الطلاق

අත්-තලාක්

الطلاق

අත්-තලාක් · At-Talaq

මදීනී12 පද්‍ය
1

يَا أَيُّهَا النَّبِيُّ إِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَأَحْصُوا الْعِدَّةَ ۖ وَاتَّقُوا اللَّهَ رَبَّكُمْ ۖ لَا تُخْرِجُوهُنَّ مِن بُيُوتِهِنَّ وَلَا يَخْرُجْنَ إِلَّا أَن يَأْتِينَ بِفَاحِشَةٍ مُّبَيِّنَةٍ ۚ وَتِلْكَ حُدُودُ اللَّهِ ۚ وَمَن يَتَعَدَّ حُدُودَ اللَّهِ فَقَدْ ظَلَمَ نَفْسَهُ ۚ لَا تَدْرِي لَعَلَّ اللَّهَ يُحْدِثُ بَعْدَ ذَٰلِكَ أَمْرًا

නබිවරය, (ජනයින්ට පවසවු.) “නුඹලා කාන්තාවන්ට දික්කසාදය ප්රකාශ 1 කරන්නේ නම් ඔවුන්ගේ ඉද්දාවෙහි 2 (එනම් සුදුසු කාලයෙහි) දික්කසාදය ප්රකාශ කරවු. තවද ඉද්දා කාලය ගණනය කරවු. තවද නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ට බිය භක්තිමත් වවු. ඔවුන් පැහැදිලි වූ අශික්ෂිත දෑ 3 කළහොත් මිස නුඹලා ඔවුන්ව ඔවුන්ගේ නිවෙස් වලින් බැහැර නොකරවු. තවද ඔවුන් බැහැර නොවිය යුතුයි. තවද මෙය අල්ලාහ්( නියම කළ අල්ලාහ්)ගේ සීමාවන්ය. තවද කවරෙකු අල්ලාහ් (නියම කළ ඔහු)ගේ සීමාවන් ඉක්මවන්නේද ඔහු තමාටම අපරාධ කර ගත්තේය. එයට(දික්කසාදය ප්රකාශයට) පසුව අලුත් තත්ත්වයක් (අනාගතයේ) අල්ලාහ් ඇති කළ හැකි බව නුඹ නොදන්නේය. 4
1තලාක් හෙවත් දික්කසාදය ප්රකාශ කිරීම පිළිබඳව වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:229-230 යන ආයතයන් බලන්න.
2ඉද්දා යන පදය යම් කාල සීමාවවක් පෙන්නුම් කිරීම සඳහා භාවිත වේ. ඉස්ලාමීය ව්යවහාරයෙහි ඉද්දා යන පදය සැමියා දික්කසාද වීමෙන් අනතුරුව හෝ සැමියා වියෝවයට පත් වීමෙන් අනතුරුව ඇය විවාහයකට නොඑළඹී සිටිය යුතු පොරොත්තු කාලයට භාවිත වේ. නමුත් මෙම ආයතයෙහි “ඉද්දා” යන පදය යෙදී ඇත්තේ දික්කසාදය ප්රකාශ කිරීමට සුදුසු කාලය පෙන්නුම් කිරීම සඳහාය. එනම්, එය කළ යුත්තේ සැමියා ඇය සමග අඹුසැමි සබඳතා නොපවත්වා තවද ඇය ඔසප් වීමෙන් තොරව හා ගර්භනීභාවයෙන් තොරව පාරිශුද්ධ තත්ත්වයෙහි සිටින අවස්ථාවේදී බව අල් කුර්ආන් විශාරදයින් අදහස් දක්වති. පොදුවේ ඉද්දාව පිළිබඳ වැඩි විස්තර සඳහා 2:234 ආයතයේ පාද සටහන බලන්න.
3මෙහි අශික්ෂිත දෑ යනු දුරාචාරය හා එවැනි ඉතා පාපකාරී විෂයන්හි නියැළීම වේ.
4මෙයින් අදහස් කෙරෙන්නේ දික්කසාදය ප්රකාශ කරන විට නැවත හරවා ගත හැකි එනම් ‘රජඊ’ දික්කසාදය ප්රකාශ කළ යුතු යන්නය. ‘රජඊ’ යනු පුරුෂයා විසින් තම භාර්යාවට නැවත හරවා ගත හැකි අයුරින් දෙවතාවක් පමණක් භාවිත කළ හැකි දික්කසාදය.
2

فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ فَارِقُوهُنَّ بِمَعْرُوفٍ وَأَشْهِدُوا ذَوَيْ عَدْلٍ مِّنكُمْ وَأَقِيمُوا الشَّهَادَةَ لِلَّهِ ۚ ذَٰلِكُمْ يُوعَظُ بِهِ مَن كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۚ وَمَن يَتَّقِ اللَّهَ يَجْعَل لَّهُ مَخْرَجًا

එබැවින් ඔවුහු (දික්කසාදය ප්රකාශ කරනු ලැබූ ස්ත්රීන්) තමන්ගේ (පොරොත්තු) කාලයේ අවසානයට එළැඹුනේ නම් ඔවුන්ව යහපත් අයුරින් නුඹලා රඳවා ගනිවු. එසේ නොමැති නම් යහපත් අයුරින් ඔවුන්ගෙන් නුඹලා වෙන් වවු. 5 තවද නුඹලා අතුරින් යුක්ති ගරුක (පිරිමි) දෙදෙනෙකු (මෙයට) සාක්ෂි වශයෙන් පත් කර ගනිවු. තවද (සාක්ෂිකරුවනි,) නුඹලා අල්ලාහ් වෙනුවෙන් (එම) සාක්ෂිය (අවංක ලෙස) ස්ථාපිත කරවු. මෙයමය අල්ලාහ්ව ද අවසන් දිනය ද විශ්වාස කරමින් සිටි අයට දෙනු ලබන උපදෙස් වනුයේ. තවද කවරෙකු අල්ලාහ්ට බිය භක්තිමත් වන්නේ ද ඔහු(අල්ලාහ්) ඔහුට (සියලු පීඩන වලින්) මිදීමට මග සලස්වන්නේය.
5මෙහි සඳහන් වී ඇති යහපත් අයුරින් යනු ජීවන සම්පත් සපයමින් තබා ගැනීමය. මෙහි ජීවන සම්පත් හිමි වන්නේ රජඊ තලාක් දෙනු ලැබූ ස්ති්රයටය. මෙම අවස්ථාවෙහි ඔහුට විකල්ප දෙකක් ඇත. පළමුවැන්න ඇය ඉද්දා පොරොත්තු කාලයේ සිටියදීම ඔහුගේ දික්කසාදය අහෝසි කර තම විවාහ ජීවිතය ආරම්භ කර ඇයට කළ යුතු වගකීම ඉටු කිරීමය. දෙවැන්න ඇය සමග කිසිදු වෛරයකින් තොරව ඇයගේ ඉද්දා හෙවත් පොරොත්තු කාල සීමාව අවසන් වීමෙන් පසුව ඇය තවත් කෙනෙකුව විවාහ කිරීමට අත් හැරිය යුතුය යන්නයි.
3

وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ ۚ وَمَن يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ ۚ إِنَّ اللَّهَ بَالِغُ أَمْرِهِ ۚ قَدْ جَعَلَ اللَّهُ لِكُلِّ شَيْءٍ قَدْرًا

තවද ඔහු නොසිතූ අයුරින් ඔහු(අල්ලාහ්) ඔහුට (ඔහුගේ අවශ්යතාව) සපුරාලන්නේය. තවද කවරෙකු අල්ලාහ් කෙරෙහි (සියල්ල) භාර කරන්නේ ද ඔහුට ඔහුම(අල්ලාහ්ම) ප්රමාණවත්ය. සැබැවින්ම අල්ලාහ් තම අභිමතාර්ථය ඉටු කර ගන්නේමය. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ සඳහා නිර්දේශයක් නියම කර ඇත.-
4

وَاللَّائِي يَئِسْنَ مِنَ الْمَحِيضِ مِن نِّسَائِكُمْ إِنِ ارْتَبْتُمْ فَعِدَّتُهُنَّ ثَلَاثَةُ أَشْهُرٍ وَاللَّائِي لَمْ يَحِضْنَ ۚ وَأُولَاتُ الْأَحْمَالِ أَجَلُهُنَّ أَن يَضَعْنَ حَمْلَهُنَّ ۚ وَمَن يَتَّقِ اللَّهَ يَجْعَل لَّهُ مِنْ أَمْرِهِ يُسْرًا

තවද (දික්කසාද කළ) නුඹලාගේ ස්ත්රීන් අතුරින් කවරෙකුට ඔසප් වීමේ බලාපොරොත්තුව නැති වූයේ ද (ඔවුන්ගේ ඉද්දා කාලය පිළිබඳව) නුඹලා අවිනිශ්චිත වූයේ නම් ඔවුන්ගේ ඉද්දා කාලය මාස තුනකි. ඔසප් නොවන ස්ත්රීන්ට ද (මෙලෙසම වේ). 6 තවද ගැබිනියන්ට ඔවුන්ගේ (ඉද්දා) කාලය ඔවුන් තමන්ගේ ගැබ ප්රසූත කරන තුරුය. තවද කවරෙකු අල්ලාහ්ට බිය භක්තිමත් වන්නේ ද ඔහුට ඔහුගේ කාර්යයෙහි ඔහු(අල්ලාහ්) පහසුව සලසන්නේය.
6මින් අදහස් වන්නේ කුඩා වියේ පසුවන්නන් පිළිබඳවයි. මේ අනුව බැලූ කල බාල වයස් විවාහය පිළිබඳව යම් ගැටළුවක් මතු විය හැක. ඉස්ලාමීය කෝණයේ විවාහ වයස පිළිබඳව පැහැදිලි කරන්නට පෙර පළමුව මේ විෂය හා සම්බන්ධ ඓතිහාසික බැල්ම අවබෝධ කර ගැනීම ඉතා වැදගත් යැයි සිතන්නෙමු. බාල වයසේ විවාහ වීම යනු පැරණි ලෝකයේ සංස්කෘතික අයිතිවාසිකමක් වශයෙන් බොහෝ සෙයින් පැවතෙමින් තිබුණු විෂයකි. පැරණි බොහෝ සංස්කෘතීන් තුළ විවාහ වන පිරිමියා හා කාන්තාව වැඩිවියට පත් වූ පටන් විවාහ වීම සාමාන්යයෙන් පිළිගනු ලැබූවක් විය. අප රටේ 17-1907 හි විවාහ හා දික්කසාද පනතේ 15 වන ව්යවස්ථාවෙහි පිරිමින්ගේ අවම විවාහ වයස අවුරුදු 16 යැයි ද කාන්තාවන්ගේ අවම විවාහ වයස අවුරුදු 12 යැයි ද සඳහන් වී ඇත. අතීතයේ ලොව හරහා පාරම්පරිකව විවාහයට අනුමත වයස වූයේ පවුලේ වැඩිහිටියන්ගේ තීරණයට හෝ ඔවුන් තම පූර්වකයින්ගේ චාරිත්රය පිළිපැදීමට අනුකූල වූ කරුණක් ලෙසය. 19 වන සියවස දක්වා විවාහයට අනුමත අවම වයස ලෙස පැවතුනේ ඉහත සඳහන් පරිදිය. අල් කුර්ආන් හා හදීසයන්හි විවාහය සඳහා කිසිදු වයස් සීමාවක් සීමාකර නොමැත. එනමුත් ඉස්ලාමීය විශාරදයින් වයස් සීමාව පිළිබඳව මෙසේ අදහස් ප්රකාශ කොට ඇත. 1. ඉස්ලාමය තුළ බාල වයස් විවාහ සඳහා අනුමැතියක් තිබුණ ද කිසිදු තත්ත්වයක් තුළ එය දිරිගන්වනු ලබන්නක් හෝ අනුබල දෙනු ලැබූවක් හෝ නොමැත. 2. බාල දැරියකට විවාහ කර තැබීම තුළින් කිසිදු පැහැදිලි හා සැබෑ ප්රයෝජනයක් නොමැතිව ඇය සඳහා විවාහයක් නියම කිරීම නුසුදුසු කාර්යයක් යැයි ඉස්ලාමය සලකන්නේය. 3. ඉස්ලාමය බාල වයස් විවාහය අනුමත කර ඇත යන්නෙහි අර්ථය වනුයේ බාල වයසේ දී විවාහය ගිවිස ගැනීම පමණක් අනුමත වේ යන්නයි. විවාහ ගිවිස ගත් බාල වයස්කාර මනමාලයා හෝ මනමාලිය එක් වී විවාහ ජීවිතය ගත කිරීමට මානසිකව හා කායිකව සූදානම් වයසකට හා තත්ත්වයකට එළඹෙන තෙක් ඉස්ලාමය තුළ එය ඔවුනට අනුමත නොවේ. එසේ නම් ඉහත කරුණු සැළකිල්ලට නොගෙන කෙනෙකු බාල වයස් විවාහයේ යෙදෙන්නේ නම් එය ඔහුගේ අඥානකම හා අධාර්මිකත්වය පෙන්නුම් කරන්නකි.
5

ذَٰلِكَ أَمْرُ اللَّهِ أَنزَلَهُ إِلَيْكُمْ ۚ وَمَن يَتَّقِ اللَّهَ يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُعْظِمْ لَهُ أَجْرًا

එයයි නුඹලා වෙත පහළ කළ අල්ලාහ්ගේ විධානය වනුයේ. තවද කවරෙකු අල්ලාහ්ට බිය භක්තිමත් වන්නේ ද ඔහුගේ දුෂ්ටකම් ඔහුගෙන් ඔහු(අල්ලහ්) ක්ෂමා කර ඔහුට වේතනය අධික කරන්නේය.
6

أَسْكِنُوهُنَّ مِنْ حَيْثُ سَكَنتُم مِّن وُجْدِكُمْ وَلَا تُضَارُّوهُنَّ لِتُضَيِّقُوا عَلَيْهِنَّ ۚ وَإِن كُنَّ أُولَاتِ حَمْلٍ فَأَنفِقُوا عَلَيْهِنَّ حَتَّىٰ يَضَعْنَ حَمْلَهُنَّ ۚ فَإِنْ أَرْضَعْنَ لَكُمْ فَآتُوهُنَّ أُجُورَهُنَّ ۖ وَأْتَمِرُوا بَيْنَكُم بِمَعْرُوفٍ ۖ وَإِن تَعَاسَرْتُمْ فَسَتُرْضِعُ لَهُ أُخْرَىٰ

නුඹලාගේ හැකියාවට අනුව නුඹලා වෙසෙන ස්ථානයේ (තලාක් කළ) ඔවුනට නවාතැන් සලසා දෙවු.තවද ඔවුනට (ජීවිතයේ) පීඩා ඇති වනු පිණිස නුඹලා ඔවුනට හිංසා නොපමුණු වවු. තවද ඔවුන් ගැබිනි ස්ත්රීන් නම් ඔවුන්ගේ ගැබ ප්රසූත කරන තුරු ඔවුන් සඳහා නුඹලා වියදම් කරවු. 7 එබැවින් ඔවුන් නුඹලා වෙනුවෙන් (දරුවන්ට) මව් කිරි පොවන්නේ නම් ඔවුන්ට තම වේතනය පිරිනමවු. 8 තවද සාධාරණත්වයකින් යුතුව නුඹලා අතර (එම වේතනය පිළිබඳව) සාකච්ඡා කර ගනිවු. තවද නුඹලා එකිනෙකා අතර එතගතාවක් ඇති නොවූයේ නම් වෙනත් අයෙකු ඔහුට (එම දරුවාට) මව්කිරි පොවනු ඇත.
7දික්කසාද කරනු ලැබූ ස්ත්රිය ගැබිනියක නම් ඇයගේ ඉද්දා කාල සීමාව කෙටි වන්නට හෝ දීර්ඝ වන්නට හෝ හැකිය. මෙසේ එය දීර්ඝ වුවහොත් එම කාලය පුරාම ඇයට කළ යුතු ජීවන සැපයුම් අනිවාර්ය නොවේ යැයි සැකයක් මතු විය හැකි හෙයින් එය දුරු කරනු පිණිස මෙම ආයතය පහළ විය.
8ඉස්ලාමයට අනුව මවක් දරුවෙකුට මව්කිරි දුන්න ද එහි වගකීම පැවරෙන්නේ පියාටය. එබැවින් මව මව්කිරි දීමේ දී ඇය සඳහා වූ වියදම් පියා දැරිය යුතු බව අල් කුර්ආන් 2:233 ආයතයේ සඳහන් වී ඇත. මෙම ආයතයේ දික්කසාද කළ පසුද එසේ වියදම් කිරීම පියා සතු වගකීමක් බව පැහැදිලි කර ඇත.
7

لِيُنفِقْ ذُو سَعَةٍ مِّن سَعَتِهِ ۖ وَمَن قُدِرَ عَلَيْهِ رِزْقُهُ فَلْيُنفِقْ مِمَّا آتَاهُ اللَّهُ ۚ لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا مَا آتَاهَا ۚ سَيَجْعَلُ اللَّهُ بَعْدَ عُسْرٍ يُسْرًا

(මව්කිරි දීමේ වියදම විෂයෙහි) වත්කම් ඇත්තෙක් ඔහුගේ වත්කමට අනුව වියදම් කළ යුතුය. කවරෙකුට ඔහුගේ ජීවන සම්පත් සීමා කරනු ලැබ ඇත්තේ ද අල්ලාහ් ඔහුට දුන් දැයින් ඔහු වියදම් කළ යුතුය. අල්ලාහ් කිසිම ආත්මයකට ඔහු එයට දුන් දැය (අනුව) මිස බල නොකරනු ඇත. දුෂ්කරතාවකට පසුව පහසුවක් අල්ලාහ් (ශීඝ්රයෙන්) ඇති කරනු ඇත.
8

وَكَأَيِّن مِّن قَرْيَةٍ عَتَتْ عَنْ أَمْرِ رَبِّهَا وَرُسُلِهِ فَحَاسَبْنَاهَا حِسَابًا شَدِيدًا وَعَذَّبْنَاهَا عَذَابًا نُّكْرًا

තවද එහි පරමාධිපතිගේ විධානයට හා ඔහුගේ රසූල්වරුන්ට එරෙහිව කොතෙක්දෝ ගම්මාන( වැසි)යන් කැරලි ඇති කළහ. එබැවින් අපි එ(ම ක්රියාවලි)ය දැඩි ගිණුම් බැලීමකින් විමසුමට ලක් කළෙමු. තවද අපි එ(ම ගම්මාන)ය නින්දිත දඬුවමකින් දඬුවම් කළෙමු.
9

فَذَاقَتْ وَبَالَ أَمْرِهَا وَكَانَ عَاقِبَةُ أَمْرِهَا خُسْرًا

එබැවින් එහි (එනම් ඔවුන්ගේ) ක්රියාවේ අයහපත් විපාකය එය (එනම් ඔවුහු) රස වින්දහ. තවද එහි (එනම් ඔවුන්ගේ) ක්රියාවේ අවසානය අලාභ විය.
10

أَعَدَّ اللَّهُ لَهُمْ عَذَابًا شَدِيدًا ۖ فَاتَّقُوا اللَّهَ يَا أُولِي الْأَلْبَابِ الَّذِينَ آمَنُوا ۚ قَدْ أَنزَلَ اللَّهُ إِلَيْكُمْ ذِكْرًا

අල්ලාහ් ඔවුනට දැඩි දඬුවමක් පිළියෙල කර ඇත. එබැවින් විශ්වාස කළ නුවණැත්තවුනි, නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සැබැවින්ම අල්ලාහ් නුඹලා වෙත උපදෙසක් (අල් කුර්ආනය) පහළ කළේය.
11

رَّسُولًا يَتْلُو عَلَيْكُمْ آيَاتِ اللَّهِ مُبَيِّنَاتٍ لِّيُخْرِجَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۚ وَمَن يُؤْمِن بِاللَّهِ وَيَعْمَلْ صَالِحًا يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ قَدْ أَحْسَنَ اللَّهُ لَهُ رِزْقًا

(තවද) විශ්වාස කර යහකම් කරන්නන්ව අඳුරේ සිට ආලෝකය කරා පිටතට ගෙන ඒම පිණිස (සත්යය) පැහැදිලි කරන්නා වූ අල්ලාහ්ගේ ආයතයන් නුඹලා හට පාරායනය කරන්නා වූ රසූල්වරයෙකු (අල්ලාහ් යැව්වේය). තවද කවරෙකු අල්ලාහ්ව විශ්වාසකර යහකම් කරන්නේ ද ඔහු(අල්ලාහ්) ස්වර්ග උයන් වලට ඔහුව ඇතුළු කරවන්නේය. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. (ඔවුහු) එහි සදාතනිකයෝ වෙති. සැබැවින්ම අල්ලාහ් ඔහුට බොජුන් අලංකාර කර දෙන්නේය.
12

اللَّهُ الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ وَمِنَ الْأَرْضِ مِثْلَهُنَّ يَتَنَزَّلُ الْأَمْرُ بَيْنَهُنَّ لِتَعْلَمُوا أَنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ وَأَنَّ اللَّهَ قَدْ أَحَاطَ بِكُلِّ شَيْءٍ عِلْمًا

අල්ලාහ්, ඔහුමය අහස් සතක් හා මිහිතලයෙන් ද එලෙසම (සතක්) මැව්වේ. ඒවා අතර (ඔහුගේ) විධානය පහළ වන්නේය. 9 (එසේ කරනුයේ) අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බල සම්පන්න යැයි ද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ඥානයෙන් සර්ව ප්රකාර යැයි ද නුඹලා දැන ගැනීම පිණිසය.
9මුළු විශ්වයම පාලනය කරන අල්ලාහ්ගේ විධානය අහස් හා පොළොව අතර පහළ වෙමින් තිබේ යනුවෙන් මෙයින් අදහස් කෙරේ.