اقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِي غَفْلَةٍ مُّعْرِضُونَ
(ප්රතික්ෂේපක) ජනයා වෙත තමන්ගේ විනිශ්චය සමීප විය. (එහෙත්) ඔවුහු පිටුපාමින් අනවධානයෙහි පසු වෙති.
مَا يَأْتِيهِم مِّن ذِكْرٍ مِّن رَّبِّهِم مُّحْدَثٍ إِلَّا اسْتَمَعُوهُ وَهُمْ يَلْعَبُونَ
ඔවුන්ගේ පරමාධිපතිගෙන් නව උපදේශයක් ඔවුන් වෙත නොපැමිණියහ. (නමුත්) ඔවුන් කෙළිලොල් කරමින් එයට සවන් දුන්නා මිස.
لَاهِيَةً قُلُوبُهُمْ ۗ وَأَسَرُّوا النَّجْوَى الَّذِينَ ظَلَمُوا هَلْ هَـٰذَا إِلَّا بَشَرٌ مِّثْلُكُمْ ۖ أَفَتَأْتُونَ السِّحْرَ وَأَنتُمْ تُبْصِرُونَ
ඔවුන්ගේ හදවත් අනවධානයෙන්ය. “මොහු(මුහම්මද්) නුඹලා මෙන් මිනිසෙකු මිස නොවේ ද? (ඔහු හූනියම්කරුවෙකු බව) නුඹලා දකිමින් සිටිය දීම හූනියම වෙත නුඹලා පැමිණෙන්නෙහු ද?” යැයි අපරාධ කළවුන් වන ඔවුහු එම රහස් සාකච්ඡාව සඟවා තබා ගත්තෝය.
1මෙහි හූනියම වෙත පැමිණීම යනු නබි මුහම්මද් තුමාණන් දෙසූ දෑ හූනියමක් යැයි සැලකූ අපරාධකරුවන් ජනයා දෙස බලා නුඹලා හූනියම්කරුගේ හූනියම පිළිපදින්නෙහු දැ?යි එකිනෙකා අතර රහසින් විමසා ගත්තෝය.
قَالَ رَبِّي يَعْلَمُ الْقَوْلَ فِي السَّمَاءِ وَالْأَرْضِ ۖ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
“මාගේ පරමාධිපති අහසෙහි හා මිහිතලයෙහි (සියලු)වදන් මැනවින් දන්නේය. තවද ඔහු සර්ව ශ්රාවකය සර්වඥය.” යැයි ඔහු පැවසුවේය.
بَلْ قَالُوا أَضْغَاثُ أَحْلَامٍ بَلِ افْتَرَاهُ بَلْ هُوَ شَاعِرٌ فَلْيَأْتِنَا بِآيَةٍ كَمَا أُرْسِلَ الْأَوَّلُونَ
නමුත් “(මේවා) ව්යාකූල සිහිනයන්ය. නැත. මෙය ඔහු ගෙතුවේය. නැත. ඔහු කවියෙකි. එසේ නම් පැරැන්නන්ට එවනු ලැබුවාක් මෙන් සාධකයක් ඔහු අප වෙත ද ගෙනෙත්වා!” යැයි ඔවුහු පැවසුවෝය.
مَا آمَنَتْ قَبْلَهُم مِّن قَرْيَةٍ أَهْلَكْنَاهَا ۖ أَفَهُمْ يُؤْمِنُونَ
ඔවුනට පෙර අපි විනාශ කළ කිසිදු ග්රාමයක් (අපගේ සාධක) විශ්වාස නොකළෝය. එසේ නම් මොවුන් විශ්වාස කරනු ඇත් ද?-
وَمَا أَرْسَلْنَا قَبْلَكَ إِلَّا رِجَالًا نُّوحِي إِلَيْهِمْ ۖ فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَ
තවද අපි වහී(දේව පණිවිඩය) පහළ කළා වූ පිරිමින් මිස (අන් කිසිවෙකු) නුඹට පෙර (රසූල්වරයෙකු ලෙස) නොඑව්වෙමු. (ඒ පිළිබඳව) නුඹලා නොදැන සිටියෙහු නම් දැනුම ඇත්තන්ගෙන් විමසවු.
2මෙම ආයතයෙහි “දැනුම ඇත්තන්” යනුවෙන් අදහස් කරනුයේ ධර්ම පුස්තකයන් පිරිනමනු ලැබූ යුදෙව් හා කිතුනුවන් පිළිබඳවය. අල්ලාහ් දේව ග්රන්ථ පහළ කළා යන විශ්වාසය මක්කාවාසී ප්රතික්ෂේපකයින් ප්රතික්ෂේප කළෝය. මෙම ආයතයෙන් “නුඹලා එසේ සැකයෙන් ප්රතික්ෂේප කරන්නේ නම් යුදෙව් හා කිතුනුවන්ගෙන් විමසනු” යැයි පවසා ඇත.
وَمَا جَعَلْنَاهُمْ جَسَدًا لَّا يَأْكُلُونَ الطَّعَامَ وَمَا كَانُوا خَالِدِينَ
තවද ආහාර අනුභව නොකරන ශරීර බවට අපි ඔවුන්ව පත් නොකළෙමු. ඔවුහු (ලොවෙහි) සදාතනිකයින් ද නොවූහ.
ثُمَّ صَدَقْنَاهُمُ الْوَعْدَ فَأَنجَيْنَاهُمْ وَمَن نَّشَاءُ وَأَهْلَكْنَا الْمُسْرِفِينَ
පසුව අපි (ප්රතික්ෂේපකයින් පිළිබඳව) ඔවුනට (දුන් විනාශයේ) ප්රතිඥාව සැබෑ කරවා පසුව ඔවුන්ව(නබිවරුන්ව) ද අප අභිමත කළවුන්ව ද මුදවා ගතිමු. තවද අපි සීමාව ඉක්මවා ගියවුන්ව විනාශ කළෙමු.
3මෙම ආයතය පහළ වූයේ ‘මෙම නබිවරයා ආහාර අනුභව කරන්නේය. තවද කඩවීදීන්හි සැරිසරන්නේය’ යැයි ප්රතික්ෂේපකයින් අඩු පාඩු පැවසූ කල්හිය.
لَقَدْ أَنزَلْنَا إِلَيْكُمْ كِتَابًا فِيهِ ذِكْرُكُمْ ۖ أَفَلَا تَعْقِلُونَ
සැබැවින්ම අපි නුඹලා වෙත නුඹලාගේ (පැසසුම අඩංගු) උපදෙස ඇතුළු ධර්ම පුස්තකයක්(අල් කුර්ආනය) පහළ කළෙමු. (ඒ පිළිබඳව) නුඹලා අවබෝධ කර නොගන්නෙහු ද?
وَكَمْ قَصَمْنَا مِن قَرْيَةٍ كَانَتْ ظَالِمَةً وَأَنشَأْنَا بَعْدَهَا قَوْمًا آخَرِينَ
තවද අපරාධ කරමින් සිටි ගම්මානයන් කොපමණක් අපි විනාශ කළෙමු ද? ඉන් පසුව අපි වෙනත් පිරිසක් (එහි) බිහි කළෙමු.
فَلَمَّا أَحَسُّوا بَأْسَنَا إِذَا هُم مِّنْهَا يَرْكُضُونَ
අපගේ දඬුවම පිළිබඳව ඔවුන්ට හැඟුණු කල්හි ඔවුහු එයින් පලා යන්නෝය.
لَا تَرْكُضُوا وَارْجِعُوا إِلَىٰ مَا أُتْرِفْتُمْ فِيهِ وَمَسَاكِنِكُمْ لَعَلَّكُمْ تُسْأَلُونَ
“නුඹලා පලා නොයවු. නුඹලාට සුඛෝපභෝගිත්වය පිරිනමනු ලැබූ දෑ වෙතත්, තවද නුඹලාගේ වාසස්ථාන වෙතත් නුඹලා විමසනු ලබනු පිණිස නුඹලා නැවත හැරී යනු.” (යැයි ඔවුනට සමච්චලයට මෙන් පවසනු ලැබේ.)-
4එනම් නුඹලා තම සුඛෝපභෝගිත්වය භුක්ති විඳිමින් සිටිය දී තම සේවකයින් නුඹලාට ආවතේව කිරීමට විමසමින් සිටියෝය. එබැවින් අල්ලාහ්ගේ දඬුවම පැමිණි කල නුඹලා ඉන් ඉවත් වී පලා නොයා නුඹලා සුපුරුදු පරිදි කාලය ගත කරවු. එවිට නුඹලාගේ සේවකයින් පුරුදු පරිදි නුඹලාට ආවතේව කිරීමට විමසනු ඇත යැයි මෙහි අල්ලාහ් සමච්චලයට මෙන් පවසා ඇත.
قَالُوا يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَ
“අහෝ අපගේ විනාශය! සැබැවින්ම අපි අපරාධකරුවන්ව සිටියෙමු.” යැයි (ප්රතික්ෂේපක) ඔවුහු (මොර දෙමින්) පැවසුවෝය.
فَمَا زَالَت تِّلْكَ دَعْوَاهُمْ حَتَّىٰ جَعَلْنَاهُمْ حَصِيدًا خَامِدِينَ
නෙළනු ලැබූ අස්වැන්නක් මෙන් පිලිස්සී ගිය( මළ)වුන් බවට ඔවුන්ව අපි පත් කරන තෙක් එය ඔවුන්ගේ මොර දීමක් ලෙස පැවතීය.
وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ
අහස ද මිහිතලය ද ඒ දෙක අතර ඇති දෑ ද අපි කෙළිලොල් කරන්නන් ලෙස නොමැව්වෙමු.
لَوْ أَرَدْنَا أَن نَّتَّخِذَ لَهْوًا لَّاتَّخَذْنَاهُ مِن لَّدُنَّا إِن كُنَّا فَاعِلِينَ
අපි පුහු විනෝදයක් ලබන්නට අපේක්ෂා කළේ නම් එය අප අබියසින්ම ගෙන ඇත්තෙමු. (නමුත්) අපි (එසේ) කරන්නන් නොවූයෙමු.
بَلْ نَقْذِفُ بِالْحَقِّ عَلَى الْبَاطِلِ فَيَدْمَغُهُ فَإِذَا هُوَ زَاهِقٌ ۚ وَلَكُمُ الْوَيْلُ مِمَّا تَصِفُونَ
එසේ නොව අපි සත්යය අසත්යය මත හෙළන්නෙමු. තවද එ(ම අසත්ය)ය විනාශ කර දමන්නේය. එවිට එ(ම අසත්ය)ය පහ වී යන්නකි. (ප්රතික්ෂේපකයිනි, අල්ලාහ්ට) නුඹලා වර්ණනා කරන (මිථ්යා) දෑ හේතුවෙන් නුඹලාට විනාශයයි.
وَلَهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَمَنْ عِندَهُ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِ وَلَا يَسْتَحْسِرُونَ
අහස්හි හා මිහිතලයේ සිටින්නන් ඔහු සතුය. ඔහු අබියස සිටිනවුන් ඔහුට නැමදුම් කිරීමට අහංකාර නොවන්නෝය. තවද උදාසීන ද නොවන්නෝය.
يُسَبِّحُونَ اللَّيْلَ وَالنَّهَارَ لَا يَفْتُرُونَ
ඔවුහු රාත්රියෙහි හා දහවලෙහි (අල්ලාහ්ව) පිවිතුරු කරන්නෝය. ඔවුහු වෙහෙසට පත් නොවන්නෝය.
أَمِ اتَّخَذُوا آلِهَةً مِّنَ الْأَرْضِ هُمْ يُنشِرُونَ
නැතහොත් මොවුන් මිහිතලයෙන් දෙවියන් ගත්තෝ ද? ඔවුහු (මළවුන්) නැගිටවන්නෝ ද?
لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا ۚ فَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ
(අහස් හා මිහිතලය යන) ඒ දෙකෙහි අල්ලාහ් හැර වෙනත් දෙවියන් වෙත්නම් ඒ දෙකම අක්රමික වනු ඇත. එබැවින්ම අර්ෂ්හි පරමාධිපති වන අල්ලාහ් ඔවුන් වර්ණනා කරන (මිථ්යා) දැයින් පිවිතුරුය.
5මෙය බහු දේවවාදීන්ගේ තර්කයකට පිළිතුරකි. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 17 : 42 හි පාද සටහන බලන්න.
لَا يُسْأَلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْأَلُونَ
ඔහු(අල්ලාහ්) කරන දෑ පිළිබඳව ප්රශ්න කරනු නොලබන්නේය. නමුත් ඔවුහු ප්රශ්න කරනු ලබන්නෝය.
أَمِ اتَّخَذُوا مِن دُونِهِ آلِهَةً ۖ قُلْ هَاتُوا بُرْهَانَكُمْ ۖ هَـٰذَا ذِكْرُ مَن مَّعِيَ وَذِكْرُ مَن قَبْلِي ۗ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ الْحَقَّ ۖ فَهُم مُّعْرِضُونَ
එසේ නැතහොත් ඔවුන් ඔහු හැර වෙනත් (අය) දෙවියන් (ලෙස පත් කර) ගත්තේ ද? (නබිවරය,) “නුඹලා නුඹලාගේ සාධක රැගෙන එවු. මෙය මා සමග වූවන්ගේ අනුශාසනය හා මට පෙර වූවන්ගේ අනුශාසනය” යැයි පවසවු. නමුත් ඔවුන්ගෙන් බහුතරය සත්යය නොදන්නෝය. එබැවින් ඔවුහු පිටුපාන්නන්ය.
6සැබෑවටම දෙවියෙකු සිටිනවා යැයි විශ්වාස කළ හැක්කේ දේව ග්රන්ථයක් මුල් කරගෙන පමණි. එනමුත් කිසිදු දේව ග්රන්ථයක අල්ලාහ් හැර දෙවියෙකු පිළිබඳව සඳහන් වී නොමැත යන්නෙන් මෙහි අදහස් වේ.
وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَـٰهَ إِلَّا أَنَا فَاعْبُدُونِ
“සැබැවින්ම මා හැර වෙනත් දෙවියෙකු නොමැත. එබැවින් නුඹලා මට (පමණක්) නැමදුම් කරවු” යැයි අපි වහී පහළ කොට මිස නුඹට පෙර කිසිදු රසූල්වරයෙකු අපි නොඑව්වෙමු.
وَقَالُوا اتَّخَذَ الرَّحْمَـٰنُ وَلَدًا ۗ سُبْحَانَهُ ۚ بَلْ عِبَادٌ مُّكْرَمُونَ
තවද “පරම කරුණාභරිතයාණන් දරුවෙකු (ලෙස මලක්වරුන්ව) ගත්තේය” යැයි ඔවුහු පවසා සිටියෝය. ඔහු පිවිතුරුය. එසේ නොව (මලක්වරුන්) ගෞරවයට පාත්ර වූ ගැත්තන්ය.
7මක්කාවාසී ප්රතික්ෂේපකයින් මලක්වරුන් අල්ලාහ්ගේ දරුවන් යැයි විශ්වාස කළෝය. නමුත් මෙම ආයතයෙන් එම විශ්වාසය අසත්යය යැයි අනාවරණය කර ඇත.
لَا يَسْبِقُونَهُ بِالْقَوْلِ وَهُم بِأَمْرِهِ يَعْمَلُونَ
වදනකින් වුව ද ඔවුහු ඔහුට(අල්ලාහ්ට) පෙරටු නොවන්නෝය. තවද ඔවුහු ඔහුගේ නියෝගය අනුවම ක්රියා කරන්නෝය.
يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يَشْفَعُونَ إِلَّا لِمَنِ ارْتَضَىٰ وَهُم مِّنْ خَشْيَتِهِ مُشْفِقُونَ
ඔවුන් අතර ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු මැනවින් දන්නේය. තවද ඔහු(අල්ලාහ්) තෘප්තිමත් වූ අයට හැර වෙන කිසිවෙකු වෙනුවෙන් ඔවුහු මැදිහත් නොවන්නෝය. තවද ඔවුහු ඔහුගේ බියෙන් තැතිගනිමින් පසුවෙති.
وَمَن يَقُلْ مِنْهُمْ إِنِّي إِلَـٰهٌ مِّن دُونِهِ فَذَٰلِكَ نَجْزِيهِ جَهَنَّمَ ۚ كَذَٰلِكَ نَجْزِي الظَّالِمِينَ
තවද “සැබැවින්ම ඔහු නොව මමය දෙවියන්” යැයි (මලක්වරුන්ව වන) ඔවුන් අතුරින් කවරෙකු පවසන්නේද එබැවින් ඔහුට අපි නිරය ප්රතිවිපාක වශයෙන් ලබා දෙන්නෙමු. එලෙසමය අපි අපරාධකරුවන්ට ප්රතිවිපාක දෙනුයේ.
أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا ۖ وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ ۖ أَفَلَا يُؤْمِنُونَ
අහස් හා මිහිතලය එකිනෙකට බැඳී තිබී පසුව අපි ඒ දෙක වෙන් කළ බව ද ප්රාණය ඇති සෑම දෙයක්ම අපි ජලයෙන් ඇති කළ බව ද ප්රතික්ෂේප කළවුන් නොදුටුවෝ ද? ඔවුහු විශ්වාස නොකරන්නෝ ද?
8“අහස් හා මිහිතලය එකිනෙකට බැඳී තිබී පසුව අපි ඒ දෙක වෙන් කළ බව” යන ආයතය වෙනත් ආකාරයකින් ද පරිවර්තනය කළ හැක. එනම් “අහස් හා මිහිතලය වැසී තිබුණි. පසුව අපි එම දෙක විවෘත කළෙමු” යනුවෙන්ය. එහි විවරණය නම් විශ්වය මැවූ ප්රාරම්භක අවදියෙහි අහසින් වර්ෂාව ඇති නොවූ අතර මිහිතලයෙන් කිසිදු ශාකයක් ද හට ගත්තේ නැත. පසුව අල්ලාහ් අහසින් වර්ෂාව ඇති වීමට ද මිහිතලයෙන් ශාක හට ගැනීමට ද විවෘත කළේය. නමුත් ඉහත මුල් පරිවර්තනයට අනුව මින් අදහස් කරන්නේ අහස් හා පොළොව එකිනෙකට බැඳී තිබූ එම අවස්ථාව පිළිබඳවය. පසුව අල්ලාහ් විසින් ඒ දෙක වෙන් කරන ලදී. තවද මෙයින් අදහස් වන්නේ “මහා පිපිරුම්වාදය” යන්න විශ්වාස කළ හැකිය යන්නය. මෑත කාලයේ දී හෙළිදරව් වූ මෙවන් සත්යයන් විද්යාවන් නොදියුණු කාල වකවානුවක අකුරු නුගත් අයෙකු විසින් මෙම සත්යය මෙලොවට හෙළි කර ඇත්තේ නම් එම අල් කුර්ආනය විශ්වයේ සැබෑ මැවුම්කරුගේ දේව ග්රන්ථයක් යන්න කෙසේ සැක මතු විය හැක්කේ ද?.
وَجَعَلْنَا فِي الْأَرْضِ رَوَاسِيَ أَن تَمِيدَ بِهِمْ وَجَعَلْنَا فِيهَا فِجَاجًا سُبُلًا لَّعَلَّهُمْ يَهْتَدُونَ
තවද මිහිතලය ඔවුන් සමග කම්පා නොවීමට අපි එහි ස්ථීරසාර දෑ(කඳු) ඇති කළෙමු. තවද ඔවුන් මඟ හඳුනා ගත හැකි පිණිස මං මාවත් ද පිහිටෙව්වෙමු.
وَجَعَلْنَا السَّمَاءَ سَقْفًا مَّحْفُوظًا ۖ وَهُمْ عَنْ آيَاتِهَا مُعْرِضُونَ
තවද අහස ආරක්ෂිත වියනක් බවට පත් කළෙමු. නමුත් ඔවුහු එහි සාධකයන් පිළිබඳව පිටුපාන්නන් වෙති.
وَهُوَ الَّذِي خَلَقَ اللَّيْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ
රාත්රිය හා දහවල ද හිරු හා සඳු ද මැව්වේ ඔහුමය. (ඒවා) සියල්ලක්ම (ඒවාට නියමිත) කක්ෂය තුළ පිහිනා යති.
وَمَا جَعَلْنَا لِبَشَرٍ مِّن قَبْلِكَ الْخُلْدَ ۖ أَفَإِن مِّتَّ فَهُمُ الْخَالِدُونَ
තවද නුඹට පෙර වූ කිසිදු මිනිසෙකුට අපි සදාතනිකත්වය අත් නොකළෙමු. (නබිවරය,) නුඹ මරණයට පත් වූයේ නම් (ප්රතික්ෂේපක) ඔවුන් සදාතනිකයෝ වන්නේ ද?
كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ۗ وَنَبْلُوكُم بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً ۖ وَإِلَيْنَا تُرْجَعُونَ
සෑම ආත්මයක්ම මරණය භුක්ති විදින්නකි. තවද විභාගයක් වශයෙන් යහපත හා අයහපත මගින් නුඹලාව අපි පිරික්සුමට ලක් කරන්නෙමු. තවද නුඹලා නැවත පැමිණෙන්නේ අප වෙතමය.
وَإِذَا رَآكَ الَّذِينَ كَفَرُوا إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَـٰذَا الَّذِي يَذْكُرُ آلِهَتَكُمْ وَهُم بِذِكْرِ الرَّحْمَـٰنِ هُمْ كَافِرُونَ
තවද (නබිවරය,) නුඹව ප්රතික්ෂේප කළවුන් දුටු විට “නුඹලාගේ දෙවියන් පිළිබඳව (අඩුපාඩු) පවසන්නා මොහු ද? යන්නෙන් (පවසා ගනිමින්) ඔවුහු නුඹව සමච්චලයට මිස නොගන්නෝය. මොවුන්මය පරම කරුණාභරිතයාණන්ව සිහිපත් කිරීම ප්රතික්ෂේප කළවුන් වන්නේ.
خُلِقَ الْإِنسَانُ مِنْ عَجَلٍ ۚ سَأُرِيكُمْ آيَاتِي فَلَا تَسْتَعْجِلُونِ
මිනිසා ඉක්මන් ගුණයෙන් යුතුව මවනු ලැබුවේය. මාගේ සාධකයන් මම නුඹලාට මතු පෙන්වා දෙමි. එබැවින් නුඹලා (දඬුවම) ඉක්මන් කරන මෙන් මා වෙතින් නොපතවු.
9ප්රතික්ෂේපකයින් අල්ලාහ්ගේ අවවාදයට ලක් වූ සෑම විටෙකම නබි මුහම්මද් තුමාණන්ගෙන් අපගේ දඬුවම තවමත් නාවේ මන්දැ?යි සමච්චලයට මෙන් අසන්නෝය. තවද දඬුවම් කිරීමට එතුමාණන්ට කිසිදු අයිතියක් නොමැති බව මෙම ආයතයෙන් පෙන්වා දෙයි.
وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ
(නබිවරය,) “නුඹලා සත්යවාදීන්ව සිටියෙහු නම් මෙම පොරොන්දුව කවදා (සිදු වන්නේ) දැ?”යි (පවසනු යන්නෙන් නුඹගෙන්) ඔවුහු විමසන්නෝය.
لَوْ يَعْلَمُ الَّذِينَ كَفَرُوا حِينَ لَا يَكُفُّونَ عَن وُجُوهِهِمُ النَّارَ وَلَا عَن ظُهُورِهِمْ وَلَا هُمْ يُنصَرُونَ
(නිරයේ) ගින්න තමන්ගේ මුහුණු වලින් ද තමන්ගේ පිට කොඳු වලින් ද වළක්වා ගත නොහැකි තවද තමන් උදව් කරනු නොලබන මොහොත ප්රතික්ෂේප කළවුන් දන්නේ නම් (ඔවුන් එසේ ප්රකාශ නොකරනු ඇත).
بَلْ تَأْتِيهِم بَغْتَةً فَتَبْهَتُهُمْ فَلَا يَسْتَطِيعُونَ رَدَّهَا وَلَا هُمْ يُنظَرُونَ
එසේ නොව එය(ලොව අවසන් මොහොත) ඔවුන් වෙත අනපේක්ෂිතව පැමිණ ඔවුන්ව තිගැස්සුමට ලක් කරවයි. එවිට එය වළක්වාලන්නට ඔවුහු ශක්තිය නොදරන්නෝය. තවද ඔවුහු අවකාශය ද දෙනු නොලබන්නෝය.
وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُوا مِنْهُم مَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
(නබිවරය,) සැබැවින්ම නුඹට පෙර ද රසූල්වරුන් (තම සමූහයා විසින්) සමච්චලයට ලක් කරනු ලැබීය. එබැවින් ඔවුන්ට(රසූල්වරුන්ට) සමච්චල් කළවුන්ව ඔවුන් සමච්චල් කරමින් සිටි දෑ (වන දඬුවම) වටලා ගත්තේය.
قُلْ مَن يَكْلَؤُكُم بِاللَّيْلِ وَالنَّهَارِ مِنَ الرَّحْمَـٰنِ ۗ بَلْ هُمْ عَن ذِكْرِ رَبِّهِم مُّعْرِضُونَ
(නබිවරය,) “රාත්රියෙහි ද දහවලෙහි ද කරුණාභරිතයාණන්ගෙන් (දඬුවම පහළ වූයේ නම් එයින්) නුඹලාව ආරක්ෂා කරනුයේ කවරෙකු දැ?”යි අසවු. නමුත් ඔවුන් තම පරමාධිපතිව මෙනෙහි කිරීමෙන් පිටුපාන්නන් වෙති.-
أَمْ لَهُمْ آلِهَةٌ تَمْنَعُهُم مِّن دُونِنَا ۚ لَا يَسْتَطِيعُونَ نَصْرَ أَنفُسِهِمْ وَلَا هُم مِّنَّا يُصْحَبُونَ
නැතහොත් ඔවුන්ව (දඬුවමින්) වළක්වාලන අප හැර ඔවුනට (වෙනත්) දෙවිවරුන් සිටී ද? ඔවුහු තමන්ටම උදව් කර ගැනීමට පවා ශක්තිය නොදරන්නෝය. තවද (ප්රතික්ෂේපක) ඔවුහු අපගෙන් (වූ දඬුවමින්) ආරක්ෂා කරනු නොලබන්නෝය.
بَلْ مَتَّعْنَا هَـٰؤُلَاءِ وَآبَاءَهُمْ حَتَّىٰ طَالَ عَلَيْهِمُ الْعُمُرُ ۗ أَفَلَا يَرَوْنَ أَنَّا نَأْتِي الْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَا ۚ أَفَهُمُ الْغَالِبُونَ
නමුත් ඔවුන්ටත් ඔවුන්ගේ මුතුන් මිත්තන්ටත් තමන් වෙත ආයු කාලය දීර්ඝ වන තුරු අපි භුක්ති විඳීමට සැලැස්සුවෙමු. අපි මිහිතලය එහි පැතිකඩ වලින් ඛාදනය කරමින් පැමිණෙන බව ඔවුහු නොදකින්නෝ ද? එසේනම් ඔවුන් (අපව) අබිබවා යන්නන් ද?
10වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 13:41 හි පාද සටහන බලන්න.
قُلْ إِنَّمَا أُنذِرُكُم بِالْوَحْيِ ۚ وَلَا يَسْمَعُ الصُّمُّ الدُّعَاءَ إِذَا مَا يُنذَرُونَ
(නබිවරය,) “මම නුඹලාට අවවාද කරනුයේ වහී (දේව පණිවිඩය) මගිනි” යැයි පවසවු. එහෙත් බිහිරන් අවවාද කරනු ලබන විට (එම) කැඳවුමට සවන් නොදෙන්නෝය.
وَلَئِن مَّسَّتْهُمْ نَفْحَةٌ مِّنْ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَ
තවද නුඹගේ පරමාධිපතිගේ දඬුවමින් ස්වල්පයක් හෝ ඔවුනට ස්පර්ශ වූයේ නම් “අහෝ අපගේ විනාශය! අපි අපරාධකාරයින්ව සිටියෙමු” යැයි සැබැවින්ම ඔවුන් පවසනු ඇත.
وَنَضَعُ الْمَوَازِينَ الْقِسْطَ لِيَوْمِ الْقِيَامَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْئًا ۖ وَإِن كَانَ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا ۗ وَكَفَىٰ بِنَا حَاسِبِينَ
(මළවුන්) නැගිටුවනු ලබන දින අපි සාධාරණීය තුලාවන් (මගින් විනිශ්චය) තබන්නෙමු. එබැවින් කිසිදු ආත්මයක් මඳක් හෝ අපරාධයකට ලක් කරනු නොලැබේ. එය අබ ඇටයක තරම් වුව ද අපි එය ගෙන එන්නෙමු. ගණනය කරන්නන් වශයෙන් අප ප්රමාණවත්ය.
وَلَقَدْ آتَيْنَا مُوسَىٰ وَهَارُونَ الْفُرْقَانَ وَضِيَاءً وَذِكْرًا لِّلْمُتَّقِينَ
සැබැවින්ම අපි මූසාට හා හාරූන්ට (හොඳ නරක වෙන් කර දක්වන) නිර්ණායකය ද ආලෝකයක් ද බිය භක්තිකයින් සඳහා උපදේශයක් ද පිරිනැමුවෙමු.-
الَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِالْغَيْبِ وَهُم مِّنَ السَّاعَةِ مُشْفِقُونَ
ඔවුහු කවරහුද යත් ආදෘෂශ්යව සිටිය දී තම පරමාධිපතිට බිය වන්නෝය. තවද ඔවුන් (ලොව අවසන්) හෝරාව පිළිබඳව බියෙන් තැතිගන්නන් වෙති.
11මෙහි ආදෘශ්යව සිටීම යන්නට ‘ඔවුන් අල්ලාහ්ව නොදැක සිටීම’ හෝ ‘ඔවුන් හුදකලාවේ සිටීම’ යන අදහස් දෙකක් ඇත.
وَهَـٰذَا ذِكْرٌ مُّبَارَكٌ أَنزَلْنَاهُ ۚ أَفَأَنتُمْ لَهُ مُنكِرُونَ
මෙ(ම අල් කුර්ආන)ය අපි පහළ කළා වූ භාග්යමත් උපදෙසකි. එසේ තිබියදීත් නුඹලා මෙය ප්රතික්ෂේප කරන්නන් වන්නෝ ද?