يَا أَيُّهَا النَّبِيُّ لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَكَ ۖ تَبْتَغِي مَرْضَاتَ أَزْوَاجِكَ ۚ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ
නබිවරය නුඹගේ භාර්යාවන්ගේ තෘප්තිය උදෙසා අල්ලාහ් නුඹට අනුමත කළ දෑ නුඹ (වෙත) තහනම් කර ගනුයේ මන්ද? තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. පරම කරුණාභරිතය.
1සෑම දිනකම අස්ර් සලාතයට පසුව තම බිරිදෑ වරුන්ව බැහැ දැකීමට යෑම නබි මුහම්මද් තුමාණන්ගේ සිරිතක්ව තිබුණී. මෙසේ දිනක් ඔහු zසෙයිනබ් තුමිය සමග සිටින විට ඇය නබි මුහම්මද් තුමාණන්ට මී පැණි බීමට දුන්නාය. එබැවින් එතුමන්ට ආයිෂා තුමිය සහ හෆ්සා තුමියගේ නිවසට යෑමට මදක් ප්රමාද විය. ඊට හේතුව දැන ගත් ඔවුන් දෙදෙනා “ඔබ මගාෆීර් (නම් දුගඳ ශාකය) අනුභව කළේ ද?” යැයි ඇසුවෝය. එයට එතුමා “නැත” යැයි පවසා “මෙසේ ඇසුවේ මන්දැ?”යි ප්රශ්න කළේය. එයට ඔවුන් “ඔබගේ මුවෙන් පිට වන දුගඳ කුමක් දැ?”යි විමසුවෝය. මෙසේ ඔවුන් ඇසූ නිසා ‘zසෙයිනබ් තුමිය දුන් මී පැණි බීම නිසා ඇත්තෙන්ම තම මුවින් දුගඳක් පිට වනවා’ යැයි එතුමා සිතා ගෙන මින් පසු මී පැණි අනුභව නොකරන බව එතුමා දිවුරුවේය. ‘අනුමත දෙයක් තහනම් නොකළ යුතුයි’ යන මෙම අල් කුර්ආන් ආයතය පහළ වූයේ මෙම අවස්ථාවේදීය.
قَدْ فَرَضَ اللَّهُ لَكُمْ تَحِلَّةَ أَيْمَانِكُمْ ۚ وَاللَّهُ مَوْلَاكُمْ ۖ وَهُوَ الْعَلِيمُ الْحَكِيمُ
සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ දිවුරුමෙන් (පාප ශෝධනය කර) නිදහස් වීම(ට වන්දි ගෙවීමේ පිළියමක්) නුඹලාට නියම කර ඇත. තවද අල්ලාහ් නුඹලාගේ ආරක්ෂකයාය. තවද ඔහු සර්වඥය සර්ව ප්රඥාවන්තය.
2මෙම ආයතයෙන් සංඥා කරනුයේ දිවුරුමක් කඩ කළ විට අනිවාර්යය වන වන්දි ගෙවීමේ පිළියමක් පිළිබඳව සඳහන් වී ඇති 5:89 වන ආයතය පිළිබඳවයි. එම ආයතයෙන් සඳහන් කරන්නේ යම් කෙනෙකු දිවුරුමක් කර පසුව එය නුසුදුසු දිවුරුමක් යැයි ඔහුට පැහැදිලි වුවහොත් ඔහු එය ඉවත් කර එම පාප ශෝධනය වන වන්දි ගෙවීමේ පිළියම පිළිපැදිය යුතුය යන්නයි.
وَإِذْ أَسَرَّ النَّبِيُّ إِلَىٰ بَعْضِ أَزْوَاجِهِ حَدِيثًا فَلَمَّا نَبَّأَتْ بِهِ وَأَظْهَرَهُ اللَّهُ عَلَيْهِ عَرَّفَ بَعْضَهُ وَأَعْرَضَ عَن بَعْضٍ ۖ فَلَمَّا نَبَّأَهَا بِهِ قَالَتْ مَنْ أَنبَأَكَ هَـٰذَا ۖ قَالَ نَبَّأَنِيَ الْعَلِيمُ الْخَبِيرُ
තවද නබිවරයා තමන්ගේ භාර්යාවන්ගෙන් කෙනෙකු වෙත රහසින් කළ ප්රකාශය (නුඹ සිහිපත් කරවු). එබැවින් ඇය එය (තවත් බිරියකට) දන්වා පසුව එය අල්ලාහ් ඔහුට(නබිවරයාට) හෙළි දරවු කළ කල්හි ඔහු ඉන් සමහරක් දන්වා තවත් සමහරක් මග හැරියේය. පසුව ඒ පිළිබඳව ඔහු ඇයට දැන් වූ කල්හි ‘කවරෙකු නුඹට මෙය දැන්වූයේ දැ?’යි ඇය විමසුවාය. ‘සර්වඥ අභිඥානවන්තයා මට දැන්වූයේ යැ’යි ඔහු පැවසුවේය.
3zසෙයිනබ් තුමියගේ නිවසේ මී පැණි අනුභව නොකරන බව නබි මුහම්මද් තුමාණන් හෆ්සා තුමියට පවසා ඒ බව ඔහු දිවුරුම් කර මේ පිළිබඳව ආයිෂා තුමියට නොපවසන මෙන්ද ඔහු අණ කළේය. නමුත් ඇය මෙම රහස හෙළි කළාය. වහී මගින් මෙය දැන ගත් නබි මුහම්මද් තුමාණන් හෆ්සා තුමිය තම රහස හෙළි කළ පුවත ඇයටම පැවසුවේය.
4මෙම රහසෙහි කරුණු දෙකක් අන්තර්ගතය. පළමුවැන්න ඔහු zසෙයිනබ් තුමියගේ නිවසේ මී පැණි අනුභව නොකිරීම. දෙවැන්න ඒ පිළිබඳව නබි තුමාගේ දිවුරුම පිළිබඳවයි.
إِن تَتُوبَا إِلَى اللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا ۖ وَإِن تَظَاهَرَا عَلَيْهِ فَإِنَّ اللَّهَ هُوَ مَوْلَاهُ وَجِبْرِيلُ وَصَالِحُ الْمُؤْمِنِينَ ۖ وَالْمَلَائِكَةُ بَعْدَ ذَٰلِكَ ظَهِيرٌ
(නබිවරයාගේ භාර්යාවන් වන) නුඹලා දෙදෙනා අල්ලාහ් වෙත පශ්චාත්තාප වූයේ නම් (නුඹලාට එය යහපතකි. මක්නිසාදයත්) සැබැවින්ම නුඹලා දෙදෙනාගේ හදවත් යහමගින් නිකමව ගොස් ඇත. තවද ඔහුට(නබිවරයාට) එරෙහිව නුඹලා එකිනෙකාට සහය වූයේ නම් එවිට සැබැවින්ම අල්ලාහ්මය ඔහුගේ උපකාරකයා වන්නේ. තවද ජීබ්රීල් ද විශ්වාසිකයින්ගෙන් සැදැහැමියන් ද මේ සියල්ලට පසු මලක්වරුන් ද උපකාරකයන් වන්නෝ.
عَسَىٰ رَبُّهُ إِن طَلَّقَكُنَّ أَن يُبْدِلَهُ أَزْوَاجًا خَيْرًا مِّنكُنَّ مُسْلِمَاتٍ مُّؤْمِنَاتٍ قَانِتَاتٍ تَائِبَاتٍ عَابِدَاتٍ سَائِحَاتٍ ثَيِّبَاتٍ وَأَبْكَارًا
ඔහු නුඹලාව දික්කසාද කළේ නම් නුඹලාට වඩා යහපත් මුස්ලිම් වූ විශ්වාස වන්ත වූ භක්තිමත් වූ පශ්චාත්තාප වූ නැමදුමෙහි අචල වූ උපවාසයේ නියැළෙන්නා වූ වැන්දඹු වූ හා කන්යා වූ ස්ත්රීන් භාර්යාවන් වශයෙන් ඔහුගේ පරමාධිපති ඒ වෙනුවට ඔහුට ලබා දිය හැක.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا قُوا أَنفُسَكُمْ وَأَهْلِيكُمْ نَارًا وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ عَلَيْهَا مَلَائِكَةٌ غِلَاظٌ شِدَادٌ لَّا يَعْصُونَ اللَّهَ مَا أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ
විශ්වාස කළවුනි, නුඹලාව ද නුඹලාගේ පවුලේ අය ද (නිරා) ගින්නෙන් ආරක්ෂා කර ගනිවු. එ(ම ගින්නෙ)හි ඉන්ධන මිනිසුන් හා ගල් වේ. එය මත රළු වූ දරුණු මලක්වරුන් සිටිති. අල්ලාහ් ඔවුන්ට විධානය කළ දැයට ඔවුහු පිටුනොපාන අතර ඔවුන්ට විධානය කරනු ලබන (සියලු) දෑ ඔවුහු ඉටු කරති.
يَا أَيُّهَا الَّذِينَ كَفَرُوا لَا تَعْتَذِرُوا الْيَوْمَ ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ
ප්රතික්ෂේප කළවුනි, අද දින (විනිශ්චය දින) නුඹලා නිදහසට කරුණු ඉදිරිපත් නොකරවු. නුඹලාට ප්රතිඵල දෙනු ලබනුයේ නුඹලා කරමින් සිටි දෑටමය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً نَّصُوحًا عَسَىٰ رَبُّكُمْ أَن يُكَفِّرَ عَنكُمْ سَيِّئَاتِكُمْ وَيُدْخِلَكُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ يَوْمَ لَا يُخْزِي اللَّهُ النَّبِيَّ وَالَّذِينَ آمَنُوا مَعَهُ ۖ نُورُهُمْ يَسْعَىٰ بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِمْ يَقُولُونَ رَبَّنَا أَتْمِمْ لَنَا نُورَنَا وَاغْفِرْ لَنَا ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
විශ්වාස කළවුනි, නුඹලා (පිවිතුරු වූ) අව්යාජ පශ්චාත්තාපයකින් අල්ලාහ් වෙත (හැරී) පශ්චාත්තාප වවු. නුඹලාගේ පරමාධිපති නුඹලාගේ දුෂ්ටකම් නුඹලාගෙන් ක්ෂමා කර ස්වර්ග උයන් වලට නුඹලාව ඇතුළු කර විය හැක. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. එදින අල්ලාහ් නබිවරයාව ද ඔහු සමග විශ්වාස කළවුන්ව ද අවමන් නොකරන්නේය. ඔවුන්ගේ ආලෝකය ඔවුන් ඉදිරිපිට ද ඔවුන්ගේ (ක්රියා ලේඛන මගින්) දකුණු අත් වලට ශීඝ්රයෙන් ගමන් කරයි. (එවිට) ‘අපගේ පරමාධිපතියාණනි, අපගේ ආලෝකය අපට පරිපූර්ණ කරනු මැනව. තවද අපව ක්ෂමා කරනු මැනව. සැබැවින්ම ඔබ සියලු දෑ කෙරෙහි අති බලසම්පන්න යැ’යි ඔවුහු පවසති.
يَا أَيُّهَا النَّبِيُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنَافِقِينَ وَاغْلُظْ عَلَيْهِمْ ۚ وَمَأْوَاهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ الْمَصِيرُ
නබිවරය, ප්රතික්ෂේපකයින් හා ආත්ම වංචනිකයින් සමග ජිහාද්(ප්රයත්නය) කරවු. තවද ඔවුන් කෙරෙහි දැඩිව සිටිවු. ඔවුන්ගේ (අවසන්) ලැගුම් ගන්නා ස්ථානය නිරයයි. තවද (ඔවුන්) අවසානයේ යොමු වන ස්ථානය කෙතරම් නින්දනීය ද?
5ඉස්ලාමීය කෝණයෙන් බැලූ කල මුස්ලිම් නොවන්නන් කොටස් තුනකට වර්ග කර ඇත. පළමුවැනි කොටස නම් මුස්ලිම් රටවල් වල ඉස්ලාමීය රජය යටතේ වෙසෙන්නන්ය. මොවුන්ට ‘zදිම්මිවරුන්’ යැයි පවසනු ලැබේ. දෙවන කොටස නම් පොදුවේ මුස්ලිම්වරුන් සමග සහජීවනයේ ගිවිසුම යටතේ වෙසෙන්නන්ය. මොවුන්ට ‘මුආහිද්වරුන්’ යැයි පවසනු ලැබේ. මෙම දෙපාර්ශවයේ විෂයෙහි ඔවුන්ගේ ප්රාණයන්ට හෝ සම්පත් වලට කිසිදු ආපදාවක් ඇති වන අයුරින් හැසිරීමට මුස්ලිම්වරුන්ට අනුමැතිය නැත. එපමණක් නොව එය මහා පාපයක් ලෙස සලකනු ලැබේ. තෙවන කොටස නම් මුස්ලිම්වරුන්ට විරුද්ධකම් පෙන්වමින් ඔවුනට එරෙහිව අපරාධිතව සටනට පෙළඹෙන ‘හර්බී ප්රතික්ෂේපකයින්’ය. මුස්ලිම්වරුන්ට සටන් කරන මෙන් අල්ලාහ් විධානය කොට ඇත්තේ මෙම පිරිසට එරෙහිවය. මෙම ආයතය ද පහළ වී ඇත්තේ මෙවන් පාර්ශවයක් පිළිබඳව හා මුස්ලිම්වරුන් ලෙස තමන්ව පෙන්වමින් මුස්ලිම්වරුන්ටම වංචා කරමින් සිටි ‘මුනාෆික්වරුන්’ හෙවත් ආත්ම වංචනිකයින් පිළිබඳවය. එක් පුද්ගලයෙකුට කෙනෙකු විසින් පහර දෙනු ලබන්නේ නම් ඔහු තමන්ව ආරක්ෂා කරගැනීම සඳහා පහර දෙන්නාට ප්රතිප්රහාර එල්ල කිරීම ස්වාභාවික කරුණක් වන අතර එවැනි තත්ත්වයක සිටින පිරිසක් තමන්ට පහර දෙන්නන්ට එරෙහිව නිසි පියවර ගැනීම නිත්යානුකූල බව පැහැදිලි කරුණකි. තවද ‘ජිහාද්’ පිළිබඳව වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:218 ආයතයේ පාද සටහන බලන්න.
6වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 9:73 ආයතයේ පාද සටහන බලන්න.
ضَرَبَ اللَّهُ مَثَلًا لِّلَّذِينَ كَفَرُوا امْرَأَتَ نُوحٍ وَامْرَأَتَ لُوطٍ ۖ كَانَتَا تَحْتَ عَبْدَيْنِ مِنْ عِبَادِنَا صَالِحَيْنِ فَخَانَتَاهُمَا فَلَمْ يُغْنِيَا عَنْهُمَا مِنَ اللَّهِ شَيْئًا وَقِيلَ ادْخُلَا النَّارَ مَعَ الدَّاخِلِينَ
අල්ලාහ් ප්රතික්ෂේප කළවුන්ට නූහ්ගේ භාර්යාව හා ලූත්ගේ භාර්යාව උපමා කළේය. මොවුන් දෙදෙනා අපගේ ගැත්තන් අතුරින් සැදැහැමි ගැත්තන් දෙදෙනෙකු යටතේ(විවාහ වී) සිටියෝය. නමුත් මොවුන් දෙදෙනා ඔවුන්ට(තම සැමියන්ට) ද්රෝහිකම් කළෝය. එබැවින් ඔවුන් අල්ලාහ්ගෙන් වූ කිසිදු උපකාරයක් මොවුන්ට(තම භාර්යාවන්ට) කරන්නට නොහැකි විය. තවද “නුඹලා දෙදෙනා ඇතුළුවන්නන් සමග (නිරා) ගින්නට ඇතුළු වවු” යැයි (එම භාර්යාවන්ට) පවසනු ලැබීය.-
وَضَرَبَ اللَّهُ مَثَلًا لِّلَّذِينَ آمَنُوا امْرَأَتَ فِرْعَوْنَ إِذْ قَالَتْ رَبِّ ابْنِ لِي عِندَكَ بَيْتًا فِي الْجَنَّةِ وَنَجِّنِي مِن فِرْعَوْنَ وَعَمَلِهِ وَنَجِّنِي مِنَ الْقَوْمِ الظَّالِمِينَ
තවද අල්ලාහ් විශ්වාස කළවුන්ට ෆිර්අවුන්ගේ භාර්යාව උපමා කළේය. ඇය “මාගේ පරමාධිපතියාණනි, ඔබ අබියස මට ස්වර්ගයේ නිවසක් තනා දෙනු මැනව. තවද ෆිර්අවුන්ගෙන් ද ඔහුගේ ක්රියාවන්ගෙන් ද මා නිදහස් කරනු මැනව. තවද අපරාධකාර පිරිසගෙන් ද මා නිදහස් කරනු මැනවැ”යි පැවසූ අවස්ථාව (සිහිපත් කරවු).
وَمَرْيَمَ ابْنَتَ عِمْرَانَ الَّتِي أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهِ مِن رُّوحِنَا وَصَدَّقَتْ بِكَلِمَاتِ رَبِّهَا وَكُتُبِهِ وَكَانَتْ مِنَ الْقَانِتِينَ
තවද තමන්ගේ රහස් පෙදෙස(කන්යා භාවය) ආරක්ෂාකර ගත් ඉම්රාන්ගේ දියණිය වූ මර්යම්ව ද (විශ්වාස කළවුන්ට ඔහු උපමා කළේය). අපි අපගේ රූහයෙන් එහි(ඇය තුළ) පිඹුවෙමු. ඇය තමන්ගේ පරමාධිපතිගේ වදන් ද ඔහුගේ ධර්ම පුස්තකයන් ද සත්යය කළාය. තවද ඇය (අල්ලාහ්ට) භක්තිමත් වූවන් අතුරින් කෙනෙකු වූවාය.
7වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 21:91 හි පාද සටහන බලන්න.