الْحَمْدُ لِلَّهِ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَجَعَلَ الظُّلُمَاتِ وَالنُّورَ ۖ ثُمَّ الَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ يَعْدِلُونَ
සියලු පැසසුම් අහස් හා මිහිතලය මවා අන්ධකාරයන් හා ආලෝකය ඇති කළ අල්ලාහ් සතුය. ඉන් පසුවද ප්රතික්ෂේප කළවුන් ඔවුන්ගේ පරමාධිපතිට (නැමදුමෙහි වෙනත් දෑ) සමාන කරන්නෝය.
هُوَ الَّذِي خَلَقَكُم مِّن طِينٍ ثُمَّ قَضَىٰ أَجَلًا ۖ وَأَجَلٌ مُّسَمًّى عِندَهُ ۖ ثُمَّ أَنتُمْ تَمْتَرُونَ
මැටියෙන් නුඹලාව මවා පසුව (නුඹලාට ආයුෂ) කාලයක් නියම කළේද ඔහුමය. තවද ඔහු අබියස (විනිශ්චය දිනදී නුඹලාව නැගිටුවනු ලැබීමට) නියම කරනු ලැබූ කාලයක් ඇත. (ප්රතික්ෂේපකයිනි,) ඉන් පසුව ද (ඒ පිළිබඳව) නුඹලා සැක කරන්නෙහුය.
وَهُوَ اللَّهُ فِي السَّمَاوَاتِ وَفِي الْأَرْضِ ۖ يَعْلَمُ سِرَّكُمْ وَجَهْرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُونَ
තවද අහස්හි හා මිහිතලයෙහි (නැමදුමට සුදුස්සා වූ) අල්ලාහ් ඔහුය. නුඹලා සඟවන දෑ ද නුඹලා හෙළිදරව් කරන දෑ ද ඔහු දන්නේය. තවද නුඹලා උපයන දෑ ද ඔහු දන්නේය.
وَمَا تَأْتِيهِم مِّنْ آيَةٍ مِّنْ آيَاتِ رَبِّهِمْ إِلَّا كَانُوا عَنْهَا مُعْرِضِينَ
ඔවුන්ගේ පරමාධිපතිගේ සංඥා අතුරින් (යම්) සංඥාවක්, ඔවුන් එය ප්රතික්ෂේප කරන්නන්ව සිටියා මිස ඔවුන් වෙත පැමිණියේ නැත.
فَقَدْ كَذَّبُوا بِالْحَقِّ لَمَّا جَاءَهُمْ ۖ فَسَوْفَ يَأْتِيهِمْ أَنبَاءُ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
සත්යය ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුන් එය අසත්යය කළෝය. එබැවින් ඔවුන් කුමක් සමච්චල් කරමින් සිටියේ ද එම (දඬුවම පිළිබඳ) පුවත් ඔවුන් වෙත පැමිණෙනු ඇත.
1එම ජනයා වෙත අල්ලාහ්ගේ ඇරයුම පැමිණ ඊට ඔවුන් පිටු පෑවේ නම් අල්ලාහ්ගේ දඬුවම පැමිණෙනු ඇත යැයි පවසා තිබියදීත් ඔවුන් එම ඇරයුම ප්රතික්ෂේප කළෝය. පසුව එම දඬුවම කවදා පැමිණෙනු දැ’යි සමච්චලයෙන් අසමින් සිටියෝය. එයට පිළිතුරක් ලෙස ඔවුන් වෙත අල්ලාහ්ගේ එම දඬුවම පතිත වන බව මෙහි සඳහන් වී ඇත.
أَلَمْ يَرَوْا كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍ مَّكَّنَّاهُمْ فِي الْأَرْضِ مَا لَمْ نُمَكِّن لَّكُمْ وَأَرْسَلْنَا السَّمَاءَ عَلَيْهِم مِّدْرَارًا وَجَعَلْنَا الْأَنْهَارَ تَجْرِي مِن تَحْتِهِمْ فَأَهْلَكْنَاهُم بِذُنُوبِهِمْ وَأَنشَأْنَا مِن بَعْدِهِمْ قَرْنًا آخَرِينَ
ඔවුනට පෙර කොපමණ පරපුරක් අපි විනාශ කළෙමු දැයි ඔවුහු නුදුටුවෝ ද? අපි නුඹලාව ස්ථාපිත නොකළ අයුරින් ඔවුන්ව මිහිතලයෙහි (අධිකාරය දී) ස්ථාපිත කළෙමු. තවද අපි ඔවුන් වෙත අහසින් (වර්ෂාව අවශ්ය පරිදි) අධිකව යැව්වෙමු. ඔවුන්(ගේ වාසස්ථානයන්)ට පහළින් ගලා බසිනා ගංගාවන් අපි ඇති කළෙමු. පසුව ඔවුන්ගේ පාපයන් හේතුවෙන් ඔවුන්ව අපි විනාශ කළෙමු. තවද ඔවුනට පසු අපි වෙනත් පරපුරක් බිහි කළෙමු.
وَلَوْ نَزَّلْنَا عَلَيْكَ كِتَابًا فِي قِرْطَاسٍ فَلَمَسُوهُ بِأَيْدِيهِمْ لَقَالَ الَّذِينَ كَفَرُوا إِنْ هَـٰذَا إِلَّا سِحْرٌ مُّبِينٌ
(නබිවරය,) පිටුවෙහි ලියැවුණු ධර්ම පුස්තකයක් අප ඔබ වෙත පහළ කර, එය ඔවුන් තම දෑත් වලින් ස්පර්ශ කළේ නම් ද “මෙය පැහැදිලි හූනියමක් මිස නැතැ”යි ප්රතික්ෂේප කළවුන් පවසනු ඇත.
وَقَالُوا لَوْلَا أُنزِلَ عَلَيْهِ مَلَكٌ ۖ وَلَوْ أَنزَلْنَا مَلَكًا لَّقُضِيَ الْأَمْرُ ثُمَّ لَا يُنظَرُونَ
තවද (නබිවරයෙකු බව තහවුරු කිරීම පිණිස) “මොහු කෙරෙහි මලක්වරයෙකු පහළ කරනු ලැබ යුතු නොවේ දැ?”යි ඔවුහු පවසති. අපි මලක්වරයෙකු පහළ කළේ නම් (ඔවුන්ගේ විනාශයේ) කරුණ තීරණය කරනු ලබනු ඇත. පසුව ඔවුනට අවකාශ දෙනු නොලැබේ.
2මලක්වරයෙකු පහළ නොකළේ මන්දැ?’යි 8 හා 9 යන ආයතයන්හි පැහැදිලි කර ඇත. 8 වැනි ආයතයෙන් පෙන්නුම් කරනුයේ අල්ලාහ්ගේ එක් පිළිවතක් පිළිබඳවය. එනම් ප්රතික්ෂේපකයින් යම් ප්රාතිහාර්යයක් පෙන්වන මෙන් ඉල්ලා සිටියේ නම් එම ඉල්ලීම අල්ලාහ් ඉටු කිරීමට පුළුවන. නමුත් එය සැබෑ වී පසුවත් ඔවුන් විශ්වාස නොකළේ නම් ඔවුන්ට කිසිදු අවකාශයක් නොදී ඔවුන්ව විනාශ කරන්නේය. මන්දයත් බොහෝ ප්රතික්ෂේපකයින්ගේ ප්රතික්ෂේපය පදනම් වී ඇත්තේ මුරණ්ඩුකම මතය. එහෙයින් ඔවුන් මලක්වරයෙකුව දෑස් වලින් දුටුව ද විශ්වාස නොකරන්නෝය. එමෙන්ම අල්ලාහ්ගේ විධානයට හා දහමට අනුකූල දැය, මිනිසාට අදෘශ්යයමාන වුවද එලෙසින්ම විශ්වාස කිරීම ඉස්ලාම් දහමේ පදනම හා අල්ලාහ්ගේ විභාගයයි. එවන් අදෘශ්යයමාන දැය මතුලොවෙහිදී දෑස් පනාපිටම මිනිසාට පෙන්වනු ලැබේ. එහෙයින් මිනිසා මෙලොවෙහිදී කොතරම් අකටයුතු කම් කළද ඔහුගේ පාපයන් සඳහා පශ්චාත්තාප වීමට ඉඩප්රස්ථාව ලබනුයේ මරණ මංචකය දක්වා පමණි. පසුව මතුලොවෙහිදී නැගිට අදෘශ්යයමාන දෑ සැබෑ ලෙස දකිමින් තමන් යායුතු ස්ථානයට එනම් ස්වර්ගයට හෝ නිරයට නිරන්තරයෙන් යනු නියතය. ඉහත ප්රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමාණන්ගෙන් ගෙනහැර පෙන්වන මෙන් ඉල්ලා සිටියේ ද මෙවන් මිනිසාට අදෘශ්යයමාන මලක්වරුන්වය. එහෙයින් ඔවුන්ව මෙලොවෙහිදී දැකීම යනු ඉන්පසු විශ්වාස කිරීම යන අල්ලාහ්ගේ විභාගය අවසන් වී පශ්චාත්තාප වීමට පවා කාල අවකාශයක් නොලැබී විනාශය ඔවුනට තීන්දු වනු ඇත යන්න මින් අදහස් කෙරෙයි.
وَلَوْ جَعَلْنَاهُ مَلَكًا لَّجَعَلْنَاهُ رَجُلًا وَلَلَبَسْنَا عَلَيْهِم مَّا يَلْبِسُونَ
තවද අපි ඔහුව(නබිවරයාව) මලක්වරයෙකු බවට පත් කළේ නම් අපි ඔහුව (නුඹලාට දර්ශනය කළ හැකි) මිනිසෙකු බවටම පත් කර ඇත්තෙමු. තවද ඔවුන් ව්යාකූලත්වයට පත්ව සිටි දැයින් අපි ඔවුන්ව ව්යාකූලත්වයට පත් කරන්නෙමු.
3මිනිසුන්ට මලක්වරයෙකුගේ සත්යය ස්වරූපය බැලීමට නොහැක. එසේ මලක්වරයාව මිනිස් ස්වරූපයෙන්ම යැව්වේ නම් නැවත ඔවුන් පෙර සේම ප්රශ්න මතු කරනු ඇත යන්නයි.
وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُوا مِنْهُم مَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
(නබිවරය,) සැබැවින්ම නුඹට පෙර ද රසූල්වරුන් (තම සමූහයා විසින්) සමච්චලයට ලක් කරනු ලැබීය. එබැවින් ඔවුන්ට(රසූල්වරුන්ට) සමච්චල් කළවුන්ව ඔවුන් සමච්චල් කරමින් සිටි දෑ(දඬුවම) වටලා ගත්තේය.
قُلْ سِيرُوا فِي الْأَرْضِ ثُمَّ انظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ
(නබිවරය, ජනයින්ට) නුඹ පවසවු. “නුඹලා මිහිතලයෙහි ගමන් කරවු. පසුව අසත්යය කළවුන්ගේ අවසානය කෙසේ වී දැයි (නිරීක්ෂා කර) බලවු.”
قُل لِّمَن مَّا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ قُل لِّلَّهِ ۚ كَتَبَ عَلَىٰ نَفْسِهِ الرَّحْمَةَ ۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ ۚ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ
“අහස්හි හා මිහිතලයෙහි ඇති දෑ කවරෙකු සතු වන්නේ දැ?”යි (නබිවරය,) නුඹ විමසවු. “අල්ලාහ් සතු යැ”යි නුඹ පවසවු. ඔහු කාරුණාව තමන් කෙරෙහිම නියම කර ගත්තේය. (මළවුන්) නැගිටුවනු ලබන දිනය සඳහා නුඹලාව සැබැවින්ම ඔහු එක් රැස් කරන්නේය. ඒ පිළිබඳව කිසිදු සැකයක් නැත. තමන්ටම පාඩු ඇති කර ගත්තවුන් (වන) ඔවුහු (මේ පිළිබඳව) විශ්වාස නොකරති.
وَلَهُ مَا سَكَنَ فِي اللَّيْلِ وَالنَّهَارِ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
රාත්රියෙහි හා දහවලෙහි වෙසෙන දෑ ඔහුටම සතුය. තවද ඔහු සර්ව ශ්රාවකය සර්වඥය.
قُلْ أَغَيْرَ اللَّهِ أَتَّخِذُ وَلِيًّا فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَهُوَ يُطْعِمُ وَلَا يُطْعَمُ ۗ قُلْ إِنِّي أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ ۖ وَلَا تَكُونَنَّ مِنَ الْمُشْرِكِينَ
“අහස්හි හා මිහිතලයේ මුල් උත්පාදකයා වන අල්ලාහ් හැර (අන් අයෙකු) භාරකරුවෙකු වශයෙන් මම ගන්නෙම් ද? තවද ඔහු (සියල්ලන්ට) ආහාර සපයන්නේය. ඔහුට (කිසිවෙකු විසින්) ආහාර සපයනු නොලබයි” යැයි (නබිවරය, ජනයින්ට) නුඹ පවසවු. “අවනත වන්නන්ගෙන් ප්රමුඛයා වීමට හා සැබැවින්ම නුඹ ආදේශ තබන්නන් අතුරින් නොවවු යැයි සැබැවින්ම මම අණ කරනු ලැබුවෙමි.” යැයි ද නුඹ පවසවු.
قُلْ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ
“මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම්, සැබැවින්ම මහත් වූ දිනයක දඬුවමට මම බිය වෙමි” යැයි ද නුඹ පවසවු.
مَّن يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍ فَقَدْ رَحِمَهُ ۚ وَذَٰلِكَ الْفَوْزُ الْمُبِينُ
එදින එයින්(දඬුවමෙන්) කවරෙකු (වළක්වනු ලැබ) හරවනු ලබන්නේද සැබැවින්ම ඔහු(අල්ලාහ්) ඔහුට කරුණාව දැක්වූවේය. තවද එයයි පැහැදිලි ජයග්රහණය වන්නේ.
وَإِن يَمْسَسْكَ اللَّهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهُ إِلَّا هُوَ ۖ وَإِن يَمْسَسْكَ بِخَيْرٍ فَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
අල්ලාහ් නුඹව (යම්) විපතක් මගින් ස්පර්ශ කරන්නේ නම් ඔහු හැර එය ඉවත් කරන්නෙකු නොමැත. තවද ඔහු නුඹට යහපතකින් ස්පර්ශ කරන්නේ නම් ඔහු සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ ۚ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ
ඔහුමය තම ගැත්තන්ට (වඩා) ඉහළින් බලපරාක්රම වන්නේ. තවද ඔහු සර්ව ප්රඥාවන්තය අභිඥානවන්තය.
قُلْ أَيُّ شَيْءٍ أَكْبَرُ شَهَادَةً ۖ قُلِ اللَّهُ ۖ شَهِيدٌ بَيْنِي وَبَيْنَكُمْ ۚ وَأُوحِيَ إِلَيَّ هَـٰذَا الْقُرْآنُ لِأُنذِرَكُم بِهِ وَمَن بَلَغَ ۚ أَئِنَّكُمْ لَتَشْهَدُونَ أَنَّ مَعَ اللَّهِ آلِهَةً أُخْرَىٰ ۚ قُل لَّا أَشْهَدُ ۚ قُلْ إِنَّمَا هُوَ إِلَـٰهٌ وَاحِدٌ وَإِنَّنِي بَرِيءٌ مِّمَّا تُشْرِكُونَ
“සාක්ෂියෙන් කවර දැයක් ශ්රේෂ්ඨ වන්නේ දැ?”යි (නබිවරය,) නුඹ විමසවු. “අල්ලාහ්මය මා හා නුඹලා අතර සාක්ෂිකරුවා වන්නේ. තවද නුඹලාට හා කවරෙකුට එය(අල් කුර්ආනය) සේන්දු වූයේ ද ඔවුනට එමගින් මා අවවාද කිරීම පිණිස මෙම අල් කුර්ආනය මා වෙත වහී (දේව පණිවිඩ) ලෙස පහළ කරනු ලැබීය. අල්ලාහ් සමග වෙනත් දෙවිවරුන් ඇති බවට නුඹලා සාක්ෂි දරන්නෙහි දැ?”යි ද නුඹ විමසවු. “මම (මෙලෙස නුඹලා සමග) සාක්ෂි නොදරන්නෙමි.” යැයි පවසවු. “සැබැවින්ම ඔහුමය එකම දෙවියන් වන්නේ. තවද සැබැවින්ම නුඹලා ආදේශ තබන දැයින් මම නිදොස් වූවෙකි” යැයි ද නුඹ පවසවු.
الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءَهُمُ ۘ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ
අප කවරෙකුට ධර්ම පුස්තකය ලබා දුන්නේ ද ඔවුහු තමන්ගේ පුතුන් හඳුනා ගන්නා මෙන් ඔහුවද(නබිවරයාවද) හඳුනා ගනිති. තමන්ටම පාඩු ඇති කර ගත්තවුන් නම්, ඔවුහු විශ්වාස නොකරති.
4තව්රාත්හි ද ඉන්ජීල්හි ද අනෙකුත් ධර්ම පුස්තකයන්හි ද නබි මුහම්මද් තුමාගේ පැමිණීම හා ඔහුගේ සංඥාවන් පිළිබඳව සඳහන් වී ඇත. මේවා හැදෑරූ උගත් ප්රභූවරුන් මේ පිළිබඳව දැන ගෙන සිටිය ද ඔවුන්ගේ පෞද්ගලික වාසි තකා ඔවුන් එය පිළිගැනීමෙන් වැළකී සිටින්නෝය.
وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ ۗ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ
කවරෙකු අල්ලාහ් පිළිබඳව බොරුවක් ගොතන්නේ ද නැතහොත් ඔහුගේ සංඥාවන් අසත්යය කරන්නේ ද ඔහුට වඩා මහත් අපරාධකරුවා කවරෙක් ද? සැබැවින්ම අපරාධකරුවෝ ජය නොලබති.
وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوا أَيْنَ شُرَكَاؤُكُمُ الَّذِينَ كُنتُمْ تَزْعُمُونَ
ඔවුන් සියල්ලන්වම අප එක්රැස් කරන දින (සිහිපත් කරවු.) එවිට “නුඹලා තරයේ විශ්වාස කරමින් සිටි (ආදේශ තැබූ) නුඹලාගේ හවුල්කරුවන් (වන මිථ්යා දෙවිවරුන්) කොහේදැ?”යි ආදේශ තැබූවන්ට අපි පවසන්නෙමු.
ثُمَّ لَمْ تَكُن فِتْنَتُهُمْ إِلَّا أَن قَالُوا وَاللَّهِ رَبِّنَا مَا كُنَّا مُشْرِكِينَ
පසුව “අපගේ පරමාධිපති වන අල්ලාහ් මත දිවුරමින්, සැබැවින්ම අපි ආදේශකයින් නොවීමු’ යැයි ඔවුහු පවසනු මිස ඔවුන්ගේ පිරික්සුම(පිළිතුර) නොවීය.
5මෙහි ඔවුන් ව්යාජව නිදහසට කරුණු ඉදිරිපත් කිරීම ‘ඔවුන්ගේ පිරික්සුම’ යැයි සඳහන් කොට ඇත.
انظُرْ كَيْفَ كَذَبُوا عَلَىٰ أَنفُسِهِمْ ۚ وَضَلَّ عَنْهُم مَّا كَانُوا يَفْتَرُونَ
ඔවුන් තමන් පිළිබඳවම අසත්ය ප්රකාශ කරනුයේ කෙසේ දැ?යි ද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී යෑම ද (නබිවරය,) නුඹ (නිරීක්ෂණය කර) බලවු.
6මෙයින් පෙන්නුම් කරන්නේ මිනිසා විශ්වාස කළ මිථ්යා දෙවිවරුන් පිළිබඳවය. විනිශ්චය දිනයේ එම මිථ්යා දෙවිවරුන් ඔවුන්ට කිසිවකින් උදවු නොකරන්නෝය. මන්දයත් එම මිථ්යා දෙවිවරුන් පැවතිමින් සිටින්නන් යැයි මිනිසා සිතා සිටියද එදින එම දෙවිවරුන් නොසිටි හෙයින් ද වේ.
وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ ۖ وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا ۚ وَإِن يَرَوْا كُلَّ آيَةٍ لَّا يُؤْمِنُوا بِهَا ۚ حَتَّىٰ إِذَا جَاءُوكَ يُجَادِلُونَكَ يَقُولُ الَّذِينَ كَفَرُوا إِنْ هَـٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ
(නබිවරය, නුඹ අල් කුර්ආනය පාරායනය කරන විට) නුඹට ශ්රවණය කරන අයද (ප්රතික්ෂේපක) ඔවුන් අතුරින් සිටිති. තවද අපි ඔවුනට එ(ම අල් කුර්ආන)ය නොවැටහෙන සේ ඔවුන්ගේ හදවත් මත ආවරණයක් ද ඔවුන්ගේ කන් තුළ අගුලක් ද ඇති කළෙමු. තවද සියලුම සංඥාවන් ඔවුන් දුටුවද ඒවා ඔවුහු විශ්වාස නොකරති. කෙතරම්ද යත් ඔවුහු ඔබ සමඟ තර්ක කරමින් ඔබ වෙත පැමිණි විට (එම) ප්රතික්ෂේප කළවුන්, “මේවා පැරැන්නන්ගේ (මිථ්යා) ප්රබන්ධ මිස නැතැ”යි පවසති.
7ඔවුන් අල් කුර්ආනයට හෝ නබි මුහම්මද් තුමාගේ දේශනාවට සවන් දෙන්නේ සත්යය නොපතන්නන් ලෙසය. තවද ඔවුන් එයට සවන් දෙන්නේ විනෝදයට හා සමච්චලයටය. එබැවින් එය ඔවුන්ට ප්රයෝජනයක් නොදුන්නේ යැයි ද ඔවුන්ගේ හිතුවක්කාරකම හේතුවෙන් ඔවුන්ගේ හදවත් තුළ ආවරණයක් දැමුවේ යැයි ද අල්ලාහ් පවසා ඇත.
وَهُمْ يَنْهَوْنَ عَنْهُ وَيَنْأَوْنَ عَنْهُ ۖ وَإِن يُهْلِكُونَ إِلَّا أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ
තවද ඔවුන් (ජනයින්ව) එ(ම මුහම්මද් නබිවරයාගෙන් හා අල් කුර්ආන)යෙන් වළක්වා ඔවුන් ද එයින් දුරස් වෙති. ඔවුන් ඔවුන්වම මිස විනාශ කරගන්නේ නැත. තවද (ඒ බව) ඔවුහු නොහඟති.
وَلَوْ تَرَىٰ إِذْ وُقِفُوا عَلَى النَّارِ فَقَالُوا يَا لَيْتَنَا نُرَدُّ وَلَا نُكَذِّبَ بِآيَاتِ رَبِّنَا وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ
(නිරා) ගින්න අබියස ඔවුන්ව සිටවනු ලබන අවස්ථාව නුඹ දුටුවෙහි නම්, එවිට ඔවුහු “අහෝ අපව ආපසු (ලොවට) හරවා යවනු ලබන්නේ නම් (මැනව! එවිට) අපි අපගේ පරමාධිපතිගේ සංඥාවන් අසත්යය නොකරන්නෙමු. තවද අපි විශ්වාසිකයින් අතුරින් වන්නෙමු” යැයි පවසති.
بَلْ بَدَا لَهُم مَّا كَانُوا يُخْفُونَ مِن قَبْلُ ۖ وَلَوْ رُدُّوا لَعَادُوا لِمَا نُهُوا عَنْهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ
නමුත් මෙයට පෙර (ලෞකික ජීවිතයෙහි) ඔවුන් සඟවමින් සිටි දෑ (එනම් ප්රතික්ෂේපය හා ආදේශ කිරීම එදින) ඔවුනට හෙළි විය. තවද ඔවුන් (එසේ) නැවත (මෙලොවට) හරවා යවනු ලැබුවේ නම් කුමකින් ඔවුන්ව වළක්වනු ලැබුවේ ද එය වෙත ඔවුන් නැවත යනු ඇත. තවද සැබැවින්ම ඔවුන් අසත්යවන්තයින්ය.
وَقَالُوا إِنْ هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ
තවද “මෙ(ම ජීවිත)ය, අපගේ මෙලොව ජීවිතය මිස නැත. තවද අපි (මරණින් මතු) නැවත නැගිටුවනු ලබන්නන් නොවෙමු.” යැයි ඔවුහු (මෙලොවෙහි) පැවසුවෝය.
وَلَوْ تَرَىٰ إِذْ وُقِفُوا عَلَىٰ رَبِّهِمْ ۚ قَالَ أَلَيْسَ هَـٰذَا بِالْحَقِّ ۚ قَالُوا بَلَىٰ وَرَبِّنَا ۚ قَالَ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ
තවද ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ව සිටවනු ලබන අවස්ථාව නුඹ දුටුවෙහි නම් (මහත් වූ කරුණක් නුඹ දකින්නෙහිය. එවිට) “මෙය සත්යය නොවේ ද?” යැයි (ඔවුන්ට) ඔහු(අල්ලාහ්) පවසයි. “එසේය. අපගේ පරමාධිපති මත දිවුරමින් (එය සත්යයකි)” යැයි ඔවුහු පවසති. “එසේ නම් නුඹලා ප්රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් (මෙම) දඬුවම රස විඳිවු” යැයි ඔහු(අල්ලාහ්) පවසයි.
قَدْ خَسِرَ الَّذِينَ كَذَّبُوا بِلِقَاءِ اللَّهِ ۖ حَتَّىٰ إِذَا جَاءَتْهُمُ السَّاعَةُ بَغْتَةً قَالُوا يَا حَسْرَتَنَا عَلَىٰ مَا فَرَّطْنَا فِيهَا وَهُمْ يَحْمِلُونَ أَوْزَارَهُمْ عَلَىٰ ظُهُورِهِمْ ۚ أَلَا سَاءَ مَا يَزِرُونَ
(විනිශ්චය දිනහි) අල්ලාහ්ව හමුවීම අසත්යය කළ අය සැබැවින්ම පාඩු වින්දෝය. කෙතරම්ද යත් (ලොව අවසන්) හෝරාව අනපේක්ෂිතව ඔවුන් වෙත පැමිණි විට ඔවුන්ගේ පිටකොන්ද මත ඔවුන්ගේ (පාප) බර ඔවුහු උසුලාගෙන සිටියදී “අප එ(ලොවෙ)හි නොසැලකිලිමත්ව කටයුතු කිරීමෙහි (ඇති වූ) අහෝ! අපගේ කනගාටුව” යැයි ඔවුහු (පසුතැවිල්ලෙන්) පවසති. දැන ගනු. ඔවුන් උසුලන දෑ නරකය.
وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَعِبٌ وَلَهْوٌ ۖ وَلَلدَّارُ الْآخِرَةُ خَيْرٌ لِّلَّذِينَ يَتَّقُونَ ۗ أَفَلَا تَعْقِلُونَ
ලෞකික ජීවිතය කෙළිදෙළක් හා පුහු විනෝදයක් මිස නැත. තවද බිය භක්තිය ඇත්තන්ට මතුලොව නිවස(ස්වර්ගය) ඉතා ශ්රේෂ්ඨය. (මේ බව) නුඹලා වටහා නොගනුයේ ද?
8මෙම ආයතයේ ‘ලෞකික ජීවිතය කෙළිදෙළක්’ යනුවෙන් අදහස් කරන්නේ යමෙකුගේ මෙලොව ජීවිතයේදී අල්ලාහ් හා ඔහුගේ අණට අනවධානීන් ලෙස ජීවත් වූ කාලයයි. කෙසේ වෙතත් අල් කුර්ආනයේ හා නබි මුහම්මද් තුමාගේ සුන්නාවෙහි සඳහන් පරිදි කෙනෙකු තම කාලය හා විවේකය ඵලදායී ලෙස අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට අවනත වීමෙහි ඔහු ගත කර තිබුණේ නම් එය ඔහුට ආශිර්වාදයක් හා මිල කළ නොහැකි වටිනා සම්පතක් වන්නේය. තවද මෙම ආයතයෙහි ‘කෙළිදෙළක් හා පුහු විනෝදයක්’ යැයි පවසා ඇත්තේ මෙලොවෙහි ඇති සම්පත් මතුලොවේ ලැබෙන භාග්යයන් හා සංසන්දනය කර බලන විට එය කෙළිදෙළක් මෙන් වන හෙයිනි.
قَدْ نَعْلَمُ إِنَّهُ لَيَحْزُنُكَ الَّذِي يَقُولُونَ ۖ فَإِنَّهُمْ لَا يُكَذِّبُونَكَ وَلَـٰكِنَّ الظَّالِمِينَ بِآيَاتِ اللَّهِ يَجْحَدُونَ
(නබිවරය,) සැබැවින්ම (ප්රතික්ෂේපිත) ඔවුන් ප්රකාශ කරන දෑ නුඹව දුකට පත් කරන බව අපි දනිමු. සැබැවින්ම ඔවුහු නුඹව අසත්යය නොකරන්නෝය. නමුත් අපරාධකරුවන් අල්ලාහ්ගේ සංඥාවන් ප්රතික්ෂේප කර (අසත්යය කර)න්නෝය.
9මෙයින් අදහස් වන්නේ එකල මිථ්යා දෘෂ්ඨිකයින් දහම ප්රතික්ෂේප කළද නබි මුහම්මද් තුමාණන් සත්යයවන්තයෙකු යැයි විශ්වාස කරමින් සිටියෝය යන්නයි. ඔවුන්ගේ ප්රතික්ෂේපයට හේතු වන්නේ නබි මුහම්මද් තුමාණන්ව අසත්ය කිරීම නොව දහම ප්රතික්ෂේපය යැයි මින් අදහස් වේ.
وَلَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّن قَبْلِكَ فَصَبَرُوا عَلَىٰ مَا كُذِّبُوا وَأُوذُوا حَتَّىٰ أَتَاهُمْ نَصْرُنَا ۚ وَلَا مُبَدِّلَ لِكَلِمَاتِ اللَّهِ ۚ وَلَقَدْ جَاءَكَ مِن نَّبَإِ الْمُرْسَلِينَ
තවද සැබැවින්ම නුඹට පෙරද (මෙලෙසම) රසූල්වරුන්ව අසත්යය කරනු ලැබූහ. එවිට ඔවුහු අසත්යය කරනු ලැබීම කෙරෙහි ඉවසා සිටියහ. තවද අපගෙන් වූ උපකාරය ඔවුන් වෙත පැමිණෙන තෙක් ඔවුන් පීඩාවට පත් කරනු ලැබූහ. තවද අල්ලාහ්ගේ වදන් වෙනස් කරන කිසිවෙකු නැත. සැබැවින්ම (පෙර වූ) රසූල්වරුන්ගේ පුවත් අතුරින් (සමහරක්) නුඹ වෙත පැමිණ ඇත.
10අල්ලාහ්ගේ වදන් යනුවෙන් අදහස් කරන්නේ රසූල්වරයාට ද ඔහුව සත්යය ලෙස අනුගමනය කළ අයට ද අල්ලාහ් නියම කළ අවසාන විජයග්රහණයේ ප්රතිඥාවයි.
وَإِن كَانَ كَبُرَ عَلَيْكَ إِعْرَاضُهُمْ فَإِنِ اسْتَطَعْتَ أَن تَبْتَغِيَ نَفَقًا فِي الْأَرْضِ أَوْ سُلَّمًا فِي السَّمَاءِ فَتَأْتِيَهُم بِآيَةٍ ۚ وَلَوْ شَاءَ اللَّهُ لَجَمَعَهُمْ عَلَى الْهُدَىٰ ۚ فَلَا تَكُونَنَّ مِنَ الْجَاهِلِينَ
තවද ඔවුන්ගේ පිටුපෑම නුඹ කෙරෙහි මහත් වූවා නම්, එවිට නුඹ මිහිතලයෙහි (පතුලට බැස යෑමට) උමඟක් හෝ අහසෙහි (ඉහළට නැග යෑමට) ඉණිමඟක් හෝ සොයා (ඔවුන් අපේක්ෂා කරන පරිදි) ඔවුන් වෙත සංඥාවක් නුඹ ගෙන එන්නට හැකි නම් (එසේ කරවු.) තවද අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් සියල්ලන්වම ඔහු යහමග වෙත එක්රැස් කරන්නට තිබිණ. එබැවින් අඥානයින් අතුරින් සැබැවින්ම නුඹ නොවවු.
11අල්ලාහ් විසින් නබි මුහම්මද් තුමාණන්ට බොහෝ ප්රාතිහාර්යයන් දී තිබුණ ද මක්කාවාසී ප්රතික්ෂේපකයින් එයින් සෑහීමට පත් නොවී ඔවුන්ගේ අභිමතය පරිදි ප්රාතිහාර්යයන් පෙන්වන මෙන් ඉල්ලා සිටියෝය. එනම් මුළු ලොවම තරණය කළ හැකි පරිදි උමං මාර්ගයක් තනන මෙන් ද අහසට නැගීමට ඉණිමඟක් තනන මෙන් ද ඉල්ලා සිටියෝය. ඔවුන්ගේ හිතුවක්කාරකම පදනම් කරමින් ඔවුන් ඉල්ලන ඉල්ලීම අල්ලාහ් ඔහුගේ ප්රඥාවට අනුව පිළිනොගන්නා බව මෙයට පෙර අල්ලාහ් පැහැදිලි කර ඇත. නමුත් නබි මුහම්මද් තුමාණන් තමන්ගේ කරුණාව හේතුවෙන් මෙම ඉල්ලීම් ඉටු කළේ නම් ඇතැම් ප්රතික්ෂේපකයින් විශ්වාස කිරීමට ඉඩ ඇතැයි සිතුවේය. එබැවින් මෙම ආයතය නබි මුහම්මද් තුමාව ආමන්ත්රණය කර පහළ විය. මෙම ආයතයේ අල්ලාහ්ගේ ප්රඥාවට අනුව එසේ නොකරන බව ද නබි මුහම්මද් තුමාට එය කළ හැකි නම් එය කරන ලෙස ද සඳහන් කර ඇත. නමුත් එය නබි මුහම්මද් තුමාට කළ නොහැක්කකි.
إِنَّمَا يَسْتَجِيبُ الَّذِينَ يَسْمَعُونَ ۘ وَالْمَوْتَىٰ يَبْعَثُهُمُ اللَّهُ ثُمَّ إِلَيْهِ يُرْجَعُونَ
(නුඹගේ කැඳවීමට ප්රතිචාරය දක්වනුයේ ශ්රවණය කරන්නන්මය. තවද (හදවත ප්රතික්ෂේපයෙන්) මියගියවුන්, අල්ලාහ් ඔවුන්ව (විනිශ්චය දින) නැගිටුවා පසුව ඔහු වෙතම ඔවුන්ව නැවත යොමු කරවනු ලබන්නේය.
وَقَالُوا لَوْلَا نُزِّلَ عَلَيْهِ آيَةٌ مِّن رَّبِّهِ ۚ قُلْ إِنَّ اللَّهَ قَادِرٌ عَلَىٰ أَن يُنَزِّلَ آيَةً وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
“ඔහුගේ පරමාධිපතිගෙන් වූ (අප අපේක්ෂා කරන පරිදි) සංඥාවක් ඔහු වෙත පහළ කරනු නොලැබුවේ මන්දැ?”යි (ප්රතික්ෂේපක) ඔවුහු පවසති. “සැබැවින්ම සංඥාවක් පහළ කිරීමට අල්ලාහ් ශක්තිය ඇත්තාය. නමුත් ඔවුන්ගෙන් බහුතරය (ඒ පිළිබඳව) නොදනිති.
وَمَا مِن دَابَّةٍ فِي الْأَرْضِ وَلَا طَائِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّا أُمَمٌ أَمْثَالُكُم ۚ مَّا فَرَّطْنَا فِي الْكِتَابِ مِن شَيْءٍ ۚ ثُمَّ إِلَىٰ رَبِّهِمْ يُحْشَرُونَ
මිහිතලයෙහි (වෙසෙන) කවර ජීවියෙකු වුව ද, තම අත්තටු වලින් පියාඹා යන කුරුල්ලෙකු වුව ද, (උන් සියල්ල) නුඹලා වැනිම සමූහයන් මිස නැත. ලේඛනයෙහි කිසිවක් (සටහන් නොකර) අපි අත් නොහළෙමු. පසුව ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුන්ව එක්රැස් කරනු ලබන්නෝය.
12එක් අර්ථ විවරණයකට අනුව විනිශ්චය මිනිසුන්ට පමණක් සීමා වූවක් නොවේ. එය සතුන්ට ද පොදු වූවකි. එබැවින් එක් සතෙකු තවත් සතෙකුට රිදවීමක් ඇති කළේ නම් රිදවනු ලැබූ සත්වයාට රිද වූ සත්වයාගෙන් විනිශ්චය දිනදී පළි ගැනීමට අවස්ථාවක් දෙනු ලැබේ. මෙම අර්ථ විවරණයට අනුව මෙම ආයතයේ සඳහන් ‘ලේඛනය’ යනු ලව්හුල් මහ්ෆූල් නම් ආරක්ෂිත ඵලකයයි. එහි සියලු ජීවීන්ගේ කි්රයාවන් සටහන් වී ඇත. කෙසේ වෙතත් සත්වයින්ගේ විනිශ්චය අවසන් වීමෙන් පසුව සියලු සතුන් විනාශ වී යන්නේය. මිනිසුන්ගේ විනිශ්චය අවසන් වීමෙන් පසුව ඔවුන් ස්වර්ගයට හා නිරයට යවනු ලබන්නෝය. තවත් අර්ථ විවරණයකට අනුව මෙම ආයතය සඳහන් කරන්නේ ප්රතික්ෂේපකයින් තමන්ට අල්ලාහ්ගෙන් වූ සංඥාවක් පෙන්වන ලෙස ඉල්ලූ ඉල්ලීම පිළිබඳවය. මෙම ආයතය මගින් ඔවුන්ගේ අවධානය මුළු ලොවම විසිරුණු පොදු සංඥාවන් වෙත යොමු කර ඇත. මන්දයත් එමගින් අල්ලාහ්ගේ ශක්තිය හා ප්රඥාව තහවුරු කිරීමටය. මෙම අර්ථ විවරණයට අනුව ‘ලේඛනය’ යනු අල් කුර්ආනයයි. එහි අල්ලාහ් හා රසූල්වරයා පිළිබඳව සත්යය තහවුරු කිරීමේ මූලික කරුණු කිසිවක් අත් හරිනු ලැබ නැත. මින් පසුව ද ප්රතික්ෂේපකයින් ඔවුන්ගේ අභිමතයට අනුව සංඥාවන් පෙන්වන ලෙස ඉල්ලන්නේ නම් විනිශ්චය දින ඔවුන්ව එක් රැස් කරනු ලැබ ඔවුන්ගේ විෂයයෙහි අල්ලාහ් විසින් තීන්දු ගනු ලැබේ.
وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا صُمٌّ وَبُكْمٌ فِي الظُّلُمَاتِ ۗ مَن يَشَإِ اللَّهُ يُضْلِلْهُ وَمَن يَشَأْ يَجْعَلْهُ عَلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ
අපගේ (අල් කුර්ආනයේ) වදන් අසත්යය කළ අය අන්ධකාරයන්හි වූ බිහිරන් හා ගොළුවන්ය. අල්ලාහ් තමන් අභිමත කළ අයව නොමග යෑමට ඉඩ හරින්නේය. තවද තමන් අභිමත කළ අයව ඍජු මාර්ගය වෙත පත් කරන්නේය.
13මෙයින් අදහස් කරන්නේ ‘කවුරුන් තමන්ගේ මනෝ ඉච්ඡාවට වහල් වී අසත්යය තෝරා ගත්තේ ද ඔවුන්ව අල්ලාහ් ඍජු මග වෙත යොමු නොකරන්නේය’ යන්නය.
قُلْ أَرَأَيْتَكُمْ إِنْ أَتَاكُمْ عَذَابُ اللَّهِ أَوْ أَتَتْكُمُ السَّاعَةُ أَغَيْرَ اللَّهِ تَدْعُونَ إِن كُنتُمْ صَادِقِينَ
(නබිවරය, ප්රතික්ෂේපකයින්ට) නුඹ පවසවු. “නුඹලා වෙත අල්ලාහ්ගේ දඬුවම පැමිණියා නම් හෝ (ලොව අවසන්) හෝරාව පැමිණියා නම් අල්ලාහ් හැර සෙසු අයව නුඹලා ඇයැදින්නෙහි දැ?යි නුඹලා අවධානය කළෙහුද?” නුඹලා සත්යවාදීන්ව සිටියේ නම් (පිළිතුරු දෙවු).
بَلْ إِيَّاهُ تَدْعُونَ فَيَكْشِفُ مَا تَدْعُونَ إِلَيْهِ إِن شَاءَ وَتَنسَوْنَ مَا تُشْرِكُونَ
එසේ නොව, නුඹලා ඔහුවම ඇයැද සිටින්නෙහුය. එවිට ඔහු අභිමත කළේ නම් නුඹලා කුමක් සඳහා (ඔහුව) ඇයැද සිටින්නේද එ(ම දණ්ඩන)ය ඔහු ඉවත් කරන්නේය. තවද නුඹලා ආදේශ කරමින් සිටි දෑ නුඹලා අමතක කර දමන්නෙහුය.
وَلَقَدْ أَرْسَلْنَا إِلَىٰ أُمَمٍ مِّن قَبْلِكَ فَأَخَذْنَاهُم بِالْبَأْسَاءِ وَالضَّرَّاءِ لَعَلَّهُمْ يَتَضَرَّعُونَ
(නබිවරය,) සැබැවින්ම නුඹට පෙරවූ සමූහයන් වෙත අපි (රසූල්වරුන්ව) එවා ඇත්තෙමු. තවද දුෂ්කරතා හා දැඩි උවදුරු වලින් ඔවුන්ව(සමූහයාව) අපි ග්රහණය කළෙමු. (එමගින්) ඔවුන් යටහත් පහත් විය හැක්කේය.
فَلَوْلَا إِذْ جَاءَهُم بَأْسُنَا تَضَرَّعُوا وَلَـٰكِن قَسَتْ قُلُوبُهُمْ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ مَا كَانُوا يَعْمَلُونَ
තවද අපගේ දුෂ්කරතාවන්(දඬුවම) ඔවුන් වෙත පැමිණි විට ඔවුන් යටහත් පහත් විය යුතු නොවේද? එනමුත් ඔවුන්ගේ හදවත් දැඩි විය. තවද ඔවුන් කරමින් සිටි (පාපකාරී) දෑ ෂෙයිතාන් ඔවුනට (ආකර්ෂණය වන පරිදි) අලංකාර කර පෙන්වීය.
14මෙයින් අදහස් කරන්නේ අල්ලාහ් සමූහයක් විනාශ කිරීමට පෙර, පළමුව ඔවුන්ට රසූල්වරයෙකු මගින් අවවාද කරන්නේය. දෙවනුව ඔවුන්ව කුඩා දුෂ්කරතාවන් වලින් පිරික්සුම් කරන්නේය. එමගින් ඔවුන් පාඩමක් ඉගෙන ගෙන පශ්චාත්තාප විය හැක්කේය.
فَلَمَّا نَسُوا مَا ذُكِّرُوا بِهِ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَابَ كُلِّ شَيْءٍ حَتَّىٰ إِذَا فَرِحُوا بِمَا أُوتُوا أَخَذْنَاهُم بَغْتَةً فَإِذَا هُم مُّبْلِسُونَ
එබැවින් කුමක් මගින් ඔවුනට උපදෙස් දෙනු ලැබූවේ ද ඔවුහු එය අමතක කර දැමූ කල්හි සියලු දෑහි(වරප්රසාදයන්හි) දොරටු ඔවුනට අපි විවෘත කළෙමු. කෙතරම් ද යත් ඔවුන්ට දෙනු ලැබූ දෑ පිළිබඳව ඔවුන් සතුටට පත් වන විට අනපේක්ෂිතව ඔවුන්ව අපි ග්රහණය කළෙමු. එවිට ඔවුන් බලාපොරොත්තු සුන්වූවන් වූහ.
فَقُطِعَ دَابِرُ الْقَوْمِ الَّذِينَ ظَلَمُوا ۚ وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
එබැවින් අපරාධ කළ පිරිසේ අවසානයා තෙක් මුලිනුපුටා දමනු ලැබීය. සියලු පැසසුම් සමස්ත විශ්වයේ පරමාධිපති අල්ලාහ් සතුය.
قُلْ أَرَأَيْتُمْ إِنْ أَخَذَ اللَّهُ سَمْعَكُمْ وَأَبْصَارَكُمْ وَخَتَمَ عَلَىٰ قُلُوبِكُم مَّنْ إِلَـٰهٌ غَيْرُ اللَّهِ يَأْتِيكُم بِهِ ۗ انظُرْ كَيْفَ نُصَرِّفُ الْآيَاتِ ثُمَّ هُمْ يَصْدِفُونَ
“නුඹලාගේ ශ්රවණය ද නුඹලාගේ දසුන් ද අල්ලාහ් ඉවත් කර දමා නුඹලාගේ හදවත් වලට ඔහු මුද්රා තැබුවේ නම් ඒවා (නැවත) නුඹලා වෙත ගෙන ඒමට අල්ලාහ් හැර කවර දෙවියෙකු සිටී දැ?”යි නුඹලා අවධානය කළෙහු දැ?”යි (නබිවරය,) නුඹ පවසවු. වදන් අපි කෙසේ (විවිධාකාරව) පැහැදිලි කරන්නෙමු දැ’යි නුඹ (නිරීක්ෂණය කර) බලවු. (එයට) පසුවද ඔවුහු පිටුපාති.
قُلْ أَرَأَيْتَكُمْ إِنْ أَتَاكُمْ عَذَابُ اللَّهِ بَغْتَةً أَوْ جَهْرَةً هَلْ يُهْلَكُ إِلَّا الْقَوْمُ الظَّالِمُونَ
“අල්ලාහ්ගේ දඬුවම අනපේක්ෂිතව හෝ ප්රසිද්ධියේම නුඹලා වෙත පැමිණියේ නම් අපරාධකාර පිරිස හැරෙන්නට (අන් කිසිවෙකු) විනාශ කරනු ලැබේ දැ?යි නුඹලා අවධානය කළෙහු දැ?’යි (නබිවරය,ඔවුනට) නුඹ පවසවු.
وَمَا نُرْسِلُ الْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَ ۖ فَمَنْ آمَنَ وَأَصْلَحَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
ශුභාරංචි පවසන්නන් හා අවවාද කරන්නන් ලෙස හැර රසූල්වරුන්ව අපි නොඑවන්නෙමු. තවද කවරෙකු විශ්වාස කර (තමන්ව) සංශෝධනය කර ගත්තේ ද ඔවුනට (කිසිදු) බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් වන්නෝ ද නැත.
وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا يَمَسُّهُمُ الْعَذَابُ بِمَا كَانُوا يَفْسُقُونَ
තවද අපගේ සංඥාවන් කවරෙකු අසත්යය කළේ ද ඔවුන් පාපකම් කරමින් සිටි හේතුවෙන් දඬුවම (වේදනාව) ඔවුන්ව ස්පර්ශ කරයි.
قُل لَّا أَقُولُ لَكُمْ عِندِي خَزَائِنُ اللَّهِ وَلَا أَعْلَمُ الْغَيْبَ وَلَا أَقُولُ لَكُمْ إِنِّي مَلَكٌ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰ إِلَيَّ ۚ قُلْ هَلْ يَسْتَوِي الْأَعْمَىٰ وَالْبَصِيرُ ۚ أَفَلَا تَتَفَكَّرُونَ
(නබිවරය, ඔවුනට) නුඹ පවසවු, “මා අබියස අල්ලාහ්ගේ ධන සම්භාරයන් ඇතැ’යි මම නුඹලාට නොපවසන්නෙමි. තවද ගුප්ත දෑ (පිළිබඳව) මම නොදනිමි. සැබැවින්ම මම මලක්වරයෙකු යැයි ද මම නුඹලාට නොපවසන්නෙමි. මා වෙත පහළ කරනු ලැබූ වහී (දේව පණිවිඩ) හැර මම පිළිනොපදිමි.” “අන්ධයා හා පෙනුමැත්තා එක සමාන වන්නේ ද? එබැවින් නුඹලා (ඒ බව) සිතා නොබලන්නෙහු දැ?”යි නුඹ (ඔවුනට) පවසවු.