මක්කා සීමාව තුළ සිව්පාවෙක් පවා ඝාතනය කිරීම තහනම් කළ නමුත් නබිවරයාව ඝාතනය කරන්නට ඔවුහු කුමන්ත්රණ කළහ. මෙවැනි කුමන්ත්රණ මැද අල්ලාහ් අවසාන විජයග්රහණය නබි මුහම්මද් තුමාණන්ට දෙන බව ද දැන් මුහුණ පා ඇති දුෂ්කරතාවන් සියල්ල තාවකාලික බවද පවසා එතුමාණන්ගේ සිතට මෙම ආයතයෙන් සහනයක් දෙන ලද බවය. තුන්වන විවරණය ඉතා පහසු එකකි. ‘හිල්’ යන අරාබි පදයට වාසස්ථානය යන අර්ථය වේ. එනම් නබි මුහම්මද් තුමාණන් ඔබ මේ නගරයේ වාසය කරන හෙයින් එය මත දිවුරා පවසමි යැයි අල්ලාහ් සඳහන් කරයි.
3
وَوَالِدٍ وَمَا وَلَدَ
තවද පියා(ආදම්) හා ඔහු ජනිත කළ අය මත ද (දිවුරමි). 2
2ප්රථම මිනිසා වන නබි ආදම් තුමාණන් හා ඔහුගේ පරපුර මෙයින් අදහස් කෙරේ.
4
لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي كَبَدٍ
සැබැවින්ම අපි මිනිසාව දැඩි පරිශ්රමයක් තුළ (ජීවත් වන්නෙකු ලෙස) මැව්වෙමු. 3
3මිහිතලයේ කිසිවෙකුට සැප සම්පන්නව සහ සුඛෝපභෝගීව සදාකාලිකව ජීවත් විය නොහැකි බව මෙම වාක්යයෙන් අදහස් කෙරේ. මිනිසා මවනු ලැබුවේ බලවත් පරිශ්රමයන් තුළ ජීවත් වීමටය. නමුත් තමන් විඳින පරිශ්රමයන් මෙලොව ජීවනෝපාය සඳහා පමණක් නොව මතුලොව සැප සම්පන්න ජීවිතයක් සඳහා ද වේ. ඔහු ප්රශ්න වලට ඉවසීමෙන් මුහුණු දිය යුත්තේ එම නිසාය. මක්කා නුවර මුස්ලිම්වරුන් එහි ජීවත් වූ සෙසු ජනයාගෙන් මහත් පීඩාවට ලක් වූ හෙයින් මෙලොව ජීවිතයේ ස්වභාවය මතක් කර ඒවා ඉවසීමෙන් දරා ගන්නා ලෙස ඔවුන්ට මෙයින් සිහි ගන්වනු ලැබේ.
5
أَيَحْسَبُ أَن لَّن يَقْدِرَ عَلَيْهِ أَحَدٌ
ඔහු වෙත කිසිවෙකුට බලය යෙදිය නොහැක්කේම යැයි ඔහු සිතන්නේ ද?-
6
يَقُولُ أَهْلَكْتُ مَالًا لُّبَدًا
‘බහුල ලෙස සම්පත් වියදම් කළෙමි’ යැයි ඔහු (ආඩම්බරයෙන්) පවසයි. 4
4මෙයින් අදහස් කරනුයේ ලෝකයාට පෙන්වීම පිණිස යහපත් චේතනාවකින් තොරව ධනවතුන් විසින් ආඩම්බරව වියදම් කිරීමය. මෙවැනි ධනවතුන් මුළු විශ්වයම තමන්ට අයත් බව ද තමන්ට කිසිදු හානියක් සිදු නොවන බව ද පුරසාරම් දොඩති.
7
أَيَحْسَبُ أَن لَّمْ يَرَهُ أَحَدٌ
කිසිවෙකු ඔහුව නොදුටුවේ යැයි ඔහු සිතන්නේ ද?
8
أَلَمْ نَجْعَل لَّهُ عَيْنَيْنِ
අපි ඔහුට දෙනෙත් ඇති නොකළෙමු ද?
9
وَلِسَانًا وَشَفَتَيْنِ
තවද දිව හා දෙතොල් ද (ඇති නොකළෙමු ද?).
10
وَهَدَيْنَاهُ النَّجْدَيْنِ
තවද අපි (යහ හා අයහ) මාර්ග දෙක ඔහුට පෙන්වා දුන්නෙමු.
11
فَلَا اقْتَحَمَ الْعَقَبَةَ
‘අකබා’ (ප්රපාතය මෙතෙක්) ඔහු තරණය නොකළේය. 5
5‘අකබා’ යන්නෙහි අර්ථය නැගීමට දුෂ්කර කඳු මාර්ගයකි. මෙම ආයතයට පසුව ඇති ආයතයන්ට අනුව මෙහි එය භාවිත කර ඇත්තේ දුෂ්කරතාවෙන් යුත් යහපත් කි්රයා ගෙන හැර පෑමටය. එය දුෂ්කර ලෙස පෙණුන ද එයින් මතු ලොවට ඉමහත් ප්රයෝජන ඇති බවය.
12
وَمَا أَدْرَاكَ مَا الْعَقَبَةُ
තවද ‘අකබා’ යනු කුමක් දැ’යි නුඹව දැනුවත් කළේ කුමක් ද?
13
فَكُّ رَقَبَةٍ
(එය) වහලෙකු නිදහස් කිරීමය. 6
6වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 47:4 පාද සටහන් සමග බලන්න.
14
أَوْ إِطْعَامٌ فِي يَوْمٍ ذِي مَسْغَبَةٍ
නැතහොත් සාගින්නෙන් පෙළෙන දිනක ආහාර සැපයීමය.
15
يَتِيمًا ذَا مَقْرَبَةٍ
(එනම්) ඥාතී වූ අනාථයෙකුට හෝ
16
أَوْ مِسْكِينًا ذَا مَتْرَبَةٍ
පොළොවෙහි වැතිරී සිටින දුප්පතෙකුට 7 (හෝ ආහාර සැපයීමය.)
7අන්ත දිළිඳුකම හා කුසගින්න පෙන්වා දීම සඳහා ‘පොළොවේ වැතිරී සිටින’ යන යෙදුම අරාබිවරුන් භාවිත කරයි.
17
ثُمَّ كَانَ مِنَ الَّذِينَ آمَنُوا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِ
පසුව (අල්ලාහ්ව) විශ්වාස කර ඉවසීම පිළිබඳව එකිනෙකාට උපදෙස් දී කරුණාව පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය අතුරින් ඔහු විය.
18
أُولَـٰئِكَ أَصْحَابُ الْمَيْمَنَةِ
ඔවුන්මය දකුණතෙහි (වාර්තා පොත දෙනු ලැබූ) සගයින් වන්නෝ.
19
وَالَّذِينَ كَفَرُوا بِآيَاتِنَا هُمْ أَصْحَابُ الْمَشْأَمَةِ
කවුරුන් අපගේ වදන් ප්රතික්ෂේප කළේද, ඔවුන්මය වමතෙහි (වාර්තා පොත දෙනු ලැබූ) සගයින් වන්නෝ.
20
عَلَيْهِمْ نَارٌ مُّؤْصَدَةٌ
ඔවුන්ව (මුළුමණින්ම) වසා ගත් ගින්නක් ඇත.