البروج

අල්-බුරූජ්

البروج

අල්-බුරූජ් · Al-Buruj

මක්කී22 පද්‍ය
1

وَالسَّمَاءِ ذَاتِ الْبُرُوجِ

තාරකා මණ්ඩල වලින් යුත් අහස 1 මත දිවුරමින්.
1පෙළපොතෙහි සඳහන් අරාබි පදය ‘බුරූජ්’ය මෙම වචනය විවිධාකාර අර්ථයන්ගෙන් යුක්ත නමුත් තාරකා යන අර්ථය ද ගැබ්ව ඇත. මෙම අර්ථය මුල් කර ගනිමින් මෙහි අපි ‘තාරකා මණ්ඩලය’ යනුවෙන් අර්ථකථනය කර ඇත්තෙමු.
2

وَالْيَوْمِ الْمَوْعُودِ

තවද ප්රතිඥා දෙනු ලැබූ (විනිශ්චය) දිනය මත දිවුරමින්.
3

وَشَاهِدٍ وَمَشْهُودٍ

තවද සහභාගි වන දැය හා සහභාගි කරවනු ලබන දැය මත දිවුරමින්. 2
2‘සහභාගි වන දැය’ යන්නට සිකුරාදා දිනය යනුවෙන් ද ‘සහභාගි කරවනු ලබන දැය’ යන්නට හජ් වතාවන් හි යෙදෙන්නන් දුල් හිජ්ජා මස 9 වන දින අරෆා නම් පිටියට රැස්වීම යනුවෙන් ද බොහෝ අල් කුර්ආන් විද්වතුන් අර්ථ දක්වා ඇත. සිකුරාදා දින ජනයා තම ප්රදේශයේ එක් රැස් වන අතර අරෆා දින ඒ උදෙසා එතැනට ගමන් කළ යුතුව තිබේ. මේ පිළිබඳව වෙනත් අර්ථ දැක්වීම්ද සෙසු විද්වතුන් විසින් පවසා ඇත.
4

قُتِلَ أَصْحَابُ الْأُخْدُودِ

අගලෙහි සගයින් 3 ශාප කරනු ලැබූහ.
3මෙම ආයතයේ සිට සඳහන් සිද්ධිය නබි ඊසා තුමාණන් සහ නබි මුහම්මද් තුමාණන් අතර කාලයේ සිදුවූවකි. මේ ගැන නබි මුහම්මද් තුමාණන් පැවසූ හදීසයකට අනුව මෙසේය. දිනක් එතුමාණෝ මෙසේ ප්රකාශ කළහ. නුඹලාට පෙර සිටි සමූහයක හූනියම්කරුවෙකුගෙන් උපදෙස් ලබා ගන්නා රජ කෙනෙකු සිටියේය. එම හූනියම්කරු මහලු වියට පත්ව ඇති බැවින් ඔහු තම රජු අමතා ‘සැබැවින්ම මා මහලු වියට පත්ව ඇත්තෙමි. ඔබ මා වෙත කොලුවෙකු එව්වේ නම් ඔහුට මෙම හූනියම් ශාස්ත්රය ඉගැන්විය හැක’ යැයි පැවසූ විට රජු ද කොලුවෙකු තෝරා ඔහු වෙත යැව්වේය. මෙම කොලුවා යන එන අතරමග ආගමික උත්තමයෙකුගේ සභාවක් තිබුණි. ඊට සහභාගි වූ එම කොලුවා ඔහුගේ කථාවෙන් පුදුමයට පත් විය. කොලුවා හූනියම්කරු වෙත යන අතරවාරයේ උත්තමයාගේ සභාවට සහභාගී වී ප්රමාද වී යෑමට ද සිරිතක් කර ගත්තේය. ඒ හේතුවෙන් හූනියම්කරු කොලුවාට දඬුවම් කළේය. මේ පිළිබඳව කොලුවා උත්තමයාට පැවසූ විට ”නුඹ හූනියම්කරු වෙත ප්රමාද වී යාමට බිය වූයේ නම් නිවසේ කටයුත්තකට ප්රමාද වූ බව ද නුඹ නිවැසියන් වෙත ප්රමාද වී යාමට බිය වූයේ නම් හූනියම්කරුගේ කටයුත්තකට ප්රමාද වූ බව ද පවසන්නැ”යි ඔහු උපදෙස් දුන්නේය. දිනක් විශාල සතෙකු මිනිසුනට බාධා කරමින් විය. මෙය දුටු කොලුවා ”මා අද දින හූනියම්කරු ශ්රේෂ්ඨ ද? නැතහොත් ආගමික උත්තමයා ශ්රේෂ්ඨ දැ?යි දැන ගන්නෙමි”යි පවසා ගලක් ගෙන ”අහෝ අල්ලාහ්, මෙම උත්තමයාගේ ක්රියාව හූනියම්කරුගේ ක්රියාවට වඩා නුඹට පි්රයමනාප නම් මිනිසුනට මාර්ගයේ ගමන් කිරීමට හැකි වන අයුරින් මෙම සතාව මරා දමනු මැනව”යි ප්රාර්ථනා කොට ඌ වෙත එම ගල විසි කළේය. මින් එම සතා මරණයට පත් වූ අතර මිනිසුන් ද එතැනින් ගමන් කළහ. පසුව එම කොලුවා උත්තමයා වෙත පැමිණ සිදු වූ දෑ පිළිබඳව පැවසූ අවස්ථාවේ ”අහෝ පුතණුවනි, නුඹ අද දින මටත් වඩා උසස් කෙනෙකි. මා නුඹ කෙරෙන් බලාපොරොත්තු වූ දෑ නුඹ හිමි කරගෙන තිබේ. සැබැවින්ම නුඹ පිරික්සුමට ලක් වනු ඇත. එසේ නුඹ පිරික්සුමට ලක් වූයේ නම් මා පාවා නොදෙන්නැ”යි පැවසුවේය. කොලුවා ලාදුරු කුෂ්ට රෝග වැනි විවිධ රෝග සුව කළේය. මෙය ආරංචි වූ රාජ්ය සභාවේ අන්ධ සභිකයෙකු බොහෝ තෑගි බෝග සමඟ කොලුවා වෙත පැමිණ ”නුඹ මට දෑසේ පෙනුම ලබා දුන්නේ නම් මෙම ත්යාග සියල්ල නුඹට හිමිය” යනුවෙන් පැවසුවේය. එවිට එම කොලුවා ‘මා කිසිවෙකු සුව නොකරන්නෙමි. සැබැවින්ම සුව කරනුයේ අල්ලාහ්මය. නුඹ අල්ලාහ්ව විශ්වාස කළේ නම්, මා නුඹගේ නිරෝගිභාවය සඳහා අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරන්නෙමි’යි පැවසුවේය. පසුව ඔහු අල්ලාහ්ව විශ්වාස කළ පසු ඔහුට සුවය ලැබුණි පසුව ඔහු පුරුදු පරිදි රාජ්ය සභාවේ අසුන් ගත් අවස්ථාවේ ඔහුව දුටු රජතුමා ”නුඹට දෑසේ පෙනුම ලැබුනේ කෙසේදැ”යි විමසූ විට ”මාගේ පරමාධිපතිගෙනි” යැයි සභිකයා පිළිතුරු දුන්නේය. එවිට රජතුමා ‘නුඹට මා හැර වෙනත් පරමාධිපතියෙකු සිටීදැ’යි ඇසූ විට සභිකයා ”අල්ලාහ් මාගේ හා නුඹගේ පරමාධිපතිය” යන්නෙන් පිළිතුරු දුන්නේය. එවිට කෝපයට පත් රජතුමා ඔහුව අල්ලාගෙන කොලුවා ගැන හෙළි කරන තෙක් වද හිංසාවට ලක් කළේය. වහාම කොලුවාව රජ මාලිගයට ගෙන් වූ රජතුමා ”පුතණුවනි, අන්ධයින් ලාදුරු කුෂ්ට රෝගීන් සුව කරන තරමට නුඔගේ හූනියම බලවත් වූයේදැ”යි ප්රශ්න කළේය. එවිට එම කොලුවා ‘මා කිසිවෙකු සුව නොකරන්නෙමි සැබැවින්ම සුව කරනුයේ අල්ලාහ්ය’ යැයි පිළිතුරු දුන්නේය. එවිට කෝපයට පත් රජතුමා ඔහුව අල්ලාගෙන උත්තමයා ගැන හෙළි කරන තෙක් වද හිංසාවට ලක් කළේය. වහාම උත්තමයාව රජ මාලිගයට ගෙන් වූ රජතුමා ”නුඹේ දහමෙන් නුඹ ඉවත් වන්නැ”යි අණ කළේය. උත්තමයා එය ප්රතික්ෂේප කළ බැවින් ඔහුව කියතක් වැනි උපකරණයක තබා හිස දෙකඩ වන සේ කපා හෙළීය.පසුව සභිකයාව ගෙන්වූ රජතුමා ”නුඹේ දහමෙන් නුඹ ඉවත් වන්නැ”යි අණ කළේය. ඔහු ද එය ප්රතික්ෂේප කළ බැවින් ඔහුව කියතක් වැනි උපකරණයක තබා හිස දෙකඩ වන සේ කපා හෙළීය. පසුව කොලුවාව ගෙන්වූ රජතුමා ‘නුඹේ දහමෙන් නුඹ ඉවත් වන්නැ’යි අණ කළේය. ඔහු ද එය ප්රතික්ෂේප කළේය. වහාම රජු රාජ්ය සේවකයින් පිරිසක් කැඳවා (ජනයාට නොපෙනෙන සේ) මොහුව එක්තරා කන්දකට කැඳවා ගොස් ඔහු තම දහමෙන් ඉවත් වන්නේ නම්, ආපසු කැඳවා ගෙන එන ලෙසත් ඔහු ප්රතික්ෂේප කළේ නම් පහළට තල්ලු කර දමන ලෙසත් නියෝග කර යැවීය. පසුව ඔවුන් කොලුවාව කැඳවා කඳු මුදුනට ගිය නමුත් ඔහු ”මාගේ පරමාධිපතියාණෙනි, නුඹ කැමැති අයුරින් මා බේරා ගනු මැනව”යි ප්රාර්ථනා කළේය. එවිට කන්ද කම්පනයට පත් වී රාජ්ය සේවකයින් පිරිස බිමට ඇද වැටුණෝය. කොලුවා පමණක් ඇවිද රජ වාසල වෙත පැමිණියේය. එවිට ඔහුව දුටු රජතුමා ”නුඹ සමග ගිය පිරිසට නුඹ කුමක් කළේ දැ?”යි විමසූ විට ”අල්ලාහ් ඔවුන්ගෙන් මා අරක්ෂා කළේය”යැයි කොලුවා පිළිතුරු දුන්නේය. පසුව තවත් රාජ්ය සේවකයින් පිරිසක් කැඳවා ‘ඔහුව නැවකින් මුහුද මැදට ගෙන ගොස්, ඔහු තම දහමෙන් ඉවත් වන්නේ නම් ආපසු කැඳවා ගෙන එන ලෙසත් ඔහු ප්රතික්ෂේප කළේ නම්, මුහුදට තල්ලු කරන ලෙසත් නියෝග කර යැවූහ. පසුව ඔවුන් කොලුවාව කැඳවා මුහුද මැදට ගිය නමුත් ඔහු ‘මාගේ පරමාධිපතියාණෙනි, නුඹ කැමැති අයුරින් මා බේරා ගනු මැනව’යි ප්රාර්ථනා කළේය. එවිට රාජ්ය සේවකයින් සමග නැව ගිලුනු අතර කොලුවා පමණක් රජ වාසල වෙත පැමිණියේය. එවිට ඔහුව දුටු රජතුමා ”නුඹ සමග ගිය පිරිසට නුඹ කුමක් කළේ දැ?”යි විමසූ විට ”අල්ලාහ් ඔවුන්ගෙන් මා අරක්ෂා කළේය”යැයි කොලුවා පිළිතුරු දුන්නේය. එවිට කොලුවා රජතුමා අමතා ”මා නුඹට පවසන දෑ නුඹ ඉටු කරන තෙක් මා ඝාතනය කළ නොහැක” ”එසේ නම් ඒ කුමක්දැ?”යි රජතුමා ඇසීය. ”නුඹ රට වැසියන් සියලු දෙනා එක් ස්ථානයකට කැඳවා එහි මධ්යයෙහි ඉඳි ගස් කඳක් සිටුවා පසුව මාගේ කොපුවෙන් ඊයක් ගෙන දුන්නෙහි තබා ඉලක්ක කොට ‘බිස්මිල්ලාහි රබ්බිල් ගුලාම්’ (මෙම කොලුවාගේ පරමාධිපතිගේ නාමයෙන්) යැයි පවසා මට විදින්නැ”යි පැවසුවේය. රජු ද එලෙසම ඉටු කළේය. එවිට එම ඊය කොලුවාගේ නළලෙහි පැත්තක ඇනුණු අතර ඔහු එතැනට අත තබා ගෙන මරණයට පත් විය. මෙය දුටු ජනයා ‘අපි මෙම කොලුවාගේ පරමාධිපතිව විශ්වාස කරන්නෙමු’යි පැවසුවෝය. එම අවස්ථාවේ පිරිසක් පැමිණ, ”රජතුමණි, මිනිසුන් අල්ලාහ්ව පිළිගනියි යැයි ඔබ බිය වෙමින් සිටි දෑ සිදු වී ඇත.” යනුවෙන් පැවසුවේය. ඊට කෝපයට පත් රජු සෑම මංසන්ධියකම වළවල් හාරා එහි ගිනි මොළවා ඔවුන් එම දහමෙන් ඉවත් නොවන්නේ නම් ගිනි මැළයට දමන මෙන් නියෝග පැනවීය. රාජ්ය සේවකයින් නියෝගය එලෙසම ඉටු කළෝය. අවසානයේ ළදරුවෙකු උසුලා ගත් කාන්තාවක් එයට පැනීමට තැති ගනිමින් පසු වූවාය. එවිට එම ළදරුවා ”මෑණියනි, සැබැවින්ම නුඹ සත්යයෙහි සිටින්නෙහිය. එබැවින් ඉවසිලිවන්ත වන්නැ”යි පැවසීය. පසුව මෙම සූරාවේ සඳහන් පරිදි අල්ලාහ් විශ්වාසිකයන්ට මොවුන් විසින් සිදු කළ මෙම සාපරාධි ක්රියාවට පිළිතුරු වශයෙන් අගල්හි ඇවිළුනු ගින්න ඉන් පිටතට ඇදී ගොස් අවට සිටි එම අපරාධකරුවන්ව විනාශයට පත් කළේය.
5

النَّارِ ذَاتِ الْوَقُودِ

(එය) ඉන්ධන වලින් යුක්ත ගින්නකි.
6

إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ

(රජු හා සේවකයින් වන) ඔවුන් ඒ අසල ඉඳගෙන සිටිය දී
7

وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِالْمُؤْمِنِينَ شُهُودٌ

තවද ඔවුහු විශ්වාසිකයින්ට එරෙහිව කරමින් සිටි දෑ නරඹන්නන් වූහ.
8

وَمَا نَقَمُوا مِنْهُمْ إِلَّا أَن يُؤْمِنُوا بِاللَّهِ الْعَزِيزِ الْحَمِيدِ

අති බලසම්පන්න වූ සර්ව ප්රශංසා හිමි අල්ලාහ්ව විශ්වාස කළ හේතුවෙන් මිස ඔවුහු ඔවුනට දඬුවම් නොකළහ.
9

الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ

ඔහු කවරෙකු ද යත් අහස්හි හා මිහිතලයෙහි ආධිපත්යයේ හිමිකරුය. එමෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නාය.
10

إِنَّ الَّذِينَ فَتَنُوا الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ثُمَّ لَمْ يَتُوبُوا فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الْحَرِيقِ

සැබැවින්ම කවුරුන් විශ්වාසිකයන්ව හා විශ්වාසික කාන්තාවන්ව පීඩාවට පත් කර පසුව (ඒ පිළිබඳව) පශ්චාත්තාප නොවූයේ ද ඔවුනට නිරයේ දඬුවම ඇත. තවද ඔවුනට ඇවිළෙන ගින්නේ දඬුවම ද ඇත.
11

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۚ ذَٰلِكَ الْفَوْزُ الْكَبِيرُ

තවද සැබැවින්ම කවුරුන් විශ්වාස කර යහකම් කළේ ද ඔවුනට (ස්වර්ග) උයන් ඇත. ඊට පහළින් ගංගාවෝ ගළා බසිති. එයයි මහත් වූ ජයග්රහණය.
12

إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ

සැබැවින්ම නුඹගේ පරමාධිපතිගේ ග්රහණය ඉතා දැඩිය.
13

إِنَّهُ هُوَ يُبْدِئُ وَيُعِيدُ

සැබැවින්ම (පෙර නිදසුනකින් තොරව සියල්ල) උත්පාදනය කරන්නේ ඔහුමය. තවද (ඔහු මරණින් පසු නැවත නැගිටුවන දිනයේ) පුනරුත්පාදනය කරන්නේය.
14

وَهُوَ الْغَفُورُ الْوَدُودُ

තවද ඔහු අති ක්ෂමාශීලීය අති සෙනෙහෙවන්තය.
15

ذُو الْعَرْشِ الْمَجِيدُ

අර්ෂ්හි 4 අති කීර්තිමත් හිමිකරුය.
4අල් කුර්ආන් 81:20 ආයතයට අදාළ පාද සටහන බලන්න.
16

فَعَّالٌ لِّمَا يُرِيدُ

ඔහු සිතන දෑ එලෙසින්ම කරන්නාය.
17

هَلْ أَتَاكَ حَدِيثُ الْجُنُودِ

ෆිර්අවුන් හා සමූද් සේනාවන් පිළිබඳ පුවත (නබිවරය) නුඹ වෙත පැමිණ තිබේ ද?
18

فِرْعَوْنَ وَثَمُودَ

ෆිර්අවුන් හා සමූද් සේනාවන් පිළිබඳ පුවත (නබිවරය) නුඹ වෙත පැමිණ තිබේ ද?
19

بَلِ الَّذِينَ كَفَرُوا فِي تَكْذِيبٍ

නමුත් ප්රතික්ෂේප කළවුන් අසත්යය කිරීමෙහි(පසු වි)ය.
20

وَاللَّهُ مِن وَرَائِهِم مُّحِيطٌ

අල්ලාහ් ඔවුන්ගේ පසු පසින් සිට සර්ව ප්රකාරයෙන්ම ග්රහණය කරන්නාය.
21

بَلْ هُوَ قُرْآنٌ مَّجِيدٌ

ඇත්තෙන්ම මෙය අති කීර්තිමත් කුර්ආනයයි.
22

فِي لَوْحٍ مَّحْفُوظٍ

(එය) ‘ලව්හුල් මහ්ෆූල්’ (නම් ආරක්ෂිත ඵලකයෙ)හිය. 5
5එය අල්ලාහ් අබියස වූ ආරක්ෂිත ඵලකයකි. භෞතික හා පාරභෞතික සියලු දෑ අල්ලාහ් විසින් මැවීමට පෙර ඉන් මත්තට සිදු වන්නා වූ සියලු කරුණු එම ඵලකයෙහි අල්ලාහ් විසින් සටහන් කර ඇත.