إِذَا الشَّمْسُ كُوِّرَتْ
හිරු අකුළනු ලැබූ විට
1මෙහි දී ‘තක්වීර්’ යන අරාබි පදයට භාෂාමය අර්ථය ‘ඇකිළීම’ යන්නය. නමුත් මෙය කෙසේ සිදු වන්නේ දැයි අපට නිශ්චිතව උපකල්පනය කළ නොහැක. යම් ක්රියාවලියක සමාප්තියට ද මෙම වචනය භාවිත කෙරේ. මේ අනුව අල් කුර්ආන් විවරණකරුවන් සූර්යය තාපය හා ආලෝකය යම් කලක නිවී යන බව පවසා ඇත. මෙසේ නිවී යෑම හිරු ඇකිළෙන්නාක් මෙන් පවතින්නට පුළුවන. නූතන විද්යාව ද මේ පිළිබඳව සමාන අදහසක් ඉදිරිපත් කර ඇත.
وَإِذَا النُّجُومُ انكَدَرَتْ
තවද තරු විසිරී හැළුණු විට
وَإِذَا الْجِبَالُ سُيِّرَتْ
තවද කඳු ඉවත් කරනු ලැබූ විට.
وَإِذَا الْعِشَارُ عُطِّلَتْ
තවද ගැබ් කාලය පූර්ණ වූ ඔටු දෙනුන් අත හැර දමනු ලැබූ විට.
2අරාබිකරයේ ඔටු දෙන වටිනා සම්පතක් ලෙස සැලකේ. ඌ මාස දහයක කාලයක් ගැබ් ගෙන සිට පැටවෙකු බිහි කිරීම අයිතිකරුට මහත් සතුට ගෙන දෙන පුවතකි. එමනිසා අයිතිකරු එම සතාව ඉතා ප්රවේශමෙන් ආරක්ෂා කරයි. අති භයානක අවස්ථාවක හැර ඒ සතාව නොසලකා හරින්නට කිසිවිටෙක අයිතිකරු කටයුතු නොකරයි. අති බියකරු වූ අවසන් දිනය පැමිණි විට එවැනි ඔටු දෙනුන් පවා අත හැර දමනු ලබන බව මෙයින් අදහස් වේ.
وَإِذَا الْوُحُوشُ حُشِرَتْ
තවද වන සතුන් එක් රැස් කරනු ලැබූ විට.
3වන සතුන් පවා තමන් අතර තිබෙන වර්ග භේදය නොතකා එම දිනයේ බිහිසුනු තත්ත්වය හේතුවෙන් එක් රැස් වන බව මෙයින් අදහස් වේ.
وَإِذَا الْبِحَارُ سُجِّرَتْ
තවද මුහුදු (උතුරා ගොස්) ඇවිළනු ලැබූ විට
4‘තස්ජීර්’ යන අරාබි පදයට ‘ගිනි මෙළවීම’ හෝ ‘ගිනි ඇවිළීම’ යන අර්ථයන් ඇත. මෙම ආයතයට අනුව මුහුද උතුරා ගොස් පසුව එය ගින්නක් බවට පත් වන බව ඉස්ලාමීය විද්වතුන් අදහස් පළ කර ඇත. මෙම සූරාවේ 1 සිට 6 දක්වා ආයතයන්හි ප්රථම හොරණෑව පිඹිනු ලබන අවස්ථාවේ ඇති වන සිදුවීම් පිළිබඳව සඳහන් වී ඇති අතර ඉන් පසුව ඇති ආයතයන්හි දෙවන හොරණෑව පිඹිණු ලබන අවස්ථාවේ ඇති වන සිදුවීම් පිළිබඳව සඳහන් කරයි.
وَإِذَا النُّفُوسُ زُوِّجَتْ
තවද ආත්මයන් සම්බන්ධ කරනු ලැබූ විට.
5මෙම ආයතය පිළිබඳව විවිධ මත ඇත. ඒ අතුරින් මතු ලොවෙහි ආත්මයන් ශරීරයන් සමග සම්බන්ධ වීම එක් අදහසකි. තවත් අදහසක් නම් යහපත් අය යහපත් අය සමගත් අයහපත් අය අයහපත් අය සමග සම්බන්ධ වීමය.
وَإِذَا الْمَوْءُودَةُ سُئِلَتْ
තවද පණ පිටින් වළලනු ලැබූ දැරියගෙන් ඇයව කුමන පාපයක් සඳහා ඝාතනය කරනු ලැබුවේ දැ?යි ප්රශ්න කරනු ලැබූ විට.
6ගැහැනු දරුවෙකුගේ උපත නබිත්වයට පෙර අරාබි සමාජයේ ඇතැම් ගෝත්රිකයින් සැලකුවේ ශාපයට හා ලැජ්ජාවට හේතුවක් ලෙසිනි. එබැවින් ගැහැනු දරුවෙකු ඉපදුනු විට ඇයව පණ පිටින් වළලා දැමීම ඔවුන්ගේ සිරිතක් විය. මෙම සිරිත ඉස්ලාමය මුළුමණින්ම අහෝසි කළේය. මෙම ආයතයේ ප්රශ්නය අසනු ලබන්නේ දැරියගෙන් වුව ද සැබැවින්ම එම ප්රශ්නය යොමු වනුයේ එම දරුවා විනාශ කිරීමේ පාපය සිදු කළ පියාටය.
بِأَيِّ ذَنبٍ قُتِلَتْ
තවද පණ පිටින් වළලනු ලැබූ දැරියගෙන් ඇයව කුමන පාපයක් සඳහා ඝාතනය කරනු ලැබුවේ දැ?යි ප්රශ්න කරනු ලැබූ විට.
وَإِذَا الصُّحُفُ نُشِرَتْ
තවද (ක්රියාවන් පිළිබඳ) සටහන් ලේඛන දිගු හරිනු ලැබූ විට
7මෙලොව ජීවිතයේ සියලු ක්රියාවන් මලක්වරුන් විසින් සටහන් කරනු ලැබේ. එම සටහන් ලේඛන මතු ලොවෙහි දිගු හැර පෙන්වීම පිළිබඳවය මෙහි සඳහන් වන්නේ.
وَإِذَا السَّمَاءُ كُشِطَتْ
තවද අහස ඉවත් කරනු ලැබූ විට
وَإِذَا الْجَحِيمُ سُعِّرَتْ
තවද නිරා ගින්න මොළවනු ලැබූ විට
وَإِذَا الْجَنَّةُ أُزْلِفَتْ
තවද (ස්වර්ග) උයන (එයට හිමි අය වෙත) සමීප කරනු ලැබූ විට
عَلِمَتْ نَفْسٌ مَّا أَحْضَرَتْ
සෑම ආත්මයක්ම තමන් ගෙන ආ (යහ හා අයහ) දෑ පිළිබඳව දැන ගනිති.
فَلَا أُقْسِمُ بِالْخُنَّسِ
දිව යමින් නොපෙනී හීන වී යන තාරකා මත මම දිවුරමි,
الْجَوَارِ الْكُنَّسِ
දිව යමින් නොපෙනී හීන වී යන තාරකා මත මම දිවුරමි,
وَاللَّيْلِ إِذَا عَسْعَسَ
තවද රාත්රිය බැස යන විට එය මත ද
وَالصُّبْحِ إِذَا تَنَفَّسَ
උදෑසන ශ්වසනය කරන (අයුරින් ආලෝකය විහිදුවන) විට එය මත ද (දිවුරමි.)
إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ
සැබැවින්ම මෙය ගෞරවනීය දූතයකුගේ වචනයයි,
8මෙහි දී අදහස් වනුයේ ගෞරවනීය දූතයා වන ජිබ්රීල් තුමාණන් අල්ලාහ්ගේ වදන් නබි මුහම්මද් තුමාණන් වෙත පාරායනය කර පෙන් වූ වගයි. එනම් අල් කුර්ආනයයි.
ذِي قُوَّةٍ عِندَ ذِي الْعَرْشِ مَكِينٍ
(ඔහු) බලයෙන් යුක්තය. අර්ෂ්හි හිමිකරු අබියස උසස් ස්ථානයක් ඇත්තෙකි.
9‘අර්ෂ්’ යනු රජ කෙනෙකුට හිමි සිංහාසනයයි. අල්ලාහ්ගේ අර්ෂය අති විශාල අති මහත් උත්තරීතරය. එය ඔහු මැවූ විශාලතම නිර්මාණයන් අතුරින් එකක් වන අතර එය මිනිසා විසින් උපකල්පනය කළ නොහැක්කකි.
مُّطَاعٍ ثَمَّ أَمِينٍ
එහි(අහසෙහි හා මිහිතලයෙහි - මලක්වරුන් විසින්) අවනතයට ලක් වූ (ඔහු) විශ්වාසනීය අයෙකි.
10මලක්වරුන් අතුරින් ප්රධානියා වන්නේ ජිබ්රීල් තුමාණන්ය. අහසෙහි හා මිහිතලයේ මලක්වරුන් සියල්ලෝම ඔහුට අවනත වී ක්රියා කරනු ඇත යන්න මෙහි අදහසයි.
وَمَا صَاحِبُكُم بِمَجْنُونٍ
(මක්කා වැසියනි,) නුඹලාගේ සගයා (වන මුහම්මද්) උන්මත්තකයෙකු නොවේ.-
وَلَقَدْ رَآهُ بِالْأُفُقِ الْمُبِينِ
සැබැවින්ම ඔහු(මුහම්මද්) පැහැදිලි ක්ෂිතිජයෙහි ඔහුව(ජිබ්රීල්ව) දුටුවේය.
11ජිබ්රීල් තුමාණන් නබි මුහම්මද් තුමාණන් ඉදිරියේ බොහෝ විට මිනිස් ස්වරූපයෙන් දිස් විය. නමුත් එතුමාණන් ඉදිරියේ දෙවතාවක් ඔහුගේ සැබෑ ස්වරූපයෙන් දිස් වූ අතර මෙහි සඳහන් කර ඇත්තේ ඉන් එක් අවස්ථාවකි.
وَمَا هُوَ عَلَى الْغَيْبِ بِضَنِينٍ
තවද ගුප්ත දෑ (හෙළි කිරීම) කෙරෙහි ඔහු ලෝභියෙකු නොවේ.
12ශාස්ත්රකරුවන් තමන්ට ගුප්ත දෑ පිළිබඳව දැනුම ඇති බවට බොරු පවසා ඒ ගැන හෙළි කිරීමට මුදල් අය කරති. අරාබිකරයේ ඇතැම් මිථ්යා දෘෂ්ටිකයින් නබි මුහම්මද් තුමාණන්ව ද එවැනි ශාස්ත්රකරුවෙකු බවට චෝදනා නැගුවෝය. එහෙත් මුදල් අය කර බොරු පවසන ශාස්ත්රකරුවන් මෙන් නොව ජිබ්රීල් මලක්වරයාගේ මාර්ගයෙන් ගුප්ත දෑ පිළිබඳව දැන නබි මුහම්මද් තුමාණන් ඒවා සියලු ජනයාට පැවසූ අතර ඒ සඳහා කිසිදු අය කිරීමක් නොකළේය. මෙලෙස කටයුතු කිරීම එතුමා ශාස්ත්රකරුවෙකු නොවන බව තහවුරු කරයි.
وَمَا هُوَ بِقَوْلِ شَيْطَانٍ رَّجِيمٍ
තවද මෙය (ස්වර්ගයෙන්) පලවා හරිනු ලැබූ ෂෙයිතාන්ගේ වචනයක් ද නොවේ.
13ඇතැමුන් නබි මුහම්මද් තුමාණන්ට දේව පණිවිඩ ගෙන ආවේ ෂෙයිතාන් බව චෝදනා නැගූහ. මෙම ආයතය එයට පිළිතුරු දෙමින් එතුමාණන්ට දේව පණිවිඩ ගෙන ආවේ ජිබ්රීල් තුමාණන් බව පැහැදිලිව ප්රකාශ කර ඇත.
فَأَيْنَ تَذْهَبُونَ
(ජනයිනි,) එබැවින් නුඹලා කොහි යන්නෙහු ද?
إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ
සමස්ත ලෝකයන්ටම මෙය(අල් කුර්ආනය) උපදෙසක් මිස (අන් කිසිවක්) නැත.
14පෙළපතෙහි භාවිත කර ඇති නිවැරදි වචනය ‘ආලමීන්’ය. එය ‘ආලම්’ යන යෙදුමෙහි බහු වචනයයි. මෙය ජීවී අජීවි සියලු දෑ අන්තර්ගත ලොවක් යන අදහස ගෙන දෙයි. උදාහරණයක් වශයෙන් අහස්, මිහිතලය, හිරු, සඳු, තරු, සුළං, වැසි, මලක්වරුන්, ජින්වරුන්, සත්වයින්, පැළෑටි, ඛනිජ සම්පත් ඇතුළු මිනිසාව ද සඳහන් කළ හැක. මෙයට සාපේක්ෂිතව යෙදීමට සිංහල වචනයක් නොමැති බැවින් එය ලෝකයන් ලෙස මෙහි පරිවර්තනය කර ඇත.
لِمَن شَاءَ مِنكُمْ أَن يَسْتَقِيمَ
එනම් නුඹලාගෙන් කවරෙකු ඍජු මාර්ගය සෙවීමට අභිමත කරන්නේ ද ඔහුටය (මෙය උපදෙසක් වන්නේ).
وَمَا تَشَاءُونَ إِلَّا أَن يَشَاءَ اللَّهُ رَبُّ الْعَالَمِينَ
සමස්ත ලෝකයන්ටම පරමාධිපති වූ අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස නුඹලාට (කිසිවක් කිරීමට) සිතිය නොහැක.