طس ۚ تِلْكَ آيَاتُ الْقُرْآنِ وَكِتَابٍ مُّبِينٍ
තා.සීන් . ඒවා අල් කුර්ආනයෙහි හා (සත්යය හා අසත්යය) පැහැදිලි (කරන්නා වූ) ධර්ම පුස්තකයෙහි වදන්ය.
1මෙහි වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 හි පාද සටහන බලන්න.
2මෙහි ‘ඒවා’ යනුවෙන් අදහස් වී ඇත්තේ මෙම සූරාවෙහි අන්තර්ගත ආයතයන්ය. තවද (සත්යය හා අසත්යය) පැහැදිලි (කරන්නා වූ) ධර්ම පුස්තකය යනුවෙන් සඳහන් වී ඇත්තේද අල් කුර්ආනයම ය.
هُدًى وَبُشْرَىٰ لِلْمُؤْمِنِينَ
(මෙය) විශ්වාසිකයින්ට යහ මගක් හා ශුභාරංචියකි.
الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُم بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ
ඔවුන් කවරුන්දයත් සලාතය) ස්ථිරවම ඉටු කර zසකාත් ලබා දෙන්නන් වෙති. තවද ඔවුන් පරමාන්ත දිනය පිළිබඳව තරයේ විශ්වාස කරන්නන්ය.
إِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ زَيَّنَّا لَهُمْ أَعْمَالَهُمْ فَهُمْ يَعْمَهُونَ
සැබැවින්ම පරමාන්ත දිනය පිළිබඳව විශ්වාස නොකරන්නන් නම් ඔවුනට තම ක්රියාවන් අපි අලංකාර කර පෙන්වුයෙමු. එබැවින් ඔවුහු ව්යාකූලත්වයේ පසු වෙති.
أُولَـٰئِكَ الَّذِينَ لَهُمْ سُوءُ الْعَذَابِ وَهُمْ فِي الْآخِرَةِ هُمُ الْأَخْسَرُونَ
ඔවුන්මය නපුරු දඬුවම හිමි වූවන් වනුයේ. පරමාන්ත දිනයේ අලාභවන්තයින් වන්නේ ද ඔවුන්මය.
وَإِنَّكَ لَتُلَقَّى الْقُرْآنَ مِن لَّدُنْ حَكِيمٍ عَلِيمٍ
තවද (නබිවරය,) සැබැවින්ම නුඹ සර්වඥ සර්ව ප්රඥාවන්තයා (වන අල්ලාහ්) වෙතින්ය අල් කුර්ආනය දෙනු ලබනුයේ.
إِذْ قَالَ مُوسَىٰ لِأَهْلِهِ إِنِّي آنَسْتُ نَارًا سَآتِيكُم مِّنْهَا بِخَبَرٍ أَوْ آتِيكُم بِشِهَابٍ قَبَسٍ لَّعَلَّكُمْ تَصْطَلُونَ
“සැබැවින්ම මම ගින්නක් දිටිමි. එයින් මා නුඹලාට පණිවිඩයක් ගෙන එමි. එසේ නොමැති නම් උණුසුම තපින්නට ගිනි මැලයක් ගෙන එමි.” යැයි මූසා තම පවුලට පැවසූ අවස්ථාව (සිහිපත් කරවු).
فَلَمَّا جَاءَهَا نُودِيَ أَن بُورِكَ مَن فِي النَّارِ وَمَنْ حَوْلَهَا وَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَالَمِينَ
ඔහු ඒ වෙත පැමිණි විට “ගින්න අසල සිටින්නා(මූසා) ද ඒ අවට සිටින්නන්(මලක්වරුන්) ද භාග්යමත් විය. තවද සමස්ත විශ්වයන්හි පරමාධිපති වන අල්ලාහ් සුවිශුද්ධය” යැයි අමතනු ලැබීය.
3එනම් මොහු සොයමින් පැමිණි ගින්න තිබුණේ අල්ලාහ්ගේ ආශිර්වාදයට ලක් වූ ස්ථානකය. මන්දයත් එම ස්ථානය මොහුට නබිත්වය ලබා දීමට අල්ලාහ් විසින් තෝරා ගනු ලැබූ ස්ථානයක් වූ බැවිනි.
يَا مُوسَىٰ إِنَّهُ أَنَا اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ
“අහෝ මූසා, සැබැවින්ම එම කරුණ නම් අති බලසම්පන්න සර්ව ප්රඥාවන්ත අල්ලාහ් මම වෙමි.”
وَأَلْقِ عَصَاكَ ۚ فَلَمَّا رَآهَا تَهْتَزُّ كَأَنَّهَا جَانٌّ وَلَّىٰ مُدْبِرًا وَلَمْ يُعَقِّبْ ۚ يَا مُوسَىٰ لَا تَخَفْ إِنِّي لَا يَخَافُ لَدَيَّ الْمُرْسَلُونَ
තවද “නුඹ නුඹගේ සැරයටිය (බිම) දමවු.” (යැයි ද අමතනු ලැබීය.) ඔහු එය (බිම දැමූ කල්හි) සර්පයෙකු මෙන් නළියනු දුටු විට ඔහු පසුබැස පසුපස නොබලා හැරී දිව්වේය. (එවිට) “අහෝ මූසා! නුඹ බිය නොවවු. සැබැවින්ම මම (කවරෙකුදයත්) රසූල්වරුන් මා ඉදිරියේ බිය නොවන්නෝය.”
إِلَّا مَن ظَلَمَ ثُمَّ بَدَّلَ حُسْنًا بَعْدَ سُوءٍ فَإِنِّي غَفُورٌ رَّحِيمٌ
“තවද අපරාධ කර පාපකමට අනතුරුව (එය පාපෝච්චාරණය මගින්) යහපතක් බවට ප්රතිස්ථාපනය කර ගත් අය ද (බිය නොවන්නෝය). එබැවින් සැබැවින්ම මම අති ක්ෂමාශීලීය පරමා කරුණාභරිතය.
4නබි මූසා තුමාණන් බිය වන්නට ඇත්තේ ඔහු විසින් මිසර වැසියකු ඝාතනයට ලක් වූ හෙයිනි. එබැවින් මෙම බිය තුරන් කිරීමට අල්ලාහ් මෙම ආයතයේ “පාපකම් කර ඒ සඳහා පාපෝච්චාරණය කරන්නා පාපකම් නොකළ කෙනෙකු හා සමානය” යනුවෙන් අදහස් කර ඇත. එබැවින් මෙහි ඔහුට බිය වීමට හේතුවක් නොවීය. මන්දයත් ඔහු කළ එම පාපය සඳහා ඔහු පාපෝච්චාරණය කර තිබුණි.
وَأَدْخِلْ يَدَكَ فِي جَيْبِكَ تَخْرُجْ بَيْضَاءَ مِنْ غَيْرِ سُوءٍ ۖ فِي تِسْعِ آيَاتٍ إِلَىٰ فِرْعَوْنَ وَقَوْمِهِ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ
තවද (මූසා) නුඹ තම (කමිස) සාක්කුව තුළට නුඹගේ අත ඇතුළු කරවු. එය කිසිදු නරක( රෝගය)කින් තොරව සුදුවන්ව පිට වන්නේය. (මෙය නුඹ) ෆිර්අවුන් හා ඔහුගේ පිරිස වෙත (ගොස් ගෙන හැර පෙන්වන්නා) වූ සාධක නවයෙහිය. සැබැවින්ම ඔවුහු පාපතර පිරිසක් වූහ.” (යැයි ද අමතනු ලැබීය.)
فَلَمَّا جَاءَتْهُمْ آيَاتُنَا مُبْصِرَةً قَالُوا هَـٰذَا سِحْرٌ مُّبِينٌ
අපගේ සාධකයන් පැහැදිලිවම ඔවුන් වෙත පැමිණි විට “මෙය පැහැදිලි හූනියමකි.” යැයි ඔවුහු පැවසුවෝය.
وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا أَنفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا ۚ فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ
ඔවුන්ගේ ආත්මාවන් එය තරයේ විශ්වාස කර තිබුණ ද අපරාධිතව හා උඩඟුකමින් එය පිටුපෑහ. එබැවින් කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි (නබිවරය) නුඹ නිරීක්ෂා කර බලවු.
وَلَقَدْ آتَيْنَا دَاوُودَ وَسُلَيْمَانَ عِلْمًا ۖ وَقَالَا الْحَمْدُ لِلَّهِ الَّذِي فَضَّلَنَا عَلَىٰ كَثِيرٍ مِّنْ عِبَادِهِ الْمُؤْمِنِينَ
දාවූද්ට ද සුලෙයිමාන්ට ද අපි ඥානය ප්රදානය කළෙමු. “අල්ලාහ්ගේ විශ්වාසවන්ත ගැත්තන් අතුරින් බොහෝ දෙනාට වඩා අපව උසස් කළ ඔහුටම සියලු ප්රශංසා හිමියැ”යි ඔවුන් දෙදෙනා පැවසුවෝය.
وَوَرِثَ سُلَيْمَانُ دَاوُودَ ۖ وَقَالَ يَا أَيُّهَا النَّاسُ عُلِّمْنَا مَنطِقَ الطَّيْرِ وَأُوتِينَا مِن كُلِّ شَيْءٍ ۖ إِنَّ هَـٰذَا لَهُوَ الْفَضْلُ الْمُبِينُ
සුලෙයිමාන් දාවූද්ට උරුමකම් පෑහ. “ජනයිනි, පක්ෂීන්ගේ භාෂාව අපට උගන්වනු ලැබී ඇත. තවද සියලු දෑ ද අපහට පිරිනමනු ලැබී ඇත. සැබැවින්ම මෙයමය පැහැදිලි භාග්යය වනුයේ” යැයි ඔහු(සුලෙයිමාන්) පැවසුවේය.
5මෙම ආයතයෙහි ‘උරුමකම් පෑවේය’ යනු නබි දාවූද් තුමාණන් අත හැර ගිය ධනය හෝ දේපළ නොවේ. එනමුත් නබි සුලෙයිමාන් තුමාණන් නබි දාවූද් තුමාණන්ගෙන් උරුම කර ගත්තේ ඔහුගේ නබිත්වයයි. මන්දයත් නබි වදනක මෙසේ සඳහන් වී ඇත ‘නබිවරුන් අතහැර ගිය දේපළ පෙළපත් උරුම දේපළ බවට පත් නොවේ. එනමුත් එය සදකා වස්තූන් වේ’. එබැවින් මෙහි උරුම කර ගත්තේ තම පියාගේ දැනුම හා ඔහුගේ නබිත්වය මිස ඔහුගේ දේපළ නොවේ.
وَحُشِرَ لِسُلَيْمَانَ جُنُودُهُ مِنَ الْجِنِّ وَالْإِنسِ وَالطَّيْرِ فَهُمْ يُوزَعُونَ
සුලෙයිමාන් වෙනුවෙන් ජින්වරුන්ගෙන් ද මිනිසුන්ගෙන් ද පක්ෂීන්ගෙන් ද යුත් තම සේනාව එක් රැස් කරනු ලැබ ඔවුන් පෙළ ගස්වා හරින ලදී.
حَتَّىٰ إِذَا أَتَوْا عَلَىٰ وَادِ النَّمْلِ قَالَتْ نَمْلَةٌ يَا أَيُّهَا النَّمْلُ ادْخُلُوا مَسَاكِنَكُمْ لَا يَحْطِمَنَّكُمْ سُلَيْمَانُ وَجُنُودُهُ وَهُمْ لَا يَشْعُرُونَ
ඔවුන් කුහුඹුවන්ගේ නිම්නය තෙක් පැමිණි විට කිහිඹියෙකු (තම කුහුඹුවන් අමතා) “කුහුඹුවනි, නුඹලාගේ වාසස්ථාන වෙත පිවිසෙවු. සුලෙයිමාන් හා ඔහුගේ සේනාවන්, ඔවුන් නොදැනුවත්ව නුඹලාව පාගා නොදැමිය යුතුයැ”යි පැවසීය.
فَتَبَسَّمَ ضَاحِكًا مِّن قَوْلِهَا وَقَالَ رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَىٰ وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَدْخِلْنِي بِرَحْمَتِكَ فِي عِبَادِكَ الصَّالِحِينَ
එවිට උගේ ප්රකාශයෙන් ඔහු (පුදුම වී) මදහසකින් සිනාසී “මාගේ පරමාධිපතියාණනි, මා වෙත ද මාගේ දෙමාපියන් වෙත ද නුඹ පිරිනැමූ නුඹගේ භාග්යයන් සඳහා මම කෘතවේදී වීමට ද කවර ක්රියාවකින් නුඹ තෘප්තියට පත් වන්නේ ද එවැනි දැහැමි ක්රියාවක් කිරීමට ද මට ප්රඥාව ලබා දෙනු මැනව. තවද නුඹගේ දයාව හේතු කොට ගෙන නුඹගේ දැහැමි ගැත්තන් අතරෙහි නුඹ මා ඇතුළත් කරනු මැනව!” යැයි පැවසුවේය.
6මෙම සූරාවෙහි 16 වන ආයතයෙහි සඳහන් වී ඇති අයුරින් නබි සුලෙයිමාන් තුමාණන්ට සතුන්ගේ භාෂාව වටහා ගැනීමේ හැකියාව ඔහු ලද ප්රාතිහාර්යයකි. මෙතුමා ගමන් කරමින් සිටි මාවත කුහුඹුවන්ගෙන් පිරී තිබුණි. එහිදී එක් කුහුඹුවෙකු අනෙක් කුහුඹුවන්ට අවවාද කරනු ඇසූ නබි සුලෙයිමාන් තුමාණන්ට අල්ලාහ් තමන්ට කර ඇති දායාදයන් මතක් වී ඒ සඳහා අල්ලාහ්ට ඔහු ස්තුති පුද කළේය.
وَتَفَقَّدَ الطَّيْرَ فَقَالَ مَا لِيَ لَا أَرَى الْهُدْهُدَ أَمْ كَانَ مِنَ الْغَائِبِينَ
ඔහු පක්ෂීන්ව සෝදිසි කළේය. (හුද්හුද් පක්ෂියා එහි නොවීය.) එවිට “හුද්හුද්ව මා නොදකිනුයේ මන්ද? නැතහොත් ඌ නොපැමිණියවුන් අතුරින් වී දැ”යි ඔහු විමසුවේය.
7එනම් එක්තරා පක්ෂී විශේෂයකි.
لَأُعَذِّبَنَّهُ عَذَابًا شَدِيدًا أَوْ لَأَذْبَحَنَّهُ أَوْ لَيَأْتِيَنِّي بِسُلْطَانٍ مُّبِينٍ
“සැබැවින්ම මම ඌට දැඩි දඬුවමකින් දඬුවම් කරන්නෙමි. එසේ නොමැති නම් සැබැවින්ම මා ඌව කපා දමන්නෙමි. එසේ නොමැති(ව නිදොස් වීමට) නම් ඌ මා වෙත පැහැදිලි සාධකයක් ගෙන ආ යුතුමය” (යැයි ඔහු පැවසුවේය.)
فَمَكَثَ غَيْرَ بَعِيدٍ فَقَالَ أَحَطتُ بِمَا لَمْ تُحِطْ بِهِ وَجِئْتُكَ مِن سَبَإٍ بِنَبَإٍ يَقِينٍ
(පසුව) ඌ (නුදුරින් පැමිණ) මඳ වේලාවක් රැඳී සිටියේය. පසුව “නුඹ(ගේ ඥානයෙන්) පරිග්රහණය නොකළ දෙයක් මම පරිග්රහණය කළෙමි. සබඃ (නගරයේ) සිට නිසැක පණිවිඩයක් නුඹ වෙත මම ගෙන ආවෙමි.” යැයි ඌ පැවසුවේය.
8සබඃ වැසියන් පිළිබඳව අල් කුර්ආන් 34:15 හි පාද සටහනෙහි සඳහන් වී ඇත. එහි රැජිනගේ නම ‘බිල්කීස්’ වේ. නබි සුලෙයිමාන් තුමාණන්ට මෙම සබඃ නම් නගරය නොදැන සිටියා නොවේ. නමුත් මෙහි ‘හුද්හුද්’ නම් පක්ෂියා ගෙන ආ පණිවිඩය නම් එහි සිටී වැසියන් පිළිබඳවය.
إِنِّي وَجَدتُّ امْرَأَةً تَمْلِكُهُمْ وَأُوتِيَتْ مِن كُلِّ شَيْءٍ وَلَهَا عَرْشٌ عَظِيمٌ
(“එම පුවත කුමක් දැ?”යි හුද්හුද්ගෙන් සුලෙයිමාන් විමසූ විට) “සැබැවින්ම මම (සබඃ වැසියන් වන) ඔවුන්ව පාලනය කරන්නා වූ ස්ත්රීයක් දුටුවෙමි. ඇයට සියලු දැයින්ම පිරිනමනු ලැබී ඇත. ඇයට විශාල රාජාසනයක් ද ඇත.
وَجَدتُّهَا وَقَوْمَهَا يَسْجُدُونَ لِلشَّمْسِ مِن دُونِ اللَّهِ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِيلِ فَهُمْ لَا يَهْتَدُونَ
ඇය හා ඇයගේ පිරිස අල්ලාහ් හැර හිරුට නමදිනු මම දුටුවෙමි. තවද ෂෙයිතාන් ඔවුනට ඔවුන්ගේ (නිෂ්ඵල) ක්රියාවන් අලංකාර කර පෙන්වා ඇත. (නිවැරදි) මාර්ගයෙන් ඔවුන්ව ඔහු වළක්වා ඇත. එබැවින් ඔවුන් යහමග නොලබන්නෝය.
أَلَّا يَسْجُدُوا لِلَّهِ الَّذِي يُخْرِجُ الْخَبْءَ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَيَعْلَمُ مَا تُخْفُونَ وَمَا تُعْلِنُونَ
(එනම්) අහස්හි හා මිහිතලයේ සැඟවී ඇති දෑ පිට කරන්නා වූ ද නුඹලා සඟවන දෑ හා නුඹලා හෙළිදරව් කරන දෑ (මැනවින්) දන්නා වූ ද අල්ලාහ්ට ඔවුන් සුජූද් නොකරන්නෝය” (යැයි ඌ පැවසුවේය).
9මෙහි අහස්හි සැඟවී ඇති දෑ යනු වර්ෂාවක් නොමැතිව තිබෙන අවස්ථාවේ වර්ෂාව ඇති වීම ද මහපොළොවේ සැඟවී ඇති දෑ යනු වියළි පොළොවෙහි කිසිවක් නොතිබූ තත්ත්වයේ හට ගැනෙන්නා වූ ගහකොළ පැළෑටි ආදියයි.
اللَّهُ لَا إِلَـٰهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ ۩
අල්ලාහ්, ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නැත. (ඔහු) මහත් වූ අර්ෂ්හි පරමාධිපතිය.
10මෙය සුජූද් කළ යුතු ආයතයකි. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:206 හි පාද සටහන බලන්න.
قَالَ سَنَنظُرُ أَصَدَقْتَ أَمْ كُنتَ مِنَ الْكَاذِبِينَ
(එවිට) ඔහු(සුලෙයිමාන් හුද්හුද්ට මෙසේ) පැවසුවේය. “නුඹ සත්යය පැවසුවේ ද නැතහොත් නුඹ අසත්යය පවසන්නන් අතුරින් දැ’යි අපි මතු (නිරීක්ෂා කර) බලන්නෙමු.
اذْهَب بِّكِتَابِي هَـٰذَا فَأَلْقِهْ إِلَيْهِمْ ثُمَّ تَوَلَّ عَنْهُمْ فَانظُرْ مَاذَا يَرْجِعُونَ
මාගේ මෙම ලිපිය රැගෙන ගොස් ඔවුන් වෙත එය දමවු. පසුව ඔවුන් වෙතින් හැරී ඔවුන් කුමන ප්රතිචාරයක් දක්වන්නේ දැයි (නිරීක්ෂා කර) බලවු."
قَالَتْ يَا أَيُّهَا الْمَلَأُ إِنِّي أُلْقِيَ إِلَيَّ كِتَابٌ كَرِيمٌ
(හුද්හුද්ගේ ලිපිය ලැබූ සැණින් ඇය තම අමාත්යවරුන් අමතා) “ප්රධානියනි, මා වෙත උතුම් ලිපියක් හෙළනු ලැබීය” යැයි ඇය පැවසුවාය.
إِنَّهُ مِن سُلَيْمَانَ وَإِنَّهُ بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
“සැබැවින්ම එය සුලෙයිමාන්ගෙන්ය. සැබැවින්ම එ(ම ලිපි)ය ‘සැමට කරුණාභරිත පරම කරුණාභරිත අල්ලාහ්ගේ නාමයෙනි...
أَلَّا تَعْلُوا عَلَيَّ وَأْتُونِي مُسْلِمِينَ
තවද නුඹලා මා ඉක්මවා නොයවු. තවද අවනතවන්නන් ලෙස මා වෙත පැමිණෙවු’. (යැයි සඳහන්ව තිබුණි.)”
قَالَتْ يَا أَيُّهَا الْمَلَأُ أَفْتُونِي فِي أَمْرِي مَا كُنتُ قَاطِعَةً أَمْرًا حَتَّىٰ تَشْهَدُونِ
“ප්රධානියනි, මාගේ විෂයෙහි මා වෙත තීරණය ලබා දෙවු. නුඹලා (අදහස් ප්රකාශ කිරීමට) පෙනී සිටින තෙක් කිසිදු කරුණක් මා තීරණය කරන්නෙකු නොවෙමි.” යැයි ඇය කීවාය.
قَالُوا نَحْنُ أُولُو قُوَّةٍ وَأُولُو بَأْسٍ شَدِيدٍ وَالْأَمْرُ إِلَيْكِ فَانظُرِي مَاذَا تَأْمُرِينَ
“අපි බලයෙන් යුක්ත ද දැඩි සටන්කාමීන් ද වෙමු. එම කරුණ (තීරණය ගැනීමේ අයිතිය) ඔබ සතුය. එබැවින් ඔබ කුමක් අණ කර(න්නට තීරණය කර)න්නේ දැයි ඔබ නිරීක්ෂා කර බලවු.” යැයි ඔවුහු කීවෝය.
قَالَتْ إِنَّ الْمُلُوكَ إِذَا دَخَلُوا قَرْيَةً أَفْسَدُوهَا وَجَعَلُوا أَعِزَّةَ أَهْلِهَا أَذِلَّةً ۖ وَكَذَٰلِكَ يَفْعَلُونَ
“සැබැවින්ම රජවරුන් ගමකට ඇතුළු වූ විට එය විනාශ කරති. එහි වැසියන්ගෙන් ගෞරවනීය අය අවමන් අය බවට පත් කරති. එලෙසම ඔවුන් (අපට ද) කරන්නෝය.” යැයි ඇය පැවසුවාය.
وَإِنِّي مُرْسِلَةٌ إِلَيْهِم بِهَدِيَّةٍ فَنَاظِرَةٌ بِمَ يَرْجِعُ الْمُرْسَلُونَ
“තවද සැබැවින්ම මම ත්යාගයක් ඔවුන් වෙත යවන්නෙමි. පසුව (මාගේ රාජ්ය) දූතයින් නැවත ගෙන එන්නේ කුම(න ප්රතිචාරය)ක් දැයි අපේක්ෂාවෙන් සිටින්නෙමි.” (යැයි ද කීවාය.)
فَلَمَّا جَاءَ سُلَيْمَانَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٍ فَمَا آتَانِيَ اللَّهُ خَيْرٌ مِّمَّا آتَاكُم بَلْ أَنتُم بِهَدِيَّتِكُمْ تَفْرَحُونَ
සුලෙයිමාන් වෙත (දූත කණ්ඩායම) පැමිණි විට “නුඹලා ධනය මා වෙත දික් කරන්නෙහු ද? අල්ලාහ් නුඹලාට දායාද කළ දෑයට වඩා මට දායාද කළ දෑ ශ්රේෂ්ඨය. නමුත් නුඹලාගේ ත්යාගයෙන් ගර්වයට පත් වන්නෝ නුඹලාමය.” යැයි ඔහු කීවේය.
ارْجِعْ إِلَيْهِمْ فَلَنَأْتِيَنَّهُم بِجُنُودٍ لَّا قِبَلَ لَهُم بِهَا وَلَنُخْرِجَنَّهُم مِّنْهَا أَذِلَّةً وَهُمْ صَاغِرُونَ
“ඔවුන් වෙත නැවත හැරී යනු. ඔවුනට මුහුණ දිය නොහැකි සේනාවන් සමග අපි සැබැවින්ම ඔවුන් වෙත පැමිණෙන්නෙමු. ඔවුන් නීචයින් ලෙස අවමානයට පත් වූවන් වශයෙන් (සබඃ නගරය වන) එයින් අපි ඔවුන්ව බැහැර කරන්නෙමු.” (යැයි ද සුලෙයිමාන් කීවේය.)
قَالَ يَا أَيُّهَا الْمَلَأُ أَيُّكُمْ يَأْتِينِي بِعَرْشِهَا قَبْلَ أَن يَأْتُونِي مُسْلِمِينَ
(සුලෙයිමාන් තම අමාත්යවරුන් අමතා) “ප්රධානියනි, ඔවුන් මා වෙත අවනතවන්නන් ලෙස පැමිණීමට පෙර ඇයගේ රාජාසනය නුඹලාගෙන් කවරෙකු මා වෙත ගෙන එන්නේ දැ”යි ඔහු විමසුවේය.
11බිල්කීස් රැජින විසින් නබි සුලෙයිමාන් තුමාණන් වෙත යවනු ලැබූ දූතයා නැවත ඇය වෙත පැමිණ නබි සුලෙයිමාන් තුමාණන් පිළිබඳව දුටු හා ඇසූ සියලු දෑ ඇයට දැන්වුයේය. නබි සුලෙයිමාන් තුමාණන්ව මුණගැසීමට අදිටන් කළ බිල්කීස් රැජින තම නගරය අත හැර ඔහු වෙත පිටත් විය. මෙය දැන ගත් නබි සුලෙයිමාන් තුමාණන් ඇයට තවත් ප්රතිහාර්යයක් පෙන්වීම පිණිස ඇය මොවුන් වෙත පැමිණෙන්ට පෙර ඇයගේ රාජාසනය රැගෙන එන මෙන් ඔහු අණ කළේය.
قَالَ عِفْرِيتٌ مِّنَ الْجِنِّ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَن تَقُومَ مِن مَّقَامِكَ ۖ وَإِنِّي عَلَيْهِ لَقَوِيٌّ أَمِينٌ
“නුඹගේ ස්ථානයෙන් නුඹ නැගිටීමට පෙර එය නුඹ වෙත මම ගෙන එන්නෙමි. තවද සැබැවින්ම මම ඒ කෙරෙහි විශ්වාසවන්ත ශක්තිවන්තයෙක්මි.” යැයි ජින්වරුන් අතුරින් බලවතෙකු පැවසුවේය.
12එම අවස්ථාවේදි නබි සුලෙයිමාන් තම රාජ්ය සභාවෙහි අසුන්ගෙන සිටියේය. සාමාන්යයෙන් ඔහු එම ස්ථානයෙහි අඩ දිනක් පමණ ගත කිරීම ඔහුගේ දෛනික පුරුද්ද විය. එබැවින් එම ජින්වරයා එසේ පිළිතුරු දීමට ඉඩ ඇති බව විද්වතුන්ගේ මතයයි.
قَالَ الَّذِي عِندَهُ عِلْمٌ مِّنَ الْكِتَابِ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَن يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ ۚ فَلَمَّا رَآهُ مُسْتَقِرًّا عِندَهُ قَالَ هَـٰذَا مِن فَضْلِ رَبِّي لِيَبْلُوَنِي أَأَشْكُرُ أَمْ أَكْفُرُ ۖ وَمَن شَكَرَ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ ۖ وَمَن كَفَرَ فَإِنَّ رَبِّي غَنِيٌّ كَرِيمٌ
“නුඹගේ බැල්ම නුඹ වෙත හෙළීමට පෙර මා එය නුඹ වෙත ගෙන එන්නෙමි.” යැයි පුස්තකයෙහි දැනුමැති අයෙකු පැවසුවේය. එසැණින් තමන් ඉදිරියේ එය තිබෙනු දුටු ඔහු(සුලෙයිමාන්) “මෙය මාගේ පරමාධිපතිගේ වරප්රසාදයෙනි. (එය) මා කෘතවේදී වන්නේ ද නැතහොත් අකෘතවේදී වන්නේ දැ’යි පරීක්ෂා කරනු පිණිස (අල්ලාහ් ප්රදානය කළේය). තවද කවරෙකු කෘතඥ වන්නේ ද ඔහු කෘතඥ වන්නේ තමන්ටමය. තවද කවරෙකු අකෘතවේදී වන්නේ ද එවිට (දැන ගනු). සැබැවින්ම මාගේ පරමාධිපති අවශ්යතාවන්ගෙන් තොරය ගෞරවනීයය.” යැයි ඔහු පැවසුවේය.
13“නුඹගේ බැල්ම නුඹ වෙත හෙළීමට පෙර” යනු ඔහු එක් ස්ථානයක් බලමින් සිට එක වරම තවත් ස්ථානයක් වෙත හදිසි බැල්මක් හෙළන කාලය තුළය.
14මෙම පුද්ගලයා කවුරුන් දැ’යි අල් කුර්ආන්හි සඳහන් වී නැත. මෙවන් ශක්තියක් අල්ලාහ් විසින් දෙනු ලැබූ නබි සුලෙයිමාන් තුමාණන්ගේ යහපත් අනුගාමිකයෙකු විය හැකිය. මොහු ‘ආසිෆ් බින් බර්කියා’ නම් නබි සුලෙයිමාන් තුමාණන්ගේ සිල්වත් අනුගාමිකයෙකු යැයි ඇතැම් වාර්තා වල සඳහන් වී ඇත.
قَالَ نَكِّرُوا لَهَا عَرْشَهَا نَنظُرْ أَتَهْتَدِي أَمْ تَكُونُ مِنَ الَّذِينَ لَا يَهْتَدُونَ
“ඇයට ඇයගේ රාජාසනය (හඳුනා ගත නොහැකි අයුරින්) වෙනස් කරවු. ඇය (එය) හඳුනා ගන්නේ ද එසේ නැතහොත් නොහඳුනන්නන් අතුරින් වන්නේ දැයි අපි (නිරීක්ෂා කර) බලමු.” යැයි ඔහු පැවසුවේය.
فَلَمَّا جَاءَتْ قِيلَ أَهَـٰكَذَا عَرْشُكِ ۖ قَالَتْ كَأَنَّهُ هُوَ ۚ وَأُوتِينَا الْعِلْمَ مِن قَبْلِهَا وَكُنَّا مُسْلِمِينَ
ඇය පැමිණි කල්හි “ඔබගේ රාජාසනයත් මෙවැන්නක් දැ?”යි අසන ලදී. “මෙය එය මෙන්මය. එ(ම ප්රාතිහාර්ය)යට පෙරම අපට ඥානය දෙනු ලැබීය. තවද අපි (නුඹට) අවනතවන්නන් වූයෙමු.” යැයි ඇය පැවසුවාය.
15‘එ(ම ප්රාතිහාර්ය)යට පෙරම අපට ඥානය දෙනු ලැබීය’ යනුවෙන් පැවසීමෙන් ඇය අදහස් කරන්නේ නබි සුලෙයිමාන් තුමාණන් සත්යය නබිවරයකු යන්න වටහා ගැනීමට ප්රමාණවත් සාධක මෙයට පෙරම ඇය දුටු බවය.
وَصَدَّهَا مَا كَانَت تَّعْبُدُ مِن دُونِ اللَّهِ ۖ إِنَّهَا كَانَتْ مِن قَوْمٍ كَافِرِينَ
තවද අල්ලාහ් හැර ඇය නමදිමින් සිටි දැය ඇයව (අල්ලාහ්ව නැමදුම් කිරීමෙන්) වළකාලීය. සැබැවින්ම ඇය ප්රතික්ෂේප කළ පිරිසක් අතුරින් සිටියාය.
قِيلَ لَهَا ادْخُلِي الصَّرْحَ ۖ فَلَمَّا رَأَتْهُ حَسِبَتْهُ لُجَّةً وَكَشَفَتْ عَن سَاقَيْهَا ۚ قَالَ إِنَّهُ صَرْحٌ مُّمَرَّدٌ مِّن قَوَارِيرَ ۗ قَالَتْ رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي وَأَسْلَمْتُ مَعَ سُلَيْمَانَ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
“මාලිගයට පිවිසෙවු” යැයි ඇයට පවසන ලදී. එ(ම මාලිග)ය දුටු කල්හි එය ජල තටාකයක් යැයි ඇය සිතා තම (වස්ත්රය ද ඔසවා) කෙණ්ඩය විවෘත කළාය. “සැබැවින්ම මෙය (ජල තටාකයක් මෙන් වූ) පළිඟු වලින් අල්ලන ලද මාලිගයකි.” යැයි ඔහු (ඇයට) පැවසුවේය. (පසුව ඔහු ඇයට ඉස්ලාමය පිළිබඳව පැහැදිලි කළ අවස්ථාවේ) “මාගේ පරමාධිපතියාණනි, මා මා කෙරෙහිම අපරාධ කර ගත්තෙමි. සුලෙයිමාන් සමග මම ද සමස්ත විශ්වයන්හි පරාමාධිපති වූ අල්ලාහ්ට අවනත වූයෙමි.” යැයි ඇය පැවසුවාය.
وَلَقَدْ أَرْسَلْنَا إِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَالِحًا أَنِ اعْبُدُوا اللَّهَ فَإِذَا هُمْ فَرِيقَانِ يَخْتَصِمُونَ
“අල්ලාහ්ට (පමණක්) නැමදුම් කරවු” යැයි (පවසා) සමූද්වරුන් වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ්ව අපි එව්වෙමු. එවිට ඔවුහු දෙපිරිසක් වශයෙන් වාද කරමින් සිටියෝය.
قَالَ يَا قَوْمِ لِمَ تَسْتَعْجِلُونَ بِالسَّيِّئَةِ قَبْلَ الْحَسَنَةِ ۖ لَوْلَا تَسْتَغْفِرُونَ اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ
මාගේ ජනයිනි, නුඹලා යහපතට(ක්ෂමාවට) පෙර අයහපත(දඬුවම) ඉක්මන් කරන මෙන් පතනුයේ මන් ද? නුඹලා දයාව ලබනු පිණිස අල්ලාහ්ගෙන් පාප ක්ෂමාව අයැදිය යුතු නොවේ ද” යැයි ඔහු පැවසුවේය.
قَالُوا اطَّيَّرْنَا بِكَ وَبِمَن مَّعَكَ ۚ قَالَ طَائِرُكُمْ عِندَ اللَّهِ ۖ بَلْ أَنتُمْ قَوْمٌ تُفْتَنُونَ
“නුඹ හා නුඹ සමග වූවන් අපි අසුබයක් ලෙස සලකන්නෙමු.” යැයි ඔවුහු පැවසූහ. (නැත) “නුඹලාගේ අසුබය අල්ලාහ් අබියසින්ය. නමුත් නුඹලා (සුබ හා අසුබ දැයින්) පිරික්සුමට ලක් කරනු ලබන පිරිසකි” ඔහු (සාලිහ්) පැවසූවේය.
وَكَانَ فِي الْمَدِينَةِ تِسْعَةُ رَهْطٍ يُفْسِدُونَ فِي الْأَرْضِ وَلَا يُصْلِحُونَ
මිහිතලයේ කලහකම් කරන යහකම් නොකරන නව දෙනෙකු එම නගරයේ විසූහ.
16එම නව දෙනා නම් එහි වාසය කළ ප්රභූවරුන්ගේ පුතුන් පිරිසකි.
قَالُوا تَقَاسَمُوا بِاللَّهِ لَنُبَيِّتَنَّهُ وَأَهْلَهُ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِ مَا شَهِدْنَا مَهْلِكَ أَهْلِهِ وَإِنَّا لَصَادِقُونَ
“ඔහු(සාලිහ්) හා ඔහුගේ පවුල අපි රාත්රියෙහි මරා දමමු. යනුවෙන් ද පසුව “අපි ඔහුගේ පවුල විනාශයට පත් වීම අපි නොදුටුවෙමු. තවද සැබැවින්ම අපි සත්යවාදීන් වන්නෙමු.” යැයි ඔහුගේ භාරකරු වෙත පවසමු. යනුවෙන් ද අල්ලාහ් මත එකිනෙකා දිවුරා ගනිමු.” යැයි ඔවුහු පැවසුවෝය.
وَمَكَرُوا مَكْرًا وَمَكَرْنَا مَكْرًا وَهُمْ لَا يَشْعُرُونَ
ඔවුහු (මෙසේ මහා) කූට උපායක් කුමන්ත්රණ කළෝය. ඔවුන් නොදැන සිටිය දී අපි ද සැලසුමක් සැලසුම් කළෙමු.
17නබි සාලිහ් තුමාට ප්රාතිහාර්යයක් ලෙස ලබා දුන් ඔටුදෙන ඝාතනයට ලක් කිරීමෙන් පසුව මෙම නව දෙනා නබි සාලිහ් තුමාණන්ව ද ඝාතනය කිරීමට කුමන්ත්රණ කළෝය. නමුත් මොවුන් තම කුමන්ත්රණය ක්රියාත්මක කිරීමට පෙරම අල්ලාහ් මොවුන්ව විනාශ කර දැම්මේය. ඇතැම් අල් කුර්ආන් විග්රාහයකයින්ට අනුව මොවුන් විනාශයට ලක් වූයේ තමන් මත වැටුණු එක් විශාල ගලකට යට වීමෙන් යැයි ද තවත් විග්රාහයකයින්ට අනුව මොවුන් විනාශයට ලක් වූයේ මුළු සමූහයටම පැමිණි පොදු දඬුවමෙන් යැයි ද විවිධ මත ඇත.