سُبْحَانَ الَّذِي أَسْرَىٰ بِعَبْدِهِ لَيْلًا مِّنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الْأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْبَصِيرُ
මස්ජිදුල් හරාම්හි සිට මස්ජිදුල් අක්සා දක්වා රාත්රි මද කොටසක දී තම ගැත්තාව කැටුව ගිය ඔහු(අල්ලාහ්) සුවිශුද්ධය. (එය කෙබඳු මස්ජිදයක් ද යත්) එහි අවට අප අභිවෘද්ධිමත් කළෙමු. (එලෙස අපි කැටුව ගියේ) අපගේ සාධක අතුරින් අප ඔහුට පෙන්වනු පිණිසය. සැබැවින්ම ඔහුමය සර්ව ශ්රාවක සර්ව නිරීක්ෂක වන්නේ.
1“මස්ජිදුල් හරාම්” යනු මුස්ලිම්වරුන් තම නැමදුම් දිශාව ලෙස යොදා ගන්නා මක්කා නගරයෙහි සමචතුරස්ර හැඩයකින් යුත් කඃබාව නම් ගොඩනැගිල්ල පිහිටි මස්ජිදයයි.
2නබි වදන් බොහෝමයක මෙම ‘ඉස්රා හා මිඃරාජ්’ ගමන පිළිබඳව සඳහන් වී ඇත. ‘මිඃරාජ්’ ගමනේ දී නබි මුහම්මද් තුමාණන් බොහෝ නබිවරුන් හමු වී කතාබහ කළ බව හා ස්වර්ගයෙහි හා නිරයෙහි නොයෙක් අවස්ථාවන් දුටු බව නබිවදන්හි සඳහන් වී ඇත. මුස්ලිම්වරුන්ට පංච කාල සලාතය අනිවාර්යය වූයේ මෙම අවස්ථාවෙහිය. මෙම සියලු දෑ සිදු වූයේ එක් රැයක් තුළදීය. නමුත් මෙම ආයතයෙන් සඳහන් වී ඇත්තේ මෙහි හැඳින්වීමෙහි පැහැදිලි කර ඇති ‘ඉස්රා’ නැමැති පළමු කොටස පිළිබඳව පමණි. අල් කුර්ආන් 53:13-18 ආයතයන්හි මෙම ගමනෙහි දෙවැනි කොටස වන ‘මිඃරාජ්ය’ පිළිබඳව සඳහන් වී ඇත. මෙම ගමන ආධ්යාත්මික නොව කායිකව සිදු වූවක් යැයි බොහෝ විද්වතුන්ගේ මතයයි. මන්දයත් මෙම ගමන පිළිබඳව මෙහි සඳහන් කර ඇත්තේ නබි මුහම්මද් තුමාණන්ගේ ප්රාතිහාර්යයන් ගෙන හැර පෙන්වීමටය. එසේ එතුමා කායිකව නොගොස් එම සිදුවීම සිහිනයකින් වූයේ නම් මෙය ප්රාතිහාර්යයක් නොවනු ඇත.
وَآتَيْنَا مُوسَى الْكِتَابَ وَجَعَلْنَاهُ هُدًى لِّبَنِي إِسْرَائِيلَ أَلَّا تَتَّخِذُوا مِن دُونِي وَكِيلًا
තවද නූහ් සමග අප (යාත්රාවෙහි) ඉසිලූ අයගේ පරම්පරාවනි, අපි මූසාට ධර්ම පුස්තකය(තව්රාතය) පිරිනමා “භාරකරු වශයෙන් මා හැර නුඹලා (වෙනත් කිසිවෙකු දෙවියෙකු වශයෙන් පත් කර) නොගන්නැ”යි ඉස්රාඊල්ගේ දරුවන්ට මග පෙන්වීමක් වශයෙන් අපි එය පත් කළෙමු. සැබැවින්ම ඔහු(නූහ්) කෘතවේදී ගැත්තෙකුව සිටියේය.
ذُرِّيَّةَ مَنْ حَمَلْنَا مَعَ نُوحٍ ۚ إِنَّهُ كَانَ عَبْدًا شَكُورًا
තවද නූහ් සමග අප (යාත්රාවෙහි) ඉසිලූ අයගේ පරම්පරාවනි, අපි මූසාට ධර්ම පුස්තකය(තව්රාතය) පිරිනමා “භාරකරු වශයෙන් මා හැර නුඹලා (වෙනත් කිසිවෙකු දෙවියෙකු වශයෙන් පත් කර) නොගන්නැ”යි ඉස්රාඊල්ගේ දරුවන්ට මග පෙන්වීමක් වශයෙන් අපි එය පත් කළෙමු. සැබැවින්ම ඔහු(නූහ්) කෘතවේදී ගැත්තෙකුව සිටියේය.
وَقَضَيْنَا إِلَىٰ بَنِي إِسْرَائِيلَ فِي الْكِتَابِ لَتُفْسِدُنَّ فِي الْأَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوًّا كَبِيرًا
තවද “මිහිතලයේ නුඹලා දෙවරක් කලහකම් කරනු ඇත. තවද මහත් ආඩම්භරයෙන් ඉපිලී යනු ඇතැ”යි ඉස්රාඊල්ගේ දරුවන් වෙත අපි එම ධර්ම පුස්තකයෙහි නියම කළෙමු.
فَإِذَا جَاءَ وَعْدُ أُولَاهُمَا بَعَثْنَا عَلَيْكُمْ عِبَادًا لَّنَا أُولِي بَأْسٍ شَدِيدٍ فَجَاسُوا خِلَالَ الدِّيَارِ ۚ وَكَانَ وَعْدًا مَّفْعُولًا
“එම දෙකෙන් පළමුවැනි ප්රතිඥාව පැමිණි විට දැඩි බලයෙන් යුත් අප සතු ගැත්තන්ව නුඹලාට එරෙහිව අපි එවන්නෙමු. ඔවුහු (නුඹලාව ඝාතනය සඳහා) නිවෙස් අතර සොයමින් යන්නෝය. තවද එය සිදු කරනු ලැබූ ප්රතිඥාවක්ය.
3යහ හා අයහ යන සියලු මානවයාම අල්ලාහ්ගේ ගැත්තන්ය. එහෙත් අල් කුර්ආනයේ මෙම දෙපාර්ශවයට ගැත්තා යන යෙදුම භාවිත වන විට වෙන් වෙන් පාඨයෙන් භාවිත වී ඇත. යහ ගැත්තන් ආමන්ත්රණය වන විට ‘අපගේ ගැත්තා’ හා ‘මාගේ ගැත්තා’ යැයි සඳහන් වී ඇත. එහෙත් මේ නොවන අයුරින් උදා: ‘අප සතු ගැත්තන්’ යැයි යෙදී ඇත්නම් එය භාවිත වී ඇත්තේ අයහ ගැත්තන් පිළිබඳවය.
4ඉස්රාඊල් දරුවන් තම නබිවරුන්ගේ මග පෙන්වීමෙන් බොහෝ සෙයින් මුළා වී ගියෝ යැයි බයිබලයෙහි සඳහන් වී ඇත. එබැවින් ඔවුන් මුළා වූ සෑම විටෙකම ඔවුනට දඬුවමක් වශයෙන් සතුරන්ගෙන් පරාජයට පත්වෙමින් සිටියෝය. එහෙත් අල් කුර්ආනයෙහි මොවුනට සිදු වූවා වූ දඬුවම් දෙකක් පමණක් සඳහන්ව ඇත. පළමුවැනි දඬුවම වූයේ යෙරෙමියා(Jeremiah) නම් නබිවරයාගේ සමයෙහි නෙබුකද්නෙශර්(Nebuchadnezzar) නැමැති බැබිලෝනියා දේශයෙහි කුරිරු අධිරාජ්යයාගේ ආක්රමණයයි. ක්රි:පූ:567 නෙබුකද්නෙශර් අධිරාජ්යයා ‘ජෙරුසලම’ නගරය ආක්රමණය කර විනාශ කර දමා ඇතැම් ඉස්රාඊල් ජනයාව ඝාතනය කර ඇතැමුන්ව සිරගත කළේය. ඉස්රාඊල් ජනයා මින් පන්නරයක් ලබා තමන්ව නිවැරදි කර ගත්තෝය. මොවුන් ජෙරුසලම් නගරයෙන් පිටුවහල් වී නොබෝ දිනකින් පර්සියානු අධිරාජ්යයා බැබිලෝනියාව ආක්රමණය කර ඉස්රාඊල් ජනයාට නැවත ජෙරුසලම්හි පදිංචි කරවිය. දෙවැනි දඬුවම වූයේ ක්රි:පූ: 175 දී ග්රීකයේ විසූ කුරිරු අධිරාජ්යයාගේ ආක්රමණයයි. ඉස්රාඊල් ජනයා නැවත වරක් නොමග ගිය සමයෙහි මොහු විසින් ආක්රමණය කරනු ලැබීය. යැයි ඉතිහාසගත ග්රන්ථයන්හි සඳහන් වී ඇත.
ثُمَّ رَدَدْنَا لَكُمُ الْكَرَّةَ عَلَيْهِمْ وَأَمْدَدْنَاكُم بِأَمْوَالٍ وَبَنِينَ وَجَعَلْنَاكُمْ أَكْثَرَ نَفِيرًا
පසුව ඔවුනට එරෙහිව නුඹලාට (ජයග්රහන) වාරයක් අපි නැවත ලබා දුන්නෙමු. ධනයෙන් හා පිරිමි දරුවන්ගෙන් අපි නුඹලාට උපකාර කළෙමු. තවද නුඹලාව බහුතර පුද්ගලයින් බවට පත් කළෙමු.
إِنْ أَحْسَنتُمْ أَحْسَنتُمْ لِأَنفُسِكُمْ ۖ وَإِنْ أَسَأْتُمْ فَلَهَا ۚ فَإِذَا جَاءَ وَعْدُ الْآخِرَةِ لِيَسُوءُوا وُجُوهَكُمْ وَلِيَدْخُلُوا الْمَسْجِدَ كَمَا دَخَلُوهُ أَوَّلَ مَرَّةٍ وَلِيُتَبِّرُوا مَا عَلَوْا تَتْبِيرًا
නුඹලා යහකම් කළේ නම් නුඹලා යහකම් කළේ තම ආත්මයන්ටය. නුඹලා නපුරුකම් කළේ නම් එවිට එය ද ඒවාටමය(නුඹලාටමය). අවසාන ප්රතිඥාව පැමිණි විට (නුඹලාට විරුද්ධව පෙර එවූ සේ පිරිසක් අපි එවන්නෙමු. එසේ එවනුයේ) නුඹලාගේ මුහුණු විරූපි කිරීමට ද ප්රථම වතාවේ මස්ජිදයට ඔවුන් ඇතුළු වූවාක් මෙන් මොවුන් එයට ඇතුළු වීමට ද මොවුන් ජයග්රහණය කරන දෑ මොවුන්ම විනාශ කර දැමීමට ද වේ.
عَسَىٰ رَبُّكُمْ أَن يَرْحَمَكُمْ ۚ وَإِنْ عُدتُّمْ عُدْنَا ۘ وَجَعَلْنَا جَهَنَّمَ لِلْكَافِرِينَ حَصِيرًا
(නුඹලා පශ්චාත්තාපයේ යෙදුණේ නම්) නුඹලාගේ පරමාධිපති නුඹලාට කරුණාව දක්වන්නට පුළුවන. නුඹලා (කලහකම වෙත) නැවත හැරුණේ නම් අප ද (දඬුවම වෙත) නැවත හැරෙන්නෙමු. තවද අපි ප්රතික්ෂේපකයින්ට නිරය සිරගෙයක් බවට පත් කළෙමු.” (යැයි ඉස්රාඊල්ගේ දරුවන් වෙත අපි එම ධර්ම පුස්තකයෙහි නියම කළෙමු.)
5මින් මත්තට නැවත වරක් නොමග වූයේ නම් නැවත ආක්රමණයට ලක් වන්නේය යැයි අල්ලාහ් ඉස්රාඊල් ජනයාට අවවාද කර ඇත.
إِنَّ هَـٰذَا الْقُرْآنَ يَهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ وَيُبَشِّرُ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا كَبِيرًا
සැබැවින්ම මෙම අල් කුර්ආනය ඉතා නිවැරුදි දෑ වෙත මග පෙන්වන්නේය. තවද යහකම් කරන විශ්වාසිකයින්ට මහත් වේතනයක් ඇති බව ඔවුනට ශුභාරංචි පවසන්නේය.
وَأَنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا
තවද මතු ලොව විශ්වාස නොකරන්නවුන් වන ඔවුනට වේදනීය දඬුවමක් සූදානම් කර ඇත්තෙමු. (යනුවෙන් ද ඔවුනට අශුභාරංචි පවසන්නේය.)
وَيَدْعُ الْإِنسَانُ بِالشَّرِّ دُعَاءَهُ بِالْخَيْرِ ۖ وَكَانَ الْإِنسَانُ عَجُولًا
මිනිසා යහපත වෙනුවෙන් ප්රාර්ථනා කරන්නාක් (මෙන්) අයහපතට ද ප්රාර්ථනා කරන්නේය. තවද මිනිසා ඉක්මන් ගති ඇත්තෙකු විය.
6අල් කුර්ආනය අල්ලාහ්ගෙන් වූ සැබෑ දහමක් නම් අපට දණ්ඩනයක් වන සාධකයක් ගෙන එන්නැ’යි ඇතැම් ප්රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමාණනන්ට අභියෝග කරන්නට වූහ.
وَجَعَلْنَا اللَّيْلَ وَالنَّهَارَ آيَتَيْنِ ۖ فَمَحَوْنَا آيَةَ اللَّيْلِ وَجَعَلْنَا آيَةَ النَّهَارِ مُبْصِرَةً لِّتَبْتَغُوا فَضْلًا مِّن رَّبِّكُمْ وَلِتَعْلَمُوا عَدَدَ السِّنِينَ وَالْحِسَابَ ۚ وَكُلَّ شَيْءٍ فَصَّلْنَاهُ تَفْصِيلًا
රාති්රිය හා දහවල අපි සංඥා දෙකක් බවට පත් කළෙමු. නුඹලාගේ පරමාධිපතිගෙන් වූ භාග්යය සෙවීමටත් වර්ෂ සංඛ්යාව හා (කාල) ගණනය නුඹලා දැනු ගනු පිණිසත් රාත්රියෙහි සංඥාව අප අඳුරු (බවට පත්) කළෙමු. තවද දහවලේ සංඥාව ආලෝකය ගෙන දෙන්නක් බවට අපි පත් කළෙමු. තවද සෑම දෙයක්ම අපි පැහැදිලි ලෙස විග්රහ කර ඇත්තෙමු.
وَكُلَّ إِنسَانٍ أَلْزَمْنَاهُ طَائِرَهُ فِي عُنُقِهِ ۖ وَنُخْرِجُ لَهُ يَوْمَ الْقِيَامَةِ كِتَابًا يَلْقَاهُ مَنشُورًا
සෑම මිනිසෙකුගේම තම අවසන් නිර්ණය ඔහුගේ ගෙලෙහි අපි එල්ලා තබා ඇත්තෙමු. තවද (මළවුන්) නැගිටුවනු ලබන දින ඔහුට අපි (ඔහුගේ ක්රියා) ලේඛනයක් ගෙන හැර පාන්නෙමු. දිග හරිනු ලැබූවක් ලෙස ඔහු එය දකින්නේය.
اقْرَأْ كِتَابَكَ كَفَىٰ بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ حَسِيبًا
නුඹගේ ලේඛනය කියවවු. අද දින නුඹ පිළිබඳව විනිශ්චය කිරීමට නුඹම ප්රමාණවත් වන්නේය.
مَّنِ اهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ ۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۚ وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۗ وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّىٰ نَبْعَثَ رَسُولًا
කවරෙකු යහමග ලබන්නේ ද එසේ ඔහු යහමග ලබනුයේ තමන්ටමය. කවරෙකු මුළා වූයේද එසේ ඔහු මුළා වනුයේ තමාට එරෙහිවමය. තවද (තම පාපයේ) බර උසුලන්නෙකු වෙනකෙකුගේ (පාපයේ) බර නොඋසුලන්නේය. තවද (යම් සමූහයකට උපදෙස් දෙන) රසූල්වරයෙකු එවන තෙක් (කිසිවෙකුටවත්) අපි දඬුවම් කරන්නන් නොවූයෙමු.
وَإِذَا أَرَدْنَا أَن نُّهْلِكَ قَرْيَةً أَمَرْنَا مُتْرَفِيهَا فَفَسَقُوا فِيهَا فَحَقَّ عَلَيْهَا الْقَوْلُ فَدَمَّرْنَاهَا تَدْمِيرًا
එක් ප්රදේශයක් අපි විනාශ කිරීමට අපේක්ෂා කළ විට (අපට අවනත වන මෙන්) එහි ප්රධානීන්ට අප අණ කළෙමු. එහෙත් ඔවුහු එහි පාපකම් කළෝය. එබැවින් ඒ කෙරෙහි (දඬුවමේ) වදන නියම විය. එවිට අපි එය සහමුලින්ම විනාශ කළෙමු.
وَكَمْ أَهْلَكْنَا مِنَ الْقُرُونِ مِن بَعْدِ نُوحٍ ۗ وَكَفَىٰ بِرَبِّكَ بِذُنُوبِ عِبَادِهِ خَبِيرًا بَصِيرًا
නූහ්ට පසු කොපමණ පරම්පරාවන් අපි විනාශ කර ඇත්තෙමු ද! නුඹගේ පරමාධිපති ඔහුගේ ගැත්තන්ගේ පාපයන් පිළිබඳව අභිඥානවන්තයෙකු වශයෙන් ද නිරීක්ෂා කරන්නෙකු වශයෙන් ද ප්රමාණවත් වන්නේය.
مَّن كَانَ يُرِيدُ الْعَاجِلَةَ عَجَّلْنَا لَهُ فِيهَا مَا نَشَاءُ لِمَن نُّرِيدُ ثُمَّ جَعَلْنَا لَهُ جَهَنَّمَ يَصْلَاهَا مَذْمُومًا مَّدْحُورًا
කවරෙකු මෙලොව අපේක්ෂා කරන්නේ ද අප අභිමත කළවුනට අප අභිමත කළ දෑ එහිම ඔහුට ඉක්මණින්ම පිරිනමන්නෙමු. පසුව අපි ඔහුට නිරය ඇති කළෙමු. ඔහු එහි අවමානයට ලක් ව (අල්ලාහ්ගේ දයාවෙන්) ඉවත් කරනු ලැබූවෙකු සේ පිවිස දැවෙන්නේය.
وَمَنْ أَرَادَ الْآخِرَةَ وَسَعَىٰ لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌ فَأُولَـٰئِكَ كَانَ سَعْيُهُم مَّشْكُورًا
කවරෙකු විශ්වාසිකයෙකු ලෙස මතු ලොව අපේක්ෂා කර එයට නිසි අයුරින් උත්සාහ දරන්නේ ද ඔවුහුමය තම උත්සහයන් කෘතවේදීත්වයට භාජනය වූ අය වන්නෝ.
7යමෙකුගේ මතුලොව යහපත උදා කර ගැනීම සඳහා කොන්දේසි සතරක් මෙම ආයතයෙන් පෙන්වා දී ඇත. පළමුවැන්න තමන් කරන යහ ක්රියාවන්ට මතු ලොවෙහි කුලිය ලැබිය යුතු යැයි අපේක්ෂා කිරීමය. දෙවැන්න තමන්ගේ යහ චේතනාව සමග යම් උත්සහයක් දැරිය යුතුය. තුන්වැන්න මෙම උත්සහය අල්ලාහ් පැවසූ ආකාරයෙන් විය යුතුය. සතරවැන්න ඔහු සැබෑ දෙවියන් වන අල්ලාහ්ගේ විශ්වාසිකයෙකු විය යුතුය.
كُلًّا نُّمِدُّ هَـٰؤُلَاءِ وَهَـٰؤُلَاءِ مِنْ عَطَاءِ رَبِّكَ ۚ وَمَا كَانَ عَطَاءُ رَبِّكَ مَحْظُورًا
ඔවුනටත් මොවුනටත් සියල්ලටම නුඹගේ පරමාධිපතිගෙන් වූ දීමනාවෙන් අපි උපකාර කරන්නෙමු. නුඹගේ පරමාධිපතිගේ දීමනාව (කිසිවෙකුටත්) වළකනු ලැබූවක් නොවන්නේය.
8මෙම ආයතයෙහි ‘දීමනාව’ යනුවෙන් අදහස් කරන්නේ අල්ලාහ් විසින් යහ හෝ අයහ ගැත්තන් සියල්ලන්ටම ලොවෙහි දෙනු ලබන ජීවන සම්පත්ය. එනමුත් මරණින් මතු ජීවිතයෙහි අල්ලාහ්ගේ ආශිර්වාදය ලබා ගැනීමට නම් ආයත් අංක 19 සඳහන් වී ඇති අයුරින් කි්රයා කළ යුතුය.
انظُرْ كَيْفَ فَضَّلْنَا بَعْضَهُمْ عَلَىٰ بَعْضٍ ۚ وَلَلْآخِرَةُ أَكْبَرُ دَرَجَاتٍ وَأَكْبَرُ تَفْضِيلًا
(නබිවරය, ලොවෙහි) ඔවුන්ගෙන් සමහරෙකුව තවත් සමහරෙකුට වඩා අප ශ්රේෂ්ඨත්වයට පත් කළේ කෙසේ දැ’යි නුඹ නිරීක්ෂණය කරවු. තවද ඇත්තෙන්ම මතු ලොව තරාතිරමින් අති මහත්ය. ශ්රේෂ්ඨත්වයෙන් ද අති මහත්ය.
لَّا تَجْعَلْ مَعَ اللَّهِ إِلَـٰهًا آخَرَ فَتَقْعُدَ مَذْمُومًا مَّخْذُولًا
(නබිවරය,) අල්ලාහ් සමග තවත් දෙවියෙකු (හවුල්කරුවෙකු ලෙස) පත් නොකරවු. එසේ (කළේ) නම් නුඹ අවමානයට ලක්ව (පිළිසරණක් නොමැතිව) අතහැර දමනු ලැබූවෙකු බවට අසුන් ගනු ඇත.
وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا ۚ إِمَّا يَبْلُغَنَّ عِندَكَ الْكِبَرَ أَحَدُهُمَا أَوْ كِلَاهُمَا فَلَا تَقُل لَّهُمَا أُفٍّ وَلَا تَنْهَرْهُمَا وَقُل لَّهُمَا قَوْلًا كَرِيمًا
“ඔහු හැර වෙනත් කිසිවෙක් නුඹලා නොනැමදිය යුතු යැයි ද දෙමාපියන් සමග යහ අයුරින් කටයුතු කළ යුතු” යැයි ද නුඹගේ පරමාධිපති (නුඹලාට) නියම කොට ඇත. “නුඹ(ගේ භාරකාරත්වය යටතේ නුඹ) අබියස ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ ඔවුන් දෙදෙනාම මහලු වියට පත් වූයේ නම් එවිට ඔවුන් දෙදෙනාට ‘උෆ්’ (නම් අගෞරවයෙන් හෝ කෝපයෙන් ‘චිහ්’) යන්නෙන් (පවා) නුඹ නොපවසවු. තවද ඔවුන් දෙදෙනාට නුඹ බැණ නොවදිවු. තවද ඔවුන් දෙදෙනාට නුඹ ගෞරවනීය වදන් පවසවු.
وَاخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَقُل رَّبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِي صَغِيرًا
ඔවුන් දෙදෙනාට කරුණාවෙන් යුතු යටහත්භාවයේ පියාපත් හෙළවු. තවද “මාගේ පරමාධිපතියාණනි, කුඩා අවදියේ සිටින විට ඔවුන් දෙදෙනා මා ඇති දැඩි කළාක් මෙන් නුඹ ඔවුන් දෙදෙනාට කරුණාව දක්වනු මැනවි!” යැයි ප්රාර්ථනා කරවු. (යැයි ද නුඹගේ පරමාධිපති නියම කොට ඇත.)
رَّبُّكُمْ أَعْلَمُ بِمَا فِي نُفُوسِكُمْ ۚ إِن تَكُونُوا صَالِحِينَ فَإِنَّهُ كَانَ لِلْأَوَّابِينَ غَفُورًا
නුඹලාගේ සිත් තුළ ඇති දෑ පිළිබඳව නුඹගේ පරමාධිපති මැනවින් දන්නාය. නුඹලා දැහැමියන්ව සිටින්නෙහු නම් එවිට සැබැවින්ම ඔහු (තමන්ව) සංශෝධනය කර ගන්නවුනට අති ක්ෂමාශීලීය.
وَآتِ ذَا الْقُرْبَىٰ حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ وَلَا تُبَذِّرْ تَبْذِيرًا
ඥාතියාට ඔහුගේ උරුමයන් ලබා දෙවු. තවද දිළිඳාට ද මගියාට ද (ඔවුන්ගේ උරුමයන් ලබා දෙවු.) තවද අනවශ්යය ලෙස වියදම් කොට නාස්ති නොකරවු.
إِنَّ الْمُبَذِّرِينَ كَانُوا إِخْوَانَ الشَّيَاطِينِ ۖ وَكَانَ الشَّيْطَانُ لِرَبِّهِ كَفُورًا
සැබැවින්ම නාස්ති කරන්නන් ෂෙයිතාන්වරුන්ගේ සහෝදරයින් වූවෝය. ෂෙයිතාන් ඔහුගේ පරමාධිතිට මහා ගුණමකුවෙකුව සිටියේය.
وَإِمَّا تُعْرِضَنَّ عَنْهُمُ ابْتِغَاءَ رَحْمَةٍ مِّن رَّبِّكَ تَرْجُوهَا فَقُل لَّهُمْ قَوْلًا مَّيْسُورًا
නුඹ බලාපොරොත්තු වන නුඹගේ පරමාධිපතිගේ කරුණාව අපේක්ෂා කරමින් (සිටියදී) නුඹ ඔවුන්ගෙන් වැළකෙන්නේ නම් ඔවුනට නුඹ මෘදු බස් පවසවු.
9මෙම ආයතයෙන් අදහස් කරන්නේ යම් කෙනෙකු ඉහත ආයත් අංක 26 හි සඳහන් වී ඇති අයුරින් දන් දීමට ආශාවෙන් සිටිය දී එයට අපොහොසත්ව සිටින විට අවශ්යතාවක් ඇත්තෙකු තමන් වෙත පැමිණ දන් දෙන මෙන් ඉල්ලා සිටින විට මොහු ඔහුගේ සිත නොරිදවා ප්රියමනාප වදනින් ඔහුට පිළිතුරු දිය යුතු යැයි යන්නය.
وَلَا تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَىٰ عُنُقِكَ وَلَا تَبْسُطْهَا كُلَّ الْبَسْطِ فَتَقْعُدَ مَلُومًا مَّحْسُورًا
නුඹගේ දෑත් නුඹගේ ගෙලට බැඳ දමනු ලැබූවක් බවට පත් නොකරවු. තවද සම්පූර්ණ දිගු හැරීමකින් එය විස්තීරණය ද නොකරවු. එසේ (කළේ) නම් අවලාදයට ලක්ව දිලිඳුභාවයට පත් වූවෙකුව ඉඳ සිටිනු ඇත.
10මෙම ආයතයෙහි ‘නුඹගේ දෑත් නුඹගේ ගෙලට බැඳ දමනු ලැබූවක් බවට පත් නොකරවු.’ යැයි අදහස් කරනුයේ මසුරුකම පිළිබඳවය. එනම් මෙම ආයතයෙහි යථාර්ථය වන්නේ යමෙකු මසුරු නොවිය යුතු අතර අවශ්යතාවට වඩා වියදම් කර නාස්ති නොකළ යුතුයි යන්නය.
إِنَّ رَبَّكَ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاءُ وَيَقْدِرُ ۚ إِنَّهُ كَانَ بِعِبَادِهِ خَبِيرًا بَصِيرًا
සැබැවින්ම නුඹගේ පරමාධිපති ඔහු අභිමත කරන අයට ජීවන සම්පත් විස්තීරණය කරන්නේය. තවද සීමා කරන්නේය. සැබැවින්ම ඔහු තම ගැත්තන් පිළිබඳව අභිඥානවන්ත නිරීක්ෂකයෙකු වන්නේය.
وَلَا تَقْتُلُوا أَوْلَادَكُمْ خَشْيَةَ إِمْلَاقٍ ۖ نَّحْنُ نَرْزُقُهُمْ وَإِيَّاكُمْ ۚ إِنَّ قَتْلَهُمْ كَانَ خِطْئًا كَبِيرًا
දිළිඳුකමට බිය වී නුඹලාගේ දරුවන් නුඹලා ඝාතනය නොකරවු. ඔවුන්ට ද නුඹලාට ද ජීවන සම්පත් ලබා දෙනුයේ අපමය. සැබැවින්ම ඔවුන්ව ඝාතනය කිරීම මහා වරදක් වන්නේය.
وَلَا تَقْرَبُوا الزِّنَىٰ ۖ إِنَّهُ كَانَ فَاحِشَةً وَسَاءَ سَبِيلًا
නුඹලා පරදාර ලිංගික සේවනයට සමීප නොවවු. සැබැවින්ම එය අශික්ෂිතය. මාර්ගයෙන් ද ඉතා නපුරුය.
وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ ۗ وَمَن قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِ سُلْطَانًا فَلَا يُسْرِف فِّي الْقَتْلِ ۖ إِنَّهُ كَانَ مَنصُورًا
තවද (ඝාතනය කිරීමට) අල්ලාහ් තහනම් කළ ආත්මයක් නුඹලා යුක්තියෙන් මිස ඝාතනය නොකරවු. කවරෙකු අසාධාරණයට ලක්ව ඝාතනය කරනු ලැබුවේ ද සැබැවින්ම ඔහුගේ භාරකරුට (එහි තීන්දු ගැනීමේ) බලය පත් කළෙමු. (සම ප්රතිදඬුවම් දැක්වීමක් වශයෙන් ඝාතකයාව) ඝාතනය කිරීමේ දී ඔහු සීමාව ඉක්ම විය නොයුතුය. සැබැවින්ම ඔහු උදව් කරනු ලබන්නෙකුය.
11මෙහි බලය යන්නෙන් අදහස් කරන්නේ ඝාතනයට හසු වූ අයගේ භාරකරුවන්ට ‘කිසාස්’ නැමැති සමප්රතිදඬුවම් කිරීමේ අයිතිය හෝ ‘දියත්’ නම් වන්දි ලබා ඝාතකයාව කමා කිරීමේ අයිතියයි. මෙම අයිතීන් ක්රියාන්විත කළ යුත්තේ අධිකරණ ක්රියාවලිය තුළින් ඝාතනය පිළිබඳව සම්පූර්ණයෙන් තහවුරු වීමෙන් අනතුරුවය. එසේ ඝාතනයට ලක් වූවාගේ භාරකරුවන්ට මෙවන් අයිතියක් තිබිය දී ඊට සීමාව ඉක්මවා යා නොයුතුයි යැයි මෙම ආයතයෙන් තව දුරටත් අවධාරණය කර ඇත. එහෙත් එකල අඥාන යුගයේ අරාබිවරුන් තම ගෝත්රයේ අයෙකු ඝාතනයට ලක් වූයේ නම් ඝාතකයාගේ ගෝත්රයේ බොහෝ දෙනෙකු ඝාතනය කරන්නෝය. නැතහොත් එක් අයෙකු ඝාතනය කළ ද ඔහුව ඉතා අමානුෂික ලෙස ඝාතනය කරන්නන් වූවෝය. මෙම ආයතයෙන් එලෙස හැසිරීම තහනම් යැයි අවවාද කර ඇත.
وَلَا تَقْرَبُوا مَالَ الْيَتِيمِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُ ۚ وَأَوْفُوا بِالْعَهْدِ ۖ إِنَّ الْعَهْدَ كَانَ مَسْئُولًا
අනාථ දරුවාගේ වස්තුවට ඔහු වැඩිවියට එළැඹෙන තුරු යහ අයුරින් මිස සමීප නොවවු. තවද නුඹලා ගිවිසුම ඉටු කරවු. සැබැවින්ම (නුඹලාගේ) ගිවිසුම විමසනු ලබන්නක්ය.
12‘යහ අයුරින් සමීප වීම’ යනු අනාථ දරුවාගේ වස්තූන් ආරක්ෂා කරන්නට හෝ ඒවා දියුණු කරන්නට හෝ මිස ඒවාට අත නොතැබිය යුතුය යන්නය. තවද ‘වැඩි වියට පත් වන තුරු’ යනු එම දරුවා තම කටයුතු තනිවම කළමනා කරන්නට නිසි තත්ත්වයක් ලබන වයස උදා වන තුරුය යන්නය.
وَأَوْفُوا الْكَيْلَ إِذَا كِلْتُمْ وَزِنُوا بِالْقِسْطَاسِ الْمُسْتَقِيمِ ۚ ذَٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا
නුඹලා මනින විට මිනුම සම්පූර්ණ කරවු. තවද නුඹලා සම තුලනයකින් කිරවු. එයමය ශ්රේෂ්ඨ හා යහපත් අවසානය වන්නේ.
وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ ۚ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَـٰئِكَ كَانَ عَنْهُ مَسْئُولًا
නුඹට කවර දෙයක් පිළිබඳව දැනුම නොමැත්තේ ද එවන් දෑ පිළිබඳව කථා නොකරවු. සැබැවින්ම සවන, දෘෂ්ටිය හා හදවත යන මේවා සියල්ල ඒ ගැන ප්රශ්න කරනු ලබන දෑ වන්නේය.
13මෙම ආයතයෙන් අදහස් වන්නේ කෙනෙකු තමන්ට ආරංචි වන සියලු දෑ, තම අනිසි උද්වේගය, හදිසි ආශාවන් සහ අනුමානයන් අනුව ක්රියා නොකළ යුතුයි යන්නය. මේ අනුව ක්රියා කර, වැරැද්දක් අත් වූයේ නම් ලොව අවසන් දිනයේ අල්ලාහ් හමුවේ පිළිතුරු දිය යුතුව ඇත.
وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا ۖ إِنَّكَ لَن تَخْرِقَ الْأَرْضَ وَلَن تَبْلُغَ الْجِبَالَ طُولًا
තවද නුඹ මිහිතලයේ ගර්වයෙන් ගමන් නොකරවු. සැබැවින්ම නුඹට මිහිතලය දෙබෑ කළ නොහැක්කේමය. තවද කඳුහි උස ඉක්ම විය නොහැක්කේමය.
كُلُّ ذَٰلِكَ كَانَ سَيِّئُهُ عِندَ رَبِّكَ مَكْرُوهًا
මේ සියල්ලක්ම (පිළිබඳව නම්,) එහි නපුර නුඹගේ පරමාධිපති අබියස පිළිකුල් කරනු ලැබූ දෑය.
ذَٰلِكَ مِمَّا أَوْحَىٰ إِلَيْكَ رَبُّكَ مِنَ الْحِكْمَةِ ۗ وَلَا تَجْعَلْ مَعَ اللَّهِ إِلَـٰهًا آخَرَ فَتُلْقَىٰ فِي جَهَنَّمَ مَلُومًا مَّدْحُورًا
(නබිවරය!) මේවා නුඹගේ පරමාධිපති ප්රඥාවෙන් නුඹ වෙත වහී පහළ කළ දෑය. තවද අල්ලාහ් සමග වෙනත් දෙවියෙකු (හවුල්කරුවෙකු ලෙස) පත් නොකරවු. එසේ (කළේ) නම් අවලාදයට ලක්ව (අල්ලාහ්ගේ දයාවෙන්) ඉවත් කරනු ලැබූවෙකුව නිරයෙහි දමනු ලබන්නේය.
أَفَأَصْفَاكُمْ رَبُّكُم بِالْبَنِينَ وَاتَّخَذَ مِنَ الْمَلَائِكَةِ إِنَاثًا ۚ إِنَّكُمْ لَتَقُولُونَ قَوْلًا عَظِيمًا
(ප්රතික්ෂේපකයිනි,) නුඹලාගේ පරමාධිපති නුඹලාට පිරිමි දරුවන් පිරිනමා ඔහු මලක්වරුන්ව ගැහැනු දරුවන් ලෙස ගත්තේ ද? (නැත.) සැබැවින්ම නුඹලා පවසනුයේ මහා (භයානක) ප්රකාශයකි.
14කාන්තාවන් පිරිමින්ට වඩා පහත් උදවිය යැයි ද මෙම පහත් උදවිය අල්ලාහ්ගේ දරුවන් යැයි ද එකල අරාබිවරුන් විශ්වාස කරන්නට වූහ. මොවුන් මෙසේ පැවසීමට හේතු වූයේ එකල ඔවුන් ගැහැනු දරුවන්ව අප්රිය කිරීමය. එහෙයින් තම දරුවන් අල්ලාහ්ගේ දරුවන්ට වඩා උසස් යැයි මොවුන්ගේ මිථ්යා මතයක් තිබුණි. නමුත් ඉස්ලාමීය කෝණයෙන් බැලූ කල අල්ලාහ්ට කිසිවිටෙක දරුවන් නොවන අතර කාන්තාවන් කිසිදු අන්දමකින් පිරිමින්ට වඩා පහත් උදවිය ද නොවන්නෝය.
وَلَقَدْ صَرَّفْنَا فِي هَـٰذَا الْقُرْآنِ لِيَذَّكَّرُوا وَمَا يَزِيدُهُمْ إِلَّا نُفُورًا
තවද ඔවුන් උපදෙස් ලබනු පිණිස සැබැවින්ම අපි මෙම අල් කුර්ආනයේ පැහැදිලි කළෙමු. (නමුත්) එය ඔවුනට පලා යාම මිස වෙනත් කිසිවක් අධික කළේ නැත.
قُل لَّوْ كَانَ مَعَهُ آلِهَةٌ كَمَا يَقُولُونَ إِذًا لَّابْتَغَوْا إِلَىٰ ذِي الْعَرْشِ سَبِيلًا
(නබිවරය,) ඔවුන් පවසන පරිදි “ඔහු සමග වෙනත් දෙවිවරුන් වී නම් එවිට අර්ෂ්හි හිමියන් (විනාශ කිරීම)ට ඔවුන් මගක් සොයනු ඇත” යැයි පවසවු.
15මෙම ආයතයෙන් බහු දේවවාදීත්වයට පිළිතුරු දී ඇත. එනම් අල්ලාහ් හැර වෙනත් දේව බලය ලැබූ දෙවිවරුන් සිටී නම් ඔවුන් සියලු දෙනාම ඉතා ස්වාධීනව සිටීමට උත්සහ දරනු ඇත. තවද ඔවුන් අතර නොයෙකුත් මතභේද ඇති වීමට ද ඉඩ ඇත. එසේ වූයේ නම් විශ්වයෙහි ව්යසනකාරී තත්ත්වයන් ඇති විය හැකිය. එසේ නම් විශ්වය නිසියාකාරව ක්රියාත්මක වීමෙහි යථාර්ථය බැලූ කල සියල්ල පාලනය කිරීමට එක් දෙවියෙකු පමණක් සිටී බව පැහැදිලි වන්නේය.
سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يَقُولُونَ عُلُوًّا كَبِيرًا
ඔහු පිවිතුරුය. තවද ඔවුන් පවසන දැයින් ඔහු අති මහත් ලෙස උත්තරීතරය.
تُسَبِّحُ لَهُ السَّمَاوَاتُ السَّبْعُ وَالْأَرْضُ وَمَن فِيهِنَّ ۚ وَإِن مِّن شَيْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِ وَلَـٰكِن لَّا تَفْقَهُونَ تَسْبِيحَهُمْ ۗ إِنَّهُ كَانَ حَلِيمًا غَفُورًا
අහස් හත හා මිහිතලය ද ඒවායෙහි සිටින දැය ද ඔහුව පිවිතුරු කරති. ඔහුගේ ප්රශංසාවෙන් (ඔහුව) පිවිතුරු කරන්නක් මිස කිසිවක් (ඒවායෙහි) නැත. එනමුත් ඔවුන්ගේ පිවිතුරු කිරීම නුඹලා වටහා නොගන්නෙහුය. සැබැවින්ම ඔහු ඉවසිලිවන්තය අති ක්ෂමාශීලීය.
وَإِذَا قَرَأْتَ الْقُرْآنَ جَعَلْنَا بَيْنَكَ وَبَيْنَ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ حِجَابًا مَّسْتُورًا
නුඹ අල් කුර්ආනය පාරායනය කරන විට නුඹ හා (නුඹට හිරිහැර කරන) මතුලොව විශ්වාස නොකරන්නන් අතර ආදෘශ්යමාන තිරයක් (නුඹගේ ආරක්ෂාව සඳහා) පත් කළෙමු.
وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا ۚ وَإِذَا ذَكَرْتَ رَبَّكَ فِي الْقُرْآنِ وَحْدَهُ وَلَّوْا عَلَىٰ أَدْبَارِهِمْ نُفُورًا
අපි ඔවුනට එ(ම අල් කුර්ආන)ය නොවැටහෙන සේ ඔවුන්ගේ හදවත් මත ආවරණයක් ද ඔවුන්ගේ කන් තුළ අගුලක් ද ඇති කළෙමු. නුඹ අල් කුර්ආනයෙහි (සඳහන් අයුරින්) නුඹගේ පරමාධිපති( පිළිබඳ)ව පමණක් පවසන විට, ඔවුන් පසුපස හැරී පලා යන්නෝය.
نَّحْنُ أَعْلَمُ بِمَا يَسْتَمِعُونَ بِهِ إِذْ يَسْتَمِعُونَ إِلَيْكَ وَإِذْ هُمْ نَجْوَىٰ إِذْ يَقُولُ الظَّالِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلًا مَّسْحُورًا
ඔවුන් නුඹට සවන් දෙ(න්නන් අතර සිටි)න විට ඔවුන් කුමක් සවන් දෙන්නේ දැයි අපි මැනවින් දන්නෙමු. (ඇත්තෙන්ම ඔවුන් නුඹට සවන් නොදෙන්නන්මය.) එවිට “නුඹලා අනුගමනය කරනුයේ හූනියම් කරනු ලැබූ මිනිසෙකු මිස නැතැ”යි අපරාධකරුවන් ප්රකාශ කරමින් ඔවුන් (අතර) රහසින් කතා කරමින් සිටින්නන්ය.
انظُرْ كَيْفَ ضَرَبُوا لَكَ الْأَمْثَالَ فَضَلُّوا فَلَا يَسْتَطِيعُونَ سَبِيلًا
ඔවුන් නුඹට (සමච්චලයට මෙන්) කෙසේ උපමාවන් ගෙන හැර දැක්වූයේ දැ?යි බලවු. මෙනිසා ඔවුන් මූළාවූවෝය. එබැවින් ඔවුන් (යහ)මගක් සඳහා හැකියාව නොලබන්නෝය.
وَقَالُوا أَإِذَا كُنَّا عِظَامًا وَرُفَاتًا أَإِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا
“අප ඇටකටු බවට පත්ව දිරාපත් පත් වූවායින් පසුවත් නව මැවුමක් ලෙස අප නැවත නැගිටුවනු ලබන්නන් වන්නෙමු දැ?”යි ඔවුහු පැවසුවෝය.
قُلْ كُونُوا حِجَارَةً أَوْ حَدِيدًا
“නුඹලා ගලක් හෝ යකඩයක් මෙන් වනු. එසේත් නොමැතිනම් නුඹලාගේ හදවත් තුළ (ශක්තිමත් යැයි උපකල්පනය කරන) මහත් වූ මැවුමක් බවට පත් වවු.” යැයි (නබිවරය, ප්රතික්ෂේපක) ඔවුනට පවසවු. එසේ (ඔවුන් එවන් මැවුමක් මෙන් පත්)වූවත් අපව නැවතත් ගෙන එනුයේ කවුරුන් දැ?යි ඔවුහු විමසති. (නබිවරය,) “ප්රථම වරට නුඹලාව මැවූ ඔහුම” යැයි පවසවු. එවිට නුඹ වෙත ඔවුන් (සමච්චලයෙන්) තම හිස් වනමින් ‘එය කවදා දැ?’යි විමසන්නෝය. ‘එය සමීපයෙන් සිදු වනු ඇතැ’යි නුඹ පවසවු.