الفلق
අල්-ෆලක් · Al-Falaq
මක්කී5 පද්‍ය
1
قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ
1 (නබිවරය,) පවසවු. ”අරුණෝදය හිමි පරමාධිපතිගෙන් මම රැකවරණය පතමි.
1‘අල් ෆලක්’ (113) හා ‘අන් නාස්’ (114) නම් සූරාවන් දෙකම මක්කී සූරාවක් ද? නැතිනම් මදනී සූරාවක් ද? යන්නෙහි ඉස්ලාමීය විද්වතුන් අතර මතභේද තිබුණද මෙම සූරා දෙකම මදනී සූරා යන මතය සාධක තුළින් ප්රබල ප්රකාශයකි. මෙම මතය දරන්නන්ගේ ප්රධාන සාධකය වනුයේ එම සූරාවන් දෙක නබි මුහම්මද් තුමාණන්ට යුදෙව්වෙකු කළ හූනියමෙන් එතුමාණන් මිදීමට ද අනෙකුත් හූනියම් හා සියලු උවදුරු වලින් ආරක්ෂා වීමට ද පාරායනා කිරීම සඳහා පහළ වූ බව තහවුරු කරන එතුමාණන්ගේ ප්රකාශයන් හා ක්රියාවලීන් වේ. “අද රාත්රියෙහි පහළ වූ ආයතයන් ඔබ නොදුටුවෙහිද? ඒවා මෙන් කිසි විටෙක දකිනු නොලැබීය (ඒවා නම්) ‘කුල් අඌදු බිරබ්බිල් ෆලක්’ හා ‘කුල් අඌදු බිරබ්බින් නාස්’ යැයි නබි මුහම්මද් තුමාණෝ පැවසූ බව උක්බත් ඉබ්නු ආමිර් තුමාණන් වාර්තා කරයි. තවත් වාර්තාවක ”මා හට පැවසූහ” යැයි ද වාර්තා කර ඇත. (ග්රන්ථය : මුස්ලිම්) “නබි මුහම්මද් තුමාණෝ ජින්වරුන්ගේ උවදුරු වලින් හා මිනිසුන්ගේ ඇස්වහ වලින් අල්ලාහ් අබියස ආරක්ෂා පතමින් සිටියහ. ‘මුඅව්විදතාන්’ (නැමැති මෙම සූරා දෙකම) පහළ වූ පසු එම දෙකම (තමන් අල්ලාහ් අබියස ආරක්ෂා පැතීමට පාරායනයක් ලෙස) ගෙන ඒ හැර (තමන් පාරායනා කරමින් සිටි) අන් සියල්ල අත හැර දැමූහ.” යැයි අබූ සඊද් අල් කුද්රි තුමාණන් වාර්තා කරයි. (ග්රන්ථය : තිර්මිදි) “ඒවා මෙන් කිසි විටෙක දකිනු නොලැබීය” යනුවෙන් පළමු වැනි හදීසයෙහි පවසා ඇත. එනම් එම සූරාවන් දෙකම මීට පෙර පහළ වී නොතිබුණු බව පැහැදිලි වන්නේය. එම හදීසය වාර්තා කරන සහාබිවරයා වන උක්බත් ඉබ්නු ආමිර් තුමාණන් නබි මුහම්මද් තුමාණන් මදීනාවට දේශාන්තරණය කළ පසු ඉස්ලාමය වැලඳගත් සහාබිවරුන්ගෙන් කෙනෙකි. තවද මොහු ‘අහ්ල් අස්සුෆ්ෆා’ වරුන්ගෙන් ද කෙනෙකි. දෙවන හදීසය වාර්තා කරන සහාබිවරයා වන අබූ සඊද් අල් කුද්රි තුමාණෝ මදීනාවාසීන් වන අන්සාරි සහාබිවරුන්ගෙන් කෙනෙකි. නබි මුහම්මද් තුමාණෝ මදීනාවට දේශාන්තරණය කර පැමිණි විට මොහු කුඩා වියෙහි සිටි බව සඳහන්ව ඇත. මෙම කරුණු සියල්ල දෙස බැලූ කල මෙම සූරාවන් දෙකම මදනී සූරාවන් බව පැහැදිලිවම සනාථ වන්නේය.
2
مِن شَرِّ مَا خَلَقَ
ඔහු නිර්මාණය කළ දෑහි නපුරෙන් ද 2
2අල් කුර්ආනයේ අන්තර්ගතව ඇති අවසාන සූරා දෙක නබි මුහම්මද් තුමාණන්ට සහ එතුමාව පිළිපදින්නන්ට හූනියම්කරුවන්ගේ ද අදෘශ්යමාන නපුරු බලවේගයන්ගේ ද මිනිසුන් අතර සිටිනා සතුරන්ගේ ද හානියෙන් ආරක්ෂාව පතන්නේ කෙසේ දැ’යි පෙන්වා දෙනු පිණිස පහළ කරන ලදී. යුදෙව්වන් පිරිසක් නබි මුහම්මද් තුමාණන්ට හූනියම් කළෝය. එතුමාණන් නබිවරයෙක් වශයෙන් භාර ගත් වගකීම ඉටු කිරීමේ කාර්යයට අල්ලාහ්ගේ අසීමිත ආරක්ෂාව තිබූ හේතුවෙන් එයට කිසිදු බලවේගයකින් කිසිදු හානියක් හෝ බාධාවක් හෝ කිරීමට නොහැකි විය. නමුත් යුදෙව්වන් කළ හූනියම් හේතුවෙන් එතුමාට සුළු අසනීපයක් ඇති විය. එම අවස්ථාවේ මෙම සූරා දෙක පහළ කරනු ලැබ, ඒවා පාරායනය කිරීමෙන් නබි මුහම්මද් තුමාණන්ට සුවය ලැබුණි. ඉන් පසුව සෑම රාති්රයකම නින්දට පෙර එතුමාණෝ මෙම සූරා දෙක පාරායනය කළහ. එතුමාගේ ජීවිතයේ මෙවැනි විවිධ අවස්ථාවන් හි වූ සිදුවීම් සැබැවින්ම මුළු මිනිස් සංහතියටම මග පෙන්වීමක් වශයෙනි. මෙවැනි පුරුදු අප ජීවිතයට ගෙන, හානිදායක දැයින් ආරක්ෂා වීමට අප ද වග බලා ගත යුතුය.
3
وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ
ඝනාන්ධකාරය පිවිසෙන විට රාත්රියේ නපුරෙන් ද, 3
3බහුතරයක් හූනියම්කරුවන් හූනියම් කරනුයේ රාති්ර වේලාවන්හිය. එමෙන්ම දුෂ්ට ජීවීන් මිනිසුන්ට අයහපතක් සිදු කිරීමට බැහැරව යන්නේ ද මේ වේලාවන්හිය.
4
وَمِن شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ
ගැට මත (මතුරා) පිඹින්නියන්ගේ නපුරෙන් ද 4
4මෙය හූනියම්කරුවන්ගේ එක් පිළිවෙතකි. විශේෂයෙන් හූනියම් කරන ස්ත්රීන් මෙලෙස කරති. එබැවින් මෙහි ඇති යෙදුම ස්ත්රී ලිංග නාමයෙන් භාවිත කර ඇත.
5
وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ
ඊර්ෂ්යා කරන විට, ඊර්ෂ්යා කරන්නාගේ නපුරෙන් ද (මම රැකවරණය පතමි)” 5
5කෙනෙකුට එරෙහිව හූනියම් කිරීමට මූලික හේතුව වන්නේ ඊර්ෂ්යාවයි. එපමණක් නොව එම ඊර්ෂ්යාව හේතුවෙන්ම නොයෙකුත් ආකාරයේ හානි සිදු කිරීමට ද පෙලඹෙන්නෝය. ඒ හේතුවෙන් මේ පිළිබඳව විශේෂයෙන් සඳහන් කර තිබේ.