إِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُّبِينًا
සැබැවින්ම පැහැදිලි ජයග්රහණයකින් අපි නුඹට ජයග්රහණය ලබා දුනිමු.
1මෙහිදී ‘පැහැදිලි ජයග්රහණය’ යනුවෙන් පෙන්නුම් කරන්නේ මුස්ලිම්වරුන් තම මව්බිම වූ මක්කාව අත්පත් කරගන්නා ජයග්රහණයයි. එනම් ‘නුදුරු දිනක දී නබි මුහම්මද් තුමාණන් මක්කාව ජය ගනු ඇත’ යනුවෙන් මෙම ආයතය සුබාරංචියක් පවසා ඇත.
لِّيَغْفِرَ لَكَ اللَّهُ مَا تَقَدَّمَ مِن ذَنبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعْمَتَهُ عَلَيْكَ وَيَهْدِيَكَ صِرَاطًا مُّسْتَقِيمًا
අල්ලාහ් නුඹට නුඹගේ වැරදි අතුරින් නුඹ කලින් සිදු කළ දැයට ද පසුව සිදු කරන දැයට ද ක්ෂමාව දීම පිණිසත් නුඹ කෙරෙහි ඔහුගේ භාග්යයන් පරිපූර්ණ කිරීම පිණිසත් නුඹව ඍජු මගට රැගෙන යනු පිණිසත්ය.
2නබිවරුන් සෑම දෙනෙකුම පාපයන්ගෙන් ආරක්ෂා කරනු ලැබූවන්ය. මෙම ආයතයේ නබි මුහම්මද් තුමාණන්ගේ වරද අල්ලාහ් කමා කරන බව පවසා ඇත. එනම් මෙහි පාපය යන වචනයෙහි අර්ථය ඔහු විසින් සිදුවිය හැකි අල්ප වැරදීමක් මිස සාමාන්යය පාපයන් හෝ මහා පරිමාණයේ පාපයන් නොවේ.
وَيَنصُرَكَ اللَّهُ نَصْرًا عَزِيزًا
තවද ශ්රේෂ්ඨ ජයග්රහණයකින් නුඹට අල්ලාහ් උදවු කිරීම පිණිසත්ය.
هُوَ الَّذِي أَنزَلَ السَّكِينَةَ فِي قُلُوبِ الْمُؤْمِنِينَ لِيَزْدَادُوا إِيمَانًا مَّعَ إِيمَانِهِمْ ۗ وَلِلَّهِ جُنُودُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا
තවද විශ්වාසිකයින්ගේ සිත් තුළ ඔවුන්ගේ විශ්වාසය සමග (තව තවත්) විශ්වාසයෙන් ඔවුන් වර්ධනය වනු පිණිස ශාන්තභාවය පහළ කළේ ඔහුමය. තවද අහස්හි හා මිහිතලයෙහි සේනා අල්ලාහ් සතුය. තවද අල්ලාහ් සර්වඥ ද සර්ව ප්රාඥාවන්ත ද විය.
لِّيُدْخِلَ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَيُكَفِّرَ عَنْهُمْ سَيِّئَاتِهِمْ ۚ وَكَانَ ذَٰلِكَ عِندَ اللَّهِ فَوْزًا عَظِيمًا
විශ්වාසිකයින්ව හා විශ්වාසික කාන්තාවන්ව (ස්වර්ග) උයන් වලට ඔහු ඇතුළු කරනු පිණිසය. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. තවද ඔහු(අල්ලාහ්) මොවුන්ගේ දුෂ්ටකම් මොවුන්ගෙන් පහ කරයි. තවද එය අල්ලාහ් අබියස ඉමහත් ජයග්රහණයකි.
وَيُعَذِّبَ الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْمُشْرِكِينَ وَالْمُشْرِكَاتِ الظَّانِّينَ بِاللَّهِ ظَنَّ السَّوْءِ ۚ عَلَيْهِمْ دَائِرَةُ السَّوْءِ ۖ وَغَضِبَ اللَّهُ عَلَيْهِمْ وَلَعَنَهُمْ وَأَعَدَّ لَهُمْ جَهَنَّمَ ۖ وَسَاءَتْ مَصِيرًا
අල්ලාහ් පිළිබඳව නපුරු සිතුවිලි සිතන ආත්ම වංචනික පිරිමින් හා ආත්ම වංචනික කාන්තාවන්ට ද (අල්ලාහ්ට) ආදේශ කරන්නන් හා ආදේශ කරන්නියන්ට දඬුවම් කරණු පිණිසය. (නැවත නැවත ඇති වන) නරක චක්රය ඔවුන් කෙරෙහිය. අල්ලාහ් ඔවුන් කෙරෙහි කෝප විය. තවද ඔවුනට ශාප කළේය. තවද නිරය ඔවුනට පිළියෙල කර ඇත. තවද නවාතැන් අතුරින් එය නපුරු විය.
وَلِلَّهِ جُنُودُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا
තවද අහස්හි හා මිහිතලයෙහි සේනා අල්ලාහ් සතුය. තවද අල්ලාහ් අති බලසම්පන්න ද සර්ව ප්රාඥාවන්ත ද විය.
إِنَّا أَرْسَلْنَاكَ شَاهِدًا وَمُبَشِّرًا وَنَذِيرًا
(නබිවරය,) සැබැවින්ම අපි නුඹව සාක්ෂි දරන්නෙකු ලෙස ද සුබාරංචි පවසන්නෙකු ලෙස ද අවවාද කරන්නෙකු ලෙස ද එව්වෙමු.
لِّتُؤْمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَتُعَزِّرُوهُ وَتُوَقِّرُوهُ وَتُسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا
(මෙලෙස ඔහුව එවනු ලැබුයේ) නුඹලා අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයා විශ්වාස කර ඔහුට(රසූල්වරයාට දහමෙහි) සහය ලබා දී ඔහුට ගෞරව දක්වා උදෑසන හා සවස ඔහුව(අල්ලාහ්ව) පිවිතුරු කිරීම පිණිසය.
إِنَّ الَّذِينَ يُبَايِعُونَكَ إِنَّمَا يُبَايِعُونَ اللَّهَ يَدُ اللَّهِ فَوْقَ أَيْدِيهِمْ ۚ فَمَن نَّكَثَ فَإِنَّمَا يَنكُثُ عَلَىٰ نَفْسِهِ ۖ وَمَنْ أَوْفَىٰ بِمَا عَاهَدَ عَلَيْهُ اللَّهَ فَسَيُؤْتِيهِ أَجْرًا عَظِيمًا
සැබැවින්ම කවුරුන් නුඹට පක්ෂව දිවුරුම් දුන්නේද ඔවුන් සැබැවින්ම පක්ෂව දිවුරුම් දුන්නේ අල්ලාහ්ටමය. අල්ලාහ්ගේ ‘යද්’ ඔවුන්ගේ අත් මතය. එබැවින් කවුරුන් (එම දිවුරුම) කඩ කරන්නේ ද සැබැවින්ම ඔහු කඩ කළේ තමන්ට එරෙහිවමය. තවද කවරෙකු අල්ලාහ්ට දුන් එම ගිවිසුම ඉටු කරන්නේ ද එවිට ඔහු(අල්ලාහ්) ඔහුට ඉමහත් ප්රතිඵලයක් පිරිනමනු ඇත.
3මෙම ආයතය චින්තනයට ගෝචර නොවන(අචින්තෙය්ය) ‘මුතෂාබිහාත්’ ගණයට අයත් ආයතයන් කිහිපයකින් එකකි. “යද්” යන අරාබි පදය බොහෝ අවස්ථාවන්හි පොදුවේ වාග් චාතූර්යයට අනුව ‘අත’ යන්නෙන් භාවිත කරනු ලැබේ. නමුත් මෙම ආයතයට අදාළ නිසි පරිපූර්ණ අරුත අල්ලාහ් පමණක් දනියි. මන්දයත් අල්ලාහ් කිසිදු මැවුමකින් නිදර්ශනය කළ නොහැකි සුවිශුද්ධයකි. ඇතැම් අල් කුර්ආන් විවරණකරුවන් එම ආයතයට කිසිදු විවරණයකින් තොරව ඒ අයුරින්ම විශ්වාස කිරීම උචිත යැයි ද ඇතැම් විවරණකරුවන් ‘මෙම වැකිය හුදෙයිබියා නැමැති ගිවිසුම සිදු වූ අවස්ථාවේදී පහළ වූවක් බවත්. එහිදී මුහම්මද් තුමාගේ අත මත ඔහුගේ අනුගාමිකයන් අත් තබා දිවුරුම් දුන් අවස්ථාවේ දී අල්ලාහ්ගේ උපකාරය ඔවුනට ඇති බව මෙම ආයතයෙන් අනාවරණය කරන්නක් බවත්’ අදහස් දක්වති. හුදෙයිබියා නැමැති ගිවිසුම පිළිබඳව වැඩි විස්තර සඳහා මෙම සූරාවේ හැඳින්වීම බලන්න.
سَيَقُولُ لَكَ الْمُخَلَّفُونَ مِنَ الْأَعْرَابِ شَغَلَتْنَا أَمْوَالُنَا وَأَهْلُونَا فَاسْتَغْفِرْ لَنَا ۚ يَقُولُونَ بِأَلْسِنَتِهِم مَّا لَيْسَ فِي قُلُوبِهِمْ ۚ قُلْ فَمَن يَمْلِكُ لَكُم مِّنَ اللَّهِ شَيْئًا إِنْ أَرَادَ بِكُمْ ضَرًّا أَوْ أَرَادَ بِكُمْ نَفْعًا ۚ بَلْ كَانَ اللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرًا
ගම්බද අරාබිවරුන් අතුරින් (නබි තුමා සමග නොගොස්) රැඳී සිටියවුන් “අපගේ ධනය හා අපගේ පවුල අපව කාර්යය බහුල කළේය. එබැවින් අප වෙනුවෙන් පාපක්ෂමාව ඇයැදිවු.” යැයි නුඹට පවසන්නෝය. ඔවුන්ගේ හදවත්හි නොමැති දෑ ඔවුන්ගේ දිවෙන් පවසන්නෝය. “අල්ලාහ් නුඹලාට හිංසනයක් කිරීමට පතන්නේ නම් හෝ නුඹලාට ප්රයෝජනයක් කිරීමට පතන්නේ නම් හෝ (ඒවා) කිසිවකින් අල්ලාහ් වෙතින් නුඹලාව (වළකාලීමට) ශක්තිය දරන්නා කවුරුන් දැ?”යි (නබිවරය,) විමසවු. (එවන් කිසිවෙකු) නැත, අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්තය.
4නබි මුහම්මද් තුමාණන් උම්රා වන්දනය කිරීමට මක්කා නගරයට යාමට අදහස් කළ විට මක්කා ප්රතික්ෂේපකයින් තමන්ට බාධා කරනු ඇත යැයි සිතූ ඔහු තම අනුගාමිකයින්ගෙන් විශාල පිරිසකට තමන් සමග පැමිණෙන මෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම මක්කාව අසල තිබෙන ගම්මානයේ වෙසෙන ආත්ම වංචනික ගැමියන්ට ද සහභාගී වන මෙන් නබි මුහම්මද් තුමාණන් ඇරයුම් කළ නමුත් ඔවුන්ගේ පවුල් හා ව්යාපාර කටයුතු වල තමන් නියැළී කාර්යය බහුල වී සිටින හෙයින් තමන්ට උම්රා වන්දනයට පැමිණිය නොහැකි යැයි ඔවුහු පැවසුවෝය. එනමුත් ඔවුන් මෙයට සහභාගී නොවුයේ මක්කාවාසී ප්රතික්ෂේපකයින්ගෙන් එල්ල විය හැකි ප්රහාරයට බියෙන් මිස මොවුන්ගේ පවුල හෝ ව්යාපාරය කටයුතු නිසා නොවේ. මොවුන් පැවසූ හේතුව අසත්යය යැයි මෙම ආයතය මගින් පැහැදිලි කර ඇත.
بَلْ ظَنَنتُمْ أَن لَّن يَنقَلِبَ الرَّسُولُ وَالْمُؤْمِنُونَ إِلَىٰ أَهْلِيهِمْ أَبَدًا وَزُيِّنَ ذَٰلِكَ فِي قُلُوبِكُمْ وَظَنَنتُمْ ظَنَّ السَّوْءِ وَكُنتُمْ قَوْمًا بُورًا
එහෙත් රසූල්වරයා හා විශ්වාසිකයින් ඔවුන්ගේ පවුල් වෙත කිසි විටෙක නැවත නොපැමිණෙනු ඇතැයි නුඹලා සිතුවෙහුය. තවද එය(එසේ නොපැමිණීම) නුඹලාගේ හදවත් හි අලංකාර ලෙස පෙන්වනු ලැබීය. තවද නුඹලා දුෂ්ට සිතුවිලි සිතමින් සිටියහ. නුඹලා විනාශයට ලක් වූ පිරිසක් වූහ.
وَمَن لَّمْ يُؤْمِن بِاللَّهِ وَرَسُولِهِ فَإِنَّا أَعْتَدْنَا لِلْكَافِرِينَ سَعِيرًا
තවද කවරෙකු අල්ලාහ්ව හා ඔහුගේ රසූල්වරයාව විශ්වාස නොකළේ ද එවිට සැබැවින්ම අපි ප්රතික්ෂේපකයින් හට අග්නි ජාලාවක් පිළියෙල කර ඇත්තෙමු.
وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ يَغْفِرُ لِمَن يَشَاءُ وَيُعَذِّبُ مَن يَشَاءُ ۚ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا
තවද අහස්හි හා මිහිතලයෙහි ආධිපත්යය අල්ලාහ් සතුය. ඔහු අභිමත කළ අයට ක්ෂමා කරන්නේය. තවද, (පාපතරයින් අතුරින්)ඔහු අභිමත කළ අයට දඬුවම් කරන්නේය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලී හා පරම කරුණාභරිත විය.
سَيَقُولُ الْمُخَلَّفُونَ إِذَا انطَلَقْتُمْ إِلَىٰ مَغَانِمَ لِتَأْخُذُوهَا ذَرُونَا نَتَّبِعْكُمْ ۖ يُرِيدُونَ أَن يُبَدِّلُوا كَلَامَ اللَّهِ ۚ قُل لَّن تَتَّبِعُونَا كَذَٰلِكُمْ قَالَ اللَّهُ مِن قَبْلُ ۖ فَسَيَقُولُونَ بَلْ تَحْسُدُونَنَا ۚ بَلْ كَانُوا لَا يَفْقَهُونَ إِلَّا قَلِيلًا
යුද්ධයෙන් ජය ගත් භාණ්ඩ ගනු පිණිස ඒ වෙතට නුඹලා ගමන් කළ කල්හි (යුද්ධයට සහභාගී නොවී) රැඳී සිටියවුන් “අපට ද ඉඩ හරිවු. අපි නුඹලා අනුගමනය කරන්නෙමු.” යැයි පවසන්නෝය. ඔවුන් අල්ලාහ්ගේ වදන වෙනස් කිරීමට පතන්නෝය. “නුඹලා අපව අනුගමනය නොකරන්නෙහුමය. මෙයට පෙර අල්ලාහ් මෙලෙසම පවසා ඇත” යැයි පවසවු. ‘එසේ නොව, නුඹලා අපහට ඊර්ෂ්යයා කරන්නෙහු යැ”යි ඔවුහු පවසන්නෝය. එසේ නොව! ස්වල්පයක් මිස ඔවුන් (සත්යය) අවබෝධ කර නොගන්නෝය.
5මුස්ලිම්වරුන් හයිබර් නගරය අත්පත් කර ගැනීමට සූදානම් වී සිටිය දී හුදෙයිබියා ගිවිසුම අවස්ථාවට සහභාගි නොවූ ගම්බැදියන් තමන් ද හයිබර් කරා යන පිරිස සමග ගමනට සහභාගී විය යුතු යැයි ඉල්ලා සිටිනු ඇත යනුවෙන් මෙම ආයතය අනාවැකි පවසා ඇත. මුස්ලිම්වරුන් හයිබර් නගරය අත්පත් කර ජය ලබා ඔවුන් බොහෝ ගනීමත් අත් කර ගනිති යැයි එම ගම්බදයින්ට ස්ථිර විශ්වාසයක් තිබුණි. ඔවුන් මෙම පිරිස සමග යාමට ප්රිය කරන්නේ එම ගනීමතයෙහි කොටස්කරුවන් වීමට මිස දහම ආරක්ෂා කිරීමේ චේතනාවක් නොමැති හෙයින් ඔවුන්ට අනුමැතිය දිය නොයුතු බව මෙම ආයතය අණ කර ඇත. මන්දයත්, මොවුන් මෙසේ ඉල්ලීමට පෙරම හුදෙයිබියා ගිවිසුමට සහභාගී වූවන් පමණක් මෙම හයිබර් ගමනට සහභාගී විය යුතු යැයි නබි මුහම්මද් තුමාණන් විසින් නිවේදනය කරන ලදී.
6මෙහි ‘අල්ලාහ්ගේ වදන’ වන ‘නුඹලා අපව අනුගමනය නොකරන්නෙහුමය.’ යන්නෙන් අදහස් කරනුයේ හුදෙයිබියා ගිවිසුම් කිරීමේ දී සහභාගි වූවන් පමණක් පසුව වූ මෙම හයිබර් ගමනට සහභාගි විය යුතු යැයි නබි මුහම්මද් තුමාණන් විසින් කරනු ලැබූ එම නිවේදනයයි. එනමුත් මෙම ආයතය පවසන්නේ එය අල්ලාහ් පැවසූ බවයි. මෙයින් අපට කරුණු දෙකක් වටහා ගත හැකිය. පළමුවැන්න නබි මුහම්මද් තුමාණන් දහම හා සම්බන්ධ කුමක් පැවසුව ද එය අල්ලාහ් විසින් ඔහුට දන්වනු ලැබූවක් මිස ඔහුගේ කැමැත්ත අනුව පැවසූවක් නොවේ යන්නයි. අල් කුර්ආන් 53:3 , 4 හි ද මෙම අදහස සඳහන් වී ඇත. දෙවැනි කරුණ නම් නබි මුහම්මද් තුමාණන්ට අල්ලාහ් විසින් දන්වනු ලැබූ වහී නම් දේව පණිවිඩ දෙවර්ගයකි. පළමුවැන්න අල් කුර්ආන් හෙවත් පාරායනය කරනු ලබන්නා වූ වහී වේ. දෙවැන්න හදීස් හෙවත් පාරායනය කරනු නොලබන්නා වූ වහී වේ. එනම් අල් කුර්ආනය හුදෙක් පාරායනය කිරීම කුසලකි. එනමුත් හදීස් හැදෑරීමට කුසල් තිබෙනු නමුත් එය පාරායනය කිරීම තුළින් පමණක් කුසල් අත් නොවේ යන්නයි.
قُل لِّلْمُخَلَّفِينَ مِنَ الْأَعْرَابِ سَتُدْعَوْنَ إِلَىٰ قَوْمٍ أُولِي بَأْسٍ شَدِيدٍ تُقَاتِلُونَهُمْ أَوْ يُسْلِمُونَ ۖ فَإِن تُطِيعُوا يُؤْتِكُمُ اللَّهُ أَجْرًا حَسَنًا ۖ وَإِن تَتَوَلَّوْا كَمَا تَوَلَّيْتُم مِّن قَبْلُ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا
ගම්බද අරාබිවරුන් අතුරින් (යුද්ධයට සහභාගී නොවී) රැඳී සිටියවුන්ට “නුඹලාව ශක්තිමත් පිරිසකට එරෙහිව යුද්ධ කිරීමට කැඳවනු ලබනු ඇත. (කෙතරම් දුරටද යත්) ඔවුන් සමග නුඹලා යුද වදිනු ඇත. නැතහොත් ඔවුන් යටහත් වනු ඇත. (යුද්ධ කිරීම සඳහා කැඳවනු ලැබ) නුඹලා (එයට) අවනත වන්නේ නම් අල්ලාහ් නුඹලාට අලංකාරවත් වේතනයක් පිරිනමන්නේය. මෙයට පෙර නුඹලා පිටුපා (පලා) ගියාක් මෙන් (මෙවර ද) පිටුපා යන්නේ නම් ඔහු නුඹලාට වේදනීය දඬුවමකින් දඬුවම් දෙන්නේයැ”යි (නබිවරය,) පවසවු.
7හයිබර් කරා යන සේනාව සමග සහාභාගි වීමෙන් ගැමියන් වළක්වනු ලැබූව ද අනාගතයේ දී මුස්ලිම්වරුන් ඉතා ශක්තිමත් සේනාවක් සමග යුධ කිරීමට ඇති වන බව හා එම අවස්ථාවේ දී මොවුන් එම මුස්ලිම්වරුන් සමග එකතු වී එම සතුරු සේනාවන්ට එරෙහිව සටන් කළ යුතු යැයි මෙම ආයතයෙන් අදහස් කෙරෙයි. හුදෙයිබියා ගිවිසුමට හා හයිබර් යුද්ධයට මොවුන් සහභාගි නොවූ හෙයින් තමන්ට අත් වූ පාඩුව මකාලන පිළියමක් වශයෙන් මෙම අනාගත යුද්ධයට සහභාගී වීමට හිමිකම ලබනු ඇත යැයි ඔවුන්ව උනන්දු කර ඇත. අනාගතයේ ඇති වන යුද්ධය යනු, අබූ බක්ර් සහ උමර් තුමාණන්ගේ පාලන කාලයේ රෝමානුවන්ට සහ පර්සියානුවන්ට එරෙහිව ඇති වූ යුද්ධය යනුවෙන් අල් කුර්ආන් විග්රහයකයින් පවසන්නෝය.
لَّيْسَ عَلَى الْأَعْمَىٰ حَرَجٌ وَلَا عَلَى الْأَعْرَجِ حَرَجٌ وَلَا عَلَى الْمَرِيضِ حَرَجٌ ۗ وَمَن يُطِعِ اللَّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۖ وَمَن يَتَوَلَّ يُعَذِّبْهُ عَذَابًا أَلِيمًا
(යුද්ධයට නොයා සිටීම) අන්ධයා කෙරෙහි කිසිදු වරදක් නැත. ආබාධිතයා කෙරෙහි ද කිසිදු වරදක් නැත. තවද රෝගියා කෙරෙහි ද වරදක් නැත. තවද කවරෙකු අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයාට අවනත වන්නේ ද ඔහුව (ස්වර්ග) උයන් වලට ඔහු ඇතුළු කරනු ඇත. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. තවද කවරෙකු පිටුපාන්නේ ද ඔහු(අල්ලාහ්) ඔහුට වේදනීය දඬුවමකින් දඬුවම් දෙනු ඇත.
لَّقَدْ رَضِيَ اللَّهُ عَنِ الْمُؤْمِنِينَ إِذْ يُبَايِعُونَكَ تَحْتَ الشَّجَرَةِ فَعَلِمَ مَا فِي قُلُوبِهِمْ فَأَنزَلَ السَّكِينَةَ عَلَيْهِمْ وَأَثَابَهُمْ فَتْحًا قَرِيبًا
සැබැවින්ම ගස යට විශ්වාසිකයින් නුඹට පක්ෂව දිවුරුම් දුන් කල්හි අල්ලාහ් ඔවුන් පිළිබඳව තෘප්තියට පත් විය. තවද ඔවුන්ගේ හදවත්හි ඇති දෑ ඔහු දන්නේය. එබැවින් ඔහු ඔවුන් කෙරෙහි ශාන්තභාවය පහළ කර සමීප ජයග්රහණයක් ඔවුනට ස්ථිර කළේය.
8මක්කාවාසී ප්රතික්ෂේපකයින් මුස්ලිම්වරුන්ගේ අයිතියක් වන උම්රා වන්දනයෙන් වළකාලීමට වෙරදැරූ හෙයින් ඔවුන්ට එරෙහිව සටන් කිරීමට මුස්ලිම්වරුන් ආවේගශීලීව හැසිරුණෝය. මෙම සූරාවේ හැඳින්වීමෙහි සඳහන් පරිදි නබි මුහම්මද් තුමාණන් ප්රතික්ෂේපකයින් සමග සාම ගිවිසුමක් ඇති කර ගත් විට ඔවුන් මුලින් මදක් අතෘප්තියට පත් වුව ද පසුව ඔවුන් අල්ලාහ්ගේ අණට හදවතින්ම එකඟ වූහ. සටන් කිරීමට කිසිදු දුර්වලතාවක් හෝ නොතිබූ මහා විශාල පිරිසක්ව සිටින මෙම ආවේගශීලී අවස්ථාවේ දී පවා අල්ලාහ්ගේ අණ පැමිණි එකම කාරාණාව නිසා ඔවුන් තමන්ව මැඩ පවත්වා ගත්තෝය. මෙම ආයතයෙහි පවසා ඇති ‘සමීප ජයග්රහණය’ යනු මෙම ගිවිසුමට පසුව ඔවුන්ට අත් වූ හයිබර් නම් සටනෙහි අත් වූ ජයග්රහණයයි.
وَمَغَانِمَ كَثِيرَةً يَأْخُذُونَهَا ۗ وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا
තවද යුද්ධයෙන් ජය ගත් වස්තූන් අධික වශයෙන් (ද ඔවුනට ස්ථිර කළේය.) ඔවුහු ඒවා ලබා ගන්නෝය. තවද අල්ලාහ් අති බලසම්පන්න හා සර්ව ප්රඥාවන්තය.
وَعَدَكُمُ اللَّهُ مَغَانِمَ كَثِيرَةً تَأْخُذُونَهَا فَعَجَّلَ لَكُمْ هَـٰذِهِ وَكَفَّ أَيْدِيَ النَّاسِ عَنكُمْ وَلِتَكُونَ آيَةً لِّلْمُؤْمِنِينَ وَيَهْدِيَكُمْ صِرَاطًا مُّسْتَقِيمًا
(යුද බිමේ දී සතුරන්ගෙන්) අත්පත් කරගත් වස්තූන් අධික වශයෙන් අල්ලාහ් නුඹලාට ප්රතිඥා දී තිබුණි. නුඹලා ඒවා ලබා ගන්නෝය. මෙය නුඹලාට ඔහු ඉක්මන් කළේය. තවද විශ්වාසිකයින්ට සංඥාවක් වනු පිණිස ද ඔහු නුඹලාව ඍජු මග රැගෙන යනු පිණිස ද (නුඹලාගේ සතුරු) ජනයින්ගේ දෑත් නුඹලා වෙතින් වළක්වාලීය.
9වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 8:69 හි ආයතයේ පාද සටහන බලන්න.
10මෙහි සඳහන් වී ඇති සතුරු ජනයින් යනු මුස්ලිම්වරුන්ට කිසිදු හානියක් කළ නොහැකි හයිබර් නගරයේ වෙසෙන ඇතැම් යුදෙව්වන්ය. මෙම වදන මුස්ලිම්වරුන් හයිබර් සටනෙහි ජයග්රහණය කරන බවට පෙර නිමිත්තකි.
وَأُخْرَىٰ لَمْ تَقْدِرُوا عَلَيْهَا قَدْ أَحَاطَ اللَّهُ بِهَا ۚ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرًا
තවද (ප්රතිඥා දී තිබූ) තවත් එක( ජයග්රහණය)කි. ඒ කෙරෙහි නුඹලා (තවමත්) ශක්තිය ලබා නොමැත. සැබැවින්ම අල්ලාහ් ඒ පිළිබඳව සර්ව ප්රකාරයෙන්ම දන්නේය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බල සම්පන්න විය.
11මෙම ආයතය පහළ කළ අවස්ථාවේ මුස්ලිම්වරුන් බලවත් රාජ්යයන් හා පිරිස් සමග යුද වැදීමට ශක්තිය ලබා නොතිබූ අතර එය ඉදිරියේ දී සිදුවන බවට අල්ලාහ් විසින් දෙන ලද පූර්ව දැනුම් දීමක් ලෙස සැලකේ. මෙයට නිදසුනක් ලෙස මක්කා ජයග්රහණය සඳහන් කළ හැක.
وَلَوْ قَاتَلَكُمُ الَّذِينَ كَفَرُوا لَوَلَّوُا الْأَدْبَارَ ثُمَّ لَا يَجِدُونَ وَلِيًّا وَلَا نَصِيرًا
තවද (නබිවරය, මක්කා වැසියන්ගෙන්) ප්රතික්ෂේප කළවුන් නුඹලා සමග යුද වැදුණේ නම් ඔවුන් පිටුපා පලා යන්නෝමය. පසුව ඔවුන් ආරක්ෂකයෙකු හෝ උදවුකරුවෙකු හෝ ලබා ගන්නේ නැත.
12හුදෙයිබියා ගිවිසුම මගින් මුස්ලිම්වරුන්ව සටන් වැදීමෙන් වළක්වනු ලැබුවේ ඔවුන් පරාජයට පත් වේ යන බියකින් නොව. මන්දයත් එම අවස්ථාවේ දී ප්රතික්ෂේපකයින්ට එරෙහිව ඔවුන් සටන් කර තිබුණේ නම් නිසැකයෙන්ම අල්ලාහ්ගේ උදව්ව ලබා ජය ලබන්නට තිබුණි. එනමුත් මෙම ගිවිසුමට ඔවුන් එකඟ වීම හේතුවෙන් ඔවුන්ට මෙම අවස්ථාවේ දී අත් වන්නට තිබුණු ජයග්රහණයට වඩා ඉමහත් ජයග්රහණයක් අත් කර ගැනීමේ වාසනාව ලැබීය. එසේම ඔවුන් පසුකාලීනව ඉමහත් ජයග්රහණයක් අත්පත් කර ගත්තෝය.
سُنَّةَ اللَّهِ الَّتِي قَدْ خَلَتْ مِن قَبْلُ ۖ وَلَن تَجِدَ لِسُنَّةِ اللَّهِ تَبْدِيلًا
(එය) මීට පෙර සිටම සිදුවූ අල්ලාහ්ගේ (ස්ථාපිත වූ) පිළිවෙතක් වශයෙනි. තවද නුඹ අල්ලාහ්ගේ පිළිවෙතෙහි (කිසිදු) වෙනසක් නොදකින්නේමය.
وَهُوَ الَّذِي كَفَّ أَيْدِيَهُمْ عَنكُمْ وَأَيْدِيَكُمْ عَنْهُم بِبَطْنِ مَكَّةَ مِن بَعْدِ أَنْ أَظْفَرَكُمْ عَلَيْهِمْ ۚ وَكَانَ اللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا
ඔවුන්ට එරෙහිව නුඹලාව ඔහු(අල්ලාහ්) අබිබවා යෑමට සැලැස් වූ පසුව මක්කාව මධ්ය(යේ ඇති හුදෙයිබියා නම් ස්ථාන)යෙහි (යුද නොකර සිටීමට) නුඹලා වෙතින් ඔවුන්ගේ දෑත් ද ඔවුන් වෙතින් නුඹලාගේ දෑත් ද වැළැක්වූයේ ඔහුමය. අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂකය.
هُمُ الَّذِينَ كَفَرُوا وَصَدُّوكُمْ عَنِ الْمَسْجِدِ الْحَرَامِ وَالْهَدْيَ مَعْكُوفًا أَن يَبْلُغَ مَحِلَّهُ ۚ وَلَوْلَا رِجَالٌ مُّؤْمِنُونَ وَنِسَاءٌ مُّؤْمِنَاتٌ لَّمْ تَعْلَمُوهُمْ أَن تَطَئُوهُمْ فَتُصِيبَكُم مِّنْهُم مَّعَرَّةٌ بِغَيْرِ عِلْمٍ ۖ لِّيُدْخِلَ اللَّهُ فِي رَحْمَتِهِ مَن يَشَاءُ ۚ لَوْ تَزَيَّلُوا لَعَذَّبْنَا الَّذِينَ كَفَرُوا مِنْهُمْ عَذَابًا أَلِيمًا
ඔවුන්මය (අල්ලාහ්ව) ප්රතික්ෂේප කර, නුඹලාව මස්ජිදුල් හරාමය වෙතින් ද හද්ය (නම් කැප කරන්නාවූ සතුන්) නියමිත ස්ථානයට රැගෙන විත් ගාල් කරනු ලැබීමෙන් ද වැළැක්වූයේ. නුඹලා නාඳුනන විශ්වාසික පිරිමින් හා විශ්වාසික ස්තී්රන් (මක්කාවෙහි) සිටිය දී නුඹලා (යුද්ධ කර) ඔවුන්ව පාගා (විනාශ කොට, ඒ හේතුවෙන් නුඹලා) නොදැනුවත්වම නුඹලාට පවක් සිදුවීමට ඉඩ තිබුණි. (මෙසේ නොවූයේ) අල්ලාහ් අභිමත කළ අයව ඔහුගේ කරුණාවෙහි ඇතුළු කරනු පිණිසය. (මක්කාවෙහි සිටි විශ්වාසික) ඔවුන් (ප්රතික්ෂේපකයින්ගෙන්) වෙන් වූයේ නම් ඔවුන් අතුරින් ප්රතික්ෂේප කළවුන්ව අපි වේදනීය දඬුවමකින් දඬුවම් දී ඇත්තෙමු.
إِذْ جَعَلَ الَّذِينَ كَفَرُوا فِي قُلُوبِهِمُ الْحَمِيَّةَ حَمِيَّةَ الْجَاهِلِيَّةِ فَأَنزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَىٰ رَسُولِهِ وَعَلَى الْمُؤْمِنِينَ وَأَلْزَمَهُمْ كَلِمَةَ التَّقْوَىٰ وَكَانُوا أَحَقَّ بِهَا وَأَهْلَهَا ۚ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمًا
ප්රතික්ෂේප කළවුන් තමන්ගේ හදවත්හි උද්ධච්චකම වන අඥානයේ උද්ධච්චකම ඇති කර ගත් කල්හි අල්ලාහ් තම ශාන්තභාවය ඔහුගේ රසූල්වරයා කෙරෙහි ද විශ්වාසිකයින් කෙරෙහි ද පහළ කළේය. තවද ඔහු ඔවුන්ව බිය භක්තියේ වදනට බැඳීමක් ඇති කළේය. තවද ඔවුහු එයට ඉතා සුදුස්සන් හා එයට හිමිකරුවන් වූවෝය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වඥ විය.
13බිය භක්තියේ වදන යනු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැත යන්නයි.
لَّقَدْ صَدَقَ اللَّهُ رَسُولَهُ الرُّؤْيَا بِالْحَقِّ ۖ لَتَدْخُلُنَّ الْمَسْجِدَ الْحَرَامَ إِن شَاءَ اللَّهُ آمِنِينَ مُحَلِّقِينَ رُءُوسَكُمْ وَمُقَصِّرِينَ لَا تَخَافُونَ ۖ فَعَلِمَ مَا لَمْ تَعْلَمُوا فَجَعَلَ مِن دُونِ ذَٰلِكَ فَتْحًا قَرِيبًا
සැබැවින්ම අල්ලාහ් ඔහුගේ රසූල්වරයාට සත්යයෙන් යුතු වූ සිහිනය සැබෑ කළේය. (එනම්) අල්ලාහ් අභිමත කළේ නම් නුඹලා සුරක්ෂිත වූවන් ලෙස ද නුඹලාගේ හිස් මුඩු කළවුන් හා කොට කළවුන් ලෙස ද නුඹලා බියෙන් තොරව ද මස්ජිදුල් හරාමයට ඇතුළු වන්නෝමය. එබැවින් නුඹලා නොදැන සිටි දෑ ඔහු දන්නේය. තවද ඒ හැර (හයිබර්හි) සමීප ජයග්රහණයක් ද ඔහු ඇති කළේය.
14නබි මුහම්මද් තුමාණන් තම සහාබිවරුන් සමග මක්කාවේ පිහිටි ශුද්ධ වූ මස්ජිදයට ගොස් උම්රා වන්දනාව ඉටු කර එහි අවසන් පිළිවෙත වන හිස මුඩු ගා සිටීම සිහිනයෙන් දුටුවේය. නබිවරුන්ගේ සිහින සත්ය වහී නම් දේව පණිවිඩයක් වන හෙයින් මෙම සිහිනය මුස්ලිම්වරුන් උම්රා වන්දනාව ඉටු කරනු ඇත යන්නට අනාවැකියක් වුව ද එය සිදු වන කාලය පිළිබඳව කිසියම් හෝ ඉඟියක් නොවීය. එහෙයින් මෙම උම්රා වන්දනාව එම වසරෙහිම ඉටු කළ යුත්තක් යැයි සිතූ නබි මුහම්මද් තුමාණන්, සහාබිවරුන්ගෙන් විශාල පිරිසක් සමග මක්කා නගරය කරා පිටත් විය. නමුත් නබි මුහම්මද් තුමාණන් හුදෙයිබියා ගිවිසුමට අත්සන් තැබීමට එකඟ වූ හෙයින් උම්රා වන්දනාව ඉටු කරන්නට නොහැකි විය. නබි මුහම්මද් තුමාණන් දුටු සිහිනය එම වසරෙහිම සිදු නොවූව ද අනාගතයේ එම සිහිනය සැබෑ වනු ඇත යැයි අල්ලාහ් මෙම ආයතය තුළින් පවසන්නේය. එසේම ඊළඟ වසරෙහිම ඔවුන් සියල්ල උම්රා වන්දනාව පරිපූර්ණ කළෝය. එය ‘උම්රතුල් කලා’ යැයි හඳුන්වන ලදී.
15මෙහි සමීප ජයග්රහණය යන්නෙහි අර්ථය හයිබර් ජයග්රහණයයි.
هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ ۚ وَكَفَىٰ بِاللَّهِ شَهِيدًا
සෑම දහමකටම වඩා මෙය(ඉස්ලාමය) ශ්රේෂ්ඨ කරවීම පිණිස මග පෙන්වීම හා සත්ය දහම සමග තම රසූල්වරයාව එව්වේ ඔහුමය. තවද සාක්ෂි දරන්නෙකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය.
مُّحَمَّدٌ رَّسُولُ اللَّهِ ۚ وَالَّذِينَ مَعَهُ أَشِدَّاءُ عَلَى الْكُفَّارِ رُحَمَاءُ بَيْنَهُمْ ۖ تَرَاهُمْ رُكَّعًا سُجَّدًا يَبْتَغُونَ فَضْلًا مِّنَ اللَّهِ وَرِضْوَانًا ۖ سِيمَاهُمْ فِي وُجُوهِهِم مِّنْ أَثَرِ السُّجُودِ ۚ ذَٰلِكَ مَثَلُهُمْ فِي التَّوْرَاةِ ۚ وَمَثَلُهُمْ فِي الْإِنجِيلِ كَزَرْعٍ أَخْرَجَ شَطْأَهُ فَآزَرَهُ فَاسْتَغْلَظَ فَاسْتَوَىٰ عَلَىٰ سُوقِهِ يُعْجِبُ الزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ الْكُفَّارَ ۗ وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنْهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِيمًا
මුහම්මද් අල්ලාහ්ගේ රසූල්වරයාය. ඔහු සමග සිටියවුන් ප්රතික්ෂේපකයින් කෙරෙහි ඉතා දැඩිව ද ඔවුන් අතර කරුණාවන්තයින් ලෙසද සිටිති. රුකුඋ කරමින් ද සුජූද් කරමින් ද අල්ලාහ්ගෙන් වූ භාග්යය ද තෘප්තිය ද සොයන්නන් ලෙස නුඹ ඔවුන්ව දකින්නේය. ඔවුන්ගේ ලක්ෂණ වනුයේ ඔවුන්ගේ මුහුණු මත සුජූද් කිරීම හේතුවෙන් (ඇති) වූ සලකුණුය. මේවා තව්රාතයෙහි වූ ඔවුන්ගේ වර්ණනාව වේ. තවද ඉන්ජීලයෙහි වූ ඔවුන්ගේ වර්ණනාව නම් ‘ගොයම් බීජයක් මෙනි. එය එහි පැළය පිට කරයි. පසුව එය ශක්තිමත් කරයි. ඉන්පසුව එය ගොවීන්ව මවිතයට පත් කරමින් ශක්තිමත් වී එහි කඳ මත සිට ගනීයි.’ මොවුන් මගින් ප්රතික්ෂේපකයින්ව කෝපයට පත් කරවීම පිණිස( අල්ලාහ් මෙවැනි උපමා දක්වන්නේ)ය. ඔවුන්ගෙන් විශ්වාස කර දැහැමි කි්රයාවන් කළවුන්ට අල්ලාහ් පාපක්ෂමාව හා ඉමහත් වේතනයක් (පිළිබඳ) ප්රතිඥා දුන්නේය.
16මෙහි දක්වා ඇති ප්රතික්ෂේපකයින් කවුරුන් ද යන්න අවබෝධ කරගැනීම පිණිස මෙම සූරාවේ 25 වැනි ආයතයේ සිට කියවිය යුතුව ඇත. මෙම ආයතය පහළ වීමට හේතු වූ ඓතිහාසික සාධක මෙම ආයතයන් තුළින් විස්තර වේ. නබි මුහම්මද් තුමාණන් හා පිරිස ඉස්ලාමීය දින දර්ශනයේ හය වන වසරේ නිරායුද ව ආගමික වතාවත් සඳහා මදීනා නගරයේ සිට මක්කා නගරය වෙත ළඟා වෙමින් සිටින අවස්ථාවේ හුදෛබියා නම් ස්ථානයේ දී මක්කාවේ විසූ ප්රතික්ෂේපකයින් විසින් මෙම පිරිස ඉදිරියට යෑම වළක්වන ලදී. මෙමගින් ඔවුන් ඉටු කිරීමට පැමිණි ආගමික වතාවත් අතහැර දැමීමට සිදුවිය. මෙම පීඩාකාරී වාතාවරණය යටතේ දෙපාර්ශවය විසින් සාකච්ඡා කොට මුස්ලිම්වරුන්ට ඉතා අවාසිදායක ලෙස පෙනෙන්නට තිබුණු ගිවිසුමකට අත්සන් කොට ආපසු හැරී එන්නට සිදු විය. මෙම ආයතය පහළ වන්නේ ගිවිසුම අත්සන් කොට එසේ හැරී ආපසු එමින් සිටියදීය. මෙම ආයතයේ සඳහන් වන්නේ මෙලෙස මුස්ලිම්වරුන්ව තම ආගමික වතාවත් ඉටු කිරීමෙන් වළක්වා ඉතා අසාධාරණ කොන්දේසි සහිත ගිවිසුමකට අත්සන් කිරීමට කටයුතු කළ ප්රතික්ෂේපකයින් පිළිබඳවයි.
17පසු කාලීනව තව්රාතයෙහි නොයෙකුත් විකෘතීන් ඇති කරනු ලැබුව ද පහත සඳහන් වැකිය සඳහන් වී ඇත. “සමිඳාණෝ සීනයි කන්දේ සිට වැඩිය සේක. සේයිර් පෙදසේ සිට ඔවුන්ට උදා වූ සේක. පාරාන් කන්දේ සිට බැබළුන් සේක. දස දහසක් දූතයන් ඇතිව පැමිණී සේක. දකුණත ගිනි දැල්ලක් සමග වැඩිය සේක. 3. එතුමාණෝ සිය සෙනඟට සැබවින් ම පේ්රම කරන සේක. සියලු සැදැහැවත්හු එතුමන් අතෙහි ය. ඔව්හු, ඔබේ පාමුල හිඳ ඔබේ වචන පිළිගන්නෝය.” (ද්විතීය නීති සංග්රහය 33: 2-3) මෙය නබි මූසා තුමාණන් කළ අවසාන දේශනාවයි. මෙහි සඳහන් වී ඇත්තේ, අල්ලාහ්ගේ පණිවිඩය ප්රථමයෙන් සීනයි නම් කන්දෙන් පැමිණෙන බවත්, දෙවනුව ජබලුල් කලීල් නමින් හඳුන්වනු ලබන සේයිර් කන්දෙන් පැමිණෙන බවයි. මේ දෙකෙන් පෙන්නුම් කරන්නේ තව්රාතය සහ ඉන්ජීලයයි. පසුව එය පාරාන් නම් කන්දෙන් පැමිණෙන බව හා එම නබිවරයා පුද්ගලයින් දස දහසකින් යුත් පිරිසක් සමග පැමිණෙන බව සඳහන් වී ඇත. පාරාන් යනු මක්කාවට අසල පිහිටි ‘ජබලුන් නූර්’ නමින් හඳුන්වනු ලබන කන්දයි. එම කන්දෙහි ඇති ‘හිරා’ නම් ගල් ගුහාවේ නබි මුහම්මද් තුමාණන් සිටිය විට දී එතුමාට අල්ලාහ්ගෙන් වූ වහී නම් දේව පණිවිඩය පහළ විය. එමෙන්ම නබි මුහම්මද් තුමාණන් මක්කා ජයග්රහණය ලබන මොහොතේ දී සහාබිවරුන් දස දහසක් සමග පැමිණියේය. යන්නයි. පසුව එහි “දකුණත ගිනි දැල්ලක් සමග වැඩිය සේක. 3. එතුමාණෝ සිය සෙනඟට සැබවින් ම පේ්රම කරන සේක.” යනුවෙන් සඳහන් වී ඇත. එමෙන්ම අල් කුර්ආනයේ ‘ඔහු සමග සිටින්නවුන් ප්රතික්ෂේපකයින් කෙරෙහි ඉතා දැඩිව ද ඔවුන් අතර කරුණාවන්තයින් ලෙසද සිටිති.’ යැයි සඳහන් වී ඇත. මෙය නබි මුහම්මද් තුමාණන් සහ ඔහුගේ අනුගාමික සහාබිවරුන්ව පෙන්නුම් කරන්නේ යැයි පැහැදිලි වේ.
18ශුද්ධවර මාක්හි මෙසේ සඳහන් වී ඇත. “26. තවද උන් වහන්සේ කතා කරමින්, ‘දෙවියන් වහන්සේගේ රාජ්යය මෙබඳු ය. මිනිසෙක් පොළොවෙහි බීජ වපුරයි. 27. ඔහු ? දාවල් නිදා සිටිය දීත්, අවදිව ම පල හටගන්වයි. පළමුව දලුව ද දෙවනුව කරල ද ඉන්පසු කරල පුරා ධාන්ය ද හටගනියි. 29. ගොයම පැසුණු කල අස්වැන්න කාලය පැමිණියෙන්, ඔහු වහා ම දෑකැත්ත යොදන්නේ යැ’යි වදාළ සේක” (ශුද්ධවර මාක් 4:26-29) ඉහත අල් කුර්ආනය පෙන්නුම් කරන්නේ මෙම ආයතය පිළිබඳවයි.