الأحقاف

අල්-අහ්කාෆ්

الأحقاف

අල්-අහ්කාෆ් · Al-Ahqaf

මක්කී35 පද්‍ය

හැඳින්වීම

මෙම සූරාවෙහි අංක 29-32 දක්වා ඇති ආයතයන් පහළ වූයේ, ජින්වරුන්* පිරිසක් නබි මුහම්මද්* තුමාණන් අල් කුර්ආනය පාරායනය කිරීම සවන් දුන් අවස්ථාවෙහිය. නබි මුහම්මද් තුමාණන් මදීනා නගරය කරා හිජ්රත්* හෙවත් දේශාන්තරණය කිරීමට වසර තුනකට පෙර ‘තාඉෆ්’ නගරයට ගොස් නැවත හැරී එන විට මෙම සිද්ධිය සිදු වූයේ යැයි හදීසයන්හි* සඳහන් වී ඇත. මෙම සූරාවෙහි* ප‍්‍රථම කොටසෙහි, ඉස්ලාමයේ මූලික කරුණු තුනක් වන අල්ලාහ් කෙරෙහි ඒක දේවත්වය, දූතත්වය සහ මරණින් මතු ජීවිතය ගැන සඳහන් වී ඇත. මක්කාවෙහි සිටි ඇතැම් මුස්ලිම්වරුන්ගේ දරුවන් දේව ප‍්‍රතික්ෂේපකයින් වූ අතර ඇතැමුන්ගේ දෙමාපියන් දේව ප‍්‍රතික්ෂේපකයින් වූහ. දෙමාපියන් අල්ලාහ්ව ප‍්‍රතික්ෂේප කරන්නන් වුවද ඔවුන් සමග දරුවන් නියමාකාර ලෙස කටයුතු කළ යුතු බැවින් 15-19 දක්වා ඇති ආයතයන්* දෙමාපියන්ගේ උතුම් බව පෙන්වා ඔවුන්ට දරුවන් කළ යුතු වගකීම් ගැන සඳහන් කර ඇත. අංක 21-28 දක්වා ඇති ආයතයන් තම දූතයින්ට උඩඟු වී ඔවුන්ව ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අල්ලාහ් විසින් විනාශයට පත් කරනු ලැබූ පැරණි සමූහයන් ගැන සඳහන් කොට ඒ අතුරින් ආද්* සමූහයා පිළිබඳව උපුටා දක්වා ඇත.

1

حم

හා මීම්. 1
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 හි පාද සටහන බලන්න.
2

تَنزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ

අති බලසම්පන්න සර්ව ප්රඥාවන්ත අල්ලාහ්ගෙන් මෙම ධර්ම පුස්තකය පහළ කෙරිණි.
3

مَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا إِلَّا بِالْحَقِّ وَأَجَلٍ مُّسَمًّى ۚ وَالَّذِينَ كَفَرُوا عَمَّا أُنذِرُوا مُعْرِضُونَ

අහස් ද මිහිතලය ද ඒ දෙක අතර ඇති දෑ ද සත්යයෙන් යුතුව හා නියමිත කලකට මිස අපි නොමැව්වෙමු. එහෙත් ප්රතික්ෂේප කළවුන් ඔවුනට අවවාද කරනු ලැබූ දැයින් පිටුපා යන්නන් වෙති.
4

قُلْ أَرَأَيْتُم مَّا تَدْعُونَ مِن دُونِ اللَّهِ أَرُونِي مَاذَا خَلَقُوا مِنَ الْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌ فِي السَّمَاوَاتِ ۖ ائْتُونِي بِكِتَابٍ مِّن قَبْلِ هَـٰذَا أَوْ أَثَارَةٍ مِّنْ عِلْمٍ إِن كُنتُمْ صَادِقِينَ

(නබිවරය,) පවසවු. “අල්ලාහ් හැර නුඹලා ඇයැද සිටින දෑ පිළිබඳව නුඹලා අවධානය කළෙහු ද? මිහිතලයෙන් ඔවුන් මැව්වේ කුමක් දැ’යි මා හට නුඹලා පෙන්වවු. නැත්නම් අහස් (නිර්මානය කිරීමෙ)හි ඔවුනට කොටසක් හිමි ද? නුඹලා සත්යවන්තයින් වන්නේ නම් මෙයට පෙර වූ ධර්ම පුස්තකයක් හෝ (එහි තිබූ) ඥානයෙන් වූ සළකුනක් හෝ මා වෙත ගෙන එවු.”
5

وَمَنْ أَضَلُّ مِمَّن يَدْعُو مِن دُونِ اللَّهِ مَن لَّا يَسْتَجِيبُ لَهُ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ وَهُمْ عَن دُعَائِهِمْ غَافِلُونَ

තවද අල්ලාහ් හැර (මළවුන්) නැගිටුවනු ලබන දිනය දක්වා තමන්ට පිළිතුරු නොදෙන වෙනෙකෙකුගෙන් අයැදින්නාට වඩා දැඩි මුළා වූවෙකු කවරෙකු ද? තවද ඔවුන් මොවුන්ගේ අයැදීම පිළිබඳව අනවධානියෝ වෙති.
6

وَإِذَا حُشِرَ النَّاسُ كَانُوا لَهُمْ أَعْدَاءً وَكَانُوا بِعِبَادَتِهِمْ كَافِرِينَ

තවද මිනිසුන් (විනිශ්චය දිනයෙහි) එක් රැස් කරනු ලැබූ විට ඔවුන්(අයැදිනු ලැබූ දෙවිවරුන්) මොවුන්ට(ඇයැදින්නන්ට) සතුරන් වන්නෝය. තවද ඔවුන් (තමන් වෙත කළ) මොවුන්ගේ නැමදීම පිළිබඳව ප්රතික්ෂේප කරන්නන් වන්නෝය.
7

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ كَفَرُوا لِلْحَقِّ لَمَّا جَاءَهُمْ هَـٰذَا سِحْرٌ مُّبِينٌ

ඔවුනට අපගේ වදන් පැහැදිලිව පාරායනා කරනු ලැබූ අවස්ථාවේ, ප්රතික්ෂේප කළ ඔවුන් වෙත සත්යය(අල් කුර්ආනය) පැමිණි විට මේ පිළිබඳව ඔවුන් “මෙය පැහැදිලි හූනියමක් යැ”යි පවසති.
8

أَمْ يَقُولُونَ افْتَرَاهُ ۖ قُلْ إِنِ افْتَرَيْتُهُ فَلَا تَمْلِكُونَ لِي مِنَ اللَّهِ شَيْئًا ۖ هُوَ أَعْلَمُ بِمَا تُفِيضُونَ فِيهِ ۖ كَفَىٰ بِهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ ۖ وَهُوَ الْغَفُورُ الرَّحِيمُ

එසේ නැතහොත් “මොහු එය ගෙතුවේ යැ”යි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය,) පවසවු “මා එය ගෙතුවේ නම් අල්ලාහ්ගෙන් වූ (දඬුවම්) කිසිවකින් මා (ආරක්ෂා කිරීම) සඳහා නුඹලාට නොහැක්කේමය. කවර විෂයක නුඹලා නියැළී සිටින්නෙහු ද ඒ පිළිබඳව ඔහු මැනවින් දන්නාය. මා හා නුඹලා අතර සාක්ෂිකරුවෙකු වශයෙන් ඔහු ප්රමාණවත්ය. තවද ඔහු අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.”
9

قُلْ مَا كُنتُ بِدْعًا مِّنَ الرُّسُلِ وَمَا أَدْرِي مَا يُفْعَلُ بِي وَلَا بِكُمْ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰ إِلَيَّ وَمَا أَنَا إِلَّا نَذِيرٌ مُّبِينٌ

(නබිවරය,) පවසවු. “රසූල්වරුන් අතුරින් මා නවකයෙකු නොවෙමි. 2 තවද මා හට හෝ නුඹලා හට කුමක් සිදු කරනු ලබන්නේ දැ’යි මම නොදනිමි. මා වෙත වහී(දේව පණිවිඩ) මගින් දන්වනු ලැබූ දෑ මිස මම අනුගමනය නොකරමි. තවද පැහැදිලි වූ අවවාද කරන්නෙකු මිස මම නොවෙමි.”
2මෙයින් අදහස් වනුයේ ‘මම නබිවරුන් අතුරින් පළමුවැන්නා නොවන්නෙමි. එමෙන්ම මා ගෙන එන ආගමික ප්රතිපත්ති මෙයට පෙර වූ නබිවරුන්ගේ ප්රතිපත්තීන්ට වෙනස් වූවක් නොවේ. නමුත් නබිවරුන්ට පිරිනැමූ පිළිවෙත් අතර යම් වෙනස්කම් ඇත’ යන්නයි.
10

قُلْ أَرَأَيْتُمْ إِن كَانَ مِنْ عِندِ اللَّهِ وَكَفَرْتُم بِهِ وَشَهِدَ شَاهِدٌ مِّن بَنِي إِسْرَائِيلَ عَلَىٰ مِثْلِهِ فَآمَنَ وَاسْتَكْبَرْتُمْ ۖ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

(ඉස්රාඊල්ගේ දරුවන් වන යුදෙව්වනී,) ‘නුඹලා අවධානය කළෙහු ද? මෙය(අල් කුර්ආනය) අල්ලාහ්ගෙන් (පහළ) වී, ඉස්රාඊල්ගේ දරුවන්ගෙන් සාක්ෂිකරුවෙක් මෙ(ම අල් කුර්ආන)ය හා සමාන දෙයකට(තව්රාතයට) ද සාක්ෂි දරා ඔහු (අල් කුර්ආනය) විශ්වාස කරමින් සිටිය දී නුඹලා ප්රතික්ෂේප කරමින් උඩඟුවෙන් සිටින්නේ නම් (නුඹලා කෙතරම් මහා අපරාධිතයින් ද?) 3 යැයි (නබිවරය, ඔවුනට) පවසවු, සැබැවින්ම අල්ලාහ් අපරාධකාර ජනයාට යහමග පෙන්වන්නේ නැත.
3නබි මුහම්මද් තුමාණන්ගේ සමයෙහි සිටි යුදෙව්වෙකු වූ අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් හා කිතුනුවෙකු වූ අදී ඉබ්නු හාතිම් නැමැත්තන් අල් කුර්ආනය විශ්වාස කොට නිවැරදි මග තෝරා ගත්තා මෙන් යුදෙව්වන් හා කිතුනුවන් අල් කුර්ආනය විශ්වාස කළ යුතු බව මෙයින් අදහස් වේ.
11

وَقَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا لَوْ كَانَ خَيْرًا مَّا سَبَقُونَا إِلَيْهِ ۚ وَإِذْ لَمْ يَهْتَدُوا بِهِ فَسَيَقُولُونَ هَـٰذَا إِفْكٌ قَدِيمٌ

ප්රතික්ෂේප කළවුන්, විශ්වාස කළවුන් පිළිබඳව “(ඇත්තෙන්ම) මෙ(ම ධර්ම)ය යහපත් වූයේ නම් ඒ වෙත ඔවුන්(විශ්වාසවන්තයින්) අපට පූර්වගාමීන් නොවනු ඇතැ”යි පවසති. තවද ඔවුහු මෙමගින් යහ මග නොලැබූ කල්හි “මෙය පුරාණ (කාලයේ) අසත්යයක් යැ”යි පවසති.
12

وَمِن قَبْلِهِ كِتَابُ مُوسَىٰ إِمَامًا وَرَحْمَةً ۚ وَهَـٰذَا كِتَابٌ مُّصَدِّقٌ لِّسَانًا عَرَبِيًّا لِّيُنذِرَ الَّذِينَ ظَلَمُوا وَبُشْرَىٰ لِلْمُحْسِنِينَ

මෙ(ම අල් කුර්ආන)යට පෙර මූසාගේ ධර්ම පුස්තකය යහමග පෙන්වන්නක් හා කරුණාවක් වශයෙන් විය. තවද මෙය අපරාධ කළවුන්ට අවවාද කරනු පිණිස අරාබි භාෂාවෙන් වූ, (පෙර ධර්ම පුස්තක) සත්යය කරන්නා වූ ධර්ම පුස්තකයකි. තවද (එය) දැහැමියන්ට ශුභාරංචියකි.
13

إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

සැබැවින්ම “අපගේ පරමාධිපති අල්ලාහ්” යැයි පවසා පසුව එහි ස්ථාවරව සිටියවුන් (පිළිබඳව නම්) ඔවුනට (කිසිඳු) බියක් නැත. තවද ඔවුන් දුක් නොවෙති.
14

أُولَـٰئِكَ أَصْحَابُ الْجَنَّةِ خَالِدِينَ فِيهَا جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ

ඔවුහු ස්වර්ගයේ සගයින්ය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. (මෙය) ඔවුන් කරමින් සිටි දැයට ප්රතිඵලයක් වශයෙනි.
15

وَوَصَّيْنَا الْإِنسَانَ بِوَالِدَيْهِ إِحْسَانًا ۖ حَمَلَتْهُ أُمُّهُ كُرْهًا وَوَضَعَتْهُ كُرْهًا ۖ وَحَمْلُهُ وَفِصَالُهُ ثَلَاثُونَ شَهْرًا ۚ حَتَّىٰ إِذَا بَلَغَ أَشُدَّهُ وَبَلَغَ أَرْبَعِينَ سَنَةً قَالَ رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَىٰ وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَصْلِحْ لِي فِي ذُرِّيَّتِي ۖ إِنِّي تُبْتُ إِلَيْكَ وَإِنِّي مِنَ الْمُسْلِمِينَ

තවද මිනිසාට තම දෙමාපියන් සමග යහ අයුරින් කටයුතු කරන ලෙස අපි අණ කළෙමු. ඔහුගේ මව ඔහුව ඉතා අසීරුවෙන් (කුසේ) ඉසිලුවාය. තවද ඉතා අසීරුවෙන් ඔහුව ප්රසූත කළාය. තවද ඔහුව (මව් කුසේ) ඉසිලීම හා ඔහුට කිරි පොවා නැවැත්වීම(ට අදාළ කාලය) මාස තිහකි. 4 ඔහු පරිණතභාවයට පත් වී වසර හතළිහ ඉක්ම වූ විට “මාගේ පරමාධිපතියාණනි, මා කෙරෙහි ද මාගේ දෙමාපියන් කෙරෙහි ද නුඹ ප්රදානය කළ නුඹගේ භාග්යය සඳහා මා කෘතවේදී වීමටත් නුඹ තෘප්තියට පත් වන යහකම් කිරීමටත් මා යොමු කරනු මැනව!තවද මා වෙනුවෙන් මාගේ පරපුර සැදැහැමියන් කරවනු මැනව! සැබැවින්ම මම ඔබ වෙත පශ්චාත්තාප වෙමි. තවද සැබැවින්ම මම (ඔබට) අවනතවන්නන්ගෙන් කෙනෙකු වෙමි.” යැයි පවසති.
4මාස තිහක් යනු සාර්ථක දරු ගැබක් දැරීමේ අවම කාලය වූ මාස හය සහ කිරි වැරීමට උචිත කාලය වූ මාස 24 ය.
16

أُولَـٰئِكَ الَّذِينَ نَتَقَبَّلُ عَنْهُمْ أَحْسَنَ مَا عَمِلُوا وَنَتَجَاوَزُ عَن سَيِّئَاتِهِمْ فِي أَصْحَابِ الْجَنَّةِ ۖ وَعْدَ الصِّدْقِ الَّذِي كَانُوا يُوعَدُونَ

ඔවුන් කවුරුන්ද යත් ඔවුන් කළ දැයින් ඉතා අලංකාර දෑ ඔවුන්ගෙන් අප පිළිගෙන ඔවුන්ගේ පාපකම් අප නොසලකා හැර දැමූ අය වෙති. 5 (මොවුන්) ස්වර්ගවාසීන් අතරෙහිය. (මෙය) මොවුනට ප්රතිඥා කරනු ලබමින් තිබූ සත්ය ප්රතිඥාවකි.
5මෙයින් අදහස් වන පාපය වනුයේ, මිනිසා අන් මිනිසාගේ වගකීම් පැහැර හැරීමෙන් කළ පාපයන් නොවන අතර මිනිසා අල්ලාහ්ගේ වගකීම් පැහැර හැරීමෙන් අත්වන පාපයන් පිළිබඳවයි.
17

وَالَّذِي قَالَ لِوَالِدَيْهِ أُفٍّ لَّكُمَا أَتَعِدَانِنِي أَنْ أُخْرَجَ وَقَدْ خَلَتِ الْقُرُونُ مِن قَبْلِي وَهُمَا يَسْتَغِيثَانِ اللَّهَ وَيْلَكَ آمِنْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ فَيَقُولُ مَا هَـٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ

තවද යමෙකු තම දෙමාපියන් අමතා “නුඹලා දෙදෙනාට ‘චී’ (යනුවෙන් නින්දා සහගතව පවසා), මා (මිනීවළෙන්) බැහැර කරනු ලබනු ඇතැයි නුඹලා දෙදෙනා මට ප්රතිඥා දෙන්නෙහු ද? සැබැවින්ම මට පෙර පරම්පරාවන් ගණනාවක් ඉකුත් වී ගොස් ඇත (ඔවුන් කිසිවෙක් මිනීවළෙන් බැහැර කරනු නොලැබිණ)” යැයි පැවසුවේය. 6 ඔවුන් දෙදෙනා අල්ලාහ්ගෙන් සරණ පතමින් “නුඹට විනාශය අත් වේවා! (සත්යය) නුඹ විශ්වාස කරවු. සැබැවින්ම අල්ලාහ්ගේ ප්රතිඥාව සත්යයකි” (යැයි පැවසූවෝය). එවිට ඔහු “මෙය පැරැන්නන්ගේ ගෙතූ කතා මිස නැතැ”යි පැවසුවේය.
6ඇතැම් අල් කුර්ආන් විග්රාහකයින්ගේ මතයට අනුව මෙම සිදුවීම සිදු වී ඇත්තේ එකල පියෙකු තම පුතණුවන් ඉස්ලාමය වැළඳ ගැනීමට පෙර ඔහුට අවවාද කළ අවස්ථාවේ දීය. එවිට ඔහු තම පියාට හා මවට කළ කියමන මෙයින් පෙන්වා දෙයි.
18

أُولَـٰئِكَ الَّذِينَ حَقَّ عَلَيْهِمُ الْقَوْلُ فِي أُمَمٍ قَدْ خَلَتْ مِن قَبْلِهِم مِّنَ الْجِنِّ وَالْإِنسِ ۖ إِنَّهُمْ كَانُوا خَاسِرِينَ

ඔවුන් කවුරුන්ද යත් ජින්වරුන් හා මිනිසුන් අතුරින් ඔවුනට පෙර ඉකුත් වී ගිය ප්රජාවන් (කෙරෙ)හි (වූ දඬුවමේ) වදන තමන් කෙරෙහි ද නියම වූවන් වෙති. සැබැවින්ම මොවුන් අලාභවන්තයින් වූහ.
19

وَلِكُلٍّ دَرَجَاتٌ مِّمَّا عَمِلُوا ۖ وَلِيُوَفِّيَهُمْ أَعْمَالَهُمْ وَهُمْ لَا يُظْلَمُونَ

තවද සෑම කෙනෙකුටම ඔවුන් කළ දැයට අනුව තරාතිරම් ඇත. ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ඔවුනට ඵලවිපාක පිරිනමන්නේය. තවද ඔවුහු (කිසිදු) අසාධාරණයකට ලක් නොවන්නෝය.
20

وَيَوْمَ يُعْرَضُ الَّذِينَ كَفَرُوا عَلَى النَّارِ أَذْهَبْتُمْ طَيِّبَاتِكُمْ فِي حَيَاتِكُمُ الدُّنْيَا وَاسْتَمْتَعْتُم بِهَا فَالْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنتُمْ تَسْتَكْبِرُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَبِمَا كُنتُمْ تَفْسُقُونَ

“නුඹලාගේ යහපත් දෑ(හි ප්රතිඵල) නුඹලාගේ ලෞකික ජීවිතයෙහි නුඹලා (භුක්ති විඳ) හැර දමා ගියෝය. තවද එහි නුඹලා සැප වින්දෝය. එබැවින් යුක්තියෙන් තොරව මිහිතලයෙහි නුඹලා උඩඟුකම් පාමින් සිටි හෙයින් ද පාපකම් කරමින් සිටි හෙයින් ද අද දින නින්දිත දඬුවම නුඹලාට ප්රතිවිපාක වශයෙන් දෙනු ලබන්නෝය.” යැයි ප්රතික්ෂේප කළවුන්ව නිරයට ඉදිරිපත් කරනු ලබන දින (පවසනු ලැබේ.)
21

وَاذْكُرْ أَخَا عَادٍ إِذْ أَنذَرَ قَوْمَهُ بِالْأَحْقَافِ وَقَدْ خَلَتِ النُّذُرُ مِن بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ

(නබිවරය,) ‘ආද්( සමූහයාගේ) සහෝදරයා (වන හූද්), වැලි වැටියෙහි (ජීවත් වූ) තම සමූහයාට ඔහු අවවාද කළ අවස්ථාව’ නුඹ සිහිපත් කරවු. “අල්ලාහ් හැර අන් කිසිවෙකුට නොනමදිවු. සැබැවින්ම මම නුඹලා කෙරෙහි වූ මහත් වූ දිනයක දඬුවම (පිළිබඳව) බිය වන්නෙමි.” යැයි ඔහුට පෙර ද ඔහුට පසුව ද අවවාද කරුවන් (අවවාද කර) ඉකුත් වී ගියෝය.
22

قَالُوا أَجِئْتَنَا لِتَأْفِكَنَا عَنْ آلِهَتِنَا فَأْتِنَا بِمَا تَعِدُنَا إِن كُنتَ مِنَ الصَّادِقِينَ

“අපගේ දෙවිවරුන්ගෙන් අපව හැරවීමට නුඹ අප වෙත පැමිණියෙහි ද? නුඹ සත්යවාදීන් අතුරින් වූයෙහි නම් නුඹ අපට ප්රතිඥා දුන් දෑ(දඬුවම) ගෙන එවු” යැයි ඔවුහු පැවසුවෝය.
23

قَالَ إِنَّمَا الْعِلْمُ عِندَ اللَّهِ وَأُبَلِّغُكُم مَّا أُرْسِلْتُ بِهِ وَلَـٰكِنِّي أَرَاكُمْ قَوْمًا تَجْهَلُونَ

“සැබැවින්ම (මේ පිළිබඳව) දැනුම ඇත්තේ අල්ලාහ් සතුවයි. තවද කවර දෙයක් සමග මා එවනු ලැබුවේ ද එය මා නුඹලාට දන්වා සිටිමි. නමුත් මා නුඹලාව අඥාන ලෙස කටයුතු කරන පිරිසක් ලෙස දකින්නෙමි” යැයි ඔහු පැවසුවේය.
24

فَلَمَّا رَأَوْهُ عَارِضًا مُّسْتَقْبِلَ أَوْدِيَتِهِمْ قَالُوا هَـٰذَا عَارِضٌ مُّمْطِرُنَا ۚ بَلْ هُوَ مَا اسْتَعْجَلْتُم بِهِ ۖ رِيحٌ فِيهَا عَذَابٌ أَلِيمٌ

එබැවින් ඔවුන්ගේ මිටියාවත් දෙස ළඟා වන වලාකුළක් ලෙස එය ඔවුන් දුටු විට ‘එය අපට වැසි වස්සන වලාකුළක්’ යැයි ඔවුහු පැවසුවෝය. එසේ නොව, එය නුඹලා කවර දෙයක් පිළිබඳව ඉක්මන් වූයේ ද එයයි. (එය) සුළඟකි. වේදනීය දඬුවමක් එහි ඇත.
25

تُدَمِّرُ كُلَّ شَيْءٍ بِأَمْرِ رَبِّهَا فَأَصْبَحُوا لَا يُرَىٰ إِلَّا مَسَاكِنُهُمْ ۚ كَذَٰلِكَ نَجْزِي الْقَوْمَ الْمُجْرِمِينَ

එය(සුළඟ) එහි පරමාධිපතිගේ නියෝගය අනුව සියලු දැය සුනුවිසුනු කළේය. එබැවින් ඔවුන් විසූ ප්රදේශ හැර (අන් කිසිවක්) දක්නට නොලැබෙන පරිදි ඔවුන් වූහ. 7 මෙලෙසය අපි වැරදිකාර පිරිසට ප්රතිවිපාක දෙනුයේ.
7මෙම සමූහයා පිළිබඳව වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 11:50-60 සහ අල් කුර්ආන් 7:65-72 යන ආයතයන් බලන්න.
26

وَلَقَدْ مَكَّنَّاهُمْ فِيمَا إِن مَّكَّنَّاكُمْ فِيهِ وَجَعَلْنَا لَهُمْ سَمْعًا وَأَبْصَارًا وَأَفْئِدَةً فَمَا أَغْنَىٰ عَنْهُمْ سَمْعُهُمْ وَلَا أَبْصَارُهُمْ وَلَا أَفْئِدَتُهُم مِّن شَيْءٍ إِذْ كَانُوا يَجْحَدُونَ بِآيَاتِ اللَّهِ وَحَاقَ بِهِم مَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

තවද (මක්කා වැසියනි,) අප නුඹලාට ලබා නොදුන් පහසුකම් සැබැවින්ම ඔවුනට අපි එහි (ලබා දී) ස්ථාපිත කළෙමු. තවද ඔවුනට ශ්රවණ ද දෘෂ්ටි ද හදවත් ද අපි ඇති කළෙමු. නමුත් ඔවුන් අල්ලාහ්ගේ සංඥාවන් ප්රතික්ෂේප කරමින් සිටි හෙයින් ඔවුන්ගේ ශ්රවණය ද ඔවුන්ගේ දෘෂ්ටි ද ඔවුන්ගේ හදවත් ද ඔවුනට කිසිවකින් ප්රයෝජනවත් නොවීය. ඔවුන් කවර දෙයක් පිළිබඳව සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන්ව වෙළා ගත්තේය.
27

وَلَقَدْ أَهْلَكْنَا مَا حَوْلَكُم مِّنَ الْقُرَىٰ وَصَرَّفْنَا الْآيَاتِ لَعَلَّهُمْ يَرْجِعُونَ

තවද නුඹලා අවට තිබූ ගම්මාන අතුරින් (ඇතැම් ගම්මාන) සැබැවින්ම අපි විනාශ කළෙමු. 8 ඔවුන් (ප්රතික්ෂේපයෙන්) නැවත හැරී එනු පිණිස අපි සංඥාවන් විවිධාකාරයෙන් දුනිමු.
8මෙහි සඳහන් වී ඇති ගම්මානයන් මගින් පෙන්නුම් කරන්නේ සමූද් ජනයින්ගේ ගම්මානයන් හා නබි ලූත් තුමාණන්ගේ ජනයින් විසූ ගම්මානයන් වේ. අරාබිවරුන් මක්කාවෙන් සිරියාවට යන මාර්ගය අතර මෙම ගම්මානයන් පිහිටා ඇත්තේය. ආද් සමූහකයින් වාසය කළේ මක්කාවේ දකුණු පෙදෙසෙහි පිහිටා ඇති යෙමන් නගරයෙහිය. එමෙන්ම සමූද් ජනයින් හා නබි ලූත් තුමාගේ ජනයින් වාසය කළේ මක්කාවේ උතුරු පෙදෙසෙහි පිහිටි ගම්මානයන්හිය. ඒ හේතුවෙන් මෙම ආයතයෙහි “නුඹලා අවට තිබූ ගම්මාන” යනුවෙන් සඳහන් කර ඇත්තේය.
28

فَلَوْلَا نَصَرَهُمُ الَّذِينَ اتَّخَذُوا مِن دُونِ اللَّهِ قُرْبَانًا آلِهَةً ۖ بَلْ ضَلُّوا عَنْهُمْ ۚ وَذَٰلِكَ إِفْكُهُمْ وَمَا كَانُوا يَفْتَرُونَ

එවිට (තමන්ව අල්ලාහ් වෙත) සමීප කරනු පිණිස අල්ලාහ් හැර ඔවුන් ගත් දෙවිවරුන් ඔවුන්ට උදවු නොකළේ මන්ද? නමුත් ඔවුන්(දෙවිවරුන්) ඔවුන්ව මග හැර ගියෝය. තවද එය ඔවුන්ගේ මුසාවකි. තවද එය ඔවුන් ගොතමින් සිටි දැයකි.
29

وَإِذْ صَرَفْنَا إِلَيْكَ نَفَرًا مِّنَ الْجِنِّ يَسْتَمِعُونَ الْقُرْآنَ فَلَمَّا حَضَرُوهُ قَالُوا أَنصِتُوا ۖ فَلَمَّا قُضِيَ وَلَّوْا إِلَىٰ قَوْمِهِم مُّنذِرِينَ

(නබිවරය,) අල් කුර්ආනයට සවන් දෙන ජින්වරුන් අතුරින් පිරිසක් අපි නුඹ වෙත යොමු කළ අවස්ථාව (සිහිපත් කරවු). 9 ඔවුන් එහි පැමිණි කල්හි “නිහඬ වවු” යැයි ඔවුහු (එකිනෙකාට) පැවසුවෝය. (අල් කුර්ආනය පාරායනය) අවසන් කරනු ලැබූ විට අවවාද කරන්නන් ලෙස තම සමූහයා වෙත හැරී ගියෝය.
9මෙහි සඳහන් වනුයේ තාඉෆ් නගරයේ සිට නැවත පැමිණෙමින් සිටි නබි මුහම්මද් තුමාණෝ උකාස් නම් ප්රදේශයේ නක්ලා නම් ස්ථානයේ නවාතැන් ගෙන ෆජ්ර් වරුවේ සලාතයේ දී අල් කුර්ආනය පාරායනය කරන විට එයට සවන් දුන් ජින්වරුන් පිරිසක් පිළිබඳවය. අල් කුර්ආනය පිළිබඳව පැහැදීමක් ඇති කර ගත් ජින්වරුන් ඉස්ලාමය වැලඳ ගෙන ඔවුන්ගේ සමූහයා වෙත ගොස් ඔවුන්ව ද ඉස්ලාමය වෙත ඇරයුම් කළහ. ඉන් පසු ජින්වරුන් විශාල සංඛ්යාවක් ඉස්ලාමයට අවතීරණ වූහ. ස්වභාවයෙන්ම ගර්වයෙන් යුත් ජින්වරුන් සත්යය අවබෝධ කරගෙන ඉස්ලාමයට අවතීරණය වූව ද මක්කාවාසීන් මෙම ඇරයුම ප්රතික්ෂේප කිරීම මහත් අභාග්යක් ලෙස මෙම අල් කුර්ආන් වැකිය සඳහන් කරයි.
30

قَالُوا يَا قَوْمَنَا إِنَّا سَمِعْنَا كِتَابًا أُنزِلَ مِن بَعْدِ مُوسَىٰ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ يَهْدِي إِلَى الْحَقِّ وَإِلَىٰ طَرِيقٍ مُّسْتَقِيمٍ

“අපගේ සමූහයාණනි, සැබැවින්ම අපි ධර්ම පුස්තකයකට සවන් දුන්නෙමු. (එය) එයට පෙර ඇති දෑ තහවුරු කරමින් මූසාට පසුව පහළ කරනු ලැබූවකි. එය සත්යය හා ඍජු මාර්ගය වෙත රැගෙන යන්නේය.” යැයි ඔවුහු පැවසුවෝය.
31

يَا قَوْمَنَا أَجِيبُوا دَاعِيَ اللَّهِ وَآمِنُوا بِهِ يَغْفِرْ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُجِرْكُم مِّنْ عَذَابٍ أَلِيمٍ

අපගේ සමූහයිනි, අල්ලාහ්ගේ කැඳවුම්කරුට පිළිතුරු දෙවු. තවද ඔහුව විශ්වාස කරවු. (එසේ නුඹලා කළ විට අල්ලාහ් වන) ඔහු නුඹලාගේ පාපයන් සඳහා නුඹලාට ක්ෂමාව පිරිනමනු ඇත. තවද වේදනීය දඬුවමින් නුඹලාව ඔහු ආරක්ෂා කරනු ඇත.
32

وَمَن لَّا يُجِبْ دَاعِيَ اللَّهِ فَلَيْسَ بِمُعْجِزٍ فِي الْأَرْضِ وَلَيْسَ لَهُ مِن دُونِهِ أَوْلِيَاءُ ۚ أُولَـٰئِكَ فِي ضَلَالٍ مُّبِينٍ

කවරෙකු අල්ලාහ්ගේ කැඳවුම්කරුට පිළිතුරු නොදෙන්නේ ද ඔහු මිහිතලයෙහි (අල්ලාහ්ව) නොහැකියාවට පත් කරන්නෙකු නොවන්නේය. තවද ඔහු(අල්ලාහ්) හැර ඔහුට වෙනත් උදවුකරුවන් නොමැත. ඔවුහු පැහැදිලි මුළාවෙහිය.
33

أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَمْ يَعْيَ بِخَلْقِهِنَّ بِقَادِرٍ عَلَىٰ أَن يُحْيِيَ الْمَوْتَىٰ ۚ بَلَىٰ إِنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

සැබැවින්ම අහස් හා මිහිතලය මැවූ තවද ඒවා මැවීම මගින් වෙහෙසට පත් නොවූ අල්ලාහ්, මළවුන්ට ප්රාණය දීමට ශක්තිය ඇත්තා බව ඔවුන් නොදකින්නෝ ද? එසේ (නුඹලා සිතන පරිදි) නොව සැබැවින්ම ඔහු සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
34

وَيَوْمَ يُعْرَضُ الَّذِينَ كَفَرُوا عَلَى النَّارِ أَلَيْسَ هَـٰذَا بِالْحَقِّ ۖ قَالُوا بَلَىٰ وَرَبِّنَا ۚ قَالَ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ

තවද ප්රතික්ෂේප කළවුන්ව නිරා(ගින්න) වෙතට ඉදිරිපත් කරනු ලබන දින “මෙය සත්යය නොවේ ද?” (යැයි ඔවුන්ගෙන් විමසනු ලැබූ විට) “එසේය, අපගේ පරමාධිපති මත දිවුරමින් (එය සත්යයකි)” යැයි ඔවුහු පවසති. “එසේ නම් නුඹලා ප්රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් (මෙම) දඬුවම රස විඳිවු” යැයි ඔහු(අල්ලාහ්) පවසයි.
35

فَاصْبِرْ كَمَا صَبَرَ أُولُو الْعَزْمِ مِنَ الرُّسُلِ وَلَا تَسْتَعْجِل لَّهُمْ ۚ كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَ مَا يُوعَدُونَ لَمْ يَلْبَثُوا إِلَّا سَاعَةً مِّن نَّهَارٍ ۚ بَلَاغٌ ۚ فَهَلْ يُهْلَكُ إِلَّا الْقَوْمُ الْفَاسِقُونَ

තවද (නබිවරය,) රසූල්වරුන් අතුරින් ‘උලුල් අzස්ම්වරුන්’ 10 ඉවසුවාක් මෙන් නුඹ ද ඉවසවු. තවද (ප්රතික්ෂේපක) ඔවුන්(ට අත්වන දඬුවම) පිළිබඳව ඉක්මන් නොවවු. සැබැවින්ම ඔවුන්ට ප්රතිඥා කරනු ලැබූ දෑ ඔවුන් දකින දින ඔවුන් (මිහිතලයෙහි) එක් දහවලින් මොහොතක් මිස ඔවුන් රැඳී නොසිටියාක් මෙන්ය. (අල් කුර්ආනය ඔවුනට) දැනුම් දීමකි. පාපතර පිරිස මිස (අන් කිසිවෙක්) විනාශ කරනු (නො)ලබන්නේ ද?
10‘උලුල් අzස්ම්වරුන්’ යනු තම ජනයාගේ තාඩන පීඩන සියල්ල ඉවසා තම දූත මෙහෙවර ස්ථිරව ඉටු කළ රසූල්වරුන්ය. ඔවුහු නූහ්, ඉබ්රාහීම්, මූසා, ඊසා හා මුහම්මද් යන රසූල්වරුන් පස් දෙනාය.