قُلْ أُوحِيَ إِلَيَّ أَنَّهُ اسْتَمَعَ نَفَرٌ مِّنَ الْجِنِّ فَقَالُوا إِنَّا سَمِعْنَا قُرْآنًا عَجَبًا
ජින්වරුන්ගෙන් පිරිසක් (කුර්ආන් පාරායනයට) සවන් දී “අපි සැබැවින්ම විස්මය ජනක කුර්ආනයකට සවන් දුනිමු” යැයි ඔවුන් (තම සමූහයාට) පැවසූ බව මට වහී පහළ කරනු ලැබ ඇතැ’යි (නබිවරය,) පවසවු.
1‘ජින්වරුන්’ යනු මිනිසුන්ට පෙර සිටම ජීවත් වූ ජන කොටසකි. ඔවුන් ගිනි ජාලාවෙන් මවනු ලැබූ අතර දැහැමියන් ද දුෂ්ටයින් ද ඔවුන් අතර වෙති. ෂෙයිතාන්, ඉබ්ලීස්, යක්ෂ, පෙරේත යනුවෙන් හැඳින්වෙන නපුරු බලවේගයන් සියල්ල මෙම වර්ගයට අයත්ය. මොවුන් මිනිස් ලොවට විවිධ බලපෑම් සිදු කරයි. ඇතැම් ජනයා ඔවුන් උපයෝගී කරමින් පේන බැලීම, අනාවැකි ඵල කිරීම, ශාස්ත්ර බැලීම වැනි මිථ්යා මත තුළින් මිනිසා නොමග යවති. ජින්වරුන්ගේ ක්රියා කලාපයන් ඊළග වැකි තුළින් අවබෝධ කර ගනිමු.
يَهْدِي إِلَى الرُّشْدِ فَآمَنَّا بِهِ ۖ وَلَن نُّشْرِكَ بِرَبِّنَا أَحَدًا
“එය ඍජූ මාර්ගය වෙත මග පෙන්වයි. එබැවින් ‘අපි එය විශ්වාස කළෙමු. අපි අපගේ පරමාධිපති සමග කිසිවෙක් කිසිවිටෙක ආදේශ නොතබමු.
وَأَنَّهُ تَعَالَىٰ جَدُّ رَبِّنَا مَا اتَّخَذَ صَاحِبَةً وَلَا وَلَدًا
සැබැවින්ම අපගේ පරමාධිපතිගේ කීර්තිය උත්තරීතරය. ඔහු සහකාරියක් හෝ පුතෙක් හෝ නොගත්තේය.
وَأَنَّهُ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى اللَّهِ شَطَطًا
සැබැවින්ම අපගෙන් වූ අඥානයා අල්ලාහ්ට දැඩි ලෙස අවලාද කියමින් සිටියේය.
وَأَنَّا ظَنَنَّا أَن لَّن تَقُولَ الْإِنسُ وَالْجِنُّ عَلَى اللَّهِ كَذِبًا
‘මිනිසුන් හා ජින්වරුන් අල්ලාහ් පිළිබඳව අසත්යය ප්රකාශ කරන්නේම නැතැ’යි සැබැවින්ම අපි සිතා සිටියෙමු.
وَأَنَّهُ كَانَ رِجَالٌ مِّنَ الْإِنسِ يَعُوذُونَ بِرِجَالٍ مِّنَ الْجِنِّ فَزَادُوهُمْ رَهَقًا
මිනිස් වර්ගයා අතුරින් (ඇතැම්) පිරිමින් ජින් වර්ගයා අතුරින් (ඇතැම්) පිරිමින්ගෙන් රැකවරණය පතමින් සිටියෝය. එබැවින් ඔවුහු(මිනිස් වර්ගයා) ඔවුනට(ජින් වර්ගයාට) උඩගුකම අධික කළේය. -
2මෙහි යොදා ඇති උඩඟුකම යන පදයට අදාළ අරාබි පදය ‘රහක්’ යන පදයයි. මෙම පදයට නොයෙකුත් අර්ථ ඇති අතර ඉන් සමහරක් නම්, උඩඟුකම, උද්දච්චකම, අනර්ථකම, කලහකාරීත්වය යනාදිය වේ.
وَأَنَّهُمْ ظَنُّوا كَمَا ظَنَنتُمْ أَن لَّن يَبْعَثَ اللَّهُ أَحَدًا
‘අල්ලාහ් කිසිවෙකු (විනිශ්චය සඳහා) නැවත නැගිටුවන්නේම නැතැ’යි (මිනිස් වර්ගයා වන) නුඹලා සිතුවා සේම සැබැවින්ම (ජින් වර්ගයා වන) ඔවුහු ද සිතුවෝය.
وَأَنَّا لَمَسْنَا السَّمَاءَ فَوَجَدْنَاهَا مُلِئَتْ حَرَسًا شَدِيدًا وَشُهُبًا
සැබැවින්ම අපි අහසට ළඟා වූයෙමු. එය බලවත් රැකවලූන් හා අග්නිජාල වලින්(උල්කා වලින්) පුරවා තිබෙනු අපි දුටුවෙමු.
وَأَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَاعِدَ لِلسَّمْعِ ۖ فَمَن يَسْتَمِعِ الْآنَ يَجِدْ لَهُ شِهَابًا رَّصَدًا
සැබැවින්ම අප එහි වූ ස්ථානයන්හි සවන් දීමට වාඩි වී සිටියෙමු. එනමුත් දැන් කවරෙකු සවන් දෙන්නේ ද ඔහු තමන්ව ඉලක්ක කරමින් ඇති අග්නිජාලයක්(උල්කාපාතයක්) දැක ගනු ඇත.
3වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 67 වැනි පරිච්ඡේදයේ පළමුවැනි පාද සටහන බලන්න.
وَأَنَّا لَا نَدْرِي أَشَرٌّ أُرِيدَ بِمَن فِي الْأَرْضِ أَمْ أَرَادَ بِهِمْ رَبُّهُمْ رَشَدًا
මිහිතලයෙහි සිටින්නන් හට හානිය අපේක්ෂා කරනු ලැබුවේ ද නැතහොත් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්හට ඍජූ මග අපේක්ෂා කළේ දැ’යි සැබැවින්ම අපි නොදන්නෙමු.
4කිසියම් ජන සමූහයකට නබිවරයෙකු පහළ කරනු ලැබූ විට එහි කරුණු දෙකකින් එකක් සිදු විය හැක. ජනයා ඔහුව විශ්වාස කර ඔහුට අවනත වූයේ නම් අල්ලාහ්ගෙන් ආශිර්වාද හිමි වන්නේය. නමුත් ඔහුට පිටුපෑවේ නම් මෙලොව හෝ මතු ලොව හෝ දඬුවමට ලක් වන්නේය. එබැවින් ජින්වරුන් පවසා සිටිනුයේ මෙම තත්ත්වයන් දෙක අතුරින් නබි මුහම්මද් තුමාගේ ජනයාට කුමක් සිදුවේ දැ’යි අපි නොදන්නෙමු යන්නය. ඊට හේතුව අහසෙහි රැකවලුන් හා අග්නි ජාලාවන් සපිරුණු සීමාවක් ඇත. ජින්වරුන්ට ඒ තුළින් පිවිසීමට නොහැකි වුව ද එම සීමාව අසලින් වාඩි වී ලොවෙහි කටයුතු සම්බන්ධයෙන් කෙරෙන මලක්වරුන්ගේ කතා බහට සවන් දීමේ අවකාශය තිබිණ. නමුත් නබි මුහම්මද් තුමාණන්ගේ සම්ප්රාප්තියෙන් පසුව එලෙස සවන් දීමේ ස්ථානයන් තමන්ට අහිමි වූ බව ද දැන් එසේ සවන් දෙන්නේ නම් තමන්ට ප්රහාර එල්ල වන බව ද මෙයින් පවසා සිටියි.
وَأَنَّا مِنَّا الصَّالِحُونَ وَمِنَّا دُونَ ذَٰلِكَ ۖ كُنَّا طَرَائِقَ قِدَدًا
සැබැවින්ම අප අතර සැදැහැවන්තයෝ සිටිති. තවද අප අතර එසේ නොවූවන් ද සිටිති. අපි (වාද වලින් බෙදුනු) විවිධාකාර මාර්ග වලට අයත් වූවන් ලෙස සිටියෙමු.
وَأَنَّا ظَنَنَّا أَن لَّن نُّعْجِزَ اللَّهَ فِي الْأَرْضِ وَلَن نُّعْجِزَهُ هَرَبًا
අපට මිහිතලයේ කිසිවිටක අල්ලාහ්ව නොහැකියාවට පත් කළ නොහැකි බව ද පලා යාමෙන් කිසිවිටක ඔහුව නොහැකියාවට පත් කළ නොහැකි බව ද සැබැවින්ම අපි (දැන්) ස්ථීර ලෙස නිශ්චය කර ගත්තෙමු.-
وَأَنَّا لَمَّا سَمِعْنَا الْهُدَىٰ آمَنَّا بِهِ ۖ فَمَن يُؤْمِن بِرَبِّهِ فَلَا يَخَافُ بَخْسًا وَلَا رَهَقًا
සැබැවින්ම අප මාර්ගෝපදේශයට (අල් කුර්ආනයට) සවන් දුන් කල්හි එය අපි විශ්වාස කළෙමු. කවරෙකු තම පරමාධිපති විශ්වාස කරන්නේ ද ඔහුට අඩු වීමක් ගැන හෝ අසාධාරණයක් සිදු වීම ගැන හෝ බිය නොවෙයි.
وَأَنَّا مِنَّا الْمُسْلِمُونَ وَمِنَّا الْقَاسِطُونَ ۖ فَمَنْ أَسْلَمَ فَأُولَـٰئِكَ تَحَرَّوْا رَشَدًا
සැබැවින්ම අප අතර මුස්ලිම්වරුන් ද අප අතර (සත්යයෙන්) නොමග ගිය අය ද සිටිති. කවරෙකු අවනත වන්නේ ද ඔවුහු ඍජු මග තෝරා ගත්තෝය.
وَأَمَّا الْقَاسِطُونَ فَكَانُوا لِجَهَنَّمَ حَطَبًا
නොමග ගියවුන්, ඔවුහු නිරය සඳහා වූ ඉන්ධන මෙන් පත් වූහ.
وَأَن لَّوِ اسْتَقَامُوا عَلَى الطَّرِيقَةِ لَأَسْقَيْنَاهُم مَّاءً غَدَقًا
ඔවුහු (ඍජු) මගෙහි ස්ථාවරව සිටියේ නම් අධික (වැසි) ජලය ඔවුන් හට අපි සපයන්නෙමු.
5මෙහිදී ජලය සැපයීම යනු ජීවිතයට අවශ්ය සියලු ජීවන සම්පත් සැපයීමයි.
لِّنَفْتِنَهُمْ فِيهِ ۚ وَمَن يُعْرِضْ عَن ذِكْرِ رَبِّهِ يَسْلُكْهُ عَذَابًا صَعَدًا
(එසේ අප සපයනුයේ) ඔවුන්ව එහි අපි පිරික්සනු පිණිසය. කවරෙකු තම පරමාධිපතිව මෙනෙහි කිරීමෙන් වැළකෙන්නේ ද ඔහුව ඔහු(අල්ලාහ්) වැරයෙන් ඇද දැඩි දඬුවම වෙත ඇතුළු කරන්නේය.
وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا
සැබැවින්ම මස්ජිදයන් අල්ලාහ් සතුය. එබැවින් (එහි දී) අල්ලාහ් සමග කිසිවකු නොකැඳවවු.” (යැයි ද මට වහී පහළ කරනු ලැබීය’ යැයි පවසවු.)
وَأَنَّهُ لَمَّا قَامَ عَبْدُ اللَّهِ يَدْعُوهُ كَادُوا يَكُونُونَ عَلَيْهِ لِبَدًا
අල්ලාහ්ගේ ගැත්තා(මුහම්මද්) ඔහුව(අල්ලාහ්ව) අයැදීම පිණිස සිට ගත් විට (එය ඇසීමේ දැඩි ආශාව හේතුවෙන්) එතුමා මත ඔවුහු පොර බඳිමින් රොක් වූහ.
قُلْ إِنَّمَا أَدْعُو رَبِّي وَلَا أُشْرِكُ بِهِ أَحَدًا
‘සැබැවින්ම මා ඇයැදිනුයේ මාගේ පරමාධිපතිවය. ඔහුට කිසිවෙක් ආදේශ නොකරමි’ යනුවෙන් (නබිවරය,) පවසවු.
قُلْ إِنِّي لَا أَمْلِكُ لَكُمْ ضَرًّا وَلَا رَشَدًا
‘සැබැවින්ම නුඹලාට කිසිඳු හානියක් කිරීමේ හෝ යහමග වෙත රැගෙන ඒමේ හැකියාව හෝ මා සතු නොවන්නේය’ යැයි පවසවු.
قُلْ إِنِّي لَن يُجِيرَنِي مِنَ اللَّهِ أَحَدٌ وَلَنْ أَجِدَ مِن دُونِهِ مُلْتَحَدًا
‘සැබැවින්ම අල්ලාහ්ගෙන් මා බේරා ගැනීමට කිසිවෙකුට නොහැක්කේමය. ඔහුගෙන් තොර මා හට කිසිඳු පිළිසරණක් ද ලබා ගත නොහැක්කේමය’ යැයි (නබිවරය,) පවසවු.
إِلَّا بَلَاغًا مِّنَ اللَّهِ وَرِسَالَاتِهِ ۚ وَمَن يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَإِنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا أَبَدًا
කෙසේ නමුත් (මට කළ හැක්කේ) අල්ලාහ්ගෙන් (වූ නියෝගයන්) දැනුම් දීම හා ඔහුගේ දූත මෙහෙවරයන් (ඉටු කිරීම) පමණි. කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට පිටුපාන්නේ ද එවිට සැබැවින්ම ඔහුට නිරා ගින්නය, නිරන්තරයෙන්ම (ඔවුන්) එහි සදාතනිකයින් වෙති.
حَتَّىٰ إِذَا رَأَوْا مَا يُوعَدُونَ فَسَيَعْلَمُونَ مَنْ أَضْعَفُ نَاصِرًا وَأَقَلُّ عَدَدًا
ඔවුනට පොරොන්දු දෙනු ලැබූ දෑ(දඬුවම) ඔවුන් දකින තුරු (ප්රතික්ෂේපයේ නියැළී සිටිති.) එවිට උපකාර කරන්නන් අතුරින් (උපකාර ලබන්නට) ඉතා දුර්වලයා කවුරුන් දැ’යි ද සංඛ්යාවෙන් අඩු කවුරුන් දැ’යි ද ඔවුහු දැන ගනිති.
قُلْ إِنْ أَدْرِي أَقَرِيبٌ مَّا تُوعَدُونَ أَمْ يَجْعَلُ لَهُ رَبِّي أَمَدًا
‘නුඹලාට පොරොන්දු දෙනු ලැබූ දෑ(දඬුවම) සමීපයෙන් ද? නැතහොත් එය මගේ පරමාධිපති දුරස්ථව තබා ඇත්තේ ද? යන්න මම නොදනිමි’ යැයි (නබිවරය,) පවසවු.
عَالِمُ الْغَيْبِ فَلَا يُظْهِرُ عَلَىٰ غَيْبِهِ أَحَدًا
(ඔහු) ගුප්ත දෑ පිළිබඳව සර්වඥය. එබැවින් ඔහුගේ ගුප්ත දෑ පිළිබඳව රසූල්වරුන් අතුරින් ඔහු තෝරා ගත් අයට මිස (අන්) කිසිවකුට හෙළිදරව් නොකරන්නේය. සැබැවින්ම ඔහු ඔහුට(එම රසූල්වරයාට) ඉදිරියෙන් හා පසු පසින් ආරක්ෂකයින් පත් කරන්නේය.
إِلَّا مَنِ ارْتَضَىٰ مِن رَّسُولٍ فَإِنَّهُ يَسْلُكُ مِن بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ رَصَدًا
(ඔහු) ගුප්ත දෑ පිළිබඳව සර්වඥය. එබැවින් ඔහුගේ ගුප්ත දෑ පිළිබඳව රසූල්වරුන් අතුරින් ඔහු තෝරා ගත් අයට මිස (අන්) කිසිවකුට හෙළිදරව් නොකරන්නේය. සැබැවින්ම ඔහු ඔහුට(එම රසූල්වරයාට) ඉදිරියෙන් හා පසු පසින් ආරක්ෂකයින් පත් කරන්නේය.
لِّيَعْلَمَ أَن قَدْ أَبْلَغُوا رِسَالَاتِ رَبِّهِمْ وَأَحَاطَ بِمَا لَدَيْهِمْ وَأَحْصَىٰ كُلَّ شَيْءٍ عَدَدًا
ඔවුන්ගේ පරමාධිපතිගේ දූත පණිවිඩයන් (නිසි ලෙස) දන්වා සිටියේ ද යැයි දැන ගැනීම පිණිසය. තවද ඔවුන් අතර ඇති දෑ ඔහු සර්ව ප්රකාරයෙන් දන්නේය. තවද ඔහු සෑම දෙයක්ම ගණනය කර දැන ඇත්තේය.