أَتَىٰ أَمْرُ اللَّهِ فَلَا تَسْتَعْجِلُوهُ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ
අල්ලාහ්ගේ නියෝගය පැමිණ ඇත. එබැවින් (ප්රතික්ෂේපකයිනි,) ඒ සඳහා නුඹලා ඉක්මන් වීමට නොපතවු. ඔහු(අල්ලාහ්) පිවිතුරුය. තවද ඔවුන් ආදේශ තබන (සියලු) දැයින් ඔහු අති උත්තරීතරය.
1මෙහි ‘අල්ලාහ්ගේ නියෝගය’ යනුවෙන් අදහස් කරන්නේ ලොව අවසන් විනිශ්චය දින දී පාපතරයින් හට අල්ලාහ් විසින් සූදානම් කොට ඇති දඬුවම් පිළිබඳවය. මන්දයත් ‘අප නොමග වන්නේ නම් අල්ලාහ් අපට මෙතෙක් දඬුවම් නොකර සිටින්නේ මන්දැ’යි මක්කාවාසී ප්රතික්ෂේපකයින් විමසූවෝය. මෙම ආයතයෙන් අදහස් වන්නේ ලෝක අවසානය නිර්ණය කරනු ලැබූ මොහොතෙහිම සිදුවන්නේමය යන්නය. අනාගතයේ වන්නා වූ යමකට අතීත කාල පදයෙන් භාවිත වීම එහි ස්ථීරත්වය තහවුරු කිරීමට යොදා ගනු ලැබේ.
يُنَزِّلُ الْمَلَائِكَةَ بِالرُّوحِ مِنْ أَمْرِهِ عَلَىٰ مَن يَشَاءُ مِنْ عِبَادِهِ أَنْ أَنذِرُوا أَنَّهُ لَا إِلَـٰهَ إِلَّا أَنَا فَاتَّقُونِ
ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු (රසූල්වරුන් බවට පත් කිරීමට) අභිමත කරන අය වෙත “සැබැවින්ම මා හැර වෙනත් දෙවියෙකු නැත. එබැවින් මට බිය භක්තිමත් වවු” යැයි අවවාද කරන මෙන් (පවසා) තම නියෝගයෙන් වූ රූහ්(දේව පණිවිඩය) සමග මලක්වරුන් ඔහු පහළ කරන්නේය.
خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۚ تَعَالَىٰ عَمَّا يُشْرِكُونَ
ඔහු සත්යයෙන් යුතුව අහස් හා මිහිතලය මැව්වේය. ඔවුන් ආදේශ තබන (සියලු) දැයින් ඔහු අති උත්තරීතරය.
خَلَقَ الْإِنسَانَ مِن نُّطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُّبِينٌ
ඔහු මිනිසාව ශුක්ර ධාතුවකින් මැව්වේය. එසේ (මවා) තිබිය දීත් ඔහු පැහැදිලි තර්ක කරන්නෙකු විය.
وَالْأَنْعَامَ خَلَقَهَا ۗ لَكُمْ فِيهَا دِفْءٌ وَمَنَافِعُ وَمِنْهَا تَأْكُلُونَ
තවද පශු කුලයට අයත් සතුන්, ඒවා නුඹලා වෙනුවෙන්ම ඔහු මැව්වේය. එහි (නුඹලාට සීතලෙන් මිදීමට) උණුසුම ඇති කරවන දෑ(ලෝම) හා (විවිධ) ප්රයෝජනයන් ඇත. තවද නුඹලා එයින් අනුභව කරන්නෙහුය.
وَلَكُمْ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسْرَحُونَ
තවද නුඹලා (උන්ව සවස් කාලයේ ගාලට) දක්කාගෙන පැමිණෙන විට ද (උදෑසන ආහාරය සඳහා තණ බිමට) දක්කාගෙන යන විට ද එහි නුඹලාට අලංකාරයක් ඇත.
وَتَحْمِلُ أَثْقَالَكُمْ إِلَىٰ بَلَدٍ لَّمْ تَكُونُوا بَالِغِيهِ إِلَّا بِشِقِّ الْأَنفُسِ ۚ إِنَّ رَبَّكُمْ لَرَءُوفٌ رَّحِيمٌ
තවද (නුඹලාගේ) ස්වකීය දුෂ්කරත්වයකින් මිස නුඹලාට එහි යා නොහැකි ගම්මානයක් වෙත උන් නුඹලාගේ (පොදි) බර ඔසවා ගෙන යති. සැබැවින්ම නුඹලාගේ පරමාධිපති දයානුකම්පිතය පරම කරුණාභරිතය.
وَالْخَيْلَ وَالْبِغَالَ وَالْحَمِيرَ لِتَرْكَبُوهَا وَزِينَةً ۚ وَيَخْلُقُ مَا لَا تَعْلَمُونَ
තවද අශ්වයින් ද කොටළුවන් ද බූරුවන් ද (ඔහු මැව්වේ) නුඹලා ඒවායෙහි ප්රවාහනය කරනු පිණිස හා අලංකාරය පිණිස ය. නුඹලා නොදන්නා දෑ ඔහු මවන්නේය.
وَعَلَى اللَّهِ قَصْدُ السَّبِيلِ وَمِنْهَا جَائِرٌ ۚ وَلَوْ شَاءَ لَهَدَاكُمْ أَجْمَعِينَ
ඒවා අතුරින් (එනම් මාර්ගයන් අතුරින්) වක්ර දෑ ඇති තත්ත්වයේ (ඍජූ) මාර්ගය පැහැදිලි කිරීම අල්ලාහ් කෙරෙහි (වූ වගකීම)ය. තවද ඔහු අභිමත කළේ නම් නුඹලා සියල්ලන්ටම යහ මග පෙන්වන්නේය.
2එනම් අල්ලාහ්ට සියලු මිනිසුන්ව ඔහුට බලෙන් හෝ අවනත කරවීමේ ශක්තිය තිබුණ ද ඔහු එසේ නොකළේ මිනිසාට අවනත වීම හෝ අකීකරු වීම යන කරුණු දෙක අතුරින් එකක් තෝරා ගැනීමේ සිය කැමැත්ත පිරිනමා ඇති හෙයිනි.
هُوَ الَّذِي أَنزَلَ مِنَ السَّمَاءِ مَاءً ۖ لَّكُم مِّنْهُ شَرَابٌ وَمِنْهُ شَجَرٌ فِيهِ تُسِيمُونَ
අහසින් (වැසි) ජලය පහළ කළේ ඔහුය. එයින් නුඹලාට පානය (කිරීම) ද එයින් (වැඩෙන) ගහකොළ ද ඇත. නුඹලා (නුඹලාගේ සතුන්ට) එයින්(එම ගහකොළ වලින්) ආහාර සපයන්නෙහුය.
يُنبِتُ لَكُم بِهِ الزَّرْعَ وَالزَّيْتُونَ وَالنَّخِيلَ وَالْأَعْنَابَ وَمِن كُلِّ الثَّمَرَاتِ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِّقَوْمٍ يَتَفَكَّرُونَ
එ(ම වැසි ජලය )මගින් ඔහු වගාවන් ද ඔලිව් ද රටඉඳි ද මිදි ද සියලු ඵලදාවන් වලින් ද නුඹලා වෙනුවෙන් ඔහු හටගන්වන්නේය. සැබැවින්ම එහි ගැඹුරින් සිතා බලන පිරිසකට සංඥාවක් ඇත.
وَسَخَّرَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ ۖ وَالنُّجُومُ مُسَخَّرَاتٌ بِأَمْرِهِ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَ
තවද රාත්රිය ද දහවල ද හිරු ද සඳු ද ඔහු නුඹලාට වසඟ කළේය. තවද තරු ඔහුගේ නියෝගය පරිදි වසඟ කරනු ලැබූ දෑය. සැබැවින්ම අවබෝධ කර ගන්නා පිරිසකට එහි සංඥාවන් ඇත.
وَمَا ذَرَأَ لَكُمْ فِي الْأَرْضِ مُخْتَلِفًا أَلْوَانُهُ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِّقَوْمٍ يَذَّكَّرُونَ
තවද මිහිතලයෙහි නුඹලා වෙනුවෙන් උත්පාදනය කළ දෑ, එහි වර්ණ විවිධාකාර ලෙස (ඔහු නුඹලාට වසඟ කළේ)ය. සැබැවින්ම උපදෙස් ලබන පිරිසකට එහි සංඥාවක් ඇත.
وَهُوَ الَّذِي سَخَّرَ الْبَحْرَ لِتَأْكُلُوا مِنْهُ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُوا مِنْهُ حِلْيَةً تَلْبَسُونَهَا وَتَرَى الْفُلْكَ مَوَاخِرَ فِيهِ وَلِتَبْتَغُوا مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
(නුඹලාට) මහ මුහුද වසඟ කළේ ඔහුය. (ඔහු එසේ කළේ) එයින් නුඹලා නැවුම් මාංශ(මත්ස්යයින්) අනුභව කරනු පිණිස ද නුඹලා පලඳින (මුතු වැනි) ආභරණ (ඒ තුළින්) නුඹලා පිට කර ගනු පිණිස ද වේ. තවද නැව් එහි (ජලය) දෙබෑ කරමින් ගමන් කරන්නක්ව නුඹ දකින්නෙහිය. තවද (ඔහු එසේ කළේ) නුඹලා ඔහුගේ වරප්රසාදයෙන් සොයා ගනු පිණිස ද නුඹලා කෘතවේදී වනු පිණිස ද වේ.
3පොදුවේ අල් කුර්ආනයෙහි ‘වරප්රසාදය සොයනු’ යන පදයෙන් අදහස් කරන්නේ ව්යාපාරයයි. නමුත් මෙම පදයෙහි අදහස වන්නේ විදෙස් ව්යාපාරය පිළිබඳවය.
وَأَلْقَىٰ فِي الْأَرْضِ رَوَاسِيَ أَن تَمِيدَ بِكُمْ وَأَنْهَارًا وَسُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُونَ
තවද මිහිතලය නුඹලා සමග කම්පා නොවීමට එහි ස්ථීරසාර දෑ(කඳු) ද නුඹලා මග හඳුනා ගත හැකි වනු පිණිස මංමාවත් ද ගංගාවන් ද ඔහු ඇති කළේය.
وَعَلَامَاتٍ ۚ وَبِالنَّجْمِ هُمْ يَهْتَدُونَ
තවද (දහවලෙහි මග හඳුනා ගනු පිණිස කඳු වැනි) සලකුණු ද (ඔහු ඇති කළේය.) තවද (රාත්රියෙහි) තාරකාවන් මගින් ඔවුන් මග හඳුනා ගනිති.
أَفَمَن يَخْلُقُ كَمَن لَّا يَخْلُقُ ۗ أَفَلَا تَذَكَّرُونَ
මවන්නා (වන අල්ලාහ් කිසිවක්) නොමවන අයෙකු මෙන් ද? (නැත.) එබැවින් නුඹලා මෙනෙහි නොකරන්නෙහුද?
وَإِن تَعُدُّوا نِعْمَةَ اللَّهِ لَا تُحْصُوهَا ۗ إِنَّ اللَّهَ لَغَفُورٌ رَّحِيمٌ
අල්ලාහ්ගේ භාග්යයන් නුඹලා ගණන් කරන්නේ නම් ඒවා නුඹලාට ගණන් කළ නොහැකිය. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
وَاللَّهُ يَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَ
තවද නුඹලා සඟවන දෑ ද නුඹලා හෙළි කරන දෑ ද අල්ලාහ් දන්නේය.
وَالَّذِينَ يَدْعُونَ مِن دُونِ اللَّهِ لَا يَخْلُقُونَ شَيْئًا وَهُمْ يُخْلَقُونَ
තවද (ප්රතික්ෂේපක) ඔවුහු අල්ලාහ් හැර කවරෙකු කැඳවන්නෝ ද (එම ව්යාජ දෙවිවරුන් වන ) ඒවා මවනු ලබූවන්ව තිබිය දී ඒවා කිසි දෙයක් නොමවති.
أَمْوَاتٌ غَيْرُ أَحْيَاءٍ ۖ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ
(ඒවා) ජීවීන් නොවන අජීවීන්ය. තවද තමන් (මළවුන්) නැවත නැගිටුවනු ලබන්නේ කවදාදැ’යි තමන්ම නොහඳුනති.
4මෙම ආයතයට අල්ලාහ් හැර අන් සියලු දෙවිවරුන්ව අන්තර්ගත වන්නේය. එනම් පිළිරූ වලට ජීවයක් නොමැත. මනඃකල්පිත දෙවිවරුන්ට පැවැත්මක් පවා නොමැත. එසේම දෙවිවරුන් යැයි ඇදහීමට ලක් වූ නබිවරුන් පවා නිරන්තර ජීවයක් නොලැබූවන්ය. මෙලෙසම නිරන්තර ප්රාණයක් නොමැති දැයට දෙවිවරුන් යැයි විශ්වාස කිරීම කෙතරම් අඥාන ඇදහීමක් ද?.
إِلَـٰهُكُمْ إِلَـٰهٌ وَاحِدٌ ۚ فَالَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ قُلُوبُهُم مُّنكِرَةٌ وَهُم مُّسْتَكْبِرُونَ
නුඹලාගේ (සැබෑ) දෙවියන් එකම දෙවියෙකු (වන අල්ලාහ්)ය. එනමුත් පරමාන්ත දිනය විශ්වාස නොකරන්නන් නම් ඔවුන්ගේ හදවත් (මෙය) පිළිකුල් කරන්නක්ව පවතී. තවද ඔවුන් උඩඟුකම් පාන්නන්ය.
لَا جَرَمَ أَنَّ اللَّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۚ إِنَّهُ لَا يُحِبُّ الْمُسْتَكْبِرِينَ
සැබැවින්ම අල්ලාහ් ඔවුන් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද දන්නා බවට කිසිදු සැකයක් නැත. සැබැවින්ම ඔහු උඩඟුකම් පාන්නන්ව ප්රිය නොකරන්නේය.
وَإِذَا قِيلَ لَهُم مَّاذَا أَنزَلَ رَبُّكُمْ ۙ قَالُوا أَسَاطِيرُ الْأَوَّلِينَ
‘නුඹලාගේ පරමාධිපති කුමක් පහළ කළේ දැ’යි ඔවුන්ගෙන් විමසනු ලැබූ විට ‘(මේවා) පැරැන්නන්ගේ (මිථ්යා) ප්රබන්ධ’ යැයි ඔවුහු පවසති.
لِيَحْمِلُوا أَوْزَارَهُمْ كَامِلَةً يَوْمَ الْقِيَامَةِ ۙ وَمِنْ أَوْزَارِ الَّذِينَ يُضِلُّونَهُم بِغَيْرِ عِلْمٍ ۗ أَلَا سَاءَ مَا يَزِرُونَ
(ඔවුන් මෙසේ ප්රකාශ කළ හෙයින් මළවුන්) නැගිටුවනු ලබන දිනයේ සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ (පාපයේ) බර ද තවද කිසිදු දැනුමකින් තොරව ඔවුන්ව නොමග යැවූවන්ගේ (පාපයේ) බරින් සමහරක් ද ඔවුන් උසුලති. දැන ගනු. ඔවුන් උසුලන දෑ නරකය.
قَدْ مَكَرَ الَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَى اللَّهُ بُنْيَانَهُم مِّنَ الْقَوَاعِدِ فَخَرَّ عَلَيْهِمُ السَّقْفُ مِن فَوْقِهِمْ وَأَتَاهُمُ الْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ
සැබැවින්ම ඔවුනට පෙර වූවන් ද කුමන්ත්රණ කළෝය. එවිට අල්ලාහ්(ගේ දඬුවම) ඔවුන්ගේ ගොඩනැගිල්ලට අත්තිවාරමින් (එය ගලවා විනාශ කිරීමට) පැමිණියේය. එබැවින් ඔවුනට ඉහළින් ඔවුන් මත (එහි) වහල කඩා වැටිණ. තවද ඔවුන්ට නොහැඟූ අයුරින් දඬුවම ඔවුන් වෙත පැමිණියේය.
ثُمَّ يَوْمَ الْقِيَامَةِ يُخْزِيهِمْ وَيَقُولُ أَيْنَ شُرَكَائِيَ الَّذِينَ كُنتُمْ تُشَاقُّونَ فِيهِمْ ۚ قَالَ الَّذِينَ أُوتُوا الْعِلْمَ إِنَّ الْخِزْيَ الْيَوْمَ وَالسُّوءَ عَلَى الْكَافِرِينَ
පසුව (මලවුන්) නැගිටුවනු ලබන දිනයේ ඔහු(අල්ලාහ්) ඔවුන්ව නින්දාවට ලක් කරන්නේය. තවද “කවුරුන් විෂයෙහි නුඹලා (විශ්වාසිකයින්ට) වෙනස්කම් කරමින් සිටියෙහුද එම (නුඹලා ආදේශ කළ) මාගේ හවුල්කරුවන් කොහේදැ?”යි ඔහු(අල්ලාහ්) (ඔවුන්ගෙන්) විමසන්නේය. “සැබැවින්ම අද දින නින්දාව ද නපුර ද ප්රතික්ෂේපකයින් කෙරෙහිය” යැයි දැනුම දෙනු ලැබූවන් පවසති.
الَّذِينَ تَتَوَفَّاهُمُ الْمَلَائِكَةُ ظَالِمِي أَنفُسِهِمْ ۖ فَأَلْقَوُا السَّلَمَ مَا كُنَّا نَعْمَلُ مِن سُوءٍ ۚ بَلَىٰ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا كُنتُمْ تَعْمَلُونَ
(එම ප්රතික්ෂේපකයින්) කවුරුන්ද යත් තම ආත්මයන්ටම අපරාධ කර ගත්තවුන් ලෙස ඔවුන්ව මලක්වරුන් මරණයට පත් කරනවුන්ය. එවිට “අප කිසිදු නපුරක්(ආදේශයක්) කරන්නන් නොවූයෙමු” යැයි ඔවුහු (තම) යටහත්භාවය ඉදිරිපත් කරති. “නොඑසේය සැබැවින්ම අල්ලාහ් නුඹලා කරමින් සිටි දෑ පිළිබඳව සර්වඥය.
فَادْخُلُوا أَبْوَابَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۖ فَلَبِئْسَ مَثْوَى الْمُتَكَبِّرِينَ
එබැවින් නිරයේ දොරටු වලින් එහි සදාතනිකයින් ලෙස නුඹලා ඇතුළු වවු” (යැයි මලක්වරුන් පවසති). එබැවින් උඬඟු වූවන්ගේ වාසස්ථානය කෙතරම් නින්දනීය ද!
وَقِيلَ لِلَّذِينَ اتَّقَوْا مَاذَا أَنزَلَ رَبُّكُمْ ۚ قَالُوا خَيْرًا ۗ لِّلَّذِينَ أَحْسَنُوا فِي هَـٰذِهِ الدُّنْيَا حَسَنَةٌ ۚ وَلَدَارُ الْآخِرَةِ خَيْرٌ ۚ وَلَنِعْمَ دَارُ الْمُتَّقِينَ
නුඹලාගේ පරමාධිපති කුමක් පහළ කළේ දැ’යි බිය භක්තිය ඇත්තවුන්ට පවසනු ලැබීය. (එවිට) “යහපතක්මය (ඔහු පහළ කළේ)” යැයි ඔවුහු පැවසුවෝය. මෙලොවෙහි දී යහකම් කළවුනට යහපතක් ඇත. තවද මතු ලොවේ නිවහන ශ්රේෂ්ඨය. තවද බිය භක්තිකයින්ගේ (මතු) නිවහන යහපත් විය.
جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۖ لَهُمْ فِيهَا مَا يَشَاءُونَ ۚ كَذَٰلِكَ يَجْزِي اللَّهُ الْمُتَّقِينَ
(එය) ‘අද්න්’ (නමැති ස්වර්ග) උයන්ය. ඔවුහු එහි ඇතුළු වෙති. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. එහි ඔවුනට ඔවුන් අභිමත කරන දෑ ඇත. මෙලෙසය අල්ලාහ් බිය භක්තිකයින්ට ප්රතිඵල ලබා දෙනුයේ.
الَّذِينَ تَتَوَفَّاهُمُ الْمَلَائِكَةُ طَيِّبِينَ ۙ يَقُولُونَ سَلَامٌ عَلَيْكُمُ ادْخُلُوا الْجَنَّةَ بِمَا كُنتُمْ تَعْمَلُونَ
(ඔවුහු) කවුරුන්ද යත් පරිශුද්ධවන්තයින් ලෙස මලක්වරුන් ඔවුන්ව මරණයට පත් කරන්නන්ය. (එවිට) “නුඹලාට ‘සලාම්’(ශාන්තිය) අත් වේවා! නුඹලා කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා (ස්වර්ග) උයනට පිවිසෙවු.” යැයි ඔවුහු(මලක්වරුන්) පවසති.
هَلْ يَنظُرُونَ إِلَّا أَن تَأْتِيَهُمُ الْمَلَائِكَةُ أَوْ يَأْتِيَ أَمْرُ رَبِّكَ ۚ كَذَٰلِكَ فَعَلَ الَّذِينَ مِن قَبْلِهِمْ ۚ وَمَا ظَلَمَهُمُ اللَّهُ وَلَـٰكِن كَانُوا أَنفُسَهُمْ يَظْلِمُونَ
(ප්රතික්ෂේපක) ඔවුන් වෙත (ප්රාණය අත් කර ගැනීම සඳහා) මලක්වරුන් පැමිණීම හෝ නුඹගේ පරමාධිතිගේ (දඬුවමේ) විධානය පැමිණීම මිස (අන් කිසිවක්) ඔවුහු අපේක්ෂා කරන්නෝ ද? ඔවුනට පෙරවූවන් ද කළේ මෙලෙසය. අල්ලාහ් ඔවුනට අපරාධ නොකළේය. එනමුත් ඔවුහු තමන්ටම අපරාධ කර ගන්නන් වූහ.
فَأَصَابَهُمْ سَيِّئَاتُ مَا عَمِلُوا وَحَاقَ بِهِم مَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
එබැවින් ඔවුන් කළ දෑහි දුෂ්ටකම් ඔවුන්ව හසු කර ගත්තේය. තවද ඔවුන් සමච්චල් කරමින් සිටි දෑ ඔවුන්ව වෙළා ගත්තේය.
وَقَالَ الَّذِينَ أَشْرَكُوا لَوْ شَاءَ اللَّهُ مَا عَبَدْنَا مِن دُونِهِ مِن شَيْءٍ نَّحْنُ وَلَا آبَاؤُنَا وَلَا حَرَّمْنَا مِن دُونِهِ مِن شَيْءٍ ۚ كَذَٰلِكَ فَعَلَ الَّذِينَ مِن قَبْلِهِمْ ۚ فَهَلْ عَلَى الرُّسُلِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ
“අල්ලාහ් අභිමත කර ඇත්නම් අප ද අපගේ මුතුන්මිත්තන් ද ඔහු හැර වෙනත් කිසි දෙයකට නැමදුම් නොකරනු ඇත. තවද ඔහුගෙන් (වූ නියෝගයකින්) තොරව අපි කිසි දෙයක් තහනම් කර නොගනු ඇතැ”යි ආදේශ කළවුන් පැවසුවෝය. ඔවුනට පෙරවූවන් ද කළේ මෙලෙසය. එබැවින් රසූල්වරුන් කෙරෙහි පැහැදිලි ප්රචාරය මිස වෙනත් කිසිවක් වේ ද?
وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ ۖ فَمِنْهُم مَّنْ هَدَى اللَّهُ وَمِنْهُم مَّنْ حَقَّتْ عَلَيْهِ الضَّلَالَةُ ۚ فَسِيرُوا فِي الْأَرْضِ فَانظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ
“නුඹලා අල්ලාහ්ව නමදිවු. තාඝූත්( නම් ෂෙයිතාන්වරුන් හා පිළිමයන්)ගෙන් වැළකී සිටිවු.” යැයි (පවසා) සෑම ප්රජාවකටම සැබැවින්ම අපි රසූල්වරෙයකු එව්වෙමු. ඔවුන් අතුරින් අල්ලාහ් යහ මගෙහි යොමු කළවුන් ද ඔවුන් අතුරින් තමන් කෙරෙහි මුළාව නියම වූවන් ද වෙති. එබැවින් නුඹලා මිහිතලයෙහි සැරිසරා (තම රසූල්වරුන්ව) අසත්යය කරන්නන්ගේ අවසානය කෙසේ වී දැ’යි බලවු.
إِن تَحْرِصْ عَلَىٰ هُدَاهُمْ فَإِنَّ اللَّهَ لَا يَهْدِي مَن يُضِلُّ ۖ وَمَا لَهُم مِّن نَّاصِرِينَ
(නබිවරය,) ඔවුන් යහමග ලැබීම නුඹ (කෙතරම්) ආශා කළ ද (නුඹට ඔවුන්ව යහ මග යැවිය නොහැක. මන්දයත්) සැබැවින්ම අල්ලාහ් කවරෙකුව නොමග යන්නට ඉඩ හැරියේ ද ඔහුව ඔහු යහ මගෙහි යොමු නොකරන්නේය. තවද ඔවුනට උදව්කරුවන්ගෙන් කිසිවෙකු නැත.
وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ ۙ لَا يَبْعَثُ اللَّهُ مَن يَمُوتُ ۚ بَلَىٰ وَعْدًا عَلَيْهِ حَقًّا وَلَـٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
‘මරණයට පත් වන්නන්ව අල්ලාහ් (මළවුන්) නැවත නැගිටුවන්නේ නැතැ’යි ඔවුන්ගේ ස්ථාවර දිවුරුම් වලින් ඔවුන් අල්ලාහ් මත දිවුරුවෝය. එසේ නොව ඔහු කෙරෙහි (මෙය පොරොන්දු වූ) සැබෑ පොරොන්දුවක් වශයෙනි. එනමුත් ජනයින්ගෙන් බොහෝ දෙනා (ඒ බව) නොදනිති.
لِيُبَيِّنَ لَهُمُ الَّذِي يَخْتَلِفُونَ فِيهِ وَلِيَعْلَمَ الَّذِينَ كَفَرُوا أَنَّهُمْ كَانُوا كَاذِبِينَ
(ඔහු ඔවුන්ව මරණින් මතු නැවත නැගිටුවන්නේ ලොවෙහි) ඔවුන් කවර විෂයක මතභේද ඇති කර ගන්නේ ද එය ඔවුනට ඔහු පැහැදිලි කිරීම පිණිස ද ප්රතික්ෂේප කළවුන් ‘තමන් අසත්යවාදීන්ව සිටි බවට’ දැන ගනු පිණිස ද වේ.
إِنَّمَا قَوْلُنَا لِشَيْءٍ إِذَا أَرَدْنَاهُ أَن نَّقُولَ لَهُ كُن فَيَكُونُ
යමක් අපි (බිහි කිරීමට) අපේක්ෂා කළේ නම් එයට ‘වනු’ යැයි පැවසීමය අපගේ ප්රකාශය වනුයේ. එවිට එය සිදු වනු ඇත.
وَالَّذِينَ هَاجَرُوا فِي اللَّهِ مِن بَعْدِ مَا ظُلِمُوا لَنُبَوِّئَنَّهُمْ فِي الدُّنْيَا حَسَنَةً ۖ وَلَأَجْرُ الْآخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ
තමන් අපරාධයට ලක් වූවායින් පසු අල්ලාහ් වෙනුවෙන් දේශාන්තරණය කළවුන් නම්, සැබැවින්ම අපි ඔවුන්ව මෙලොවෙහි යහපත් ස්ථානයක වාසය කරවන්නෙමු. තවද මතුලොවේ වේතනය අති මහත්ය. (මේ ගැන) ඔවුන්(ප්රතික්ෂේපකයන්) දැන සිටියේ නම් (ඔවුන් ද මොවුන් සමග එකඟ වනු ඇත).
5ප්රතික්ෂේපකයින්ගේ හිංසාවට ලක් වූ බොහෝ මුස්ලිම්වරුන්ට ඇබිසීනියා දේශය කරා දේශාන්තරණය කිරීමට සිදුවිය. මෙම ඉවසීම සඳහා මරණින් මතු ජීවිතයෙහි ඔවුනට අයත් ඉමහත් භාග්යය ලැබීමත් සමග ලොව නිදහස් භූමියක් ලෙස පරිවර්තනය කර දෙන්නේයැ’යි අල්ලාහ් මෙම ආයතය මගින් පොරෙන්දු වී ඇත. මෙලෙසම පසුකාලීනව මදීනා නගරය නිදහස් භූමියක් ලෙස පත් විය.
الَّذِينَ صَبَرُوا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ
(දේශාන්තරණය කළවුන්) කවුරුන්දයත් ඔවුන් (ප්රතික්ෂේපකයන්ගේ හිංසාවන්) ඉවසා දරා සිටින්නන්ය. තවද ඔවුහු තමන්ගේ පරමාධිපති කෙරෙහි (සියල්ල) භාර කරන්නෝය.
وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ إِلَّا رِجَالًا نُّوحِي إِلَيْهِمْ ۚ فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَ
තවද අපි වහී පහළ කළා වූ පිරිමින් මිස (අන් කිසිවෙකු) නුඹට පෙර (රසූල්වරයෙකු ලෙස) නොඑව්වෙමු. (ඒ පිළිබඳව) නුඹලා නොදැන සිටියෙහු නම් දැනුම ඇත්තන්ගෙන් විමසවු.
بِالْبَيِّنَاتِ وَالزُّبُرِ ۗ وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ
(ඔවුන්ව අපි එව්වේ) පැහැදිලි සාධක සමග හා ධර්ම පුස්තකයන් සමගය. ජනයාට ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ නුඹ පැහැදිලි කරනු පිණිස ද ඔවුන් (ඒ පිළිබඳව) කල්පනා කරනු පිණිස ද අපි නුඹ වෙත උපදෙස(අල් කුර්ආනය) පහළ කළෙමු.
6අල් කුර්ආන් විවරණය සඳහා ස්වමතයන් පිළිපැදීමට වඩා නබි වදන් ආශ්රයෙන් විවරණ කිරීම වඩා උචිතය. සෑම වදනකටම නබි තුමාණන් කෙසේ පැහැදිලි කර ඇත්තේ දැයි අවධානය යොමු කළ යුතුය. තවද තම ජන සමූහයාට අල් කුර්ආනය පාරායනා කර පෙන්වීම පමණක් නොව එය ඉගැන්වීම පවා ඔහුගේ වගකීමක් යැයි බොහෝ අල් කුර්ආන් ආයතයන් මගින් අවධාරණය කරන්නේය.
أَفَأَمِنَ الَّذِينَ مَكَرُوا السَّيِّئَاتِ أَن يَخْسِفَ اللَّهُ بِهِمُ الْأَرْضَ أَوْ يَأْتِيَهُمُ الْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ
දුෂ්ටකම් කුමන්ත්රණය කළවුන්, ඔවුන්ව අල්ලාහ් මිහිතලයට කිඳා බැස්සීම ගැන හෝ ඔවුන්ට නොහැඟූ අයුරින් දඬුවම ඔවුන් කෙරෙහි පැමිණීම ගැන හෝ ඔවුන් අභයදායීව සිටින්නෝ ද?
أَوْ يَأْخُذَهُمْ فِي تَقَلُّبِهِمْ فَمَا هُم بِمُعْجِزِينَ
නැතහොත් ඔවුන් (තම කාර්යයන්හි) නියැළෙමින් සිටිය දී ඔවුන්ව ඔහු (දඬුවමින්) ග්රහණය කිරීම ගැන (ඔවුන් අභයදායීව සිටින්නෝ ද?) නමුත් ඔවුහු (අල්ලාහ්ව පරාජය කර ඔහුව) නොහැකියාවට පත් කරන්නන් නොවන්නෝය.
أَوْ يَأْخُذَهُمْ عَلَىٰ تَخَوُّفٍ فَإِنَّ رَبَّكُمْ لَرَءُوفٌ رَّحِيمٌ
තවද බියෙන් සිටින විට ඔවුන්ව ඔහු (දඬුවමින්) ග්රහණය කිරීම ගැන (ඔවුන් අභයදායීව සිටින්නෝ ද?) එබැවින් (දැන ගනු) සැබැවින්ම නුඹලාගේ පරමාධිපති දයානුකම්පිතය. පරම කරුණාභරිතය.
7මෙහි “බියෙන් සිටිය දී” යනු තමන්ගේ ප්රධානීන් හා සහයකයින් විනාශයට පත් වීම පිළිබඳව දැන සිටිය විට යන්නයි.
8මෙම ආයතය මගින් පාපතරයින් තමන් කළ පාපයන් සඳහා දඬුවමට භාජනය නොවී සිටීම ඔවුන් කළ දෑ යහපත් යැයි අදහස් නොවන අතර ඔහු දඬුවමට සුදුස්සෙකුව සිටිය දී දඬුවමට භාජනය නොවී සිටින්නේ අල්ලාහ්ගේ කරුණාව හේතුවෙන් යැයි මෙම ආයතයෙන් පෙන්වා දෙයි.
أَوَلَمْ يَرَوْا إِلَىٰ مَا خَلَقَ اللَّهُ مِن شَيْءٍ يَتَفَيَّأُ ظِلَالُهُ عَنِ الْيَمِينِ وَالشَّمَائِلِ سُجَّدًا لِّلَّهِ وَهُمْ دَاخِرُونَ
අල්ලාහ් මැවූ දෑ ඔවුහු නොදුටුවෝ ද? එහි සෙවණැලි දකුණු පසින් ද වම් පැති වලින් ද (ඒවා) යටහත් පහත්භාවයෙන් යුතුව අල්ලාහ්ට සුජූද් කරන්නක්ව ඇලවෙන්නෝය.
9මෙම ආයතයෙහි සුජූද් යනු සලාතයේ ඉරියව්ව මෙන් ඉරියව්වක් විය හැකි අතර අනෙකුත් මැවුම් සියල්ල කිසි විටෙකත් අල්ලාහ්ට පිටු නොපාන්නේය යන අරුත මින් අදහස් කෙරෙයි.
وَلِلَّهِ يَسْجُدُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مِن دَابَّةٍ وَالْمَلَائِكَةُ وَهُمْ لَا يَسْتَكْبِرُونَ
තවද ජීවීන්ගෙන් අහස්හි ඇති දෑ ද මිහිතලයෙහි ඇති දෑ ද තවද මලක්වරුන් ද අල්ලාහ්ට සුජූද් කරති. තවද ඔවුහු උඩඟු නොවෙති.
10මෙය සුජූද්හි ආයතයකි. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:206 හි පාද සටහන බලන්න.
يَخَافُونَ رَبَّهُم مِّن فَوْقِهِمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ ۩
ඔවුනට ඉහළින් ඔවුන්ගේ පරමාධිපතිට ඔවුහු බිය වෙති. තවද ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු කරති.