الحديد

අල්-හදීද්

الحديد

අල්-හදීද් · Al-Hadid

මදීනී29 පද්‍ය

හැඳින්වීම

මෙම සූරාවේ* ප‍්‍රථම ආයත් අංක දහය පහළ වූයේ නබි මුහම්මද්* තුමාණන් විසින් මක්කාව ජය ලැබීමෙන් අනතුරුවය. එසමයේ ප‍්‍රතික්ෂේපකයින් දුර්වලව සිටි හෙයින් තමන් තුළ යහ ගුණාංග වර්ධනය කර තමන් විසින් විය හැකි වැරදි ක‍්‍රියාවන්ට අල්ලාහ්ගෙන් අධිකව සමාව අයැදින ලෙස මුස්ලිම්වරුන්ට අණ කරනු ලැබුවෝය. තවද තම වස්තූන් දන් දීම වැනි ක‍්‍රියාවන්හි වියදම් කරන මෙන් ද මරණින් මතු ලොව සඳහා යහ ක‍්‍රියා කළවුන්ට ස්වර්ගය කරා යෑමට දෙනු ලබන ආලෝකය ඉදිරියේ ලොවේ වස්තූන් කිසිම ඵලක් නැත යනුවෙන් ද ඔවුන්ට උපදෙස් දෙන ලදී. අවසාන වශයෙන් කිතුනුවන් විසින් ඇති කරනු ලැබූ පැවිදි බව අල්ලාහ් අනුමත කළ දෙයක් නොවන බව හා ඔවුන් අල්ලාහ්ගේ තෘප්තිය පතන්නේ නම් එයට යුතු මග නබි මුහම්මද් තුමාණන්ව සහ ඔහුට දෙනු ලැබූ දේව පණිවිඩය අනුගමනය කිරීම පමණී යැයි පවසා ඇත.

1

سَبَّحَ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

අහස්හි හා මිහිතලයෙහි ඇති දෑ අල්ලාහ්ව පිවිතුරු කරති. ඔහු අති බල සම්පන්නය සර්ව ප්රඥාවන්තය.
2

لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ يُحْيِي وَيُمِيتُ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

අහස්හි හා මිහිතලයෙහි ආධිපත්යය ඔහුට හිමිය. ඔහු ජීවය දෙන්නේය. තවද මරණයට පත් කරන්නේය. තවද ඔහු සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
3

هُوَ الْأَوَّلُ وَالْآخِرُ وَالظَّاهِرُ وَالْبَاطِنُ ۖ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

ඔහුමය ප්රථමයා ද අවසානයා ද බාහිරයා ද අභ්යන්තරයා 1 ද වන්නේ. තවද ඔහු සියලූ දෑ පිළිබඳව සර්වඥය.
1ඔහු ප්රථමයා හා අවසානයා යනු ඔහුට ආරම්භයක් හෝ අවසානයක් ඇත යන අර්ථය නොවේ. ඔහුට පෙර කිසිවක් නැත. තවද ඔහුට පසුව ද කිසිවක් නැත යන අර්ථයයි. ඔහු බාහිරයා යනු සෑම මැවුමක්ම පෙන්නුම් කරන්නේ මැවුම්කරුවෙකු සිටිනවා යනුවෙනි. මැවුම්කරුවා සිටිනවා යන්න බාහිරව පැහැදිලි විෂයක් වුවද ඔහු අභ්යන්තරයාය. මන්දයත් ඔහුගේ ස්වරූපය කෙසේ දැයි කිසිවෙකුට නොදන්නා හෙයිනි.
4

هُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۚ يَعْلَمُ مَا يَلِجُ فِي الْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنزِلُ مِنَ السَّمَاءِ وَمَا يَعْرُجُ فِيهَا ۖ وَهُوَ مَعَكُمْ أَيْنَ مَا كُنتُمْ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

දින සයකින් අහස් හා මිහිතලය මැව්වේ ඔහුමය. පසුව ඔහු අර්ෂය මත (ඔහුගේ ගෞරවයට සුදුසු අයුරින්) “ඉස්තිවා” 2 විය. මිහිතලයට පිවිසෙන දෑ ද ඉන් බැහැර වන දෑ ද අහසින් පහළ වන දෑ ද එයට ඉහළ යන දෑ ද ඔහු දන්නේය. තවද නුඹලා කොහේ සිටිය ද ඔහු නුඹලා සමගය. 3 තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව සර්ව සුපරික්ෂාකාරීය.
2වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:54 හි පාද සටහන බලන්න.
3වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:186 හි පාද සටහන බලන්න.
5

لَّهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ

අහස්හි හා මිහිතලයෙහි ආධිපත්යය ඔහුට හිමිය. තවද (සියලු) කරුණු නැවත යොමු කරනු ලබන්නේ අල්ලාහ් වෙතය.
6

يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ ۚ وَهُوَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

ඔහු රාත්රිය දහවලෙහි ඇතුළු කරවන්නේය. තවද දහවල රාත්රියෙහි ඇතුළු කරවන්නේය. තවද ඔහු හදවත්හි ඇති දෑ පිළිබඳව සර්වඥය.
7

آمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَأَنفِقُوا مِمَّا جَعَلَكُم مُّسْتَخْلَفِينَ فِيهِ ۖ فَالَّذِينَ آمَنُوا مِنكُمْ وَأَنفَقُوا لَهُمْ أَجْرٌ كَبِيرٌ

අල්ලාහ්ව හා ඔහුගේ රසූල්වරයාව විශ්වාස කරවු. තවද කවර දැයෙහි(ධනයෙහි) ඔහු නුඹලාව නියෝජිතයින් 4 බවට පත් කළේ ද එයින් නුඹලා වියදම් කරවු. එබැවින් නුඹලා අතුරින් විශ්වාස කළවුන් හා (අල්ලාහ්ගේ මාර්ගයේ) වියදම් කළවුන්( වන), ඔවුනට මහත් වූ ප්රතිඵලයක් ඇත.
4නියෝජිතයා යන අර්ථයේ අරාබි පදය ‘මුස්තක්ලිෆ්’ වේ. එනම් ලොවේ වස්තූන් මිනිසා පරිහරණය කළ ද එහි සත්ය හිමිකරු අල්ලාහ් වේ. ඔහු තම වස්තූන් වියදම් කිරීමට මිනිසාව නියෝජිතයා බවට පත් කර ඇත. එහෙයින් දන් දීම විෂයෙහි ඔහු මසුරුකම් පෑමට අවශ්යතාවයක් නැත. ‘මුස්තක්ලිෆ්’ යන වචනයේ තවත් අර්ථයක් නම් අනුප්රාප්තිකයා යන්නයි. එනම් අද කෙනෙකුට හිමිව තිබෙන දෙය දිනක තවත් කෙනෙකුට හිමිව තිබුණි. තවත් දිනක වෙනත් කෙනෙකුට හිමි වනු ඇත. එහෙයින් මෙම හිමිකම නිරන්තර නොවන හෙයින් අවශ්යය දැයට වියදම් කරන විෂයේ යුහුසුලු විය යුතුය.
8

وَمَا لَكُمْ لَا تُؤْمِنُونَ بِاللَّهِ ۙ وَالرَّسُولُ يَدْعُوكُمْ لِتُؤْمِنُوا بِرَبِّكُمْ وَقَدْ أَخَذَ مِيثَاقَكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

නුඹලා (සැබෑ) විශ්වාසවන්තයින් වන්නේ නම්, නුඹලාගේ පරමාධිපතිව විශ්වාස කරනු පිණිස රසූල්වරයා නුඹලාව කැඳවමින් සිටිය දී ද නුඹලාගෙන් ඔහු(අල්ලාහ්) ප්රතිඥාව 5 ගෙන සිටිය දී ද අල්ලාහ්ව විශ්වාස නොකර සිටීමට නුඹලාට කුමක් වී ද?
5මිනිසා මෙලොවට බිහි වීමට පෙර සියලු ප්රාණයන් යම් ස්ථානයක රැඳී සිටියහ. එම ස්ථානයට ආලමුල් අර්වාහ් යන්නෙන් හැඳින්වේ. එහිදී අල්ලාහ් මා නුඹලාගේ පරමාධිපති නොවේ දැ?යි ප්රාණයන්ගෙන් විමසීය. එවිට එම ප්රාණයන් නැත. ඔබමය අපගේ පරමාධිපති යැයි ප්රතිඥා දුන්නේය.
9

هُوَ الَّذِي يُنَزِّلُ عَلَىٰ عَبْدِهِ آيَاتٍ بَيِّنَاتٍ لِّيُخْرِجَكُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۚ وَإِنَّ اللَّهَ بِكُمْ لَرَءُوفٌ رَّحِيمٌ

නුඹලාව අඳුරේ සිට ආලෝකය කරා පිටතට ගෙන ඒම පිණිස තම ගැත්තා(මුහම්මද්) කෙරෙහි පැහැදිලි ආයතයන් පහළ කළේ ඔහුමය. තවද සැබැවින්ම අල්ලාහ් නුඹලා කෙරෙහි සානුකම්පිතය මහා කරුණාභරිතය.
10

وَمَا لَكُمْ أَلَّا تُنفِقُوا فِي سَبِيلِ اللَّهِ وَلِلَّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ لَا يَسْتَوِي مِنكُم مَّنْ أَنفَقَ مِن قَبْلِ الْفَتْحِ وَقَاتَلَ ۚ أُولَـٰئِكَ أَعْظَمُ دَرَجَةً مِّنَ الَّذِينَ أَنفَقُوا مِن بَعْدُ وَقَاتَلُوا ۚ وَكُلًّا وَعَدَ اللَّهُ الْحُسْنَىٰ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

තවද අහස්හි හා මිහිතලයේ උරුමය අල්ලාහ් සතුව තිබිය දී අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා වියදම් නොකර සිටීමට නුඹලාට කුමක් වී ද? (මක්කා) ජයග්රහණයට පෙර වියදම් කර සටන් කළවුන් නුඹලා අතුරින් (කිසිවෙකුට) සම නොවන්නේය. (මක්කා ජයග්රහණයට) පසුව වියදම් කර සටන් කළවුන්ට වඩා ඔවුන් තරාතිරමින් අති මහත්ය. තවද (ඔවුන් දෙපිරිසගෙන්) එකිනෙකාට අල්ලාහ් යහපත (ප්රතිඵලයක් ලෙස) ප්රතිඥා දුන්නේය. 6 තවද නුඹලා කරමින් සිටින දෑ පිළිබඳව අල්ලාහ් අභිඥානවන්තය.
6මක්කා ජය ලැබීමට පෙර මුස්ලිම්වරුන් බොහෝ අපහසුතාවන්ට මුහුණ දුන්නෝය. එහෙයින් මක්කා ජය ලැබීමෙන් පසුව අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීම හා අල්ලාහ්ගේ මාර්ගයේ වෑයම් කිරීමේ අවශ්යතාවට වඩා එහි අවශ්යතාව දැඩි ලෙස තිබුණේ මක්කා ජය ලැබීමට පෙර සමයේය.
11

مَّن ذَا الَّذِي يُقْرِضُ اللَّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ وَلَهُ أَجْرٌ كَرِيمٌ

කවරෙකු අලංකාර ණයක් 7 අල්ලාහ්ට ණයක් ලෙස ලබා දෙන්නේ ද එවිට ඔහු(අල්ලාහ්) ඔහුට එය ප්රගුණ කරන්නේය. තවද ඔහුට ගෞරවනීය ප්රතිඵලයක් ලැබෙනු ඇත.
7අල්ලාහ්ගේ ණය යනු අල්ලාහ්ගේ මාර්ගයේ දන් දීමයි. මෙම වැකියේ ණය යන වචනය භාවිත කිරීමේ අදහස නම් කෙනෙකුට ණයක් දුන්නේ නම් ඔහු එය නැවත හරවා දිය යුතුය. එසේම අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කළේ නම් අල්ලාහ් එය ඔහුට විනිශ්චය දිනයේ දෙගුණ කර හරවා දෙන්නේය යන අරුතයි.
12

يَوْمَ تَرَى الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ يَسْعَىٰ نُورُهُم بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِم بُشْرَاكُمُ الْيَوْمَ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ

(නබිවරය,) නුඹ විශ්වාසිකයින්ව හා විශ්වාසික කාන්තාවන්ව දකින (එම විනිශ්චය) දින ඔවුන්ගේ ආලෝකය ඔවුන් ඉදිරිපිට ද ඔවුන්ගේ (කි්රයා ලේඛන මගින්) දකුණු අත් වලට ශීඝ්රයෙන් ගමන් කරයි. “අද දින නුඹලාගේ ශුභාරංචිය වන්නේ (ස්වර්ග) උයන්ය. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. (ඔවුහු) එහි සදාතනිකයෝ වෙති. එයමය ඉමහත් ජයග්රහණය වන්නේ” (යැයි ඔවුන්ට පවසනු ලැබේ.)
13

يَوْمَ يَقُولُ الْمُنَافِقُونَ وَالْمُنَافِقَاتُ لِلَّذِينَ آمَنُوا انظُرُونَا نَقْتَبِسْ مِن نُّورِكُمْ قِيلَ ارْجِعُوا وَرَاءَكُمْ فَالْتَمِسُوا نُورًا فَضُرِبَ بَيْنَهُم بِسُورٍ لَّهُ بَابٌ بَاطِنُهُ فِيهِ الرَّحْمَةُ وَظَاهِرُهُ مِن قِبَلِهِ الْعَذَابُ

ආත්ම වංචනික පුරුෂයින් හා ආත්ම වංචනික ස්ත්රීන් “අප වෙනුවෙන් නුඹලා බලා සිටිවු. (මන්දයත්) නුඹලාගේ ආලෝකයෙන් ස්වල්පයක් අපට ද ලබා ගත හැක” 8 යැයි විශ්වාස කළවුන්ට පවසන දින “නුඹලාගේ පසුපසට හැරී ගොස් ආලෝකය සොයවු” යැයි (ඔවුනට) පවසනු ලැබේ. එවිට ඔවුන් අතර දොරක් ඇති බිත්තියක් පිහිටුවනු ලැබේ. (විශ්වාසිකයින් සිටින) එහි ඇතුළාන්තය කරුණාවය. එහි බාහිර දෙසින් දඬුවමය.
8විනිශ්චය දිනයේ මිනිසුන් සියලු දෙනාම අඳුරෙහි සිටිති. ඔවුන්ව ස්වර්ගය කරා ගෙන යන්නේ මෙම ආලෝකයයි. එකිනෙකාගේ යහ ක්රියාව අනුව එහි දීප්තිය අඩු හෝ වැඩි වනු ඇත. ආත්ම වංචනිකයින් මුස්ලිම්වරුන් මෙන් රගපෑ නිසා ඔවුන්ට ද සුළු ආලෝකයක් දෙනු ලැබ සුළු මොහොතකින් එය නිවී යන බව ඇතැම් දැනුම් දීම් මගින් වාර්තා වී ඇත.
14

يُنَادُونَهُمْ أَلَمْ نَكُن مَّعَكُمْ ۖ قَالُوا بَلَىٰ وَلَـٰكِنَّكُمْ فَتَنتُمْ أَنفُسَكُمْ وَتَرَبَّصْتُمْ وَارْتَبْتُمْ وَغَرَّتْكُمُ الْأَمَانِيُّ حَتَّىٰ جَاءَ أَمْرُ اللَّهِ وَغَرَّكُم بِاللَّهِ الْغَرُورُ

ඔවුහු(ආත්ම වංචනිකයින්) “අපි නුඹලා සමග නොසිටියෙමු දැ”යි ඔවුන්ව(විශ්වාසිකයින්ව) අමතති. “එසේය, එනමුත් නුඹලා නුඹලාවම (පාප කි්රයා මගින්) දුෂ්ට මගකට යොමු කර ගත්තෝය. තවද (විශ්වාසිකයින්ට අයහපතක් සිදු වනු ඇතැයි) නුඹලා බලාපොරොත්තුවෙන් සිටියෙහුය, තවද (ඉස්ලාමය පිළිබඳව) සැකයෙන් පසු වූවෝය. තවද අල්ලාහ්ගේ නියෝගය(මරණය) පැමිණෙන තෙක් ආත්මාශාවන් නුඹලාව රවටා දැමුවේය. තවද රවටන්නා (වූ ෂෙයිතාන්) නුඹලාව අල්ලාහ් පිළිබඳව රවටා දැමුවේය.” යැයි ඔවුන්(විශ්වාසිකයින්) පවසති.
15

فَالْيَوْمَ لَا يُؤْخَذُ مِنكُمْ فِدْيَةٌ وَلَا مِنَ الَّذِينَ كَفَرُوا ۚ مَأْوَاكُمُ النَّارُ ۖ هِيَ مَوْلَاكُمْ ۖ وَبِئْسَ الْمَصِيرُ

එබැවින් අද දින නුඹලාගෙන් ද ප්රතික්ෂේප කළවුන්ගෙන් ද වන්දියක් (පිළි)ගනු නොලැබේ. නුඹලාගේ ලැගුම් ගන්නා ස්ථානය නිරා ගින්නයි. එයමය නුඹලාට සුදුසු ස්ථානය වන්නේ. තවද (නුඹලා) අවසානයේ යොමු වන ස්ථානය කෙතරම් නින්දනීය ද!
16

أَلَمْ يَأْنِ لِلَّذِينَ آمَنُوا أَن تَخْشَعَ قُلُوبُهُمْ لِذِكْرِ اللَّهِ وَمَا نَزَلَ مِنَ الْحَقِّ وَلَا يَكُونُوا كَالَّذِينَ أُوتُوا الْكِتَابَ مِن قَبْلُ فَطَالَ عَلَيْهِمُ الْأَمَدُ فَقَسَتْ قُلُوبُهُمْ ۖ وَكَثِيرٌ مِّنْهُمْ فَاسِقُونَ

විශ්වාස කළවුනට අල්ලාහ්ව සිහිපත් කිරීම සඳහා ද සත්යයෙන් පහළ වූ දැය(අල් කුර්ආනය) සඳහා ද ඔවුන්ගේ හදවත් (බියෙන්) යටහත් පහත් වීමට හා (මොවුන්ට) පෙර විසූ ධර්ම පුස්තකය පිරිනමනු ලැබූවන් මෙන් මොවුන් ද නොවීමට වේලාව නොපැමිණියේ ද? නමුත් (තමන් වෙනුවෙන් පශ්චාත්තාපය නොකළ) කාලය ඔවුන් කෙරෙහි දිගු විය. එබැවින් ඔවුන්ගේ හදවත් දැඩි විය. තවද ඔවුන්ගෙන් බහුතරය පාපතරයින්ය. 9
9මෙම ආයතය ඉස්ලාමය වැලඳ ගෙන ඒ අනුව ක්රියා නොකරන්නන්ට අවවාදයකි. මොවුන්ට ‘යුදෙව්වන් හා කිතුනුවන් මෙන් නොවන්න’ යැයි පවසා ඇත්තේ ‘යුදෙව්වන් හා කිතුනුවන් තම ධර්ම පුස්තකය විශ්වාස කළ ද ඔවුන් ඒ අනුව කි්රයා නොකිරීම හේතුවෙන් ඔවුන්ගේ හදවත් ඝන වී අවසානයේ දී ධර්ම පුස්තකය විකෘති කිරීම වැනි මහා පාපයන් කිරීමට ද ඔවුන් පසු බැස්සේ නැති හෙයිනි.
17

اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُونَ

නුඹලා දැන ගනිවු. (එනම්) මිහිතලය නැසී ගිය පසු සැබැවින්ම අල්ලාහ් එයට (නැවත) ජීවය ලබා දෙන්නේය. නුඹලා අවබෝධ කර ගනු පිණිස සැබැවින්ම අපි නුඹලාට සංඥාවන් පැහැදිලි කළෙමු. 10
10මෙම ආයතයේ අදහස වනුයේ මිය ගිය පොළොවට ප්රාණය දී එය සරුසාරවත් කරන්නාක් මෙන් විශ්වාසිකයාගේ පාපයන් කොතරම් වුව ද එය අල්ලාහ්ගේ ක්ෂාමව මගින් මකා තම හදවත ප්රාණවත් කිරීම නොහැකි කාර්යයක් නොවේ යන්නයි.
18

إِنَّ الْمُصَّدِّقِينَ وَالْمُصَّدِّقَاتِ وَأَقْرَضُوا اللَّهَ قَرْضًا حَسَنًا يُضَاعَفُ لَهُمْ وَلَهُمْ أَجْرٌ كَرِيمٌ

සැබැවින්ම දානපතියන්ට ද දානපතිනියන්ට ද අල්ලාහ්ට අලංකාර ණයක් ලබා දුන්නන් හට ද එය ඔවුනට ප්රගුණ කරනු ලැබේ. තවද ඔවුනට ගෞරවනීය ප්රතිඵලයක් ඇත.
19

وَالَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ أُولَـٰئِكَ هُمُ الصِّدِّيقُونَ ۖ وَالشُّهَدَاءُ عِندَ رَبِّهِمْ لَهُمْ أَجْرُهُمْ وَنُورُهُمْ ۖ وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَـٰئِكَ أَصْحَابُ الْجَحِيمِ

තවද අල්ලාහ්ව ද ඔහුගේ රසූල්වරුන්ව ද විශ්වාස කළවුන් වන ඔවුන්මය සත්යවන්තයින් වන්නේ. තවද (ඔවුන්මය) ඔවුන්ගේ පරමාධිපති අබියස ‘ෂහීද්වරුන්’ 11 වන්නේ. ඔවුනට ඔවුන්ගේ ප්රතිඵල ද ඔවුන්ගේ ආලෝකය ද ඇත. තවද කවුරුන් ප්රතික්ෂේප කර අපගේ වදන් අසත්යය කළේද ඔවුන්මය නිරයේ සගයින් වන්නේ.
11මෙහි ෂහීද්වරුන් යන වචනයට ‘අල්ලාහ් වෙනුවෙන් දිවි පිදූවන්’ යන අර්ථය ද ‘සාක්ෂි දරන්නන්’ යන අර්ථය ද ඇත.
20

اعْلَمُوا أَنَّمَا الْحَيَاةُ الدُّنْيَا لَعِبٌ وَلَهْوٌ وَزِينَةٌ وَتَفَاخُرٌ بَيْنَكُمْ وَتَكَاثُرٌ فِي الْأَمْوَالِ وَالْأَوْلَادِ ۖ كَمَثَلِ غَيْثٍ أَعْجَبَ الْكُفَّارَ نَبَاتُهُ ثُمَّ يَهِيجُ فَتَرَاهُ مُصْفَرًّا ثُمَّ يَكُونُ حُطَامًا ۖ وَفِي الْآخِرَةِ عَذَابٌ شَدِيدٌ وَمَغْفِرَةٌ مِّنَ اللَّهِ وَرِضْوَانٌ ۚ وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ

නුඹලා දැන ගනිවු. මෙලොව ජීවිතය කී්රඩනයකි, විනෝදයකි, ශෝභාලංකාරයකි, නුඹලා එකිනෙකා අතර ආඩම්බරකම් පාන්නකි, සම්පත් හා දරුවන් වැඩි කිරීමේ තරගකාරිත්වයකි. 12 (මේ සියල්ල) වර්ෂාවක් බඳුය. (එනම් එම වර්ෂාවෙන්) එහි පැළෑටි (වැඩීම) ගොවියන්ව සතුටින් පිනවයි. පසුව එය වියළෙනු ඇත. එවිට එය කහ පැහැ බවට පත් වනු නුඹ දකින්නෙහිය. පසුව එය (දිරා ගිය) පිදුරු බවට පත් වන්නේය. තවද මතුලොවෙහි (පාපතරයින්ට) දැඩි දඬුවමක් ඇත. (සැදැහැමියන්ට) අල්ලාහ්ගෙන් වූ සමාවක් ද තෘප්තියක් ද ඇත. තවද මෙලොව ජීවිතය රවටාලන වින්දනයක් මිස (අන් කිසිවක්) නැත.
12මෙහිදී මිනිස් ජීවිතයේ විවිධ අවස්ථාවන් පිළිබඳව සඳහන් වී ඇත. ඔහු තම බාල වියේ සෙල්ලම් භාණ්ඩ වලට ඇබ්බැහි වී සිටි අතර තම තරුණ වියේ දී තම අලංකාරය පෙන්වීමට වැඩි ඇල්මක් දක්වමින් සිටි. එසේම ඔහු පරිණත වීමෙන් පසුව තම වස්තූන් හා පරම්පරාව පෙන්වා ශ්රේෂ්ඨත්වය පෙන්නුම් කිරීමෙහි නියැළෙති. එක් සමයක ප්රියජනක හා ප්රයෝජනවත්ව තිබූ දෙයක් තවත් සමයක එය ඵලක් නොමැති දෙයක් වනු ඇත. එය තමාට ප්රියජනක දෙයක්ව තිබුණි යැයි සිතා ඔහු සිනහ ද වන්නේය. එමෙන්ම තම මරණින් පසු ඔහු අල්ලාහ්ගේ දායාදයන් දැකීමෙන් ලොවෙහි තිබූ තමන්ගේ දේපළ සියල්ල අල්ප දෙයක් යැයි ඔහු වටහා ගනු ඇත.
21

سَابِقُوا إِلَىٰ مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا كَعَرْضِ السَّمَاءِ وَالْأَرْضِ أُعِدَّتْ لِلَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ ۚ ذَٰلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاءُ ۚ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ

නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සමාව හා (ස්වර්ග) උයන වෙත එකිනෙකා සමග තරඟකාරීව ඉදිරියට යවු. එහි පළල අහස හා මිහිතලයෙහි පළල මෙන්ය. මෙය අල්ලාහ්ව ද ඔහුගේ දූතයින්ව ද විශ්වාස කළවුනට සූදානම් කරන ලද්දකි. එය (ඔවුන් වෙනුවෙන් වූ) අල්ලාහ්ගේ භාග්යයයි, ඔහු අභිමත කරන අයට ඔහු එය පිරිනමන්නේය. තවද අල්ලාහ් ඉමහත් වූ භාග්යයෙහි හිමිකරුය.
22

مَا أَصَابَ مِن مُّصِيبَةٍ فِي الْأَرْضِ وَلَا فِي أَنفُسِكُمْ إِلَّا فِي كِتَابٍ مِّن قَبْلِ أَن نَّبْرَأَهَا ۚ إِنَّ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ

කිසිදු ව්යසනයක් අපි එය ඇති කරන්නට පෙර ධර්ම පුස්තකයේ 13 සඳහන්ව මිස මිහිතලයේ හෝ නුඹලා අතර හෝ සිදුවන්නේ නැත. සැබැවින්ම මෙය අල්ලාහ් කෙරෙහි පහසු කටයුත්තකි.
13මෙහි ‘ධර්ම පුස්තකය’ යනු ලව්හුල් මහ්ෆූල් නම් ඵලකය වේ. එහි වැඩි විස්තර අරාබි පද මාලාවේ සඳහන්ව ඇත.
23

لِّكَيْلَا تَأْسَوْا عَلَىٰ مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوا بِمَا آتَاكُمْ ۗ وَاللَّهُ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ

නුඹලාට මග හැරුණු දෑ කෙරෙහි දොම්නස් නොවනු පිණිස ද ඔහු නුඹලාට දුන් දෑ පිළිබඳව (දැඩි ලෙස) සතුටු (වී උඩගු) නොවනු පිණිස ද (සියල්ල ධර්ම පුස්තකයේ සඳහන් වී ඇත.) 14 තවද පුරසාරම් දොඩමින් උඩඟුකම්පාන කිසිවෙකුව අල්ලාහ් ප්රිය නොකරන්නේය.
14‘තක්දීර්’ නම් දෛවය විශ්වාස කළ මුඃමින්වරයෙකු තමාට යම් දෙයක් අහිමි වුවහොත් ඒ වෙනුවෙන් පසුතැවිල්ලට පත් වන්නේ ද නැතහොත් යම් දෙයක් තුළින් ගර්වයට පත් වන්නේ ද නැත. එහෙයින් ඔහු සෑම අවස්ථාවක දීම් අල්ලාහ්ගේ සිහිකල්පනාවෙන්ම සිටිනු ඇත.
24

الَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ النَّاسَ بِالْبُخْلِ ۗ وَمَن يَتَوَلَّ فَإِنَّ اللَّهَ هُوَ الْغَنِيُّ الْحَمِيدُ

ඔවුන් කවුරුන්ද යත් (තමන්) මසුරුකම් පා මිනිසුන්ට මසුරුකම විධානය කරන්නන් වේ. කවරෙකු පිටුපාන්නේ ද සැබැවින්ම අල්ලාහ්මය (අවශ්යතාවකින් තොර වූ) සර්ව සම්පූර්ණ හා සර්ව ප්රශංසා හිමිකරු වන්නේ.
25

لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ ۖ وَأَنزَلْنَا الْحَدِيدَ فِيهِ بَأْسٌ شَدِيدٌ وَمَنَافِعُ لِلنَّاسِ وَلِيَعْلَمَ اللَّهُ مَن يَنصُرُهُ وَرُسُلَهُ بِالْغَيْبِ ۚ إِنَّ اللَّهَ قَوِيٌّ عَزِيزٌ

සැබැවින්ම අපි අපගේ රසූල්වරුන්ව පැහැදිලි සාධකයන් සමග එව්වෙමු. තවද මිනිසුන් යුක්තිය ස්ථාපිත කිරීම පිණිස ඔවුන් සමග ධර්ම පුස්තකය ද තුලාව 15 ද අපි පහළ කළෙමු. තවද අපි යකඩ පහළ කළෙමු. එහි දැඩි ශක්තියක් ද මිනිසාට ප්රයෝජන ද ඇත. තවද අල්ලාහ්, තමන්ට හා තම රසූල්වරුන්ට (අල්ලාහ්ව) නොදුටු තත්ත්වයේ උදවු කරන්නා කවරෙකු දැ’යි දැන ගැනීම පිණිස ද (මේවා අපි පහළ කළෙමු.) සැබැවින්ම අල්ලාහ් සර්ව ශක්ති සම්පන්නය සර්ව බලධාරීය.
15මෙහි වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 55:8 හි ආයතයේ පාද සටහන බලන්න.
26

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا وَإِبْرَاهِيمَ وَجَعَلْنَا فِي ذُرِّيَّتِهِمَا النُّبُوَّةَ وَالْكِتَابَ ۖ فَمِنْهُم مُّهْتَدٍ ۖ وَكَثِيرٌ مِّنْهُمْ فَاسِقُونَ

තවද සැබැවින්ම අපි නූහ්ව හා ඉබ්රාහීම්ව (රසූල්වරුන් ලෙස) යැව්වෙමු. තවද ඔවුන් දෙදෙනාගේ පරපුරෙහි (අල්ලාහ්ගෙන් වූ) නබිත්වය හා ධර්ම පුස්තකය (ලැබූවන්) ඇති කළෙමු. එබැවින් ඔවුන්(එම පරපුර) අතුරින් යහමග ලැබූ අය ද වේ. තවද ඔවුන්ගෙන් බහුතරය පාපතරයින්ය.
27

ثُمَّ قَفَّيْنَا عَلَىٰ آثَارِهِم بِرُسُلِنَا وَقَفَّيْنَا بِعِيسَى ابْنِ مَرْيَمَ وَآتَيْنَاهُ الْإِنجِيلَ وَجَعَلْنَا فِي قُلُوبِ الَّذِينَ اتَّبَعُوهُ رَأْفَةً وَرَحْمَةً وَرَهْبَانِيَّةً ابْتَدَعُوهَا مَا كَتَبْنَاهَا عَلَيْهِمْ إِلَّا ابْتِغَاءَ رِضْوَانِ اللَّهِ فَمَا رَعَوْهَا حَقَّ رِعَايَتِهَا ۖ فَآتَيْنَا الَّذِينَ آمَنُوا مِنْهُمْ أَجْرَهُمْ ۖ وَكَثِيرٌ مِّنْهُمْ فَاسِقُونَ

පසුව ඔවුන්ගේ පියවර මත (අනුගමනය කරමින්) අපගේ රසූල්වරුන්ව අනුපිළිවෙළට අපි යැව්වෙමු. තවද මර්යම්ගේ පුත් ඊසාව ද අනුපිළිවෙළට අපි යැව්වෙමු. තවද ඔහුට අපි ඉන්ජීලය පිරිනැමුවෙමු. තවද ඔහුව අනුගමනය කළවුන්ගේ හදවත් තුළ සෙනෙහස ද කරුණාව ද අපි ඇති කළෙමු. තවද තාපස ජීවිතය ඔවුහු අලුතින් ආරම්භ කළෝය. අපි ඔවුනට එය නියම නොකළෙමු. (නමුත්) අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් මිස (ඔවුන් එසේ නොකළෝ)ය.පසුව ඔවුන් එය පිළිපැදිය යුතු අයුරින් පිළිනොපැද්දෝය. 16 එබැවින් ඔවුන් අතුරින් විශ්වාස කළවුන්ට ඔවුන්ගේ ප්රතිඵල අපි ලබා දුන්නෙමු. තවද ඔවුන් අතුරින් බොහෝ දෙනා පාපතරයින්ය.
16‘රහ්බානියියත්’ යන අරාබි වචනයේ අර්ථය ‘තාපස’ ජීවිතයක් ගත කිරීම යන්නයි. එනම් අල්ලාහ්ගේ තෘප්තිය ලබා ගත හැක්කේ විවාහ නොකර රසවත් ආහාර අනුභවයෙන් වැළකී මිනිසුන්ගෙන් හුදකලා වී ගත කරන ජීවිතයෙන් පමණී යන්න එක් දර්ශනයකි. මෙය අල්ලාහ් විසින් අනුමත කළ දෙයක් නොවේ යැයි මෙහි පැහැදිලි කර ඇත.
28

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَآمِنُوا بِرَسُولِهِ يُؤْتِكُمْ كِفْلَيْنِ مِن رَّحْمَتِهِ وَيَجْعَل لَّكُمْ نُورًا تَمْشُونَ بِهِ وَيَغْفِرْ لَكُمْ ۚ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ

විශ්වාස කළවුනි, නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද ඔහුගේ රසූල්වරයාව ද විශ්වාස කරවු. (එවිට) ඔහුගේ කරුණාවෙන් (වූ වේතනයන්) දෙකොටසක් නුඹලාට දෙන්නේය. තවද නුඹලාට ආලෝකයක් ද ඔහු ඇති කරන්නේය. එමගින් නුඹලා ගමන් කරන්නෝය. තවද නුඹලාට සමාව ද දෙන්නේය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
29

لِّئَلَّا يَعْلَمَ أَهْلُ الْكِتَابِ أَلَّا يَقْدِرُونَ عَلَىٰ شَيْءٍ مِّن فَضْلِ اللَّهِ ۙ وَأَنَّ الْفَضْلَ بِيَدِ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاءُ ۚ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ

(එසේ නුඹලාට කරනුයේ) අල්ලාහ්ගේ භාග්යයෙන් කිසිවක් කෙරෙහි තමන් පාලන කිරීමේ හැකියාව නොලබන බවට ධර්ම පුස්තක ලද්දන් දැන ගනු පිණිස ය. තවද සැබැවින්ම භාග්යය අල්ලාහ්ගේ අතෙහිය. ඔහු අභිමත කරන අයට ඔහු එය පිරිනමන්නේය. 17 තවද අල්ලාහ් ඉමහත් වූ භාග්යයෙහි හිමිකරු (යනුවෙන් ද දැන ගනු පිණිස)ය.
17මෙහි භාග්යය යනුවෙන් සඳහන් කිරීමෙහි අදහස් දෙකක් ඇත. පළමු අදහස නම් නබිත්වය ලබා දීමේ භාග්යයයි. එනම් යුදෙව්වන් හා කිතුනුවන් අවසාන දූතයා තමන්ගේ පරම්පරාවෙන් පැමිණිය යුතු යැයි බලාපොරොත්තු වී සිටි නමුත් එය අරාබිවරුන්ගෙන් පැමිණීමෙන් පසු ඊර්ෂ්යාව හේතුවෙන් ඔහුව විශ්වාස නොකළෝය. එහෙයින් මෙය අල්ලාහ්ට යුතු දෙයක් නිසා ඊර්ෂ්යා විය යුතු කරුණක් නොවේ යැයි අල්ලාහ් උපදෙස් කර ඇත. දෙවැනි අදහස නම් ක්ෂමා කිරීමේ භාග්යයයි. එනම් තම අනුගාමිකයින්ව ක්ෂමා කිරීම කිතුනු පියවරුන්ගේ සිරිතක් වී තිබුණි. මෙම ක්රියාව මෙම ආයතය මගින් ප්රතික්ෂේප කර ඇත.