المائدة

අල්-මාඉදා

المائدة

අල්-මාඉදා · Al-Maidah

මදීනී120 පද්‍ය

හැඳින්වීම

මෙම සූරාව* අල්ලාහ්ගේ දූතයාණන් වන නබි මුහම්මද්* තුමාණන්ගේ ජීවිතයේ අවසන් භාගයේ දී පහළ කරන ලද්දකි. නබි ඊසා* තුමාගේ (ජේසුස්ගේ) අනුගාමිකයින් අල්ලාහ්ගෙන් භෝජන සංග‍්‍රහයක් අහසින් ලබා දෙන මෙන් ඉල්ලා සිටි අවස්ථාව ගැන පවසන 114 වැනි ආයතයේ සඳහන් මාඉදා නම් වචනයෙන් මෙම සූරාවට නම යෙදී ඇත. මෙම සූරාවේ ඇතැම් ආයතයන් හුදෙයිබියා නම් ප‍්‍රතික්ෂේපක මක්කා වාසීන් හා මුස්ලිම්වරුන් අතර සිදුවූ පළමු ගිවිසුමෙන් පසුව ද තවත් සමහරක් මක්කාව ජය ගත් අවස්ථාවේ ද තවත් සමහරක් හජ්ජතුල් වදාඃ නැමැති නබි මුහම්මද් තුමාණන්ගේ සමුගැනීමේ හජ් වන්දනාවේ ද පහළ කරනු ලැබූ බව විද්වතෙකු වූ අබූ හය්යාන් තුමා විසින් අදහස් කර ඇත. කෙසේ වෙතත් හිජ්රි වසර 6 සහ 10 අතර කාලයේ මදීනාවෙහි මෙම සූරාව පහළ කරනු ලැබී ඇත. මෙම වකවානුවෙහි ඉස්ලාම් දහම අරාබි අර්ධ ද්වීපයේ විශාල වශයෙන් ව්‍යාප්ත වී තිබිණ. ඉස්ලාමයට එරෙහිව නොයෙකුත් අයුරින් බාධා කළ සතුරන් ඒ වන විටත් පරාජයට පත්ව සිටියහ. මදීනා දේශයෙහි ඉස්ලාමීය රාජ්‍යය ක‍්‍රමක‍්‍රමයෙන් ස්ථාපිත වී අංග සම්පූර්ණ විය. මෙවන් භූමිකාවක සමාජයකට ප‍්‍රයෝගිකව අනුගමනය කළ හැකි සමාජීය ආර්ථික හා දේශපාලන ක‍්‍රම පිළිබඳව වූ නියෝගයන් සහ ප‍්‍රතිපත්ති මෙම සූරාවෙහි සඳහන් වී ඇත. අල්ලාහ් සහ ඔහුගේ ගැත්තාට ඉටු කළ යුතු ගිවිසුම හා ප‍්‍රතිඥාව ඉටු කිරීමේ අවශ්‍යතාව තරයේ අවධාරණය කරමින් මෙම සූරාව ආරම්භ වී ඇති අතර අනතුරුව පුද්ගලික හා සමාජීය ක‍්‍රියා මාර්ග සඳහා අවශ්‍ය පුළුල් නියෝගයන් ගැන සඳහන් කර ඇත. මෙහි දී මුස්ලිම්වරුන්ට අනුමත හා තහනම් ආහාර කුමක් ද යන්නත් පැහැදිලි කෙරෙයි. ‘ශආඉරුල්ලාහ්’ එනම්, ‘කැප කිරීමට සලකුණු තබන ලද සත්වයින්’ කෙරෙහි ගෞරවය දක්වන ලෙස මුස්ලිම්වරුන්ට නිර්දේශ කෙරෙයි. තවද ඉස්ලාමයේ ප‍්‍රගතිය වළකාලීමේ අරමුණු එහි සතුරන් අතහැර නොදැමූ බව ද ඉස්ලාමයේ ආගමික නියෝග පත‍්‍රය අල්ලාහ් පරිපූර්ණ කර අවසන් කර ඇති බව ද මෙම සූරාව ප‍්‍රකාශ කරයි. එමෙන්ම මස්ජිදුල් හරම්* සීමාව තුළ සතුන් දඩයම් කිරීමේ තහනම, යුදෙව් හා කිතුනුවන් සමග විවාහ වීම, ඔවුන්ගේ ආහාර අනුභව කිරීම, වුළු සහ තයම්මුම් කිරීම සහ මිහිලතයේ සාධාරණත්වය ස්ථාපිත කිරීම යන මාතෘකා යටතේ මෙහි සාකච්ඡා කෙරෙයි. යුදෙව්වන් සහ කිතුනුවන් සිදු කළ වැරදි සහ අල්ලාහ් සමග ඇති කර ගත් ගිවිසුම ඔවුන් කඩ කළ අයුරු ද මෙහි පෙන්වා දී ඇත. නබි ආදම් තුමාණන්ගේ* පුතුන් දෙදෙනෙකුගේ කථාව ද අසාධාරණ ලෙස කෙනෙකු ඝාතනය කිරීමේ සාහසික පාපය පිළිබඳව ද මෙහි පැහැදිලි කර ඇත. එමෙන්ම සොරකම් කිරීම හා මංකොල්ලය වැනි වරදට දඬුවම් ද මත්පැන් සහ සූදුව පිළිබඳව වූ තහනම ද සඳහන් වෙයි. රසූල්වරයාගේ ජීවිතයේ අවසන් අදියරයේ හෙළිදරව් කරන ලද මෙවැනි නියෝග සහ අණ පනත් ස්ථීරසාර නියෝග වශයෙන් පිළිගත යුතු අතර ඒවායින් කිසිවක් අදටත් කිසිදු වෙනස් වීමකින් හෝ අහෝසි කිරීමකින් හෝ තොරව පවතී.

1

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَوْفُوا بِالْعُقُودِ ۚ أُحِلَّتْ لَكُم بَهِيمَةُ الْأَنْعَامِ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ غَيْرَ مُحِلِّي الصَّيْدِ وَأَنتُمْ حُرُمٌ ۗ إِنَّ اللَّهَ يَحْكُمُ مَا يُرِيدُ

විශ්වාස කළවුනි! නුඹලා ගිවිසුම් ඉටු කරවු. 1 නුඹලාට පාරායානා කර( පෙන්ව)නු ලබන දෑ 2 හැර පශු කුලයට අයත් සත්වයින් නුඹලාට අනුමත කරනු ලැබීය. (නමුත්) නුඹලා (හජ් හා උම්රා සඳහා) ඉහ්රාම් 3 (ඇඳ ගත්) තත්ත්වයේ දඬයම් කිරීම අනුමත නොවීය. සැබැවින්ම අල්ලාහ් ඔහු අපේක්ෂා කරන දෑ නියම කරන්නේය.-
1මෙම ආයතයේ ‘ගිවිසුම්’ යන වචනය තුළ අල්ලාහ් සමග ඇති කරගත් ගිවිසුම් හා මිනිසුන් සමග ඇති කරගත් ගිවිසුම් අන්තර්ගත වේ. නමුත් මෙම ආයතයේ පොදුවේ ගිවිසුම් ඉටු කරවු යනුවෙන් සඳහන් වී ඇත්තේ මීට පසුව ඇති ආයතයන්හි අල්ලාහ් සමග ඇති කරගත යුතු ඇතැම් ගිවිසුම් අල්ලාහ් සඳහන් කර ඇති හෙයිනි. තවද අරාබි මිථ්යා දෘෂ්ටිකයන් ඇතැම් සත්වයින් තමන් විසින්ම තමන්ට තහනම් කර ගත්තෝය. මෙම ආයතයේ අල්ලාහ් නිශ්චිත ලෙස තහනම් කළ සත්වයින් හැර අන් සියලු සත්වයින් අනුමත වූ ඒවා යැයි සඳහන් වී ඇත.
2මෙහි ‘පාරායානා කර( පෙන්ව)නු ලබන දෑ’ යනු මෙම සූරාවෙහි 3 වැනි ආයතයෙහි සඳහන් දෑය.
3කෙනෙකු හජ් හා උම්රා වන්දනාවන් ඉටු කිරීමට අදිටන් කළේ නම් ඔහු නියමිත වස්ත්රයක් පැලඳ ඇතැම් අනුමත දෑ වලින් වැළකී සිටිය යුතුය. උදා : සුවඳ විලවුන් භාවිත කිරීම, ශරීරයේ ඇති රෝම ඉවත් කිරීම වැනි දෑය. මෙවැනි අවස්ථාවන්හි ඇතැම් කරුණු සීමා කරනු ලැබ තිබීම හේතුවෙන් මෙයට ‘ඉහ්රාම්’ යැයි පවසනු ලැබේ. මෙම සීමාවන් වලින් එකක් මෙම ආයතයේ සඳහන් කර ඇත. එනම් ඉහ්රාම්ව සිටිය දී දඩයම් කිරීම තහනම් යන්නය.
2

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُحِلُّوا شَعَائِرَ اللَّهِ وَلَا الشَّهْرَ الْحَرَامَ وَلَا الْهَدْيَ وَلَا الْقَلَائِدَ وَلَا آمِّينَ الْبَيْتَ الْحَرَامَ يَبْتَغُونَ فَضْلًا مِّن رَّبِّهِمْ وَرِضْوَانًا ۚ وَإِذَا حَلَلْتُمْ فَاصْطَادُوا ۚ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ أَن صَدُّوكُمْ عَنِ الْمَسْجِدِ الْحَرَامِ أَن تَعْتَدُوا ۘ وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَىٰ ۖ وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ ۚ وَاتَّقُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ

විශ්වාස කළවුනි, අල්ලාහ්ගේ (දහමෙහි) සලකුණු 4 ද (යුද තහනම් වූ) ශුද්ධ වූ මාසයන් 5 ද හද්ය(සත්ව කැප කිරීම) ද (සලකුණු වශයෙන් ගෙලෙහි පලඳනු ලබන) මාල 6 ද තම පරමාධිපතිගේ භාග්යය හා තෘප්තිය සොයමින් බයිතුල් හරාම් 7 වෙත අපේක්ෂාවෙන් පැමිණෙන්නන්ව ද නුඹලා (ඒවායෙහි කොන්දේසි ඉටු නොකිරීම මගින්) උල්ලංඝනය නොකරවු. නුඹලා ඉහ්රාමයෙන් මිදුණේ නම් එවිට නුඹලා දඩයම් කරවු. 8 තවද ඔවුන් (එනම්, මක්කා වැසියන් හුදෙයිබියා දින) මස්ජිදුල් හරාමයෙන් නුඹලාව වැළක්වීම හේතුවෙන් (එම) පිරිසකගේ ක්රෝධය නුඹලාව සීමාව ඉක්මවීමට පොලඹවිය නොයුතුය. තවද යහපත කෙරෙහි ද බිය භක්තිය කෙරෙහි ද නුඹලා එකිනෙකා උදව් කර ගනිවු. තවද පාපය කෙරෙහි ද ක්රෝධය කෙරෙහි ද නුඹලා එකිනෙකා උදවු කර නොගනිවු. තවද අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩිය.
4මෙම ආයතයේ පසුබිම මක්කාවේ විසූ ප්රතික්ෂේපකයන් හුදෙයිබියා ගිවිසුම අවස්ථාවේදී මුස්ලිම්වරුන්ව උම්රා ඉටු කිරීමෙන් වැළැක්වුවෝය. මේ පිළිබඳව දුකට පත් ඇතැම් මුස්ලිම්වරුන් ප්රතික්ෂේපකයින්ගේ වන්දනාව වළක්වා ඔවුන් කැප කිරීමට ගෙන යන සත්වයින්ව අත්පත් කර ඔවුන්ගෙන් පළි ගැනීමට සිතූහ. මෙම ආයතය මෙවැනි සියලු කි්රයාවන් කිරීමෙන් වළක්වා ඇත. මන්දයත් එමගින් අල්ලාහ්ගේ සලකුණු උල්ලංඝනය වීමක් සිදුවන හෙයිනි. ඉස්ලාමයේ සංකේතයක් ලෙස සලකන දහමේ ඇති විශේෂ ලක්ෂණයන් අල්ලාහ්ගේ සලකුණු යනුවෙන් හඳුන්වනු ලැබේ. ඒවායින් සමහරක් නම් බයිතුල් හරාම්හි ශුද්ධවන්තභාවය රැක ගැනීම, ඉහ්රාම් අවස්ථාව, වන්දනාකරුවන්, හරම් වෙත කැප කිරීම සඳහා ගෙන යන සතුන් ආදියයි.
5ඉස්ලාමයට පෙර අරාබිවරුන් අතර එක් ශුද්ධ වූ මාසයක් විය. එහි යුද කිරීම තහනම්ව තිබිණ. නමුත් ඉස්ලාමයට පසු මාස හතරක් දක්වා දීර්ඝ විය. ඒවා නම් සුල් කඃදා, සුල් හිජ්ජා, මුහර්රම් හා රජබ් යන මාසයන්ය.
6එකල මස්ජිදුල් හරාම්යට කැප කිරීම සඳහා ගෙන යන සත්වයන්ට සලකුණක් ලෙස ගෙලෙහි විශේෂ මාල පලඳවන්නෝය. මෙහි මාල යනුවෙන් සඳහන් කරමින් අදහස් කරනුයේ එම මාල පලඳනු ලැබූ සතුන්ය. එම සතුන්ව වෙනත් අරමුණක් සඳහා භාවිත කිරීම උන්ගේ ශුද්ධවන්තභාවය උල්ලංඝනය කිරීමක් ලෙස ඔවුන් සැලකුවෝය.
7“බයිතුල් හරාම්” යනු මුස්ලිම්වරුන් තම නැමදුම් සඳහා හැරෙන මක්කාවේ සමචතුරස්ර හැඩයකින් යුත් ගොඩනැගිල්ල පිහිටි දේවස්ථානයයි.
8එනම් මෙම විධානය මගින් අදහස් වන්නේ ඉහ්රාම් ශීලයෙන් මිදුණේ නම් දඩයම් කිරීමට අනුමැතිය ඇත යන්නයි.
3

حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ وَالدَّمُ وَلَحْمُ الْخِنزِيرِ وَمَا أُهِلَّ لِغَيْرِ اللَّهِ بِهِ وَالْمُنْخَنِقَةُ وَالْمَوْقُوذَةُ وَالْمُتَرَدِّيَةُ وَالنَّطِيحَةُ وَمَا أَكَلَ السَّبُعُ إِلَّا مَا ذَكَّيْتُمْ وَمَا ذُبِحَ عَلَى النُّصُبِ وَأَن تَسْتَقْسِمُوا بِالْأَزْلَامِ ۚ ذَٰلِكُمْ فِسْقٌ ۗ الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُوا مِن دِينِكُمْ فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْنِ ۚ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا ۚ فَمَنِ اضْطُرَّ فِي مَخْمَصَةٍ غَيْرَ مُتَجَانِفٍ لِّإِثْمٍ ۙ فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ

මළ සතුන් ද රුධිරය ද සූකර මාංශ ද අල්ලාහ් හැර වෙනත් දෑ සඳහා කැප කරනු ලැබූ දෑ ද ගෙල මිරිකා මරන ලද සතුන් ද පහර දී මරන ලද සතුන් ද (ඉහළ සිට) පහළට වැටී මරණයට පත් සතුන් ද (උලකින්) ඇණ මරණයට පත් කළ සතුන් ද තවද නුඹලා (ඉස්ලාමීය) අනුමත ක්රමයට කැපීමෙන් මිස මෘග සතුන් ආහාරයට ගත් දෑ ද පිළිම වෙනුවෙන් කපනු ලැබූ දෑ ද ඊතල් මගින් පංගු තීන්දු කිරීම 9 ද නුඹලා කෙරෙහි තහනම් කරනු ලැබ ඇත. මේවා (සියල්ලම) පාපයන්ය. ප්රතික්ෂේප කළවුන් නුඹලාගේ දහම(ට හානි කිරීම) පිළිබඳව අද දින බලාපොරොත්තු සුන්කර ගෙන ඇත. එබැවින් නුඹලා ඔවුනට බිය නොවවු. මාහටම බිය වවු. අද දින නුඹලාගේ දහම නුඹලාට මම පරිසමාප්ත කර ඇත්තෙමි. 10 තවද මාගේ දායාදයන් නුඹලා කෙරෙහි පරිපූර්ණ කර ඇත්තෙමි. නුඹලාට දහමක් ලෙස ඉස්ලාමය මම පිළිගත්තෙමි. කවරෙකු පාපය වෙත නැඹුරුවීමකින් තොරව දරා ගත නොහැකි කුසගින්න හේතුවෙන් (ඉහත සඳහන් දෑ අනුභව කිරීමට) බල කරනු ලැබුවේ ද 11 එවිට අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
9මෙයින් පෙන්නුම් කරන්නේ මිථ්යාදෘෂ්ටිකයින් අතර තිබූ එක්තරා සූදු සෙල්ලමක් පිළිබඳවය. එය කෙසේදයත් ඔවුන් ඔටුවෙකුට එක සමාන හවුල්කරුවන්ව සිටියදී එය තමන් අතර බෙදා ගැනීම සඳහා ඊතල් මගින් සීට්ටු දමන්නේය. ඔවුන්ට අයිති වන පංගුව සමානුපාතිකව නොබෙදා ගන්නා අතර ඔවුන්ගේ ඊතල් විදීම මගින් ඔවුන්ගේ පංගුව නිර්ණය කර ගන්නෝය. මෙය ඉස්ලාමය තුළින් තහනම් කරනු ලැබූවකි.
10මෙම ආයතය පහළ වූයේ හජ්ජතුල් වදාඃ නැමැති නබි මුහම්මද් තුමාණන්ගේ සමූගැනීමේ හජ්හි පැවති දේශනාව අවස්ථාවෙහිදීය. මෙම ආයතයෙහි සඳහන් පරිදි ‘නුඹලාගේ දහම මම නුඹලාට පරිසමාප්ත කර ඇත්තෙමි.’ යන වාක්යයෙන් ඉස්මතු වන්නේ ඉස්ලාමයේ නීතිරීති හා සම්බන්ධ කරුණු මෙම ආයතය පහළ වීමත් සමග පරිපූර්ණ වී ඇති බවය. එහෙත් මින් අනතුරුවද නීතිරීති හා සම්බන්ධ නොවූ ආයතයන් පහළ වී ඇත.
11මෙහි අනුමත කර ඇත්තේ මෙම ආයතයේ ආරම්භයේ සඳහන් වූ අනුභව කිරීමට තහනම් කරනු ලැබූ දෑය. එනම්, කෙනෙකුට දරුණු කුසගින්නක් ඇති වී එමගින් මරණයට පත් වන තත්ත්වයක් උදා වී ඔහුට මළ සතුන් හා සූකර මාංශ වැනි දෑ හැර වෙනත් කිසිදු ආහාරයක් නොවූයේ නම් ඒවායින් ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට ප්රමාණවත් තරමට අනුභව කිරීමට අනුමැතිය ඇත. නමුත් ඔහුගේ අවශ්යතාවට වඩා සීමාව ඉක්මවා අනුභව කිරීමට ඔහුට අනුමැතිය නැත. තවද එය කෙරෙහිම පදනම් වෙමින් නැඹුරු වීමට ද අනුමැතිය නැත.
4

يَسْأَلُونَكَ مَاذَا أُحِلَّ لَهُمْ ۖ قُلْ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ ۙ وَمَا عَلَّمْتُم مِّنَ الْجَوَارِحِ مُكَلِّبِينَ تُعَلِّمُونَهُنَّ مِمَّا عَلَّمَكُمُ اللَّهُ ۖ فَكُلُوا مِمَّا أَمْسَكْنَ عَلَيْكُمْ وَاذْكُرُوا اسْمَ اللَّهِ عَلَيْهِ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ

(නබිවරය,) ඔවුනට අනුමත කරනු ලැබ ඇත්තේ (ආහාර වලින්) කවර දෑ දැ?යි ඔවුහු නුඹගෙන් විමසන්නෝය. “නුඹලාට අනුමත කරනු ලැබ ඇත්තේ යහපත් (පිවිතුරු) දෑ ද අල්ලාහ් නුඹලාට ඉගැන්වූ දැයින් දඩයම් කරන සතුන්ට නුඹලා උගන්වා, උන් අතුරින් නුඹලා පුහුණු කළ පුහුණුව ලැබූ එවුන් (දඩයම් කරන) දෑ ද වේ. 12 එවිට නුඹලා වෙත උන් (දඩයම් කර) හසුකරගන්නා දැයින් නුඹලා අනුභව කරවු. තවද නුඹලා අල්ලාහ්ගේ නාමය ඒ මත සඳහන් කරවු.” යැයි නුඹ පවසවු. තවද නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සැබැවින්ම අල්ලාහ් ගණනය (විනිශ්චය) කිරීමෙහි ශීඝ්රය.
12මෙම ආයතයෙන් අදහස් වන්නේ දඩයම් කරන්නට යොදා ගන්නා සතුන් දඩයම සඳහා නිසි ලෙස පුහුණු කර තිබිය යුතුය යන්නයි. එම සතුන් පුහුණු කර ඇති බවට ප්රධාන ලක්ෂණය වන්නේ දඩයම් කිරීමෙන් පසු එයින් කිසිවක් අනුභව නොකොට තම ස්වාමියා වෙත එය ගෙන ඒමයි. මෙය අනුමත වීමට අනෙක් කොන්දේසිය වන්නේ දඩයම් සතාව දඩයම සඳහා මුදා හරින විට ඔවුන් මත අල්ලාහ්ගේ නාමය පවසා මුදා හැරීමය.
5

الْيَوْمَ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ ۖ وَطَعَامُ الَّذِينَ أُوتُوا الْكِتَابَ حِلٌّ لَّكُمْ وَطَعَامُكُمْ حِلٌّ لَّهُمْ ۖ وَالْمُحْصَنَاتُ مِنَ الْمُؤْمِنَاتِ وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِن قَبْلِكُمْ إِذَا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ وَلَا مُتَّخِذِي أَخْدَانٍ ۗ وَمَن يَكْفُرْ بِالْإِيمَانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ

අද දින, නුඹලාට යහපත් (පිවිතුරු) දෑ අනුමත කරනු ලැබ ඇත. තවද ධර්ම පුස්තකය දෙනු ලැබූවන්ගේ ආහාරය නුඹලාට අනුමත වූවකි. 13 නුඹලාගේ ආහාරය ඔවුනට අනුමත වූවකි. 14 තවද විශ්වාසික කාන්තාවන් අතුරින් පතිවත් කාන්තාවන් ද නුඹලාට පෙර ධර්ම පුස්තකය දෙනු ලැබූවන් අතුරින් පතිවත් කාන්තාවන් 15 ද දුරාචාරයෙන් තොරව හා (නුඹලා ඔවුන්ව) අනියම් බිරියක් වශයෙන් නොගෙන (නුඹලා ඔවුන්ව) විවාහ කර ගන්නන් ලෙස ඔවුනට ඔවුන්ගේ මහ්ර් (බන්ධන කුලිය) ලබා දෙන්නේ නම්( නුඹලාට විවාහ වීමට අනුමැතිය ඇත). කවරෙකු විශ්වාසය ප්රතික්ෂේප කරන්නේ ද ඔහුගේ ක්රියාව නිෂ්ඵල විය. තවද ඔහු මතු ලොවෙහි අලාභවන්තයින් අතුරින් (කෙනෙකු) වන්නේය.
13මෙහි ‘ආහාර’ යනුවෙන් සඳහන් කර ඇත්තේ යුදෙව්වන් හෝ කිතුනුවන් අල්ලාහ්ගේ නාමය සඳහන් කර නිසියාකාරව කැප කරන ලද සතුන්ගේ මාංශය. මන්දයත් ඉස්ලාමයේ මුස්ලිම්වරුන්ට අණ කර ඇත්තා සේම තව්රාතය පිළිපදින යුදෙව්වන්ට හා ඉන්ජීලය පිළිපදින කිතුනුවන්ට ඔවුන්ගේ දහමේ ද මේ ආකාරයටම අණ කර ඇත. ඔවුන් ඉස්ලාමයේ සඳහන් ආකාරයට අනුව කැප නොකළේ නම් එය මුස්ලිම්වරුන්ට අනුභව කිරීම තහනම් වන්නේය.
14එනම් මින් අදහස් වන්නේ පොදුවේ ඉස්ලාමීය ක්රමයට කපනු ලැබූ සතුන් මුස්ලිම් නොවන්නන් සඳහා පිරිනැමීමට ඉස්ලාමය තුළ කිසිඳු විරුද්ධත්වයක් නොමැති බවයි.
15මෙහි අදහස මුස්ලිම්වරුන්ට කිතුනු හෝ යුදෙව් කාන්තාවන්ව විවාහ වීම වලංගු වී ඇත යන්නයි. නමුත් මෙසේ විවාහ වීමෙදී ප්රධාන කරුණු දෙකක් වෙත සැලකිලිමත් විය යුතුය. පළමුව මෙම නීතිය අදාළ වන්නේ ඇය තව්රාතය හෝ ඉන්ජීලය සැබෑ ලෙස අනුගමනය කරන කාන්තාවක්ව සිටියොත් පමණි. දෙවැන්න එක් පිරිමියෙක් තමා හා තමාගේ දරුවන් ඇයගේ දහමට නැඹුරු නොවේ යැයි ද ඇය දහම් විෂයෙහි ඉස්ලාමය අබිබවා නොයන්නේ යැයි ද ඔහු විශ්වාස කළේ නම් එවිට ඇයව විවාහ කිරීමට අනුමත වේ. එනමුත් ඔහු හා දරුවන් ඇයගේ දහමට නැඹුරු වේ යැයි ද ඇය දහම් විෂයෙහි ඉස්ලාමය අබිබවා යන්නේ යැයි ද ඔහු සිතුවේ නම් ඔහුට ඇයව විවාහ වීමට අනුමත නොවේ. මෙම මතයට සාපේක්ෂව උමර් තුමා යුදෙව් හෝ කිතුනු ස්ත්රීන්ව විවාහ නොකළ යුතු යැයි නියෝගයක් නිකුත් කර ඇත. තවද වර්තමානයේ තව්රාතය හා ඉන්ජීලය සත්යය ලෙස විශ්වාස කර පිළිපදින්නන් දැක ගත නොහැකි තරම්ය.
6

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ ۚ وَإِن كُنتُمْ جُنُبًا فَاطَّهَّرُوا ۚ وَإِن كُنتُم مَّرْضَىٰ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِّنكُم مِّنَ الْغَائِطِ أَوْ لَامَسْتُمُ النِّسَاءَ فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَأَيْدِيكُم مِّنْهُ ۚ مَا يُرِيدُ اللَّهُ لِيَجْعَلَ عَلَيْكُم مِّنْ حَرَجٍ وَلَـٰكِن يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

විශ්වාස කළවුනි, සලාතය සඳහා නැගී (සිටීමට සූදානම්ව) සිටින කල්හි නුඹලාගේ මුහුණු ද වැළමිට ඇතුළුව නුඹලාගේ දෑත් ද සෝදා ගනිවු. තවද නුඹලාගේ (අත් ජලයෙන් තවරා) හිස් පිරිමදිවු. තවද නුඹලාගේ වළලු කර ඇතුළුව පාද ද (සෝදා ගනිවු). 16 තවද නුඹලා(ට ස්නානය අනිවාර්යය වන) ජුනුබ් 17 තත්ත්වයෙන් පසුවෙත් නම් නුඹලා (ස්නානය කිරීම මගින්) පිරිසිදු කර ගනිවු. තවද නුඹලා රෝගීව සිටියේ නම් හෝ ගමනක (යෙදී) සිටියේ නම් හෝ නුඹලාගෙන් අයෙකු මළපහ (කොට එම අවශ්යතාව ඉටු) කළ ස්ථානයෙන් පැමිණියේ නම් හෝ කාන්තාවන් ස්පර්ශ කළා නම් 18 හෝ පසුව නුඹලාට (පිරිසිදු වීමට) ජලය නොලැබුණේ නම් එවිට නුඹලා දූවිලි සහිත පිරිසිදු පස (තයම්මුම් 19 කිරීම සඳහා) අදිටන් කරවු. එනම් නුඹලාගේ මුහුණු ද නුඹලාගේ දෑත් ද එයින් පිරිමදිවු. නුඹලාට දුෂ්කරතාවක් ඇති කිරීමට අල්ලාහ් අපේක්ෂා නොකරන්නේය. එනමුත් නුඹලා (අල්ලාහ්ට) කෘතවේදී වනු පිණිස නුඹලාව පවිත්ර කිරීමට ද ඔහුගේ භාග්යය නුඹලාට සම්පූර්ණ කිරීමට ද ඔහු අපේක්ෂා කරන්නේය.
16මින් අදහස් වන්නේ වුළු හෙවත් අර්ධ දෝවන ක්රමය පිළිබඳවයි. මෙය ඉටු කිරීමේ පිළිවෙත හැදෑරීම සඳහා ඉස්ලාමීය නීති ග්රන්ථ වෙත යොමු වීම වඩාත් උචිත වේ.
17‘ජුනුබ්’ යනු අරාබි බසින් ‘ජනාබත්’ යන පදයෙන් බෙදුණු පදයකි. එහි අරුත ‘මහා කිළිටයි’ එනම් ලිංගික සංසර්ගය නිසා හෝ ශුක්ර ධාතු පිට වීම නිසා හෝ එවන් දෑ මුල් කරගෙන ඇති වන අපවිත්රතාවයි.
18මෙම ආයතයෙහි ‘ස්පර්ශ කළා නම්’ යන පදයට අදාළ අරාබි පදය ‘ලාමස්තුම්’ යන අරාබි පදයයි. ඊට ඇතැම් විද්වතුන් ‘සංසර්ගයේ යෙදුණා නම්’ යන්නෙන් ද අරුත ගන්වා ඇත.
19අල් කුර්ආන් 4:43 ආයතයේ ඇති 33 වැනි පාද සටහන බලන්න.
7

وَاذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ وَمِيثَاقَهُ الَّذِي وَاثَقَكُم بِهِ إِذْ قُلْتُمْ سَمِعْنَا وَأَطَعْنَا ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

තවද නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ භාග්යය(ඉස්ලාමය) ද,”(අල්ලාහ්ගේ වදනට) අපි සවන් දුනිමු, තවද (ඔහුගේ අණට) අපි අවනත වුණෙමු.” යැයි නුඹලා (නබිවරයාට) පැවසූ විට ඔහු(අල්ලාහ්) නුඹලා සමග කවර දෙයක් (එමගින් ස්ථීර කර) ගිවිසුම් කර ගත්තේද ඔහුගේ (එම) ගිවිසුම ද, නුඹලා සිහිපත් කරවු. තවද නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සැබැවින්ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳව සර්වඥය.
8

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

විශ්වාස කළවුනි, අල්ලාහ් වෙනුවෙන් (ඔහුගේ නියෝගයන් පිළිපැදීමට) ස්ථිර වූවන් ලෙස හා යුක්තිය සඳහා සාක්ෂිකරුවන් ලෙස වවු. තවද සැබැවින්ම (ප්රතික්ෂේපක) පිරිසකගේ (නුඹලා කෙරෙහි වූ) ක්රෝධය නුඹලා යුක්තිය ඉටු නොකිරීම කෙරෙහි නුඹලාව පොලඹවිය නොයුතුය. (සෑම අවස්ථාවකම) නුඹලා යුක්තිය ඉටු කරවු. එය බිය භක්තියට ඉතා සමීපය. තවද අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සැබැවින්ම නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් අභිඥානවන්තය.
9

وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ۙ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ

විශ්වාස කර දැහැමි කි්රයාවන් කළවුන්ට, ඔවුනට අල්ලාහ් පාපක්ෂමාව හා ඉමහත් වේතනයක් (පිළිබඳ) ප්රතිඥා දුන්නේය.
10

وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَـٰئِكَ أَصْحَابُ الْجَحِيمِ

තවද අපගේ සංඥාවන් ප්රතික්ෂේප කර අසත්යය කරන්නන් නිරයේ සගයෝ වෙති.
11

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ إِذْ هَمَّ قَوْمٌ أَن يَبْسُطُوا إِلَيْكُمْ أَيْدِيَهُمْ فَكَفَّ أَيْدِيَهُمْ عَنكُمْ ۖ وَاتَّقُوا اللَّهَ ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ

විශ්වාස කළවුනි, නුඹලාට (එරෙහිව) දෑත් දිගු කිරීමට (මක්කා ප්රතික්ෂේපකයින්ගෙන්) පිරිසක් සැලසුම් කළ අවස්ථාවේ දී නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ භාග්යය සිහිපත් කරවු. එවිට (නුඹලාව ආරක්ෂා කර) ඔවුන්ගේ දෑත් නුඹලාගෙන් ඔහු(අල්ලාහ්) වැළැක්වූයේය. 20 තවද නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද විශ්වාසිකයින් සියල්ල භාර කළ යුත්තේ අල්ලාහ් කෙරෙහිමය.
20මෙය පෙන්නුම් කරන්නේ ආදේශකයන් විසින් නබි මුහම්මද් තුමාට හා මුස්ලිම්වරුන්ට එරෙහිව කුමන්ත්රණ කළ සියලු සිදුවීම්ය. නමුත් අල්ලාහ් ඔවුන්ගේ සැලසුම් නිෂ්ඵල කළ අතර මෙවැනි බොහෝ සිදුවීම් ඉතිහාසයේ සඳහන් වී ඇත.
12

وَلَقَدْ أَخَذَ اللَّهُ مِيثَاقَ بَنِي إِسْرَائِيلَ وَبَعَثْنَا مِنْهُمُ اثْنَيْ عَشَرَ نَقِيبًا ۖ وَقَالَ اللَّهُ إِنِّي مَعَكُمْ ۖ لَئِنْ أَقَمْتُمُ الصَّلَاةَ وَآتَيْتُمُ الزَّكَاةَ وَآمَنتُم بِرُسُلِي وَعَزَّرْتُمُوهُمْ وَأَقْرَضْتُمُ اللَّهَ قَرْضًا حَسَنًا لَّأُكَفِّرَنَّ عَنكُمْ سَيِّئَاتِكُمْ وَلَأُدْخِلَنَّكُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۚ فَمَن كَفَرَ بَعْدَ ذَٰلِكَ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَاءَ السَّبِيلِ

සැබැවින්ම ඉස්රාඊල්ගේ දරුවන්ගෙන් අල්ලාහ් ප්රතිඥාවක් ගත්තේය. ඔවුන් අතුරින් නායකයින් දොළොස් දෙනෙකු අපි පත් කළෙමු. තවද “සැබැවින්ම මා නුඹලා සමගය. නුඹලා සලාතය ස්ථාපිත කර zසකාතය ද ලබා දී මාගේ රසූල්වරුන්ව විශ්වාස කර ඔවුනට නුඹලා උපකාර කර අල්ලාහ්ට අලංකාර ණයක් ලබා දෙන්නේ 21 නම්, සැබැවින්ම නුඹලාගේ පාපයන් නුඹලාගෙන් මම ඉවත් කර දමන්නෙමි. සැබැවින්ම නුඹලාව (ස්වර්ග) උයන් වලට ඇතුළු කරවන්නෙමි. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. නුඹලා අතුරින් ඉන්පසුව කවරෙකු ප්රතික්ෂේප කරන්නේද සැබැවින්ම ඔහු ඍජු මාර්ගයෙන් බැහැර විය.” යැයි අල්ලාහ් (ඔවුනට) පැවසුවේය.
21‘අලංකාර ණයක්’ යනුවෙන් අල් කුර්ආනයේ නිතර භාවිත වන්නේ අල්ලාහ්ගේ තෘප්තිය පතා ඔහුගේ මාර්ගයේ වියදම් කිරීමටය. ‘ණය’ යනුවෙන් භාවිත වීමට හේතුව නම් මතුලොවෙහි අල්ලාහ් ණය පියවීමක් වශයෙන් එහි ප්රතිඵලය ලබා දෙන්නේ යැයි සහතික වන හෙයිනි.
13

فَبِمَا نَقْضِهِم مِّيثَاقَهُمْ لَعَنَّاهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَاسِيَةً ۖ يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِهِ ۙ وَنَسُوا حَظًّا مِّمَّا ذُكِّرُوا بِهِ ۚ وَلَا تَزَالُ تَطَّلِعُ عَلَىٰ خَائِنَةٍ مِّنْهُمْ إِلَّا قَلِيلًا مِّنْهُمْ ۖ فَاعْفُ عَنْهُمْ وَاصْفَحْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُحْسِنِينَ

ඔවුන්ගේ ප්රතිඥාව ඔවුන් කඩ කළ හෙයින් අපි ඔවුනට ශාප කළෙමු. තවද අපි ඔවුන්ගේ හදවත් දැඩි බවට පත් කළෙමු. ඔවුහු (තව්රාතයේ ඇති) වචන එහි ස්ථානයන්ගෙන් වෙනස් කරති. තවද කවර දෙයක් ඔවුනට එ(ම තව්රාතය )මගින් උපදෙස් කරනු ලැබුවේද ඒවායින් කොටසක් ඔවුහු (නොසලකා) අමතක කර දැමුවෝය. (නබිවරය,) ඔවුන් අතුරින් ස්වල්ප දෙනෙකුගෙන් හැර සෙසු අයගෙන් (කිසියම්) වංචනිකත්වයක් ඔබ දකිමින්ම සිටින්නේය. එබැවින් ඔවුන්ට නුඹ සමාව දී (නොසලකා) අත් හරිවු. සැබැවින්ම අල්ලාහ් යහපත කරන්නන්ව ප්රිය කරන්නේය.
14

وَمِنَ الَّذِينَ قَالُوا إِنَّا نَصَارَىٰ أَخَذْنَا مِيثَاقَهُمْ فَنَسُوا حَظًّا مِّمَّا ذُكِّرُوا بِهِ فَأَغْرَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ ۚ وَسَوْفَ يُنَبِّئُهُمُ اللَّهُ بِمَا كَانُوا يَصْنَعُونَ

සැබැවින්ම “අපි කිතුනුවන්” යැයි පවසන්නන්ගෙන්, අපි ඔවුන්ගේ ප්රතිඥාව ගත්තෙමු. එබැවින් කවර දෙයක් ඔවුනට එ(ම ඉන්ජීලය) මගින් උපදෙස් කරනු ලැබුවේද ඒවායින් කොටසක් ඔවුහු (නොසලකා) අමතක කර දැමුවෝය. එබැවින් (මළවුන්) නැගිටුවනු ලබන දිනතෙක්ම ඔවුන් අතර සතුරුකම හා ක්රෝධය අපි ඇති කළෙමු. තවද ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව අල්ලාහ් ඔවුනට මතු දන්වනු ඇත.
15

يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ كَثِيرًا مِّمَّا كُنتُمْ تُخْفُونَ مِنَ الْكِتَابِ وَيَعْفُو عَن كَثِيرٍ ۚ قَدْ جَاءَكُم مِّنَ اللَّهِ نُورٌ وَكِتَابٌ مُّبِينٌ

ධර්ම පුස්තකය ලත් ජනයිනි, ධර්ම පුස්තකයෙන් නුඹලා සඟවමින් සිටි දෑ අතුරින් බොහෝමයක් නුඹලාට පැහැදිලි කරමින් ද (ඒවායින්) බොහෝමයක් (පැහැදිළි කිරීමෙන් ඔවුන්ට ප්රයෝජනයක් නොවන හෙයින්) නොසලකා හරිමින් ද අපගේ රසූල්වරයා නුඹලා වෙත පැමිණ ඇත. සැබැවින්ම අල්ලාහ්ගෙන් නුඹලා වෙත ආලෝකයක් (ලෙස නබිවරයා) හා පැහැදිලි ධර්ම පුස්තකයක් (ලෙස අල් කුර්ආනය) පැමිණ ඇත.
16

يَهْدِي بِهِ اللَّهُ مَنِ اتَّبَعَ رِضْوَانَهُ سُبُلَ السَّلَامِ وَيُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِهِ وَيَهْدِيهِمْ إِلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ

අල්ලාහ් එමගින් ඔහුගේ තෘප්තිය අනුගමනය කරන්නන්ට ශාන්තියේ මං වෙත මග පෙන්වන්නේය. තවද ඔහුගේ අනුමැතිය පරිදි අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත ඔවුන්ව පිට කරන්නේය. තවද ඔවුන්ව ඍජු මගට යොමු කරන්නේය.
17

لَّقَدْ كَفَرَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ ۚ قُلْ فَمَن يَمْلِكُ مِنَ اللَّهِ شَيْئًا إِنْ أَرَادَ أَن يُهْلِكَ الْمَسِيحَ ابْنَ مَرْيَمَ وَأُمَّهُ وَمَن فِي الْأَرْضِ جَمِيعًا ۗ وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۚ يَخْلُقُ مَا يَشَاءُ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

“සැබැවින්ම අල්ලාහ්, ඔහුමය මර්යම්ගේ පුත් මසීහ් වන්නේ” යැයි පැවසූ අය සැබැවින්ම ප්රතික්ෂේප කළෝය. (නබිවරය,) නුඹ පවසවු “මර්යම්ගේ පුත් මසීහ් ද ඔහුගේ මව ද මිහිතලයේ සිටින සියලු දෙනා ද ඔහු විනාශ කර දැමීමට අපේක්ෂා කළේ නම් අල්ලාහ්(ගේ දඬුවම)ට එරෙහිව (සිදුවන) යමක් වැළකිය හැක්කේ කවරෙකුටද?” අහස්හි ද මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්යය අල්ලාහ් සතුය. ඔහු අභිමත කරන දෑ මවන්නේය. තවද අල්ලාහ් සියලූ දෑ කෙරෙහි අති බලසම්පන්නය.
18

وَقَالَتِ الْيَهُودُ وَالنَّصَارَىٰ نَحْنُ أَبْنَاءُ اللَّهِ وَأَحِبَّاؤُهُ ۚ قُلْ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُم ۖ بَلْ أَنتُم بَشَرٌ مِّمَّنْ خَلَقَ ۚ يَغْفِرُ لِمَن يَشَاءُ وَيُعَذِّبُ مَن يَشَاءُ ۚ وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ وَإِلَيْهِ الْمَصِيرُ

“අපි අල්ලාහ්ගේ දරුවන්ය. තවද ඔහුගේ ප්රියතමයන්ය.” යැයි යුදෙව්වෝ හා කිතුනුවෝ පවසති. (නබිවරය,) “එසේ නම් නුඹලාගේ පාපකම් නිසා නුඹලාට ඔහු දඬුවම් කරනුයේ මන්ද? නමුත් නුඹලා ඔහු මැවූ අය අතුරින් (සාමාන්ය) මනුෂ්යයන්ය. ඔහු අභිමත කරන අයට සමාව දෙන්නේය. තවද ඔහු අභිමත කරන අයට දඬුවම් කරන්නේයැ.”යි නුඹ (ඔවුන්ට) පවසවු. අහස්හි ද මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්යය අල්ලාහ් සතුය. අවසානයේ යොමුවන ස්ථානය ඔහු වෙතමය.
19

يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ عَلَىٰ فَتْرَةٍ مِّنَ الرُّسُلِ أَن تَقُولُوا مَا جَاءَنَا مِن بَشِيرٍ وَلَا نَذِيرٍ ۖ فَقَدْ جَاءَكُم بَشِيرٌ وَنَذِيرٌ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

“ධර්ම පුස්තකය ලත් ජනයිනි, රසූල්වරුන්ගෙන් පසු (ඔවුන්ගේ පැමිණිම නතර වූ) කාල පරාසයේ 22 “ශුභාරංචි පවසන්නෙකු ද අවවාද කරන්නෙකු ද අප වෙත නොපැමිණියේයැ”යි නුඹලා නොපැවසීම පිණිස (අල්ලාහ්ගේ විධානයන්) නුඹලාට පැහැදිලි කිරීමට අපගේ රසූල්වරයා නුඹලා වෙත පැමිණ ඇත.” එබැවින් සැබැවින්ම ශුභාරංචි පවසන්නෙකු ද අවවාද කරන්නෙකු ද නුඹලා වෙත පැමිණ ඇත. අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
22මෙහි අදහස් කරන්නේ නබි ඊසා තුමා හා නබි මුහම්මද් තුමාණන් අතර වූ කාල පරාසයයි. එම කාලය අතරතුර කිසිදු නබිවරයෙකු අල්ලාහ් විසින් නොයැව්වේය.
20

وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ يَا قَوْمِ اذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ إِذْ جَعَلَ فِيكُمْ أَنبِيَاءَ وَجَعَلَكُم مُّلُوكًا وَآتَاكُم مَّا لَمْ يُؤْتِ أَحَدًا مِّنَ الْعَالَمِينَ

“මාගේ ජනයිනි, ඔහු(අල්ලාහ්) නුඹලා අතර නබිවරුන් පත් කර නුඹලාව පාලකයින් බවට පත් කර විශ්වයේ කිසිවෙකුට ලබා නොදුන් දෑ නුඹලාට ලබා දුන් අවස්ථාවේ නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ භාග්යය පිළිබඳව නුඹලා සිහිපත් කරවු.” යැයි මූසා තම ජනයින්ට පැවසූ අවස්ථාව (නබිවරය, සිහිපත් කරවු.)
21

يَا قَوْمِ ادْخُلُوا الْأَرْضَ الْمُقَدَّسَةَ الَّتِي كَتَبَ اللَّهُ لَكُمْ وَلَا تَرْتَدُّوا عَلَىٰ أَدْبَارِكُمْ فَتَنقَلِبُوا خَاسِرِينَ

“මාගේ ජනයිනි, අල්ලාහ් නුඹලාට නියම කළ පරිශුද්ධ භූමියට 23 නුඹලා ඇතුළු වවු. තවද නුඹලා (සතුරන්ට බිය වී) පසුපස හැරී නොයවු. එ(සේ හැරී ගිය )විට අලාභවන්තයින් බවට නුඹලා පත් වනු ඇත.
23මෙයින් අදහස් වන්නේ පලස්තීනය හා සිරියාව යන ප්රදේශයන්ය. පුරාණයේ සිට මෙහි අමාලිකා නම් ජන කොට්ඨාසයක් වාසය කරමින් සිටියෝය. ෆිර්අවුන් මුහුදේ ගිලී මරණයට පත් වූ පසුව බනූ ඉස්රාඊල්වරුන්ට අමාලිකාවරුන්ගෙන් එම භූමි ප්රදේශයන් අත්පත් කර ගන්නා ලෙස අණ කරන ලදී.
22

قَالُوا يَا مُوسَىٰ إِنَّ فِيهَا قَوْمًا جَبَّارِينَ وَإِنَّا لَن نَّدْخُلَهَا حَتَّىٰ يَخْرُجُوا مِنْهَا فَإِن يَخْرُجُوا مِنْهَا فَإِنَّا دَاخِلُونَ

“අහෝ මූසා! සැබැවින්ම බලගතු වූ පිරිසක් එහි වෙති. තවද ඔවුන් එයින් පිටවන තෙක් සැබැවින්ම අපි එහි ඇතුළු නොවන්නෙමුය. එසේ ඔවුහු එයින් පිටවන්නේ නම් එවිට සැබැවින්ම අපි ඇතුළුවන්නන් වෙමු.” යැයි ඔවුහු පැවසුවෝය.
23

قَالَ رَجُلَانِ مِنَ الَّذِينَ يَخَافُونَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمَا ادْخُلُوا عَلَيْهِمُ الْبَابَ فَإِذَا دَخَلْتُمُوهُ فَإِنَّكُمْ غَالِبُونَ ۚ وَعَلَى اللَّهِ فَتَوَكَّلُوا إِن كُنتُم مُّؤْمِنِينَ

“ඔවුන් වෙත නුඹලා දොරටුවෙන් ඇතුළු වවු. නුඹලා එසේ එහි ඇතුළු වූයේ නම් සැබැවින්ම නුඹලා (ඔවුන්) අබිබවා යන්නෝ වෙති. නුඹලා විශ්වාසිකයින් වූයේ නම් අල්ලාහ් කෙරෙහිම (සියල්ල) භාර කරවු.” යැයි තමන්ට අල්ලාහ් දායාදයන් ප්රදානය කළ (අල්ලාහ්ගේ අණට පිටුපෑමට) බිය වූවන් අතුරින් මිනිසුන් දෙදෙනෙකු 24 පැවසුවෝය.
24බොහෝ අල් කුර්ආන් විශාරදයින්ගේ මතයට අනුව මෙම ආයතයේ ‘මිනිසුන් දෙදෙනෙකු’ යනු යූෂඃ හා කාලිබ් යන පුද්ගලයින් දෙදෙනාය. මොවුන් දෙදෙනා ඉස්රාඊල්වරුන්ගේ ප්රධානීන් දෙදෙනෙකි.
24

قَالُوا يَا مُوسَىٰ إِنَّا لَن نَّدْخُلَهَا أَبَدًا مَّا دَامُوا فِيهَا ۖ فَاذْهَبْ أَنتَ وَرَبُّكَ فَقَاتِلَا إِنَّا هَاهُنَا قَاعِدُونَ

“අහෝ මූසා! ඔවුහු එහි සිටින තාක්කල් අපි කිසිවිටෙක එහි ඇතුළු නොවන්නෙමුය. නුඹ ද නුඹගේ පරමාධිපති ද (එහි) පිවිස සටන් වදිවු. සැබැවින්ම අපි මෙතැනම හිඳ සිටින්නෙමු”යි ඔවුහු පැවසූහ.
25

قَالَ رَبِّ إِنِّي لَا أَمْلِكُ إِلَّا نَفْسِي وَأَخِي ۖ فَافْرُقْ بَيْنَنَا وَبَيْنَ الْقَوْمِ الْفَاسِقِينَ

“මාගේ පරමාධිපතියාණනි, මා හා මාගේ සහෝදරයා 25 මිස සැබැවින්ම (අන් කිසිවෙකු පිළිබඳව) මට බලයක් නැත. එබැවින් අප අතර ද පාපතර පිරිස අතර ද ඔබ බෙදීමක් ඇති කරවු” යැයි ඔහු(මූසා) පැවසුවේය.
25‘මාගේ සහෝදරයා’ යනු නබි හාරුන් තුමාණන්ය. තවද මෙම ආයතයෙහි ‘බෙදීමක් ඇති කරවු’ යනු මෙම පිරිස් දෙකටම ඔවුන්ගේ කි්රයාවන්ට අනුව ප්රතිඵල ලබා දිය යුතුය යන්නය.
26

قَالَ فَإِنَّهَا مُحَرَّمَةٌ عَلَيْهِمْ ۛ أَرْبَعِينَ سَنَةً ۛ يَتِيهُونَ فِي الْأَرْضِ ۚ فَلَا تَأْسَ عَلَى الْقَوْمِ الْفَاسِقِينَ

“සැබැවින්ම එය, (එනම්, එම භූමි ප්රදේශයට ඇතුළු වීම) ඔවුන් කෙරෙහි වසර හතළිහක් තහනම් කරනු ලැබූවකි. (ඒ වන තෙක්) ඔවුහු මිහිතලයෙහි අයාලේ යන්නෝය. 26 පාපතර පිරිස පිළිබඳව නුඹ දුක් නොවවු” යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
26ඉස්රාඊල්වරුන්ගේ පිටුපෑමේ දඬුවමක් වශයෙන් ‘සිනායි’ නම් කාන්තාරයේ ඔවුන්ව මංමුලා නොදන්නවුන් බවට පත් කර වසර හතළිහක් අයාලේ යාමට සැළැසූ බවයි.
27

وَاتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ آدَمَ بِالْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِنْ أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ الْآخَرِ قَالَ لَأَقْتُلَنَّكَ ۖ قَالَ إِنَّمَا يَتَقَبَّلُ اللَّهُ مِنَ الْمُتَّقِينَ

(නබිවරය,) ආදම්ගේ පුතණුවන් දෙදෙනාගේ පුවත ඔවුන් කෙරෙහි සත්යය ලෙස පාරායනය කර( පෙන්ව)වු. 27 ඔවුන් දෙදෙනා (අල්ලාහ් වෙනුවෙන්) කැප කිරීමක් ඉටු කළ කල්හි ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් (එය) පිළිගනු ලැබූ අතර අනෙකාගෙන් පිළිගනු නොලැබීය. (කුර්බානය පිළිනොගත්) ඔහු (අනෙකාට) “සැබැවින්ම මම නුඹව මරා දමමි” යැයි පැවසුවේය. “අල්ලාහ් පිළිගනුයේ බිය භක්තිමත් අයගෙන් පමණක්මයැ”යි ඔහු(අනෙකා) පැවසුවේය.
27නබි ආදම් තුමාණන්ගේ පුතණුවන් දෙදෙනාගේ නම් වන්නේ ‘හාබීල්’ හා ‘කාබීල්’ ය. ඉතිහාසයේ වාර්තාවන පරිදි අල්ලාහ් වෙනුවෙන් කාබීල් ඇතැම් බෝග අස්වනු කැප කළ අතර හාබීල් බැටළුවෙකු අල්ලාහ් වෙනුවෙන් කැප කළේය. එකල කැප කිරීම් පිළිගැනීමට වූ සලකුණ වූයේ අහසින් ගින්නක් පැමිණ එය පුලුස්සා දැමීමයි. එලෙස ගින්නක් පැමිණ හාබීල්ගේ කැප කිරීම පුලුස්සා දැමූ අතර කාබීල්ගේ කැප කිරීම නොපිලිස්සෙන ලදී. එයට කාබීල් ප්රකෝපයට පත් වී ඔහුගේ සහෝදර හාබීල්ව ඝාතනය කළේය.
28

لَئِن بَسَطتَ إِلَيَّ يَدَكَ لِتَقْتُلَنِي مَا أَنَا بِبَاسِطٍ يَدِيَ إِلَيْكَ لِأَقْتُلَكَ ۖ إِنِّي أَخَافُ اللَّهَ رَبَّ الْعَالَمِينَ

“මා මැරීමට නුඹගේ අත නුඹ මා වෙත දිගු කළද මම නුඹව මැරීමට මාගේ අත දිගු කරන්නෙකු නොවෙමි. සමස්ත විශ්වයේ පරමාධිපති වන අල්ලාහ්ට සැබැවින්ම මම බිය වෙමි.
29

إِنِّي أُرِيدُ أَن تَبُوءَ بِإِثْمِي وَإِثْمِكَ فَتَكُونَ مِنْ أَصْحَابِ النَّارِ ۚ وَذَٰلِكَ جَزَاءُ الظَّالِمِينَ

නුඹගේ පාපය සමග මාගේ පාපය 28 නුඹ දරා ගෙන නුඹ (නිරා) ගින්නේ සගයින් අතුරින් (කෙනෙකු) වීමට සැබැවින්ම මම අපේක්ෂා කරමි. තවද එය අපරාධකරුවන්ගේ ප්රතිවිපාකයයි.” (යැයි ද ඔහු පැවසුවේය.)
28නොයෙක් සහාබිවරුන්ගේ හා ඔවුන්ගේ ශිෂ්යයන්ගේ මතයට අනුව ‘මාගේ පාපය’ යනු මා ඝාතනය කිරීමේ පාපයයි. තවද ‘නුඹගේ පාපය’ යනු මෙම සිදුවීමට පෙර කාබීල් කළ පාපයන්ය.
30

فَطَوَّعَتْ لَهُ نَفْسُهُ قَتْلَ أَخِيهِ فَقَتَلَهُ فَأَصْبَحَ مِنَ الْخَاسِرِينَ

තවද තම සහෝදරයාව මරා දැමීමට ඔහුගේ සිත ඔහුව පොලඹ විය. එබැවින් ඔහු ඔහුව මරා දැමුවේය. තවද ඔහු අලාභවන්තයින් අතුරින් (කෙනෙකු) විය.
31

فَبَعَثَ اللَّهُ غُرَابًا يَبْحَثُ فِي الْأَرْضِ لِيُرِيَهُ كَيْفَ يُوَارِي سَوْءَةَ أَخِيهِ ۚ قَالَ يَا وَيْلَتَىٰ أَعَجَزْتُ أَنْ أَكُونَ مِثْلَ هَـٰذَا الْغُرَابِ فَأُوَارِيَ سَوْءَةَ أَخِي ۖ فَأَصْبَحَ مِنَ النَّادِمِينَ

තම සහෝදරයාගේ මළ සිරුර (භූමිදානය කර) සඟවන්නේ කෙලෙසදැ’යි ඔහුට පෙන්වා දෙනු පිණිස භූමිය හාරන්නා වූ කපුටෙකු අල්ලාහ් යැවීය. “අහෝ, මෙම කපුටා මෙන් වීමටවත් මට නොහැකි වූයේද! එබැවින් මාගේ සහෝදරයාගේ මළ සිරුර මා සඟවන්න හැක්කේ යැ”යි ඔහු පැවසුවේය. එබැවින් ඔහු පසුතැවිලි වූවන්ගෙන් (කෙනෙකු) විය.
32

مِنْ أَجْلِ ذَٰلِكَ كَتَبْنَا عَلَىٰ بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَن قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الْأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا ۚ وَلَقَدْ جَاءَتْهُمْ رُسُلُنَا بِالْبَيِّنَاتِ ثُمَّ إِنَّ كَثِيرًا مِّنْهُم بَعْدَ ذَٰلِكَ فِي الْأَرْضِ لَمُسْرِفُونَ

මෙම (ප්රථම ඝාතනය) මුල් කොටගෙන “කවරෙකු (සම ප්රතිදඬුවමක් වශයෙන්) ආත්මය(ක් ඝාතනය කිරීම)කට මිස හෝ මිහිතලයෙහි (ඇති වන) කලහකාරකම(ක් වැළැක්වීම)කට මිස (අයුක්ති සහගතව තවත්) ආත්මාවක් ඝාතනය කරන්නේ ද ඔහු මිනිසුන් සියල්ල ඝාතනය කළ කෙනෙකු මෙන් වන්නේය’ යනුවෙන් ද ‘කවරෙකු එය(ආත්මාව ඝාතනය නොකර) ජීවත් කරවන්නේ ද ඔහු මිනිසුන් සියල්ල (ආරක්ෂා කර) ජීවත් කරවන්නෙකු මෙන් වන්නේය” යනුවෙන්ද ඉස්රාඊල්ගේ දරුවන්ට අපි නියම කළෙමු. සැබැවින්ම අපගේ රසූල්වරුන් ඔවුන් වෙත පැහැදිලි සාධක රැගෙන පැමිණයෝය. පසුව සැබැවින්ම ඔවුන් අතුරින් බොහෝ දෙනා එයට පසුව ද මිහිතලයෙහි සීමාව ඉක්මවන්නන් වූහ.
33

إِنَّمَا جَزَاءُ الَّذِينَ يُحَارِبُونَ اللَّهَ وَرَسُولَهُ وَيَسْعَوْنَ فِي الْأَرْضِ فَسَادًا أَن يُقَتَّلُوا أَوْ يُصَلَّبُوا أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُم مِّنْ خِلَافٍ أَوْ يُنفَوْا مِنَ الْأَرْضِ ۚ ذَٰلِكَ لَهُمْ خِزْيٌ فِي الدُّنْيَا ۖ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ

අල්ලාහ්(ගේ සමීප ගැත්තන්) හා තම රසූල්වරයා සමග සටන් වදින්නන් හා මිහිතලයෙහි කලහකම් කිරීමට වෙර දරන්නන්ගේ ප්රතිවිපාකය වන්නේම ඔවුන්ව ඝාතනය කරනු ලැබීම හෝ කුරුසයේ (තබා ඇණ) ගසනු ලැබීම හෝ තම දෑත් සහ පාද (එකිනෙකට) විරුද්ධ පැති වලින් කපා දමනු ලැබීම හෝ (ඔහු ජීවත් වන) භූමියෙන් පිටුවහල් කරනු ලැබීමය. 29 මෙය ඔවුන්ට මෙලොවෙහි වූ නින්දාවකි. තවද ඔවුන්ට මතු ලොවෙහි මහත් වූ දඬුවමක් ද ඇත. 30 -
29උරෙයිනා ගෝති්රකයින්ගෙන් සමහරු මදීනාවට පැමිණි කල්හි ඔවුන්ට එහි කාලගුණය ඔරොත්තු නොවී ඔවුහු අසනීප තත්ත්වයට පත් වූහ. එවිට නබි මුහම්මද් තුමාණන් දන් දීමට නියමිතව තිබූ ඇතැම් ඔටුවන් පෙන්වා ඒ වෙත ඔවුන්ව යවා එම ඔටුවන්ගේ කිරි වලින් හා උන්ගේ ශරීරයෙන් පිට වන සුළුදිය මගින් ඔවුන්ගේ අසනීපයට එක්තරා ප්රතිකාරයක් කරන ලෙස අණ කළේය. ඔවුන් එසේ කළ කල්හි ඔවුන්ට සුවය ලැබිණ. පසුව ඔවුන් ඉස්ලාමයෙන් බැහැර වී එම ඔටු එඬේරාව ද ඝාතනය කර එම ඔටුවන්ව ද පැහැර ගෙන ගියෝය. එවිට නබි මුහම්මද් තුමාණන් ඔවුන්ව ලුහුබැඳ ගොස් ඔවුන්ව අල්ලා ගැනීමට පිරිසක් යැව්වේය. ඔවුන් කළ අපරාධයට දඬුවමක් ලෙස අල්ලාහ් මෙම ආයතය පහළ කළේය. තවද මෙම ආයතයේ සඳහන් දඬුවම් දෙනු ලැබුවේ අන් අයට එමගින් අවවාදයක් කරනු පිණිස හා එම අපරාධයේ දරුණුකම පැහැදිලි කිරීම පිණිසය.
30මෙය සැබැවින්ම අධිකරණ ක්රියාවලියට අදාළ ආයතයකි. මෙය කිසිදු ජිහාද් ප්රභේදයකට අදාළ නොවූවක් බව පැහැදිලිවම පෙනෙන්නට ඇත. ‘අල්ලාහ්(ගේ සමීප ගැත්තන්) හා තම රසූල්වරයා සමග සටන් වදින්නන්’ යන්නෙහි අදහස නම් ජනතාව ඉතා අසීරු තත්ත්වයකට පත්කරවමින් සන්නද්ධ මංපැහැරීම, සත්යයට එරෙහි වීම හා කැරළි ගැසීම යන්නය. මේ සියල්ල ත්රස්තවාදී ක්රියාවක් බව සියල්ලන්ම පිළිගත් සත්යයකි. මෙයින් සිදුවන්නේ ජනයාට සාමයෙන් හා සැනසීමෙන් ජීවත් වීමට ඇති සමාජ පරිසරය විනාශ කිරීමක්ය. “මිහිතලයේ කලහකම් කිරීමට වෙර දරන්නන්” යනු ත්රස්තවාදී ක්රියාවන්හි නියැලෙන්නන්, නුතන භාෂා යෙදුම අනුව පාතාල ක්රියාකාරකම් කරන්නන් හා සන්නද්ධ මං පහරන්නන් වැනි අයයි. මෙම චූදිතයන්ගෙන් සොරකම, පහරදීම හා ඝාතන සිදුවීමට හැක. අල් කුර්ආන් ආයතය දඬුවම සඳහන් කරන්නට පෙර චෝදනා ඉදිරිපත් කොට තිබීම හේතුවෙන් අර්ථය අවබෝධ කර ගැනීම පහසු වී ඇත. දඬුවම් විකල්ප හතරක් ඉදිරිපත් කොට ඇති අතර චූදිතයා සිදු කරන අපරාධයේ බරපතලකම අනුව දඬුවම තීන්දු කරනු ලැබේ. මෙම ආයතයේ සන්දර්භය නිවැරදිව අවබෝධ කරගත් විට ඉස්ලාමීය නීතියේ ඇති මානවවාදිත්වය සහතික වශයෙන්ම අවබෝධ වනු ඇත. මිනිස් ඝාතන වැනි සාපරාධී ක්රියාවන් හා ඒවායෙහි දඬුවම් මෙම ආයතයේ සඳහන් කරන්නට පෙර මිනිස් ඝාතන සිදු කළ හැකි සීමා මායිම් 32 වැනි ආයතයෙන් විග්රහ කොට ඇත. මිනී මැරීමේ හා මිහිතලය මත දුෂ්ටකම් පැතිරවීම ත්රස්තවාදී, පාතාල ක්රියාකාරකම් හා සන්නද්ධ මංපැහැරීම් වැනි ක්රියාවන්ට නිසි අධිකරණමය පරීක්ෂණයකින් පසුව ලබා දෙන්නා වූ තීන්දුවක් මත මරණ දඬුවම ලබා දිය හැකි බව මෙයින් පැහැදිලි වේ. මිනිස් ජීවිතයක් නිකරුනේ මරා දැමීම මුළුමහත් මිනිස් පරපුරම මරා දැමීම හා සමානවන බවද එලෙසම මිනිස් ජීවිතයක් බේරා ගැනීම මුළු මහත් මිනිස් පරපුරම බේරාගත්තා හා සමානවන බවද මෙමගින් ඉස්ලාමය තහවුරු කරයි. මෙම ආයතයෙහි සඳහන් සාපරාධී ක්රියාවන්හි නියැලුනු අපරාධකරුවන්ට තමන්ව ප්රතිශෝධනය කර ගෙන පුනරුත්ථාපනය වී නැවත වරක් යහ මිනිසෙකු ලෙස ජීවත් වීමේ අයිතිය ද 34 වැනි ආයතය මගින් සහතික කොට ඇත. එහි සඳහන් පරිදි තමා විසින් කරන ලද සාපරාධී ක්රියා පිළිගෙන ඒවා පිළිබඳව පශ්චාත්තාපයට පත් වී නැවත වරක් එවැනි තත්ත්වයකට පත් නොවී යහ මිනිසෙකු ලෙස ජීවත්වීමට අධිෂ්ඨානශීලීව කටයුතු කරන්නට එකඟ වන්නන්ට මෙම ආයතයෙහි සඳහන් දඬුවම් අදාළ නොවන්නේය.
34

إِلَّا الَّذِينَ تَابُوا مِن قَبْلِ أَن تَقْدِرُوا عَلَيْهِمْ ۖ فَاعْلَمُوا أَنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ

(නමුත්) ඔවුන් කෙරෙහි නුඹලා (දඬුවම් කිරීමට) ශක්තිය දැරීමට පෙර පශ්චාත්තාපය කළ අය මිස. එවිට අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිත යැයි නුඹලා දැන ගනිවු. 31
31මෙයින් අදහස් වන්නේ දඬුවම් ලැබීමට නියමිත වූවන්ගේ එම දඬුවම සඳහා බලධාරීන් ඔවුන්ව අත්පත් කර ගැනීමට පෙර ඔවුන් අල්ලාහ් වෙත පශ්චාත්තාප වූයේ නම් ඔවුන්ට සමාව දෙනු ලැබේ යන්නයි. නමුත් ඔවුන් කළ එම අපරාධයට අයත් අනිවාර්යය වූ වන්දි මුදල ඔවුන් අපරාධයට ලක් වූවන්ට ගෙවිය යුතුය. නමුත් ඔවුන්ව බලධාරීන් අත්පත් කර ගත්තේ නම් එවිට ඔවුන්ට අයත් දඬුවම සඳහා සමාව දෙනු නොලැබේ. එසේම කෙනෙකු තවත් කෙනෙකුගේ මුදල් ද පැහැරගෙන ඔහුව ඝාතනය කළේ නම් එම ඝාතනය කළ තැනැත්තාට පෙර ආයතයේ සඳහන් අයුරින් අදාළ දඬුවම දෙනු ලැබේ. කෙසේ නමුත් මෙවන් නීතියක් ක්රියාත්මක කළ හැක්කේ ඉස්ලාමීය රාජ්යය පරිපාලනයක් ඇති රටක පමණි. මෙම නීතිය හැදෑරීම සඳහා ඉස්ලාමීය නීති ග්රන්ථ වෙත යොමුවීම ඉතා වැදගත් වේ.
35

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَابْتَغُوا إِلَيْهِ الْوَسِيلَةَ وَجَاهِدُوا فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ

විශ්වාස කළවුනි, අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද ඔහු වෙත (සමීප වන්නා) වූ සාධනීය මාර්ගය සොයවු. තවද ඔහුගේ මාර්ගයේ ප්රයත්නය 32 කරවු. (මේ සියල්ල) නුඹලා ජය ලබාගනු පිණිසය.
32වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:218 හි පාද සටහන බලන්න.
36

إِنَّ الَّذِينَ كَفَرُوا لَوْ أَنَّ لَهُم مَّا فِي الْأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لِيَفْتَدُوا بِهِ مِنْ عَذَابِ يَوْمِ الْقِيَامَةِ مَا تُقُبِّلَ مِنْهُمْ ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

සැබැවින්ම ප්රතික්ෂේප කළවුන් (මළවුන්) නැගිටුවනු ලබන දිනයේ දඬුව(මෙන් මිදී)මට ඔවුන් වන්දියක් ලබා දීම පිණිස මිහිතලයෙහි ඇති සියල්ල හා එය සමග එවැනිම වූ දෙයක් ඔවුනට තිබුණ ද ඔවුන්ගෙන් (ඒ කිසිවක්) පිළිගනු නොලබයි. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
37

يُرِيدُونَ أَن يَخْرُجُوا مِنَ النَّارِ وَمَا هُم بِخَارِجِينَ مِنْهَا ۖ وَلَهُمْ عَذَابٌ مُّقِيمٌ

ඔවුහු (නිරා) ගින්නෙන් බැහැර වීමට අපේක්ෂා කරති. (නමුත්) ඔවුහු එයින් බැහැරවන්නෝ නොවෙති. තවද ඔවුනට සදාතනික දඬුවමක් ඇත.
38

وَالسَّارِقُ وَالسَّارِقَةُ فَاقْطَعُوا أَيْدِيَهُمَا جَزَاءً بِمَا كَسَبَا نَكَالًا مِّنَ اللَّهِ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ

සොරකම් කළ පිරිමියෙකු හා සොරකම් කළ ස්ත්රියක, ඔවුන් දෙදෙනා ඉපැයූ දෑට ප්රතිවිපාකයක් වශයෙන් ද අල්ලාහ්ගෙන් වූ (අවවාදාත්මක) පාඩමක් වශයෙන් ද දෙදෙනාගේ දෑත් නුඹලා කපා දමවු. තවද අල්ලාහ් අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය.
39

فَمَن تَابَ مِن بَعْدِ ظُلْمِهِ وَأَصْلَحَ فَإِنَّ اللَّهَ يَتُوبُ عَلَيْهِ ۗ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ

තම(න් කළ) අපරාධයෙන් පසුව කවරෙකු පශ්චාත්තාප කර (තම කි්රයාවන්) සංශෝධනය කර ගත්තේ ද එවිට සැබැවින්ම අල්ලාහ් ඔහු කෙරෙහි පශ්චාත්තාපය පිළිගන්නේය. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
40

أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ يُعَذِّبُ مَن يَشَاءُ وَيَغْفِرُ لِمَن يَشَاءُ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

අල්ලාහ්ට (පමණක්) අහස් හි හා මිහිතලයේ ආධිපත්යය හිමි බව නුඹලා නොදන්නෙහු ද? ඔහු අභිමත කළ අයට දඬුවම් කරන්නේය. තවද ඔහු අභිමත කළ අයට සමාව දෙන්නේය. තවද අල්ලාහ් සියලූ දෑ කෙරෙහි අති බලසම්පන්නය.
41

يَا أَيُّهَا الرَّسُولُ لَا يَحْزُنكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ مِنَ الَّذِينَ قَالُوا آمَنَّا بِأَفْوَاهِهِمْ وَلَمْ تُؤْمِن قُلُوبُهُمْ ۛ وَمِنَ الَّذِينَ هَادُوا ۛ سَمَّاعُونَ لِلْكَذِبِ سَمَّاعُونَ لِقَوْمٍ آخَرِينَ لَمْ يَأْتُوكَ ۖ يُحَرِّفُونَ الْكَلِمَ مِن بَعْدِ مَوَاضِعِهِ ۖ يَقُولُونَ إِنْ أُوتِيتُمْ هَـٰذَا فَخُذُوهُ وَإِن لَّمْ تُؤْتَوْهُ فَاحْذَرُوا ۚ وَمَن يُرِدِ اللَّهُ فِتْنَتَهُ فَلَن تَمْلِكَ لَهُ مِنَ اللَّهِ شَيْئًا ۚ أُولَـٰئِكَ الَّذِينَ لَمْ يُرِدِ اللَّهُ أَن يُطَهِّرَ قُلُوبَهُمْ ۚ لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ ۖ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ

අහෝ රසූල්වරය, තම හදවත්වලින් විශ්වාස නොකර තම මුඛයන්වලින් “අපි විශ්වාස කරන්නෙමු” යැයි පවසන්නන් (වන ආත්ම වංචනිකයන්) අතුරින් ප්රතික්ෂේපය තුළ ශීඝ්රව පිවිසෙන්නන් නුඹව දුකට පත් නොකළ යුතුය. තවද යුදෙව් වූවන් අතුරින් අසත්යයම (කැමැත්තෙන්) අධිකව ශ්රවණය කරන්නන් සිටිති. (මේ වන තුරු) නුඹ වෙත නොපැමිණි සෙසු පිරිස(ට මෙම අසත්යය දැන්වීම) සඳහා අධිකව ශ්රවණය කරන්නෝ වෙති. 33 ඔවුහු (තව්රාතයේ) වචන එහි (නිසි) ස්ථානයන්හි තිබීමෙන් පසුව වෙනස් කරති. 34 “මෙය(වෙනස් කළ වචන) නුඹලාට (පක්ෂව) දෙනු ලැබුවේ නම් එය නුඹලා ගනිවු. තවද මෙය නුඹලාට (පක්ෂව) දෙනු නොලැබුවේ නම් (එයින්) නුඹලා වැළකී සිටිවු” යැයි ඔවුහු පවසති. අල්ලාහ් කවරෙකුව (ප්රතික්ෂේපය හේතුවෙන්) මුළා කිරීමට අපේක්ෂා කරන්නේද ඔහු වෙනුවෙන් අල්ලාහ්(ගේ දඬුවම)ට එරෙහිව (එය වැළැක්වීමට) කිසිවකින් නුඹට බලයක් නොමැත්තේමය. තමන්ගේ හදවත් පවිත්ර කිරීමට අල්ලාහ් අපේක්ෂා නොකළ අය ඔවුහුමය. මෙලොවෙහි ඔවුන්ට නින්දාවක් ඇත. තවද ඔවුන්ට මතු ලොවෙහි මහත් වූ දඬුවමක් ද ඇත.
3341 සිට 50 දක්වා ඇති ආයතයන් පහළ වීමේ පසුබිම නම් යුදෙව්වන් ඇතැම් නඩු තමන්ට පක්ෂව තීන්දු ලැබීමේ අපේක්ෂාවෙන් නබි මුහම්මද් තුමාණන් වෙත ගෙන එන්නෝය. ඔවුන් එසේ එන අතරතුර තමන්ට පක්ෂව තීන්දුව නොලැබුණේ නම් එය පිළිනොගැනීමට ද අදිටන් කළෝය. එම අදිටනින් මුස්ලිම්වරුන් මෙන් රඟපාන ඇතැම් ආත්ම වංචනික යුදෙව්වන්ව ඔවුහු පත් කළෝය. මන්දයත් එම කරුණෙහි නබි මුහම්මද් තුමාණන්ගේ අදහස කෙසේ වේදැ?යි ඔවුන්ට දැන්වීම පිණිසය. මෙම ආයතයේ ‘නුඹ වෙත නොපැමිණි සෙසු පිරිස’ යනු මුස්ලිම්වරුන් මෙන් රඟපාන ආත්ම වංචනිකයින්ව නබි මුහම්මද් තුමාණන් වෙත යැවූ යුදෙව්වන්ය. ‘සෙසු පිරිස(ට මෙම අසත්යය දැන්වීම) සඳහා අධිකව ශ්රවණය කරන්නෝ’ යනු මුහම්මද් තුමාණන් වෙත යවනු ලැබූ ආත්ම වංචනිකයන්ය.
34ඔවුන් නබි මුහම්මද් තුමාණන් වෙත ඉදිරිපත් කළ ගැටළු හා සම්බන්ධ තීන්දු තව්රාතයේ තිබිය දී ඔවුන් එය වෙනස් කළෝය. නැතහොත් එයට වැරදි අර්ථ කථනයක් නිරූපණය කළහ. මෙයට අදාළ සිදුවීමක් නම් යුදෙව් පිරිමියෙක් හා ස්ති්රයක දුරාචාරයේ යෙදුණෝය. තව්රාතයට අනුව ඔවුන් දෙදෙනාට ගල් ගසා මරණයට පත් කළ යුතුව තිබිණි. නමුත් යුදෙව්වන් තව්රාතයේ සඳහන් එම නීතිය වෙනුවට කස පහර දිය යුතු යැයි ප්රතිස්ථාපනය කළෝය. මෙසේ තිබියදී මෙයට සැහැල්ලු දඬුවමක් තීන්දු වේ යැයි සිතා නබි මුහම්මද් තුමාණන් වෙත එය ගෙන ආවෝය. නමුත් එතුමා ද ගල් ගසා මරණයට පත් කළ යුතු යැයි සඳහන් කළ කල්හි යුදෙව්වන් එය ප්රතික්ෂේප කළෝය. එවිට එතුමා තව්රාතයේ මේ සඳහා වූ දඬුවම කුමක්දැ?යි විමසුවේය. එයට ඔවුන් කස පහර යැයි පැවසුවෝය. එවිට නබි මුහම්මද් තුමාණන් ඔවුන්ගෙන් දැනුමැත්තෙකු වූ ඉබ්නු සූරියා නම් පුද්ගලයාව කැඳවා මේ පිළිබඳව ඔහුට දිව්රා සත්යය පවසන ලෙස පැවසුවේය. එවිට තව්රාතයේ ගල් ගසා මරණ ලෙස අණ කර ඇති බවට පිළිගත්තේය. නමුත් දුරාචාරය බහුලව පැතිරුණු හෙයින් යුදෙව්වන්ගේ විනිසුරුවන් එම දඬුවම දිළින්දන්ට පමණක් සීමා කර ධනවතුන්ව අත හැරියෝය. මෙයින් ප්රකෝපයට පත් ජනතාව කළහකම් කිරීමට පටන් ගත්තෝය. මේ හේතුවෙන් ගල් ගසා මැරීමේ නීතිය වෙනස් කර ඒ වෙනුවට කස පහර ගැසීමේ නීතිය ඔවුන් ස්ථාපිත කර ගත්තෝය.
42

سَمَّاعُونَ لِلْكَذِبِ أَكَّالُونَ لِلسُّحْتِ ۚ فَإِن جَاءُوكَ فَاحْكُم بَيْنَهُمْ أَوْ أَعْرِضْ عَنْهُمْ ۖ وَإِن تُعْرِضْ عَنْهُمْ فَلَن يَضُرُّوكَ شَيْئًا ۖ وَإِنْ حَكَمْتَ فَاحْكُم بَيْنَهُم بِالْقِسْطِ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ

(යුදෙව්වෝ) අසත්යයම (කැමැත්තෙන්) අධිකව ශ්රවණය කරන්නෝ වෙති. නීති විරෝධී දෑ(අල්ලස) අධිකව අනුභව කරන්නෝ වෙති. 35 එබැවින් (නබිවරය,) ඔවුන් නුඹ වෙත පැමිණියේ නම් ඔවුන් අතර නුඹ විනිශ්චය කරවු. නැතහොත් ඔවුන්ගෙන් නුඹ ඉවත්ව යවු.නුඹ (එසේ) ඔවුන්ගෙන් ඉවත්ව යන්නේ නම් නුඹට කිසිවකින් හානියක් කිරීමට ඔවුනට නොහැක්කේමය. තවද නුඹ විනිශ්චය කරන්නේ නම් ඔවුනතර යුක්ති සහගතව නුඹ විනිශ්චය කරවු. සැබැවින්ම යුක්ති සහගතව කටයුතු කරන්නන්ව අල්ලාහ් ප්රිය කරන්නේය.
35‘අසත්යයම (කැමැත්තෙන්) අධිකව ශ්රවණය කරන්නෝ වෙති’ යනු යුදෙව්වන් ඔවුන්ගේ නරක ධර්මාචාර්යවරුන් තව්රාතයේ ඇති දෑ පැහැදිලි ලෙස උල්ලංඝනය කළද ඔවුන්ව අන්ධභාවයෙන් අනුගමනය කරන්නෝය යන්නයි. ‘නීති විරෝධී දෑ(අල්ලස) අධිකව අනුභව කරන්නෝ වෙති’ යනු ඔවුන් දහමේ ඇති නීතිරීතීන් විකෘති කිරීමට ඔවුන්ගේ විනිසුරුවන්ට හා ප්රධානීන්ට දෙන අල්ලසය.
43

وَكَيْفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ التَّوْرَاةُ فِيهَا حُكْمُ اللَّهِ ثُمَّ يَتَوَلَّوْنَ مِن بَعْدِ ذَٰلِكَ ۚ وَمَا أُولَـٰئِكَ بِالْمُؤْمِنِينَ

අල්ලාහ්ගේ නීතිය අඩංගු තව්රාතය ඔවුන් අබියස තිබිය දී ඔවුහු නුඹ වෙත කෙසේ නම් විනිශ්චය පතන්නෝ ද! පසුව ඔවුහු එ(ම විනිශ්ච)යට පසුව ද පිටුපා යන්නෝය. තවද ඔවුහු විශ්වාස නොකරන්නෝ වෙති.
44

إِنَّا أَنزَلْنَا التَّوْرَاةَ فِيهَا هُدًى وَنُورٌ ۚ يَحْكُمُ بِهَا النَّبِيُّونَ الَّذِينَ أَسْلَمُوا لِلَّذِينَ هَادُوا وَالرَّبَّانِيُّونَ وَالْأَحْبَارُ بِمَا اسْتُحْفِظُوا مِن كِتَابِ اللَّهِ وَكَانُوا عَلَيْهِ شُهَدَاءَ ۚ فَلَا تَخْشَوُا النَّاسَ وَاخْشَوْنِ وَلَا تَشْتَرُوا بِآيَاتِي ثَمَنًا قَلِيلًا ۚ وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللَّهُ فَأُولَـٰئِكَ هُمُ الْكَافِرُونَ

සැබැවින්ම අපි යහමග හා ආලෝකය ඇත්තා වූ තව්රාතය පහළ කළෙමු. එමගින් (අල්ලාහ්ට) අවනත වූ නබිවරුන් යුදෙව් වූවන්ට විනිශ්චය කළෝය. තවද රබ්බානිවරු(යුදෙව් ආගමික විශාරදයින්) හා අහ්බාර්වරු(දහම් නීති විශාරදයින්) අල්ලාහ්ගේ ධර්ම පුස්තකය ආරක්ෂා කිරීමට පවරනු ලැබ එයට ඔවුහු සාක්ෂිකරුවන් වශයෙන් සිටි හෙයින් ද (යුදෙව්වන්ට එලෙසම විනිශ්චය කළෝ)ය. එබැවින් “(යුදෙව්වනි!) නුඹලා ජනයින්ට බිය නොවවු. මාහටම බිය වවු. මාගේ වදන් වෙනුවෙන් සුළු වටිනාකමක් නුඹලා නොගනිවු. කවරෙකු අල්ලාහ් පහළ කළ දෑ මගින් විනිශ්චය නොකරන්නේ ද ඔවුහුමය ප්රතික්ෂේපකයෝ වන්නේ.
45

وَكَتَبْنَا عَلَيْهِمْ فِيهَا أَنَّ النَّفْسَ بِالنَّفْسِ وَالْعَيْنَ بِالْعَيْنِ وَالْأَنفَ بِالْأَنفِ وَالْأُذُنَ بِالْأُذُنِ وَالسِّنَّ بِالسِّنِّ وَالْجُرُوحَ قِصَاصٌ ۚ فَمَن تَصَدَّقَ بِهِ فَهُوَ كَفَّارَةٌ لَّهُ ۚ وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللَّهُ فَأُولَـٰئِكَ هُمُ الظَّالِمُونَ

තවද ප්රාණයට ප්රාණයක් ද ඇසට ඇසක් ද නාසයට නාසයක් ද කනට කනක් ද දතට දතක් ද සහ තුවාලයන් සඳහා සම ප්රතිදඬුවමක් ඇතැයි එ(ම තව්රාතයෙ)හි ඔවුනට අපි නියම කළෙමු. 36 පසුව කවරෙකු එ(ම සම ප්රතිදණ්ඩන)ය සඳහා (සමාව) පිරිනමන්නේ ද එය ඔහුට පාප ශෝධනයක් වන්නේය. කවරෙකු අල්ලාහ් පහළ කළ දෑ මගින් විනිශ්චය නොකරන්නේ ද ඔවුහුමය අපරාධකාරයින් වන්නෝ.
36මෙම ආයතයෙන් අදහස් වන්නේ මදීනාව වටා විසූ ප්රසිද්ධ යුදෙව් ගෝති්රකයන් දෙපළක් වන ‘බනූ නලීර්’ හා ‘බනූ කුරෙයිලා’වරුන්ගේ සිදුවීමක් පිළිබඳවය. මෙහි බනූ නලීර්වරුන් බනූ කුරෙයිලාවරුන්ට සම ප්රතිදඬුවම් කිරීමේ නීතිරීති අයුක්ති සහගතව පැනවූහ. මෙම ගෝති්රකයන් දෙපළ තව්රාතයේ ඇති සම ප්රතිදඬුවම් පැනවීම සම්බන්ධ නීතිරීතීන් යුක්තිගරුකව ඉටුකරන්නේ යැයි විශ්වාස කළ ද එය ඔවුහු උල්ලංඝනය කළෝය යනුවෙන් මෙම ආයතය සඳහන් කරයි. එනම්, ඉස්ලාමයට පෙර පහළ වූ සත්යය දහමක් වන තව්රාතය පොදුවේ යුදෙව්වන් නිසි ලෙස පිළිපදින්නන් යැයි පැවසුවද මෙම ආයතයෙන් පිළිබිඹු වන්නේ ඔවුන් එම තව්රාතයද නිසි ලෙස පිළිනොපදින බවය.
46

وَقَفَّيْنَا عَلَىٰ آثَارِهِم بِعِيسَى ابْنِ مَرْيَمَ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ التَّوْرَاةِ ۖ وَآتَيْنَاهُ الْإِنجِيلَ فِيهِ هُدًى وَنُورٌ وَمُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ التَّوْرَاةِ وَهُدًى وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ

මර්යම්ගේ පුත් ඊසාව ඔහුට පෙර තිබූ තව්රාතයෙන් වූ දෑ සත්යය කරවන්නක් ලෙස (ඔහුට පෙර වූ නබිවරුන් වන) ඔවුන්ගේ පියසටහන් ඔස්සේ අපි අනුපිළිවළින් යැව්වෙමු. තවද යහමග හා ආලෝකය ඇත්තා වූ ඉන්ජීලය අපි ඔහුට දුන්නෙමු. තවද (ඉන්ජීලය) එයට පෙර තිබූ තව්රාතයෙන් වූ දෑ සත්යය කරවන්නක් ලෙස ද බිය භක්තිකයින්ට මග පෙන්වීමක් ලෙස ද උපදෙසක් ලෙස ද වේ.
47

وَلْيَحْكُمْ أَهْلُ الْإِنجِيلِ بِمَا أَنزَلَ اللَّهُ فِيهِ ۚ وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللَّهُ فَأُولَـٰئِكَ هُمُ الْفَاسِقُونَ

තවද ඉන්ජීල් වැසියන් 37 එ(ම ඉන්ජීලයෙ)හි අල්ලාහ් පහළ කළ දැයින් විනිශ්චය කළ යුතුය. කවරෙකු අල්ලාහ් පහළ කළ දෑ මගින් විනිශ්චය නොකරන්නේ ද ඔවුහුමය පාපතරයින් වන්නෝ.
37මින් අදහස් වන්නේ නබි ඊසා තුමාණන්ට අල්ලාහ් විසින් පහළ කරනු ලැබූ ධර්ම පුස්තකය වන ඉන්ජීලය විශ්වාස කර ක්රියා කළ කිතුනුවන්ය.
48

وَأَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْهِ ۖ فَاحْكُم بَيْنَهُم بِمَا أَنزَلَ اللَّهُ ۖ وَلَا تَتَّبِعْ أَهْوَاءَهُمْ عَمَّا جَاءَكَ مِنَ الْحَقِّ ۚ لِكُلٍّ جَعَلْنَا مِنكُمْ شِرْعَةً وَمِنْهَاجًا ۚ وَلَوْ شَاءَ اللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلَـٰكِن لِّيَبْلُوَكُمْ فِي مَا آتَاكُمْ ۖ فَاسْتَبِقُوا الْخَيْرَاتِ ۚ إِلَى اللَّهِ مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ

තවද (නබිවරය,) අපි නුඹ වෙත ධර්ම පුස්තකය(අල් කුර්ආනය), එයට පෙර තිබූ ධර්ම පුස්තකයෙන් වූ දෑ සත්ය කරවන්නක් ලෙස ද එය කෙරෙහි වූ නිර්ණායකයක් ලෙස ද සත්යයෙන් යුතුව පහළ කළෙමු. එබැවින් අල්ලාහ් පහළ කළ දෑ මගින් ඔවුන් අතර නුඹ විනිශ්චය කරවු. තවද සත්යයෙන් නුඹ වෙත පැමිණි දැයට එරෙහිව ඔවුන්ගේ මනෝ ඉච්ඡාවන් නුඹ අනුගමනය නොකරවු. නුඹලා අතුරින් වූ සැම( සමූහයක)ටම අපි දහම් නීති මාලාවක් හා ක්රියා මාර්ගයක් ඇති කළෙමු. අල්ලාහ් අභිමත කළේ නම් නුඹලාව එකම සමූහයක් ලෙස පත් කරන්නට තිබුණි. එනමුත් නුඹලාට ඔහු ලබා දුන් දෑහි නුඹලාව ඔහු පිරික්සනු පිණිස 38 (එසේ නොකළේ)ය. එබැවින් නුඹලා යහපත වෙත (තරගකාරීව) පෙරටු වවු. නුඹලා සියල්ලන්ගේ නැවත යොමුවන ස්ථානය අල්ලාහ් වෙතය. එවිට නුඹලා කවර විෂයෙහි මතභේද ඇති කර ගනිමින් සිටියේ ද ඒ පිළිබඳව ඔහු නුඹලාට දන්වන්නේය.
38මෙහි ‘පිරික්සුම’ යනු අල්ලාහ්ට අවනතවන්නන් කවුරුන් ද?’යි පිරික්සීමය. එනම් එක් නබිවරයෙකුව අනුගමනය කළ කෙනෙකු එම නබිවරයාගෙන් පසුව තවත් නබිවරයෙකු පැමිණියේ නම් ඔහුව අනුගමනය කරන්නේ දැ’යි පරික්සීමය.
49

وَأَنِ احْكُم بَيْنَهُم بِمَا أَنزَلَ اللَّهُ وَلَا تَتَّبِعْ أَهْوَاءَهُمْ وَاحْذَرْهُمْ أَن يَفْتِنُوكَ عَن بَعْضِ مَا أَنزَلَ اللَّهُ إِلَيْكَ ۖ فَإِن تَوَلَّوْا فَاعْلَمْ أَنَّمَا يُرِيدُ اللَّهُ أَن يُصِيبَهُم بِبَعْضِ ذُنُوبِهِمْ ۗ وَإِنَّ كَثِيرًا مِّنَ النَّاسِ لَفَاسِقُونَ

තවද අල්ලාහ් පහළ කළ දෑ(අල් කුර්ආනය) මගින් ඔවුනතර නුඹ විනිශ්චය කරවු. තවද ඔවුන්ගේ මනෝ ඉච්ඡාවන් නුඹ අනුගමනය නොකරවු. නුඹ වෙත අල්ලාහ් පහළ කළ දැයින් සමහරකින් ඔවුහු නුඹව නොමග යැවීමෙන් ඔවුන්ගෙන් නුඹ ප්රවේශම් වවු. ඔවුහු (අල්ලාහ් පහළ කළ දෑට) පිටුපෑවෙහු නම් එවිට ඔවුන්ගේ ඇතැම් පාපයන් හේතුවෙන් ඔවුන්ව (මෙලොවෙහි දඬුවමකින්) පෙළීමට අල්ලාහ් අපේක්ෂා කරන්නේයැ’යි නුඹ දැන ගනිවු. තවද සැබැවින්ම ජනයා අතුරින් බහුතරයක් පාපතරයින්ය.-
50

أَفَحُكْمَ الْجَاهِلِيَّةِ يَبْغُونَ ۚ وَمَنْ أَحْسَنُ مِنَ اللَّهِ حُكْمًا لِّقَوْمٍ يُوقِنُونَ

තවද අඥාන (යුගයේ) විනිශ්චය ද ඔවුහු සොයන්නේ? තරයේ විශ්වාස කරන පිරිසකට විනිශ්චය කිරීමේහි අල්ලාහ්ට වඩා ඉතා අලංකාර වන්නේ කවරෙකු ද?