تَبَارَكَ الَّذِي بِيَدِهِ الْمُلْكُ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
කවරෙකුගේ අතෙහි ආධිපත්යය ඇත්තේ ද ඔහු අති උත්කෘෂ්ටය. තවද ඔහු සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 36:83 හි පාද සටහන බලන්න.
الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۚ وَهُوَ الْعَزِيزُ الْغَفُورُ
ඔහු නුඹලාව, නුඹලා අතුරින් කවරෙකු ක්රියාවෙන් උතුම් ද යන්න පිරික්සනු පිණිස ඔහු මරණය හා ජීවිතය නිර්මාණය කළේය. තවද ඔහු අති බලසම්පන්නය අති ක්ෂමාශීලීය.
الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا ۖ مَّا تَرَىٰ فِي خَلْقِ الرَّحْمَـٰنِ مِن تَفَاوُتٍ ۖ فَارْجِعِ الْبَصَرَ هَلْ تَرَىٰ مِن فُطُورٍ
ඔහු අහස් හත එක උඩ එක නිර්මාණය කළේය. පරම කරුණාභරිතයාගේ මැවීම්හි පරස්පරභාවයක් නුඹ නොදකින්නෙහිය. එහෙයින් නුඹගේ බැල්ම නැවත යොමු කරවු. (එහි) කිසියම් පැල්මක් නුඹ දකින්නෙහි ද? (
ثُمَّ ارْجِعِ الْبَصَرَ كَرَّتَيْنِ يَنقَلِبْ إِلَيْكَ الْبَصَرُ خَاسِئًا وَهُوَ حَسِيرٌ
4) පසුව ද (නුඹගේ) බැල්ම දෙවතාවක් යොමු කරවු. (නුඹගේ) බැල්ම වෙහෙසට පත් වූ තත්ත්වයෙන් අවමානයෙන් යුතුව නුඹ වෙතම නැවත හැරී එන්නේය.
وَلَقَدْ زَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِمَصَابِيحَ وَجَعَلْنَاهَا رُجُومًا لِّلشَّيَاطِينِ ۖ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ السَّعِيرِ
සැබැවින්ම අප (මිහිතලයට) සමීප වූ අහස, පහන්(තාරුකාවන්) මගින් අලංකාර කර ඇත්තෙමු. අප ඒවා ෂෙයිතාන්වරුන්ට විසි කරනු ලබන දෑ ලෙස නිර්මාණය කර ඇත්තෙමු. ඔවුනට දලු ලා ඇවිළෙන ගින්නෙහි දඬුවම අපි සකස් කර ඇත්තෙමු.
2වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 15:18 වැනි ආයතය බලන්න.
وَلِلَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ عَذَابُ جَهَنَّمَ ۖ وَبِئْسَ الْمَصِيرُ
තම පරමාධිපතිව ප්රතික්ෂේප කළවුන්ට නිරයේ දඬුවම ඇත. (ඔවුහු) අවසානයේ යොමු වන ස්ථානය කෙතරම් නින්දනීය ද,
إِذَا أُلْقُوا فِيهَا سَمِعُوا لَهَا شَهِيقًا وَهِيَ تَفُورُ
එහි ඔවුන් විසි කරනු ලබන විට පිළිකුල් හඬක් ඔවුහු ශ්රවණය කරති. තවද එය උතුරා නටමින් පවතී.
تَكَادُ تَمَيَّزُ مِنَ الْغَيْظِ ۖ كُلَّمَا أُلْقِيَ فِيهَا فَوْجٌ سَأَلَهُمْ خَزَنَتُهَا أَلَمْ يَأْتِكُمْ نَذِيرٌ
එය කෝපයෙන් පිපිරී යාමට තැත් කරයි. එහි කණ්ඩායමක් විසිකරනු ලබන සෑම විටකම “(නබිවරුන් අතුරින්) අවවාද කරන්නෙකු නුඹලා වෙත නොපැමිණියේ දැ?”යි (නිරයේ) භාරකරුවෝ එහි ඔවුන්ගෙන් විමසති.
قَالُوا بَلَىٰ قَدْ جَاءَنَا نَذِيرٌ فَكَذَّبْنَا وَقُلْنَا مَا نَزَّلَ اللَّهُ مِن شَيْءٍ إِنْ أَنتُمْ إِلَّا فِي ضَلَالٍ كَبِيرٍ
“එසේ නොව අවවාද කරන්නා සැබැවින්ම අප වෙත පැමිණියේය. නමුත් අපි (එම අවවාද කරන රසූල්වරුන්ව) අසත්යය කළෙමු. තවද ‘අල්ලාහ් කිසිවක් පහළ කළේ නැත. තවද නුඹලා මහත් මුළාවෙහි මිස (අන් කිසිවක) නැතැ’යි අපි (ඔවුනට) පැවසුවෙමු” යැයි ඔවුහු පවසති.
وَقَالُوا لَوْ كُنَّا نَسْمَعُ أَوْ نَعْقِلُ مَا كُنَّا فِي أَصْحَابِ السَّعِيرِ
තවද “අප සවන් දුන්නේ නම් හෝ අවබෝධ කරගත්තේ නම් හෝ අපි දලු ලා ඇවිළෙන ගින්නේ සගයින් නොවෙමු” යැයි ද ඔවුහු පවසති.
فَاعْتَرَفُوا بِذَنبِهِمْ فَسُحْقًا لِّأَصْحَابِ السَّعِيرِ
එබැවින් ඔවුහු තමන්ගේ පාපයන් පිළිගනිති. එහෙයින් දලු ලා ඇවිළෙන ගින්නේ සගයින් (අල්ලාහ්ගේ කරුණාවෙන්) දුරස් ය!
إِنَّ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِالْغَيْبِ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ
සැබැවින්ම දෑසට නොපෙනෙන ඔවුන්ගේ පරමාධිපතිට බියවන්නන් හට සමාව ද මහත් වේතනයක් ද ඇත.
وَأَسِرُّوا قَوْلَكُمْ أَوِ اجْهَرُوا بِهِ ۖ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
නුඹලාගේ ප්රකාශය රහසිගතව කළ ද නැතහොත් ප්රසිද්ධියේ කළ ද සැබැවින්ම ඔහු සිත් තුළ ඇති දෑ පිළිබඳව සර්වඥය.
أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ
ඔහු අති සියුම් ඥානීව හා අභිඥානවන්තව සිටිය දී (සියල්ල) නිර්මාණය කළ ඔහු (නුඹලාගේ රහස්) නොදන්නේ ද?
هُوَ الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ ذَلُولًا فَامْشُوا فِي مَنَاكِبِهَا وَكُلُوا مِن رِّزْقِهِ ۖ وَإِلَيْهِ النُّشُورُ
මිහිතලය නුඹලාට යටත් ලෙස සකස් කළේ ඔහුමය. එබැවින් නුඹලා එහි(මිහිතලයෙහි) ප්රදේශයන්හි ගමන් කරවු. තවද ඔහුගේ ආහාරයෙන් අනුභව කරවු. තවද (අවසානයේ නුඹලාව) එක්රැස් කරනු ලබනුයේ ඔහු වෙතමය.-
أَأَمِنتُم مَّن فِي السَّمَاءِ أَن يَخْسِفَ بِكُمُ الْأَرْضَ فَإِذَا هِيَ تَمُورُ
කවරෙකුගේ ආධිපත්යය අහසේ තිබෙන්නේ ද ඔහු නුඹලාව පොළොවට ගිල්වීම පිළිබඳව නුඹලා නිර්භයව සිටින්නෙහු ද? එසැණින් එය දෙදරා යනු ඇත.
أَمْ أَمِنتُم مَّن فِي السَّمَاءِ أَن يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ۖ فَسَتَعْلَمُونَ كَيْفَ نَذِيرِ
එසේ නොමැති නම් කවරෙකු අහසේ සිටින්නේ ද ඔහු නුඹලා වෙත ගල් සහිත කුණාටුවක් යැවීම පිළිබඳව නුඹලා නිර්භයව සිටින්නෙහු ද? එවිට මාගේ අවවාදය කෙලෙස දැ?යි නුඹලා දැන ගනු ඇත.
وَلَقَدْ كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ فَكَيْفَ كَانَ نَكِيرِ
තවද (මක්කා වාසීන් ප්රතික්ෂේපකයින් වන) ඔවුනට පෙර වූවන් ද සැබැවින්ම අසත්ය කළෝය. එවිට මාගේ (දඬුවමින් වූ) නින්දාව කෙසේ වී ද?
3මක්කා වැසියන්ට පෙර ජීවත් වූ ආද් සමූද් වැනි ජනයා තම නබිවරුන්ව ප්රතික්ෂේප කළ බැවින් අල්ලාහ් ඔවුන්ව විවිධ ව්යසනයන් මගින් විනාශයට පත් කළේය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඇති වුණු විනාශය පිළිබඳව ප්රතික්ෂේපිත මක්කා වැසියන්ට ද එසේ අසත්යය කරන සෙසු අයට ද මතක් කර දී අවවාද කරන්නේය.
أَوَلَمْ يَرَوْا إِلَى الطَّيْرِ فَوْقَهُمْ صَافَّاتٍ وَيَقْبِضْنَ ۚ مَا يُمْسِكُهُنَّ إِلَّا الرَّحْمَـٰنُ ۚ إِنَّهُ بِكُلِّ شَيْءٍ بَصِيرٌ
පියාපත් විහිදුවමින් ද හකුළුවමින් ද ඔවුනට ඉහළින් පියාඹන පක්ෂීන් ඔවුහු නොදුටුවෝ ද? පරම කරුණාභරිත (අල්ලාහ්) හැර (අන් කිසිවෙකු) උන්ව රඳවා ගෙන නොමැත. සැබැවින්ම ඔහු සියලු දෑ පිළිබඳව සුපරික්ෂාකාරීය.
أَمَّنْ هَـٰذَا الَّذِي هُوَ جُندٌ لَّكُمْ يَنصُرُكُم مِّن دُونِ الرَّحْمَـٰنِ ۚ إِنِ الْكَافِرُونَ إِلَّا فِي غُرُورٍ
පරම කරුණාභරිත (අල්ලාහ්) හැර නුඹලාට උදව් කිරීමට නුඹලා වෙනුවෙන් වූ සේනාවක් සිටී ද?ප්රතික්ෂේපකයින් මුළාවෙහි මිස (අන් කිසිවක) නොමැත.
أَمَّنْ هَـٰذَا الَّذِي يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهُ ۚ بَل لَّجُّوا فِي عُتُوٍّ وَنُفُورٍ
නමුත් ඔහු තම ජීවන සම්පත් (මිනිසාට) අත්හිට වූයේ නම් නුඹලාට ජීවනෝපාය සපයන්නේ කවරෙකු ද? නමුත් උඩඟුකමෙහි ද (සත්යයෙන්) දුරස්ව යෑමෙහි ද ඔවුහු නියැළී සිටින්නෝය.
أَفَمَن يَمْشِي مُكِبًّا عَلَىٰ وَجْهِهِ أَهْدَىٰ أَمَّن يَمْشِي سَوِيًّا عَلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ
එහෙයින් යහමගෙහි සිටින්නේ තම මුණින් වැටී ගමන් කරන්නා ද? එසේත් නොමැති නම්, නිසි මගෙහි ඍජුව ගමන් කරන්නා ද?-
قُلْ هُوَ الَّذِي أَنشَأَكُمْ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۖ قَلِيلًا مَّا تَشْكُرُونَ
“නුඹලාව නිර්මාණය කර නුඹලාට ශ්රවණ ද දෘෂ්ටි ද හදවත් ද ඇති කළේ ඔහුමය. නුඹලා කෘතඥ වනුයේ අල්ප මාත්රයකි” යැයි (නබිවරය,) පවසවු.
قُلْ هُوَ الَّذِي ذَرَأَكُمْ فِي الْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ
“නුඹලාව මිහිතලයේ අධික ලෙසින් ව්යාප්ත කළේ ඔහුමය. තවද නුඹලාව (අවසානයේ) එක්රැස් කරනු ලබනුයේ ඔහු වෙතමය” යැයි පවසවු.
وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ
තවද “නුඹලා සත්යවන්තයින් වන්නේ නම් මෙම ප්රතිඥාව (සිදු වනුයේ) කවදා දැ?”යි (ප්රතික්ෂේපකයින් වන) ඔවුහු විමසති.
قُلْ إِنَّمَا الْعِلْمُ عِندَ اللَّهِ وَإِنَّمَا أَنَا نَذِيرٌ مُّبِينٌ
“සැබැවින්ම දැනුම අල්ලාහ් සතුය. තවද සැබැවින්ම මම පැහැදිලි අවවාද කරන්නෙකු පමණි” යැයි (නබිවරය,) නුඹ පවසවු.
فَلَمَّا رَأَوْهُ زُلْفَةً سِيئَتْ وُجُوهُ الَّذِينَ كَفَرُوا وَقِيلَ هَـٰذَا الَّذِي كُنتُم بِهِ تَدَّعُونَ
නමුත් ඔවුන් එය (ප්රතිඥාව) ඉතා සමීපයෙන් දකින විට ප්රතික්ෂේපකයින්ගේ මුහුණු අසීරුතාවට පත් වනු ඇත. තවද “නුඹලා කවර දෙයක් පිළිබඳව තර්ක කරමින් සිටියේ ද එය මෙයයි” යැයි (ඔවුනට) පවසනු ලැබේ.
قُلْ أَرَأَيْتُمْ إِنْ أَهْلَكَنِيَ اللَّهُ وَمَن مَّعِيَ أَوْ رَحِمَنَا فَمَن يُجِيرُ الْكَافِرِينَ مِنْ عَذَابٍ أَلِيمٍ
(නුඹලා ප්රිය කරන පරිදි) “මා හා මා සමග වූවන් අල්ලාහ් විනාශ කළේ නම් හෝ (අප ප්රිය කරන පරිදි) අපහට ඔහු කරුණාව දැක්වූයේ නම් හෝ (කෙසේ වෙතත්) වේදනීය දඬුවමින් ප්රතික්ෂේප කරන්නන් ආරක්ෂා කරනුයේ කවරෙකු දැ?යි නුඹලා සිතා (නො)බැලුවෙහු දැ?”යි පවසවු.
قُلْ هُوَ الرَّحْمَـٰنُ آمَنَّا بِهِ وَعَلَيْهِ تَوَكَّلْنَا ۖ فَسَتَعْلَمُونَ مَنْ هُوَ فِي ضَلَالٍ مُّبِينٍ
“ඔහු පරම කරුණාභරිතය. අපි ඔහුවම විශ්වාස කළෙමු. තවද අපි ඔහු වෙතම (සියල්ල) භාර කළෙමු. එබැවින් පැහැදිලි මුළාවෙහි සිටින්නේ කවරෙකු දැ?යි නුඹලා මතු දැන ගන්නෙහු යැ”යි පවසවු.
قُلْ أَرَأَيْتُمْ إِنْ أَصْبَحَ مَاؤُكُمْ غَوْرًا فَمَن يَأْتِيكُم بِمَاءٍ مَّعِينٍ
“නුඹලාගේ ජලය සිඳී ගියේ නම් එවිට උණන ජලය නුඹලා වෙත ගෙන එනුයේ කවරෙකු ද යන්න නුඹලා සිතා (නො)බැලුවෙහු දැ?”යි පවසවු.