المجادلة

අල්-මුජාදිලා

المجادلة

අල්-මුජාදිලා · Al-Mujadila

මදීනී22 පද්‍ය

හැඳින්වීම

මෙම සූරාව ප‍්‍රධාන වශයෙන් කරුණු 4 ක් සම්බන්ධයෙන් කතා කරයි. එනම් පළමුවෙන්ම ළිහාර් සම්බන්ධයෙන් වූ නීති ද දෙවනුව රහසිගත සාකච්ඡා හා නබි මුහම්මද්* තුමාණන් සමග වූ පෞද්ගලික සාකච්ඡා පිළිබඳව ද තුන්වැන්න සභාවක විනය පිළිබඳව ද අවසාන වශයෙන් තමන් මුස්ලිම්වරුන් යැයි පෙනී සිට ප‍්‍රතික්ෂේපකයින් සමග බැඳී සිටි ආත්ම වංචනිකයින් පිළිබඳව ද විග‍්‍රහ කරයි.

1

قَدْ سَمِعَ اللَّهُ قَوْلَ الَّتِي تُجَادِلُكَ فِي زَوْجِهَا وَتَشْتَكِي إِلَى اللَّهِ وَاللَّهُ يَسْمَعُ تَحَاوُرَكُمَا ۚ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ

(නබිවරය,) තම ස්වාමි පුරුෂයා පිළිබඳව නුඹ සමග තර්ක කරමින් අල්ලාහ්ට පැමිණිලි කළ කාන්තාවකගේ කතාව අල්ලාහ්ට ඇසුනි. තවද අල්ලාහ් නුඹලා දෙදෙනාගේ දෙබසට සවන් දෙන්නේය. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්රාවකය සර්ව නිරීක්ෂකය.
2

الَّذِينَ يُظَاهِرُونَ مِنكُم مِّن نِّسَائِهِم مَّا هُنَّ أُمَّهَاتِهِمْ ۖ إِنْ أُمَّهَاتُهُمْ إِلَّا اللَّائِي وَلَدْنَهُمْ ۚ وَإِنَّهُمْ لَيَقُولُونَ مُنكَرًا مِّنَ الْقَوْلِ وَزُورًا ۚ وَإِنَّ اللَّهَ لَعَفُوٌّ غَفُورٌ

නුඹලාගෙන් කවරෙකු තම භාර්යාවට (නුඹ මාගේ මව මෙන් වන්නේ යැයි පවසා) ළිහාර් 1 කරන්නේ ද ඔවුහු ඔවුන්ගේ මව්වරුන් නොවෙති. ඔවුන්ව ප්රසූත කළවුන් මිස (අන් කිසිවෙක්) ඔවුන්ගේ මව්වරුන් නොවෙති. සැබැවින්ම ඔවුහු පිළිකුල් සහගත ප්රකාශයක් ද අසත්යය ද පවසන්නෝය. තවද සැබැවින්ම අල්ලාහ් ක්ෂමාව පිරිනමන්නාය අති ක්ෂමාශීලීය.
1‘ළිහාර්’ යනු එකල අරාබිවරුන් අතර තම බිරියගෙන් වෙන්වීම පිණිස “ඔබ මාගේ මවගේ පිට මෙන් සමාන” යැයි පවසා ඇයව මවගේ ස්ථානයේ තබා පවුල් ජීවිතයෙන් වෙන් කර තැබීමේ වැරදි සිරිතක් පැවතුණි. මෙවැනි සිදුවීමක් හව්ලා බින්ත් සඃලබා හා ඇගේ ස්වාමි පුරුෂයා වන අවුස් බින් සාමිත් අතර සිදු විය. පසුව ඇය මෙම කාරණාව නබි මුහම්මද් තුමාණන්ට පැමිණිලි කරමින් තර්ක කළ අතරම ඒ පිළිබඳව අල්ලාහ්ට ද කන්නලව් කර සිටියාය. මෙම සිදුවීම මුල් කර ගෙන මෙම වදන් පහළ විය.
3

وَالَّذِينَ يُظَاهِرُونَ مِن نِّسَائِهِمْ ثُمَّ يَعُودُونَ لِمَا قَالُوا فَتَحْرِيرُ رَقَبَةٍ مِّن قَبْلِ أَن يَتَمَاسَّا ۚ ذَٰلِكُمْ تُوعَظُونَ بِهِ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

කවරෙකු තම භාර්යාවට (නුඹ මාගේ මව මෙන් වන්නේ යැයි පවසා) ළිහාර් කර පසුව තමන් කළ ප්රකාශයෙන් මිදීමට ඉදිරිපත් වන්නේ නම් ඔවුන් දෙදෙනා (ලිංගික වශයෙන්) ස්පර්ශ කිරීමට පෙර එක් වහලෙකු නිදහස් කළ යුතුය. 2 නුඹලාට දෙනු ලබන උපදේශය එයයි. නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් අභිඥාන වන්තය.
2වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 47:4 පාද සටහන් සමග බලන්න.
4

فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ مِن قَبْلِ أَن يَتَمَاسَّا ۖ فَمَن لَّمْ يَسْتَطِعْ فَإِطْعَامُ سِتِّينَ مِسْكِينًا ۚ ذَٰلِكَ لِتُؤْمِنُوا بِاللَّهِ وَرَسُولِهِ ۚ وَتِلْكَ حُدُودُ اللَّهِ ۗ وَلِلْكَافِرِينَ عَذَابٌ أَلِيمٌ

කවරෙකුට (වහලෙක් නිදහස් කිරීමට) නොලැබුණේ ද, ඔවුන් දෙදෙනා (ලිංගික වශයෙන්) ස්පර්ශ කිරීමට පෙර අඛණ්ඩව මාස දෙකක් උපවාස ශීලයෙහි යෙදිය යුතුය. කවරෙකුට (එයට ද) හැකියාවක් නොමැත්තේ ද ඔහු දිළිඳුන් හැට දෙනෙකුට ආහාර සැපයිය යුතුය. 3 එ(ම නීති)ය නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ රසූල්වරයාව ද විශ්වාස කිරීම පිණිසය. තවද ඒවා අල්ලාහ්ගේ සීමාවන්ය. තවද ප්රතික්ෂේපකයින්ට වේදනීය දඬුවමක් ඇත. 4
3ළිහාර් කිරීම පාප ක්රියාවක් යනුවෙන් ද එය දික්කසාදයට සමාන නොවන්නක් යනුවෙන් ද මෙම වැකියේ පවසා ඇත. ළිහාර් කළ පුරුෂයා එයට යුතු කෆ්ෆාරා(පාපශෝධනය) කළ යුතුයි. නැතහොත් දික්කසාදය කළ යුතු ආකාරයෙන් දික්කසාද කළ යුතුයි. එහි පාපශෝධනය නම් ඔහු එක් වහලෙකුව නිදහස් කළ යුතුයි. එයට ඔහු අපොහොසත් වුවහොත් මාස දෙකක් අඛණ්ඩව උපවාස ශීලයේ යෙදිය යුතුයි. එයටද ඔහු අපොහොසත් වුවහොත් දුගීන් හැට දෙනෙකුට ආහාර වේලක් සැපයිය යුතුයි. කෙසේ වුවද මෙම පාපශෝධනය කිසිවක් කිරීමට පෙර සංසර්ගයේ යෙදීම තහනම් වේ.
4‘ළිහාර්’ පැවසීම නින්දිත ක්රියාවකි. එමගින් දික්කසාදය සිදු නොවන නමුත් ලිංගික ඇසුර ඔවුන් දෙදෙනාට අනුමත නොවේ. නැවතත් එය අනුමත වනුයේ ආයතයේ සඳහන් පරිදි වන්දි ඉටු කිරීමෙන් පසුවය.
5

إِنَّ الَّذِينَ يُحَادُّونَ اللَّهَ وَرَسُولَهُ كُبِتُوا كَمَا كُبِتَ الَّذِينَ مِن قَبْلِهِمْ ۚ وَقَدْ أَنزَلْنَا آيَاتٍ بَيِّنَاتٍ ۚ وَلِلْكَافِرِينَ عَذَابٌ مُّهِينٌ

සැබැවින්ම කවුරුන් අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට එරෙහි වන්නේද ඔවුනට පෙර වූවන් අවමානයට ලක් කළාක් මෙන් ඔවුන් ද අවමානයට ලක් කරනු ලබන්නෝය. සැබැවින්ම අපි ඉතා පැහැදිලි වදන් පහළ කළෙමු. තවද ප්රතික්ෂේපකයින්ට නින්දනීය දඬුවමක් ඇත.
6

يَوْمَ يَبْعَثُهُمُ اللَّهُ جَمِيعًا فَيُنَبِّئُهُم بِمَا عَمِلُوا ۚ أَحْصَاهُ اللَّهُ وَنَسُوهُ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ

අල්ලාහ් ඔවුන් සියලු දෙනා යළි නැගිටුවන දින ඔවුන් කළ දෑ පිළිබඳව ඔවුනට දන්වන්නේය. ඔවුන් එය අමතක කර දමා තිබුණ ද අල්ලාහ් එය ගණනයෙහි තබා ඇත. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නාය.
7

أَلَمْ تَرَ أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۖ مَا يَكُونُ مِن نَّجْوَىٰ ثَلَاثَةٍ إِلَّا هُوَ رَابِعُهُمْ وَلَا خَمْسَةٍ إِلَّا هُوَ سَادِسُهُمْ وَلَا أَدْنَىٰ مِن ذَٰلِكَ وَلَا أَكْثَرَ إِلَّا هُوَ مَعَهُمْ أَيْنَ مَا كَانُوا ۖ ثُمَّ يُنَبِّئُهُم بِمَا عَمِلُوا يَوْمَ الْقِيَامَةِ ۚ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

අහස්හි ඇති දෑ හා මිහිතලයෙහි ඇති දෑ පිළිබඳව සැබැවින්ම අල්ලාහ් දන්නා බව නුඹ නිරීක්ෂණය නොකළෙහි ද? ඔහු(අල්ලාහ්) ඔවුන්ගෙන් සිව්වැන්නා ලෙස නොවී තිදෙනෙකු අතර රහස් සාකච්ඡාවක් නොමැත. තවද ඔහු ඔවුන්ගෙන් හයවැන්නා ලෙස නොවී පස්දෙනෙකු අතර (රහස් සාකච්ඡාවක්) නොමැත. එයට වඩා අඩු සංඛ්යාවක් සිටිය ද අධික සංඛ්යාවක් සිටිය ද ඔවුන් කොතැනක සිටියද ඔහු ඔවුන් සමග නොවී (ඔවුන් අතර රහස් සාකච්ඡාවක්) නොමැත. පසුව (මළවුන්) නැගිටවනු ලබන දින ඔවුන් කළ දෑ පිළිබඳව ඔවුනට දන්වන්නේය. සැබැවින්ම අල්ලාහ් සියලූ දෑ පිළිබඳව සර්වඥය.
8

أَلَمْ تَرَ إِلَى الَّذِينَ نُهُوا عَنِ النَّجْوَىٰ ثُمَّ يَعُودُونَ لِمَا نُهُوا عَنْهُ وَيَتَنَاجَوْنَ بِالْإِثْمِ وَالْعُدْوَانِ وَمَعْصِيَتِ الرَّسُولِ وَإِذَا جَاءُوكَ حَيَّوْكَ بِمَا لَمْ يُحَيِّكَ بِهِ اللَّهُ وَيَقُولُونَ فِي أَنفُسِهِمْ لَوْلَا يُعَذِّبُنَا اللَّهُ بِمَا نَقُولُ ۚ حَسْبُهُمْ جَهَنَّمُ يَصْلَوْنَهَا ۖ فَبِئْسَ الْمَصِيرُ

රහස් සාකච්ඡාවෙහි යෙදීම ඔවුනට තහනම් කරනු ලැබූ පසුව ද ඔවුනට තහනම් කරනු ලැබූ දෑම නැවත කරන්නන්ව නුඹ නොදුටුවෙහි ද? 5 තවද ඔවුන් පාපය හා සතුරුකම හා රසූල්වරයාට පිටු පෑම ගැන රහස් සාකච්ඡාවෙහි යෙදෙන්නෝය. තවද ඔවුන් නුඹ වෙත පැමිණියේ නම් අල්ලාහ් නුඹට සුබ නොපතන දැයින් ඔවුහු නුඹට සුබ පතන්නෝය. තවද “අප පවසන දෑ සඳහා අල්ලාහ් අපහට දඬුවම් නොකරන්නේ (මන්)ද?” 6 යැයි තමන් අතර පවසා ගන්නෝය. ඔවුනට නිරය ප්රමාණවත්ය. එහි ඔවුහු (පිවිස) දැවෙන්නෝය. එබැවින් අවසානයේ යොමු වන ස්ථානය නපුරු විය.
5මදීනාවෙහි යුදෙව්වන් හා මුස්ලිම්වරුන් අතර සාම ගිවිසුමක් තිබුණ ද යුදෙව්වෝ එය පසෙකලා මුස්ලිම්වරුන් තමන් අසලින් යන විට ඉගි කරමින් සමච්චලයක් ලෙස රහස් කතා කරන්නට පටන් ගත්තෝය. එසේ නොකරන මෙන් අණ කළ ද ඔවුහු එම ක්රියාව දිගටම සිදු කළෝය.
6යුදෙව්වන්ගේ තවත් අශීලාචාර ක්රියාවක් සම්බන්ධයෙන් මෙය පහළ විය. එනම්, ඔවුන් නබි මුහම්මද් තුමාණන්ව මුණ ගැසුණු විට ‘ඔබට ශාන්තිය හා සමාදානය’ යන අදහස ගෙන දෙන ‘අස්සලාමු අලෙයිකුම්’ යනුවෙන් සුබ පැතීම වෙනුවට ‘ඔබට මරණය අත් වේවා’ යන අදහස ගෙන දෙන වදනින් ආමන්ත්රණය කොට ‘අප මෙසේ සිදු කළ නමුත් අපට අල්ලාහ් කිසිඳු දඬුවමක් නොකරනුයේ මන්ද?’ යැයි විමසූ සිද්ධිය මින් අදහස් වේ.
9

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا تَنَاجَيْتُمْ فَلَا تَتَنَاجَوْا بِالْإِثْمِ وَالْعُدْوَانِ وَمَعْصِيَتِ الرَّسُولِ وَتَنَاجَوْا بِالْبِرِّ وَالتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ الَّذِي إِلَيْهِ تُحْشَرُونَ

විශ්වාස කළවුනි, නුඹලා රහස් සාකච්ඡාවෙහි යෙදෙන්නේ නම් පාපය හා සතුරුකම හා රසූල්වරයාට පිටු පෑම ගැන රහස් සාකච්ඡාවෙහි නොයෙදෙවු. තවද යහ ක්රියාවන් හා බිය භක්තිය ගැන රහස් සාකච්ඡාවෙහි යෙදෙවු. තවද නුඹලා කවර කෙනෙකු වෙත එක්රැස් කරවනු ලබන්නේද එම අල්ලාහ්ට බිය භක්තිමත් වවු.
10

إِنَّمَا النَّجْوَىٰ مِنَ الشَّيْطَانِ لِيَحْزُنَ الَّذِينَ آمَنُوا وَلَيْسَ بِضَارِّهِمْ شَيْئًا إِلَّا بِإِذْنِ اللَّهِ ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ

අල්ලාහ්ගේ නියමයෙන් තොරව විශ්වාස කළවුනට කිසිඳු හානියක් කළ නොහැකිව තිබියදීත් ඔවුන් දුකට පත් වනු පිණිස (පාපකාරී) රහස් සාකච්ඡාවෙහි යෙදීම ෂෙයිතාන්ගෙන් (වූ ක්රියාමාර්ගයක්)ම වේ. තවද අල්ලාහ් කෙරෙහිම විශ්වාසිකයින් (සියල්ල) භාර කළ යුතුයි. 7
7යුදෙව්වන් මුස්ලිම්වරුන්ට එරෙහිව රහස් කතා කරන්නෝය. නමුත් මෙම වැකිය එය කිසිඳු හානියක් ඇති නොකරන්නේය. යැයි මුස්ලිම්වරුන්ට දයාලුභාවයක් ලෙස පහළ වී ඇත.
11

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قِيلَ لَكُمْ تَفَسَّحُوا فِي الْمَجَالِسِ فَافْسَحُوا يَفْسَحِ اللَّهُ لَكُمْ ۖ وَإِذَا قِيلَ انشُزُوا فَانشُزُوا يَرْفَعِ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

විශ්වාස කළවුනි, “නුඹලා සභාවන්හි ඉඩ ලබා දෙවු” යැයි නුඹලාට පවසනු ලැබූ විට නුඹලා ඉඩ ලබා දෙවු. එවිට අල්ලාහ් නුඹලාට (ස්වර්ගයෙහි) ඉඩ ලබා දෙන්නේය. “නුඹලා (සභාවෙන්) නැගිටිවු” යැයි පවසනු ලැබූ විට නුඹලා නැගිටිවු. 8 නුඹලා අතුරින් විශ්වාස කළවුන්ට ද දැනුම දෙනු ලැබූවන්ට ද අල්ලාහ් තරාතිරම් උසස් කරන්නේය. තවද නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් අභිඥානවන්තයාය.
8දිනක් නබි මුහම්මද් තුමාණන් සහාබිවරුන්ට දේශනාවක් පවත්වමින් සිටිය දී ජ්යෙෂ්ඨ බද්ර් සහාබිවරුන් එතැනට පැමිණියහ. එවිට එතුමා එහි සිටී අයට ඉඩ දෙන මෙන් ඉල්ලා සිටියහ. අවංක සහාබිවරුන් ඉඩ දුන්න ද එම ස්ථානය ප්රමාණවත් නොවීය. එතුමාණෝ සියලු දෙනා නැගිටුවා පසුව වාඩි වෙන මෙන් ප්රකාශ කර සිටියහ. එවිට සහාබිවරුන් ඉඩ දුන් අතර ආත්ම වංචනිකයින් පිරිසක් එයට පිටුපෑහ. මෙම ආයතය ඔවුනට අවවාද කරමින් පහළ විය.
12

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نَاجَيْتُمُ الرَّسُولَ فَقَدِّمُوا بَيْنَ يَدَيْ نَجْوَاكُمْ صَدَقَةً ۚ ذَٰلِكَ خَيْرٌ لَّكُمْ وَأَطْهَرُ ۚ فَإِن لَّمْ تَجِدُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ

‘විශ්වාස කළවුනි, නුඹලා රසූල්වරයා සමග පෞද්ගලික සාකච්ඡාවෙහි යෙදෙන විට නුඹලාගේ සාකච්ඡාවට පෙර (දුගියන්ට) සදකාවක් පිරිනමවු. එය නුඹලාට යහපත්ය. තවද අති පිවිතුරුය. එහෙත් නුඹලාට (පිරිනැමීමට) කිසිවක් නොමැති නම් සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය. 9
9මෙය පහළ වීමට හේතු වූයේ නබි මුහම්මද් තුමාණන් සමග ඇතැම් ධනවතුන් හා ආත්ම වංචනිකයින් පෞද්ගලික සාකච්ඡාවන්හි අධික කාලයක් ගත කිරීමය. එය කෙතරම් ද යත් දුගියන් තම අවශ්යතාවන් නබි තුමාණන්ගෙන් අසා දැන ගැනීමට පවා අවස්ථාවන් අහිමි වන තරමට විය. එවිට එතුමාණන් සමග පෞද්ගලිකව සාකච්ඡාවන්හි නිරත වීම සීමා කිරීම පිණිස කතා බහට පෙර දුගියන්ට සදකාවක් ලබා දෙන මෙන් අණ කර ඇත. නමුත් මෙය දුගියන්ට අනිවාර්යය නොවීය.
13

أَأَشْفَقْتُمْ أَن تُقَدِّمُوا بَيْنَ يَدَيْ نَجْوَاكُمْ صَدَقَاتٍ ۚ فَإِذْ لَمْ تَفْعَلُوا وَتَابَ اللَّهُ عَلَيْكُمْ فَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ ۚ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

නුඹලාගේ සාකච්ඡාවට පෙර සදකාවක් පිරිනැමීම(ට නොහැකිවේ යන්න) පිළිබඳව නුඹලා බිය වන්නෙහු ද? එසේ නුඹලා නොකර අල්ලාහ් ද නුඹලාගේ පශ්චාත්තාපය පිළිගත් විට නුඹලා ‘සලාතය’ ස්ථීරවම ඉටු කරවු. ’zසකාතය’ දෙවු. අල්ලාහ්ට ද ඔහුගේ රසූල්වරයාට ද අවනත වවු. 10 තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්තය.
10පෙර ආයතය පරිදි ධනවතුන් හා ආත්ම වංචනිකයින් එම ක්රියාවෙන් වැළකුණ ද එම ආයතය හේතුවෙන් සදකාවක් දීමෙන් තොරව උපදෙස් ගැනීමෙන් එය අනුමත වේවි දැ’යි යන බිය සැබෑ අවශ්යතාවන්ගෙන් පෙළෙන උදවිය තුළ තිබිණ. එබැවින් ඔවුන් නබි මුහම්මද් තුමාගෙන් උපදෙස් ගැනීමට පැකිළිණි. එයට ප්රතිචාර දැක්වීමක් ලෙස මෙම ආයතය පහළ විය.
14

أَلَمْ تَرَ إِلَى الَّذِينَ تَوَلَّوْا قَوْمًا غَضِبَ اللَّهُ عَلَيْهِم مَّا هُم مِّنكُمْ وَلَا مِنْهُمْ وَيَحْلِفُونَ عَلَى الْكَذِبِ وَهُمْ يَعْلَمُونَ

(නබිවරය,) තමන් කෙරෙහි අල්ලාහ් කෝපයට පත් වූ (යුදෙව්) පිරිසක් සමග මිත්රත්වයක් ඇති කර ගත් අයව(ආත්ම වංචනිකයින්ව) නුඹ නොදුටුවෙහිද? 11 ඔවුහු නුඹලා අතුරින් නොවෙති. ඔවුහු(යුදෙව්වන්) අතුරින්ද නොවෙති. ඔවුහු (තමන් අසත්යය බව) දැනුවත්ව සිටිය දී අසත්යය මත දිවුරති.
11වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 3:28 , 9:23 පාද සටහන් සමග බලන්න.
15

أَعَدَّ اللَّهُ لَهُمْ عَذَابًا شَدِيدًا ۖ إِنَّهُمْ سَاءَ مَا كَانُوا يَعْمَلُونَ

අල්ලාහ් ඔවුනට දැඩි දඬුවමක් පිළියෙල කර ඇත. සැබැවින්ම ඔවුන් කරමින් සිටී දෑ නපුරු විය.
16

اتَّخَذُوا أَيْمَانَهُمْ جُنَّةً فَصَدُّوا عَن سَبِيلِ اللَّهِ فَلَهُمْ عَذَابٌ مُّهِينٌ

ඔවුන් තමන්ගේ දිවුරුම් පලිහක් ලෙස යොදා ගනිමින් (ජනයින්ව) අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක් වූහ. 12 එබැවින් ඔවුනට නින්දනීය දඬුවමක් ඇත.
12ආත්ම වංචනිකයින් ව්යාජ දිවුරුම් පලිහක් ලෙස යොදා ගනිමින් තමන් මුස්ලිම්වරුන් යැයි පෙන්වා ගත්හ. නමුත් ඔවුහු මුස්ලිම්වරු නොවූහ.
17

لَّن تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُم مِّنَ اللَّهِ شَيْئًا ۚ أُولَـٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ

අල්ලාහ්ගෙන් (වූ දඬුවමින්) වැළකී සිටීමට ඔවුන්ගේ සම්පත් හෝ ඔවුන්ගේ දරුවන් ඔවුනට කිසිඳු ඵලක් නොදෙන්නේමය. ඔවුහු නිරයේ සගයෝ වෙති. ඔවුහු එහි සදාකල් වෙසෙන්නෝ වෙති.
18

يَوْمَ يَبْعَثُهُمُ اللَّهُ جَمِيعًا فَيَحْلِفُونَ لَهُ كَمَا يَحْلِفُونَ لَكُمْ ۖ وَيَحْسَبُونَ أَنَّهُمْ عَلَىٰ شَيْءٍ ۚ أَلَا إِنَّهُمْ هُمُ الْكَاذِبُونَ

අල්ලාහ් ඔවුන් සියලු දෙනා නැගිටුවන දින ඔවුහු නුඹලා වෙත දිවුරූ පරිදි ඔහු වෙත ද දිවුරන්නෝය. තවද සැබැවින්ම තමන් යම් කිසි (යහපත්) දෙයක් මත සිටින බවට ඔවුහු සිතති. දැන ගනු සැබැවින්ම අසත්යවාදීහූ ඔවුහුමය.
19

اسْتَحْوَذَ عَلَيْهِمُ الشَّيْطَانُ فَأَنسَاهُمْ ذِكْرَ اللَّهِ ۚ أُولَـٰئِكَ حِزْبُ الشَّيْطَانِ ۚ أَلَا إِنَّ حِزْبَ الشَّيْطَانِ هُمُ الْخَاسِرُونَ

ඔවුන් කෙරෙහි ෂෙයිතාන් (තම) බලය යොදවා ඇත. එහෙයින් අල්ලාහ්ව මෙනෙහි කිරීම ඔහු ඔවුනට අමතක කර දැමුවේය. ඔවුන් ෂෙයිතාන්ගේ පක්ෂයයි. දැන ගනු සැබැවින්ම ෂෙයිතාන්ගේ පක්ෂය (වන) ඔවුහුමය අලාභවන්තයින් වන්නෝ.
20

إِنَّ الَّذِينَ يُحَادُّونَ اللَّهَ وَرَسُولَهُ أُولَـٰئِكَ فِي الْأَذَلِّينَ

සැබැවින්ම අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට විරුද්ධවන්නන් වන ඔවුහු දැඩි අවමානයට ලක් වූවන් අතර වෙති.
21

كَتَبَ اللَّهُ لَأَغْلِبَنَّ أَنَا وَرُسُلِي ۚ إِنَّ اللَّهَ قَوِيٌّ عَزِيزٌ

”සැබැවින්ම මා ද මාගේ රසූල්වරුන් ද ජයග්රහණය කරන්නෙමු” යැයි අල්ලාහ්(ගේ පෙර නියමයෙහි) සටහන් කර ඇත. සැබැවින්ම අල්ලාහ් සර්ව ශක්තිසම්පන්නය අති බලසම්පන්නය.
22

لَّا تَجِدُ قَوْمًا يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ يُوَادُّونَ مَنْ حَادَّ اللَّهَ وَرَسُولَهُ وَلَوْ كَانُوا آبَاءَهُمْ أَوْ أَبْنَاءَهُمْ أَوْ إِخْوَانَهُمْ أَوْ عَشِيرَتَهُمْ ۚ أُولَـٰئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ الْإِيمَانَ وَأَيَّدَهُم بِرُوحٍ مِّنْهُ ۖ وَيُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ۚ أُولَـٰئِكَ حِزْبُ اللَّهِ ۚ أَلَا إِنَّ حِزْبَ اللَّهِ هُمُ الْمُفْلِحُونَ

තමන්ගේ දෙමව්පියන් වුව ද තමන්ගේ දරුවන් වුව ද තමන්ගේ සහෝදරයින් වුව ද තමන්ගේ පවුලේ අය වුව ද (ඔවුන් අතුරින්) අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට විරුද්ධ වන්නන් සමග මිතුරුකම් පාන්නන් ලෙස අල්ලාහ් ද අවසාන දිනය ද විශ්වාස කරන්නන්ව නුඹ නොදකින්නෙහිය. ඔවුන් වනාහි අල්ලාහ් ඔවුන්ගේ සිත් තුළ විශ්වාසය ස්ථාපිත කළේය. ඔහු වෙතින් වූ (ආධ්යාත්මික) ආලෝකය මගින් ඔවුන්ව ශක්තිමත් කළේය. ඔවුන්ව (ස්වර්ග) උයන්වලට ඇතුළත් කරවන්නේය. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. (ඔවුහු) එහි සදාතනිකයෝ වෙති. ඔවුන් පිළිබඳව අල්ලාහ් තෘප්තියට පත් විය. තවද ඔවුහු ද ඔහු පිළිබඳව තෘප්තියට පත් වූහ. ඔවුන් අල්ලාහ්ගේ පක්ෂයයි. දැන ගනු සැබැවින්ම අල්ලාහ්ගේ පක්ෂය (වන) ඔවුහුමය ජයග්රාහිකයින් වන්නෝ.