الحجرات

අල්-හුජුරාත්

الحجرات

අල්-හුජුරාත් · Al-Hujurat

මදීනී18 පද්‍ය

හැඳින්වීම

මෙම සූරාව* ඉස්ලාමය මැනවින් ස්ථාපිත වී තිබිය දී නබි මුහම්මද්* තුමාණන්ගේ ජීවිතයේ අවසාන සමයෙහි පහළ වූවකි. එබැවින් මුස්ලිම්වරුන් තම සමාජීය හැසිරීම පුළුල් කර ගැනීමේ අවශ්‍යතාවක සිටියෝය. එහෙයින් මුස්ලිම්වරයෙකුගේ සමාජ ජීවිතය පාලනය කරන්නා වූ ඇතැම් ප‍්‍රතිපත්තීන් මෙම සූරාවෙහි පුළුල් ලෙස සඳහන් කර ඇත. මෙම සූරාවෙහි ප‍්‍රථම කොටසෙහි නබි මුහම්මද්* තුමාණන්ව මුණ ගැසීමේ දී ආමන්ත‍්‍රණය කිරීමේ දී ඔහු සමග කථා කිරීමේ දී හා ඔහු ඉදිරියේ සිටිය දී සැලකිය යුතු ආචාර ධර්මයන් පිළිබඳව පැහැදිලි කර ඇත. පසුව මිනිසුන් අතර නපුර හා භේදය ඇති කළ හැකි ඇතැම් ක‍්‍රියාවන්ගෙන් වැළකී සිටීමට උපදෙස් කර ඇත. එසේ දෙපිරිසක් අතර බෙදීමක් ඇති වුවහොත් ඔවුන් අතර සාමය ඇති කිරීමට උත්සහ දැරිය යුතු බව අණ කර ඇත. පසුව අල්ලාහ්ගේ ගෞරවයට පාත‍්‍ර විය හැක්කේ බිය බැති බවින් මිස තම ගෝත‍්‍රය වර්ණය හෝ භාෂාව තුළින් නොවේ යැයි පැහැදිලි කර ඇත. අවසානයේ දී කෙනෙකුගේ ජයග‍්‍රහණයට තම විශ්වාසය පමණක් නොසෑහෙන බව හා ඒ සඳහා ඉස්ලාමය වැලඳ ගෙන ඒ අනුව කි‍්‍රයා කළ යුතු යැයි සඳහන් කර ඇත.

1

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُقَدِّمُوا بَيْنَ يَدَيِ اللَّهِ وَرَسُولِهِ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ

විශ්වාස කළවුනි, අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයා ඉදිරියේ නුඹලා ප්රමුඛත්වය නොගනිවු. තවද නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්රාවකය සර්වඥය. 1
1මෙම ආයතය පහළ වීමට හේතු වූයේ බනූ තමීම් ගෝත්රයේ නායකයා තෝරා ගැනීම සම්බන්ධයෙනි. නබි මුහම්මද් තුමාණන් ඉදිරියේ අබූ බක්ර් තුමා හා උමර් තුමා යන දෙදෙනා බනූ තමීම් ගෝත්රයේ නායකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් යෝජනා දෙකක් ඉදිරිපත් කළහ. නබි මුහම්මද් තුමාණන් ඉදිරිපිටම ඒ සම්බන්ධව අබූ බක්ර් තුමා හා උමර් තුමා අතර වූ වාදය ඝෝෂාකාරී තත්ත්වයට පෙරළුනි. එවිට “අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයා ඉදිරියේ නුඹලා ප්රමුඛත්වය නොගනිවු” යන ආයතය අවවාද කරමින් පහළ විය. මෙය එකලට පමණක් සීමා වූ ආයතයක් නොවන අතර අද එතුමාණන් ජීවතුන් අතර නොවූවත් අල් කුර්ආන් හා හදීස් ඉදිරිපත් කෙරෙන විටක අපගේ මතයට වඩා අල් කුර්ආනයට හා හදීසයට ප්රමුඛත්වය දීම අපගේ වගකීම බව යන පණිවිඩය මෙමගින් ලබා දෙයි.
2

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَرْفَعُوا أَصْوَاتَكُمْ فَوْقَ صَوْتِ النَّبِيِّ وَلَا تَجْهَرُوا لَهُ بِالْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ أَن تَحْبَطَ أَعْمَالُكُمْ وَأَنتُمْ لَا تَشْعُرُونَ

විශ්වාස කළවුනි, නබිවරයාගේ හඬට වඩා නුඹලාගේ හඬ උස් නොකරවු. නුඹලාගෙන් සමහරු තවත් සමහරුන් සමග හඬ නගා කතා කරන්නා සේ ඔහු සමග කතා කිරීමේ දී ශබ්ද නගා කතා නොකරවු. (එසේ කළේ නම්) නුඹලා වටහා නොගන්නන් ලෙස සිටිය දී නුඹලාගේ යහ කි්රයාවන් නිෂ්ඵල වනු ඇත.
3

إِنَّ الَّذِينَ يَغُضُّونَ أَصْوَاتَهُمْ عِندَ رَسُولِ اللَّهِ أُولَـٰئِكَ الَّذِينَ امْتَحَنَ اللَّهُ قُلُوبَهُمْ لِلتَّقْوَىٰ ۚ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ

සැබැවින්ම අල්ලාහ්ගේ රසූල්වරයා අබියස තම හඬ පහත් කරගන්නන් කවුරුන්ද යත්, බිය භක්තිය පිණිස ඔවුන්ගේ හදවත් අල්ලාහ් පිරික්සුම් කළ අය ඔවුන්මය. ඔවුනට පාප ක්ෂමාවක් ද මහත් වූ වේතනයක් ද ඇත.
4

إِنَّ الَّذِينَ يُنَادُونَكَ مِن وَرَاءِ الْحُجُرَاتِ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَ

නබිවරය, සැබැවින්ම කාමර පිටුපස සිට නුඹව අමතන්නන් (එය වරදක් බව) ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අවබෝධ කර නොගනිති. 2
2බනූ තමීම් ගෝත්රිකයින් මදීනාවට පැමිණ මධ්යහ්න වේලාවෙහි නබි මුහම්මද් තුමාණන් විවේක ගනිමින් සිටිය දී එතුමාගේ කාමරයේ පිටුපසින් එතුමාව කැඳෙව්වෝය. එම සන්දර්භය පසුබිම් කර ගෙන පස් වන වැකියෙහි ඔවුන් නබි මුහම්මද් තුමාණන්ව මුණ ගැසීමේ දී කෙසේ හැසිරිය යුතු දැයි ඔවුනට උගන්වා ඇත.
5

وَلَوْ أَنَّهُمْ صَبَرُوا حَتَّىٰ تَخْرُجَ إِلَيْهِمْ لَكَانَ خَيْرًا لَّهُمْ ۚ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ

තවද නුඹ ඔවුන් වෙත පිට වී එන තෙක් සැබැවින්ම ඔවුන් ඉවසීමෙන් සිටියේ නම් එය ඔවුනට යහපත්ය. අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
6

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِن جَاءَكُمْ فَاسِقٌ بِنَبَإٍ فَتَبَيَّنُوا أَن تُصِيبُوا قَوْمًا بِجَهَالَةٍ فَتُصْبِحُوا عَلَىٰ مَا فَعَلْتُمْ نَادِمِينَ

විශ්වාස කළවුනි, පාපතරයෙකු නුඹලා වෙත පුවතක් ගෙන ආවේ නම් එවිට නොදැනුවත්කමින් පිරිසකට නුඹලා හානියක් සිදු නොකරනු පිණිස (එම පුවතේ සත්යතාව) පැහැදිලි කර ගනිවු. (එසේ නොවූයේ නම්) පසුව නුඹලා කළ දෑ කෙරෙහි පසුතැවිලිවන්නන් බවට පත් වන්නෝය.
7

وَاعْلَمُوا أَنَّ فِيكُمْ رَسُولَ اللَّهِ ۚ لَوْ يُطِيعُكُمْ فِي كَثِيرٍ مِّنَ الْأَمْرِ لَعَنِتُّمْ وَلَـٰكِنَّ اللَّهَ حَبَّبَ إِلَيْكُمُ الْإِيمَانَ وَزَيَّنَهُ فِي قُلُوبِكُمْ وَكَرَّهَ إِلَيْكُمُ الْكُفْرَ وَالْفُسُوقَ وَالْعِصْيَانَ ۚ أُولَـٰئِكَ هُمُ الرَّاشِدُونَ

තවද නුඹලා අතර අල්ලාහ්ගේ රසූල්වරයා සිටින බව නුඹලා දැන ගනිවු. (නුඹලා යෝජනා කරන) කරුණු බොහෝමයක ඔහු නුඹලාට අවනත වූයේ නම් 3 නුඹලා දුෂ්කරතාවට පත් වනු ඇත. එනමුත් අල්ලාහ් විශ්වාසය නුඹලා වෙත පි්රය කරවන අතර නුඹලාගේ හදවත්හි එය අලංකාර කර පෙන්වන්නේය. තවද ඔහු ප්රතික්ෂේපය, පාපය හා පිටුපෑම නුඹලාට පිළිකුල් කර පෙන්වන්නේය. යහමග ගියවුන් වන්නේ ඔවුහුමය.
3සහාබිවරුන්ට ඇතැම් කරුණු වලදී නබි මුහම්මද් තුමාගේ අනුමැතිය ඇතිව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබුණ ද ඔවුන්ගේ සියලු යෝජනා එතුමාණන් පිළිගත යුතුය යන නිගමනයට නොපැමිණිය යුතුය. මන්දයත් ඉදිරිපත් කෙරෙන යෝජනාවන් සියල්ලට නබි මුහම්මද් තුමාණන් අවනත වූයේ නම් සමාජයේ යහපත ඉන් සිදු නොවන බැවිනි. එමෙන්ම එතුමාණන්ගේ තත්ත්වයට හා ගෞරවයට එය සුදුසු නොවන බැවිනි. එහි අවසන් නිගමනය එතුමාගේ තීරණය බව මෙම ආයතයෙන් අවධාරණය කෙරේ.
8

فَضْلًا مِّنَ اللَّهِ وَنِعْمَةً ۚ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ

(මෙය) අල්ලාහ්ගෙන් වූ ප්රසාදයක් වශයෙන් හා භාග්යයක් වශයෙන් වේ. තවද අල්ලාහ් සර්වඥය සර්ව ප්රඥාවන්තය.
9

وَإِن طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اقْتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا ۖ فَإِن بَغَتْ إِحْدَاهُمَا عَلَى الْأُخْرَىٰ فَقَاتِلُوا الَّتِي تَبْغِي حَتَّىٰ تَفِيءَ إِلَىٰ أَمْرِ اللَّهِ ۚ فَإِن فَاءَتْ فَأَصْلِحُوا بَيْنَهُمَا بِالْعَدْلِ وَأَقْسِطُوا ۖ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ

විශ්වාසිකයින් අතුරින් දෙපිරිසක් ගැටුම් ඇති කර ගත්තේ නම් නුඹලා ඔවුන් දෙපිරිස අතර සමාදානය ඇති කරවු. තවද ඔවුන්ගෙන් පිරිසක් අනෙක් පිරිසට (ප්රහාර දී) සීමාව ඉක්මවූයේ නම් ඔවුන් අල්ලාහ්ගේ විධානය 4 වෙත නැවත හැරී එන තුරු එම සීමාව ඉක්මවූවන්ට එරෙහිව සටන් වදිවු. 5 ඔවුන් (අල්ලාහ්ගේ විධානය වෙත) නැවත හැරී පැමිණියේ නම් එවිට ඔවුන් අතර නීති ගරුකව හා යුක්තිසහගතව සමාදානය ඇති කරවු. සැබැවින්ම යුක්තිසහගතව කටයුතු කරන්නන්ව අල්ලාහ් ප්රිය කරන්නේය.
4එනම් අල්ලාහ් මිනිසාට පිරිනැමූ යහ සාමකාමී ජීවිතයක් උදෙසා අල් කුර්ආනයේ මග පෙන්වීම වෙත යොමු වනතුරු පාපතරයින්ට එරෙහිව ක්රියා කළ යුතුය යන්නයි.
5මෙම ආයතය පහළ වීමට සන්දර්භය වූයේ මුස්ලිම්වරුන් අතර යම් ආරවුලක් ඇති වූ විටෙකය. එනම් රජය විසින් ආරවුල ඇති වූ දෙපිරිස අතර සංහිඳියාව ගොඩනැගීමට ක්රියා කළ යුතුයි. එහෙත් මෙම දෙපිරිසෙන් එක් පිරිසක් ඊට විරුද්ධව සීමාව ඉක්මවා ගියේ නම් එම දෙපිරිස අතර සමාදාන වනතුරු ඔවුනට විරුද්ධව ක්රියා මාර්ගයක් දියත් කළ යුතුය යන නීතිය මෙම ආයතයෙන් පෙන්වා දෙයි.
10

إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ ۚ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ

සැබැවින්ම සියලු විශ්වාසවන්තයින් සහෝදරයින්මය. එබැවින් නුඹලාගේ සහෝදරයින් දෙදෙනා අතර සමාදානය ඇති කරවු. තවද නුඹලා කරුණාව ලබනු පිණිස අල්ලාහ්ට බිය භක්තිමත් වවු.
11

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا يَسْخَرْ قَوْمٌ مِّن قَوْمٍ عَسَىٰ أَن يَكُونُوا خَيْرًا مِّنْهُمْ وَلَا نِسَاءٌ مِّن نِّسَاءٍ عَسَىٰ أَن يَكُنَّ خَيْرًا مِّنْهُنَّ ۖ وَلَا تَلْمِزُوا أَنفُسَكُمْ وَلَا تَنَابَزُوا بِالْأَلْقَابِ ۖ بِئْسَ الِاسْمُ الْفُسُوقُ بَعْدَ الْإِيمَانِ ۚ وَمَن لَّمْ يَتُبْ فَأُولَـٰئِكَ هُمُ الظَّالِمُونَ

විශ්වාස කළවුනි, එක් පිරිසක් තවත් පිරිසකට උපහාස නොකරවු. (උපහාසයට ලක් වූ) ඔවුන් (උපහාස කළ) මොවුන්ට වඩා යහපත් අය විය හැකිය. තවද කාන්තාවන් අන් කාන්තාවන්ට උපහාස නොකරවු. (උපහාසයට ලක් වූ) ඔවුන් (උපහාස කළ) මොවුන්ට වඩා යහපත් අය විය හැකිය. තවද නුඹලා නුඹලා අතරම අඩුපාඩු නොසොයවු. තවද නුඹලා එකිනෙකාට (පිළිකුල් සහගත) විකට නමින් නොඅමතවු. විශ්වාස කළායින් පසුව පාපතර නාම(යෙන් ඇමතීම) ඉතා නින්දා සහගතය. 6 තවද කවරෙකු හෝ පශ්චාත්තාප නොකළේ ද ඔවුන්මය අපරාධකරුවෝ වන්නේ.
6කෙනෙකුට නරක පටබැඳි නාම යොදා ආමන්ත්රණය කිරීම පාප ක්රියාවකි. කෙනෙකු විශ්වාසය කිරීමෙන් පසුව ද ‘පාපතරයෙක්’ යැයි මිනිසුන් අතර හැඳින්වීම ඉතා නරකම නාමය යෙදුවා හා සමානය යැයි මෙම වැකියෙන් පැහැදිලි කර ඇත. එහෙයින් අනුන්ව නරක පටබැඳි නාමයෙන් ආමන්ත්රණය කිරීම තුළින් ‘පාපතරයා’ යන නරකම පටබැඳි නාමය ඔහු තමාටම යොදා ගත්තා හා සමාන වන්නේය.
12

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرًا مِّنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ ۖ وَلَا تَجَسَّسُوا وَلَا يَغْتَب بَّعْضُكُم بَعْضًا ۚ أَيُحِبُّ أَحَدُكُمْ أَن يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ ۚ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ تَوَّابٌ رَّحِيمٌ

විශ්වාස කළවුනි, බොහෝ (ඍණාත්මක) සිතුවිලි වලින් වැළකී සිටිවු. සැබැවින්ම ඇතැම් සිතුවිලි පාපී ය. 7 තවද (අන් අයගේ වැරදි) රහසින් විපරම් නොකරවු. තවද නුඹලාගෙන් සමහරු තවත් සමහරුන් ගැන කේලාම් නොකියවු. නුඹලාගෙන් කෙනෙක් මියගිය තම සහෝදරයාගේ මස් කෑමට කැමති වන්නේ ද? එවිට නුඹලා එය පිළිකුල් කරන්නෙහුමය. 8 තවද නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සැබැවින්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නාය පරම කරුණාභරිතය.
7මෙම වැකිය මගින් අනුන්ව නිකරුණේ සැකයෙන් බැලීම වළක්වා ඇත.
8කේලාම් කීම ‘ගීබත්’ නම් අරාබි වචනයේ පරිවර්තනයයි. එහි අදහස නම් ‘කෙනෙකුව දුකට පත් කළ හැකි හෝ ඔහු පිළිකුල් කළ හැකි ඔහු හා සම්බන්ධ දෙයක් ඔහු නොමැති විට පැවසීම’ බව නබි තුමාණන් පැහැදිලි කර ඇත. කේලාම් පැවසූ දැය සත්යය වුව ද මෙම පාපයට ඇතුළත් වේ. එහෙත් එය අසත්යයක් නම් ගීබත් යන පාපයට වඩා දරුණු පාපයක් වන ‘බුහ්තාන්’ යන ගණයට අයත් වේ.
13

يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَكَرٍ وَأُنثَىٰ وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا ۚ إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ

ජනයිනි, සැබැවින්ම අපි නුඹලාව පිරිමියෙකු හා ස්ති්රයකගෙන් මැවුවෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ජාතීන් හා ගෝත්ර බවට පත් කළෙමු. සැබැවින්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් ඉතා ශ්රේෂ්ඨයා නුඹලාගෙන් ඉතා බිය භක්තිකයාය. සැබැවින්ම අල්ලාහ් සර්වඥය අභිඥාන වන්තය.
14

قَالَتِ الْأَعْرَابُ آمَنَّا ۖ قُل لَّمْ تُؤْمِنُوا وَلَـٰكِن قُولُوا أَسْلَمْنَا وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ ۖ وَإِن تُطِيعُوا اللَّهَ وَرَسُولَهُ لَا يَلِتْكُم مِّنْ أَعْمَالِكُمْ شَيْئًا ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ

ගම්බද අරාබිවරුන් ‘අපි විශ්වාස කළෙමු’ යි පවසා සිටියහ. ‘නුඹලා විශ්වාස කළේ නැත. එනමුත් අපි (අල්ලාහ්ට) අවනත වූයෙමු යැයි නුඹලා පවසවු.’ යැයි (නබිවරය, ඔවුන්ට) පවසවු. (මන්ද යත්) විශ්වාසය නුඹලාගේ හදවත් තුළට තවමත් ඇතුළු වී නොමැත. 9 තවද නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට අවනත වන්නේ නම් නුඹලාගේ යහ කි්රයාවන්(හි වේතන) වලින් කිසිවක් ඔහු අඩු නොකරන්නේය. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
9‘බනූ අසද්’ ගෝත්රිකයින් තම ප්රදේශයේ නියඟයක් ඇති වී තිබිය දී නබි මුහම්මද් තුමාණන් වෙත වංචනිකව පැමිණියෝය. මුස්ලිම්වරුන්ගේ පොදු භාණ්ඩාගාරයෙන් තමන්ටත් යමක් ලැබිය යුතුයි යන චේතනාවෙන් ඔවුන් මුස්ලිම්වරුන් මෙන් රඟපෑවෝය. ඔවුන්ගේ ක්රියාවන් සියල්ල ඉස්ලාමයට පටහැණිව තිබුණු නමුත් තමන් මුස්ලිම්වරුන් යැයි ඔවුන් කියා ගත්තෝය. ඔවුන්ගේ සත්යය ස්වරූපය නබි මුහම්මද් තුමාණන්ට පෙන්වා දීම සඳහා යමෙකු මුස්ලිම්වරයෙකු වීමට හුදෙක් “මා මුස්ලිම් වරයෙකු වූයෙමි” යැයි පැවසීම පමණක් නොසෑහෙන බව මෙම වැකියෙන් පැහැදිලි කර ඇත.
15

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ ثُمَّ لَمْ يَرْتَابُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ ۚ أُولَـٰئِكَ هُمُ الصَّادِقُونَ

සැබැවින්ම විශ්වාසිකයින් නම් අල්ලාහ්ව ද ඔහුගේ රසූල්වරයාව ද විශ්වාස කොට පසුව (ඒ ගැන) කිසිදු සැකයකින් තොරව අල්ලාහ්ගේ මාර්ගයේ ඔවුන්ගේ ධනයෙන් හා ප්රාණයෙන් ප්රයත්නයේ යෙදෙන්නන්මය. සත්යවන්තයෝ වන්නේ ඔවුහුමය.
16

قُلْ أَتُعَلِّمُونَ اللَّهَ بِدِينِكُمْ وَاللَّهُ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

(නබිවරය,) ‘අහස්හි ඇති දෑ හා මිහිතලයෙහි ඇති දෑ අල්ලාහ් දැන සිටිය දී නුඹලාගේ දහම පිළිබඳව නුඹලා අල්ලාහ්ට උගන්වන්නේ දැ?’යි විමසවු. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වඥය.
17

يَمُنُّونَ عَلَيْكَ أَنْ أَسْلَمُوا ۖ قُل لَّا تَمُنُّوا عَلَيَّ إِسْلَامَكُم ۖ بَلِ اللَّهُ يَمُنُّ عَلَيْكُمْ أَنْ هَدَاكُمْ لِلْإِيمَانِ إِن كُنتُمْ صَادِقِينَ

(නබිවරය,) ඔවුන් ඉස්ලාමය වැලඳ ගැනීම නුඹ වෙත කළ උපකාරයක් යැයි ඔවුන් සලකති. ‘නුඹලා ඉස්ලාමය වැලඳ ගැනීම මා වෙත කරන උපකාරයක් ලෙස නොසලකනු. එසේ නොව නුඹලා සත්යවන්තයින් නම් විශ්වාසය වෙත මග පෙන්වීම තුළින් අල්ලාහ් නුඹලා කෙරෙහි උපකාර කර ඇත්තේය යැ’යි පවසවු.
18

إِنَّ اللَّهَ يَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَاللَّهُ بَصِيرٌ بِمَا تَعْمَلُونَ

සැබැවින්ම අල්ලාහ් අහස්හි හා මිහිතලයෙහි ගුප්ත දෑ දන්නේය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂාකාරීය.