الإخلاص

අල්-ඉඛ්ලාස්

الإخلاص

අල්-ඉඛ්ලාස් · Al-Ikhlas

මක්කී4 පද්‍ය
1

قُلْ هُوَ اللَّهُ أَحَدٌ

(නබිවරය,) පවසවු. ”සැබෑ විෂයය නම් අල්ලාහ් ඒකීය ය. 1
1අරාබිකරයේ එකල විසූ යුදෙව්, කිතුනු හා මිථ්යා දෘෂ්ටික අරාබිවරුන් අතුරින් බහුතරයකට පිවිතුරු ඒක දේව විශ්වාසය ගැන අවබෝධයක් නොතිබුණි. මිථ්යා දෘෂ්ටික අරාබිවරුන් නොයෙකුත් දෙවි දේවතාවන් උපකල්පනය කර ගත්තෝය. එමෙන්ම මලක්වරුන් අල්ලාහ්ගේ දූ වරුන් ලෙස සැලකුවෝය. කිතුනු භක්තිකයන් දේවත්වය ‘ත්රිත්වයක්’ ලෙස සැලකූහ. නබි ඊසා(ජේසුස්) තුමාණන් දෙවියන්ගේ පුත්රයෙක් බව විශ්වාස කළෝය. යුදෙව්වෝ ‘නබි උzසෙයිර්’ තුමාණන් අල්ලාහ්ගේ පුත්රයා බව විශ්වාස කළෝය. නබි මුහම්මද් තුමාණෝ සැබෑ ඒක දේවත්වය ගැන පවසා අල්ලාහ්ට පමණක් නමදින ලෙස ඔවුනට ආරාධනා කළ විට ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අල්ලාහ් ගැන සම්පූර්ණ විස්තර සපයන මෙන් ඉල්ලා සිටියෝය. එයට පිළිතුරු වශයෙන් මෙම සූරාව පහළ කරන ලදී. ඉතාමත් කෙටියෙන් සංක්ෂිප්තව අලංකාරව ඔවුන්ගේ සියලු සැක දුරු කරන අයුරින් පහළ කළ මෙම සූරාව කිසිදු භාෂාවකට පරිවර්තනය කළ නොහැකි ලෙස ගැඹුරු අර්ථයකින් යුක්තය. එහි ‘තව්හීද්’ නම් ඒක දේවත්වය පැහැදිලි කරන හේතුවෙන් මෙම සූරාව අල් කුර්ආනයෙන් තුනෙන් කොටසක් ලෙස හඳුන්වන බව හදීස්හි සඳහන්ව ඇත. මෙය පාරායනය කරන්නෙකුට අල් කුර්ආනයෙන් තුනෙන් කොටසක් පාරායනය කරන කුසල් ද හිමි වනු ඇත.
2

اللَّهُ الصَّمَدُ

අල්ලාහ් (සෙසු අය විසින්) සදා සරණ පතනු ලබන්නා වූ ද (කිසිදු) අවශ්යතාවක් රහිත වූ ද අයෙකි. 2
2මෙම ආයතයේ ‘සමද්’ නම් අරාබි පදයට ‘කිසිදු උදව්වක් අවශ්ය නොමැති නමුත් ඔහුගේ උදව් සියල්ලන්ටම අවශ්යය අයෙකි’ යන අර්ථය වේ. විශ්වයේ තම කාර්යය ඉටු කර ගැනීමට අල්ලාහ්ට කුඩා දේව හවුල්කරුවන් සිටිනා බව මිථ්යාදෘෂ්ටික අරාබිවරුන් විශ්වාස කළහ. මෙම ආයතය එවැනි තත්ත්වයක් නොමැති බවද අල්ලාහ්ට කිසිවකගේ උදව් අවශ්ය නොමැති බව ද තහවුරු කරයි. තව දෙයකින් උපකාර පතන කෙනෙක් දෙවි කෙනෙක් වීමට කිසිදු සුදුසුකමක් නොමැති බව ද තවදුරටත් මෙයින් සනාථ කෙරේ.
3

لَمْ يَلِدْ وَلَمْ يُولَدْ

ඔහු කිසිවෙකු ජනිත නොකළේය. ඔහු කිසිවෙකුගෙන් ජනිත කරනු ද නොලැබුවේය.
4

وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ

තවද ඔහුට සමාන කිසිවෙකු නොවූයේමය.