الحشر

අල්-හෂ්ර්

الحشر

අල්-හෂ්ර් · Al-Hashr

මදීනී24 පද්‍ය

හැඳින්වීම

මෙම සූරාව නබි මුහම්මද්* තුමා මදීනා නගරයට හිජ්රත්* කිරීමෙන් වසර දෙකකට පසුව පහළ වූ සූරාවකි. එකල එහි සැලකිය යුතු යුදෙව් පිරිසක් විය. මදීනාවේ සිටි එම යුදෙව්වන් සමග නබි මුහම්මද් තුමා ගිවිසුමක් කර ගත්තේය. එම ගිවිසුම් අතුරින් එකක් වනුයේ මක්කා වැසියන් මදීනාවෙහි සිටින යුදෙව් හෝ මුස්ලිම් යන කවර පාර්ශවයකට පහර දුන්න ද ඔවුනොවුනට සහය පළ කිරීමේ කරුණය. මෙම ගිවිසුම පිළිපදිමින් ඍජු ලෙස කිසිදු හානියක් මුස්ලිම්වරුන්ට සිදු නොකළ ද ඔවුහු රහසිගතව කුමන්ත‍්‍රණ කළහ. දිනක් ගිවිසුමේ සඳහන් කරුණක් පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස නබි මුහම්මද් තුමාණන් බනූ නළීර් නමැති යුදෙව් ගෝත‍්‍රය වෙත ගිය විට ඔවුහු එතුමාණන් පැමිණෙන අතර වාරයේ මහා ගලක් එතුමාණන් වෙත හෙළා ඝාතනය කිරීමට පුද්ගලයෙකු නියම කළහ. මේ පිළිබඳව අල්ලාහ් වහී* මාර්ගයෙන් නබි මුහම්මද් තුමාණන්ට දන්වා සිටි අතර එතුමාණන් ද සුරක්ෂිතව නැවත හැරී ආහ. පසුව නබි තුමාණන් ඔවුන් සමග කර ගත් ගිවිසුම අහෝසි කර නියමිත කාලය තුළ බනූ නළීර්වරු ඔවුන්ගේ ස්ථානයෙන් බැහැර විය යුතු යැයි ද එසේ එම කාලය තුළ බැහැරව නොගියේ නම් ඔවුන් සමග තමන් යුද වදින බව ද ප‍්‍රකාශයක් නිකුත් කළහ. නමුත් ආත්ම වංචනිකයින් බනූ නළීර් ගෝත‍්‍රයේ ජනයාට එසේ තම ප‍්‍රදේශයෙන් බැහැරව නොයන මෙන් ද නබි මුහම්මද් තුමාණන් ඔවුන් සමග යුද වදින්නේ නම් තමන් ද ඔවුනට සහයෝගය ලබා දෙන බව ද පවසා සිටියහ. නියමිත කාලය ක‍්‍රමයෙන් අවසන් විය. නබි මුහම්මද් තුමාණන් ද සේනාවක් සමග එම ස්ථානයට පැමිණියහ. නමුත් බනූ නළීර් ගෝත‍්‍රයට එම ආත්ම වංචනිකයින් කිසිදු උපකාරයක් නොකළහ. පසුව බනූ නළීර්වරුන් ආයුධ හැර අනෙකත් සියලූ දෑ රැගෙන බැහැරව යන්නට සිදු විය. මෙම සූරාව වැඩි කොටසක් කතා කරනුයේ බනූ නළීර් සම්බන්ධ සිද්ධිය පිළිබඳවය. එබැවින් ඇතැම් සහාබිවරුන්* මෙම සූරාවට ‘සූරා බනූ නළීර්’ යන නම ද උපයෝගී කළහ.

1

سَبَّحَ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

අහස්හි හා මිහිතලයෙහි ඇති දෑ අල්ලාහ්ව පිවිතුරු කරති. ඔහු අති බල සම්පන්නය සර්ව ප්රඥාවන්තය.
2

هُوَ الَّذِي أَخْرَجَ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ مِن دِيَارِهِمْ لِأَوَّلِ الْحَشْرِ ۚ مَا ظَنَنتُمْ أَن يَخْرُجُوا ۖ وَظَنُّوا أَنَّهُم مَّانِعَتُهُمْ حُصُونُهُم مِّنَ اللَّهِ فَأَتَاهُمُ اللَّهُ مِنْ حَيْثُ لَمْ يَحْتَسِبُوا ۖ وَقَذَفَ فِي قُلُوبِهِمُ الرُّعْبَ ۚ يُخْرِبُونَ بُيُوتَهُم بِأَيْدِيهِمْ وَأَيْدِي الْمُؤْمِنِينَ فَاعْتَبِرُوا يَا أُولِي الْأَبْصَارِ

ධර්ම පුස්තකය ලත් අය අතුරින් වූ ප්රතික්ෂේප කළවුන්ව (බැහැර කිරීම පිණිස) ප්රථම(වරට) එක් රැස්වීමේ අවස්ථාවේදී ඔවුන්ගේ නිවෙස් වලින් ඔවුන්ව පිටුවහල් කළේ (අල්ලාහ් වන) ඔහුමය. 1 ඔවුන් පිට වී යනු ඇතැයි නුඹලා නොසිතුවෙහුය. තවද, සැබැවින්ම ඔවුන් තමන්ගේ බලකොටු අල්ලාහ්ගෙන් තමන්ව ආරක්ෂා කරනු ඇතැයි සිතුවෝය. එවිට ඔවුන් නොසිතූ පරිදි අල්ලාහ්(ගේ දඬුවම) ඔවුන් වෙත පැමිණියේය. තවද ඔවුන්ගේ හදවත් තුළ ඔහු භීතිය ඇතුළු කළේය. (මේ හේතුවෙන්) ඔවුන් තමන්ගේ දෑතින් ද විශ්වාසිකයින්ගේ දෑතින් ද තමන්ගේ නිවෙස් විනාශ කර ගත්තෝය. 2 එබැවින් දෘෂ්ටිය ඇත්තවුනි, (මෙයින්) පාඩමක් ඉගෙන ගනිවු.
1මෙහි රැස්වීම යන්නෙන් අදහස් දෙකක් ඉදිරිපත් කෙරේ. එනම් බනූ නළීර් නම් යුදෙව් ගෝත්රය පිටුවහල් කිරීම පිණිස මුස්ලිම්වරුන් එක්රැස් වීම. අනෙක පිටුවහල් වීම පිණිස බනූ නළීර්වරුන් එක් රැස්වීම. තවත් පැත්තකින් ප්රථම රැස්වීම යනුවෙන් අදහස් කිරීමෙන් තවත් රැස්වීම් තිබෙන්නට පුළුවනැ’යි අදහස් වන්නේය. ඒ අනුව බනූ නළීර් ගෝත්රය පිටුවහල් කිරීමේ අවසාන රැස්වීම සිදු වූයේ දෙවන කලීෆා තුමා වන උමර් තුමාණන්ගේ කාලයේය.
2ඔවුන් තම බලකොටුවෙන් බැහැරව යන විට තමන්ගේ නිවෙස් තම දෑතින්ම විනාශ කර දැමුවෝය. එය කෙතරම් ද යත් තම නිවෙස් වල දොරවල් පවා ගලවා ගෙන ගියහ.
3

وَلَوْلَا أَن كَتَبَ اللَّهُ عَلَيْهِمُ الْجَلَاءَ لَعَذَّبَهُمْ فِي الدُّنْيَا ۖ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابُ النَّارِ

(ඔවුන්ගේ නිවෙස් වලින්) පිටුවහල් කරවීම ඔවුන් කෙරෙහි අල්ලාහ් නියම නොකළේ නම් මෙලොවෙහි ඔවුන්හට දඬුවම් පමුණුවන්නේමය. (කෙසේ වෙතත්) ඔවුන්හට මතු ලොවෙහි නිරා ගින්නෙහි දඬුවම ඇත.-
4

ذَٰلِكَ بِأَنَّهُمْ شَاقُّوا اللَّهَ وَرَسُولَهُ ۖ وَمَن يُشَاقِّ اللَّهَ فَإِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ

මෙය අල්ලාහ්ට ද ඔහුගේ රසූල්වරයාට ද විරුද්ධව ක්රියා කළ හේතුවෙනි. තවද කවරෙකු අල්ලාහ්ට විරුද්ධව ක්රියා කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩි (බව ඔහු දැන ගත යුතු)ය.
5

مَا قَطَعْتُم مِّن لِّينَةٍ أَوْ تَرَكْتُمُوهَا قَائِمَةً عَلَىٰ أُصُولِهَا فَبِإِذْنِ اللَّهِ وَلِيُخْزِيَ الْفَاسِقِينَ

ඉඳි ගස් අතුරින් නුඹලා කපා දැමූ දෑ ද නැතහොත් නුඹලා ඒවායෙහි මුල් මත තිබෙන්නට හැරියාවූ දෑ ද අල්ලාහ්ගේ අනුමැතියට අනුවය. තවද ඔහු(අල්ලාහ්) පාපතරයින්ව අවමන් කිරීම පිණිසය. 3
3බනූ නළීර් ගෝත්රය කොටු කරමින් සිටි අවස්ථාවේ දී ඔවුනට රටඉඳි සැපයීම වැළැක්වීම පිණිස මුස්ලිම්වරුන් අවට ඇති ගස් කපා දැමුවෝය. එබැවින් ඇතැම් අය ඒ සඳහා මුස්ලිම්වරුන්ට දොස් පැවරුවෝය. අල්ලාහ් එය තමන්ගේ නියෝගය පරිදි සිදු වූවක් බවත් මෙවැනි ක්රියාදාමයන් යුදමය අවස්ථාවක සිදු කළ හැකි බවත් මෙම වැකියෙන් අවධාරණය කරයි.
6

وَمَا أَفَاءَ اللَّهُ عَلَىٰ رَسُولِهِ مِنْهُمْ فَمَا أَوْجَفْتُمْ عَلَيْهِ مِنْ خَيْلٍ وَلَا رِكَابٍ وَلَـٰكِنَّ اللَّهَ يُسَلِّطُ رُسُلَهُ عَلَىٰ مَن يَشَاءُ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

තවද අල්ලාහ් තම රසූල්වරයාට ‘ෆයි’ 4 වශයෙන් ඔවුන්ගෙන් කුමක් ලබා දුන්නේ ද ඒ සඳහා නුඹලා අශ්වයින් හෝ ඔටුවන් හෝ (යුද්ධය පිණිස) දක්කාගෙන නොගියෙහුය. එනමුත් අල්ලාහ් තමන් අභිමත කළ අය මත තම රසූල්වරුන්ට (පාලනය කිරීමේ) බලය පවරන්නේය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
4‘ෆයි’ යනු සතුරු පාර්ශවය විසින් යුද්ධයකින් තොරව හැර දමා යන වස්තුවයි. යුද්ධයකින් ලබා ගත් වස්තුව ‘ගනීමත්’ යනුවෙන් හැඳින් වේ. මේ අනුව බනූ නළීර් ගෝත්රයගෙන් ලබා ගත් වස්තුව වූයේ අශ්වයින් හෝ ඔටුවන් හෝ නොයොදා කිසිදු පරිශ්රමයකින් තොරව ලබා ගත් ෆයි වස්තුවයි.
7

مَّا أَفَاءَ اللَّهُ عَلَىٰ رَسُولِهِ مِنْ أَهْلِ الْقُرَىٰ فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ كَيْ لَا يَكُونَ دُولَةً بَيْنَ الْأَغْنِيَاءِ مِنكُمْ ۚ وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا ۚ وَاتَّقُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ

අල්ලාහ් තම රසූල්වරයාට ගම්වැසියන්ගෙන් කුමක් ‘ෆයි’ වශයෙන් ලබා දුන්නේ ද (එම ෆයි වස්තුව) අල්ලාහ්ට ද, රසූල්වරයාට ද, ඥාතීන්ට ද, අනාථයින්ට ද, දුගීන්ට ද, මගීන්ට ද සතු වන්නේය. (අල්ලාහ් මෙසේ කළේ) නුඹලා අතුරින් ධනවතුන් අතර පමණක් එය හුවමාරු වන්නක් නොවීම පිණිසය. තවද රසූල්වරයා නුඹලාට කුමක් පිරිනැමුවේ ද එය නුඹලා ගනිවු. ඔහු නුඹලාට කුමක් තහනම් කළේ ද (එයින්) වැළකී සිටිවු. අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩිය.
8

لِلْفُقَرَاءِ الْمُهَاجِرِينَ الَّذِينَ أُخْرِجُوا مِن دِيَارِهِمْ وَأَمْوَالِهِمْ يَبْتَغُونَ فَضْلًا مِّنَ اللَّهِ وَرِضْوَانًا وَيَنصُرُونَ اللَّهَ وَرَسُولَهُ ۚ أُولَـٰئِكَ هُمُ الصَّادِقُونَ

අල්ලාහ්ගේ භාග්යය හා තෘප්තිය පතමින් ද අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට උපකාර කරමින් ද 5 තමන්ගේ නිවෙස් වලින් හා ධනයෙන් බැහැර කරනු ලැබූ දුගී මුහාජිර්වරුන්ට 6 (විශේෂයෙන් එම ෆයි වස්තුව) සතුය. සත්යවන්තයින් වන්නේ ඔවුන්මය.
5අල්ලාහ්ට හා රසූල්වරයාට උපකාර කිරීම යනු අල්ලාහ්ගේ දහම උසස් වීම පිණිස කටයුතු කිරීමයි.
6මුහාජිර්වරුන් යනු මක්කාවේ සිට මදීනාවට දේශාන්තරණය කළ උදවියයි. එමෙන්ම නබි මුහම්මද් තුමාණන්ට උපකාර කළ මදීනා වාසීන්ට අන්සාර්වරුන් යැයි සඳහන් කෙරේ.
9

وَالَّذِينَ تَبَوَّءُوا الدَّارَ وَالْإِيمَانَ مِن قَبْلِهِمْ يُحِبُّونَ مَنْ هَاجَرَ إِلَيْهِمْ وَلَا يَجِدُونَ فِي صُدُورِهِمْ حَاجَةً مِّمَّا أُوتُوا وَيُؤْثِرُونَ عَلَىٰ أَنفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ ۚ وَمَن يُوقَ شُحَّ نَفْسِهِ فَأُولَـٰئِكَ هُمُ الْمُفْلِحُونَ

ඔවුන්ට පෙර (මදීනා නගරය තම) වාසස්ථානය කර ගත් හා විශ්වාසය ලැබූ අය (වන අන්සාර්වරුන්) තමන් වෙත දේශාන්තරණය කර පැමිණි අය (වන මුහාජිර්වරුන්)ව ප්රිය කරති. තවද (මුහාජිර්වරුන් වන) ඔවුන්ට දෙනු ලැබූ දැයින් කිසිදු අවශ්යතාවක් (අන්සාර්වරුන් වන) ඔවුහු තමන්ගේ හදවත් හි නොදකිති. තවද ඔවුන්ට (දැඩි) අවශ්යතාවක් තිබිය දී තමන්ට වඩා (මුහාජිර්වරුන් හට) ප්රමුඛත්වය ලබා දෙති. 7 තවද කවරෙකු තමන්ගේ හදවතෙහි ඇති වන මසුරු කමින් වළක්වනු ලබන්නේ ද ඔවුහුමය ජය ලද්දෝ.
7මෙහි අන්සාරි සහාබිවරුන්ගේ යහ ගතිගුණ පිළිබඳව සඳහන් වී ඇත. බනූ නළීර් ගෝත්රිකයින්ගෙන් අත් කර ගත් ගනීමතය බෙදන විට තමන්ට වඩා මුහාජිර් සහාබිවරුන්ට විශේෂයෙන් බෙදන ලෙස ඔවුන් නබි මුහම්මද් තුමාගෙන් ඉල්ලා සිටියෝය.
10

وَالَّذِينَ جَاءُوا مِن بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِّلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَءُوفٌ رَّحِيمٌ

තවද ඔවුනට පසුව පැමිණි අය “අපගේ පරමාධිපතියාණනි, අපට ද අපට වඩා විශ්වාසයෙහි පෙරටු වූ අපගේ සහෝදරයින්ට ද ක්ෂමාව දෙනු මැනව. 8 තවද විශ්වාස කළවුන් කෙරෙහි අපගේ හදවත්හි කිසිම ද්වේෂයක් ඇති නොකරනු මැනව. 9 අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම ඔබ සානුකම්පිතය පරම කරුණාභරිතය.” යනුවෙන් පවසති.
8මෙම ආයතය පදනම් කරගනිමින් නබි මුහම්මද් තුමාණන්ගේ සමකාලීන සගයින් වන සහාබිවරුන් විෂයයෙහි අපගේ වගකීම වනුයේ ඔවුන්ව ප්රිය කිරීම, ගෞරවය කිරීම හා මුවින් සහ හදින් ඔවුන්ව ප්රශංසා කිරීමය යන්න පැහැදිලි වේ. දේව විශ්වාසය හා ප්රතික්ෂේපය අතර වෙන්කර දක්වන අහ්ලුස් සුන්නති වල් ජමාඅත්වරුන් වන අපගේ මූලික ප්රතිපත්තිය නම් නබි මුහම්මද් තුමාණන්ගේ සමකාලීන අනුගාමික සගයන්(සහාබිවරුන්) පිළිබඳ හා ඔවුන්ගේ මහිමයන් පිළිබදව අල් කුර්ආනයේ හා නබි වදන්හි සදහන් වී ඇති දෑ එලෙසම විශ්වාස කිරීමයි. සහාබිවරුන් යනු නබි මුහම්මද් තුමාණන්ව මුණගැසී හෝ එතුමන් මොහුව දැක මුස්ලිම්වරයෙකු ලෙසින්ම මරණයට පත් වූවන්ය. අල් කුර්ආනයේ පවා බොහෝ ස්ථානයන්හි අල්ලාහ් ඔවුන් ගැන ප්රශංසා කර ඇත. (අල් කුර්ආන් 3:110 , 9:100 , 48:18 , 33:23 ) තවද ඔවුන්ව ප්රිය කිරීම විෂයයෙහි නබි මුහම්මද් තුමාණන් මෙසේ පවසා ඇත. “කෙනෙකුගේ දේව විශ්වාසයේ සළකුණ නම් අන්සාරි සහාබිවරුන්ව ප්රිය කිරීමයි. කෙනෙකුගේ වංචනික භාවයේ සළකුණ නම් අන්සාරි සහාබිවරුන්ව පිළිකුල් කිරීමයි” (මූලාශ්රය: බුහාරි සහ මුස්ලිම්) මෙම උත්තමයින් වෙත අපගේ කෘතඥතාව පිළි ගැන්විය නොයුත්තේ මන් ද? මොවුහු ඉස්ලාමයේ ආරම්භ සමයෙහි නබි මුහම්මද් තුමාණන්ව විශ්වාස කළවුන් වෙති. තවද එතුමන්ට උපකාර කළවුන් වෙති. අල්ලාහ්ගේ ධර්මය උසස් කරවනු පිණිස තම ප්රාණ හා දේපල කැප කළවුන් වෙති. අපගේ ධර්මය ආරක්ෂා කර අපට පිරිනැමුවන් වෙති. අප ප්රාර්ථනා කොට යහ අයුරින් කථා කොට යහපත් හැගීම් ඇති කර ගන්නට මොවුනට වඩා සුදුස්සන් වෙන කවුරුන් වෙත් ද? නබි මුහම්මද් තුමාණන් මෙසේ පැවසූහ. “මාගේ සහාබිවරුන්ට අපවාද කරන්නන් මත අල්ලාහ්ගේ ද මලක්වරුන්ගේ හා මුළු මිනිස් සමූහයාගේ ද ශාපය ඇති වේවා” (මූලාශ්රය : අත් තබරානී) මන්දයත් සුළු හෝ මහා පාපයන්ගෙන් නබිවරුන් හැර අන් කිසිවෙකු නිදහස් නොවේ. තවද සහාබිවරුන්ගෙන් යම් වැරදි සිදු වුවද ඔවුන්ගේ යහ කි්රයාවන්හි මහගු බවින් එය කමා කරනු ලැබ ඇත යන්න අහ්ලුස් සුන්නති වල් ජමාඅත්වරුන් වන අපගේ විශ්වාසයයි. දිනක් නබි මුහම්මද් තුමාණන්ගේ බෑණා වූ කලීෆා අලී තුමාණන්ගේ මුණුබුරා වන සෙයිනුල් ආබ්දීන් තුමා ඉදිරියේ ඉරාක් වාසීහු වාඩි වී අබූ බක්ර් තුමා හා උමර් තුමා පිළිබඳ සිහිපත් කරමින් ඔවුන් දෙපළට බැණ වදිමින් සිටියහ. පසුව ඔවුන් උස්මාන් තුමා ගැන බැණ වදින්නට පටන් ගත්හ. එවිට එතුමා “නුඹලා, ‘තම නිවෙස්වලින් හා සම්පත්වලින් පිටුවහල් කරනු ලැබ, අල්ලාහ්ගෙන් වූ භාග්යය හා තෘප්තිය අපේක්ෂාවෙන් දේශාන්තරණය කොට අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට උපකාර කළ’ (අල් කුර්ආන් 59:8 ) මුහාජිර්වරුන් අතරින් වෙත් දැ’යි තමාහට දන්වා සිටින්නැ’යි විමසා සිටියහ. එවිට ඔවුහු තමන් එසේ නොවන්නේ යැයි පිළිතුරු දුන්හ. එසේ නම් නුඹලා, ‘මුහාජිර්වරුන්ට පෙරම මදීනා නගරයේ මෙන්ම විශ්වාසයේ රැඳී සිට එසේ දේශාන්තරණය කරමින් පැමිණි මුහාජිර්වරුන්ට උපකාර කළ’ (අල් කුර්ආන් 59:9 ) අන්සාරිවරුන් අතරින්දැ’යි විමසා සිටියහ. එවිට ද ඔවුහු තමන් එසේ නොවන්නේ යැයි පිළිතුරු දුන්හ. එවිට එතුමා : නුඹලා (මුහාජිර්වරුන් වන) ඔවුන් අතරින් හෝ (අන්සාර්වරුන් වන) මොවුන් අතරින් හෝ නොවන බව පිළිගෙන සාක්ෂි දරන්නෙහුය. සැබැවින්ම නුඹලා අල් කුර්ආන් 59:10 වැනි වැකියෙහි විස්තර කරන ලද තුන්වන පාර්ශවයේ අයද නොවෙතැ’යි මම සාක්ෂි දරමි. එහෙයින් නුඹලා මගෙන් ඉවතට යනු. නුඹලා විෂයයෙහි අල්ලාහ් නුඹලාට ආශිර්වාද නොකරනු ඇත. තවද නුඹලාගේ කටයුතුවලදී (අප සමඟ) කිසිදු සමීපයක් ද නොමැත. නුඹලා ඉස්ලාමය පිළිබඳ සරදම් කරන්නෝ වෙති. නුඹලා එහි වැසියන් අතුරින් ද නොවෙති. (යැයි පවසා මුස්ලිම්වරුන් හා ඔවුන් අතර කිසිදු සම්බන්ධයක් නැත යැයි එළිදරවු කරමින් ඔවුන්ව බැහැර කරන ලදී.) සහාබිවරුන් පිළිබදව සැක සහිතව කථා කිරීම හෝ සිතීම නුසුදුසු බව ඉස්ලාමීය ආගමික විද්වතුන් ඉතා දැඩි ලෙස අවවාද කරති. අල් කුර්ආන් 48:29 යන ආයතය හා නබි වදන් පදනම් කර ගනිමින් ‘සහාබිවරුන් පිළිබඳව වැරදි හැඟීමක් හෝ ක්රෝධයක් ඇති කරගත් අයකු ඉස්ලාමය ප්රතික්ෂේප කරන අයෙකි’ යැයි ඉස්ලාමීය විද්වතුන් තීන්දු කර ඇත.
9‘ගනීමත්’ හෙවත් යුද්ධාජුද ලැබීමට සුදුස්සන් වන්නේ අන්සාර් හා මුහාජිර් සහාබිවරුන් පමණක් යැයි වැරදි වැටහීමක් ඇති නොවන පිණිස මෙම වැකිය පහළ විය. ගනීමත් පිළිබඳ වැඩි විස්තර සඳහා 8:69 හි පාද සටහන් බලන්න.
11

أَلَمْ تَرَ إِلَى الَّذِينَ نَافَقُوا يَقُولُونَ لِإِخْوَانِهِمُ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ لَئِنْ أُخْرِجْتُمْ لَنَخْرُجَنَّ مَعَكُمْ وَلَا نُطِيعُ فِيكُمْ أَحَدًا أَبَدًا وَإِن قُوتِلْتُمْ لَنَنصُرَنَّكُمْ وَاللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَاذِبُونَ

ආත්ම වංචා කළවුන්, ධර්ම පුස්තකය ලත් අය අතුරින් ප්රතික්ෂේප කළ තමන්ගේ සහෝදරයන්හට ”නුඹලා පිටුවහල් කරනු ලැබුවේ නම් සැබැවින්ම අප ද නුඹලා සමග බැහැර වන්නෙමු. නුඹලාගේ විෂයයෙහි කිසිවිටක අපි කිසිවෙකුට අවනත නොවන්නෙමු. තවද නුඹලාට එරෙහිව සටන් වදිනු ලැබුවේ නම් සැබැවින්ම අපි නුඹලාට උපකාර කරන්නෙමු” යැයි පවසනු නුඹ නොදුටුවෙහි ද? සැබැවින්ම ඔවුන් අසත්යය පවසන්නන් යැයි අල්ලාහ් සාක්ෂි දරන්නේය.
12

لَئِنْ أُخْرِجُوا لَا يَخْرُجُونَ مَعَهُمْ وَلَئِن قُوتِلُوا لَا يَنصُرُونَهُمْ وَلَئِن نَّصَرُوهُمْ لَيُوَلُّنَّ الْأَدْبَارَ ثُمَّ لَا يُنصَرُونَ

ඔවුන්ව පිටුවහල් කරනු ලැබුවේ නම් මොවුහු (ආත්ම වංචනිකයින්) ඔවුන් සමග බැහැර නොවන්නෝය. තවද ඔවුන්ට එරෙහිව සටන් වදිනු ලැබුවේ නම් මොවුහු උපකාර නොකරන්නෝය. තවද එසේ මොවුහු ඔවුනට උපකාර කළත් සැබැවින්ම මොවුහු පසුපස හැරී යන්නෝය. පසුව (ධර්ම පුස්තකය ලත්) ඔවුහු උදව් කරනු නොලබන්නෝය.
13

لَأَنتُمْ أَشَدُّ رَهْبَةً فِي صُدُورِهِم مِّنَ اللَّهِ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَّا يَفْقَهُونَ

(විශ්වාස කළවුනි,) ඇත්තෙන්ම නුඹලා ඔවුන්ගේ සිත් තුළ බියෙන් අල්ලාහ්(ගේ බිය)ට වඩා දැඩි වූවන්ය. එය සැබැවින්ම ඔවුන් අවබෝධ කර නොගත් පිරිසක් වීම හේතුවෙනි.
14

لَا يُقَاتِلُونَكُمْ جَمِيعًا إِلَّا فِي قُرًى مُّحَصَّنَةٍ أَوْ مِن وَرَاءِ جُدُرٍ ۚ بَأْسُهُم بَيْنَهُمْ شَدِيدٌ ۚ تَحْسَبُهُمْ جَمِيعًا وَقُلُوبُهُمْ شَتَّىٰ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَّا يَعْقِلُونَ

බලකොටු මගින් ආරක්ෂා කරනු ලැබූ නගර තුළ සිට හෝ (ආරක්ෂක) බැමි වලට පිටුපස සිට හෝ මිස ඔවුන් සියල්ලන්ම නුඹලා සමග සටන් නොවදිති. ඔවුන්ගේ කලහය ඔවුන් අතර ඉතා දැඩිය. ඔවුන් සමගියෙන් සිටින්නන් යැයි නුඹ සිතන නමුත් ඔවුන්ගේ හදවත් (භේදව) පරස්පර වී ඇත. එය සැබැවින්ම ඔවුන් අඥාන පිරිසක් වීම හේතුවෙනි.
15

كَمَثَلِ الَّذِينَ مِن قَبْلِهِمْ قَرِيبًا ۖ ذَاقُوا وَبَالَ أَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

(බනූ නළීර් ගෝති්රකයන්ගේ උපමාව) ඔවුනට කෙටි කලකට පෙර සිටියවුන්ගේ 10 උපමාව මෙන්ය. ඔවුහු තමන්ගේ ක්රියාවන්හි අයහපත් විපාක භුක්ති වින්දෝය. ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
10මෙමගින් සඳහන් වනුයේ යුදෙව්වන්ගේ කණ්ඩායමක් වන බනූ කයිනුකාවරුන් පිළිබඳවය. ඔවුන් ද මීට පෙර මදීනාවේ මුස්ලිම්වරුන් සමග තිබූ සාම ගිවිසුම උල්ලංඝනය කිරීම හේතුවෙන් මදීනාවෙන් පරාජය කර පිටුවහල් කරනු ලැබුවෝය.
16

كَمَثَلِ الشَّيْطَانِ إِذْ قَالَ لِلْإِنسَانِ اكْفُرْ فَلَمَّا كَفَرَ قَالَ إِنِّي بَرِيءٌ مِّنكَ إِنِّي أَخَافُ اللَّهَ رَبَّ الْعَالَمِينَ

(ආත්ම වංචනිකයින්ගේ උපමාව වනුයේ) ‘නුඹ ප්රතික්ෂේප කරවු’ යැයි තමා මිනිසාට පැවසූ කල්හි වූ ෂෙයිතාන්ගේ උපමාව මෙනි. එලෙස ඔහු ප්රතික්ෂේප කළ විට “මම නුඹෙන් මිදුණෙමි. සැබැවින්ම සමස්ත විශ්වයේ පරමාධිපති වූ අල්ලාහ්ට මම බිය වන්නෙමි.” යැයි ඔහු(ෂෙයිතාන්) පවසයි. 11
11මෙය බද්ර් යුද්ධය මුල් කර ගෙන සිදු වූ එක්තරා සිදුවීමක් විය හැක. ( 8:48 ආයතය බලන්න.) තවද මෙය හා ඔහුගේ සගයින් අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බව ඔහු විනිශ්චය දිනයේ දී පැවසීම තහවුරු කරයි.
17

فَكَانَ عَاقِبَتَهُمَا أَنَّهُمَا فِي النَّارِ خَالِدَيْنِ فِيهَا ۚ وَذَٰلِكَ جَزَاءُ الظَّالِمِينَ

එබැවින් ඔවුන් දෙදෙනාගේ අවසාන තීන්දුව වනුයේ, සැබැවින්ම ඔවුන් දෙදෙනාම සදාතනිකයින්ව නිරා ගින්නෙහිය. තවද එය අපරාධකරුවන්ගේ ඵලවිපාකයයි.
18

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَلْتَنظُرْ نَفْسٌ مَّا قَدَّمَتْ لِغَدٍ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

විශ්වාස කළවුනි, අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද සෑම ආත්මයක්ම හෙට දින සඳහා (තමන්ට) පෙරටු කර ගත් දෑ පිළිබඳව අවධානය යොමු කරවු. තවද අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්තයාය.
19

وَلَا تَكُونُوا كَالَّذِينَ نَسُوا اللَّهَ فَأَنسَاهُمْ أَنفُسَهُمْ ۚ أُولَـٰئِكَ هُمُ الْفَاسِقُونَ

නුඹලා අල්ලාහ්ව අමතක කළවුන් මෙන් නොවවු. එබැවින් ඔහු (අල්ලාහ්) ඔවුනට තමන්වම අමතක කෙරෙව්වේය. 12 ඔවුන්මය පාපතරයින් වන්නේ.
12මෙම ආයතයට අනුව කෙනෙකු තමාවම අමතක කර ගත්තා යනු එනම් කෙනෙකු පවක් කරන්නේ නම් එහි අර්ථය ඔහුට ඒ සඳහා තමාට ඇති වන දඬුවම අමතක වී ඇත යන්නයි. එනම් තමාම තම නිරයේ දඬුවමට හේතු කාරකයක් වී ඇත.
20

لَا يَسْتَوِي أَصْحَابُ النَّارِ وَأَصْحَابُ الْجَنَّةِ ۚ أَصْحَابُ الْجَنَّةِ هُمُ الْفَائِزُونَ

නිරයේ සගයින් හා ස්වර්ගයේ සගයින් සමාන නොවෙති. ස්වර්ගයේ සගයින්මය ජයග්රාහීන් වන්නේ.
21

لَوْ أَنزَلْنَا هَـٰذَا الْقُرْآنَ عَلَىٰ جَبَلٍ لَّرَأَيْتَهُ خَاشِعًا مُّتَصَدِّعًا مِّنْ خَشْيَةِ اللَّهِ ۚ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ

මෙම අල් කුර්ආනය කන්දක් මත අපි පහළ කළේ නම් අල්ලාහ් කෙරෙහි වූ භීතිය හේතුවෙන් එය යටහත් පහත්ව බිඳී සුනු විසුනු වන බව සැබැවින්ම නුඹ දකිනු ඇත. එවන් උපමාවන් ජනයින් ගැඹුරින් සිතනු පිණිස අපි ඔවුනට නිදර්ශන දැක්වූයෙමු.
22

هُوَ اللَّهُ الَّذِي لَا إِلَـٰهَ إِلَّا هُوَ ۖ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ ۖ هُوَ الرَّحْمَـٰنُ الرَّحِيمُ

ඔහුමය අල්ලාහ්, ඔහු හැර අන් දෙවියෙක් නොමැත. ගුප්ත දෑ හා දෘශ්ය දෑ දන්නාය. ඔහු සැමට කරුණාභරිත පරම කරුණාභරිතය.
23

هُوَ اللَّهُ الَّذِي لَا إِلَـٰهَ إِلَّا هُوَ الْمَلِكُ الْقُدُّوسُ السَّلَامُ الْمُؤْمِنُ الْمُهَيْمِنُ الْعَزِيزُ الْجَبَّارُ الْمُتَكَبِّرُ ۚ سُبْحَانَ اللَّهِ عَمَّا يُشْرِكُونَ

ඔහුමය අල්ලාහ්, ඔහු හැර අන් දෙවියෙක් නොමැත. (ඔහු) අධිපතිය, අති පාරිශුද්ධය, (අඩුපාඩු වලින්) සුරක්ෂිතය, අභය සලසන්නාය, ආරක්ෂකයාය, අති බල සම්පන්නය, බල පරාක්රමය, අති ගාම්භීරය. ඔවුන් ආදේශ කරන (සියලු) දැයින් අල්ලාහ් අති පිවිතුරුය.
24

هُوَ اللَّهُ الْخَالِقُ الْبَارِئُ الْمُصَوِّرُ ۖ لَهُ الْأَسْمَاءُ الْحُسْنَىٰ ۚ يُسَبِّحُ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

ඔහුමය අල්ලාහ්, මැවුම්කරුය, පූර්ව නිදසුනකින් තොරව නිර්මාණය කරන්නාය, (සියල්ල) හැඩ ගස්වන්නාය. ඉතා අලංකාර නාමයන් ඔහු සතුය. 13 අහස්හි හා මිහිතලයෙහි ඇති (සියලු) දෑ ඔහුව පිවිතුරු කරති. තවද ඔහු අති බල සම්පන්නය සර්ව ප්රඥාවන්තය.
13මෙහි අල්ලාහ්ගේ අලංකාර නාමයන් කිහිපයක් සඳහන් වී ඇත. එහි අර්ථ පරිවර්තන කර ඇති නමුත් එහි පරිපූර්ණ අදහස හුදෙක් පරිවර්තනයෙන් දැක්විය නොහැකිය.